කන්න ගිය ප්‍රබල ඇමැතිට වෙච්ච අකරතැබ්බය!
ජනපතිට දවස අමතක වී කේන්තියෙන්!
මහින්දට දේශපාලනය ගැන කලකිරෙයි!
ගම්මන්පිල විමල්ලාගෙන් ගැලවෙයි?
පසුගිය සතියේ අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් හටගෙන ඇති ආකාරයත්, එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගිය ආකාරයත් සඳහන් කළෙමු. ඉකුත් සතියේ අඟහරුවාදා දින එසේ බැසිල් ලංකාවෙන් පිටව යද්දී සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සංචාරය කෙටි කොට හදිසියේම බදාදා දිනම ලංකාවට පැමිණි බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
ජනපතිට අමතක වුණු දවස
එසේ ලංකාවට පැමිණි ජනාධිපතිවරයා ඉකුත් සති අන්තයේ කලින් යොදාගත් රාජකාරි කටයුතු කිහිපයක් සඳහා දියතලාවේ සංචාරයක නිරත වීමට පියවර ගෙන තිබිණි. එම ගමනට යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාද එක්ව සිටි ආකාරයක් දැකගන්නට හැකි විය. එම සංචාරයේදී ජනාධිපතිවරයා බිඳුණුවැව ප්‍රදේශයේ පිහිටි ආණ්ඩුවේ ගොවිපොළක්ද නිරීක්ෂණයට ගියේය. නමුත් ජනාධිපතිවරයා බිඳුණුවැව ගොවිපොළට පැමිණියද අවම වශයෙන් එහි ගේට්ටුව විවෘත කිරීමට හෝ කිසිවකුත් නොසිටි ආකාරයක් දැකගත හැකි විය. එපමණක් නොව ගොවිපොළ පිහිටි භූමියෙහිද කිසිවකුත් දැකගන්නට නොලැබුණු අතර කාර්යාල පවා වසා දමා තිබූ තත්ත්වයක් දැකගත හැකි විය. මේ බව දුටු ජනාධිපතිවරයා දැඩි කෝපයට පත්ව ඒ අවස්ථාවේම කිහිප දෙනකුටම දුරකතන ඇමතුම් ලබාදී උස් ස්වරයෙන් යුතුව බැන වදින ආකාරයත් දැකගන්නට ලැබිණි.
නමුත් එහිදී ඇත්තටම සිදුව ඇති දේ ජනාධිපතිවරයාට වැටහුණේ මෙම ඇමතුම්වලට ලැබුණු ප්‍රතිචාරවලට අනුවය. එම ප්‍රතිචාරවලින් කියැවුණේ එදින පොහෝ දිනයක් නිසා බිඳුණුවැව රජයේ ගොවිපොළ වසා දමා ඇති බවත්, පොහෝ දිනවල අනෙකුත් රාජ්‍ය ස්ථානවල මෙන්ම එහිද කිසිදු සේවකයකු සේවයට වාර්තා නොකරන බවත්ය. තමන් පොහෝ දිනයක එම ස්ථානයට පැමිණ ඇති බව ජනාධිපතිවරයාට වැටහුණේ ඒ ලැබුණු පිළිතුරෙන් පසුවය. කෙසේ වෙතත් පසුව බලධාරීන් විසින් වහාම අදාළ සේවකයන් කැඳවා ජනාධිපතිවරයාට ගොවිපොළේ වගා කටයුතු නිරීක්ෂණයට අවස්ථාව ලබාදීමට පියවර ගෙන තිබූ ආකාරයක් දැකගන්නට තිබිණ.
මහින්දට දේශපලානය ගැන කලකිරෙයි! නුවරඑළියේ ගිහින් කරපු දේ!
ජනාධිපතිවරයා මේ ආකාරයට ලංකාවට පැමිණ සිය රාජකාරි කටයුතු ආරම්භ කරද්දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ කල් ගත කළේ තරමක කලකිරීමකින් යුක්තවය. අගමැතිවරයාගේ මෙම කලකිරීමට හේතු වී තිබුණේ ආණ්ඩුව ඇතුළේ කිසිදු කටයුත්තක් නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමය. මේ හේතුව නිසාම මහින්ද ගිය සතියේ සිය දේශපාලන කටයුතුවලින් මඳක් ඈත්වී විවේකය ගතකිරීම සඳහා නුවරඑළියට යෑමට පියවර ගත්තේය. මහින්ද එසේ නුවරඑළි ගියේ සඳුදා පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් මණ්ඩල රැස්වීමට හෝ සහභාගි නොවන බවට සිය හිතවතුන්ට ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. එමෙන්ම නුවරඑළියේදී තමන්ට ලැබුණු බොහෝ දුරකතන ඇමතුම්වලට පවා පිළිතුරු දීමෙන් මහින්ද වැළකී සිටියේය.
බැසිල්ට කතා කළත් උත්තර දීලා නෑ!
