-භයානක සැප්තැම්බරය එළඹෙයි
-රහස් පොලිසිය කාදිනල් හිමි හමුවට
-බන්දුල වැඩේ අල කරලා
-ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෝ විරෝධයක
‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මීට පෙර වතාවකදී අප පළමුවරට විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ එළැඹෙන සැප්තැම්බර් මාසය ආණ්ඩුවට ‘භයානක’ මාසයක් වීම නොවැළැක්විය හැකි බවකි. ඊට හේතු වශයෙන් අප කියා සිටියේ ඉකුත් වතාවන්වලදී මෙන් නොව මෙම සැප්තැම්බරයේදී ලංකාව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර වශයෙන් එකවර පෙරමුණු කිහිපයකින්ම පහර වැදීමට සැලසුම් සකස් වෙමින් ඇති බවකි. ඉන් එක් පෙරමුණක් වශයෙන් අප පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සැප්තැම්බර් සැසිවාරයය. මෙම සැසිවාරය ලංකාව සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව එහිදී අපි පෙන්වා දුන්නෙමු. විශේෂයෙන්ම ලංකාවේ මානව හිමිකම් කඩවීමේ අවස්ථා දිගින් දිගටම සිදුවීම හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය නිසි අයුරින් ඉටු නොවීම හේතුකොටගෙන මෙවර මානව හිමිකම් කොමිසමේදී ආණ්ඩුවට බරපතළ ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවද අපි එහිදී පෙන්වා දුන්නෙමු.
භයානක
සැප්තැම්බරය
එළඹෙයි
මෙහි පළමු ඉඟිය නිකුත් වෙමින් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ එක්සත් ජාතීන්ගේ විශේෂ කණ්ඩායමක් විසින් ලංකාව ඉලක්ක කරගෙන නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත්තේය. ඒ, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මේරි ලෝලර්ගේ අස්සනින් යුතුවය. මෙම කණ්ඩායමට සාමාජිකයන් හත් දෙනකු ඇතුළත්ව තිබුණු අතර ඔවුන්ගේ කාර්යය වී තිබුණේ ලංකාව සම්බන්ධයෙන් සොයා බලා මානව හිමිකම් කඩවී ඇත්නම් එවැනි සිදුවීම් වාර්තා කිරීමය. එහිදී ඔවුන් සිය වාර්තාව මගින් ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට යටත්ව සංශෝධනය විය යුතු බව දැනුම් දී ඇති අතර එම පනත යටතේ අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් රඳවා තබාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන්ද සිය අවධානය යොමු කිරීමට පියවර ගෙන ඇත.
ජීඑස්පී ගැන
අන්තිම
තීන්දුව අරන්
එමෙන්ම සැප්තැම්බර් මාසය ලංකාවට තවත් තීරණාත්මක වී ඇත්තේ රටේ ආර්ථිකයට ඍජුවම බලපාන ජී.එස්.පී. ප්ලස් සහනය සම්බන්ධයෙන් යුරෝපා කොමිසම බරපතළ තීන්දුවක් ගැනීමට සූදානමින් සිටීම හේතු කොටගෙනය. මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා හේතු කොටගෙන මාස දෙකකට පමණ ප්‍රථම යුරෝපා කොමිසම මගින් සිය පාර්ලිමේන්තුවේදී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය තවදුරටත් ලබානොදිය යුතු බවට වූ යෝජනාවක් සම්මත කරගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීම සඳහා විශේෂඥ කණ්ඩායමක් ලංකාවට එවීමටද යුරෝපා කොමිසම සැලසුම් කොට තිබිණි.
කෙසේ වෙතත් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇති ආකාරයට මේ වන විට යුරෝපා කොමිසම ජී.එස්.පී, ප්ලස් සහනය සම්බන්ධයෙන් නිල නොවන අයුරින් අවසන් තීන්දුවකට පැමිණ තිබේ. ඒ, මෙතෙක් පැවැති එම සහනය ලංකාවට තවදුරටත් ලබා දෙනවාද, එසේත් නැතිනම් එය අත්හිටුවනවාද යන දෙගිඩියාව අවසන් කරමිනි. ඒ බව යුරෝපා කොමිසම මගින් ආණ්ඩුවට යම් ඉඟියක් ලබාදී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එය නිල වශයෙන් ඉදිරි සති කිහිපය ඇතුළත ආණ්ඩුවට දැනුම් දීමටද යුරෝපා කොමිසම පියවර ගනු ඇත.
ඒ කොයි හැටි වෙතත් ආණ්ඩුව ඇතුළේ දැකගන්නට ඇති කලබලයට අනුව නම් යුරෝපා කොමිසම පැත්තෙන් ලැබී ඇති ඉඟිය එතරම් සුබදායක නැති බව පැහැදිලිවම සඳහන් කිරීමට පුළුවන. ඒ අනුව ලබන වසරේ මැයි මාසය වන තෙක් පමණක් දැනට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් සහනය තවදුරටත් දීර්ඝ කරනවාද, එසේත් නැත්නම් මැයි මාසයේදී එම සහනය අත්හිටුවනවාද යන්න තීන්දු කෙරෙනු ඇත.
