රනිල්ගේ ලයිස්තු අනුර ගාව ගල්වෙලා!
USAID එකෙන් සල්ලි ගත්ත ආණ්ඩුවේ ලොකු තැන කව්ද?
අමෙරිකානු පිල්ලිය ජෝර්ජ් සොරෝස්!
රනිල්ගේ කප්පම්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු කළ 2022-2024 වසර දෙක තුළ දේශපාලන කප්පම් වශයෙන් මන්ත්‍රීවරුන්ට ලබාදුන් වරප්‍රසාද ඇතුළත් ලයිස්තු රටට අනාවරණ කරන ලෙසට වූ සටන පළමු වරට පටන් ගත්තේ ‘මව්රට’ පුවත්පතය. අප එම සටන ආරම්භ කළේ රනිල් ජනාධිපතිවරණය තරග කිරීම අරමුණු කරගෙන සජබ-පොහොට්ටු මන්ත්‍රීවරුන් බිලීබා ගැනීම සඳහා බාර් ලයිසන් සහ අරමුදල් අත දිගහැර ලබාදීමට කටයුතු කොට ඇති බවට තොරතුරු වාර්තා වී තිබීම හේතුකොට ගෙනය. එහිදී අප පෙන්වා දුන්නේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරුන් විශාල පිරිසකට දේශපාලන කප්පම් වශයෙන් බාර් ලයිසන් සහ අරමුදල් ලබාදී ඇති බවත්, වහාම එම දේශපාලන කප්පම් ලබාගත් මන්ත්‍රී ලැයිස්තු රටට අනාවරණ කළ යුතු බවත්ය.
අප එම සටන ආරම්භ කිරීමෙන් පසු එවක විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක්ගෙන් සමන්විත වූ ජාතික ජන බලවේගය එම සටන් පාඨය සියතට ගැනීමට කටයුතු කළේය. ඒ අනුව අනුර කුමාර දිසානායක, විජිත හේරත්, හරිනි අමරසූරිය ප්‍රමුඛ ජාතික ජන බලවේගය එම සටන් පාඨය කරට ගෙන පාර්ලිමේන්තුව ඇතුළේත්, පාර්ලිමේන්තුවෙන් පිටතත් කියා සිටියේ බලය ලබා ගත් වහා රනිල්ගේ දේශපාලන කප්පම් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව රටට හෙළිදරව් කිරීමට පියවර ගන්නවා යැයි කියාය. බාර් ලයිසන් සහ අරමුදල් ලබාගත් මන්ත්‍රී ලැයිස්තුව රටට හෙළිකොට නීතිවිරෝධී ලෙස රනිල් ලබාදුන් සියලු බාර් ලයිසන් අවලංගු කරනවා යැයි කියාය. එහිදී අප ආරම්භ කළ සටනක් ජවිපෙ සටන් පාඨයක් බවට පත්කරගැනීම පිළිබඳ එකල අපද සිටියේ විශාල සතුටකිනි.Sri Lanka Latest News
ඒ අනුව අනුර ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවත්, තුනෙන් දෙකක අතිවිශේෂ බහුතර බලයක් ලබා මාලිමා ආණ්ඩුව පිහිටුවීමෙන් පසුවත් අප මෙම සටන් පාඨය කිහිප වතාවක්ම මාලිමාවේ ප්‍රධානීන්ට මතක් කරලීම සඳහා වාර්තා කිරීමටද කටයුතු කළෙමු. නමුත් කනගාටුවට කරුණ වන්නේ ජනාධිපතිවරයාත්, ජනාධිපතිවරයාගේ මාලිමා ආණ්ඩුවත් එම සටන් පාඨය තවත් එක් සටන් පාඨයක් පමණක් බවට පත්කරමින් මන්ත්‍රී කප්පම් ලැයිස්තුව එළියට දැමීමෙන් වැළකී සිටීමය. ඇපෙන් බේරීමට රනිල්ගෙන් බාර් ලයිසන් ගත් තුන්සිය හැට ගානක ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මාලිමා ආණ්ඩුව කටයුතු කළද, එහි කිසිදු මන්ත්‍රීවරයෙකුගේ නම් හෙළිදරව් කිරීමට මාලිමා ආණ්ඩුව පියවර ගත්තේ නැත. ඒ වෙනුවට බාර් ලයිසන් ගත් ව්‍යාපාරික ලැයිස්තුව පමණක් හෙළි කළ මාලිමා ආණ්ඩුව රටට පොරොන්දු වූ පරිදි එම බාර් ලයිසන් අවලංගු කිරීමට කටයුතු කළේද නැත. එමෙන්ම රනිල්ගෙන් අරමුදල් ගත් මන්ත්‍රී ලැයිස්තුව රටට හෙළිකෙරුවේද නැත.
නමුත් ඒ වෙනුවට ජනතාවට පොරොන්දු නොවුණු ලැයිස්තු දෙකක් මාලිමා ආණ්ඩුව රටට ඉදිරිපත් කළේය. ඉන් එක් ලැයිස්තුවක් වූයේ 2010 වසරෙන් පසු ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් මැති ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුවය. දෙවැන්න වූයේ අරගල සමයේ හානි සිදුවූ නිවාසවලට වන්දි වශයෙන් රනිල්ගෙන් මුදල් ලබාගත් මන්ත්‍රී ලැයිස්තුවය. එය ඉතා හොඳ පූර්වාදර්ශයක් වුවද රටට පොරොන්දු වූ ආකාරයට රනිල්ගෙන් දේශපාලන කප්පම් වශයෙන් බාර් ලයිසන් සහ අරමුදල් ලබාගත් මන්ත්‍රී ලැයිස්තුව රටට අනාවරණය නොකිරීමට මාලිමා ආණ්ඩුව කටයුතු කළේ ඇයිද යන්න පිළිබඳ අදටත් අපට ඇත්තේ මහත් ප්‍රහේළිකාවකි. ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවට යහපත් දේශපාලන වටපිටාවක්, අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ සැබෑ අවශ්‍යතාවක් තිබේ නම් වසර 10ක් 15ක් පමණ පැරැණි සිදුවීම් පසුපස දුවන ගමන් ජනතාවගේ මනසේ ඇඳී ඇති ඉකුත් ආණ්ඩුවේ වසර 2ක කාලය තුළ උණු උණුවේ සිදුවූ බව කියන වංචා දූෂණ කළ වංචනිකයන්ට වහාම දඬුවම් ලබාදීමට කටයුතු කළ යුතුය. මහත් බලාපොරොත්තු තබාගෙන මාලිමාවට ඡන්දය දුන් 68 ලක්ෂයේ ඒ බලාපොරොත්තු ඉටුකරලීමට ආණ්ඩුවට හැකියාව ඇත්තේ එවැනි සිදුවීම් හරහාය. නමුත් එවැන්නක් සිදුවනවා තියා සිදුවන පාටක් හෝ පේන්නට නොතිබීම පිළිබඳ අපට පමණක් නොව රටටම ඇත්තේ විශාල කනගාටුවකි.