සාමාන්‍යයෙන් රාජපක්ෂ පවුලේ වැඩිමලා චමල් රාජපක්ෂ වුවද දේශපාලන වැඩිමලා ලෙස සැලකෙන්නේ මහින්ද රාජපක්ෂය. එම නිසා මහින්ද නුවරඑළියේ සිටියදී බැසිල් සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳාලීමට අවස්ථා කිහිපයකදීම ඇමෙරිකාවට ඇමතුම් ලබාදීමට පියවර ගත්තේය. නමුත් මහින්දගේ එකදු ඇමතුමකට හෝ පිළිතුරු ලබාදීමට බැසිල් කටයුතු නොකිරීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව සති අන්තයේ නුවරඑළියේ ගත කළ මහින්ද සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි නොවීමට මුලින් සිතා සිටියද, පසුව එම අදහස වෙනස් කොට ඉරිදා දිනයේදී යළි කොළඹ බලා පැමිණියේ බදාදා දිනයේදී ඉන්දියාවේ තිරුපති කෝවිල වන්දනා කිරීමට සැලසුම් සකස් කරමින් තිබූ නිසාය. එම තිරුපති ගමනට මහින්ද සමග ශිරන්තිද එක්ව සිටියාය.
මැතිඇමැතිවරුත් කතා කරලා ඇහුවා!
ඒ සියල්ල අතරවාරයේ පසුගිය සතියේ ආණ්ඩුව ඇතුළේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ බැසිල්ගේ හදිසි ඇමෙරිකානු සංචාරයය. බැසිල්ගේ මෙම හදිසි ඇමෙරිකානු ගමන සහ එහි පසුබිමේ පැවැති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ පසුගිය සතියේදී අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කළ අතිවිශේෂ හෙළිදරව්වෙන් පසු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් රැසක්ම අපට කතාකොට එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සහ එහි වැඩිදුර තොරතුරු විමසා සිටීමට කටයුතු කළහ. එහිදී අප අනාවරණ කළ තොරතුරු පිළිබඳ සම්පූර්ණ වගකීම ගත් අප එහි වැඩිදුර තොරතුරුද එම මැති ඇමැතිවරුන්ට දැනුම්දීමට පියවර ගත්තෙමු. ඇතැම් මැති ඇමැතිවරුන් බැසිල්ගේ ඇමෙරිකානු ගමන පිළිබඳ දැනුවත් වූයේද අප කළ මෙම අනාවරණයෙන් පසුවය. එමෙන්ම එහිදී ඇතැම් ඇමැතිවරුන් මෙම ගැටුම පිළිබඳ දීර්ඝ විස්තරයක් අප හමුවේ තැබූවද ඇතැම් තොරතුරු තහවුරු කරගැනීමට හැකියාව නොලැබීම හේතුවෙන් අපි ඒ කිසිවක් මෙම තීරයේ පළකිරීමට කටයුතු නොකළෙමු.
විමල්-වාසු-උදය ඉවත් කරන්න කොන්දේසි! පොහොට්ටුව විතරයි!
කෙසේ වෙතත් මෙහිදී තවත් තොරතුරු කිහිපයක්ම තහවුරු කරගැනීමට ‘රාජ්‍ය රහස්’ තීරයට හැකි විය. ඉන් පළමුවැන්න වූයේ බැසිල් ඇමෙරිකා ගොස් ඇත්තේ අලුත් අවුරුද්ද වන විට ආණ්ඩුව ඇතුළේ බරපතළ වෙනස්කමක් සිදුවිය යුතු බවට ජනාධිපතිවරයා හට කොන්දේසි පනවමින් බවය. අලුත් අවුරුද්දේ අලුත් මුහුණුවරකින් ආණ්ඩුව අලුත් ගමනක් ආරම්භ කළ යුතු බවත්, ආණ්ඩුව ඇතුළේ අනවශ්‍ය අර්බුද ඇතිකරන කැරැලිකාරයන් සියල්ල ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බවත් මෙහිදී බැසිල් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇති බවද ආරංචිය. විශේෂයෙන්ම විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් පිළිබඳ සඳහන් කොට ඇති බැසිල් ඔවුන් සමග පවතින ආර්ථිකමය සහ ගෝලීයමය තත්ත්වයන් යටතේ ඉදිරියට යා නොහැකි බවත්, ඔවුන් ඉවත් කොට සම්පූර්ණයෙන්ම පොහොට්ටුව පමණක් නියෝජනය කරන ආණ්ඩුවක් ගොඩනැංවිය යුතු බවත් මෙහිදී බැසිල් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවද ආරංචිය.
කබ්රාල්ට කතාකරලාවත් නෑ!
