පොහොට්ටුවේ 12ක් එක්ක රොෂාන් රහස් සාකච්ඡාවක!
ඊළග මෙහෙයුමට ලෑස්ති වෙයි!
සිරිකොත ඇතුළෙත් ලොකු වළියක්!
රොෂාන් පන්නන මෙහෙයුම පටන් ගනී!
ආණ්ඩුව ඇතුළේ විශාල පිපිරුමක් සනිටුහන් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන වංචා දූෂණ හෙළිදරව් කිරීමෙන් පසු ඇතිවූ කලබගෑනිය පසුගිය සතියේ මඳකට අවසන් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රොෂාන්ව ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමත් සමගය. ජනාධිපතිවරයා රොෂාන්ව ක්‍රීඩා ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට මුලින්ම තීන්දු කළේ පසුගිය සතියේ නොව පළමු වතාවට ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ හෙළිදරව් කරමින් සහ ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් චෝදනා කරමින් පාර්ලිමේන්තුවේ අදහස් ඉදිරිපත් කළ ඊට පෙර සතියේදීය. එදිනද ජනාධිපතිවරයා රොෂාන්ව අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරීමේ ලිපිය රැගෙන පාර්ලිමේන්තුවට පැමිණියද එය රොෂාන්ට ලබාදීම වළක්වාලූයේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාත්, නිමල් ලන්සා මහතාත්ය. ජනාධිපතිවරයා රොෂාන්ව ඇමැතිකමෙන් ඉවත් කිරීමට තීන්දු කොට ඇති බවට වූ තොරතුර දැනගත් වහා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කාර්යාලයට පැමිණි මේ දෙදෙනා එය නොකරන ලෙසත්, මේ අවස්ථාවේදී රටම සිටින්නේ රොෂාන් සමග බැවින් ඔහුව ඉවත් කළහොත් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්වීම වැළැක්විය නොහැකි බවත් පෙන්වා දී ජනාධිපතිවරයාගේ එම උත්සාහය නවතාලීමට පියවර ගෙන තිබිණි. නමුත් පසුගිය සතියේදී රොෂාන් ජනාධිපතිවරයාත්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායකත් ඉලක්ක කොට එල්ල කළ දැඩි ප්‍රහාරය රොෂාන්ව ඇමැති ධුරයෙන් ඉවත් කිරීම ඉක්මන් කොට තිබිණි.Sri Lanka Latest News
වාහනයේ ප්රශ්නය!
මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ ඉකුත් සති අන්තයේ සිදුවූ එක්තරා සිදුවීමකි. ඉකුත් සෙනසුරාදා දිනයේදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් රොෂාන් රණසිංහට අයත් කුරුණෑගල පිහිටි වාහන අංගණයක් පරීක්ෂා කොට එහි තිබී එකලස් කරන ලද ජීප් රථයක් සොයාගෙන තිබිණි. පසුව එම ජීප් රථය රොෂාන්ට අයත් එකක් බවට මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබූ අතර, ඊට විශාල ප්‍රසිද්ධියක් ලබාදීමටද කිසියම් පාර්ශ්වයක් විසින් පියවර ගෙන තිබිණි. මෙය පැහැදිලිවම රොෂාන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව සැලසුම් කළ එකක් බව බැලූ බැල්මටම සියල්ලන්ටම දැකගන්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය රොෂාන්ගෙන් ප්‍රශ්න කරද්දී රොෂාන් කියා සිටියේ තමන් ඊට පසුදින පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදීමට පියවර ගන්නා බවය.
පත්තරේ පුවත පැළවෙයි!
එමෙන්ම ප්රශ්නය තවත් උග්‍ර අතට පෙරලුණේ සඳුදා දින ජනාධිපතිවරයාගේ ඥාතීන්ට අයත් පවුලේ පුවත්පතක් වන ඩේලි මිරර් පුවත්පත මෙම ජීප් රථය සම්බන්ධ සිද්ධිය මුල් පිටුවේම පළකරමින් ඊට රොෂාන් රණසිංහ සම්බන්ධ බවට ඍජුවම සඳහන් කර තිබීම නිසාය. එය පාර්ලිමේන්තුවේදී සඳුදා උදෑසනම සභාවට ඉදිරිපත් කළේ කලක් විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණ මේ වන විට ස්වාධීනව කටයුතු කරන නිමල් පියතිස්ස මහතාය. මීට අමතරව ජවිපෙ රැස්වීමක් අමතමින් එහි ප්රචාරක ලේකම් විජිත හේරත්ද මෙම පුවත පිළිබඳ සඳහන් කරමින් ප්‍රසිද්ධියේම කියා සිටියේ රොෂාන් රණසිංහ ජීප් රථයක් හොරන් ගෙනැවිත් ඇති බවට කරුණු අනාවරණ වී ඇති බවය.
ජවිපෙට ප්‍රහාරයක්!
මෙහිදී රොෂාන් විසින් ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් ප්රශ්නය මතු කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයම රොෂාන් වෙනුවෙන් පෙනී සිටියද ජවිපෙ ඒ සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය පිළිබඳ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනකුට දැඩි විවේචනයක් තිබිණි. ඒ, කිසිදු අවස්ථාවක ජවිපෙ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් විවේචනය කරමින් හෝ ඔවුන්ට එරෙහිව අදහස් නොදැක්වීම හේතුකොට ගෙනය. මීට අමතරව ක්‍රිකට් සම්බන්ධයෙන් පැවැති විශේෂ කෝප් කමිටු රැස්වීමේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊට සහභාගි වී සිටියත්, කප්පරක් චෝදනා ක්‍රිකට් ආයතනයට එල්ලවී තිබුණු පසුබිමක් යටතේ අනුර ප්‍රශ්න කළේ ඒ මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් නොව සුළු සිද්ධීන් සම්බන්ධයෙන් වීම විශේෂත්වයකි. මේ පිළිබඳව රොෂාන්ද පාර්ලිමේන්තුවේදී ජවිපෙට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් අදහස් දක්වනු දැකගත හැකි විය. ඒ අනුව ජවිපෙට ක්‍රිකට් නිහඬතාව මුල්කරගෙන පසුගිය දින කිහිපය පුරාම දැඩි විරෝධයක් පාර්ලිමේන්තුව ඇතුළෙන්ම එල්ල වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
වාහනේ කතාව මෙන්න!
ඒ අනුව නිමල් පියතිස්සටත්, ජනාධිපතිවරයාටත්, සාගලටත් උත්තර දෙමින් රොෂාන් සඳුදා දින පෙරවරුවේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ පැහැදිලි කිරීමක් සිදුකිරීමට පියවර ගත්තේය. එහිදී රොෂාන් රණසිංහ කීවේ මෙම වැටලීම පසුපස ආණ්ඩුවේ යම් යම් පිරිස් සිටින බවකි. තමන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටියේ නම් තමන්ට අයත් ආයතන හතම පරීක්ෂා කිරීම සඳහා අදාළ යතුරු කැරැලි තමන් විසින් කතානායකවරයාට භාරදෙන බවද මෙහිදී රොෂාන් කියා සිටියේය.
ජනපතිටත් ෂොට් එකක්!
මීට අමතරව රොෂාන් ජනාධිපතිවරයාටද දැඩි ප්‍රහාරයක් එල්ල කළේ ‘මාව ෆ්‍රේම් කරන්න ජනාධිපතිතුමා ලස්සනට ප්ලෑන් කරනවා’ යැයි කියමිනි.