ට්‍රම්ප්ගේ ලයිස්තුව
කෙසේ වෙතත් ආණ්ඩුව ඒ ආකාරයට ලැයිස්තු හංගමින් රටට දුන් පොරොන්දු කඩකරද්දී ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පින් සිදුවන්නට ලංකාව සම්බන්ධ ආන්දෝලනාත්මක නම් ලැයිස්තුවක් මේ වනවිට එළියට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ, ඇමෙරිකානු රජය මගින් ක්‍රියාත්මක වන USAID ආයතනය හරහා පසුගිය කාලසීමාවේදී විවිධ මාතෘකා යටතේ මෙරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්ට මාධ්‍ය ආයතනවලට, මාධ්‍යවේදීන්ට, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට හා ජනප්‍රිය චරිතවලට කෝටි ගණන් මුදල් ගෙවා ඇති බවට වූ ලැයිස්තුවකි. මේ වනවිට නිල නොවන ලෙස ප්‍රකාශයට පත් එම නම් ලැයිස්තුව ෆේස්බුක්, වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලවල වේගයෙන් සංසරණය වෙමින් පවතින අතර, මාලිමා ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දරන ප්‍රකට චරිතයක්ද ඒ අතර වීම විශේෂ සිදුවීමකි. එහි සඳහන්ව ඇත්තේ බොහෝ ආන්දෝලනාත්මක මාතෘකාවක් රට ඇතුළේ කතා කිරීම සඳහා එම දේශපාලන චරිතයට මුදල් ලබාදී ඇති බවකි. මීට අමතරව විපක්ෂයේ සිටින ප්‍රධාන පෙළේ ප්‍රකට මන්ත්‍රීවරුන් රැසකටම USAID ආයතනය මගින් 2019 වසරෙන් පසු විශාල වශයෙන් මුදල් පොම්ප කර ඇති බවද එම ලැයිස්තුව මගින් අනාවරණ කොට තිබේ.
සජබෙ ගත්තෙ කව්ද?
ඊට අමතරව තවත් විශේෂ කරුණක් පිළිබඳවද මේ වනවිට ‘රාජ්‍ය රහස්’ තීරය වෙත තොරතුරු ලැබී තිබේ. ඒ, 2024 ජනාධිපතිවරණයේදී සජබ අපේක්ෂකයා වශයෙන් සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම වෙනුවට විපක්ෂයේ සිටින උගත් යැයි කියන ප්‍රධාන පෙළේ වෙනත් මන්ත්‍රීවරයෙක් ජනාධිපති අපේක්ෂකයා බවට පත්කිරීම සඳහා 2019 වසරේ සිට USAID ආයතනය විශාල වශයෙන් මුදල් වැයකොට ඇති බවකි. ඒ හරහා මෙම මන්ත්‍රීවරයාට සජබ නායකත්වය අත්පත් කරගැනීම සඳහාත්, සජබ නායක සජිත්ගේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහාත්, තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කරගැනීම සඳහාත් විශාල වශයෙන් මුදල් ලබාදී ඇති බවක් දැනගන්නට ඇත. ඒ සඳහා මෙම මන්ත්‍රීවරයා ඉංජිනේරුවකු වන අයකු සම්බන්ධීකරණ නිලධාරියකු වශයෙන් පත්කොට ගෙන තිබූ බවද මේ වනවිට අනාවරණ වී තිබේ. මීට අමතරව ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, යුක්රේනය ඇතුලු රටවල් රැසක ආණ්ඩු පෙරළීම සඳහා USAID ආයතනය හරහා විශාල වශයෙන් මුදල් පොම්ප කර ඇති බවද පසුව ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ විශේෂ පණිවුඩයක් තබමින් අනාවරණ කොට තිබිණි.
කව්ද මේ සෝරෝස්
එමෙන්ම මෙම ට්විටර් පණිවුඩය හරහා තවත් විශේෂ කරුණක්ද ට්‍රම්ප් ලොවට හෙළි කළේය. ඒ, දේශගුණික විපර්යාස පිළිබඳ ව්‍යාපෘති සඳහා යැයි පවසමින් ඇමෙරිකාවේ ප්‍රකට චරිතයක් වන ජෝරජ් සෝරෝස් නමැත්තා හට විශාල මුදල් ප්‍රමාණයක්ද USAID මගින් ලබාදී ඇති බවකි. ජෝර්ජ් සෝරෝස් යනු ලංකාවටද ආගන්තුක චරිතයක් නොවේ. මීට වසර කීපයකට පෙරාතුව යහපාලන ආණ්ඩු සමයේදී මේ කියන ජෝර්ජ් සෝරෝස් පිළිබඳ අතිවිශේෂ අනාවරණයක් ‘රාජ්‍ය රහස්’ තුළින් රටට අනාවරණ කිරීමට අපි පියවර ගත්තෙමු. එවකදී හිටපු අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා මේ කියන ජෝර්ජ් සෝරෝස් ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබිණි. කිසිදු මාධ්‍යයක් එවකදී මේ සම්බන්ධයෙන් වාර්තා නොකළ පසුබිමක ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ ජෝර්ජ් සෝරෝස් ගෙන්වාගෙන රනිල් විශාල දේශපාලන නාඩගමක් නැටීමට සූදානම් වන බවකි.
කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට කවුරුන් හෝ දුන් උපදේශයකින් කියැවී තිබුණේ ජෝර්ජ් සෝරෝස් යනු අතිශය භයානක පුද්ගලයකු බවත්, හෙතෙම දේශපාලන ඩීල්කාරයකු ලෙස ප්‍රකට පුද්ගලයකු බවත්ය. ඒ අනුව රනිල්, ජෝර්ජ් සෝරෝස්ව මෛත්‍රී හමුවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත එවුවද සෝරෝස් හමුවීම මෛත්‍රී ප්‍රතික්ෂේප කළේය. ඉහළ මහලේ පිහිටි සිය කාර්යාලයේ සිටිමින් මෛත්‍රී සෝරෝස් හමුවීම සඳහා සිය උපදේශයකු පහළට එවීමට එදා පියවර ගෙන තිබිණි.
