මහින්දගේ වගකීම ගෝඨා භාරගනී
ඩලස් ඇමතිකමෙන් අයින් කළේ ඇයි
රනිල් කරපු කොන්ත්‍රාත්තුව අතේ පත්තු වෙයි
පැරදුණු සාගලලාට තවමත් ආණ්ඩුවේ ආරක්ෂාව
ජනපති
කතාවට
සූදානම් වෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීමට තීන්දු කළේ මීට මාස කිහිපයකටම පෙර සිටය. ඒ සම්බන්ධයෙන් කොපමණ පෙර සූදානමක ජනාධිපතිවරයා සිටියාද කියනවා නම් මෙවර ජනාධිපතිවරයා සමුළුව අමතා සිදුකිරීමට නියමිත සිය මංගල කතාවේ ගත යුතු ස්ථාවරයන් පිළිබඳවද කල් තියාම තමන්ට අතිශය සමීප හිතවතුන් සමග සාකච්ඡා වට කිහිපයකම නිරත විය. විශේෂයෙන්ම විදේශ ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තිය, උතුර-නැගෙනහිර වාර්ගික ප්‍රශ්නය, මානව හිමිකම් ප්‍රශ්නය ඇතුළු මාතෘකා ගණනාවක් මෙහිදී සාකච්ඡාවට ලක්කිරීමට පිරිස පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ලංකාව සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ජනාධිපතිවරයාගේ මෙම කතාව කෙරෙහිද කිසියම් බලපෑමක් එල්ලකිරීමට සමත්ව තිබූ ආකාරයක් දැකගත හැකි විය. එම කතාවෙන් පසු ජනාධිපතිවරයා තම කතාවේ ස්ථාන කිහිපයක්ම වෙනස් කිරීමට පියවර ගත් ආකාරයක්ද දැකගත හැකි විය.
යූටර්න්
එකක්
ගැහුවාද
කෙසේ වෙතත් මෙහිදී දැකගත හැකි වූ ප්‍රධානම සිදුවීමක් වූයේ ජනාධිපතිවරයා මෙතෙක් දැරූ ඇතැම් ස්ථාවරයන් අංශක 360කින්ම ආපසු කැරකී ගොස් පැවතීමය. නැතහොත් ඇතැම් ස්ථාවරයන්ගෙන් ‘යූ ටර්න්’ එකක් ගසා ඇති ආකාරයක්ය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ඇමෙරිකාවට යෑමට දින කිහිපයක් තබා යුගදනවි බලාගාරයේ 40%ක කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ජනාධිපතිවරයා තීන්දු කිරීම එසේ වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තිය ‘යූ ටර්න්‘ එකක් ගැසූ එක් අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.
මෙම යුගදනවි බලාගාරය ඇමෙරිකාවට පැවරීම අද ඊයේ හදිසියේ ගත් තීන්දුවක් නොවේ. ඊට යම් පසුබිම් කතාවක්ද තිබේ. ඒ පසුබිම් කතාව හිටපු විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම ධුරයෙන් ඉවත් කිරීම දක්වා දිවයන්නකි.
දෙන්න හිටියෙ
කොරියාවට
චීනෙට
යුගදනවි බලාගාරයේ මෙම කොටස් ප්‍රමාණය ලබාදීම සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කෙරුණේ ඩලස් අතිනි. ඒ අනුව ඩලස් විවෘත වෙළෙඳපොළේ ටෙන්ඩර් කැඳවා ඊට කොරියානු සහ චීන සමාගම් දෙකක්ද තෝරාගෙන තිබිණි. ඒ අතර ඇමෙරිකානු සමාගමක් තිබුණද නියමිත පිරිවිතර සපුරා තිබූ අනෙක් සමාගම් දෙක කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමට ඩලස් කටයුතු කර තිබිණි. නමුත් කිනම් හෝ හේතුවක් මත ඊට අනුමැතිය හිමි නොවිණි.
හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනය ආවේ ඒත් එක්කමය. හිටි හැටියේම ඩලස් විදුලිබලයෙන් ගැළවී ඔහුට ජනමාධ්‍ය අමාත්‍යාංශය හිමිවිය. ප්‍රවාහන ඇමැති වශයෙන් කටයුතු කළ ගාමිණී ලොකුගේට බලශක්ති ඇමැතිකම හිමිවිය. එසේම මහින්දගේ ආණ්ඩු සමයේ විදුලිබල අමාත්‍යාංශයේ ඉහළ තනතුරක් දැරූ ෆර්ඩිනැන්ඩු මහතා යළිත් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්විය.
ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට පෙර සූම් තාක්ෂණය ඔස්සේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට හිටි හැටියේම ඇමෙරිකානු නිව් ෆෝට්‍රස් සමාගමට යුගදනවි බලාගාරයේ 40%ක කොටස් ලබාදිය යුතු බවට වූ කැබිනට් පත්‍රිකාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන්නේ එවැනි පසුබිමක් යටතේය. එම පත්‍රිකාව ඉදිරිපත් වූයේද සූම් සාකච්ඡාවෙන් ඇමැතිවරු කිහිප දෙනකු ඉවත්වීමෙන්ද අනතුරුව වීම විශේෂ සිදුවීමකි. අනෙක් අතට සම්ප්‍රදායක් වශයෙන් මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ නම් එය ඊට පෙර සියලු කැබිනට් ඇමැතිවරුන්ට ඊමේල් මාර්ගයෙන් හෝ වට්ස්ඇප් මාර්ගයෙන් ලබාදීමක් සිදුවුවද මෙවර එවැනි සිදුවීමක් දැකගන්නට ලැබුණේ නැත. අවම වශයෙන් එම කැබිනට් පත්‍රිකාවේ යම් යම් කොටස් අයත් වූ බලශක්ති අමාත්‍යවරයා වූ උදය ගම්මන්පිලද එවැන්නක් දැන සිටියේ නැත.
ජනපති
කියපු කතාවෙන්
ඔක්කොම පුදුමවෙයි
එම නිසා උදය කියා සිටියේ තමන්ට මෙම පත්‍රිකාව අධ්‍යයනය කිරීම සඳහා සතියක හෝ දෙකක කාලයක් අවශ්‍ය යැයි කියාය. නමුත් සියලු දෙනාම පුදුමයට පත් කරමින් ජනාධිපතිවරයා සාකච්ඡාවට මැදිහත් වන්නේ ඒත් සමගය. එහිදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් දැරූ දැඩි ස්ථාවරය සියල්ලන්ම පුදුමයට පත්කිරීමට සමත්ව තිබිණි.