බැසිල් අවසන් වරට සිදු කළ ඉන්දීය සංචාරය ආරම්භ කළේම රට ඇතුළේ මතුව පවතින බරපතළ ඩොලර් හිඟය පියවා ගැනීමේ අරමුණ ඇතිවය. කෙසේ වෙතත් බැසිල් රටින් පිටවූ පසු ඩොලර් සෙවීමේ යුද්ධයට අත ගැසුවේ වෙන කවුරුවත් නොව මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්ය. කෙසේ වෙතත් බැසිල් කෙතරම් කලකිරීමකින් යුතුව ඇමෙරිකාව බලා පිටත්ව ගියාද කියනවා නම් මෙම ඩොලර් අර්බුදය විසඳාගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයන් මොනවාද යන්න පිළිබඳ කබ්රාල්ගෙන් විමසා එක දුරකතන ඇමතුමක් හෝ ලබා දී නොතිබීම විශේෂ සිදුවීමක් විය.
දුව විවාහ වෙනවලු! 7 නඩුවට එනවාලු!
කෙසේ වෙතත් තවත් ආරංචි මාර්ගයකින් කියැවුණේ බැසිල් මෙසේ ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත් ඇත්තේ සිය දියණියකගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීමේ අරමුණ ඇතිව යැයි කියාය. මෙම විවාහ උත්සවය උත්කර්ෂවත් අයුරින් සිදු නොකොට සාමාන්‍ය ආකාරයෙන් සිදුකිරීමට බැසිල් හා බිරිය තීරණය කර ඇති බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් කියැවිණි. කෙසේ වෙතත් යළි ලංකාවට නොපැමිණෙන බව කියමින් බැසිල් පිටත්ව ගොස් තිබුණද බැසිල්ට සම්බන්ධ ළඟම හිතවතකුගෙන් ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වූයේ ලබන ජනවාරි 07 වැනිදා බැසිල්ට සම්බන්ධ මල්වානේ ඉඩම පිළිබඳ නඩුව විභාගයට ගැනීමට නියමිත බවත්, එදින අධිකරණය හමුවේ පෙනීසිටීම සඳහා බැසිල් අනිවාර්යයෙන්ම ලංකාවට පැමිණීමට නියමිත බවත්ය.
එන්නෙ අගමැති වෙන්න බලාගෙන!
මේ අතරවාරයේ තවත් නිල නොවන රාවයක්ද ආණ්ඩුව ඇතුළේ පසුගිය සතියේ පැතිර ගිය ආකාරයක් දැකගත හැකි විය. මෙම රාවය ආණ්ඩුව ඇතුළේ පමණක් නොව, විපක්ෂයේ තැන් තැන්වලද ගිය ආකාරයක් දැකගන්නට ලැබුණේ බොහෝ දුරට එය වියහැක්කක් බවට මේ වන විට ලකුණු පහළ වෙමින් පවතින නිසාය. මෙම රාවයෙන් කියැවුණේ බොහෝ දුරට ඉදිරි සති කිහිපය ඇතුළත අගමැති ධුරයේ වෙනසක් සිදුවිය හැකි බවත්, බැසිල් අගමැතිවරයා ලෙස පත්වීමේ ලකුණු පහළ කොට ඇති බවත්ය. ඉකුත් වතාවේ බැසිල් ඇමෙරිකාවේ සිට කෙළින්ම ලංකාවට පැමිණ මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දී ඒ සැණින් මුදල් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දී තිබීම හේතුකොට ගෙන මෙවර ආණ්ඩුව පැත්තෙන් කියැවෙන්නේ මෙවර බැසිල් ඇමෙරිකාවේ සිට කෙළින්ම පැමිණ අලුත් ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත යැයි කියාය.
ඒ අනුව ‘රාජ්‍ය රහස්’ තීරය දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන මෙම තොරතුර පිළිබඳවද සොයා බැලීමක නිරත විය. එහිදී අපටද දැනගත හැකි වූ තොරතුරුවලින් කියැවුණේ එම රාවය පසුපස කිසියම් සත්‍යතාවක් පවතින බවය.
මහින්දත් අගමැති ධූරයෙන් යන්න සූදානම්!
මන්ද යත් මේ වන විට මහින්දගේ ලොකු අදහසක් වී ඇත්තේ තමන් ඉදිරිපත් කරන අදහස් ආණ්ඩුව ඇතුළේ ක්‍රියාත්මක නොවන මට්ටමකට පත්ව ඇතැයි කියාය. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයේදී තමන් ආණ්ඩුවට ලබාදුන් උපදෙස්, ඇතැම් පුද්ගලයන් පත්කිරීමේදී තමන් මතුකළ කරුණු, පොහොර ප්‍රශ්නය, විශේෂයෙන්ම ජනාධිපති ලේකම්වරයා වූ පී.බී. ජයසුන්දර සම්බන්ධයෙන් තමන් මතු කළ විරෝධය මෙතෙක් ක්‍රියාත්මක තලයට පත් නොවීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගෙන මහින්ද මේ වන විට කිසියම් කලකිරීමකින් සිටින බව දැනගන්නට තිබේ. එමෙන්ම රට ඇතුළේ දැනට මතුව ඇති බරපතළ ප්‍රශ්නවලදී ජනතාව අතර මහින්ද සම්බන්ධයෙන්ද කිසියම් විරෝධයක් මතුව ඇති බවත්, එය මහින්ද මෙතෙක් කලක් රැකගෙන ආ ජනප්‍රිය තලයේ ප්‍රතිරූපයට බරපතළ හානියක් බවත් පවුල ඇතුළෙන්ම කිසියම් මතයක් මේ වන විට ඉදිරිපත් වෙමින් තිබෙන ආකාරයක් දැකගන්නට ඇත.