ඒ හරහා සෝරෝස්ට මෛත්‍රී දුන් පණිවුඩය වූයේ ඔහුව හමුවීමට තමන් සූදානම් නැති බවකි. මේ බව වටහාගත් සෝරෝස්ද එදා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව ගියේ මහත් කලකිරීමෙන් බව එදා අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමට කටයුතු කළෙමු. එදා අප අනාවරණ කළ මේ ජෝර්ජ් සෝරෝස් හටද කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යැයි කියමින් USAID ආයතනයෙන් විශාල මුදලක් ලබාදී තිබීම විශේෂිතය. ඒ අනුව සෝරෙfා්ස් මෙම මුදල් වීසි කළේ කුමන පක්ෂයටද, කුමන දේශපාලනඥයන්ටද යන්න සොයා බැලීමට බලධාරීන් පියවර ගත යුතුව තිබේ.
මීට අමතරව ට්‍රම්ප් රජය කළ මෙම අනාවරණයෙන් ලංකාවේ තවත් ආන්දෝලනාත්මක මාතෘකාවක් පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීම සඳහා විශාල වශයෙන් USAID ආයතන මුදල් වියදම් කර ඇති බව තහවුරු වී තිබේ. ඒ, ගැහැනු පිරිමි වචන භාවිතාව නැතිකොට තනි වචනයකින් කතා කිරීම සඳහා විශාල වශයෙන් මුදල් වැයකොට තිබීමය. මෙහිදී ආණ්ඩුවේ ප්‍රබලතම කාන්තා චරිතයකටද USAID ආයතනය මගින් මුදල් ලබාදී ඇති බවක් එම නම් ලැයිස්තුව පරීක්ෂා කිරීමේදී පෙනීයයි. තවද මාධ්‍ය ආයතනනවලටද, මාධ්‍යවේදීන්ටද මේ සඳහා මුදල් ලබාදීමට එම ආයතනය කටයුතු කොට තිබේ.
පසුගිය සතියේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම ඇතැම් නම්ගම් රටට අනාවරණ කළද තවමත් සමාජ මාධ්‍යවල සංසරණය වන මෙම නම් ලැයිස්තුව ඇමෙරිකාව පැත්තෙන් නිල වශයෙන් තහවුරු කොට නොතිබීම නිසා එම නම් ගම් පළකිරීමට අප කටයුතු නොකරන බවද මෙහිදී සඳහන් කළ යුතුය. ඒ පිළිබඳ අපද මේ වනවිට සිටින්නේ අපගේ තොරතුරු මාර්ග හරහා එය තහවුරු කරගැනීමේ උත්සාහයක නිරතවය.
කෙසේ වෙතත් නිල වශයෙන් හෝ නොනිල වශයෙන් ඉදිරියේදී නව ට්‍රම්ප් රජය තවත් විශේෂ හෙළිදරව් කිරීම් රැසක් සිදුකිරීමට සූදානමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එය අද හෙට සිදුවනු ඇතිදැයි නොදන්නා නමුත් වත්මන් මාලිමා ආණ්ඩුව නම් ලැයිස්තු එළියට දමන ආකාරයටම ට්‍රම්ප් රජයද මේ නම් ලැයිස්තු එළියට දමන ආකාරයක් දැකගන්නට තිබේ. කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ මෙම නම් ලැයිස්තු එළියට දැමීම නිසා ලංකාවේ ප්‍රධාන පෙළේ චරිත රැසක්ම මේ වනවිට විශාල වශයෙන් කලබලයට පත්ව සිටින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, ඇතැම් ප්‍රකට චරිත සහ ආයතන හට දැවැන්ත මුදල් ප්‍රමාණයක් USAID ආයතනය මගින් ලබාදී තිබීම නිසාය. ඒ අනුව ඉදිරියේදී ඇතැම් වියදම් පිළිබඳ ප්‍රබල ගැටලු මතුවීම නොවැළැක්විය හැකි කරුණක් නිසා මෙම පිරිස් බියට පත්ව සිටින බවක්ද ආරංචිය.
නලින්ද ලිස්සයි
කෙසේ වෙතත් ආණ්ඩුවේ ප්‍රබල චරිතයක නමක් මෙම නම් ලැයිස්තුවේ ඇතුළත්ව තිබීම සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇගේ නම සඳහන් කරමින්ම ආමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබිණි. මෙහීදී හීන්සීරුවේ ලිස්සා යන උත්තරයක් දුන් නලින්ද කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයම පැහැදිලි කිරීමක් කළ යුතු බවකි. නලින්ද එවැනි පිළිතුරක් දී ඇඟ බේරාගත්තද මාලිමා ආණ්ඩුවද මේ වනවිට මේ පිළිබඳ තොරතුරු සොයමින් සිටින බව අප වෙත ලැබී ඇති තොරතුරුවලින් කියැවේ.
අනෙක් අතට මෙහි ඇති බරපතළම කරුණ වන්නේ අෘණ්ඩු පෙරළීම සඳහා USAID ආයතනය මුදල් වැයකර තිබූ සෑම රටකම පාහේ එම රටවල් අස්ථාවර වී ආණ්ඩු පෙරළී තිබීමය. උදාහරණයක් ලෙස ලංකාවේ සහ බංග්ලාදේශයේ රාජ්‍ය නායකයන්ට රට හැරදා පලායෑමට සිදුව තිබිණි. නේපාලයේ ආණ්ඩු පෙරළිණි. යුක්රේන ආණ්ඩුව අස්ථාවර වී රුසියාව සමග නොනිමි යුද්ධයකට පැටළුණේය. ඉන්දියාවේද ගොවීන් පාරට බැස ආණ්ඩුව වැට්ටවීමට උත්සාහ කළද නරේන්ද්‍ර මෝදි පමණක් එය සාර්ථකව මැඬපැවැත්වීමට කටයුතු කළේය.