‘බෑ බෑ… ඕගොල්ලො කියන විදියට මේක කල් අරින්න බෑ. මේක අදම ඉවරයක් කරලා දාන්න ඕනෙ…’ යනුවෙන් කියද්දී විමලුත්, වාසුත්, උදයත් කියා සිටියේ තමන් ඊට විරුද්ධ බවත්, මෙහි ඇති ඇතැම් වගන්ති රටට අහිතකර බවත්, ඒ නිසා මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත්ය. ඒ අනුව සාකච්ඡාව අවසන් වූයේ බැසිල් සමග මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමේ එකඟතාව අනුවය.
වාසු-විමල්-උදයට
බැසිල්ගෙන්
කැදවීමක්
ඒ අනුව මෙම සාකච්ඡාව පැවැත්වූයේ සිකුරාදා දිනයේදීය. ඒ, ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට සූදානමින් සිටි සෙනසුරාදා දිනට පෙරාතුවය. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවට බැසිල්, ෆර්ඩිනැන්ඩෝවත් කැඳවා තිබිණි. නමුත් විෂය භාර අමාත්‍යවරයා වූ ලොකුගේ හෝ රාජ්‍ය අමාත්‍යවරයා වූ දුමින්ද දිසානායක හෝ එම සාකච්ඡාවේදී දැකගන්නට නොලැබිණි. ඒ අනුව ආරම්භ වූ සාකච්ඡාවේදී රටේ පවතින ඩොලර් ප්‍රශ්නය පෙන්වා දුන් බැසිල් මෙම ගිවිසුම හරහා ඩොලර් මිලියන 230ක් රටට ලැබීමට නියමිත බවත්, මෙය රටට හිතකර ගිවිසුමක් බවත් විමල් ඇතුලු පිරිසට පෙන්වා දෙනු ලැබීය. ෆර්ඩිනැන්ඩෝද ගිවිසුමේ අති වාසි පැත්ත පිරිසට පෙන්වා දීමට පියවර ගත්තේය. නමුත් විමල්ලා පෙන්වා දුන්නේ තවදුරටත් මේ පිළිබඳ සාකච්ඡා කොට ඇතැම් වගන්ති සංශෝධනය කළ යුතු බවය. එම නිසා සාකච්ඡාව අවසන් වූයේ අවසන් එකඟතාවකින් තොරවය.
ගිවිසුමට
රෑ 12.06ට
අස්සන්
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව ආරම්භ වෙද්දී විමල්ලා දැන නොසිටි කාරණාවක්ද විය. ඒ, මෙම ගිවිසුම අස්සන් කිරීම සඳහා ඒ වන විටත් ඇමෙරිකානු සමාගමේ නියෝජිතයන් ලංකාවට පැමිණ සිටි බවය. එනම් එදිනම රාත්‍රියේ ගිවිසුම අස්සන් කිරීමට සැලසුම් කොට තිබුණු අතර, අලුයම ඔවුන් දිවයිනෙන් බැහැර වීම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍රද වෙන් කරවාගෙන තිබිණි. ඒ අනුව ගිවිසුම අස්සන් කෙරුණේ සිකුරාදා මධ්‍ය රාත්‍රිය ඉකුත්වී හරියටම 12.06ටය. ඒ අනුව ගිවිසුම අස්සන් කිරීමෙන් අනතුරුව ඇමෙරිකානු නියෝජිතයන් රටින් බැහැරවූ අතර, අලුයම් කාලයේ ජනාධිපතිවරයාද ඇමෙරිකාව බලා යෑමට පිටත් විය.
විමල්ලා
බොරැල්ලේ
රැස්වෙයි
නමුත් තත්ත්වය එතැනින් නිමාවූයේ නැත. ඉකුත් සමයේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමේදී ආණ්ඩුව ඇතුළේ හවුල්කාර පක්ෂවලින් මතුවූ විරෝධය හා සමාන විරෝධයක් මෙවරද මතුවෙමින් පැවැති ආකාරයක් දැකගත හැකි විය. ඊට මූලිකත්වය ගත්තේ විමල්, වාසු, උදය ඇතුළු කණ්ඩායම වූ අතර මෙවරද ඔවුන් යුගදනවි ගිවිසුමට එරෙහි සටනද අතට ගෙන තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව පිරිස මේ සම්බන්ධයෙන් මුලින්ම සාකච්ඡා කිරීම සඳහා රැස්වූයේ බොරැල්ලේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයටය. ඊට විමල්, වාසුදේව, තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න, වෛද්‍ය ජී. වීරසිංහ ඇතුළු කණ්ඩායමක් සහභාගි වී සිටියහ. මෙහිදී කලකට පසු ශ්‍රීලනිප මහ ලේකම්වරයා වූ දයාසිරිද සාකච්ඡා සඳහා සහභාගි වී සිටි අතර, උදය දැකගන්නට නොලැබුණේ ඉන්ධන ණයට ලබාගැනීම සඳහා වූ සාකච්ඡා වට ගණනාවකට සහභාගි වීම සඳහා ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් සිටීම නිසාය.
ඒ අනුව ආරම්භ වූ සාකච්ඡාවේදී සියලුම දෙනා පෙන්වා දුන්නේ මෙම ගිවිසුම සම්පූර්ණයෙන්ම රටේ බලශක්ති ප්‍රතිපත්තියට විරුද්ධ බවත්, ලංකාවට අවාසි සහගත බවත්ය. එම නිසා මෙම ගිවිසුම හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කළ යුතු බව එහිදී අදහස් දැක්වූ සියල්ලන්ගේම ස්ථාවරය විය. ඒ අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමටත්, මීට විරෝධය පළකරමින් ලිපියකට අස්සන් තැබීමටත් තීන්දු විය. ඒ අනුව ලිපියට පක්ෂ 10ක නියෝජිතයන් අස්සන් තැබූ අතර දයාසිරි කියා සිටියේ පක්ෂයේ අනුමැතියකින් තොරව ඊට අස්සන් කළ නොහැකි යැයි කියාය. අඟහරුවාදා දින පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිත බවත්, එහිදී ඒ සම්බන්ධයෙන් එකඟතාව ලබාගත හැකි බවත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසීම සඳහා අඟහරුවාදා දිනම වේලාවක් ලබාගත හැකි බවත් එහිදී දයාසිරි පිරිසට පෙන්වා දුන්නේය. ඒ අනුව අඟහරුවාදා දින මෛත්‍රිපාල හමුවීමට යොදාගත් පිරිස අගමැතිවරයාට මේ පිළිබඳ දැනුම් දීමෙන් පසු බදාදා පස්වරු 12.30ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට මහින්ද කටයුතු කර තිබිණි.