ජනපතිගේ
අමෙරිකානු
ගමන
ජිනීවා මානව හිමිකම් කොමිසමේ ප්‍රශ්නය සහ ජී.එස්.පී. ප්ලස් සහනය පිළිබඳ ප්‍රශ්නය එක අතකින් පවතිද්දී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් දිගු කලකට පසු විදේශගත වීම සඳහා මීට සති කිහිපයක් තියාම සැලසුම් සකස් කරමින් පැවතිණ.
ජනාධිපතිවරයා සැලසුම් කර තිබුණේ මෙවර නිව්යෝර්ක් නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා ඇමෙරිකාව බලා පිටත්ව යෑමටය. මෙය පසුගිය කාලය පුරාම මාධ්‍යයෙන් සඟවා තැබීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වගබලා ගෙන තිබුණද, මෙම පුවත අප අඅඅගප්අර්ඒබැඅිගකන පළමු වරට අනාවරණ කරන ලද්දේ ඉකුත් අගෝස්තු මස 02 වැනි දිනය. එහිදී අප වෙත ලැබී තිබුණු තොරතුරුවලින් අප කියා සිටියේ ජනාධිපතිවරයා මුලින්ම බි්‍රතාන්‍යයටත්, අනතුරුව ඇමෙරිකාවටත් සංචාරය කිරීම සඳහා සැලසුම් කරමින් සිටින බවය.
රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව සමග බි්‍රතාන්‍යයේ පැවැත්වෙන පාරිසරික සමුළුවක් විසින් ජනාධිපතිවරයාට මෙම ආරාධනාව කර තිබූ බවත්, ජනාධිපතිවරයා විසින් එම ආරාධනාව පිළිගෙන තිබූ බවත් අප එහිදී කියා සිටියෙමු. ඉන් අනතුරුව ජනාධිපතිවරයා බි්‍රතාන්‍යයෙන් කෙළින්ම ඇමෙරිකාව බලා පිටත්ව ගොස් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීමට සූදානමින් සිටින බවද අපි එහිදී අනාවරණ කර සිටියෙමු. එමෙන්ම තවත් විශේෂ කරුණක්ද අපි එහිදී අනාවරණය කළෙමු. ඒ, පළමුවරට ජනාධිපතිවරයා සිය මිණිබිරිය සජීවීව දැකබලා ගැනීමට සූදානමින් සිටින බවය. ඒ අනුව මෙම ඇමෙරිකානු සංචාරයේදී ජනාධිපතිවරයා සිය පුතා මෙන්ම ලේලියද, මිණිබිරියද දැකබලාගෙන ඔවුන් සමග දින කිහිපයක් විවේකයෙන් සිටීමටද සැලසුම් කොට ඇති බව ආරංචිය.
රට හොල්ලපු
මහින්දගේ
ඉතාලි ගමන
ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරය පිළිබඳ කිසිදු ගැටලුවක් පැනනොනැඟුණු නමුත් අගමැතිවරයාගේ ඉතාලි ගමන පිළිබඳව නම් පසුගිය සතියේ රට ඇතුළේ තිබුණේ මහා ආන්දෝලනයකි. ඊට හේතුවී තිබුණේ අගමැතිවරයාගේ ඉතාලි ගමන කනවැකුණු සැණින් කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව විසින් මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රසිද්ධියේම එම ගමනට එරෙහිව යුද ප්‍රකාශ කර සිටීමය.
මෙම යුද ප්‍රකාශ කිරීම පිටුපසද විශාල කතාවක් තිබේ. පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව කාදිනල් හිමි ඇතුළු කතෝලික සභාව එහි මහ මොළකරුවන් සොයාගැනීම වෙනුවෙන් සහ එහි වින්දිතයන්ට සාධාරණය ඉටුකර ගැනීම වෙනුවෙන් රට ඇතුළේ විශාල සටනක් දියත් කළහ. එහි ප්‍රතිඵලය වූයේ එවක පැවැති යහපාලන ආණ්ඩුව වැට්ටවීමට තරම් ප්‍රබල සටන් පාඨයක් බවට පාස්කු ප්‍රහාරය පත්වීමය. වත්මන් පාලකයන් බලයට පැමිණියේද පාස්කු ප්‍රහාරකයන් අල්ලා දැඩි දඬුවම් දෙන බව කියමින්ය. නමුත් පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ඉක්ම ගොස් තිබියදීත් නියම වගකිවයුත්තන් අත්අඩංගුවට නොගැනීම සහ ජනාධිපති කොමිෂන් වාර්තාව මගින් අපරාධ නඩු ගොනු කරන ලෙසට නිර්දේශ කර තිබූ පුද්ගලයන් ආණ්ඩුවේම කමිටුවක් මගින් නිදහස් කොට තිබීම පිළිබඳ කතෝලික සභාව පසුගිය කාලය පුරා සිටියේ දැඩි කලකිරීමට පත්වය. ඒ පිළිබඳ කාදිනල් හිමියන් වරෙක ජනාධිපතිවරයා වෙත ප්‍රබල ලිපියක්ද යොමු කළේය.
