ඡන්දයෙන් කවුරුන් මන්ත්‍රී ධුර ලබා පාර්ලිමේන්තුවට තේරීපත්වුවද රට කරවීමේ තීරණාත්මක බලය හිමිවන්නේ කැබිනට් මණ්ඩලයටය. එහෙයින් ඡන්දයකින් පසු තේරීපත්වන ආණ්ඩු මුහුණ දෙන අසීරුතම අර්බුදය වන්නේ කැබිනට් මණ්ඩලය පත්කර ගැනීමය. ලංකාවේ පවතින ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයේ නායකයා ජනාධිපතිය. එහෙත් අගමැති ඉල්ලා අස්වූ විට කැබිනට්ටුව ඉබේම අහෝසි වී යන්නේය.
නිදහස් ලංකාවේ පත්වූ හොඳම කැබිනට්ටුව ලෙස සැලකෙන 1977 ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට්ටුව පවා විවිධ විවේචනයන්ට ලක්වූවේ එහිද අටෝරාසියක් අඩුලුහුඬුකම් තිබූ නිසා බව ප්‍රකට කරුණකි. ඉන් පසු ලංකාවේ බොහෝ ආණ්ඩු පත්වූ අතර ඒවායේ විවිධාකාරයේ කැබිනට් මණ්ඩලද පත් විය. ලංකාවේ බොහෝ විට කැබිනට් මණ්ඩලයන්හි විෂයන් බෙදීමේ විකාර රූපී බව නිසා ඒවායේ දිස්වූයේ වට්ටක්කා සහ බෝල්ට් ඇණ මෙන් එකිනෙකට පරස්පරතාවයන්ය. එහෙයින් වියතුන් සමූහයක් එක්ව වියත් මග නමින් සන්ධානගතව බලයට ගෙන ආ ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ලංකාවේ හොඳම කැබිනට්ටුව වනු ඇතැයි මෙරට බහුතරයක් දැඩි විශ්වාසයක එල්බ සිටියෝය. එහෙත් එකී කැබිනට්ටුවේ විෂයන් බෙදීම දෙස බලන කල ගෝඨාගේ කැබිනට්ටුද වට්ටක්කා සහ බෝල්ට් ඇණ තියරියෙන් බැහැරව නොගිය බව තහවුරු වෙයි.
ජනාධිපතිවරණයෙන් ඝෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන්නේ 2019 වසරේ නොවැම්බර් 17 වැනිදාය.
ඉන් ජයගන්නා ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ එවක පැවැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ යහපාලන රජය බලයෙන් පහකරමින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත්කරමින් නව රජයක් පත්කිරීමට කටයුතු කරන්නේය. වර්ෂ 2019 නොවැම්බර් 27දා දිවුරුම් දුන් ඒ කැබිනට් මණ්ඩලය ජනාධිපති ඝෝඨාභයගේ පළමු කැබිනට්ටුව විය. ඒ සඳහා අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් ඇමැතිවරුන් 16ක්, රාජ්‍ය ඇමතිවරුන් 35 දෙනකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු ඇතුළත් විය. ඒ කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිට අමතරව තවත් රාජපක්ෂ වරු දෙදෙනෙක් විය. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මහවැලි, කෘෂි කටයුතු සංවර්ධන හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ලෙස දිවුරුම් දුන් චමල් රාජපක්ෂ දෙදෙනාය.