කෙසේ වෙතත් ට්‍රම්ප් කළ මේ අනාවරණය හරහා ලංකාවේ ගොඩ ගිය දේශපාලනඥයන්ද නැතුවා නොවේ. ඉන් එක් අයකු වන්නේ විමල් වීරවංශය. විමල් ජවිපෙ සිටින කාලයේ සිටම රටට පෙන්වා දුන් කරුණක් වූයේ රට අස්ථාවර කිරීම සඳහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ දියත් වෙමින් පවතිනවා යැයි කියාය. කතාවට පමණක් එසේ කීවද අද මෙන් විමල්ට ඒ බව තහවුරු කිරීමට නිල තොරතුරු තිබුණේ නැත. නමුත් දෛවයේ සරදමකට මෙන් අද ඇමෙරිකානු ජනාධිපතිවරයකු විසින්ම විමල්ට ඒ තොරතුරු ලබාදී තිබීම විශේෂ සිදුවීමකි. ඒ අනුව එදා විමල් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කියද්දී ඇතැමුන් විමල්ට ඔලොක්කුවට මෙන් සිනාසුණද අද විමල්ට හිනාවෙන්නට කාටවත්ම බැරිය. මන්ද අද වනවිට ඇමෙරිකාව විසින්ම ඒ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ චෝදනාව තහවුරු කොට තිබීම නිසාය. ඒ අනුව පසුගිය සතියේ මාධ්‍ය හමුවක් කැඳවූ විමල් අභියෝග කර සිටියේ විපක්ෂයේ කොන්ද පණ ඇති එක් මන්ත්‍රීවරයකු හෝ සිටීනම් මේ USAID ආයතනය විසින් මුදල් ලබාදී ඇති මන්ත්‍රීවරුන් සහ ඔවුන් ඒවා වැයකළ ආකාරය පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පත්කරන ලෙස යෝජනා කළයුතු යැයි කියාය. ඒ අනුව යමින් පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පසුගිය සතියේ කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් ඒ පිළිබඳ සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කරකසභාවක් පත්කරන ලෙස ඉල්ලා සිටීමට පියවර ගත්තේය.
රනිල් ඉල්ලන් කයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන භාවිතය පිළිබඳ ‘රාජ්‍ය රහස්’ තීරය පසුගිය කාලය පුරාම නිරතුරුවම තොරතුරු වාර්තා කිරීමට පියවර ගෙන ඇත. එහිදී අප පෙන්වා දුන් එක් කරුණක් වූයේ ජනතාවත් එක්ක ජනතා නායකයකු ලෙස දේශපාලනය කරනවාට වඩා රනිල් තමන්ගේ පවුලට අයත් පුවත්පත් ඔස්සේ දේශපාලනය කිරීමට විශාල කැමැත්තක් දක්වන බවකි. විශේෂයෙන්ම විවිධ අසත්‍ය පුවත් පළකිරීම හරහා මේ වැඩකටයුත්ත සිදුකරන ආකාරය උදාහරණ සහිතවම පසුගිය කාලය පුරාම පෙන්වා දීමට අපි කටයුතු කළෙමු. අප කළ මෙම හෙළිදරව් නිසාම එදා මෙන් රනිල්ගේ පවුලට අයත් පුවත්පත් සමූහයේ අද රනිල්ගේ බොරු පුවත් පළවන්නේ නැත. ඉඳහිට පළකළත් ජනතාව මේ වනවිට ඒ ගැන දැනුවත් නිසා ඒ බොරු පුවත් වැඩකරන්නේද නැත.
කෙසේ වෙතත් පසුගිය සතියේ රනිල් ලන්ඩන් සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව මීට සති දෙකකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමට අපි පියවර ගත්තෙමු. ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන ඊනිවුස් වෙබ් අඩවිය පළකළ පුවතක් උපුටා දක්වමින් අප පෙන්වා දුන්නේ ලන්ඩනයේ ක්‍රියාත්මක වන සිවිල් සංවිධාන දෙකක් රනිල්ට එරෙහිව අපරාධමය චෝදනා ගොනුකරමින් ලන්ඩන් අධිකරණය මගින් වරෙන්තුවක් ලබාගැනීමට සැලසුම් කර ඇතැයි කියාය. ඒ, බටලන්ද සිදුවීමට අදාළව බවද අපි එහිදී පෙන්වා දුන්නෙමු.
ඒ අතරතුර ලන්ඩන් සංචාරයට පෙරාතුව රනිල්ට ලන්ඩනයෙන් තවත් ආරාධනාවක්ද ලැබිණි. ඒ, ලෝක ප්‍රකට මාධ්‍ය ආයතනයක් වන අල් ජසීරා නාලිකාවෙනි. එහි මාධ්‍යවේදී මෙහිදි හසන් රනිල්ට ආරාධනාවක් කරමින් කියා සිටියේ තමන් විසින් මෙහෙයවන ‘හෙඩ් ටු හෙඩ්’ වැඩසටහනට සහභාගි වන ලෙසටය. මාධ්‍ය මගින් දේශපාලනය කරන රනිල්ට මේ ආරාධනාව ඉතාමත් උචිත නිසා රනිල් කළේ දෙවරක් නොසිතාම එම ආරාධනාව පිළීගැනීමට කටයුතු කිරීමය.
මේ වනවිට රනිල්ගේ යටි හිතේ තවත් දේශපාලන සැලැසුමක්ද වැඩකරමින් තිබිණි. ඒ, පසුගිය දිනවල ගිය එජාප-සජබ සාම සාකච්ඡා කඩාකප්පල් කිරීමේ සැලසුමය. ඒ, එම සාකච්ඡා සාර්ථක වුවහොත් මුළු එජාපයම සජබය පස්සේ වැටී සිය නායකයා ලෙස සජිත්ව පිළිගැනීමේ විශාල ඉඩකඩක් තිබීම නිසාය. එම සාකච්ඡා කාඩාකප්පල් කිරීමට රනිල් ඒ වනවිටත් සැලසුමක් දියත් කොට තිබිණි. ඒ, අවසන් වරට හර්ෂණ රාජකරුණාගේ නිවසේ පැවැති සාකච්ඡාවට සජබයේ වෛරයට පාත්‍රව සිටින හරීන් ප්‍රනාන්දු වැන්නකු හිතාමතාම තලතා සමග ඊට සහභාගි කරවීම හරහාය. ඒ අනුව රනිල්ගේ සැලසුම වූයේ එජාප-සජබ සාකච්ඡා කඩාබිඳ දමා සිය ලන්ඩන් සංචාරය අතරතුරදී අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවට එක්වී ‘මම තමයි පොර’, ‘මම තමයි නායකයා’ යන්න එජාපයට ඒත්තු ගැන්වීමටය.
මෙහිදී අල් ජසීරා නාලිකාවේ මෙහිදි හසන් විසින් සිදුකරන ‘හෙඩ් ටු හෙඩ්’ සම්මුඛ සාකච්ඡාව පිළිබඳවද යමක් කිව යුතුව තිබේ. මෙම සාකච්ඡාවේ ආකෘතිය තරමක් වෙනස් නිසාම ඒ වැඩසටහනත්, එය මෙහෙයවන මෙහිදි හසනුත් මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය තුළ විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. එමෙන්ම මේ වනවිට එය ශ්‍රේණිගත කිරීම් අතර ඊඊක්‍ල ක්‍භභ වැනි ජාත්‍යන්තර නාලිකාවල සිදුකරන ‘හාඩ් ටෝක්’ වැනි සම්මුඛ සාකච්ඡා වැඩසටහන් හා සම මට්ටමේ ඇති එකක් ලෙසටද සැලකේ. මෙහිදී ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට ඉඩකඩ ඇති අතර, සාකච්ඡාවට සහභාගි වන තැනැත්තා ඊට පිළිතුරු ලබාදිය යුතුය. එමෙන්ම තවත් විද්වත් පිරිසක්ද සම්මුඛ සාකච්ඡාවට එක්වන අතර, ඔවුන්ටද එක් ප්‍රශ්නය බැගින් ආරාධිතයාගෙන් විමසා සිටීමේ අවස්ථාවද උදාකර දී තිබේ. ඒ අනුව රනිල් සහභාගි වන වැඩසටහනට ලංකාවේ ප්‍රශ්න සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති පිරිසක්ද විද්වත් මණ්ඩලයේ අසුන් ගැන්වීමට කටයුතු කොට තිබිණි.