රමේෂ්ට
කට
වැරදුණාද?
නමුත් එම ලිපියට සාධාරණ පිළිතුරක් නොලැබුණු බැවින් උන්වහන්සේ කළේ වතිකානය වෙත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු තොරතුරු දැනුම්දෙමින් ලිපියක් යොමු කිරීමය. දැන් පවතින තත්ත්වයට අනුව වතිකානයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් ලැබීමට නියමිත අතර ආණ්ඩුව ඒ හේතුවෙන් කලබල වී ඇති බවත්, එය වළක්වා ගැනීම සඳහා අගමැතිවරයා වතිකානය වෙත යෑමට නියමිත බවත් කණින් කොනින් එළියට එන්නට පටන් ගෙන තිබිණි. එය වඩාත් තහවුරු වූයේ අඟහරුවාදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී රමේෂ් පතිරණ අමාත්‍යවරයා විසින් ඒ බව තහවුරු කිරීමත් සමගය. එහිදී රමේෂ් කියා සිටියේ අගමැතිවරයා ඉතාලියට යෑමට නියමිත බවත්, එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වතිකානය දැනුවත් කිරීමට කටයුතු කරනු ඇති බවත්ය.
ඒ සමගම වහාම මාධ්‍ය හමුවක් කැඳවූ කාදිනල් හිමියන් ප්‍රමුඛ කතෝලික සභාව ආණ්ඩුවේ මේ වෑයම දැඩිව හෙළාදැකීමට පියවර ගත්තේය. කාදිනල් හිමියන් කියා සිටියේ අගමැතිවරයාත්, විදේශ ඇමැතිවරයාත් සූදානම් වන්නේ වතිකානයත්, පාප්වහන්සේවත් නොමඟ යැවීමට බවත්, ආණ්ඩුව එසේ කොන්දක් නොමැතිව ජාත්‍යන්තරයට යන්නේ නම් තමන්ද ජාත්‍යන්තරයට යෑමට සූදානම් බවත්ය.
කෙසේ වෙතත් කාදිනල් හිමියන්ගේ මෙම දරුණු ප්‍රහාරය සිදුකොට පැය කිහිපයක් යෑමට මත්තෙන් විශේෂ කටයුතු දෙකක් සිදුවිය. ඉන් එකක් වූයේ විදේශ අමාත්‍යාශය මගින් වහාම ඒ පිළිබඳ පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කිරීමය. එම නිවේදනයෙන් කියැවුණේ අගමැතිවරයා ඉතාලි සංචාරයේදී පාප්වහන්සේ බැහැදැකීමට අවස්ථාවක් ඉල්ලා නැති බවත්, පාප්වහන්සේගේ පාර්ශ්වයෙන් හෝ ඊට ආරාධනාවක් ලැබී නොමැති බවත්ය. අගමැතිවරයා ඉතාලියට යන්නේ එහි විශ්වවිද්‍යාලයක දේශනයක් පැවැත්වීම සඳහා බවත්, එය කල් තියා ලැබී තිබුණු ආරාධනාවක් පිළිගැනීමක් පමණක් බවත් එම නිවේදනයේ සඳහන්ව තිබිණි.
බුද්ධි අංශය
කාදිනල් හිමි
හමුවට
දෙවැනි සිදුවීම වූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් කාදිනල් හිමි ඇතුළු කතෝලික සභාව හමුවීමට පැමිණීමය. ඔවුන් පැමිණ තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කතෝලික සභාව දැනුවත් කිරීමටය. නමුත් මෙම සාකච්ඡාවට කාදිනල් හිමියන් එක් නොවීම විශේෂ සිදුවීමක් විය. බිෂොප්තුමන්ලා පමණක් එම හමුවට එක්ව සිටින ආකාරයක් දැකගත හැකිවිය.
කබ්රාල්ට
යන්න
කිව්වේ කවුද?
පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය තවත් කතාවකින් කියැවුණේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ඇමැති පදවියෙන් පමණක් නොව මන්ත්‍රී ධුරයෙන්ද ඉවත්ව යෑමට තීරණය කොට ඇති බවකි. පළමු වටයේදී දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය කතාවකින් කියැවුණේ ජනාධිපතිවරයා විසින් කබ්රාල් යටතේ තිබූ ආයතන විශාල ප්‍රමාණයක් නාමල් යටතට පැවරීම හේතු කොටගෙන කලකිරී ඇති කබ්රාල් මෙසේ මන්ත්‍රීකමෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි කියාය. එම සිදුවීමෙන් අනතුරුව කබ්රාල් තමා සතුව ඇති එකම ආයතනයද නාමල්ටම පවරා දෙන ලෙස දැනුම් දෙමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බවද අපි මීට කලින් සතියකදී මෙම තීරය ඔස්සේ වාර්තා කිරිමට පියවර ගත්තෙමු.
මහින්දත් හා කියයි
කෙසේ වෙතත් කබ්රාල් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට බලපා ඇත්තේ එම කාරණාවටත් වඩා ජනාධිපතිවරයා විසින් කබ්රාල්ගෙන් කර තිබූ ඉල්ලීමකි. එහිදී ජනාධිපතිවරයා පවතින ආර්ථික අර්බුදයත් සමග කබ්රාල්ගෙන් ඉල්ලා තිබුණේ මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව මහ බැංකු අධිපති ධුරය භාරගැනීමට කටයුතු කරන ලෙසය. පසුව ජනාධිපතිවරයාගේ මේ ඉල්ලීම පිළිබඳ කබ්රාල් අගමැතිවරයා සමගද අදහස් හුවමාරු කරගැනීමට කටයුතු කර තිබිණි. මහින්දද එහිදී ඊට කිසිදු අකැමැත්තක් නොදක්වමින් කියා සිටියේ මහ බැංකු අධිපති ධුරයේ කලිනුත් කටයුතු කර ඇති බැවින් පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එය වඩාත් උචිත වනු ඇතැයි කියාය.
කෙසේ වෙතත් මෙම කාරණය රහසිගතව තබාගැනීමට සියලු පාර්ශ්වයන් කටයුතු කළද කෙසේ හෝ මෙය මාධ්‍ය මගින් අනාවරණ වීමත් සමග සියලු දෙනාම එ පිළිබඳ කබ්රාල්ගෙන් විමසද්දී ඔහු ලබාදුන්නේ දෙපැත්තටම නැති පිළිතරකි.
‘ඒක දැන්ම ඇත්තක් කියන්නත් බෑ, බොරුවක් කියන්නත් බෑ…’ යන්න කබ්රාල් එහිදී ලබාදුන් පිළිතර විය.
කබ්රාල්ගේ
පුටුවට
එන්නේ කවුද?
කෙසේ වෙතත් කබ්රාල් නැවත මහ බැංකු අධිපති ධුරය භාරගන්නේ නම් ඒ සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කොට තිබීම මෙම කටයුත්ත ප්‍රමාද වීමට හේතුවී ඇති බවද වාර්තා වේ. ඉන් ප්‍රධානම කොන්දේසියක් වී ඇත්තේ මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළද තමන්ට කැබිනට් ඇමැතිවරයකු සතු බලතල හිමිවිය යුතු යැයි කියාය. වර්තමාන මූල්‍ය අර්බුදය හමුවේ වහ වහා තීන්දු තීරණ ගත යුතු බැවින් කබ්රාල් විසින් එම කොන්දේසිය ඉදිරිපත් කොට ඇති බවද ආරංචිය.
ඊට අමතරව ජාත්‍යන්තර මුල්‍ය ආයතනද දැනටමත් මෙම කොන්දේසියට අප්‍රසාදය පළකොට ඇති බවක්ද දැනගන්නට තිබේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතන දැනටමත් දැනුම්දී ඇත්තේ මහ බැංකු අධිපති ධුරය ස්වාධීන තනතුරක් විය යුතු බැවින් එය දේශපාලනීකරණය සිදු නොකළ යුතු යැයි කියාය.
අනෙක් පැත්තෙන් මුදල් අමාත්‍යාංශයද තවමත් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවක් දැනගන්නට නැත. පසුගිය කාලයේදී කබ්රාල් හා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතර යම්කිසි විරසකයක් පැවැති බව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසක් වන බැවින් සියලු දෙනාම සිතා සිටියේ කබ්රාල්ට මහ බැංකු අධිපති ධුරය ලබාදීමට පී.බී. විරුද්ධ වනු ඇතැයි කියාය. නමුත් පී.බී.ගේ විරෝධතාවක් ඊට මතුව නැතත් මුදල් අමාත්‍යාංශය පැත්තෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ඒ සම්බන්ධයෙන් ගෙන නැති බවද දැනගන්නට ඇත.
අලුතින් එන විමල් කව්ද?
කෙසේවෙතත් ජනපතිවරයා නම් සිටින්නේ කබ්රාල් මහබැංකු අධිපති ධූරය ගත යුතුය යන ස්ථාවරයේ නිසා අවසානයේදී තීන්දු කෙරුණේ කැබිනට් බලතල සහිතව කබ්රාල් මහබැංකු අධිපති ධූරයට පත්කිරීමටය. එ අනුව ලබන 16 වැනි දින කබ්රාල් මහබැංකු අධිපති ධූරයේ වැඩ බාරගැනීමට නියමිතය.
