ලන්සා බැසිල් ගැන හිනාවෙවී කියපු කතාව!
මහියංගනේදී ජනාධිපතිට වෙච්ච දේ!
නවීන්ගේ ට්විටර් එකට ආපු ජාත්‍යන්තර උත්තරය!
නතාෂාට පෙනී හිටියේ සාලිය පීරිස්ද?
123න් ආණ්ඩුව හෙල්ලෙයි!
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පැවැති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ආණ්ඩුව ඡන්ද 123ක් ලබා ජයග්‍රහණය කළද ආණ්ඩුව ඇතුළේ කිසියම් බරපතළ සෙලවීමක ලකුණු එම ඡන්ද විමසීම හරහා දැකගන්නට ලැබිණි. ඒ, ඡන්ද විමසීම පැවැත්වීමට දින කිහිපයක් තබා පොහොට්ටුව පැත්තෙන් දියත් වුණු කැරැල්ලක් මුල්කොට ගෙනය. එහිදී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් 15කට ආසන්න කණ්ඩායමක් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, නාමල් රාජපක්ෂ මහතාත් මුණගැසී ජනක රත්නායක සම්බන්ධ සිදුවීමේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබාදීමට නොහැකි බව දැනුම් දීමත් සමග මෙම අර්බූදය මතුව තිබිණි. ඒ අනුව මෙම කණ්ඩායමට ඇති ප්‍රශ්නය සමතයකට පත්කොට ඔවුන්ගේ ඡන්දය ආණ්ඩුවට ගැනීම සඳහා ඒ වනවිටත් ඩුබායිහි රැඳී සිටි බැසිල් රාජපක්ෂ මහතා හදිසියේම ලංකාවට ගෙන්වා ගැනීමට ආණ්ඩුව පියවර ගත්තේය. අවසන් මොහොතේදී 123ක ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබුණේ ඒ අනුවය.
ජපානයේ සිටම උපදෙස්!
කෙසේ වෙතත් මෙම ඡන්දයත් සමග තවත් මන්ත්‍රීවරුන් 11 දෙනකු එහා මෙහා වුවහොත් ආණ්ඩුවට බහුතරය අහිමි වන බව මේ සිදුවීම හරහා පැහැදිලිවම දැකගන්නට ලැබිණි. මෙම ඡන්ද ප්‍රතිඵලය ලැබෙන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ ජපානයේ නිල සංචාරයක නිරතවය. ජපානයේ සිටියද මෙම ඡන්ද ප්‍රතිඵලය පසුපස පොහොට්ටුව පැත්තෙන් ආ භයානක සංඥාව වටහා ගැනීමට ජනාධිපතිවරයාට වැඩි වේලාවක් ගියේ නැත. ඒ නිසාම ජනාධිපතිවරයා ජපානයේ සිටම ආණ්ඩුවත් සමග සිටින මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබාදුන්නේ වහාම ආණ්ඩුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත වන පරිදි සාකච්ඡාවක් සූදානම් කරන්න යැයි කියාය. තමන් සති අන්තයේ ලංකාවට පැමිණෙන බැවින් සඳුදා දිනයේදීම එම සාකච්ඡාව සංවිධාන කරන ලෙසටද ජනාධිපතිවරයාගෙන් ලැබුණු පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් විය.
වැඩේ බාරගත්තේ ලන්සා!
ජනාධිපතිවරයාගේ දැනුම් දීමට අනුව මෙම රැස්වීම සංවිධාන කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගත්තද එහි වැඩි බරක් ගෙන තිබුණේ පොහොට්ටුවේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නිමල් ලන්සාය. නිමල් ලන්සා මේ වන විට සැලකෙන්නේ ජනාධිපතිවරයාට අතිශය සමීපව කටයුතු කරන පොහොට්ටු මන්ත්‍රීවරයකු ලෙසටය. ඒ අනුව ලන්සා පොහොට්ටුව නියෝජනය කරන සියලු දිස්ත්‍රික් නායකයන්ට මේ සඳහා ඇරයුම් කිරීමට පියවර ගත්තේය. ඊට අමතරව කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකුටත්, හිටපු කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකුටත් ආරාධනා කළ ලන්සා, තෝරාගත් පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකුටද ඊට ආරාධනා කිරීමට පියවර ගත්තේය. ආණ්ඩුව නියෝජනය කරන සියලු පක්ෂ ඊට සම්බන්ධ වන බව පෙන්වීම සඳහා සජබය නියෝජනය කරමින් ඊට ආරාධනා කර තිබුණේ රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේටය. ශ්‍රීලනිපය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාටය. එජාපය වෙනුවෙන් ඊට සහභාගි වීමට ආරාධනා ලැබී තිබුණේ වජිර අබේවර්ධනටය. පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කළේ නිමල් ලන්සාය.