මෛත්‍රිපාලත්
සටනට
සෙට්වෙයි
ඒ අනුව අඟහරුවාදා පෙරවරුවේ කැරැලිකාර කණ්ඩායම මෛත්‍රිගේ කොළඹ අමරසේකර මාවතේ පිහිටි නිල නිවෙසේදී සාකච්ඡාවට එක්වූහ. ශ්‍රීලනිපය වෙනුවෙන් ඊට සම්බන්ධ වන ලෙස මෛත්‍රී දයාසිරිටත්, ලසන්ත අලගියවන්නටත්, මහින්ද අමරවීරටත්, දුමින්ද දිසානායකටත් ආරාධනා කර තිබිණි. විමල් වෙනුවට සාකච්ඡාවට පැමිණ සිටියේ ජයන්ත සමරවීරය. වාසු, වීරසුමන, වෛද්‍ය ජී. වීරසිංහ, රතන හිමි ඇතුළු පිරිසක් කැරැලිකාර පිල නියෝජනය කරමින් පැමිණ තිබිණි. මෙහිදී පිරිස අතර දීර්ඝව සාකච්ඡා වූයේ ගිවිසුමේ ඇති අහිතකර වගන්ති පැත්ත සම්බන්ධයෙන්ය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ ඒකාබද්ධව මෙම කරුණු වෙනස් කරගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග තවදුරටත් සාකච්ඡා කිරීමටය. එහිදී මෛත්‍රිපාල කියා සිටියේ, ‘ ජනාධිපතිවරයා ලංකාවට එන්න තව සතියක් විතර යාවි. එතකන් අපි මේ ගැන අගමැතිවරයා එක්ක සාකච්ජා කරමු. අනෙක ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කරනකම් මේක මාධ්‍ය ඉස්සරහට අරගෙන යන්න එපා…’ යැයි කියාය. ශ්‍රීලනිපය ලිපියට අස්සන් තබනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් එදින සවස 3.30ට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීන්දුවක් ගන්නා බවද එහිදී කියැවිණි.
ශ්‍රිලනිපය
දෙකට
බෙදෙයි
ඒ අනුව එදින සවස ආර්ම්භ වූ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් යම් බෙදීමක් මතුවූ ආකාරයක් දැකගත හැකි විය ඒ, ලසන්ත අලගියවන්න විමල්ලා සමග කරන සාකච්ඡා සම්බන්ධයෙන් කිසියම් විරෝධයක් පළකරමින් අදහස් දැක්වීම නිසාය.
‘අපි මේ වෙලාවෙ තීන්දු කරන්න ඕනෙ මේ පක්ෂ 10ක් එක්ක ඉන්නවද, එහෙම නැත්නම් ආණ්ඩුවත් එක්ක ඉන්නවද කියලයි. මම නම් මේකට විරුද්ධයි. අපි ඉන්න ඕනෙ පොහොට්ටුවත් එක්ක. අපට මේ සුළු පක්ෂ එක්ක ගිහින් හැම දේටම විරුද්ධ වෙන්න බෑ. මගේ ස්ථාවරය ඒකයි…’ යනුවෙන් ලසන්ත කියද්දී දයාසිරි සහ දුමින්ද සිටියේ ඊට වෙනස් ස්ථාවරයකය. විශේෂයෙන්ම දයාසිරි කීවේ ආණ්ඩුවත් එක්ක සිටිනවා කියා ආණ්ඩුව කරන වැරැදි දේට අත ඉස්සිය නොහැකි යැයි කියාය.
දයාසිරි
වෙනත්
මතයක
‘අපි ආණ්ඩුව එක්ක ඉන්නවා තමයි. එහෙමයි කියලා ආණ්ඩුව කරන හැම වැරැදි දේකටම අත උස්සන්න අපට බෑ. එහෙම කරලා කොහොමද අපි ජනතාව අතරට යන්නේ? අපි පුළුවන් තරම් අනෙක් පක්ෂත් එක්ක කතා කරලා ඉදිරියට යන්න ඕනෙ…’ යනුවෙන් දයාසිරි කියද්දී දුමින්දද එම ස්ථාවරයේ සිටිමින් අදහස් දක්වනු දැකගත හැකි විය.
කෙසේ වෙතත් මෙහිදී නිමල් සිරිපාල කියා සිටියේ ගිවිසුම පිළිබඳ කැබිනට් පත්‍රිකාව තමන්ට ඉකුත් සතියේ ලැබී තිබුණු බවය. නමුත් ඊට විරෝධය පළ කරමින් දයාසිරි කීවේ, ‘බොරු කියන්න එපා ඇමැතිතුමා. අමරවීර ඇමැතිතුමාටත් කැබිනට් පේපර් එක ඇවිත් තිබුණෙ නෑ…’ යැයි කියාය. අමරවීරද එය තහවුරු කිරිමත් සමග නිමල් නිහඬ වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. පසුව හිටපු විදුලිබල අමාත්‍යවරයකු වූ රංජිත් සියඹලාපිටියද අදහස් දක්වමින් කියා සිටියේ තමන්ද විදුලිබල ඇමැතිවරයකු ලෙස කටයුතු කළත් මෙවැනි ආකාරයට කෙදිනකවත් කැබිනට් පත්‍රිකා සම්මත කොට නැති බවය. එම නිසා මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතු බව රංජිත්ගේද මතය විය. ඒ අනුව බදාදා දහවල් 12.30ට අගමැතිවරයා කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ශ්‍රීලනිපය එහිදී තීන්දු කළේය.
මහින්ද
සාකච්ජාව
කල්දමයි
කෙසේ වෙතත් එදින සවස් වරුවේ අගමැති කාර්යාලයෙන් සියලු පක්ෂ නායකයන්ට ලැබුණු පණිවුඩයකින් කියැවුණේ බදාදා 12.30ට පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම නොවැළැක්විය හැකි හේතුවක් මත අවලංගු කර ඇති බවත්, එය බ්‍රහස්පතින්දා සවස 4ට අරලියගහ මන්දිරය්දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්ය. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ සියලු පක්ෂ නායකයන් බ්‍රහස්පතින්දා අගමැතිවරයා සමග සාකච්ඡාවට එක්ව සිටි ආකාරයක් දැකගත හැකි වූ අතර, මෛත්‍රිපාල සිරිසේන, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ඩග්ලස් දේවානන්දා, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් ඒ අතර වූහ. ආණ්ඩුව පැත්තෙන් සාකච්ඡාවට බැසිල්, ජොන්ස්ටන්, සාගර කාරියවසම් එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.
විමල්
මාතෘකාව
එළියට ගනී
මෙහිදී රටේ දැනට පවතින ආර්ථික අර්බුදය, ඉදිරි අයවැය, කොරෝනා තත්ත්වය පිළිබඳ කෙටි අදහස් හුවමාරුවකින් පසු යුගදනවි මාතෘකාව පළමුව සාකච්ඡා මේසයට ගෙනාවේ විමල්ය. විමල් එහිදී කියා සිටියේ මේ ආකාරයට යුගදනවි බලාගාරය ඇමෙරිකාවට පැවරීම පිළිගත නොහැකි යැයි කියාය. විමල්ට අමතරව මෛත්‍රිපාල, වාසුදේව හා වීරසුමනද පිරිසට පෙන්වා දුන්නේ බලාගාරයේ කොටස් ඇමෙරිකාවට පැවරීම ගැටලුසහගත යැයි කියාය. නමුත් ඊට පිළිතුරු දුන් බැසිල් සිටියේ වෙනත් ස්ථාවරයකය.