‘මෙතැන බැලුවේ මාව කොහොමද ෆ්‍රේම් කරන්නේ කියලා. මාව ෆ්‍රේම් කරන්න යැව්වේ වලානෙන්. එතකොට වලාන දූෂණ මර්දන ඒකකයේ ඉන්න මිනිස්සුන්ටත් හිතක් පපුවක් තියෙනවා නේ. මේ මිනිස්සුන්ට කියලා තියෙන්නේ ඉස්සෙල්ලාම යන්න කියල කුරුණෑගලට. ගියාට පස්සේ දන්නේ නැහැ කොහෙටද යන්නේ කියලා. ඊට පස්සේ කිව්වා ගලේවෙලට යන්න කියලා. ගලේවෙලට ගියාට පස්සේ කිව්වා ඔය පාලම ළඟ දකුණට දැම්මම තියෙන්නේ යුරෝ නිපොන් එක. යුරෝ නිපොන් කියන්නේ රොෂාන් රණසිංහගේ ගෲප් එකේ ආයතනයක්. ප්‍රශ්නයක් තියෙනව නම් ඒ ගැන කටයුතු කරන්න. මගේ ආයතන වටලන්න අවශ්‍යයි කියලා කිව්ව නම් මගේ ආයතනයේ යතුරු කැරැල්ල මම ඔබතුමාට (කතානායකවරයාට) ගෙනල්ලා දෙනවා. ඔබතුමාට මම අද දෙන්නම් මගේ ආයතන අටේම යතුරු කැරැල්ල. මේවා එකින් එක පරීක්ෂා කරන්න. ප්‍රශ්නයක් නැහැ…’ යනුවෙන් කී රොෂාන්, තමන්ට චෝදනා කළ නිමල් පියතිස්සට මෙන්ම ජවිපෙ විජිත හේරත්ටද පිළිතුරු ලබාදීමට පියවර ගත්තේය.
ජවිපෙට උත්තර!
‘නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා කිව්වා මෙහෙම වාහනයක් තිබ්බා, බදු ගෙවලා නැහැ කියලා. ඊට පස්සේ යුරෝ නිපොන් ආයතනය වටලලා ගත්තේ කියලා. පුවත්පත්වල පළකරලා තියෙන අසත්‍ය ප්‍රවෘත්තිය බලන්න. මගේ ආයතනයේ තිබිලා වාහනයක් අරගෙනත් නැහැ. යුරෝ නිපොන් ආයතනයට ඒකේ අයිතියකුත් නැහැ. රොෂාන් රණසිංහගේ නමට ඒකේ අයිතියකුත් නැහැ, මොනවාද මේ දාන්නේ? ඊට පස්සේ විජිත හේරත් මන්ත්‍රීවරයා එළියේ ප්‍රකාශ ඉදිරිපත් කරනවා. දැන් මේ පත්තරේනේ තියන්නේ.’ යනුවෙන් එහිදී රොෂාන් කියා සිටියේය.
ජනපතිගෙන් තද කෝල් එකක්
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී කළ මෙම ආන්දෝලනාත්මක අදහස් දැක්වීමත් සමග රොෂාන්ගේ ජංගම දුරකතනයට වහාම ඇමතුමක් ලැබිණි. ඇමතුමේ එහා කෙළවර සිටියේ වෙන කවුරුවත් නොව ජනාධිපතිවරයාය. ඇමතුම ගත් සැණින් දැඩි කෝපයට පත්ව සිටි ජනාධිපතිවරයා රොෂාන්ට බැණගෙන බැණගෙන ගිය අතර, ඊට පිළිතුරු ලබාදීමට පළමුව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දුරකතනය විසන්ධි වී ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
කැබිනට්ටුව පාර්ලිමේන්තුවට!
ඉන් අනතුරුව ජනාධිපතිවරයා මෙතෙක් ගෙන නොතිබූ තවත් එක් තීන්දුවක් ගනු ලැබිණි. ඒ, එදින රැස්වීමට නියමිතව තිබූ කැබිනට් මණ්ඩල හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නොපවත්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට සැලසුම් කිරීමය. ඒ අනුව කැබිනට් මණ්ඩල රැස්වීම එදින සවස 3ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 3හි පැවැත්වෙන බව සියලු කැබිනට් ඇමැතිවරුන්ට දැනුම් දීමක් කෙරුණු අතර, ඊට සහභාගී වීමට පෙරාතුව තවත් විශේෂ ලිපියක්ද සකස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ අන් කිසිවක් නොව රොෂාන්ව ක්‍රීඩා හා මහවැලි අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට අදාළ ලිපියය. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල හමුවට වාඩිවූයේම මෙම ලිපිය සූදානම් කර පසෙක තබාගෙනය.
රොෂාන් විරුද්ධ වෙයි!
මේ කිසිවක් නොදත් රොෂාන්ද කිසිදු වෙනසකින් තොරව එදින කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වූයේ ක්‍රිකට් සම්බන්ධ සිදුවීම යළි ඇදුණහොත් ඊට පිළිතුරු ලබාදීමේ සූදානමින් යුතුවය. ඒ අනුව කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් පසුගිය සතියේ කැබිනට් මණ්ඩල වාර්තාව ඉදිරිපත් කරන ලෙසට දැනුම් දීමක් කෙරිණි. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ කැබිනට් ලේකම් ඩොනල්ඩ් විසිනි. එහිදී ඩොනල්ඩ් පසුගිය වාර්තාව ඉදිරිපත් කරමින් අවසානයේදී කියා සිටියේ ක්‍රිකට් හෝ යම් ක්‍රීඩාවක අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍ය බවට කැබිනට් මණ්ඩලය විසින් තීන්දුවක් ගත් බවකි.
උත්තර දෙන්න පටන් ගනී!
කෙසේ වෙතත් මෙම කැබිනට් වාර්තාව කියවා අවසන් වීමත් සමග පළමු වරට කතා කළේ රොෂාන්ය. රොෂාන් එහිදී කියා සිටියේ අතුරු කමිටුවක් පත්කිරීමේදී කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට තීන්දුවක් ඉකුත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී නොගත් බවකි. ඊට ජනාධිපතිවරයා පිළිතුරු ලබාදීමට පෙර පිළිතුරු ලබාදුන්නේ කැබිනට් ලේකම් ඩොනල්ඩ්ය.
‘නෑ, එහෙම තීන්දුවක් ගත්තා. ඒක මාධ්‍යයෙත් පළවුණා…’ යනුවෙන් ඩොනල්ඩ් කියද්දී රොෂාන් ඊට පිළිතුරු ලබාදෙමින් කීවේ එවැන්නක් පිළිබඳ තමන් පමණක් නොව අනෙකුත් ඇමැතිවරුන් පවා නොදන්නා බවත්, එවැනි තීන්දුවක් කැබිනට් මණ්ඩලයෙන් නොගත් බවත්ය. නමුත් එහිදී ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා කීවේ ඒ පිළිබඳ කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ සාකච්ඡා කළ බවත්, යම් ක්‍රීඩාවකට අතුරු පාලක මණ්ඩලයක් පත්කරන්නේ නම් ඊට කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට තීන්දුවක් ගත් බවත්ය.
මම විරුද්ධයි!
නමුත් ඊට රොෂාන් සිය විරෝධතාව ජනාධිපතිවරයාට පළ කිරීමට පියවර ගත්තේ එවැනි තීන්දුවක් ගත්තේ නම් එය නීති විරෝධී බව ජනාධිපතිවරයාගේ මුහුණටම කියමිනි.
‘ ජනාධිපතිතුමනි, එහෙම තීන්දුවක් ගත්තා නම් වැරදියි. ඒකට මම විරුද්ධයි. මොකද ඒක නීති විරෝධීයි. ක්‍රීඩා පනතෙන් බලය දිලා තියෙන්නේ අතුරු කමිටු පත්කිරීමේ බලය විෂය භාර ඇමැතිවරයාටයි. ක්‍රීඩා විෂය භාර ඇමැතිවරයා මේ විදියට හෑල්ලු කරන්න එපා. මම ඒකට විරුද්ධයි…’ යනුවෙන් රොෂාන් පිළිතුරු දෙද්දී ජනාධිපතිවරයා කීවේ එය කැබිනට් මණ්ඩලය එකතුවී ගත් තීන්දුවක් බවත්, සාමූහික වගකීමට අනුව සියලු අමාත්‍යවරුන් එය පිළිපැදීමට බැඳී සිටින බවත්ය.