කෙසේ වෙතත් එජාප-සජබ සාම සාකච්ඡා කඩාකප්පල් කොට සජිත්ටත් ප්‍රහාර එල්ල කර ‘මම පොර’ වීමට ලන්ඩනයට ගිය රනිල්ට පසුගිය සතියේදී මුහුණ දීමට සිදුවූයේ විශාල ලැජ්ජාවකට මුහුණ දීමටය. කරුමෙ කියන්නේ රනිල් පමණක් නොව රටක් වශයෙන් ලංකාවද පජාත වන තරමට මේ සාකච්ඡාව උණුසුම් එකක් වී තිබීමය.
රනිල්ට වෙච්ච දෙයක්
මෙහිදී ‘රාජ්‍ය රහස්’ තීරය එම සාකච්ඡාවේ අසුන්ගෙන සිටි ශ්‍රී ලාංකිකයෙකුගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටීමට පියවර ගත්තෙමු. එහිදී ඔහු කීවේ තමන්ද එම සාකච්ඡාවේදී රනිල්ගෙන් ප්‍රශ්නයක් ඇසීමට සිටි බවත්, රනිල්ගේ හැසිරීම නිසා සිදුවූ ලැජ්ජාවට තමන් කිසිවක් ප්‍රකාශ නොකර සිටි බවත්ය. කෙසේ වෙතත් මෙම සම්මුඛ සාකච්ඡාව අල් ජසීරා නාලිකාව විසින් ප්‍රචාරය කරයිද නැද්ද යන්න සම්බන්ධයෙන් දැන්ම කිසිවක් කිව නොහැකි නමුත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන ලංකාඊනිවුස් වෙබ් අඩවිය ඉංග්‍රීසි බසින් පළකර තිබූ ලිපියක සංක්ෂිප්ත පරිවර්තනය අපි මෙසේ ගෙනහැර දක්වමු.
මහා බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) ලන්ඩන් අගනුවර ශීතල සන්ධ්‍යාවක් ගතවෙමින් තිබිණි. එංගලන්තය වසාගෙන සිටින ශීත ඍතුවෙහි කිසිදු අඩුවක් තවද දක්නට නැත. දිනය හරියටම 2025 පෙබරවාරි 05 වැනිදාය. වේලාව සවස 7.30 වන්නට ඇතිය. ලන්ඩනයේ කොන්වේ රැස්වීම් ශාලාව යම් විශේෂ කාර්යයක් සඳහා ලකලැහැස්ති වී සිටින ආකාරය දක්නට හැකි විය. එම කාර්යය සඳහා එක්තරා සුවිශේෂ මිනිසෙකුගේ සහභාගිත්වය බලාපොරොත්තුවෙන් සිටියේය. එම පුද්ගලයා සමග යම් විශේෂිත සාකච්ඡාවක් පැවැත්වීම සඳහා තවත් කිහිපදෙනකු ලකලැහැස්තිව සිටියහ. මේ සියල්ල දෙනෙතින් ග්‍රහණය කරගැනීම සඳහා තවත් ආරාධිත පිරිසක්ද එම කොන්වේ ශාලාව වෙත රැස්ව සිටියේය. මෙම කාර්යය සඳහා සහභාගි වීමට මෙතැනට පැමිණෙන සුවිශේෂ මිනිසා කවරෙක්ද? ඔහු නම් අප බොහෝ දෙනකු හොඳින් දන්නා හඳුනන මිනිසෙකි.
ශ්‍රී ලංකාවේ සය වතාවක් අගමැති ධුරය දැරූ සහ මෙරට ජනාධිපති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා මෙම සුවිශේෂ මිනිසා විය. ඔහු පසුගියදා තමන්ගේ පෞද්ගලික සංචාරයක් උදෙසා මහා බි්‍රතාන්‍යයට පැමිණි බවට කරුණු වාර්තා විය. මෙම සංචාරය අතරතුරදී ලොව ප්‍රකට මාධ්‍ය ආයතනයක් වන අල් ජසීරා රූපවාහිනිය විසින් සිදුකරනු ලබන මාධ්‍ය සාකච්ඡාවක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා ලැබී තිබිණි. අල් ජසීරා ආයතනයේ ප්‍රකට රූපවාහිනී වැඩසටහනක් වන ‘හෙඩ් ටු හෙඩ්’ නමැති සාකච්ඡාව සඳහා මෙසේ ඔහුට ආරාධනා ලැබුණු අතර, එය මෙහෙයවනු ලබන්නේ ලොව සිටින ප්‍රකට මාධ්‍යවේදියකු වන මෙහිදි හසන් විසිනි. ලෝකයේ සිටින සුවිශේෂ එමෙන්ම බොහෝ ආන්දෝලනාත්මක චරිත සමග මෙම මාධ්‍යවේදියා තමන්ගේ විශේෂ වැඩසටහන මෙහෙයවයි. ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මෙවැනි ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය විය. එහිදී සාකච්ඡාවට ප්‍රථම හිටපු ජනාධිපතිවරයා සමග විමසිය යුතු ප්‍රශ්න කිහිපයක් ගැන මුලින් කරුණු ප්‍රකාශ වී තිබිණි. මෙම ප්‍රශ්න යම් ආන්දෝලනාත්මක කාලීන වටපිටාවක් යටතේ ගොඩනැගී තිබුණු ආකාරය දක්නට හැකි විය. එම මූලික අවස්ථාව සොයා බලමු.
විවාදය සඳහා ප්‍රධාන මාතෘකා :
- රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති ශ්‍රී ලංකාව බිඳවැටීමෙන් බේරාගත්තාද? එසේත් නැත්නම් තවත් අර්බුද සඳහා එය මාවතක් සකස් කළාද?
- දූෂණ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මැඬපැවැත්වීමේදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය කුමක්ද?
