අධිකරණ තීන්දු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් සහ යූ ටියුබ්කරුවන් විසින් මෑතකදී පළකරන ලද අදහස් සහ අනාවැකි පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කනස්සල්ල පළකර ඇති අතර, එවැනි ක්‍රියා නීතියේ ආධිපත්‍යය සහ අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය අඩපණ කරන බවට අනතුරු අඟවයි.Sri Lanka Latest News
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ස්වාධීන ආයතන වන අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණය යටතේ ඇති කරුණු ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රකාශ සිදුකර ඇති බවයි.
අගවිනිසුරුවරයා සහ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුගෙන් සමන්විත අධිකරණ සේවා කොමිසම, මහාධිකරණ විනිසුරුවරුන් සහ අනෙකුත් අධිකරණ නිලධාරීන්ගේ පත්කිරීම්, උසස්වීම්, මාරුකිරීම් සහ විනය පාලනය අධීක්ෂණය කරයි.
අධිකරණයේ ස්වාධීනත්වය බාහිර මැදිහත්වීම් වලින් ආරක්ෂා කළ යුතු බව සංගමය අවධාරණය කරන අතර, නඩුවල ප්‍රතිඵලවලට බලපෑම් කිරීමට උත්සාහ කරන අදහස් දැක්වීම් නිසි ක්‍රියාවලියට තර්ජනයක් වන බවට අනතුරු අඟවයි.
එවැනි මැදිහත්වීම් සිදුකරන පුද්ගලයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(C)(1) සහ (2) වගන්තිය යටතේ නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණදිය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරන අතර, එවැනි ක්‍රියාවලට අධිකරණයට ඇඟිලි ගැසීම් ලෙස සළකා දඬුවම් පැමිණවිය හැකි බව පෙන්වාදෙයි.