එ අනුව කබ්රාල්ගෙන් හිස්වන මන්ත්‍රී ධූරයට මුල් අවස්ථාවේදී ජයන්ත කැටගොඩගේ නම කියවුණද අපට වාර්තා වන තොරතුරුවලින් කියවෙන්නේ එම මන්ත්‍රී ධූරය විමල් ගීගනගේ හට ලබා දීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බවය. විමල් ගීගනගේ යනු පොදුජන පෙරමුණ පිහිටුවීම සඳහා සිය පක්ෂය ලබාදුන් තැනැත්තාය. ඔහුට කෘතගුණ සැලකීමක් ලෙස මෙම මන්ත්‍රී ධූරය ලබාදීමට ආණ්ඩුවේ සැලසුම වී ඇති බව දැනගන්නට ඇත.
බැසිල්
පාර්ලිමේන්තුව
අල්ලයි
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල ආණ්ඩුවේ වැඩකටයුතු සියල්ල පිළිබඳ සොයාබලමින් සක්‍රීය ලෙස දේශපාලන කටයුතුවල නිරත වී සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ආණ්ඩුවේ වැඩකටයුතුවලට අමතරව බැසිල් මේ දිනවල පාර්ලිමේන්තුවේ කටයුතුවලටද වැඩි දායකත්වයක් ලබාදෙමින් සිටින ආකාරයක් පසුගිය සතියේ කටයුතු කළ ආකාරය දෙස බලන විට පෙනෙන්නට ඇත. බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ මේ හරහා බැසිල් පාර්ලිමේන්තුවේ බලය අතට ගැනීමට පියවර ගෙන ඇතැයි කියාය.
එහිදී පළමුවෙන්ම දැකගන්නට ලැබුණු සිදුවීම වූයේ පක්ෂ නායක රැස්වීමට බැසිල් සහභාගි වන බව දැනුම් දෙමින් ලිපියක් යොමුකොට තිබීමය. ඒ හරහා පක්ෂ නායක රැස්වීම තුළ ආණ්ඩුවේ හඬ තීව්‍ර කිරීම බැසිල්ගේ අරමුණ වී ඇති ආකාරයත් දැකගන්නට ඇත.
මන්ත්‍රීවරුන්ට
මිලියන 100
ගානේ දෙයි
අනෙක් අතින් බැසිල් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දින දෙකම රැඳී සිටි අතර ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කැඳවා සාකච්ඡා කිරීමටද පියවර ගත්තේය. එසේ පැවැති එක් සාකච්ඡාවකදී බැසිල් ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේ ඉදිරි අයවැයෙන් ආණ්ඩුවේ සෑම මන්ත්‍රීවරයකුටම රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන ලබාදීමට නියමිත බවත්, ඊට අදාළ ව්‍යාපෘති යෝජනා වහාම මුදල් අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසත්ය. එම යෝජනා ඔක්තෝබර් 31ට කලින් ලබාදෙන ලෙසද බැසිල් මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේය. මේ ආකාරයට බැසිල් පාර්ලිමේන්තුවේ රැඳී සිටි කාලය තුළ වෙනදා පාර්ලිමේන්තු නොපැමිණි මන්ත්‍රීවරුන් පවා පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සිටි කාලය අතරතුරදී බැසිල් දැනට රට තුළ මතුව ඇති ආහාර අර්බුදය පිළිබඳ ඇමැතිවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද පියවර ගත්තේය. එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු වෙළෙඳ ඇමැතිවරයකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වැඩිම කාලයක් සතොස සභාපතිවරයකු ලෙස කටයුතු කළ නලින් ප්‍රනාන්දු මහතාද එක්ව සිටියහ. කෙසේ වෙතත් ඊට වත්මන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එක්ව සිටියේ නැත. ඒ, බන්දුල කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබීම නිසාවෙනි.