චමල් රාජපක්ෂ කැබිනට් අමාත්‍ය පදවියක් උසුලන අතරම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය පදවියට ද පත්කොට තිබීම විශේෂත්වයක් විය. ආරක්ෂක ඇමැතිවරයෙක් නොමැතිව ඒ සඳහා රාජ්‍ය අමාත්‍යවරයෙක් පත්කර තිබීම අපූරු අත්දැකීමක් විය. රාජ්‍ය අමාත්‍යවරයකුට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නෛතික බලයක් පවා නැති නිසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබූ ආයතන 37කට ආසන්න ගණනක ක්‍රියාකාරීත්වය අර්බුදයට ලක්වන බව දේශපාලන සහ නීතිය පිළිබඳ ප්‍රාමාණිකයෝ පෙන්වා දුන්හ. ඒ වන විටත් පාර්ලිමේන්තුවේ ආයු කාලයෙන් ඉතිරිව තිබුණේ වසරකට නොඅඩු කාලයකි. එවන් කාලයක් සඳහා මෙතරම් දැවැන්ත අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම බොහෝ දෙනකුගේ දැඩි විවේචනයට ලක්විය. සාමාජිකයන් 53 දෙනකුගෙන් සමන්විත මෙම අමාත්‍ය මණ්ඩලයේ වූයේ එකම එක කාන්තා නියෝජනය පවිත්‍රා වන්නිආරච්චි පමණි. ඇයට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය හිමිවිය. විශේෂඥ වෛද්‍යවරියක වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට සෞඛ්‍ය අමාත්‍යාංශය හිමිවනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුවද ඇයට කිසිම අමාත්‍යංශයක් හිමි වූයේ නැත. එමෙන්ම ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂගේ පළමු කැබිනටුවේ දෙමළ ජාතික අමාත්‍යවරු දෙදෙනෙක් (ඩග්ලස් දේවනාන්දා සහ ආරුමුගම් තොණ්ඩමාන්) ඇතුළත් වූ නමුත් එකදු මුස්ලිම් අමාත්‍යවරයෙක් වත් ඇතුළත්ව සිටියේ නැත. රාජපක්ෂවරු දැඩි ජාතිකවාදී දේශපාලනයක නියැළීම ඊට හේතුව විය. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තනිකරම සිංහල බෞද්ධ ඡන්ද පදනම මත රඳා පැවැති එකක් වූ අතර අනුගාමිකයෝ ඔහු තනිකර සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙක් ලෙස හඳුන්වන්නට වූහ. මෙම කැබිනට් මණ්ඩලයේ විෂයන් බෙදාදීම වෙනදා මෙන්ම සිදුවූ අතර එහි කිසිදු විද්‍යාත්මක පදනමක් දැකගත හැකි නොවීය.
ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂගේ ප්‍රථම කැබිනට්ටුවේ ආයු කාලය මාස හතරකට සීමා විය. වර්ෂ 2020 මාර්තු මස 02 වැනි දින මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා 2020.04.25 වැනි දිනය නියම කෙරිණි. එහෙත් කොවිඩ් වසංගතය නිසා මැතිවරණය නියමිත දිනට පැවැත්විය නොහැකි විය.
මැතිවරණය නියමිත දිනට නොපැවැත්වීමෙන් නව පාර්ලිමේන්තුව රැස්වීම පමා විය. එහෙයින් රටේ දෛනික වැඩකටයුතු සඳහා මුදල් අනුමත කර ගැනීමට නොහැකි වූ අතර පැවැති පාර්ලිමේන්තුව කැඳවා මුදල් අනුමත කරගන්නා ලෙස විපක්ෂය පැවසුවද ආණ්ඩුව එසේ කළේ නැත. මුදල් පනත උල්ලංඝනය කරමින් අනීතිකව මුදල් ලබාගෙන රට කරගෙන යන ලදී. කීප වරක් කල්ගිය මැතිවරණය අවසන 2020 අගෝස්තු 05 වැනිදා පවත්වන ලදී. එම මැතිවරණයෙන්ද ජනාධිපතිවරයා නියෝජනය කළ පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලබූවේය. අගෝස්තු 12 වැනිදා නව රජයේ නව කැබිනට් මණ්ඩලය මහනුවර ශ්‍රී දළදා මාලිගය අබියස පිහිටි මඟුල් මඩුවේදී දිවුරුම් දුන්නේය. ඉතිහසයේ පළමු වතාවට මැටි කර්මන්තය සඳහා රාජ්‍ය ඇමැතිවරයෙක් පත්වූ අතර ජනතාව මැටි ඇමැති ලෙස ඔහු හාස්‍යයට ලක් කරන්නට විය. මැටි කර්මාන්ත අමාත්‍යංශය බාර රාජ්‍ය අමාත්‍යවරයා වූයේ ප්‍රසන්න රණවීරය. ඔහු ඊට පෙර පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරියට මිරිස් කුඩු ගැසීම නිසා අප්‍රසාදයට පත්ව සිටි අයෙකි.
ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියට ගෙන යෑම සඳහා අමාත්‍යවරුන් 28 දෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනකුගෙන් යුත් දැවැන්ත කැබිනට් මණ්ඩලයක් පත්කරනු ලැබීය. එම කැබිනට් මණ්ඩලයේද කාන්තා නියෝජනය ඉතා අවම විය. කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි වූයේ දැඩි රාජපක්ෂ හිතවාදිනියක වූ පවිත්‍රා වන්නිආරච්චිට පමණි. වියත් මග නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි නවක මන්ත්‍රීවරියක වූ වෛද්‍ය සීතා අරඹේපොළට රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවූ අතර සහ දිගු කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ පලපුරුදු මන්ත්‍රීවරියක වූ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේටද හිමිවූයේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය පදවිය පමණි. ඇයට සෞඛ්‍ය අමාත්‍ය ධුරය හිමිවෙතැයි බොහෝ දෙනකු බලාපොරොත්තු වුවද එම ධුරය හිමිවූයේ වෘත්තියෙන් නීතිවේදිනියක වූ පවිත්‍රා වන්නිආරච්චිටය.
අධ්‍යාපන අමාත්‍යංශය මහාචාර්ය ජී.ඇල්. පීරිස් හට හිමිවූ අතර පළමු කැබිනට්ටුවේ අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ ඩලස් අලහප්පෙරුමට මෙවර හිමිව තිබුණේ විදුලිබල අමාත්‍යංශයයි. රටේ අනාගතයට තීරණාත්මකව බලපාන අධ්‍යාපන අමාත්‍ය ධුරය මාස හතරකින් වෙනස් කිරීම පිළිබඳ විද්වතුන් සිය කනස්සල්ල පළකර සිටිමුත් ඉන් පලක් නොවීය. අධ්‍යාපන අමාත්‍යංශය එසේ වෙනස් වුවද ධීවර අමාත්‍යංශය එසේ වෙනස් වූයේ නැත. එය මෙවරද ඩග්ලස් දේවානන්දාටම හිමිවිය. 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අමාත්‍ය පදවියක් දැරීමට නෛතික හැකියාවක් නැත. එහෙත් ඒ බව නොතකා ආරක්‍ෂක අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට පත්කොට තිබිණි. ඒ අනුව පළමු කැබිනට් පත්කිරීමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි. මෙම කැබිනට්ටුවේ රාජපක්ෂ සහෝදරයෝ හතර දෙනකුට කැබිනට් අමාත්‍ය ධුර හිමිව තිබිණි.
රාජපක්ෂ සහෝදර සමාගමට විශාල අමාත්‍යාංශ ගණනක් සහ ඒවාට අනුබද්ධ ආයතන රාශියක් හිමිව තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂක අමාත්‍යාංශයද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයද හිමිව තිබිණි. චමල් රාජපක්ෂට වාරිමාර්ග අමාත්‍යාංශයද, නාමල් රාජපක්ෂට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයද හිමිව තිබිණි. ඊට අමතරව චමල් රාජපක්ෂ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය. අවස්ථා කිහිපයකදී සිදුකරන ලද කැබිනට් සංශෝධන මගින් නාමල් රාජපක්ෂ ඇමැතිවරයාට ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන වැනි විවිධාකාර අමාත්‍යංශ ලබාදෙන ලදී. රාජපක්ෂවරු හොබවනු ලැබූ මේ අමාත්‍යාංශ සඳහා විවිධාකාරයෙන් ඈඳන ලද ආයතන ගණන මෙවන් පුවත්පත් ලිපියක සඳහන් කිරීම පවා අසීරුය. එකී ආයතන සහ අමාත්‍යංශ සඳහා රාජ්‍ය අයවැයෙන් 67%කට ආසන්න ප්‍රමාණයක් වෙන්වූ අතර ශ්‍රී ලංකා ආර්ථිකයේ හරි අඩකට වඩා එම පවුලක් විසින් මෙහෙයවන තැනට එමගින් කටයුතු සිදුකෙරිණි. මෙම තත්ත්වයට යන්තමින් හෝ සමකළ හෑක්කේ පිලිපීනයේ ෆර්ඩිනන්ඩ් මාකෝස් සහ චිලියේ ඔගස්ටෝ ෆිනෝචේ වැනි ආර්ථික ඝාතකයන් ගෙන ගිය පාලනයන්ටය.
මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධව අධිචෝදනා ඉදිරිපත්ව රක්ෂිත බන්ධනාගාරව සිටින පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හටද කැබිනට් අමාත්‍යවරු දිවුරුම් දීමට පැමිණෙන ලෙස ආරාධනා පත්‍රයක් ලැබී ඇති බවත්, ඒ සඳහා අධිකරණයෙන් අවසර ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොවූ හෙයින් ඔහු ඉදිරි දිනයකදී අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දෙනු ඇති බවත් ඔහුගේ ප්‍රකාශකයෙක් විදෙස් මාධ්‍යයට පවසා තිබිණි. ඊට අමතරව 2015 ජනාධිපතිවරණ සමයේ සිදුවූ පුද්ගල ඝාතනයකට වැරදිකරුවී මරණ දඬුවම නියමවී එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති ප්‍රේමලාල් ජයසේකරටත් රාජ්‍ය අමාත්‍යංශයක් හිමිවීමට නියමිතව තිබූ බවට වාර්තා පළවුවත් දිවුරුම් දීමේ උත්සවයට ඔහුත් පැමිණ සිටියේ නැත.
රාජපක්ෂ පවුලේ ඉතිරි සහෝදරයා වූ බැසිල් රාජපක්ෂට 2020 මැතිවරණයට තරග කිරීමට නොහැකි වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන් පර්ලිමේන්තුවට පත්වීම වළකා තිබූ බැවිනි. එහෙයින් මහින්ද – ඝෝඨාභය රජය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් එකී බාධාව ඉවත් කර බැසිල්ට පාර්ලිමේන්තු එන්නට පාර කපුවේය. බැසිල් රාජපක්ෂ තම සොහොයුරා දරමින් සිටි මුදල් අමාත්‍යංශයම ඉල්ලා සිටි අතර අවසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීමෙන් ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස බැසිල් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේය. එසේ පැමිණි ඔහු 2021 ජූලි 08 වැනිදා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන්නේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ගෙල සිරකර මරාදමනු ලබන්නේ එලෙස ව්‍යවස්ථාව වෙනස් කර පාර්ලිමේන්තුවට වද්දාගත් බැසිල් රාජපක්ෂ විසිනි.
කෙසේ වෙතත් නව රජයේ ප්‍රථම කැබිනට් සංශෝධනය 2021 අගෝස්තු 16 වැනිදා සිදුකරනු ලැබීය. එහිදී මහාචාර්ය ජී.ඇල්. පීරිස් දැරූ අධ්‍යාපන අමාත්‍ය ධුරයට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන පත්කරන ලද අතර. විදේශ කටයුතු අමාත්‍යංශය මහාචාර්ය ජී.ඇල්. පීරිස්ට පවරනු ලබීය. සුහද මාරුවක ස්වරූපය ගත් මේ කැබිනට් සංශෝධනය කුමන අරමුණකින් සිදු කළේදැයි අදටත් සිතාගැනීමට නොහැකි අතර වසර දෙකක් තුළ අධ්‍යාපනය අමාත්‍යවරු තිදෙනකු පත් කිරීම මගින් ආණ්ඩුව අධ්‍යාපනය පිළිබඳ දක්වන්නේ අඩු තක්සේරුවක් බව පැහැදිලි විය. ඒ වන විට කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වීම නිසා රටේ සියලු කටයුතු බිඳවැටෙමින් තිබිණි.