- 2019 පාස්කු බෝම්බ ප්‍රහාර වැළැක්වීමට සහ විමර්ශනය කිරීමට එකල අගමැති ලෙස ඔහුට තවත් කළ හැකි යමක් තිබුණේද?
- බටලන්ද වධ හිංසා කඳවුර – 1980 ගණන්වල අගභාගයේදී රහසිගත රැඳවුම් සහ වධ හිංසා කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ භූමිකාව කුමක්ද?
- රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම – වික්‍රමසිංහගේ රජය යටතේ රාජ්‍ය වත්කම් ඔහුගේ සමීප සහකරුවන්ට අඩු මිලට විකුණා දැමුවාද?
- වීසා සැකසුම් අපකීර්තිය – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ වීසා හැසිරවීම සඳහා ඉන්දියානු සමාගමකට ලබා දුන් මතභේදාත්මක කොන්ත්‍රාත්තුවට වික්‍රමසිංහගේ සම්බන්ධය කුමක්ද?
- බැඳුම්කර වංචාව – ශ්‍රී ලංකා ඉතිහාසයේදී විශාලතම මූල්‍ය වංචාව වන කුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවේදී ඔහුගේ භූමිකාව කුමක්ද?
- දේශපාලන පත්වීම් – වික්‍රමසිංහගේ පරිපාලනය දේශපාලනඥයන්ගේ පවුලේ සාමාජිකයන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් නොවන 45 දෙනකු ශ්‍රී ලංකා තානාපතිවරුන් ලෙස පත් කළේ ඇයි?
ලන්ඩන් නුවර කොන්වේ ශාලාවේදී සිදුකෙරෙන මෙම අල් ජසීරා මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවන මෙහ්දි හසන් ඉතා පළපුරුදු, සම්මානනීය මාධ්‍යවේදියකු වශයෙන් සැලකෙයි. දැනට 45 හැවිරිදි වියේ පසුවන ඔහු ඉන්දීය සහ බි්‍රතාන්‍ය සම්භවයක් සහිත අයෙකි. ඔහු විසින් මෙහෙයවනු ලබන ‘හෙඩ් ටු හෙඩ්’ රූපවාහිනී වැඩසටහන ඉතා ආන්දෝලනාත්මක එකකි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග ඔහු සාකච්ඡාව මෙසේ මෙහෙයවන ආකාරය දක්නට හැකිය.
මෙහ්දි හසන් – ඔබ පසුගිය සමයේ ශ්‍රී ලංකාව ආර්ථික කඩාවැටීමෙන් බේරාගත් බව කියා සිටිනවා. නමුත් ඔබේ අධීක්ෂණය යටතේ, රට පෙර නොවූ විරූ ණය බරකට ඇදවැටුණා. පාලනය කෙරෙහි මහජන විශ්වාසය ඛාදනය වුණා. ජාත්‍යන්තර සබඳතා පිරිහුණා. ඔබ පුරසාරම් දොඩන මේ ගෝලීය පිළිගැනීම කොහෙද තිබෙන්නේ?
රනිල් වික්‍රමසිංහ – අපි අයි.එම්.එෆ්. සාකච්ඡා සාර්ථකව ඉටු කළා. විදේශ ආයෝජන රැසක් මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සබඳතා රැසක්ද අපි ගොඩනගා ගත්තා. ඒ මගින් අපේ දක්ෂතාවන් සනාථ කර පෙන්වා තිබෙනවා. ඒ සඳහා ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා. එය අසත්‍යයක් නෙවෙයි.
බටලන්ද ඇද්දා

මාධ්‍යවේදී මෙහ්දි හසන් රනිල් වික්‍රමසිංහගේ කෙටිකාලීන ජනාධිපති පාලනය ගැන ප්‍රශ්න කිහිපයක් අසන අතරෙහිම යම් ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් අසන්නට තීරණය කරගත්තේය. 1989 වසරේ බොහෝ කතාබහට ලක්වූ බටලන්ද වධකාගාරයේ කතාන්දරය එය විය. අල් ජසීරා රූපවාහිනිය එය වාර්තා කර සිටින්නේ මෙසේය.
මෙහ්දි හසන් – වික්‍රමසිංහ මහත්මයාණෙනි, අපි අනෙකුත් ප්‍රශ්නවලට වඩා වැදගත් මේ ප්‍රශ්නය ගැන කතා කරමු. අපි බටලන්ද ගැන කතා කරමු. මේ අතීතය අමතක කර දමන්න බැහැ. ඔබට වධකාගාර ගැන දැනුමක් තිබුණාද නැද්ද?
මාධ්‍යවේදියා පැනය අසනවාත් සමග කොන්වේ හෝල් ශාලාවේ බිමට විශාල බරක් පතිත වනවා වැනි හැඟීමක් ඇතිවිය. දන්නා අයට කෙසේ වුණත් නොදන්නා අයට බටලන්ද යන්නෙන් අදහස් කරන්නේ 1980 දශකයේ අග භාගයේ ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ කරැල්ල අතරතුර ක්‍රියාත්මක වූ බව කියන වධකාගාරයයි. එවක එක්සත් ජාතික පක්ෂය තුළ බලවත් චරිතයක්ව සිටි රනිල් වික්‍රමසිංහට මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ බවට දිගු කලක් තිස්සේ චෝදනා එල්ල වී ඇත. එහෙත් ඔහු නිරන්තරයෙන්ම එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. නමුත් මෙහ්දි හසන්ගේ නොනවතින ප්‍රශ්න කිරීම් යටතේ ඔහුට ප්‍රතික්ෂේප කිරීමට විකල්පයක් නොවීය. හසන්ගේ තියුණු ප්‍රශ්න කිරීම් හා අසීමිත සම්මුඛ සාකච්ඡා විලාසය කොන්වේ ශාලාව අපේක්ෂාවෙන් පිරී ගියේය. ඔහු හඬ නැවත අවදි කළේය.
මෙහ්දි හසන් – ඔබට වධකාගාර ගැන දැනුමක් තිබුණාද? නැද්ද? (ඔහු තදබල ලෙස ප්‍රශ්න කළේය)
රනිල් වික්‍රමසිංහ – ඒක කැලඹිලි සහිත කාලයක්. මම පාලනය කෙරෙහි අවධානය යොමුකළා. අපට රාජ්‍යය ආරක්ෂා කිරීමට සිදුවුණා. එපමණයි.