පොහොට්ටුව ප්‍රහාරයට ලෑස්ති වෙයි!
මේ ආකාරයට ජනාධිපතිවරයාගේ රැස්වීමක් වුවත් ඊට නිමල් ලන්සා මුල්වී සංවිධාන කටයුතු සිදුකරමින් සිටින බවටත්, පක්ෂ අතර රැස්වීමකටත් වඩා පොහොට්ටුව නියෝජනය කරන දිස්ත්‍රික් නායකයන්ට පවා එම රැස්වීමට ආරාධනා කිරීම තුළින් මෙය දේශපාලන රැස්වීමක් ලෙස පෙනෙන බවටත් කල්තියාම පොහොට්ටුවේ ඉහළ නායකයන් වෙත තොරතුරු ලැබී තිබිණි. එම තොරතුරු ලැබීමත් සමග පොහොට්ටුවේ ප්‍රබලයන්ද මහත් කලබලයට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව මේ සම්බන්ධයෙන් පක්ෂය ඇතුළේ පැවැති සාකච්ඡාවලදී පැහැදිලිවම කියැවුණේ මේ ආකාරයට කැඳවනු ලබන රැස්වීම්වලට දැඩිව විරෝධය පළකළ යුතු බවය. දැනටත් පවතින්නේ පොහොට්ටු ආණ්ඩුවක් බැවින්, ආණ්ඩුවට දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් කෙළින්ම පොහොට්ටුව සමග සාකච්ඡා කළ යුතු බව ජනාධිපතිවරයාට දැනුම් දීමටද මෙහිදී තීන්දු විය. ඒ අනුව රැස්වීම සඳහා ආරාධනා කර තිබූ දිස්ත්‍රික් නායකයන් රැසකට පොහොට්ටුවෙන් යැවුණු පණිවුඩවලින් දැනුම් දී තිබුණේ රැස්වීමට සහභාගි නොවන ලෙසටය. එමෙන්ම රැස්වීම නියෝජනය කිරීමට පක්ෂය තීන්දු කළ පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම්ට උපදෙස් ලැබී තිබුණේ සාකච්ඡාව අතරතුරදී ආණ්ඩුවේ මෙම ක්‍රියාවට පැහැදිලිවම විරෝධය පළකරන ලෙසටය. කොටින්ම කියනවා නම් මෙම රැස්වීම පොහොට්ටුවෙන් එතරම් ගණන් නොගන්නා එකක් ලෙස හැඟවෙන පරිදි කටයුතු කරන ලෙසටද එහිදී උපදෙස් ලැබිණි.
ලන්සාගෙන් දේශනයක්!
සඳුදා සවස ආරම්භ වූ මෙම රැස්වීමේ මූලාසනය ජනාධිපතිවරයා විසින් දැරුවද එහි කටයුතු මෙහෙයවනු ලැබුවේ වෙන කවුරුවත් නොව, නිමල් ලන්සා විසින්ය. ඒ අනුව ලන්සා ඉදිරියේදී පක්ෂ භේදයකින් තොරව එකාවන්ව ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා වැඩ කළ යුතු බවට කියමින් විශාල දේශනයක් පැවැත්වීමට පියවර ගත්තේය. ලන්සාගේ මේ කතාව අවසන් වීමත් සමගම ඊට පිළිතුරු දීමට නැගිට්ටේ සාගරය. එහිදී මෙම රැස්වීම කැඳවා ඇති ආකාරයට කෙළින්ම විරෝධය පළකරමින් සාගර අදහස් දැක්වීම ආරම්භ කළේය.