බන්දුල
වැඩේ
අවුල් කරලා
මෙම සාකච්ඡාවේදී බැසිල් ආහාර අර්බුදය පිළිබඳ ඇමැතිවරුන්ගෙන් අදහස් විමසද්දී නලින් ප්‍රනාන්දු කියා සිටියේ පවතින තත්ත්වය තරමක් බැරෑරුම් බවකි. සහල් ප්‍රශ්නය උග්‍ර බව එහිදී කියා සිටි නලින්, මේ යන විදියට සාගතයක් පැමිණීමේ අවදානමක් මතුව ඇති බවද කියා සිටියේය. එම නිසා එක් එක් ක්ෂේත්‍ර තනි තනිව නොගෙන සමස්ත ක්ෂේත්‍රය තුළ ඇති ප්‍රශ්නය විසඳාලිය යුතු බවද නලින් එහිදී බැසිල්ට පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙම ප්‍රශ්න බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් හසුරුවන ආකාරය පිළිබඳ බරපතළ චෝදනාවක්ද මෙහිදී එල්ල විය. බන්දුල විසින් ගෙන ඇති ඇතැම් තීන්දු හේතුවෙන් ප්‍රශ්නය තවත් බරපතළ වී ඇති බවද ඔවුහු බැසිල්ට පෙන්වා දුන්හ. ඒ අනුව බැසිල් මේ සියල්ලටම සාවධානව ඇහුම්කන් දුන් ආකාරයක් දැකගත හැකි වූ අතර, ඉදිරියේදී දැඩි තීන්දු තීරණ කිහිපයක්ම ගැනීමට සූදානමින් සිටින බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආංචිය.
හදිසියට නැති
පක්ෂත්
බැසිල්ට
මීට අමතරව පසුගිය සතියේ බැසිල් පාර්ලිමේන්තුවට ගෙන ආ මුදල් පනත් කෙටුම්පත සම්මත කරගැනීමේදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට අමතරව හකීම් හා රිෂාඩ්ගේ පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය හිමිවීමද විශේෂ සිදුවීමක් විය. ඒ අනුව එම පක්ෂ නියෝජනය කරන ෆයිසාල් කාසිම්, එම්.එච්.එම්. හාරිස්, එම්.එස්. තවුෆීක්, ඉෂාක් රහුමාන්, නසීර් අහමඩ් හා මුෂාරෆ් මුතුනඩීන් යන මහත්වරු බැසිල් ගෙනා පනතට පක්ෂව ඡන්දය දුන්හ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සඳුදා දින ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ හදිසි නීති රෙගුලාසි පිළිබඳ ඡන්ද විමසීමට මෙම මන්ත්‍රීවරු ඡන්දය ලබා නොදුන්නද බැසිල් ගෙනා පනතට පක්ෂව ඡන්දය ලබාදීමය. ඒ හරහා මෙම මන්ත්‍රීවරුන් සිටින්නේ තමන් සමග බව බැසිල් සියල්ලන්ටම පෙන්වා දුන් බව බොහෝ දෙනාගේ අදහසය.
නාමල්ගේ 50ට
ජ්‍යෙෂ්ඨයන්ගේ
විරෝධය
ජනාධිපතිවරයා විසින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා යටතේ පැවැති විෂයයන් ගණනාවක් ඇතුළු ආයතන විශාල ප්‍රමාණයක් ගැසට් කරනු ලැබුවේ මීට සති දෙකකට පෙරාතුවය. ඒ හරහා විශාල බලයක් නාමල් අමාත්‍යවරයාට ජනාධිපතිවරයා විසින් පවරා තිබුණු අතර, ඒ යටතේ සිදුකිරීමට හැකි ව්‍යාපෘති සකස් කරන ලෙසද ජනාධිපතිවරයා විසින් නාමල්ට දැනුම් දී තිබිණි. ඒ අනුව නාමල්ද තමන්ට පැවරී ඇති විෂයයන් යටතේ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සකස් කොට ජනාධිපතිවරයා වෙත ලබාදීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව පසුගිය සතියේ ජනාධිපතිවරයා තීන්දු කර තිබුණේ මෙම ව්‍යාපෘති දියත් කිරීම සඳහා නාමල් යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරු 50ක් පත්කිරීමටය. ඒ සෑම අධීක්ෂණ මන්ත්‍රීවරයකුටම නිල රථයක් ලබාදීමටත්, කිසියම් ගෙවීමක් සිදුකිරීමටත් ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ වන විට යෝජනා වී ඇත.
කෙසේ වෙතත් නාමල් යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරු ලෙස කටයුතු කිරීමට බොහෝ දෙනා එකඟතාව පළකොට තිබුණද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇති ආරංචිවලට අනුව ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම දැනටමත් මෙම යෝජනාවට විරුද්ධව අදහස් දක්වා තිබේ. ඔවුන් පෙන්වා දී ඇත්තේ නාමල් යටතේ අධීක්ෂණ මන්ත්‍රී ධුර දැරීමට තමන්ට නොහැකි බවකි. මෙම පිරිසට දැනට ජ්‍යෙෂ්ඨයන් හත් අට දෙනකුගේ කණ්ඩායමක් සිටින අතර, ඉදිරියේදී එම පිරිස තවත් ඉහළ යා හැකි බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මිලින්ද ලංකාව
ඉන්දියාවට
හරවයිද
තනතුර භාරදී මාස 14ක කාලයක් ගතවීමෙන් පසු නවදිල්ලිය බලා පිටත්ව ගිය ඉන්දියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඒ ගිය හැටියේම වාගේ තමන්ගේ නිල රාජකාරි ආරම්භ කොට ඇති බව දැකගන්නට තිබේ. ඒ, ඉන්දියාව හා ලංකාව අතර ආරක්ෂක, වාණිජ සහ ආර්ථික කටයුතු අතින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට මිලින්ද වෙනම වැඩසටහනක් සකස් කර තිබීම හරහාය. මිලින්ද සිය වැඩ භාරගැනීමත් සමගම විශේෂ ලිපියක් ප්‍රකාශයට පත්කරමින් තමන් නවදිල්ලියේදී සිදුකිරීමට සූදානමින් සිටින වැඩ රාජකාරි පිළිබඳ සියලු දෙනා දැනුවත් කිරීමටද පියවර ගත්තේය.