‘මේකෙන් රටට අහිතකර තත්ත්වයක් ඇතිවෙන්නේ නෑ. මේක රටට වාසිදායක ගිවිසුමක්. දැනට තියෙන ඩොලර් අර්බුදයෙන් ගොඩ එන්නත් අපට මේ හරහා පුළුවන්…’ යන්න බැසිල්ගේ ස්ථාවරය විය.
ඒ අනුව මෙම සාකච්ඡාව පැය දෙකක කාලයක් පුරා ඇදී ගියත් යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ඇතිකර ගැනීමට පක්ෂ නායකයන්ට නොහැකි විය. එම නිසා සාකච්ඡාව අවසාන වීමෙන් පසු කැරැළිකාර පිල නියෝජනය කරන පක්ෂ 10 මේ වන විට සිටින්නේ ජනාධිපතිවරයා ලංකාවට පැමිණෙන තෙක්ය. ඒ, ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමගද සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගැනීමටය. එහිදී කැරැලිකාර පිලේ ස්ථාවරය වී ඇත්තේ තවමත් මෙය මුල් අවස්ථාවේ එකඟතා ගිවිසුමක් පමණක් වන බැවින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට ගිවිසුමේ ඇති ඇතැම් වගන්ති ලංකාවට හිතකර ආකාරයට වෙනස් කරගැනීමටය. නමුත් ආණ්ඩුව පැත්තෙන් කියැවෙන ආරංචිවලට අනුව නම් වාර්තා වන්නේ ආණ්ඩුව දැනටමත් ඇමෙරිකාව සමග ගැටුමකින් තොරව අලුත් හිතවත්කමකින් ඉදිරියට යෑමට තීන්දු කර ඇති හෙයින් ගිවිසුමේ කිසිදු අකුරක්වත් වෙනස් කිරීමට කටයුතු නොකරනු ඇතැයි කියාය.
විමල්ලා
ගහන්නේ
ගේමක්ද
එසේ නම් විමල් ඇතුළු කැරැලිකාර කණ්ඩායම දක්වන විරෝධය බටහිර ජැටිය ඉන්දියාවට ලබාදීමේදීත්, පෝර්ට් සිටි පනත සම්මත කිරීමේදීත් සිදුවුණා වාගේ යම්ිසි විරෝධයකට පමණක් සීමා වනු ඇතිද? එසේත් නැත්නම් ඉකුත් වතාවන්හිදී නොගත් යම් ප්‍රබල දේශපාලන තීන්දුවක් ගැනීමට කැරැලිකාර කණ්ඩායම කටයුතු කරයිද? ගිවිසුම වෙනස් නොවුණහොත් විමල්, වාසු, උදය සිය ඇමැතිකම්වලින් ඉවත් වනු ඇතිද? කැරැලිකාර කණ්ඩායම ආණ්ඩුව ඇතුළේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කරනු ඇතිද? එසේත් නැත්නම් ශ්‍රීලනිපය ප්‍රමුඛව බිහිවීමට නියමිත එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු වනු ඇතිද? නොඑසේ නම් විපක්ෂයේ අසුන්ගනු ඇතිද? මෙකී විකල්පවලින් කැරැලිකාර පිල ගන්නා ස්ථාවරය තීන්දු වනු ඇත්තේ ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමෙන් අනතුරුව පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුවය.
වෘත්තීය
සමිති
සටනේ
ඒ කොයි හැටි වෙතත් වෘත්තීය සමිති නම් දැන් තියාම සැලසුම් කර ඇත්තේ මෙම ගිවිසුමට එරෙහිව දැවැන්ත සහ ඒකාබද්ධ විරෝධතාවක් දියත් කිරීමටය. විදුලිබල වෘත්තීය සමිතිවලට අමතරව ඛනිජ තෙල් වෘත්තීය සමිතිද, වරාය වෘත්තීය සමිතිද, අනෙකුත් ක්ෂේත්‍රවල වෘත්තීය සමිතිද දැන් තියාම එම සටනට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින ආකාරයක් දැකගත හැකිය. ඒ අනුව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය සමිති අරගලයකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවද අවසන් වශයෙන් සඳහන් කළ යුතුව ඇත.
ජනපති
අමෙරිකාවට
ළංවෙයි
යුගදනවි බලාගාරය ඇමෙරිකාවේ ෆෝට්‍රස් සමාගමට ලබාදීමට ජනාධිපතිවරයා ගත් විප්ලවීය තීන්දුව ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වූ කැපීපෙනෙන වෙනස්කමක් ලෙස දැකගන්නට හැකි වූ නමුත් එය එතැනින් නතර වූ ආකාරයක් පෙනුණේ නැත. ජනාධිපතිවරයා එය වඩාත් තහවුරු කරමින් සහ ඇමෙරිකානු සම්බන්ධය තව තවත් තහවුරු කරගැනීමේ වැඩපිළිවෙළකට සිය ඇමෙරිකානු සංචාරය ආරම්භ කිරීමට පෙර ගමන් කළේය. ඒ, ඇමෙරිකානු තානාපති ධුරය සම්බන්ධයෙන් ගත් ආන්දෝලනාත්මක තීන්දුවත් සමගය.