සාගර ප්‍රහාරය අරඹයි!
‘ජනාධිපතිතුමනි, ඔබතුමාට පුළුවන් ඕනෙ වෙලාවක කැබිනට් මණ්ඩල රැස්වීම් කැඳවන්න. ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් කැඳවන්නත් ඔබතුමාට පුළුවන්. හැබැයි මේ වගේ දේශපාලන සාකච්ඡාවකට ආණ්ඩුවත් එක්ක ඉන්න දේශපාලන පක්ෂ කැඳවනවා නම් ඒක කරන ක්‍රමයක් තියෙනවා. හැබැයි මේ කැඳවන විදිය ගැන නම් අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද තාම පොහොට්ටුවෙ ආණ්ඩුවක් තියෙන්නේ. ඉතින් ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න කතා කරනවා නම් ඔබතුමා ඒකට කෙළින්ම පොහොට්ටුවේ ප්‍රධානීන් කැඳවලා ඒ ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඒ සාකච්ඡාවට සහභාගි වෙන්නේ කවුද කියලා තීන්දු කරන්නේ අපේ පක්ෂය…’ යනුවෙන් කියමින් සාගර විරෝධය පළකරද්දී කාටත් කලින් ඊට පිළිතුරු දීමට නැගී සිටියේ නිමල් ලන්සාය.
‘එහෙම කොහොමද? මේ වෙලාවේ අරයගෙ පක්ෂය මෙයාගෙ පක්ෂය කියලා තෝරලා බේරලා වැඩ කරන්න බෑ. අපි ඔක්කොම එකතු වෙලා පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩු පක්ෂය ශක්තිමත් කරන්න පියවර ගන්න ඕනෙ. මොකද, දැන් කොහොමත් ඡන්දයක් එනවා. අපි ඔක්කොම එකතුවෙලා ශක්තිමත්ව ඒකට මුහුණ දෙන්න ඕනෙ…’ යනුවෙන් ලන්සා කියද්දී, නැවතත් ඊට විරෝධය පළකරමින් අදහස් දැක්වූ සාගර කියා සිටියේ කුමන සාකච්ඡාවක් පැවැත්වුවද ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ නම් ඒ සඳහා පොහොට්ටුවේ ප්‍රධානීන් සහභාගි වී සිටිය යුතු යැයි කියාය. සාගර මෙසේ කියද්දී සුසිල් ප්‍රේමජයන්ත, ඩයනා ගමගේ සහ වජිර අබේවර්ධන යන මැති ඇමැතිවරුන් ලන්සාට පක්ෂව අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. නමුත් සාගර සිය ස්ථාවරය වෙනස් නොකොට මුලින් සිටි ස්ථාවරයේ සිටම අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.
උගන්වලා එව්වේ බැසිල්!
මේ සියල්ල දෙස නිහඬව බලා සිටි ජනාධිපතිවරයා අවසානයේදී කියා සිටියේ ඉදිරියේදී සියලු දෙනාම එක්ව වැඩකටයුතු කළ යුතු බැවින් තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගන්නැයි කියාය.
මේ ආකාරයට පැවැති සාකච්ඡාව අවසන් වී සාගර ඇතුළු පොහොට්ටුවේ පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව ගිය පසු ලන්සා එහි සිටි පිරිසට මහ හයියෙන් සිනාසෙමින් අපූරු කතාවක් කියා සිටියේය.
‘ඔය විදියට කතාකරන්න සාගරට හයියක් නෑ. එයාට ඔය විදියට කතාකරන්න කියලා උගන්නලා එව්වේ වෙන කවුරුවත් නෙවෙයි, බැසිල්. අපි දන්නැද්ද ඒගොල්ලන්ගෙ වැඩ…’ යන්න ලන්සා එහිදී කියා සිටි කතාව විය.
රනිල් මහියංගනේ!