කෙසේ වෙතත් මිලින්ද මෙසේ ඉන්දියාවේ මහ කොමසාරිස් ධුරය භාරගත්තේ ජාත්‍යන්තර වශයෙන් ලංකාව, චීනය හා ඇමෙරිකාව සමග රාජ්‍යතාන්ත්‍රික ගැටුම්වලට මුහුණදී ඇති පසුබිමකය. එහිදී ඉන්දියාවත්, ඇමෙරිකාවත් කලක සිට චෝදනා කරන්නේ ලංකාව චීනය සමග සීමා ඉක්මවා සබඳකම් පවත්වන බවටත්, ඒ හේතුවෙන් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතුවී ඇති බවටත්ය. ඒ අනුව මිලින්ද මේ වන විටත් මෙම චෝදනාව බිඳහෙළා ඉන්දියාව හා ලංකාව අතර සමීප සබඳතාවක් ඇතිකිරීමට කටයුතු කරමින් සිටින බවක් දැකගන්නට තිබේ.
එහි පළමු පියවර පසුගිය සතියේ දැකගත හැකි විය. ඒ, ඉන්දියාවේ ඉහළ පෙළේ ආරක්ෂක නියෝජිත පිරිසක් ලංකාවට පැමිණීමත් සමගය. දෙරට අතර ආරක්ෂක සබඳතා වැඩිදියුණු කිරීමත්, ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීමත් පිළිබඳ මෙහිදී දෙරට අතර සාකච්ඡා වී ඇති බව සඳහන්ය. එමෙන්ම ලංකාවේ හමුදා නිලධාරීන්ට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනාවක්ද එහිදී සිදු කෙරිණි.
ඒ අනුව මේ වන විට ලකාවේ ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් නිලධාරීන් 39 දෙනකුද ඉදිරි දිනෙකදී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. ඒ, දෙරට අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිවය.
ඒ අනුව ඉන්දියාවට ගිය මිලින්ද දැනටමත් ලංකාව ඉන්දියාව දෙසට රැගෙන යන ලකුණු මේ හරහා පහළ කොට ඇති බවක් දකගත හැකිය.
සජබෙ
සූම් මීටිමේ
අවුල්
සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම මේ සතියේද පැවැත්වුණේ සූම් ක්‍රමයටය. රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, ගයන්ත කරුණාතිලක සහ’ අශෝක අබේසිංහ යන මන්ත‍්‍රීවරු කල් ඇතිවම රැස්වීමට එක්ව සිටියහ. සියලු දෙනාම සූම් සාකච්ඡාවට ඇතුළු වූයේ සූම් සාකච්ඡාවලදී විඳින්නට සිදුවන අකරතැබ්බයන් ගැනද සිහිපත් කරමිනි.
ඇතැම් විට සමහරුන්ට තමන්ගේ මයික්‍රෆෝන නිහඬ කරගැනීමට අමතක වන අතර, එවිට ගෙදර සියලු දෙනාම කතා කරන දේවල් අනෙක් අයටද ඇසෙන්නේය. බොහෝ විට මේ අකරතැබ්බයට මුහුණ දෙන්නේ තුෂාර ඉඳුනිල් මන්ත‍්‍රීවරයාය.’
මේ සතියේ මන්ත‍්‍රී කණ්ඩායමේදී වැඩි අවධානයක් යොමුවූයේ සතියේ පාර්ලිමේන්තු කටයුතු කෙරෙහිය. ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු සතිය දින දෙකකට සීමා කළත් ඒ දින දෙකේදී විවාදයට ගන්නා යෝජනා බරපතළ බව සියල්ලන්ගේම අදහස විය.
ආරම්භයේදීම විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස හදිසි නීතිය ගැනත්, බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ මූල්‍ය පනත් ගැනත් මන්ත‍්‍රීවරුන්ට අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදුන්නේය.
‘ආහාර සම්න්ධයෙන් කටයුතු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පනත තියෙනවා. ආපදා කළමනාකරණ පනත තියෙනවා. මේවාට සියලුම ප‍්‍රතිපාදන තිබියදී හදිසි නීතිය ගේන්න හදනවා. හදිසි නීතිය ගෙන ඒම පිටුපස තියෙන්නේ ඒකාධිපතිත්වයකට යාමයි…’ සජිත් කීවේය.