මෙහ්දි හසන්ගේ අල් ජසීරා රූපවාහිනී සාකච්ඡාවේ වතගොත හෙළිකර සිටින එක් දේශපාලන වාර්තාකරුවකු පසුගියදා රනිල් ලන්ඩනයේදී බැටකෑ අයුරු විග්‍රහ කර සිටියේය. මෙලෙස කොන්වේ හෝල්හි සිදුවූ සාකච්ඡාව සාම්ප්‍රදායික විවාදයක් නොව, දේශපාලන මරණ පරීක්ෂණයක් හා සමාන යැයිද ඔහු විග්‍රහ කරයි. මරණ විච්ඡේදන මේසයේ රනිල් වික්‍රමසිංහ හැර වෙනත් කිසිවකුත් නොසිටි බවද ඔහු කියා සිටියි. ‘හෙඩ් ටු හෙඩ්’ වැඩසටහනේදී රනිල් වික්‍රමසිංහ තම ගෝලීය ගෞරවය නැවත ලබාගැනීමට අපේක්ෂා කළ නමුත්, ඔහු රූපක වශයෙන් සහ වචනාර්ථයෙන්ද පාහේ දර්ශනයෙන් පලාගියේ යැයි විචාරකයා ප්‍රකාශ කර තිබිණි. එසේම ඒ නිසා කොන්වේ හෝල්හි රැස්ව සිටි පිරිස ඉදිරියේ රනිල්ගේ වෙස්මුහුණ නැවත නිරාවරණය වී ඇතැයි පැවැසිණි.
අල් ජසීරා වැඩසටහන හරහා මාධ්‍යවේදියා විසින් දූෂණය, ආර්ථික අවපාලනය සහ දේශපාලන අස්ථාවරත්වය සමග ශ්‍රී ලංකාවේ අඛණ්ඩ අරගල පෙන්වා දුන් විට නොපැහැදිලි සරදම් සහ නොවරදින පහත් හැඟීමක් හැර වික්‍රමසිංහට ඉදිරිපත් කිරීමට කිසිවක් නොතිබිණි. යම් එක් අවස්ථාවක පැහැදිලිවම කලකිරී සිටි රනිල් වික්‍රමසිංහ මහතා ආවේගයෙන් මෙසේ පැවැසීය.
‘මට මේ වගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. මේක යූටියුබ් වැඩසටහනක්ද?’
‘නැහැ වික්‍රමසිංහ මහත්මයා, මේක ගෝලීය වේදිකාවක්. ඔබට වගවීමෙන් ඉවත් විය නොහැකියි’ මෙහ්දි හසන් කියා සිටියේය.
මෙම රූපවාහිනී වැඩසටහන අවසන් වන විට වික්‍රමසිංහගේ මහජන ප්‍රතිරූපය බිඳවැටෙමින් තිබිණි. ඔහු බොහෝ පැනයන්ට ඍජුව පිළිතුරු නොදුන් අතර, යම් ආවේගයකින් සිටින ආකාරයද දක්නට හැකි විය. එක් එක් තියුණු චෝදනා සමග ඔහුගේ විශ්වාසය වාෂ්ප වෙමින් රනිල් වික්‍රමසිංහ අපහසුවෙන් දඟලන ආකාරය ප්‍රේක්ෂකයෝ බලා සිටියහ. අත්පොළසන් හඬක් ඔවුන්ගෙන් නොලැබුණු අතර, ඔවුන් මවිතයට පත් මැසිවිලි හැඟීම්වලින් සිටින ආකාරය දක්නට හැකි විය. කුණාටු සහිත මුහුද හරහා ශ්‍රී ලංකාව මෙහෙයවන ස්ථිර හස්තය ලෙස වරක් පෙනී සිටි මිනිසා, දැන් තම අතීතයට මුහුණ දීමට හෝ තම වර්තමානය සාධාරණීකරණය කිරීමට පවා නොහැකි නායකයකු ලෙසට හෙළිදරව් වී ඇත.
මෙම කතාන්දරයේ කූටප්‍රාප්තිය පැමිණ සිටින්නේ මෙතැනදීය. එංගලන්තයේ ලන්ඩන් නුවරදී අසාර්ථක මාධ්‍ය සාකච්ඡාවකට මුහුණ දුන් රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම එංගලන්තයේ සංචාරය අවසන් කර එරට මාධ්‍ය මගහරිමින් ඕමානයට පිටත්ව ගිය බවට කරුණු ප්‍රකාශ විය. මෙම තත්ත්වයේදී එක් බි්‍රතාන්‍ය දේශපාලකයකු අපූරු කියුමක් ප්‍රකාශ කර ඇත. ‘රනිල් දැන් ඉවරයි. ඔහු තවත් අවමානයට ලක්වීමට පෙර විශ්‍රාම ගත යුතුයි. ඔහු ඉල්ලා අස්නොවන්නේ නම් ජනතාව ඔහු වෙනුවෙන් එය කරනු ඇත…’ යැයි ප්‍රකාශ කර ඇත.
රිචඩ් සහ විජය
මේ දිනවල මැති ඇමැතිවරුන් මෙන්ම දේශපාලනඥයන් අතර ප්‍රකට චිත්‍රපටයක් වී ඇත්තේ අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළ ‘රාණි’ චිත්‍රපටයය. හිටපු මාධ්‍යවේදියකු වන රිචඩ් ද සොයිසා ඝාතනය අලලා තැනූ මෙම චිත්‍රපටයට මුදල් වියදම් කර තිබුණේ ආන්දෝලනාත්මක ව්‍යාපාරිකයකු වන ලයිකා මොබයිල් හිමිකරු වන අලිරාජා සුබාස්කරන්ය. චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනකුගෙන් කළ විමසීම්වලදී ඔවුන් සඳහන් කළේ වත්මන් ආණ්ඩුව සමග සම්බන්ධයක් ගොඩනගා ගැනීමේ අරමුණෙන් සහ ආණ්ඩුවට උදව් කිරීමේ අරමුණෙන් ලයිකා මොබයිල් හිමිකරු මෙම ‘රාණි’ චිත්‍රපටය නිෂ්පාදනය කොට ඇති බවක් පෙනෙන්නට ඇතැයි කියාය. කෙසේ වෙතත් මේ වනවිට ‘රාණි’ චිත්‍රපටය සිනමා ක්ෂේත්‍රයේ ‘හිට්‘ එකක් බවට පත්ව අවසානය. ඊට හොඳ, නරක යන විවේචන දෙකම එල්ල වෙමින් පවතින බවක්ද දැකගන්නට පුළුවන. චිත්‍රපටයේ රිචඩ් ද සොයිසාගේ නිවසට හිටපු ජනාධිපති ප්‍රේමදාස පැමිණෙන විට රිචඩ්ගේ මව කෝපයෙන් යුතුව අහක බලාගෙන සිටින ආකාරයක් පෙන්නුම් කළද, සැබෑ ජීවිතයේදී ඇය එසේ නොවන බව මේ වනවිට සමාජ මාධ්‍යයේ පළවී ඇති ඡායාරූප දෙකකින් පැහැදිලිවම දැකගන්නට තිබේ. සත්‍ය ඡායාරූපයේ ප්‍රේමදාස රිචඩ් ද සොයිසාගේ නිවසට පැමිණි පසු රිචඩ්ගේ මව වන මනෝරාණි ප්‍රේමදාස අසලින් හිඳගෙන ඉතා කුළුපගව ඔහු සමග අදහස් හුවමාරු කරගන්නා ආකාරයක් දැකගත හැකිය. මේ පළවෙන්නේ චිත්‍රපටයේ එම ඡායාරූපය සහ සැබෑ ඡායාරූපයය.