නාමල් එක්කත් කතා කරලා!
ඒ අනුව අපට ඇති නිල නොවන ආරංචිවලින් කියැවෙන්නේ මේ සම්බන්ධයෙන් මහින්ද පසුගිය කාලවකවානුව පුරාම නාමල් සමග කිසියම් අදහස් හුවමාරුවක් සිදුකර ඇති බවය. ඒ සම්බන්ධයෙන් තවත් නිල නොවන තොරතුරු කිහිපයක්ම පවතින නමුත් ඒවා තහවුරු වන තෙක් මේ අවස්ථාවේදී පළ නොකිරීමටත්, ඒවා සුදුසු අවස්ථාවලදී පළ කිරීමටත් අප සූදානම්ය. එනමුත් එක් කාරණයක් නම් මෙහිදී පැහැදිලිවම සඳහන් කළ යුතුව තිබේ. ඒ, යම් අයුරකින් මහින්ද මේ මොහොතේ අගමැති ධුරයෙන් ඉවත් වුවද, ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවීමට තීන්දු කර ඇති බවය. ඒ අනුව මන්ත්‍රීවරයකු වශයෙන් තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නිරත වීමට මහින්ද තීන්දු කර ඇති බවද ආරංචිය. මහින්ද එසේ සක්‍රීය දේශපාලනයේ නිරතව සිටින්නේ යම් දේශපාලන න්‍යාය පත්‍රයක් සිත තුළ තබාගෙනද විය හැකිය. නමුත් ඒ සම්බන්ධයෙන්ද තවමත් නිල තීන්දුවක් රාජපක්ෂ පවුල ඇතුළේ ගෙන ඇති බවක් දැනගන්නට නැත.
ඉන්දියාව බැලන්ස් කරගන්න ලොකු තනතුරක් වුවමනාලු!
අනෙක් අතට බැසිල්ගේ ඉන්දීය සංචාරයේදී මෝදිව මුණගැසීමට ඔහුට හැකියාව නොලැබුණද ඉන්දියාවෙන් මුදල් ආධාර ලබාගන්නා වැඩේ අතහැර දැමීමට බැසිල් කටයුතු කළේ නැත. ඒ අනුව බැසිල් දිගින් දිගටම මුල්‍යාධාර ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාකච්ඡා පවත්වමින් සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී ඉන්දියාව පාර්ශ්වයෙන් කොන්දේසි ගණනාවක් ඉදිරිපත් වූ ආකාරයක් පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් ඉදිරිපත් කිරීමට අපි කටයුතු කළෙමු. එහිදී මෙම කොන්දේසි ඉටුකරලීම සම්බන්ධයෙන් කිසියම් සහතිකයක්ද බැසිල් ඉන්දියාවට ලබාදී තිබේ. එම කොන්දේසි ඉටුකිරීමට නම් බැසිල්ට ආණ්ඩුව ඇතුළේ සැලකිය යුතු බලයක් පැවැතීම අත්‍යාවශ්‍යය. එම නිසා දැනට රට ඇතුළේ මතුව පවතින මුල්‍ය අර්බුදයේදී ඉන්දියාවේ සහාය ලබාගැනීමට අමතරව ලබන මාර්තුවේදී පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් කොමිසම් රැස්වීමේදී ලංකාවට යම් සහනයක් ලබාගැනීමට නම් ඉන්දියාව බැලන්ස් කරගැනීමද අත්‍යාවශ්‍යය. ඒ සඳහාද බැසිල්ට ආණ්ඩුව ඇතුළේ විශාල වගකීමක් සහ බලයක් හිමිවිය යුතුය. ඊට අමතරව ජනාධිපතිවරයාද පවතින පසුබිම යටතේ ඉන්දියාවේ සහාය ලබාගැනීම අත්‍යාවශ්‍ය බව වටහා ගෙන සිටින ආකාරයක් දැකගත හැකිය. ඒ අනුව බැසිල්ට වැඩි බලතල හිමි විය යුතු බවට මේ වන විට ජනාධිපතිවරයාද එක්තරා තැනකට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට ඇත. ලබන ජනවාරි වන විට බැසිල්ට අගමැති ධුරය හිමිවනු ඇති බවට ආණ්ඩුව ඇතුළේ විශාල රාවයක් යන්නේ මෙම කරුණු මුල් කරගෙනය.