නමුත් ඊටද සිය විරෝධය පළකළ රොෂාන්, ජනාධිපතිවරයාට කියා සිටියේ ‘සාමූහික වගකීම කියලා ජනාධිපතිතුමනි වැරැදි දෙයක් කරන්න බෑනෙ’ කියාය.
චෝදනා දෙකක්!
ඉන් අනතුරුව ජනාධිපතිවරයා මාතෘකාවට පිවිසෙමින් රොෂාන්ට චෝදනා දෙකක් ඉදිරිපත්ව ඇති බව දැනුම් දීමට පියවර ගත්තේය. ඉන් එක් චෝදනාවක් වූයේ ක්‍රිකට් තහනම ඉවත් කරගැනීම සඳහා අලි සබි්ර මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත්කොට තිබියදී විපක්ෂ නායක සජිත් සමග රොෂාන් ක්‍රිකට් තහනම පිළිබඳ ඉන්දීය මහකොමසාරිස්වරයා සමග සාකච්ඡා කොට ඇති බවය. අනෙක් චෝදනාව වූයේ ඉඩම් අමාත්‍යවරයා වශයෙන් රොෂාන් සිය හිතවතුන්ට ඉඩම් ලබාදීමට කටයුතු කොට ඇති බවය.
ප්‍රශ්න දෙකක්!
‘දැන් රොෂාන් මෙතැන ප්‍රශ්න දෙකක් තියෙනවා. ක්‍රිකට් තහනම ඉවත් කරගන්න මම අලි සබි්ර ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ‘සබ් කමිටි’ එකක් දාලා තියෙද්දී ඔයා සජිත් හම්බවෙලා ඒ ගැන ඉන්දීය මහකොමසාරිස්තුමා එක්ක සාකච්ඡා කරලා තිබුණා. ඒක කැබිනට් සාමූහික වගකීම කඩකිරීමක්. අනෙක් චෝදනාව තමයි ඔයා කැබිනට් මණ්ඩලයට එවලා තියෙනවා පත්‍රිකාවක් ඔයාගේ ඥාතීන්ට මහවැලියේ ඉඩම් දෙන්න කියලා’ යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී එම චෝදනා නිහඬව අසා සිටි රොෂාන් ජනාධිපතිවරයා සිය කතාව අවසන් කරනවාත් සමග ඊට පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.
දෙකටම උත්තර දෙයි!
‘ජනාධිපතිතුමනි, ඔබතුමා අතුරු කමිටුව පත්කළේ ක්‍රීඩා පනත හදන්නයි. ඒ අතරවාරයේ මම අතුරු කමිටුවක් පත්කරනවා ඒකට මට සහාය දෙන්න කියලා ඔබතුමාට කතා කරලා කියද්දී ඔබතුමා මට කෑගැහුවා, ‘නෑ නෑ මගෙන් කිසි උදව්වක් නෑ, මම ඕවට සහාය දෙන්නෙ නෑ, මම එකඟ නෑ, වහාම ගැසට් එක අයින් කරගන්න’ කියලා. මම අතුරු කමිටුව පත්කළේ ක්‍රීඩා අමාත්‍යවරයා විදියට මට දීලා තියෙන බලය පාවිච්චි කරලා.
ඉන්දීය මහකොමසාරිස්තුමාගේ වැඩේ!
දෙවැනි කාරණය තමයි ජනාධිපතිතුමනි මම ක්‍රිකට් තහනම අයින් කරගන්න විපක්ෂ නායකතුමා එක්ක ඉන්දීය මහකොමසාරිස්තුමාට කතාකරලා කැබිනට් සාමූහික වගකීම කඩලා කියලා ඔබතුමා කරපු චෝදනාව මම ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒක මම සංවිධාන කරපු සාකච්ඡාවක් නෙවෙයි. විපක්ෂ නායකතුමා වෙන මොකක් හරි වැඩකට එදා ඉන්දීය මහකොමසාරිස්තුමාව පාර්ලිමේන්තුවේ එතුමාගේ කාර්යාලයට කැඳවලා. මට එතුමාගෙන් ඇමතුමක් ආවා මෙහෙම ඉන්දීය මහකොමසාරිස්තුමා ඇවිත් ඉන්නවා, පුළුවන් නම් පොඩ්ඩක් ඇවිත් හමුවෙලා මේ ප්රශ්නය ගැන කතාකරන්න කියලා. ඒ නිසයි මම ගියේ. මම එතැනට යද්දී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්රීතුමයි, අර්ජුන රණතුංගයි ඒ කාමරේ හිටියා. අර්ජුන ඉන්න බවක්වත් මම එතැනට යනකම්ම දන්නෙ නෑ. එතැනදී විපක්ෂ නායකතුමා තමයි ඉන්දීය මහකොමසාරිස්තුමාට කිව්වේ මෙහේ ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්න දූෂණ ගණනාවක් තියෙනවා, ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න අයට චෝදනා එල්ල වෙලා තියෙනවා, ඒ අය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ජේ ෂා ට කවර් වෙලා බේරෙන්න හදනවා, ඔබතුමා ඉන්දීය ක්‍රිකට් බෝඩ් එකට මේ පණිවුඩය දැනුම් දීලා ක්‍රිකට් තහනම ඉවත් කරගන්න උදව් කරන්න කියලා. අනෙක එතුමා කිව්වා ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම එකතු වෙලා ඒකමතිකව තමයි මේ ක්‍රිකට් ආයතනයේ දූෂණ නැතිකරන්න තීන්දු කළේ කියලා. එතැනදී ඉන්දීය මහකොමසාරිස්තුමා කිව්වේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයටත් මේ වගේ දූෂණ චෝදනා ආවාම ‘ලෝදා’ කමිටු වාර්තාව ඉදිරිපත් කරලා අධිකරණය හරහා ඉන්දීය ක්‍රිකට් පිරිසිදු කරන්න ආණ්ඩුව මැදිහත් වුණා කියලයි. එතැන සිද්ධ වුණේ එච්චරයි ජනාධිපතිතුමා. ඒ ටික කතාකරලා ඉවර වුණු ගමන් මම එතනින් නැගිටලා ආවා. ඊට එහා එතැන මොනවත් වුණේ නැහැ.
ඉඩම් ප්රශ්නය!
ඊළඟ කාරණය තමයි ජනාධිපතිතුමා කිව්වා මම මහවැලි ඉඩම් ඥාතීන්ට දෙන්න කැබිනට් පත්‍රිකාවක් දාලා කියලා. ඔබතුමා 2022.11.11 විශේෂ ලිපියක් නිකුත් කරලා තිබුණා ඉඩම් බෙදීම නවත්වන්න කියලා. ඉඩම් ලබාදීමට ඇමැතිට අයිතිය තිබුණත් ඒ ලිපියට ගරු කරලා මම ඒ කිසි දෙයක් කළේ නෑ. මම මේ කැබිනට් පත්‍රිකාව යොමු කළේ ෂෙඩ් 4ක් ඉදිකරන්න ලයිසන් හිමිවෙලා තිබ්බ අය ඒකට ඉඩම් අවශ්‍යයි කියලා මට දැනුම් දීලා තිබුණා. ඊගාවට වගා කටයුත්තක් සඳහා විහාරස්ථාන තුනකට ඉඩම් අවශ්‍යයි කියලා තිබුණා. ඊගාවට ව්‍යාපාරික කටයුතුවලට ඉඩම් අවශ්‍යයි කියලා ආයතන දෙකක් ඉල්ලා තිබුණා. අනෙක තමයි 2014දී ඔබතුමා පේරාදෙණියේ තියෙන දූපතක් දෙන්න කියල කරපු ඉල්ලීමක්. ඒ යෝජනාවත් මේ කැබිනට් පත්‍රිකාවේ තිබුණා. ඒ ඇරෙන්න මෙතැන මගේ කිසිම ඥාතියෙක් නෑ. ඉතින් මේකට විරුද්ධ නම් ඒ පත්‍රිකාවට අනුමැතිය දෙන්න එපා…’ යනුවෙන් කියමින් රොෂාන් ජනාධිපතිවරයා විසින් තමන්ට එල්ල කළ චෝදනා දෙකටම පිළිතුරු ලබාදීමට පියවර ගත්තේය.