ඒ වන විට ඇමෙරිකාවේ ශ්‍රී ලංකාව තානාපතිවරයා වශයෙන් කටයුතු කළේ රවිනාථ ආරියසිංහ මහතාය. මීට මාස 09කට පෙරාතුව ඇමෙරිකාවේ තානාපති ධුරය භාරගත් රවිනාථ පසුගිය සතිය වන විට හදිසියේම වාගේ සිය විශ්‍රාම යෑම ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව එම ධුරයට වඩාත් සක්‍රීය, කාර්යශූර, තීක්ෂණ බුද්ධියක් ඇති මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ගැටලු නිරාකරණය කිරීමෙහිලා විශේෂඥයකු පත්කරගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයාට දැඩිව මතුව තිබිණි. ඊට බලපෑ හේතු වශයෙන් පෙන්වා දිය හැක්කේ දැනට ජාත්‍යන්තරය තුළ මතුව ඇති ප්‍රශ්නවලදී ඇමෙරිකාව මධ්‍යස්ථ ස්ථාවරයකට පත්කර ගැනීමේ හැකියාව පවතින්නේ නම් ගැටලු රැසක්ම විසඳා ගැනීමේ අවස්ථාව ලංකාවට ඇති බවට විශේෂඥ උපදෙස් ලැබී තිබීමය. විශේෂයෙන්ම ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ මතුව ඇති ගැටලුවේදීත්, යුරෝපා කොමිසම විසින් ලංකාවට ජී.එස්.පී. ප්ලස් තවදුරටත් ලබාදෙනවාද යන ප්‍රශ්නයේදීත්, ආර්ථික අර්බුදයේදීත් ඇමෙරිකානු ස්ථාවරය ලංකාවට හිතකර අයුරින් සාකච්ඡා කරගැනීමට හැකි වුවහොත් එය විහාල වාසියක් බව බොහෝ දෙනා ජනාධිපතිවරයාට පෙන්වා දී තිබිණ. අනෙක් අතට ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාව, ඔස්ටේ්‍රලියාව සහ මහා බි්‍රතාන්‍යය මෑතකදී අස්සන් කළ නව ආරක්ෂක ගිවිසුම නිසා ඉදිරියේදී ඇමෙරිකාව මෙම කලාපය තුළ ආරක්ෂක වශයෙන් දැනෙන බලපෑමක් කළ හැකි වාතාවරණයක් මතු කරගෙන තිබිමද මේ සඳහා බලපා ඇති තවත් හේතුවක් වී තිබේ.
මහින්දගේ
නම එළියට
ආපු හැටි
මේ සියලු කරුණු සලකා බැලීමන් පසු ජනාධිපතිවරයා සිය ළඟම හිතවතුන් සමග පැවැති සාකච්ඡාවේදී ඇමෙරිකානු තානාපතිවරයා වශයෙන් පත්කළ යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමසා බැලීමක නිරත විය. එහිදී අගමැතිවරයාගේ පාර්ශ්වයෙන්ද නම් කිහිපයක් ජනාධිපතිවරයා වෙත යොමුව තිබිණි. එමෙන්ම ලොස් ඇන්ජලීස්හි සේවය කරන ශිරන්තිගේ සොහොයුරා වූ නිශාන්ත වික්‍රමසිංහගේ නමද ඊට යෝජනා වී තිබිණි. නමුත් ජනාධිපතිවරයාගේ මතය වී තිබුණේ ඒ කිසිවකුටත් ඇමෙරිකාව ලංකාවට හිතවත් කර දීමේ කාර්යය හරියාකාරව සිදු කළ නොහැකි බවය. ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබුණේ ජාත්‍යන්තරය පිළිගන්නා විශ්වසනීය පිරිසිදු චරිතයක් එම තනතුරට පත්කළ යුතු බවකි.
ඒ අනුව අවසානයේ සාකච්ඡා මේසයට එක් නමක් පැමිණියේය. ඒ, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාගේ නමය. මහින්ද සමරසිංහ යුද ජයග්‍රහණයෙන් පසුව ලංකාවට එල්ලවූ මානව හිමිකම් චෝදනා යටතේ ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ මුහුණදී අත්දැකීම් සම්භාරයක් සහිත අයකු වීමත්, වරක් ජිනීවාවලදී ලංකාවට එරෙහිව ඉදිරිපත්වූ යෝජනාවක් පරාජයට පත්කිරීමට නායකත්වය දී තිබීමත්, ඊට අමතරව ඇමෙරිකාව සහ බටහිර රටවල් සමග හිතවත්කම් පැවැතීමත් එසේ නම යෝජනා වීමට හේතුවී තිබිණි. නමුත් එතැනදී පැමිණි ගැටලුව වූයේ මහින්ද දේශපාලනඥයකු වීමත්, පාර්ලිමේන්තු දේශපාලනය අතහැර මෙවැනි කටයුත්තකට මහින්ද කැමැති වේද යන්නත්ය. එමෙන්ම ජ්‍යෙෂ්ඨයකු වශයෙන් සිටියද පසුගිය වසර දෙක පුරා කිසිදු ඇමැතිකමක් නොමැතිව කල් ගතකිරීම හේතුවෙන් මහින්ද කිසියම් කලකිරීමකින් සිටින බවද එහිදී කියැවිණි. එම නිසා මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව ඇමෙරිකානු තානාපති ධුරය භාරගන්නා ලෙසට කරන ඉල්ලීම ජනාධිපතිවරයා විසින් මහින්දගෙන් කළ යුතු බව එහිද සිටි සියලු දෙනාගේම මතය විය.
ගෝඨා
වගකීම
බාරගනී
ඒ අනුව මහින්දගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත් ජනාධිපතිවරයා මේ පිළිබඳ මහින්දත් සමග සාකච්ඡා කරන්නට විය. කලකට පසු ජනාධිපතිවරයාගෙන් දුරකතන ඇමතුමක් ලැබීම හේතුවෙන් මහින්දද සිටියේ තරමක් පුදුමයටත්, කුතුහලයටත් පත්වය. විනාඩි 16ක් පුරා පැවැති මෙම සංවාදයේදී ජනාධිපතිවරයා මහින්දගෙන් පෞද්ගලිකවම ඉල්ලා සිටියේ මේ තීරණාත්මක අවස්ථාවේ රට ගැන සිතා වොෂින්ටන් තානාපති ධුරය භාරගන්න යැයි කියාය.
‘මේක අපිටත්, රටටත් ඉතා තීරණාත්මක අවස්ථාවක්. අපි බයිඩන් පාලනය එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න ඕනෙ. ඒ හින්දා මෙතැනදී ඔබතුමාට විශාල කාර්යභාරයක් තියෙනවා රට වෙනුවෙනුත්, ආණ්ඩුව වෙනුවෙනුත් කරන්න. අනෙක අපි දෙමළ ඩයස්පෝරාව එක්කත් සාකච්ඡා කරන්න ඕනෙ. ඔවුන්ගෙ තියෙන ප්‍රශ්න කතා කරලා සාධාරණ ඒවාට ඇහුන්කම් දෙන්න ඕනෙ. මේ තියෙන ජාත්‍යන්තර ප්‍රශ්නවලින් රට බේරගන්න නම් අපි සාධනීය සාකච්ඡාවක් ආරම්භ කරන්න ඕන. ඒ නිසා ඔබතුමා වොෂින්ටනයේ තානාපති ධුරය තෝරාගන්නවා නම් ඒක මටත්, ආණ්ඩුවටත් ලොකු හයියක්…’ යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී මහින්ද සිටියේ මහත් පුදුමයට පත්වය. එම නිසා එක් වරම ඊට ඍජු පිළිතුරක් ලබාදීමට මහින්ද හදිසි නොවීය.