චීනය තාලය වෙනස් කරයි!
කෙසේවෙතත් මේ ආකාරයට රාජපක්ෂවරු ඉන්දියාව සමග අලුත් අවුරුද්දේ අලුත් ආරම්භයක් ගැනීමට සූදානමින් පසුවෙද්දී මෙතෙක් කල් රාජපක්ෂවරුන් සමග දිවෙන් දිව ගාගෙන සිටි චීනය කිසියම් බරපතළ තීන්දුවක් ගැනීමට අරඅඳින ආකාරයක් මේ දිනවල තිරය පිටුපස සිදුවන සිදුවීම්වලින් දැකගන්නට තිබේ. චීනය යනු රාජපක්ෂවරුන්ගේ දිගුකාලීන මිතුරෙකි. යුද ජයග්‍රහණය සඳහා පමණක් නොව ඉන් අනතුරුව පැවැති සෑම ජිනීවා මානව හිමිකම් රැස්වීමකදීම ලංකාව බේරාගැනීම වෙනුවෙන් පෙරට ආවේ චීනයය. එපමණක් නොව රාජපක්ෂවරුන්ට රටේ ආර්ථිකය කළමනාකරණය කරගැනීම සඳහා දැවැන්ත මුල්‍යාධාර ලබාදුන්නේද චීනයය. රාජපක්ෂවරු සහ චීනය අතර පැවැති මේ සබඳතාව කෙතෙක් දුරට ශක්තිමත් වූවාද කියනවා නම් ඒ දවස්වල ජනතාව නිකන් කතාවට කීවේ ‘රාජපක්ෂවරු කීවොත් චීනය, චීනය කීවොත් රාජපක්ෂවරු’ යැයි කියාය.
නමුත් මේ ආකාරයේ සමීප සබඳතාවක් ලංකාව සමග පවත්වාගෙන ගිය චීනය මේ වන විට අංශක 360ක් ආපසු කැරකී ලංකාවට එරෙහි තැනකට පැමිණ තිබීම විශේෂ සිදුවීමකි. පොහොර නැවේ ප්‍රශ්නය, ඉන්දියාව සමග ආණ්ඩුවේ අලුත් හිතවත්කම, උතුරේ චීනයට ලබාදී තිබූ දූපත් තුනක් ඉන්දියාවට ලබාදීම මේ සඳහා එළිපිට පෙනෙන්නට ඇති කරුණුය. නමුත් මේ සඳහා නොපෙනෙන යම් කාරණාවක්ද චීනයට බලපා ඇති බව මේ වන විට ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වන තොරතුරුවලින් දැනගන්නට ලැබී තිබේ. විශේෂයෙන්ම කාලයක් පුරා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස වැඩබලන අයකු පත්කර තිබුණද, මීට සති කිහිපයකට ඉහතදී ඒ සඳහා ස්ථිර, ඍජු, ඉක්මනින් තීන්දු ගන්නා, ක්‍රියාකාරී තානාපතිවරයකු චීනය විසින් පත්කර එවීම එහි පළමු සලකුණය. ඒ පිටුපසද විශේෂ කතාවක් තිබේ.
රහස් කණ්ඩායමක් ලංකාවට ඇවිත්!
පසුගිය කාලසීමාවේදී මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිය කුමක්ද, ඒ හරහා චීනයට ලැබී ඇති ප්‍රතිඵල මොනවාද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා චීනයේ බීජිං නුවරින් විශේෂ කණ්ඩායමක් ලංකාවට එවීමට පියවර ගෙන තිබිණි. ලංකාවට පැමිණි මෙම කණ්ඩායම ඉතා රහසිගතව මුළු ලංකාවට ආවරණය වන පරිදි රාජ්‍ය තාන්ත්‍රික ආකාරයේ මත විමසුමක් සිදුකිරීමට පියවර ගත් අතර එය අදටත් කිසිවකුත් නොදත් රහසක් බවට පත්ව තිබීම විශේෂිතය. ඒ අනුව මෙම රහසිගත මත විමසුම පිළිබඳ පළමු වරට ලංකාවට අනාවරණ කරන්නේද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේය.
වාර්තාවක් බීජිංවලට යවලා!
