දූෂණ චෝදනා සහ නඩුවලට මුහුණ දී සිටින හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලකයින් රටින් පළායාමට සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබා ගැනීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුණා.
නීතිඥවරුන් පිරිසක් විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ දී නීතිපතිවරයා හමුවී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි නීතිඥ සුනිල් වටගල පැවසුවේ.
ඔවුන් එලෙස පලාගිය හොත් එම නඩු කටයුතු පවත්වාගෙන යාමට බාධාවක් සිදුවන බවත්, එසේ වුවහොත් ඔවුන් විසින් අවභාවිතාවට ලක් කළ රාජ්‍ය මුදල් හා රාජ්‍ය දේපළ යළි අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියට දැඩි අගතියක් සිදුවන බවත් නීතිඥ සුනිල් වටගල පෙන්වා දුන්නා.
එබැවින් දූෂණ චෝදනා සහ නඩු කටයුතු වලට මුහුණ දී සිටින හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලඥයින් විදේශගතවීම වැළැක්වීම සඳහා වහා විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබාගන්නා ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ බවයි ඔහු සඳහන් කළේ.
නීතිඥ ප්‍රජාව විසින් ඉදිරිපත් කළ ඉල්ලීමට නීතිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බව ද නීතිඥ සුනිල් වටගල වැඩිදුරටත් සඳහන් කළා.