මේකට සැරට දැනෙන දෙයක් අපි කරන්න ඕනෙ…’ හර්ෂණ රාජකාරුණා යෝජනා කළේය.
‘ඒ නිසා තමයි මේ කණ්ඩායම් රැස්වීම දැනුවත් කිරීමට අපි කටයුතු කරන්නේ…’
සජිත් කීවේ සූම් හමුවට එක්ව සිටි නීතිඥ පිරිස හඳුන්වා දෙමිනි.
රනිල්ට රංගේට වාරණ නියෝගයක්!
සමගි ජන බලවේගයට සහාය දැක්වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රී ධූර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සජිත් පසුගිය දිනවල විශාල මැදිහත්වීමක් කළේය. ඒ අතරම පක්ෂ මහලේකම්වරයාට නීති කමිටුව සමග එක්ව ඔවුන්ගේ නීතිමය කටයුතු ගැන සොයා බැලීමට ඔහු අමතක කළේ නැත. නිරන්තරයෙන් මේ පිළිබඳ සජිත් සිය අවධානය යොමු කළේය.
මේ අතර හබරාදුව ආසනයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකුගේ මන්ත‍්‍රී ධූර අහෝසි කර අලුත් මන්ත‍්‍රීවරු පත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් අධිකරණයෙන් ලබාදුන්නේය. ඒ වෙනුවෙන් පෙනී සිටීමට ගොස් සිටියේ තාරක නානායක්කාරය.
රනිල් වික්‍රමසිංහට හා පාලිත රංගේබණ්ඩාරට එරෙහිව වාරණ නියෝගයක් ලබාගැනීමෙන් පසුව ඔහු ඒ බව දැනුම්දීමට මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට දුරකතන ඇමතුමක් ගත්තේය.
‘මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රී ධූර ආරක්ෂා කරන නියෝගයක් ගන්න පුළුවන් වුණා…’ තාරක කීවේය.
‘ඔය ගාල්ලේ හිටපු අය රාජපක්ෂලා එක්ක දාපු ඩීල් නිසා මොන යටිකූට්ටු වැඩක් කරාවිද දන්නේ නෑ. ඒ නිසා නීතිය ගැන විශ්වාස කරලා, අධිකරණය ගැන විශ්වාස කරලා අපි කටයුතු කරමු…’ රංජිත් මද්දුබණ්ඩාර තාරකට කීවේය.
විපක්ෂයේ හුස්ම
ලක්ෂ අටසීය
සමීපයේ
සමගි ජන බලවේගය ක්‍රියාත්මක ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහන දැන්’වට 25 ඉක්මවා ගොස් තිබේ. ඒ හරහා කරන ලද පරිත්‍යාග වටිනාකම දැන් ලක්ෂ 800ට ආසන්න වී ඇත.
විපක්ෂයෙන් හුස්මක් 25 වැනි අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට”රුපියල් තිස් ලක්ෂ අනූදහසක් (රු. 3,090,000.00) වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කළ අතර මේ වැඩසටහන් මාලාව පිළිබඳ විශාල පිරිසක් සජිත්ට ස්තුති කළහ.
‘ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙනවා. ඉතිහාසයේ බිහිවෙච්ච වැඩිම බලතල තියෙන ජනාධිපතිවරයා ඉන්නවා. මේ ආණ්ඩුවට නැති දෙයක් නෑ. එහෙම වෙලා තියෙද්දිත්’ධන බලය නැති ඔබතුමන්ලා පරිත්‍යාගශීලීන්ගේ හයියත් අරගෙන මේ කරන මහා මෙහෙවර ඉතිහාසගත වෙනවා…’
ප්‍රකට භික්ෂුන්වහන්සේ නමක් සජිත්ට කතා කොට’ ශුභාශිංසනය කළේය.
‘අපි මේ ආණ්ඩුව කරන වැරදි වැඩවලට කොන්දේසි විරහිතව එරෙහි වෙනවා. ආණ්ඩුව විවේචනය කරන්න අපි කිසිම බයක් නෑ. මොකද අපිට ආණ්ඩුව එක්ක අංශුමාත්‍රයක ඩීල් එකක් නෑ. ඒ එක්කම අපි සාම්ප්‍රදායක විපක්ෂයක් වගේ බලය එනකම් අත් දෙක පොරවාගෙන ඉන්නෙ නෑ. නූතන විපක්ෂයක් විදිහට අපි වැඩ කරනවා…’ සජිත් උත්තර දුන්නේය.
ඒ අතර ඉදිරි දින කිහිපයේදීද ‘විපක්ෂයෙන් හුස්මක්’ තවත් අදියර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.