එසේ ලංකාවට පැමිණි චීන කණ්ඩායම 2010 වසරේ සිට චීන රජය ලංකාව තුළ ගෙනගිය ප්‍රතිපත්තිය කුමක්ද, එය නිවැරැදිව ක්‍රියාත්මක වූවාද, එහිදී වැරැදුණු තැන් මොනවාද, එම වැරැදි නිවැරැදි කරගන්නේ කෙසේද යන්න පිළිබඳ සවිස්තරාත්මක විමර්ශනයක් ලංකාවම ආවරණය වන පරිදි සිදුකිරීමට පියවර ගත්තේය. වැඩබලන තානාපතිවරයකු ලංකාවේ කටයුතු කළ සමයේ සිදුකරනු ලැබූ මෙම මත විමසුමේදී ලංකාවේ චීන සබඳතා බොහෝ දුරට බිඳ වැටී ඇති බවත්, එය ජනතාව අතර අප්‍රසාදයට පත්ව ඇති බවත්, ඊට හේතුව මෙරට තනතුරු දැරූ චීන තානාපතිවරුන්ගේ ක්‍රියාකලාපයට වඩා රාජපක්ෂ හිතවාදී ක්‍රියාකලාපයක් අනුගමනය කිරීම බවත් අනාවරණ කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබිණි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සකස් කළ අවසන් වාර්තාව බීජිං වෙත යැවීමෙන් අනතුරුව සියුම්ව විමර්ශනය කිරීමටද චීනය පියවර ගෙන තිබිණි. ඒ අනුව ඔවුන් බරපතළ තීන්දු තීරණ කිහිපයක්ම මේ වන විට ගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
අලුත් තානාපති සක්‍රීය වෙයි!
ඉන් පළමුවැන්න වූයේ ක්‍රියාකාරී ස්ථිර තානාපතිවරයකු ලංකාවට පත්කර එවීමටය. එමෙන්ම ලංකාව සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස් කිරීමටද චීනය මේ වන විට තීන්දු කර අවසානය. පසුගිය සතියේදී චීන තානාපතිවරයා උතුරේ ස්ථාන රැසක සංචාරය කරමින් ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදුකරන ආකාරයක් දැකගත හැකි වූයේ එහි ප්‍රතිපලයක් ලෙසටය. එමෙන්ම චීන පොහොර නැවේ ප්‍රශ්නයේදී ආණ්ඩුවට එරෙහිව බරපතළ ප්‍රකාශයක් නිකුත් කිරීමටත්, රාජ්‍ය බැංකුවක් අසාදු ලේඛනගත කිරීමටත් චීනය පියවර ගත් ආකාරයක් දැකගත හැකි විය.
සජිත්ට චීනයෙන් කෝටි දෙකක්!
එපමණක් නොව පසුගිය සතියේ මෙම චීන තානාපතිවරයා ලංකාවේ මෙතෙක් සිටි වෙනත් කිසිදු තානාපතිවරයකු නොකළ වැඩක්ද සිදුකළේය. ඒ, විපක්ෂ නායක කාර්යාලයට ගොස් විපක්ෂ නායකවරයා විසින් සිදුකරනු ලබන ‘විපක්ෂයෙන් හුස්මක්’ සුබසාධන වැඩසටහනට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පරිත්‍යාග කිරීමට පියවර ගැනීමය. ඒ හරහා චීනය මේ වන විට ආණ්ඩුවට කිසියම් තීරණාත්මක ඉඟියක් ලබාදී තිබේ. ඒ, මෙතෙක් කල් ගෙන ගිය රාජපක්ෂ හිතවාදී දේශපාලනය වෙනුවට ඉදිරියේදී ප්‍රේමදාසලා සමගද රාජකාරි කිරීමට චීනය සූදානම් බවය. ඉකුත් යහපාලන සමයේදී පවා එම ආණ්ඩුව සමග නිල වශයෙන් පමණක් ගනුදෙනු කරමින් රාජපක්ෂවරුන් යළි බලයට ගෙන ඒම සඳහා විශාල මෙහෙයක් සිදුකළ චීනය මෙවර එම ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් විපක්ෂයට දේශපාලන හයියක් ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේද කිසියම් කතාබහක් මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට ඇත.
ගම්මන්පිල විමල්ලාගෙන් කැඩෙයි?
ආණ්ඩුව ඇතුළේ කැරැලිකාරයන් ලෙස ප්‍රකට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල පසුගිය කාලයේ වැඩකටයුතු කළේ එකට එක්වය. ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩවලදී ආණ්ඩුවට එරෙහිව කතා කළේද, ආණ්ඩුවට එරෙහිව සංවාද පැවැත්වූවේද, ආණ්ඩුවට එරෙහිව උසාවි ගියේද එකට එක්වමය. ඒ අනුව පසුගිය කාලයේදී මේ තිදෙනා අතර ගසට පොත්ත හා සමාන බැඳීමක් සියලු දෙනාටම දැකගන්නට ලැබිණි.
ඇහැලියගොඩ රැස්වීමේ පලුද්දක්!