කලකට පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් එකට සිටි උත්සවයක් පසුගිය සතියේ පැවැත්විණි. ඒ, ඓතිහාසික මහියංගන රජමහා විහාරය පූජා භූමියක් ලෙස නම් කිරීම සඳහා වූ සන්නස් පත්‍රය පූජා කිරීම , විල්ලවපිටිය වැව මැද පිහිටි ලංකාවේ උසම සක්මන් බුදු පිළිම වහන්සේ නිරාවරණය කිරීම, පන්සලේ ප්‍රවිෂ්ට මාර්ගය විවෘත කිරීම නිමිති කොටගෙන පැවැති උත්සවයේදීය. ජනාධිපතිවරයාට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ආරාධනා කර තිබූ බැවින් සහ මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය මහානායක ස්වාමින් වහන්සේලාට ආරාධනා කර තිබූ බැවින් පින්කම් උත්සවය ඉතා ඉහළින් සංවිධාන කර තිබූ ආකාරයක් දැකගත හැකි විය.
එන්න කිව්වේ 2ට!
සියල්ලන්ටම ලබාදී තිබූ ආරාධනා පත්‍රයේ උත්සව සභාව ආරම්භ වීම සඳහා වේලාව ලෙස යොදා තිබුණේ පස්වරු 2ය. දුර බැහැර පළාත්වලින් නායක ස්වාමින්වහන්සේලා මහියංගනයට වැඩම කර තිබූ බැවින් ඇතැම් ස්වාමින්වහන්සේලා උදෑසන හීල් දානය වැලඳීමෙන් පසු කෙළින්ම උත්සව භූමියට වැඩම කොට සිටියේ දහවල් දානය පවා වැලඳීමෙන් තොරවය. ඒ අනුව හරියටම සවස 2 වන විට උත්සව සභාව සියලුම සම්භාවනීය ආරාධිත අමුත්තන්ගෙන් පිරීගොස් තිබෙන ආකාරයක් දැකගත හැකි විය.
එන්න පරක්කු වෙනවා!
කෙසේ වෙතත් 2ට පමණ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ලැබුණු පණිවුඩයකින් කියැවුණේ ජනාධිපතිවරයා උත්සව අවස්ථාවට සහභාගි වන විට සවස 2.45 පමණ වනු ඇතැයි කියාය. ඒ අනුව නායක ස්වාමින් වහන්සේලා උත්සව සභාව 2.45ට ජනාධිපතිවරයා පැමිණීමෙන් පසු ආරම්භ කිරීමට තීරණය කළහ. විපක්ෂ නායක සජිත් සහ ජලනි ප්‍රේමදාස මහත්මිය උත්සවයට සම්බන්ධ වීම සඳහා පැමිණියේ හරියටම සවස 2.20ටය. සජිත්-ජලනි මහියංගන විහාරයේ සංඝාවාසයට ඇතුළු වෙද්දී එහි අස්ගිරි පාර්ශ්වයේ නායක ස්වාමින්වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රධාන ස්වාමින්වහන්සේලා විශාල ප්‍රමාණයක් අසුන් ගෙන සිටියහ. ඒ සියලු ස්වාමින්වහන්සේලා වැඳ නමස්කාර කොට සජිත් සහ ජලනි, පින්කමේ තොරතුරු පිළිබඳවත්, ආගිය තොරතුරු පිළිබඳවත් උන්වහන්සේලා සමග කතා කරමින් සිටියහ. ආණ්ඩුව නියෝජනය කරමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුද , ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාද ඒ වන විටත් පින්කම අවස්ථාවට සම්බන්ධ වී සිටි ආකාරයක් දැකගත හැකි විය.
3.30ටත් නෑ!
ඒ අනුව 2.45 පමණ වන විට සියලු දෙනාම බලා සිටියේ උත්සව සභාව ආරම්භ කිරීමට ජනාධිපතිවරයා පැමිණෙනු ඇතැයි කියාය. නමුත් ඒ මොහොතේදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නැවත ලැබුණු පණිවුඩයකින් කියැවුණේ ජනාධිපතිවරයා පැමිණෙන විට සවස 3.30 පමණ වනු ඇතැයි කියාය. මේ දැනුම් දීමත් සමග ස්වාමින්වහන්සේලා අතර යම් යම් කසුකුසු පැතිර ගිය ආකාරයක් දැකගන්නට ලැබුණු අතර සියලු දෙනාම කියා සිටියේ දුරබැහැර පළාත්වලින් භික්ෂුන්වහන්සේලා වැඩමවා ඇති බැවින් තවදුරටත් ප්‍රමාද නොකොට පින්කම් මාලාව ආරම්භ කළ යුතු බවකි. ඒ අනුව මහියංගන රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත හිමියන්ද තීන්දු කළේ න්‍යාය පත්‍රයේ සඳහන්ව තිබූ විවෘත කිරීමේ උත්සව සියල්ල ජනාධිපතිවරයා නොමැතිව ආරම්භ කිරීමටය.