අස්වීමේ ලියුම එළියට!
කෙසේ වෙතත් රොෂාන් මේ ආකාරයෙන් තමන්ට එල්ල වූ චෝදනා දෙකටම පිළිතුරු ලබාදීමට පියවර ගත්තද ඉන් සෑහීමකට පත්වූ බවක් නොපෙන්වූ ජනාධිපතිවරයා සිය ආරක්ෂකයකු දෙසට හැරී ‘අර ලියුම ගන්න’ යැයි කියා සිටියේය. ඒ අනුව ලියුම අතට ගත් ජනාධිපතිවරයා ‘මේ ඔයා කැබිනට් ඇමැතිකමෙන් ඉවත් කිරීමේ ලියුම’ යැයි කියමින් එම ලිපිය රොෂාන් අතට ලබාදීමට පියවර ගත්තේය. ක්‍රිකට් දූෂණ ගැන කතාකොට ක්‍රිකට් සුද්ද කිරීමට යෑමේදී කොයි මොහොතේ හෝ මෙවැනි ප්‍රතිඵලයකට මුහුණ දීමට සිදුවනු ඇති බව කල්තියාම දැන සිටි රොෂාන් කිසිදු වෙනසක් නොපෙන්වා අදාළ ලිපිය ගෙන තමන්ට මෙතෙක් දැක්වූ සහයෝගය වෙනුවෙන් ජනාධිපතිවරයාටත්, සියලු කැබිනට් ඇමැතිවරුන්ටත් ස්තුති කොට කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පිටව ඒමට පියවර ගත්තේය.
මාධ්‍ය ඒකකයේ නිවේදනය!
කෙසේ වෙතත් එහි හොඳම හරිය දැකගන්න ලැබුණේ ඉන් අනතුරුවය. ඒ, රොෂාන්ගේ ඇමැතිකම ගැලවීම මුල්කරගෙන ජනාධිපති මාධ්‍ය ඒකකය නමින් සියලු පුවත්පත්වලට සහ මාධ්‍ය ආයතනවලට නිකුත් කළ නිවේදනයක් හේතුකොට ගෙනය. එම නිවේදනයේ සඳහන්ව තිබුණේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී රොෂාන්ගෙන් ප්‍රශ්න දෙකක් විමසා සිටි බවත්, ඒ දෙකටම රොෂාන් නිරුත්තරව සිටි බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයා රොෂාන් රණසිංහව කැබිනට් ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට තීන්දු කළ බවද එහි සඳහන්ව තිබිණි. නමුත් ඇත්තටම සිදුව තිබුණේ ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්න දෙකටම රොෂාන් විසින් ඒ මොහොතේම පිළිතුරු ලබා දී තිබීමය.
ඉස්සරහට මොනවා වෙයිද?
කෙසේවෙතත් ක්‍රිකට් ආයතනයේ මහාපරිමාණ වංචා දූෂණ රටට ඉදිරිපත් කොට ක්‍රිකට් ආයතනය සුද්ද කරන්නට ගිය රොෂාන්ට ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් සහාය හිමිවනු ඇතැයි රටම බලාගෙන සිටියද අවසානයේදී සිදුවූයේ හොරකමට එරෙහිව කතා කළ රොෂාන්ට ඇමැතිකම නැතිවී දූෂණ චෝදනා එල්ලවූ ක්‍රිකට් ආයතනයේ බලධාරීන්ගේ තනතුරු සුරක්ෂිත වී තිබීමය.
එසේනම් රොෂාන් දැන් කුමක් කරනු ඇද්ද? හොරකමට එරෙහිව කතා කළ රොෂාන්ට ආණ්ඩුව පැත්තේ ප්‍රතිචාරය කෙබඳුද? රොෂාන්ගේ ඉදිරි වැඩපිළිවෙළ මොකක්ද?
සන්ධානයක් එනවා!
අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඇමැතිකම් අහිමි වුණද රොෂාන් සිය දූෂණයට එරෙහි සටන අවසන් කොට නොමැති බවය. සිය අමාත්‍ය ධුරය ඉවත් කිරීමෙන් පසු රොෂාන් පසුගිය සතියේ තමන්ට අතිශය හිතවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු 12 දෙනකු සමග රාත්‍රි භෝජන සංග්‍රහයකට එක්ව සිටියේය. එහිදී රොෂාන් සිය ඉදිරි දේශපාලන සැලසුම් ගැන කතා කරමින් ඔවුන්ට දැනුම්දී ඇත්තේ තවත් මාස 6ක් ඇතුළත මැතිවරණයට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවන බවත්, එතෙක් කලබල නොකර ඉවසීමෙන් සිටින ලෙසත්ය. කෙසේ වෙතත් මෙතෙක් ආණ්ඩුව ඇතුළේ සිය නම කැතකර නොගෙන කටයුතු කළ ආකාරයටම ඉදිරියටද කටයුතු කරන ලෙස මෙහිදී මෙම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි රොෂාන්, ඉදිරි මාස කිහිපය ඇතුළත දැවැන්ත දේශපාලන බලවේගයක් රට ඇතුළේ නිර්මාණය වීමට නියමිත බවද මෙම මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේය. නමුත් එම දැවැන්ත දේශපාලන බලවේගය ආණ්ඩුව පැත්තෙන් බිහිවන්නේද, විපක්ෂය පැත්තෙන් බිහිවන්නේද යන්න අනාවරණය නොකළ රොෂාන් ඉදිරියේදී එම දේශපාලන බලවේගය සමග ‘හොඳ කණ්ඩායමක්’ ලෙස මේ සියලු දෙනාම එක්විය යුතු බවද මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේය.
පක්ෂයකුත් අරන්!
මේ අතර තවත් විශේෂ තොරතුරක් රොෂාන් සම්බන්ධයෙන් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිකිරීමට අප සූදානම්ය. ඒ, රොෂාන් මේ වන විට දේශපාලන පක්ෂයක් තමන්ගේ අයිතියට ගැනීමට කටයුතු කොට ඇති බවය. ඒ, අජන්ත සොයිසා මහතාට අයත්ව තිබූ රුහුණු ජනතා පක්ෂයය. අජන්තගේ රුහුණු ජනතා පක්ෂය යනු පසුගිය කාලයේ මැතිවරණ කිහිපයකට තරග කළ පිළිගත් දේශපාලන පක්ෂයකි. රොෂාන් මෙම පක්ෂය තමන් සතු කොටගෙන ඇත්තේ මීට මාස කිහිපයකට කලින් බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව රොෂාන්ගේ සැලසුම වී ඇත්තේ ඉදිරි මැතිවරණවලදී හොරකමට, වංචාවට, දූෂණයට සම්බන්ධ නැති මන්ත්‍රීවරුන් 12 දෙනකුගේ පමණ කණ්ඩායමක් සමග ඉදිරියේදී බිහිවන දැවැන්ත දේශපාලන සන්ධානයකට පක්ෂයක් ලෙස එකතු වීමය.
පොහොට්ටුවේ මත දෙකක්!
එමෙන්ම අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මෙතෙක් කල් එකට සිටි ආණ්ඩුවේ පිරිස් රොෂාන්ට දෙවිදියකට සැලකීමට පටන්ගෙන ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඉන් ජනාධිපතිවරයා සමග සිටින පොහොට්ටුවේ කණ්ඩායම රොෂාන් සමග කතාබස් නොකරන තැනකට පත්ව ඇති අතර, ඔවුන් රොෂාන්ට එරෙහිව පොහොට්ටු මන්ත්‍රීවරුන් අතරේ අප්‍රසාදයක් ඇතිවන ලෙස අදහස් දක්වා ඇති බවක් ආරංචිය. අනෙක් පැත්තෙන් පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු රැසක්ම ඍජුවම රොෂාන් වෙනුවෙන් පෙනීසිටින බවක්ද දැකගන්නට ඇත. විශේෂයෙන්ම නම කැතකර නොගත් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයකු වන රොෂාන් වැන්නකු ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට පොහොට්ටුව පත්කළ ජනාධිපතිවරයා කටයුතු කිරීමෙන් පසු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් රොෂාන් වෙනුවෙන් වචනයක් හෝ කතා නොකිරීම මෙම පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයට හේතුවී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම පොහොට්ටුව ගොඩනැගීමේදී විශාල කැපකිරීමක් කළ රොෂාන් වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද, පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් සහ නාමල් රාජපක්ෂ පෙනී නොසිටීම මෙම පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැඩි කලකිරීමට හේතුවී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
තවත් හෙළිදරව්වක්!