කෙසේ වෙතත් චිත්‍රපටය තිරගත වීමෙන් පසු මේ වනවිට විවිධ පිරිස් ඒ සම්බන්ධයෙන් විචාර ඉදිරිපත් කරන ආකාරයක්ද දැකගැනීමට පුළුවන. එහි ඉදිරියෙන්ම සිටියේ රිචඩ්ගේ එවක අති සමීපතමයකු ලෙස සැලකෙන මහාචාර්ය රජීව විජේසිංහය. පසුගිය සතියේ ‘අරුණ’ පුවත්පතට සංජය නල්ලපෙරුම සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රජීව් පළමු වතාවට ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක් කර තිබිණි. එහිදී රජීව්, රිචඩ් සමග සිය පැරැණි හිතවත්කම ඔහු ඝාතනය වන අවස්ථාව දක්වාම පැහැදිලි කර තිබිණි. කෙසේ වෙතත් මෙම ලිපිය පළවීමෙන් පසු මේ වනවිට ලන්ඩනයේ සිටින ‘රාවය’ පුවත්පතේ හිටපු මාධ්‍යවේදියකු වන උවිඳු කුරුකුලසූරිය ඊට තවත් විශේෂ යමක් එක්කොට තිබිණි. ඒ, රිචඩ් සම්බන්ධයෙන් මාධ්‍යවේදී වරුණ කරුණාතිලක, වික්ටර් අයිවන්ට කළා යැයි කියන ප්‍රකාශයකි. එම ප්‍රකාශය පහත දැක්වේ.
‘හොඳ ස්මරණයක් ඍ්වසඩ්. ඒත් පසුව වරුණ, අයිවන්ට කීවේ රිචඩ් ජනතා විමුක්ති පෙරමුණේ බවත්, රහසිගතව වැඩවර්ජන මෙහෙයූ බවත්, ඝාතනයට ලක්වන විට විජේවීරගේ ‘දෙමළ ඊළමට විසඳුම කුමක්ද’ පොත ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් සිටි බවත්ය. ඒත් ඒ කිසිවක් සමාජයට මනෝරාණිවත් කීවේ නැත. ඝාතනය සමාජගත වූයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ඝාතනය කිරීමක් ලෙසය. වසර ගණනාවකට පසු වරුණගෙන් දැනගත් අර කතා ටික වික්ටර් ලිවීය. ඒකට කේන්ති ගිය ‘දි අයිලන්ඩ්’ එඩිටර් ගම්මා ‘ඇයි මේව කලින් නොකියා මානව හිමිකම් ක්‍රියාදරයෙකු ලෙස පිංතාරු කළේ’ පන්නයේ කතුවැකියක් ලිවීය.’
කොම්රේඩ් ලයනල්

මේ සියල්ල අතරතුර රිචඩ් ද සොයිසා ඝාතනය කෙරුණු භීෂණ සමය නැවත වතාවක් විවිධාකාරයෙන් කරලියට එමින් තිබේ. අලිරාජා සුබාස්කරන්, අශෝක හඳගම සමග එක්ව ‘රාණි’ චිත්‍රපටය නිර්මාණය කරද්දී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම පුවත්පත් කර්තෘවරයකුද වූ ධර්මන් වික්‍රමරත්න අලුත්ම තාලයේ වැඩකට අතගසා තිබේ. ඒ, 88-89 කාලයේදී ඝාතනයට ලක්වූ විජය ඇතුළු 41 දෙනකු පිළිබඳ අලුත්ම පොතක් නිර්මාණය කරමිනි. එකල ධර්මන් හංවඩු ගැසී තිබුණේද ජේ.වී.පී.කාරයකු ලෙසටය. ඒ, ධර්මන් ජවිපෙ ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබඳ ‘දිවයින’ පුවත්පතට ලිපි සම්පාදනය කිරීම නිසාය. ඒ හරහා ධර්මන්ද රට ඇතුළේ ජනප්‍රිය චරිතයක් බවට එවකදී පත්ව තිබිණි. නමුත් ජවිපෙ කැරැල්ල අවසන් වූවාට පසු ධර්මන් කිසිවකුටත් හසු නොවුණු භීෂණ සමයේ කුරිරු ඝාතන රැසක් සාධක සාක්ෂි සහිතව රටට හෙළිකිරීමට පියවර ගත්තේය. ධර්මන් රට වටේ ඇවිදිමින් ජවිපෙ විසින් ඝාතනය කරනු ලැබූ බව කියන පුද්ගලයන්ගේ තොරතුරු සොයා ගියේය. ඒවා පුවත්පත්වල ලිවීය. ඒ අනුව ධර්මන් දැන් සූදානමින් සිටින්නේ හඳගමගේ ‘රාණි’ චිත්‍රපටය හරහා හිට් කළ ප්‍රස්තුතයම විජයගේ ඝාතනය පොතක් හරහා එළිදක්වමින් ‘හිට්‘ කරන්නටය. ධර්මන් ඒ සඳහා තෝරාගෙන ඇත්තේ විජය ඇතුළු 41 දෙනකු මරාදැමූ ජවිපෙ ක්‍රියාකාරිකයා ලෙස සැලකෙන ලයනල් රණසිංහගේ අප්‍රකට කටඋත්තරයය. ඒ අනුව ‘රාණි’ බලා චූන් එකේ සිටින අයට ඒ චූන් එක සමබර වන්නට ධර්මන් මේ වනවිට අතිවිශාල තොරතුරු රැසක් සහිත පොතක් එළිදැක්වීමට පියවර ගෙන ඇත. එම පොතෙහි නම වන්නේ ‘ජවිපෙ 2 වැනි කැරැල්ලේදී විජය කුමාරතුංග ඇතුළු 41ක් ඝාතනය කළ තුවක්කුකරුවකු කියන කතාව – කොම්රේඩ් ලයනල්’ ය.