කිසිදේකට
බයවෙන්න
එපා
‘නෑ ජනාධිපතිතුමනි, මම දේශපාලනඥයෙක්. මම වසර ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුව අඛණ්ඩව නියෝජනය කරනවා. මම මෙතැනින් අයින් වෙලා තානාපති ධුරය භාරගත්තොත් මගේ දේශපාලන අනාගයට මොකද වෙන්නේ…?’ යනුවෙන් මහින්ද, ජනාධිපතිවරයාගෙන් පෙරළා විමසද්දී ජනාධිපතිවරයා ඊට දුන්නේ අපූරු පිළිතුරකි. ‘ඒ ගැන කිසි දේකට බය වෙන්න එපා. මහින්ද මම ඒ ගැන දන්නවා. මහින්දට ඕනෙ වෙලාවක ආපහු දේශපාලනයට එන්න පුළුවන්. ඔයාගෙ වගකීම මම භාරගන්නවා. අනෙක මහ ඡන්දයට තව කල් තියෙනවා. ඒක නිසා මගේ මේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න එපා…’ යන්න ජනාධිපතිවරයාගේ පිළිතුර විය.
බැසිල්ගෙන්
චන්ද්‍රදාසගෙන්
කෝල් එයි
එහෙත් මහින්දට තවත් ගැටලුවක් තිබිණි. ඒ, ඇමෙරිකාවේ තානාපති ධුරය භාරගතහොත් ස්විට්සර්ලන්තයේ සිටින සිය දරු පවුල ඒ සම්බන්ධයෙන් කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇතිද යන්න පිළිබඳවය. ‘ජනාධිපතිතුමනි, මම මේ ගැන ගෙදර අයත් එක්කත් කතා කරලා උත්තරයක් දෙන්නම්…’ යන්න මහින්ද, ජනාධිපතිවරයාට අවසානයේදී කී පිළිතුර විය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ඇමතුමෙන් පසු මහින්දගේ දුරකතනයට එක දිගට දුරකතන ඇමතුම් එන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී පළමු ඇමතුම ලැබුණේ බැසිල්ගෙනි. බැසිල්ද මහින්දට කතා කර කීවේ අදාළ තනතුර භාරගන්නා ලෙසත්, මහින්දගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසත්ය.
ඉන් අනතුරුව මහින්දට දුරකතන ඇමතුමක් ආවේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්වලිනි. ඒ, රාජපක්ෂ පවුලේ ඥාතියකු වන දොස්තර ලලිත් චන්ද්‍රදාසගෙනි. ලලිත්ද මහින්දට කියා සිටියේ වොෂින්ටන් නුවරට පැමිණ තානාපති ධුරය භාරගන්නා ලෙසත්, රට වෙනුවෙන් කළ යුතු කාර්යය ඉටුකිරීමට සූදානම් වන ලෙසත්ය.
ඒ අනුව අවසානයේදී මහින්ද පවුලේ උදවිය සමගද සාකච්ඡා කොට සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී, ඇමෙරිකාවේ තානාපති ධුරය භාරගැනීමට එකඟතාව පළ කළේය. එම තීන්දුව දැනුම්දී පැය 24ක් යෑමටත් මත්තෙන් ඊට අදාළ ලියකියවිලි සියලු තැන්වලට ආණ්ඩුව පාර්ශ්වයෙන් නිකුත් විය. ජනාධිපතිවරයා සිය ධුරයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා පළමු වරට ඇමෙරිකාව බලා පිටත්ව ගියේ මහින්ද ඇමෙරිකාවේ තානාපතිවරයා ලෙස පත්කිරීමේ ලිපියට සිය අස්සන තැබීමෙන්ද අනතුරුවය.
ජනපති
ගහපු
යූ ටර්න් එක
ජනාධිපතිවරයා ඇමෙරිකාව බලාපිටත්ව ගියේ මේ ආකාරයට යුගදනවි බාලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීමටත්, ඇමෙරිකානු තානාපතිවරයා වශයෙන් මහින්ද සමරසිංහ පත්කිරීමටත් තීන්දු කිරීමෙන් අනතුරුවය. මෙම සිදුවීම් ජනාධිපතිවරයා මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගයන්ට පටහැනි ඒවා වුවත්, මෙතෙක් ගෙන ගිය ප්‍රතිපත්ති ‘යූ’ හැරවුමක් වුවත් යථාර්ථයට මුහුණ දීමට ජනාධිපතිවරයා මේ වන විට තීන්දු කර ඇති බවක් දැකගන්නට තිබේ. ජනාධිපතිවරයාගේ මේ වෙනස ඇමෙරිකානු සංචාරය අතරතුරදීද පැහැදිලිවම දැකගන්නට ලැබිණි. ඒ සිය පළමු නිල හමුව වූ ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටරේස් සමග පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශයට පත් කළ කරුණු හරහාය.
එහිදී ජනාධිපතිවරයා අනාවරණ කළ පළමු කරුණ වූයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධව සිටි දෙමළ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීමය. තමන් බලයට පැමිණි පසු එම සිරකරුවන් නිදහස් කළ බවත්, නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කිරීමට තමන් කටයුතු කරන බවත් කී ජනාධිපතිවරයා, නීති කටයුතු අවසන් කොට දීර්ඝ කාලයක් අත්අඩංගුවේ සිටින දෙමළ තරුණයන්ට ජනාධිපති සමාව ලබාදීමට තමන් නොපැකිලෙන බවද එහිදී සඳහන් කර සිටියේය. මීට අමතරව අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් රජය විසින් ගත යුතු පියවරයන් හැකි ඉක්මනින් ගන්නා බවත්, ඔවුන්ට මරණ සහතික නිකුත් කිරීමේ කටයුතු කඩිනම් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී ජගත් මහ ලේකම්වරයා හමුවේ සඳහන් කර සිටියේය.
ඩයස්පෝරාවටත්
ජනපති
අත වනයි
මේ සියල්ලටම අමතරව ජනාධිපතිවරයා තවත් එක් විශේෂ ප්‍රකාශයක්ද ඇමෙරිකාවේදී සිදු කළේය. ඒ, තමන් දෙමළ ඩයස්පෝරාව හා සාකච්ඡා කිරීමට සූදානම් යැයි කියාය. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉකුත් මාර්තු මාසයේදී දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ සංවිධාන 23ක් තහනම් කිරීමට සිය ආණ්ඩුව මහින්ම පියවර ගෙන තිබියදී ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකරනු ලැබීමය.
ඒ නිසාමදෝ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට දෙමළ ඩයස්පෝරාවෙන් නම් ලැබුණේ කොන්දේසි සහිත ප්‍රතිචාරයකි. මෙහිදී ප්‍රධානම දෙමළ ඩයස්පෝරා සංවිධානය නියෝජනය කරන ගෝලීය දෙමළ සංසදයේ ප්‍රධානී සුරේන් සුරේන්දිරන් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයෙන් තම සංවිධානය පුදුමයට පත්වුණා යැයි කියාය. ජනාධිපතිවරයාට දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඊට පෙර ලංකාවේ දෙමළ ජනතාවගේ නියෝජිතයා වන දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කළ යුතු බවත්, වගවීමේ හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සාර්ථකව කළ යුතු බවත් සුරේන් කියා සිටියේය.