කෙසේ වෙතත් මේ ආකාරයට අමාත්‍ය ධුරයෙන් ඉවත් කළද රොෂාන් සිය දූෂණයට එරෙහි සටන අත්හැර ඇති බවක් දැකගන්නට නැත. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඉදිරි දින කිහිපය ඇතුළත රොෂාන් තවත් මහා හෙළිදරව් කිරීම් 3ක් සිදුකිරීමට සූදානමින් සිටින බවය. ඒ තොරතුරු හෙළිදරව් කිරීම් තුන ක්‍රිකට්වලට සම්බන්ධයක් නොමැති, ආණ්ඩුව හෙල්ලී යන ආකාරයේ දැවැන්ත ඒවා බවද ඒ පැත්තෙන් ලැබෙන තොරතුරුවලින් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මේ සම්බන්ධයෙන් යම් ඉඟියක් පසුගිය සතියේ පැවැති මාධ්‍ය හමුවේදී සජබ මන්ත්‍රී නලින් බණ්ඩාරද රටට ලබාදුන්නේය. එහිදී නලින් කියා සිටියේ ඉදිරියේදී රොෂාන් රටම හෙල්ලෙන තවත් හෙළිදරව් කිරීම් රැසක් සිදුකිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවකි. ක්‍රිකට් දූෂණ පිළිබඳ කතාකොට රටම හෙල්ලූ රොෂාන් මේ කරන්නට යන අනාවරණයන් ආණ්ඩුවට කුමන ආකාරයෙන් බලපානු ඇද්ද යන්න සම්බන්ධයෙන් දැනගැනීමට තවත් දින කිහිපයක් බලා සිටීමට ජනතාවට සිදුවනු ඇත.
තවත් පිපිරීමක්!
රොෂාන් සම්බන්ධ සිදුවීමෙන් මේ ආකාරයට ආණ්ඩුව ඇතුළේ පිපිරිලි සිදුවෙද්දී කවුරුත් නොදැන සිටි සිදුවීමක් මුල්කරගෙන පසුගිය සතියේ ආණ්ඩුව ඇතුළේ තවත් පිපිරීමක් සිදුවිය. ඒ, ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයකු විසින් තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට සූදානම් වූ සිද්ධියක් හරහාය. කලක් මෙම රාජ්‍ය අමාත්‍යවරයා කැබිනට් අමාත්‍යවරයකු වශයෙන්ද කටයුතු කළ අත්දැකීම් බහුල අයකු ලෙස හැඳින්විය හැක.
විරෝධය පළ කරයි!
කෙසේ වෙතත් මෙම සිදුවීමට මුල්වී ඇත්තේ මෙම රාජ්‍ය ඇමැතිවරයාට කිසිදු දැනුම් දීමක් නොකොට අදාළ අමාත්‍යාංශය භාර කැබිනට් අමාත්‍යවරයා ජනාධිපතිවරයා හමුවීමට ගොස් කර ඇති සාකච්ඡාවකි. මෙවැනි සාකච්ඡාවක් කැබිනට් අමාත්‍යවරයා විසින් සූදානම් කොට ඇති බවට කල් තියාම තොරතුරු වාර්තා වීමත් සමග මෙම රාජ්‍ය අමාත්‍යවරයා කළේ ජනාධිපති ලේකම් කාර්යාලයට කතාකොට එම හමුවේ ඇත්ත නැත්ත විමසා බැලීමය. කැබිනට් අමාත්‍යවරයා හා නිලධාරීන් කිහිප දෙනකු ජනාධිපතිවරයා හමුවී යම් උත්සවයක් සංවිධාන කොට ඇති බව එහිදී තහවුරු කරගත් රාජ්‍ය අමාත්‍යවරයා තමන්ට ඒ පිළිබඳ දැනුම් නොදීමට කටයුතු කොට ඇති බව කියමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට සිය විරෝධය පළකිරීමට කටයුතු කොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ආරාධනාව ඒත් නෑ!
කෙසේ වෙතත් ප්රශ්නය පැනනැගුණේ මෙම විරෝධය පළකිරීමෙන් අනතුරුවද රාජ්‍ය අමාත්‍යවරයා හට අදාළ උත්සවය සඳහා ආරාධනාවක් නොලැබීමය. ඒ අනුව පසුගිය සතියේදී දැඩි තීන්දුවක් ගත් මෙම රාජ්‍ය අමාත්‍යවරයා වහාම සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට යැවූ බව ආණ්ඩුවට සමීප එක් ආරංචිමාර්ගයක් අනාවරණ කළේය. එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා තමන්ට ලබා දී තිබූ නිල වාහනද ආණ්ඩුවට භාරදී ඇති බව එම ආරංචි මාර්ගයෙන් වැඩිදුරටත් කියැවිණි.
ලිපිගොනුවකුත් තියෙනවා!
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් කළ සොයාබැලීම්වලදී තවත් ආරංචි මාර්ගයක් සඳහන් කළේ මෙම රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකොට නැති බවත්, ඒ වන විට ඩුබායි බලා ගොස් සිටි ජනාධිපතිවරයාට ඇමතුමක් ලබාදී තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳ පැමිණිලි කොට තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බව දැනුම් දී ඇති බවත්ය. තමන් ලංකාවට පැමිණෙන තෙක් කලබල නොවී සිටින ලෙසත්, තමන් පැමිණි පසු මෙම ගැටලුව විසඳීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී මෙම රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම්දී ඇති බවක්ද එම ආරංචි මාර්ග අනාවරණ කළේය.
ඒ අනුව මෙම තොරතුරු දෙකෙන් කුමක් සිදුවුවද රැස්වීමක් හේතුවෙන් පසුගිය සතියේ ආණ්ඩුවේ සිටින රාජ්‍ය අමාත්‍යවරයකු ඉල්ලා අස්වීම දක්වා වැඩේ දුරදිග ගොස් ඇති බවක් නම් හොඳටම පැහැදිලිය.
සිරිකොතෙත් ගැටුම්!
ආණ්ඩුව ඇතුළේ මේ ආකාරයට අර්බුද පිට අර්බුද මතුවෙද්දී එක්සත් ජාතික පක්ෂය ඇතුළේද පසුගිය සතියේ ලොකු ගැටුමක් සිදුව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා විය. එම තොරතුර වාර්තා වූයේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම්කිරීමට එජාපයේ ඉහළ පෙළ නියෝජිතයන් අතර සිරිකොතේ පැවැති සාකච්ඡාවකදී තීන්දු වී අති බවට මාධ්‍යවල පළව තිබූ පුවතක් පිළිබඳ විපරම් කර බැලීමේදීය. මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමේදී ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ලැබුණේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, සිරිකොතේ පැවැති මේ කියන සාකච්ඡාවේදී ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ වචනයක් හෝ සාකච්ඡා වී නොමැති බවත්, සාකච්ඡාවට සහභාගි වී සිටි එජාප සභාපති වජිර හා රවී කරුණානායක අතර උණුසුම් මතගැටුමක් සිදුව ඇති බවත්ය.
වජිරට උත්තර!