ජනපති නැතිවම වැඩ පටන් ගනී!
පළමුව සිදුකෙරුණේ අලුතින් හුණු පිරියම් කරනු ලැබූ චෛත්‍ය රාජයාණන්වහන්සේ විවෘත කිරීමය. එය ආරම්භ වූයේ පස්වරු 3.15ටය. සියලු ස්වාමින්වහන්සේලා, ආරාධිත අමුත්තන් එම ස්ථානයට පැමිණ චෛත්‍යයේ පේසා වළලු ආසන්නයේ ස්ථාපිත කොට තිබූ සමරු පලකයේ පීත්ත පටිය කපා චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කරන විට උත්සව භූමියම සාධු නදින් ගිගුම් දෙන ආකාරයක් දැකගන්නට ලැබිණි.
4.30ට විතර රනිල් එයි!
අනතුරුව පිරිස අලුතින් සකස් කළ පන්සලේ ප්‍රවේශ මාර්ගය විවෘත කිරීමේ කටයුතුවලට සහභාගි වූහ.
ජනාධිපතිවරයා උත්සව භූමිය වෙත පැමිණියේ මෙම ප්‍රවේශ මාර්ගය විවෘත කරන අවස්ථාවේදීය. ඒ වන විට වෙලාව සවස 4.30 පමණ වී තිබිණි. ජනාධිපතිවරයා සමග එම ගමනට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාද එක්ව සිටියේය. ඒ අනුව සියලු දෙනාම උත්සවයේ විශේෂම අංගයක් වූ විල්ලවපිටිය වැව මැද ඉදිකරන ලද සක්මන් බුදු පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට එක්වූහ. මෙම අලංකාර බුදු පිළිම වහන්සේ ආචාර්ය චන්දන ජයරත්න මහතා විසින් නිර්මාණය කළ එකක් විය.
බර කරට ගත්තෙ සජිත්!
අවසානයේදී උත්සව සභාව ආරම්භ කරන විට සවස 5 පමණ වී තිබිණි. ඒ අනුව පිළිගැනීමේ කතාව සිදුකළේ මහියංගන විහාරාධිපති හිමිපාණන් විසිනි. උන්වහන්සේගේ කතාවේදී මහියංගන පූජා භූමියේ සංවර්ධන කටයුතු සිදුකිරීමට ආධාර උපකාර කළ සියලු දෙනාටම ස්තුති කිරීමට පියවර ගත්හ. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කිසිදු මාධ්‍ය ප්‍රචාරයකින් තොරව කඨින පින්කම සිදුකර තිබූ සජිත් සහ ජලනි දෙපළට උන්වහන්සේ විසින් විශේෂ ස්තුතියක් පිරිනැමීමය. එහිදී මුළු විහාරයම ප්‍රතිසංස්කරණය කොට කඨින පින්කමට සූදානම් කිරීමට සජිත් කටයුතු කිරීම නායක හිමියන් පෙන්වා දුන්නේ අටමහා කුසල් සිදුකරගැනීමක් ලෙසය. සජිත් – ජලනි දෙපළ මෙම පින්කම සිදුකර තිබූ බව උත්සව සභාවේ සිටි බොහෝ දෙනා දැනගත්තේද විහාරාධිපති හිමියන්ගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුවය.
රනිල් ගැන කතා කරයි!