ඩයස්පෝරාව
කොන්දේසි
දමයි
මීට අමතරව දෙමළ ඊළාම් පාරගාමික රාජ්‍ය හෙවත් ටී.ජී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධානියා වන වී. රුද්‍රකුමාරන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් කියා තිබුණේ සියල්ලටම කලින් ජනාධිපතිවරයා දෙමළ ජනතාවට ඔවුන්ගේ ඉරණම තීන්දු කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත්, ඒ සඳහා නිශ්චිත දින වකවානු ප්‍රකාශයට පත් කළ යුතු බවත්ය.
එමන්ම දෙමළ ජාතික සන්ධානයද ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට විමතිය පළ කරමින් වචනයෙන් පමණක් නොව ජනාධිපතිවරයා ක්‍රියාවෙන්ද මෙය ඔප්පු කර පෙන්විය යුතු නමුත් ඉකුත් ජූලි මාසයේදී තමන්ට ලබාදුන් සාකච්ඡාව මේ දක්වා කිසිදු හේතුවක් නොදන්වා කල්දමා ඇති බවද කියා සිටියේය.
කෙසේ වෙතත් මේ ආකාරයට ජනාධිපතිවරයා අංශක 360කින් ආපසු කැරකී දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාව මිශ්‍ර ප්‍රතිචාර දක්වා තිබුණත්, ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් දැක්වූ සිංහල බෞද්ධ බලවේග, සිංහල සංවිධාන, දේශප්‍රේමී ජනතාව, බෞද්ධ භික්ෂුන්වහන්සේලා තවමත් ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ නොකොට නිහඬ ව්‍රතයක් රකින ආකාරයක් දැකගන්නට ඇත. ඔවුන් ජනාධිපතිවරයාගේ මෙම ස්ථාවරය පිළිගනීද නැද්ද යන්න කීමට තවම කල් වැඩි වුවත් ජනාධිපතිවරයා මෙතෙක් දැරූ ස්ථාවරයේ ප්‍රබල වෙනසක් ඇමෙරිකානු සංචාරය පුරාම විහිදී තිබූ ආකාරයක් දැකගන්නට ලැබුණු බව නම් නොකියාම බැරිය.
ඉතාලියේ
වගේම
උද්ඝෝෂණ
මේ අතර ජනාධිපතිවරයා ඇමෙරිකාවේ රැඳී සිටින කාලය ඇතුළත තවත් විශේෂ සිදුවීමක්ද වාර්තා විය. ඒ, පළමු වතාවට ලංකාවේ ජනාධිපතිවරයකු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන අවස්ථාවේදී ඇමෙරිකාව තුළ ලංකාව මුල් කරගෙන විරෝධතා කිහිපයක් දියත් කිරීමට පියවර ගෙන තිබීමය. ඉකුත් වතාවලදී නම් දෙමළ ඩයස්පෝරාව මේ ආකාරයට ලංකාවේ රාජ්‍ය නායකයන් බටහිර රටවල සමුළුවලට පැමිණෙන විට උද්ඝෝෂණ සිදුකළත්, මෙවර දැනගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ දෙමළ ඩයස්පෝරාව නොව ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් දැක්වූ සිංහල ඩයස්පෝරාව මෙම උද්ඝෝෂණවලට සම්බන්ධ වී සිටීමය. මෙම ජනතාව ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය. ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරන ලෙසය.
මේ ආකාරයට සිංහල ජනතාව ලංකාවේ රාජ්‍ය නායකයන් විදෙස්ගත වන විට උද්ඝෝෂණ සිදුකිරීම ආරම්භ වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය අතරතුරදීය. එහිදී මහින්ද ඉතාලියේ බොලොඤ්ඤා නුවර දේශනය පවත්වමින් සිටියදී ඒ ඉදිරිපිට ලාංකික ජනතාව මේ ආකාරයටම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත විය. පසුව මෙම විරෝධතාව ප්‍රංශයේ පැරිස් නුවරට ගෙන යෑමටද සිංහල ජනතාව පියවර ගත්තේය. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතන විට ස්ථාන කිහිපයකම පැවැති විරෝධතා එහි තුන්වැනි පියවරය.
මහින්ද
ඉතාලියෙන්
සිංගප්පූරුවට
ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරය අතරතුරදී දැකගන්නට ලැබුණු වත් විශේෂ සිදුවීමක් වූයේ ලංකාව රාජ්‍ය නායකයකු නොමැතිව දින 03ක් පාලනය වීමය. මන්ද යත් ජනාධිපතිවරයා විදෙස්ගත වන විට අගමැතිවරයා සිටියේ සිය ඉතාලි සංචාරයේ අවසාන භාගයේය. ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර වීමට ප්‍රථම ලංකාවට පැමිණීමට අගමැතිවරයා සැලසුම් කර තිබුණත් සෞඛ්‍ය පරීක්ෂණ කිහිපයකටම යොමුවීමට අගමැතිවරයා පියවර ගෙන තිබීම හේතුවෙන් දින දෙක තුනක් එම සංචාරය දීර්ඝ වීමට හේතුවී තිබිණි. මෙම සෞඛ්‍ය පරීක්ෂණ සියල්ල සිදුවූයේ සිංගප්පූරුවේදීය.
මහින්දට
දාපු
කොන්දේසිය
අගමැතිවරයා සමග ඉතාලි සංචාරයට 18 දෙනකු සම්බන්ධ වුවත් ඉන් වැඩි පිරිසක් ඉතාලි සංචාරය නිමවා ඩුබායි හරහා ලංකාවට පැමිණීමට පියවර ගෙන තිබිණි. නමුත් අගමැතිවරයා සෞඛ්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු වීමට සිංගප්පූරුව බලා යෑමට සූදානම් වුවද මේ වන විට කොරෝනා තත්ත්වය හේතුවෙන් ලාංකිකයන් සඳහා සිංගප්පූරුව තවමත් වසා දමා තිබීම නිසා ඒ සඳහා අවසර ලබාගැනීමට විශාල ප්‍රයත්නයක් දැරීමට අගමැතිවරයාට සිදුවිය. දීර්ඝ සාකච්ඡා වටයකින් පසු සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර හිමි වූයේ අගමැතිවරයා සමග තවත් පස්දෙනකුට පමණි. ඒ අනුව යෝෂිත රාජපක්ෂට, ආරක්ෂ නිලධාරීන් දෙදෙනකුට සහ අගමැතිවරයාගේ ඇඳුම් පැලඳුම් භාරව සිටින නිලධාරියාට පමණක් අගමැතිවරයා සමග සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර ලැබිණි.