ජනාධිපතිවරයා සහභාගි වී නොමැති මෙම රැස්වීම පසුගිය දිනෙක පැවැත්වී තිබුණේ සභාපති වජිරගේත්, මහලේකම් රංගේගේත් ප්‍රධානත්වයෙනි. එහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ලක්ව ඇත්තේ එජාපයේ ප්රතිසංවිධාන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳවය. මෙහිදී කොළඹ දිස්ත්‍රික්කය මුල්කරගෙන සිදුකිරීමට නියමිත ප්රතිසංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේදී කොළඹ එජාප ප්‍රබලයා වන රවී හා පක්ෂ සභාපති වජිර අතර උණුසුම් සංවාදයක් සිදුව ඇති බව ආරංචිය. මෙහිදී රවී පක්ෂයේ ප්රබලයන්ට චෝදනා කරමින් අදහස් දැක්වීමට කටයුතු කර ඇති අතර ඊට වජිරත්, රංගේත් පිළිතුරු ලබාදීමට කටයුතු කොට තිබේ
රවීට යකා නැගලා!
එහිදී වජිර රවීට කෙළින්ම දැඩි දෝෂාරෝපණයක් එල්ල කරමින් කියා සිටියේ ‘ඔයා මොනවද දන්නේ? ඔයා ඉතින් නායකතුමා එක්ක නැතුව වෙන වෙන නායකයෝ හොයාගෙන ගිය එක්කෙනෙක්නෙ’ යැයි කියාය. වජිරගේ මෙම පිළිතුරු ලබාදීමත් සමග රවීටද යක්ෂාරූඪ වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව රවී උස් හඬින් කියා සිටියේ ‘ඕගොල්ලෝ මේ පක්ෂය ඩීල් දාලා කෑවා’ යැයි කියාය. එමෙන්ම මේසයට අතින් ගසමින් නැගී සිටි රවී තවදුරටත් වජිරත් රංගේටත් බැණවදිමින් කෑකෝ ගසා ඇති බවක්ද වාර්තා විය.
එහෙම එකක් නෑ!
නමුත් ඊට පසු දින පුවත්පත්වල පළවූ පුවතෙහි මේ කිසිවක් සඳහන්ව නොතිබුණු අතර, එහි තිබුණේ එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සිරිකොතේ පැවැති රැස්වීමකදී රනිල්ව තෝරාගැනීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කටයුතු කොට ඇතැයි කියාය. අප ඒ පුවත පසුපස ඇති කතාව ඇත්තද නැත්තද යන්න සොයා බැලීමට කටයුතු කළේ එය වැදගත් ප්‍රවෘත්තියක් වන බැවින් ඒ සම්බන්ධයෙන් තහවුරු කොට නැවත වතාවක් වැඩිදුර තොරතුරු පාඨකයන්ට රැගෙන ඒම සඳහාය. නමුත් එහිදී අපට දැනගන්නට ලැබුණේ එම රැස්වීමේදී එවැන්නක් සිදුව නැති බවත්, රැස්වීමේ සිටි ප්‍රධානීන් අතර මහා ගාලගෝට්ටියක් පමණක් සිදුව ඇති බවත්ය.
ද්වාරකා පණපිටින්ද?
‘මම දැන් ඔබ ඉදිරියේ මෙලෙස පෙනී සිටින්නේ බොහෝ දුෂ්කරතා සහ පාවාදීම් රැසක් ජයගැනීමෙන් පසුවයි. දවසක මම ඊළමටත් ගිහින් මගේ ජනතාවට සේවය කරන්න බලාපොරොත්තු වෙනවා. ඛඔඔෑ සංවිධානය විසින් ශ්‍රී ලංකා හමුදාව බොහෝ විට දුර්වල කරනු ලැබුවත් පසුව ලෝකයේ බලවත් රටවල් කිහිපයක්ම ශ්‍රී ලංකා හමුදාවට උදව් කළා. ඒ නිසා තමයි අපේ හමුදා අරගලය එදා මුල්ලිවයික්කාල්හිදී අවසන් වුණේ. නමුත් දේශපාලන නිදහස සඳහා වන අපගේ අරගලය අවසන්ව නැහැ. යුද්ධය අවසන් වූ පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ගෝලීය බලවතුන් ඊළාම් ද්‍රවිඩයන්ට යුක්තිය ඉටුකිරීමට අපොහොසත් වුණා. ලංකා ආණ්ඩුව දෙමළ ඊළම සිංහල බෞද්ධ භූමියක් බවට පත්කරන අතර, එහිදී දෙමළ ජනතාවට නිදහස සහ මානව හිමිකම්ද අහිමි කරවනු ලබනවා. අපගේ අරගලයට හේතු තවමත් ජීවමානයි. දේශපාලන නිදහස සඳහා වන අරගලය අපි ඉදිරියටම ගෙන යනවා. ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂවලට ඔවුන් අතර මතභේද තිබිය හැකි වුවද අපගේ නිදහස සඳහා වූ ගමනේදී අප එකට ගමන් කළ යුතුයි…’
කතාව මේකයි!
‘දෙසතින් පුතාල්වි සෙල්වි ද්වාරකා ප්රභාකරනින් කොල්ගයි පුගදනා ඌරයි’ (ප්‍රමෝදමත් දියණිය ද්වාරකා ප්රභාකරන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතාව) යන මාතෘකාව යටතේ පසුගියදා මෙය අසන්නට ලැබුණේ අන්තර්ජාල යූටියුබ් වීඩියෝවක් හරහාය. ඛඔඔෑ සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්රභාකරන්ගේ දියණිය වන ද්වාරකා ප්රභාකරන් යැයි ප්‍රකාශ කරගත් යම් දෙමළ කාන්තාවක් සිදුකරන ප්‍රකාශයක් මෙසේ ඉහත වීඩියෝව හරහා දක්නට ලැබිණි. මෙයට වසර 14කට පෙරදී මෙරට සිවිල් යුද්ධයේ අවසාන මොහොතේදී ඛඔඔෑ නායක ප්රභාකරන් ප්‍රධාන ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන් මරණයට පත්වුවද පසුකාලීනව යම් යම් පාර්ශ්ව විසින් කියා සිටියේ එම පවුලේ යම් සාමාජිකයන් තවද ජීවතුන් අතර සිටින බවය. එහිදී දැනට සමීප කාලයක සිට ආන්දෝලනාත්මක ලෙස ප්‍රකාශ වූයේ ප්රභාකරන්ගේ එකම දියණිය වන ද්වාරකා මෙසේ ජීවතුන් අතර සිටින බවය. මෙයට මාස 2කට පෙර සිට මෙම පුවත ප්‍රකාශ වූ අතර, එවැනි කාන්තාවක් එකල හොර රහසේ යාපනයට පැමිණ දේශපාලන කටයුතු කිහිපයක් ඇරඹූ බවටද කරුණු ප්‍රකාශ විය. එහෙත් නැවත මෙම ප්රභාකරන්ගේ දියණිය කරළියට එන්නේ පසුගිය දින කිහිපයකට පෙරදීය.
- මහවිරු දිනය!