කෑගල්ලේ ධම්මික නම් පෙදරේරුවෙක් සෑදූ කොරෝනා සුවකරන බව කියූ පැණියට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සහ ජීවම් කළ වතුර මුට්ටියක් සෞඛ්‍ය ඇමැතිනිය විසින් ගඟකට දමා කොරෝනා වසංගතයෙන් රට මුදා ගන්නට උත්සාහ ගැනීම යන කරුණු නිසා ලංකාවේම මිනිස්සු සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි හාස්‍යට ලක් කරමින් සිටියේය. එනිසා දෙවසරකට අධික කාලයක් ඇය දරමින් සිටි සෞඛ්‍ය අමාත්‍යංශය ඇයගෙන් ගළවන්නට ජනාධිපතිවරයා කටයුතු කළේය. එවරද රජය නියෝජනය කරමින් සිටි වෛද්‍යවරුන් වූ මහාචාර්ය චන්න ජයසුමන, වෛද්‍ය සීතා අරඹේපොළ, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ වෛරස වේදය පිළිබඳ ගෝලිය ප්‍රාමාණිකයෙක් වන මහාචාර්ය තිස්ස විතාරණ යන අයගෙන් කෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යංශය හිමිවෙතැයි බහුතරයක් බලාපොරොත්තු වුවද එය හිමිවූයේ සෞඛ්‍ය විෂය පිළිබඳ කිසිදු දැනුමක් නැති කෙහෙළිය රඹුක්වැල්ලටය. පවිත්‍රාට හිමිවූයේ ඇයට කිසිම දැනුමක් නැති ප්‍රවාහන අමාත්‍යංශයයි. එහිද වැඩි ආයතන ගණනක් හිමිව තිබුණේ රාජ්‍ය අමාත්‍යවරයා වූ දිලුම් අමුණුගමටය. ආණ්ඩුවේ කැබිනට් පත්කිරීම අතිශය අවිද්‍යාත්මක මෙන්ම අක්‍රමවත් බව මේ පත්කිරීම්වලින් තහවුරු විය.
ඝෝඨාභය – මහින්ද රජය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දිනෙන් දින අගාධයට ගිය ආකාරය පාඨක ඔබට රහසක් නොවේ. උග්‍ර ආර්ථික හා දේශපාලන අර්බුදය නිසා නැඟීගෙන ආ ජනතා විරෝධය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වූ අතර නව කබිනට් මණ්ඩලයක් පත්කිරීමට කටයුතු යෙදිණි. වර්ෂ 2022 අප්‍රේල් 18 වැනිදා පත් කරන්නට යෙදුණු එකී කැබිනට්ටුව මහජනයා හැඳින්වූයේ සෙල්ලම් ඇමැති මණ්ඩලය යන නමිනි. කැබිනට් අමාත්‍යවරු 17ක් සහ රාජ්‍ය අමාත්‍යවරු 24කින් යුත් මේ සෙල්ලම් කැබිනට්ටුවට රාජපක්ෂවරු ඇතුළත් නොවිය යුතු බවට සමස්ත ශ්‍රී ලාංකිකයන්ම පැවැසූවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කැබිනට්ටුවෙන් ඉවත්වූයේ නැත. නමුත් මොළ හතක් ඇති බවට පොහොට්ටුවේ නායකයන් හැඳින්වූ බැසිල් රාජපක්ෂ සියලු කුමන්ත්‍රණ කර ලබාගත් මුදල් අමාත්‍යාංශය අහිමි විය. නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබි්‍ර පත්විය. දැඩි වර්ගවාදී පදනමකින් කටයුතු කර මුසල්මානුවන් ප්‍රතික්ෂේප කරමින් සිටි රාජපක්ෂවරුනට අවසන රටේ වැදගත්ම අමාත්‍යාංශය මුසල්මානුවකුට ලබාදීමට සිදුවීම දෛවයේ සරදමක් බඳු විය. වසර තුනක් තුළ පත්වූ හතරවැනි අධ්‍යාපන ඇමැතිවරයා ලෙස රමේෂ් පතිරණ වැඩ භාරගත්තේය. මෙවරද සෞඛ්‍ය අමාත්‍යංශය මහාචාර්ය චන්න ජයසුමනට හිමිවිය. ආණ්ඩුවට මොන ප්‍රශ්න ආවත් ධීවර අමාත්‍ය ධුරය වෙනස් වූයේ නැත. එය මෙවරද ඩග්ලස් දේවානන්දාටම හිමිවිය.