විහාරාධිපති හිමියන්ගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව අනුශාසනාව සිදුකළේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ස්වාමින්වහන්සේ වන ආණමඩුවේ ධම්මදස්සී හිමියන්ය. ඒ වන විට වේලාව සවස 5.30ත් පසුව තිබිණි. උන්වහන්සේ කතාව ආරම්භ කළේ ‘උත්සව සභාව ආරම්භ කරන්නේ උත්සව සභාව අවසන් කිරීමට නියමිතව තිබූ වේලාවට’ යැයි කියමිනි. එමෙන්ම ජනාධිපතිවරයා නියමිත වේලාවට නොපැමිණ ප්‍රමාද වීම සම්බන්ධයෙන්ද සිය කතාවේදී උන්වහන්සේ අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම ජනාධිපතිවරයා, ජනාධිපති ධුරයට පත්වූ ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී උන්වහන්සේ අදහස් පළකර සිටියේය.
කතා කරන්නෙ නැතිවම යයි!
කෙසේ වෙතත් උත්සව සභාවේ විශේෂ අවස්ථාව වූ මහියංගන විහාරය පූජා භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන සන්නස් පත්‍රය විහාරාධිපති හිමියන්ට පිළිගැන්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා උත්සව සභාවෙන් නික්ම යෑමට පියවර ගත්තේය. ඒ, න්‍යාය පත්‍රයට අනුව වෙන්කොට තිබූ කතාවද සිදුකිරීමකින් තොරවය. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උත්සව සභාවේ කතාව සිදුකරන විට ජනාධිපතිවරයා උත්සව සභාවෙන් නික්ම ගොස් තිබීමද විශේෂ සිදුවීමක් විය.
නවීන්-රිකී හබය!
මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ ‘මෝඩාභිමානය’ නමැති ප්‍රහසන වැඩසටහනේදී නතාෂා එදිරිසූරිය නමැති තරුණියක් බෞද්ධාගමට අපහාස වන ආකාරයෙන් අදහස් දැක්වීමේ සිදුවීමය. මෙහිදී ඇතැම් පිරිස් එය බෞද්ධාගමට අපහාසයක් සේ සලකා අදහස් ප්‍රකාශ කරන අතර, තවත් පිරිසක් කියන්නේ එම තරුණියව අත්අඩංගුවට ගැනීම භාෂණයේ නිදහස කටුගා දැමීමක් යැයි කියාය. එම නිසා මේ දිනවල නතාෂාගේ සිදුවීමට පක්ෂව සහ විපක්ෂ පළවන අදහස්වලින් සමාජ මාධ්‍ය ජාල පිරී ඇති ආකාරයක් දැකගත හැකිය.
කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ නතාෂාගේ සිද්ධියට සම්බන්ධව සිදුවූ තවත් රසබර සිද්ධියකි. මේ සිද්ධියට සම්බන්ධ වී තිබුණේ එජාප හිටපු ප්‍රබලයකු වන නවීන් දිසානායකය. නවීන්, නතාෂාගේ සිද්ධිය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබා තිබූ නමුත් ඒ පිළිබඳ වැඩිදෙනකුගේ අවධානයක් යොමුව තිබුණේ නැත. නමුත් එය රටම බැලූ පණිවුඩයක් බවට එක මොහොතකින් පත්වූයේ ඊට ජාත්‍යන්තර තලයේ ප්‍රකට ප්‍රහසන ශිල්පියකු වූ රිකී ජියේස් විසින් ප්‍රතිචාර දක්වා තිබීමත් සමගය. එහිදී රිකී ඉතා කෙටි පණිවුඩයකින් භාෂණයේ නිදහස පිළිබඳ වටිනා පාඩමක් නවීන්ට කියා දීමට පියවර ගෙන තිබිණි. දෙදෙනා අතර සිදුවූ ට්විටර් පණිවුඩය හුවමාරුව මෙසේය.
දෙබස මෙන්න!
නවීන් – භාෂණයේ නිදහස යන්නෙන්, ඔබේ ක්‍රියාවන්ගෙන් හෝ ඔබ කියන දෙයින්, අනෙකාට අවමන් කිරීමට, ඔහුගේ හෝ ඇයගේ කීර්ති නාමයට හානි කිරීමට හෝ රිද්දීමට ඔබට හැකි බව අදහස් නොවේ…
රිකී – ඔබේ මේ අදහස මගේ හිත පාරනවා… ඇත්තෙන්ම එය මහත් වේදනාවක්. කරුණාකරලා ඔබේ ඔය ට්වීට් එක ඩිලීට් කරන්න…
නවීන් – ඔබේ හිත රිදවීම ගැන කණගාටුයි මිත්‍රයා. නමුත් මට මගේ ට්වීට් එක ඩිලීට් කරන්න බෑ. මගේ ට්වීට් එක මගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය.
රිකී – හ හ හා… ඔබ අහුවුණා…
මේ හරහා රිකී නවීන්ට අදහස් දැක්වීමේ අයිතියේ වටිනාකම ඉතා සුළු උදාහරණයකින් පෙන්වා දී තිබූ බව බොහෝ දෙනාගේ අදහස විය.
සාලිය පීරිස්ද පෙනී හිටියෙ!
පසුගිය කාලයේ නීති ක්ෂේත්‍රයේ නිතරම කියවෙන නමක් බවට පත්ව තිබුණේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නමය. ඒ සඳහා බලපා තිබූ ප්‍රධානම හේතුව වී තිබුණේ ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, මානව නිදහස මුල් කරගෙන කැපීපෙනෙන වැඩපිළිවෙළක් දියත් කර තිබීමය. ඊට අමතරව අරගලය පැවැති අවස්ථාවේදී ආණ්ඩුව පාර්ශ්වයෙන් දියත් කළ විවිධ ප්‍රහාරයන්ට එරෙහිව අරගලකරුවන් වෙනුවෙන් සාලිය පීරිස් නොබියව අධිකරණය හමුවේ පෙනී සිටි ආකාරයක්ද දැකගත හැකි විය. මේ නිසාම පසුගිය ආණ්ඩු කාලයේදී සාලිය පීරිස් යනු ආණ්ඩුවේ අයට නයාට අඳුකොල බඳු චරිතයක් විය. අවස්ථා ගණනාවකදීම සාලිය පීරිස් ඉලක්ක කරගෙන දැවැන්ත සාමාජ මාධ්‍ය ජාල විරෝධයක් දියත් වූයේත්
, සාලිය පීරිස්ගේ නිවෙස ඉදිරිපිට විවිධ පිරිස් උද්ඝෝෂණ, විරෝධතා සිදුකළේත් මේ නිසාමය. නමුත් සාලිය පීරිස් ඒ කිසිවකින් සැලුනු හෝ බියවුණු ආකාරයක් දැකගන්නට තිබුණේ නැත.
මේ වන විට සාලිය පීරිස් නීතිඥ සංගමයේ සභාපති තනතුරෙන් ඉවත්ව සිටීම නිසා පසුගිය කාලයේදී ඔහුගේ මුහුණ වැඩිපුර දැකගත නොහැකි වුණද, පසුගිය සතියේදී සිදුවූ තවත් සිදුවීමක් මුල් කරගෙන සාලියගේ නම නැවත වතාවක් මාධ්‍ය මගින් එළියට ආවේය. ඒ, නතාෂාගේ සිදුවීම මුල්කරගෙනය. එහිදී මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් දෙකක්ම වාර්තා කොට තිබුණේ ප්‍රහසන වැඩසටහනකදී ආන්දෝලනයට ලක්වූ කතාවක් කළ නතාෂා එදිරිසූරිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනීසිටියේ සාලිය පීරිස් යැයි කියාය. පසුව එම පුවත වෙබ් අඩවි රැසක්ද වාර්තා කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව අපද මෙම පුවත සම්බන්ධයෙන් සොයාබැලීමක් කළ අතර, එහිදී අපට දැනගන්නට ලැබුණේ එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් යැයි කියාය. සාලිය පීරිස්, නතාෂා වෙනුවෙන් පෙනී සිට නැති අතර, අඩුම වශයෙන් ඒ සම්බන්ධයෙන් නීති උපදෙසක් හෝ ලබාදීමට පියවර ගෙන නොතිබිණි. නතාෂෘ වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිට තිබුණේ අස්තික දේවේන්ද්‍ර නමැති නීතිඥවරයෙකි. මේ බව පසුව සාලියද සිය ට්විටර් ගිණුමේ සඳහන් කිරීමට පියවර ගෙන තිබිණ.
කපිල පුංචිමාන්නගේ
RAJYA RAHAS