ඛඔඔෑ සංවිධානය වාර්ෂිකව සමරනු ලබන විශේෂිත දින දෙකක් වෙයි. මෙයින් පළමු දිනය වන්නේ ඔවුන්ගේ නායක ප්රභාකරන්ගේ උපන් දිනය වන නොවැම්බර් 26 වැනිදා සහ එදිනට පසු දිනය වන කොටි සංවිධානයේ ‘මහවිරු දිනය’ (මාවීරාල් නාල්) වන නොවැම්බර් 27 වැනිදාය. දෙමළ වාර්ගික යුද්ධය නිමවී දැනට වසර 14ක් ගතවී තිබුණද මෙරට සහ ලෝකයේ විවිධ රටවල සිටින දෙමළ ඩයස්පෝරා පාර්ශ්ව විසින් මෙම දින දෙක යම් විශේෂිත අයුරකින් සමරනු ලබයි. දැන් එසේනම් ඉහත ප්රභාකරන්ගේ දියණියගේ කියූ වගතුග සිදුවුණේ කෙදිනකද? එය අන්තර්ජාල යූටියුබ් හරහා ප්‍රකාශිත වූයේ පසුගිය 27 වැනිදාට යෙදෙන මහවිරු දිනයේය. එදින උදය වරුවේම මෙම ප්‍රකාශය විකාශය වීමත් සමග බොහෝ පාර්ශ්ව තුළ මහත් ආන්දෝලනයක් ඇතිකරතිබිණ. එහිදී ඉන්දියානු සාරියකින් සැරසීගත් මැදි වියෙහි සිටින තරුණ කාන්තාවක් විසින් විනාඩි 10-11ක පමණ කාලයක් පුරා දිවෙන වීඩියෝවක තමන්ගේ දේශනය සිදුකරන ආකාරය දක්නට ලැබිණි. ඇයගේ පසුපස වේදිකාවේ දර්ශනය වන්නේ ඛඔඔෑ ධජ කිහිපයක් සහ නායක ප්රභාකරන්ගේ රුවකි. ඇය යම් කඩදාසියක මුද්‍රිත වූ ප්‍රකාශයක් කියවන අයුරු දක්නට හැකිවිය. වාර්ෂික කොටි සැමරුමක් වන මාවීරර් නාල් නොහොත් මහවිරු දිනයේදීම මෙම විකාශය සිදුකිරීම මෙය බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. එහෙත් බොහෝ පාර්ශ්ව විසින් මෙය සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක් ලෙස ප්‍රකාශ කළ අතර, එම වීඩියෝව අන්තර්ජාලයේ ්ෂ තාක්ෂණය :්රඑසසෙජස්ක සබඑැකකසටැබජැ* නොහොත් කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් නිර්මාණය කර ඇති බව පැවැසීය. දෙමළ වෙබ් අඩවියක් වන ඒපසකදකසගබැඑ (දෙමළ ආලෝකය) නමැති වෙබ් අඩවිය හරහා මෙම විකාශය සිදුකර තිබිණි. ඉන් පසුව එය තවත් ඛඔඔෑ හිතවාදී වෙබ් අඩවි හරහාද විකාශය විය.
මම එනවා!
ද්වාරකා ප්රභාකරන් යැයි හඳුන්වා ගන්නා තරුණ කාන්තාව තම ප්‍රකාශය හරහා තවදුරටත් මෙසේ කියන්නීය.
‘ලංකා ආණ්ඩුව දෙමළ ඊළම සිංහල බෞද්ධ ප්‍රදේශයක් බවට පත්කර තිබෙනවා. අපගේ අරගලයට හේතු තවමත් ජීවමානයි. දේශපාලන නිදහස සඳහා වන අරගලය අපි ඉදිරියටම ගෙන යනවා. අපි අපේ අයිතිවාසිකම් දිනාගැනීමේ සටන අත්හරින්නේ නැහැ. ශ්‍රී ලාංකික දෙමළ ප්‍රශ්නයට සහාය දෙන ඉන්දියාව ඇතුළු අනෙක් මිත්‍ර රටවල දෑත් අපි ආදරයෙන් අල්ලා ගන්නවා. ශ්‍රී ලංකාව, තමිල්නාඩුව සහ වෙනත් රටවල වෙසෙන දෙමළ ජනතාවගෙන් නිදහස් අරගලය දේශපාලනිකව ඉදිරියට ගෙන යන ලෙස මම ඉල්ලා සිටිනවා. අපට වෙනම රාජ්‍යයක් ලබාගැනීමේ මීළඟ අදියර නොහොත් දෙමළ ඊළම ලබාගැනීම අප සිදුකරනු ලබන්නේ දේශපාලන පියවරක් හරහා පමණයි. සන්නද්ධ අරගලයක් ගැන අපගේ බලාපොරොත්තුවක් නැහැ. අපි කෙදිනකවත් සිංහල ජනතාවට විරුද්ධ වන්නේ නැහැ. ඒ වගේම අපි සිංහල ජනතාව එරෙහිව සටන් කරලත් නැහැ. ඒ වෙනුවට අපි සටන් කළේ රටේ දූෂිත දේශපාලකයන්ට එරෙහිවයි. සිවිල් අයිතිවාසිකම් සඳහා වන අපගේ අරගලය ජනතාව තේරුම් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මෙම දෙමළ දේශපාලන අරගලයට මම කැපවීමෙන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රී ලංකා රජය යුද අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු බව පිළිගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙක් ජාත්‍යන්තර ප්‍රජාව, එහෙත් ඊළාම් දෙමළ ජනතාවට සාධාරණය ඉටුකිරීමටද අපොහොසත් වුණා. එය අපට සිදුවූ බලවත්ම අසාධාරණයක්…’ යැයි ඇය එහිදී කියා තිබිණ.
බුද්ධි අංශ කිව්වා!
කෙසේ හෝ මේ ආකාරයේ වීඩියෝ පටයක් පසුගිය නොවැම්බර් 27 වැනිදාට යෙදුණු ඛඔඔෑ මහවිරු දිනයේදී විකාශය කිරීමට යම් පිරිසක් යටයුතු කරමින් සිටින බව එයට සතියකට පෙර සිටම ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවටද අනතුරු අඟවා තිබිණි. කොටි නායක ප්රභාකරන් ජීවතුන් අතර සිටි සමයේදී සෑම වසරකදීම මහවිරු දිනයදා ඔහු විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලබයි. ඒ ආකාරය සිහිපත් කරමින් මෙවැනි වීඩියෝ පටයක්ද විකාශය කරන ලදී.
එමෙන්ම මේ වන විට තවත් අලුත්ම කතාවක් මාධ්‍ය වාර්තා කොට තිබේ. මෙම පුවතින් ප්‍රකාශ වූයේ මහවිරු දිනයදා ඉහත වීඩියෝව සඳහා පෙනී සිටි කාන්තාව බටහිර රටක වාසය කරන රාජරත්නම් මිත්තුයා :ඍ්ව්ර්එයබ්ප ඵසඑයඑයමහ්* නමැති කාන්තාව බවයි. දෙමළ ඩයස්පෝරාව විසින් ඇය මෙම කාර්යය සඳහා මුදල් ගෙවීමක් සිදුකරමින් යොදාගත් බවට විදෙස් බුද්ධි අංශ කරුණු අනාවරණ කරගෙන ඇත.
ඉන්දීය මතය!
කෙසේ වෙතත් ද්වාරකාගේ යැයි කියන මෙම වීඩියෝව පිටවීමත් සමග ලංකාවේ මාධ්‍ය තුළ කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය තුළ නම් විශාල කැලඹීමක් මතුකොට තිබිණි. ඒ අනුව දිනපතාම පාහේ ඉන්දීය මාධ්‍ය මේ සම්බන්ධයෙන් විවිධ තොරතුරු වාර්තා කළ ආකාරයක් දැකගත හැකි විය. මේ සම්බන්ධයෙන් වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් සටනේ සිටි එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයකු ‘සවුත් ෆස්ට්’ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ ආනන්දපුරම්හි සටන් පැවැතෙද්දී නන්දිකඩාල් කළපුව දෙසට පසුබසින ලෙසට ප්‍රභාකරන්ගෙන් නියෝගයක් පැමිණි බවත්, දැඩි අවි ආයුධ හිඟයක් හටගෙන තිබීම හේතුවෙන් තමන් ඇතුළු කොටි සාමාජිකයන් කණ්ඩායමක් එම ප්‍රදේශයේ සිරවූ බවත්, පසුව ආරක්ෂක අංශ තමන් ඇතුළු කණ්ඩායම වට කළ බවත්ය. ඒ වන විට ප්රභාකරන් සිටියේ තමන්ට මීටර් 600ක් දුරින් බවද ප්‍රකාශ කොට ඇති එම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා තමන්ට එම අවස්ථාවේදී ප්රභාකරන්ගේ බිරිය වූ මදිවාදිනී සහ දියණිය වූ ද්වාරකා සුසෙයි භාරයට පත්කර තිබූ බවත්, එල්ලවූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මදිවාදිනී සහ ද්වාරකා මියගිය බව ඇසුණු බවත් ප්‍රකාශ කොට තිබේ. එවිට ‘සවුත් ෆස්ට්’ මාධ්‍ය මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගෙන් විමසා සිටින්නේ අවසන් මොහොතේ මදිවාදිනී සහ ද්වාරකාට පලායෑමට කිසිදු අවස්ථාවක් නොතිබුණේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටින්නේ අවසන් මොහොතේදී එල්.ටී.ටී.ඊ.ය අතිශය දුර්වල තත්ත්වයකට පත්වූ බවත්, කිසිවකුට හෝ පලා යෑමට කිසිදු ඉඩක් නොතිබූ බවත්ය.