කෙසේ වෙතත් මීට සති දෙකකට ඉහතදී යුගදනවි ගිවිසුමට එරෙහිව ඇහැලියගොඩදී පැවැත්වූ මහජන සභා රැස්වීමේදී මෙම බැඳීමේ කිසියම් පළුද්දක් දැකගන්නට ලැබිණි. බොහෝ දෙනකුට එය නොපෙනුණද එම රැස්වීම දෙස වුවමනාවෙන් බැලූ සුළු පිරිසකට මෙම පළුද්ද ලොකුවට දැකගන්නට ලැබිණි. ඒ, වෙන මොකක්වත් නොව උදය ගම්මන්පිලගේ නොපැමිණීමය. විමල්, වාසු ඇතුළු අනෙකුත් කැරැලිකාර මැති ඇමැතිවරුන් ඊට සහභාගි වී සිටියද ගම්මන්පිලගේ මුහුණ එහිදී දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමක් විය. නමුත් කිසිවකුත් ඒ පිළිබඳ ගම්මන්පිලගෙන් විමසන්නට හෝ ගම්මන්පිල ඒ පිළිබඳ කිසිවක් කියන්නට හෝ ගිය බවක් දැකගන්නට නොලැබිණි.
උසාවියේදීත් වෙනම!
ඉන් අනතුරුව යුදගනවි ගිවිසුම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී විමල්, වාසු, ගම්මන්පිල යන තිදෙනා අධිකරණය හමුවට පැමිණ සිටියත් මේ තිදෙනා එකට මාධ්‍ය හමුවේ ප්‍රකාශ ලබාදෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. නඩුවට උසාවි පැමිණියත් විමල් වෙනම මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දුන් අතර, ගම්මන්පිලද සිය ප්‍රකාශය මාධ්‍යයට කළේ තනිවම වෙනම ස්ථානයකදීය. එහිදීද විමල්ලා, ගම්මන්පිලලා අතර කිසියම් මතගැටුමක් මතුව ඇති බවක් පැහැදිලිවම දැකගන්නට ලැබිණි.
එමෙන්ම මෙම සිදුවීමෙන් පසු මෙතෙක් විමල්ලා, වාසුලා, ගම්මන්පිලලා අතර සාකච්ඡාවක් පැවැති බවක් හෝ වාර්තා නොවීමද විශේෂ සිදුවීමකි.
ප්‍රබල ඇමැතිවරයකුට අකරතැබ්බයක්!
මීට සති කිහිපයකට ඉහතදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සිය ගම්පළාත්වල ජනතාවගෙන් එල්ල වුණු අයහපත් ප්‍රතිචාර පිළිබඳ විශේෂ හෙළිදරව් කිරීමක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ගෙන ඒමට අපි පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ දකුණු පළාත නියෝජනය කරන ඇමැතිවරුන් කිහිප දෙනකුට මෙසේ ජනතාවගෙන් දැඩි ප්‍රතිචාර ලැබී තිබුණු බවකි.
මේ සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණය කරන්නේ ආණ්ඩුවේ තවත් ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයකුට තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයකදී මුහුණ දෙන්න සිදුවූ නීරස අත්දැකීමක් පිළිබඳවය. පසුගිය සතියේ එම රාජ්‍ය අමාත්‍යවරයා සිය බිරිය සමග සවස 6.20ට පමණ පැමිණ ඇත්තේ රාත්‍රී භෝජනය ලබාගැනීම සඳහාය. එහිදී දෙදෙනාම කෙළින්ම ගොස් ඇත්තේ අදාළ හෝටලයේ විශේෂ අමුත්තන් වෙනුවෙන් ඉදිකොට ඇති සුපිරි අවන්හලටය. ඒ අනුව දෙදෙනාම රාත්‍රී ආහාර ලබාගැනීමෙන් පසු පිටතට පැමිණ ඇත්තේ රාත්‍රී 10ද ඉක්ම යෑමෙන් පසුවය. කෙසේ වෙතත් ඒ මොහොත වන විටත් එළියේ රාත්‍රී භෝජනය ගනිමින් සිටි සාමාන්‍ය ජනතාවට විශාල ආරක්ෂකයන් පිරිසක් දැකගන්නට ලැබීම නිසා කවුරුන් හෝ ප්‍රභූ පුද්ගලයකු හෝටලයට පැමිණ ඇති බවක් ඉවෙන් මෙන් වැටහී තිබිණි.
නොනවතින ‘සූ’ පාරක්!
ඒ අනුව මෙම රාජ්‍ය අමාත්‍යවරයා හෝටලයෙන් පිටතට පැමිණීම සඳහා සියල්ලන්ටම පෙනෙන ලෙස සකස් කොට ඇති විදුලි සෝපානයෙන් පහතට බසිද්දී ආහාර ගනිමින් සිටි සියලු දෙනාටම මේ ප්‍රභූ පුද්ගලයා කවුරුන්ද යන්න දැකගන්නට ලැබිණි. ඒ අනුව එක් තැනකින් ආරම්භ වූ ‘සූ හඬ’ මොහොතක් යෑමට මත්තෙන් ශාලාවම දෙවනත් වන ආකාරයට පැතිරී යන ආකාරයක් දැකගත හැකි විය. එහිදී ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ මෙම රාජ්‍ය අමාත්‍යවරයා සිය බිරිය සහ ආරක්ෂකයන් සමග වහාම එම ස්ථානයෙන් පිටව ගියේ මුළු ශාලාවේම එක දිගට ‘සූ’ හඬ පිළිරැව් දෙමින් පැවැතියදීය.