මේ හේතුව මත අගැමැතිවරයා තවත් දෙදිනක් සිංගප්පූරුවේ සිටීම හේතුවෙන් ලංකාව ගතවූයේ ප්‍රධානම නායකයන් දෙදෙනා වූ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් නොමැතිය. ඒ කාලය තුළ වැඩ බලන රාජ්‍ය නායකයා ලෙස ව්‍යවස්ථානුකූලව කටයුතු කළේ කතානායක මහින්ද යාපා අබේවර්ධනය.
රනිල් කළේ
කාගේ
කොන්ත්‍රාත්තුවක්ද
පසුගියසතියේ අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීමට කටයුතු කළ ආකාරය රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු සැසිය පැවැති දෙදින පුරාම බැසිල් පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් විවිධ සාකච්ඡා මෙහෙයවමින් මන්ත්‍රී කණ්ඩායම සමග පාර්ලිමේන්තුවේ රැඳී සිටි බවයි.
එම සතියේ පමණක් නොව මෙවර පාර්ලිමේන්තුව පැවැති අඟහරුවාදා සහ බදාදා යන දවස් දෙකේදීද බැසිල් සිටියේ පාර්ලිමේන්තුවේය. ඉකුත් වතාවේ පාර්ලිමේන්තුවේ සිටිමින් මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් මුදල් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද මෙවර බැසිල් පාර්ලිමේන්තුවේ සිටිය සභාවට පැමිණියේ නැත. ඒ හේතුවෙන් මෙවර මුදල් පනත ඉදිරිපත් කළේ බැසිල් වෙනුවට බන්දුල ගුණවර්ධනය.
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු හාස්‍යජනකම සිදුවීමක් වූයේ බන්දුල මුදල් පනත ඉදිරිපත් කිරීමෙන් පසු නැඟී සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එකී මුදල් පනතට කිසිදු සම්බන්ධයක් නැති ප්‍රශ්න දෙකක් විමසා සිටීමය. ඉන් පළමු ප්‍රශ්නය වූයේ හිටපු මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවන්නේද යන්න පිළිබඳ මුදල් අමාත්‍යවරයාගෙන් පිළිතුරු අවශ්‍ය යැයි කියාය. දෙවැන්න වූයේ මුදල් අමාත්‍යවරයා සිටින්නේ කොහේද යන්නය.
සජබෙට
හොරේ
එළිවෙයි
රනිල්ගේ මේ ප්‍රශ්නත් සමග සභාවේ සිටි සියලු දෙනාම කට කොනකින් සිනාසෙමින් එකිනෙකා සමග කසුකුසු ගාන්නට වූයේ රනිල්ට මොනවද වෙලා තියෙන්නේ යැයි කියමිනි. නමුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කසුකුසු ගාමින් කියා සිටියේ එකත් එකටම රනිල් මේ කාගේ හරි කොන්ත්‍රාත් එකක් ඉටු කරනවා යැයි කියමිනි. එමෙන්ම රනිල් බැසිල් සොයන හේතුව කුමක්ද යන්න පිළිබඳවද එහිදී සජබ මන්ත්‍රීවරු ඒ කසුකුසුවලින් විමසමින් සිටියහ.
ඇත්තම කතාව නම් රනිල් මෙසේ බැසිල් හොයද්දී බැසිල් සිටියේ ආණ්ඩු පක්ෂ ලොබිය ඉදිරිපිට ඇති අසුනකට වී හිතවත් මැති ඇමැතිවරුන්ද සමග රනිල්ගේ කතාව රූපවාහිනියෙන් නරඹමිනි. එහිදී රනිල් කියන කතාව දෙස බැසිල් සිනාසෙමින් බලමින් සිටින ආකාරයක්ද දැකගත හැකි විය.
මේ මොහොතේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක්ද ආණ්ඩු පක්ෂයේ ලොබියේ පැත්තට පැමිණියේ තම හිතවත් අමාත්‍යවරයකු මුණගැසීම සඳහාය. එසේ එද්දී බැසිල්, නිමල් ලන්සා හා තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකු සමග රනිල්ගේ කතාව රූපවාහිනියෙන් බලමින් සිටින ආකාරය මෙම සජබ මන්ත්‍රීවරයා දුටුවේය. එය දුටු සැණින් රනිල් කබ්රාල්ට පහර දෙමින් කළ කතාවේ මුල කොතැනද යන්න සජබ මන්ත්‍රීවරයාට හිතාගැනීමට එතරම් අපහසු නොවීය. ඒ අනුව වහාම තමා පැමිණි කාරණය මඳකට පසෙක තැබූ සජබ මන්ත්‍රීවරයා සභාව තුළට ගොස් රනිල්, කබ්රාල්ට පහර දෙමින් බැසිල් සෙවූ කතාවේ යටගියාව සිය සගයන්ට පවසන්නට වූයේ කාගේත් සිනා හඬ මැද්දේය.
සාගලලාට
තවමත්
ආරක්ෂාව
පසුගිය සතියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වූ වඩිවේල් සුරේෂ් පාර්ලිමේන්තුවේ සිය වරප්‍රසාද කඩවීමේ ප්‍රශ්නයක් සහ ජීවිත තර්ජනයක් පිළිබඳ ආන්දෝලනාත්මක සිද්ධියක් කතානායකවරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගත්තේය. මෙහිදී වඩිවේල් කියා සිටියේ තමන් ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා ලෙස රාජගිරිය අංක 60 දරන ස්ථානයේ පිහිටි කාර්යාලයේ කටයුතු කරමින් සිටියදී සැප්තැම්බර් 08 වැනි දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගල රත්නායක, රුවන් විජයවර්ධන සහ නවීන් දිසානායක යන මන්ත්‍රීවරුන් සිය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවකි. එහිදී ඔවුන් හිටපු අමාත්‍යවරුන් වුවද තවමත් ඇමැති ආරක්ෂකයන් සතුව සිටි බවත්, තවත් පිරිසක් යකඩ පොලු සමග කාර්යාලයට ඇතුළු වූ බවත් වඩිවේල් කියා සිටියේය. එහිදී මෙම පිරිස කිසිදු අවසරයකින් තොරව කාර්යාලයේ දොරවල් කඩා ඇතුළු වූ බවද කියා සිටියේය. මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමටද පියවර ගත්තේය.
කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳ වඩිවේල් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නය මතුකිරීමෙන් පසු රනිල් කෝපයට පත්ව ‘පිස්සා’ යැයිකියමින් වඩිවේල්ට දොස් පැවරීමට කටයුතු කිරීම විශේෂ සිදුවිමක් විය.