එක මතයක් මෙන්න!
ඒ, ද්වාරකාගේ මේ වීඩියෝව සම්බන්ධයෙන් එළියට පැමිණ ඇති එක් මතයකි. නමුත් එල්.ටී.ටී.ඊ.ය සමග බොහෝ සම්බන්ධකම් තිබූ තමිල්නාඩුවේ ප්‍රසිද්ධ චරිතයක් වූ කේ.එස්. රාධක්‍රිෂ්ණන් ඉන්දීය මාධ්‍ය වෙත කියා තිබුණේ පසුගිය අවුරුදු 14 පුරාම කීවාක් මෙන්ම ප්රභාකරන්ගේ වැඩිමහල් පුතා වන චාල්ස් ඇන්තනීත්, බාලම පුතා වන බාලචන්ද්රනුත් යුද්ධයෙන් මියගිය නමුත් ප්රභාකරන්, ද්වාරකා සහ මදිවාදිනී තවමත් ජීවතුන් අතර සිටින බව මෙම වීඩියෝවෙන් තහවුරු වන බවය. මේ බව මීට මාස කිහිපයකට කලින් තමිල්නාඩුවේ ප්‍රකට දේශපාලකයකු වන නැදුමාරන් ප්‍රකාශ කරද්දී බොහෝ දෙනා ඔහුට සිනාසුණු නමුත්, දැන් ප්රභාකරන්ගේ දියණිය වන ද්වාරකා ජීවතුන් අතර සිටින බව තහවුරු වී ඇති බවද රාධක්‍රිෂ්ණන් ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත.
‘මම ප්රභාකරන්ගේ පවුල එදා ඉඳන්ම දන්නවා. මම අභියෝග කරනවා මේ ද්වාරකා ඉන්න වීඩියෝව විශ්ලේෂණය කරලා ඇත්ත ලෝකයට කියන්න කියලා.’ යැයි හෙතෙම සඳහන් කොට ඇත.
තවත් මතයක්!
මේ අතර සයිබර් තාක්ෂණයේ විශේෂඥයකු වන ජී. වයිගීෂ්වරන් ඉන්දීය මාධ්‍යයට අදහස් දක්වමින් කියා ඇත්තේ අදාළ වීඩියෝවේ කටහඬ සහ රූපරාමු අතර යම් පරස්පරයක් ඇති බවකි. එමෙන්ම තාක්ෂණිකව ඇති දෝෂසහගත තැන් කිහිපයක්ම වයිගීෂ්වරන් විසින් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ මෙම වීඩියෝව අවස්ථා කිහිපයකදීම සංස්කරණයට ලක්කර ඇති බවකි. එම නිසා මුල් වීඩියෝව සම්පූර්ණයෙන්ම විශ්ලේෂණයට ලක්කිරීමෙන් තොරව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවද වයිගීෂ්වරන් එහිදී වැඩිදුරටත් සඳහන් කොට ඇත.
මේ අතර ‘ද නිවුස් මිනිට්’ නමැති දකුණු ඉන්දීය මාධ්‍ය විසින් එල්.ටී.ටී.ඊ. හිතවාදී ආයතන කිහිපයකින්ම මෙම ද්වාරකාගේ කතාවේ ඇත්ත නැත්ත විමසා බැලීමට පියවර ගෙන තිබේ. එහිදී එල්.ටී.ටී.ඊ.ය සමග හිතවත්ව සිටි පී.එන්.එම්. නමැති සංවිධානයේ ප්‍රකාශකයකු එම වෙබ් අඩවියට සඳහන් කර ඇත්තේ පසුගිය නොවැම්බර් 26 වැනිදා දෙමළ ඩයස්පෝරාව විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මෙම පුවත අසත්‍යයක් බව ප්‍රකාශ කොට ඇති බවකි. නමුත් එම වෙබ් අඩවියටම ‘වා ගෞතමන්’ නමැති එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයකු සඳහන් කර ඇත්තේ යුද්ධය අවසන් මොහොතේ කෙසේ හෝ ද්වාරකාව යුද බිමෙන් ඉවත් කරගැනීමට පිරිසක් කටයුතු කරගත් බවකි.
පවුලේ අය කී දේ!
නමුත් ‘ද වීක්’ නමැති ජනප්‍රිය සඟරාව පළමු වතාවට ප්රභාකරන්ගේ බිරිය මදිවාදිනීගේ වැඩිමහල් සොයුරිය වන අරුණා නමැත්තියගෙන් මේ සම්බන්ධයෙන් විමසා තිබේ. අරුණා මේ වන විට ජීවත් වන්නේ ඩෙන්මාර්කයේය. අරුණාද කියා ඇත්තේ ද්වාරකා ජීවත් වන බවත්, ඇගේ වීඩියෝවක් මීට පෙරද නිකුත් කළ බවත්, ළඟදීම ඇය ප්‍රසිද්ධියේම පෙනී සිටිනු ඇති බවත්ය.
මේ අතර, දකුණු ඉන්දියාවේ ප්‍රසිද්ධ කවියකු වන කාසි ආනන්දන් නමැත්තාද මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණේ නොවැම්බර් 27 වැනි දිනට යෙදෙන මහවිරු දිනයේදී ද්වාරකා ජීවත් වන බවට සාක්ෂි සපයන වීඩියෝවක් මාධ්‍යයට නිකුත් කිරීමට නියමිතව ඇති බවකි.
පවුලේ අය කියපු දේ!
අරුණා සහ කාසි ආනන්දන් මෙසේ ප්‍රකාශ කළද ප්රභාකරන්ගේ ඥාතියකු වන කාර්තික් මනෝහරන් ‘ද වීක්’ නමැති මෙම සඟරාවටම සඳහන් කොට තිබුණේ යුද්ධයෙන් පසු තමන්ට නම් ප්‍රභාකරන්ගෙන් හෝ එම පවුලේ කිසිවකුගෙන් තොරතුරක් හෝ පණිවුඩයක් නොලැබුණු බවකි. ද්වාරකා හෝ මදිවාදිනී හෝ ජීවතුන් අතර සිටිනවා නම් මේ වන විට ඔවුන් තමන්ට කතාකොට තිබිය යුතු බවද කාර්තික් මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත.
කෙසේ වෙතත් පසුගිය මහවිරු දිනයේදී එළියට ආ ප්රභාකරන් දියණිය වන ද්වාරකාගේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් ඉන්දියාවේ මාධ්‍ය විවිධ කතා කිව්වද තවමත් නිල වශයෙන් ඉන්දීය ආරක්ෂක අංශ හෝ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කොට නොමැත. අඩුම තරමින් එම වීඩියෝවේ සත්‍ය අසත්‍යතාව පිළිගනිමින් හෝ ප්‍රතික්ෂේප කරමින් කිසිදු නිවේදනයක්ද නිකුත් වී නොමැත. බොහෝ දෙනා මෙම වීඩියෝව ආටිෆිෂල් ඉන්ටලිජන්ස් හෙවත් කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කළ එකක් බව කීවද, ඒ පිළිබඳ හෝ තවමත් කිසිදු පාර්ශ්වයකින් නිල නිවේදනයක් නිකුත් වී නොමැත. ඒ අනුව වගකිව යුතු අංශ ඒ පිළිබඳ සොයාබලා ජනතාව අතර මතුව ඇති සැකය විසඳාලීමට කටයුතු කරනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.