ඇමැති හෝටලයේ කද්දී ආරක්ෂකයන් ෆෝන් ඔක්කොම එකතු කරගෙන!
මීට අමතරව පසුගිය දිනෙක කොළඹ තරු පහේ හෝටලයකදීද මෙවැනිම නොවුණත් මීට සමාන ආකාරයේ සිදුවීමක් දැකගත හැකි විය. එහිදී ආණ්ඩුවේ ප්‍රබලම අමාත්‍යවරයකු එම සුපිරි හෝටලයේ රාත්‍රී භෝජනය ලබාගනිමින් සිටි අතර, ඔහු එසේ රාත්‍රී භෝජනය ලබාගනිමින් සිටියදී ආරක්ෂක නිලධාරීන් පැමිණ, එම අවස්ථාවේ අවන්හලේ සහ ලොබියේ සිටි සියලු දෙනාගේ ජංගම දුරකතන එක්රැස් කරගන්නා ආකාරයක් දැකගත හැකි විය. කිසිවකුත් ඊට ඒ අවස්ථාවේදී විරෝධය පාන ආකාරයක් දැකගන්නට නොලැබුණද බොහෝ දෙනා එම සිදුවීම සම්බන්ධයෙන් පසුව ෆේස්බුක් පිටුවල සටහන් තබා තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
ජවිපෙත් පරණ පාරේමද?
පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ සංවත්සරය තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක අතිඋත්කර්ෂවත් ආකාරයෙන් පවත්වනු ලැබීය. මෙහිදී වෙනදා මෙන් නොව ජවිපෙද මෙරට ප්‍රධාන පක්ෂයක් ආකාරයෙන්ම විශාල වියදමක් දරමින් දැවැන්ත ඩිජිටල් පුවරු සවිකොට උත්සවශ්‍රීයෙන් යුතුව මෙය සිදුකර තිබීම බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. ඊට සැලකිය යුතු පිරිසක් සහභාගි වී සිටි ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
කෙසේ වෙතත් මේ දිනවල ජවිපෙට ජනතාව ඉදිරියේ හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර බොහෝ දෙනා කියන්නේ මෙවර ජවිපෙ නියෝජිතයන් 20කට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තු ඒම වැළැක්විය නොහැකි යැයි කියාය. මේ ආකාරයේ මතයක් රට තුළ නිර්මාණය වීමට බලපෑ හේතු රැසක්ම තිබිණි. ඉන් එක් හේතුවක් වන්නේ යූටියුබ් නාලිකාවල විශාල ප්‍රසිද්ධියක් උසුලන නිවේදකයන් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ ජවිපෙ වෙනුවෙන් සිය ජනප්‍රිය යූටියුබ් නාලිකා වෙන්කර ඊට ප්‍රචාරයක් ලබාදීමය. විශේෂයෙන්ම ජනප්‍රිය යූටියුබ් නාලිකා මෙහෙයවන්නන් දෙදෙනෙක් වූ සේපාල් අමරසිංහත්, සුදත්ත තිලකසිරිත් ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන් ජවිපෙ වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියාය. ජවිපෙට මෙවැනි රැල්ලක් නිර්මාණය වීම සඳහා ඔවුන්ගේ ක්‍රියාකලාපයද විශාල බලපෑමක් කර තිබිණි.
සේපාල් කරපු විග්‍රහය!
කෙසේ වෙතත් මේ ආකාරයට ජවිපෙට කඩේ ගිය සේපාල් ජවිපෙ සංවත්සර රැලිය අවසන් වීමත් සමග කිසිවකුත් නොසිතූ ආකාරයේ වැඩක් කර තිබිණි. ඒ, ජවිපෙට එරෙහිව සිය යූටියුබ් නාලිකාව ඔස්සේම ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරීමය. එහිදී රතු පාට කමිසයක් හැඳ ජවිපෙට දැඩි ප්‍රහාරයක් එල්ල කළ සේපාල් අවසානයේදී ජවිපෙ වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලුවා පමණක් නොව, ඔවුන් වෙනුවෙන් කළ ප්‍රකාශ ඉල්ලා අස්කරගැනීමටද පියවර ගත්තේය. ඊට හේතුව සේ ඔහු කියා සිටියේ ජවිපෙ ඒ වේදිකාවත් අනෙක් දේශපාලන වේදිකා මෙන්ම වෙනසක් නොමැති බවත්, එහි සිටින්නේත් ජනතා අප්‍රසාදයට පත්වූ චරිත බවත්ය. එහිදී නම්ගම් කිහිපයක්ම හෙළිකිරීමටද සේපාල් පියවර ගෙන තිබීමද විශේෂ සිදුවිමක් විය.