ගිනිගනිමින් පැවැති රටක් අස්වසාලන්නට පත්කළ සෙල්ලම් කැබිනට්ටුවේ ආයුෂ මාසයකට අඩු විය. 2022 මැයි මස 09 වැනි දින ලංකාවටම ගිනිතබා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග සෙල්ලම් කැබිනට්ටුව අහෝසිවී යන ලදී. 2022 මැයි මස 12 වැනිදා අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන් අතර මේ ලිපිය ලියන මොහොත වන විටත් ඔහු සිය සම්පූර්ණ කැබිනට් මණ්ඩලය පත්කර නැත. විටින් විට ඇමැතිවරු එක්කෙනා දෙදෙනා දිවුරුම් දෙමින් සිටින අතර මුදල් අමාත්‍ය ධුරය පවා තවමත් පුරවා නැත. මෙම කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී අධ්‍යාපන අමාත්‍ය ධුරය හිමිවූයේ සුසිල් ප්‍රේමජයන්තටය. ඔහු ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වසර තුනක් ඇතුළත පත් කළ හතර වැනි අධ්‍යාපන අමාත්‍යවරයාය. සෞඛ්‍ය අමාත්‍යංශය නැවත වරක් කෙහෙළිය රඹුක්වැල්ලට හිමිවූ අතර ධීවර අමාත්‍යංශය පමණක් කිසිම වෙනසක් නොවී ඩග්ලස් දේවානන්දාට මෙවරද සින්නවී ගියේය.
මේ ආකාරයෙන් අමාත්‍යවරු නිතර නිතර මරු කිරීම නිසා බොහෝ සංවර්ධන කටයුතුවලට බාධා පැමිණේ. විශේෂයෙන්ම කිසිම ක්ෂේත්‍රයකට ජාතික ප්‍රතිපත්තියක් නැති ශ්‍රී ලංකාව වැනි රටක මේ තත්ත්වය වඩාත් හානිකර බලපෑම් ඇතිකරයි. ඊට අමතරව අමාත්‍යවරයෙක් පත්වීම වූ කලී හුදෙක් එක් පුද්ගලයෙක් තනතුරකට පත්වීමක් නොවේ. ඇමැතිවරයෙක් පත්වන සෑම අවස්ථාවකම ලේකම්, අතිරේක ලේකම් වැනි ධුර පමණක් නොව අමාත්‍යවරයාගේ විෂය පථයට අයත් ආයතනවල සභාපතිවරුන් ලේකම්වරුන් වැනි ධුරයන්ද වෙනස් වෙයි. ඇතැම් අවස්ථාවල ලිපි ලේඛන, නාමපුවරු, ගොඩනැගිලි සහ ඒවායේ ඇතුළත අලංකරණ කටයුතු පවා වෙනස් කරන්නට සිදුවන්නේය. මේ සෑම දෙයකටම වැයවන්නේ කෝටි ප්‍රකෝටි ගණනින් ගිනිය යුතු ජාතික ධනයය. කැබිනට් මණ්ඩලය ගැන ජනතාව මෙතරම් වද වන්නේ ඒ හින්දාය.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු