මේක දෙවියන් හොයාගෙන යන ගමනක්. බොහෝ දේ වෙන නොවෙන ගමනක්. දෙවියො ඉන්නෙ කොහෙද කොතැනද කියලා නොයෙක් අය කියනවා. ඒ හැමෝම කියන්නෙ දෙවියො ඉන්නෙ තමන්ගෙ ළඟ කියලා. හුඟක් අය තමන්ගෙ දෙවියන් ගැන කියනවා. Sri Lanka Latest News
දෙවියන්ට ආගමක් ජාතියක් තියෙනවද? දෙවියන්ට ජන වර්ගයක් කුලයක් අදාළද? දෙවියො උදව් කරන්නෙ පුද පූජා කරන අයට විතරද?
අපි දෙවියන්ගෙ රූප හදනවා. හදලා ඒ රූපෙට වඳිනවා. එහෙම නැත්නම් අඳිනවා. ඇඳලා ඒ චිත්‍රයට වඳිනවා. එතකොට ඇයි අපි සායම්වලට, පින්සල්වලට, පැන්සල්වලට නොවඳින්නෙ. ඇයි අපි මැටිවලට, සිමෙන්ති කොට්ටවලට, වැලි, ගඩොල්, යකඩ කම්බි ගොඩකට නොවඳින්නෙ? ඒක මහ අරුම පුදුම ප්‍රශ්නයක් කියලා ඔයාලට හිතෙයි. නෑ ඒක අරුමයක් නෙමේ. සරලව මම කියන්නම්.
අපි වඳින දේ හැදුව අමුද්‍රව්‍යවලට වඳින්නෙ නෑ. ඒ රූප හදපු වඩුවට වඳින්නෙ නෑ. අපි දේව රූප හෝ පිළිම විකුණන්න තියෙන කඩේ ළඟදි ෂීට් එකෙන් නැගිටින්නෙ නෑ. දේව රූප කඩේ තියෙන වෙලාවෙ කවුරුවත් පූජා වට්ටි ගෙනියන්නෙ නෑ. පුද පූජා නෑ.
ඔව්වා ඉතිං අනේ මන්දා. හැබැයි මේ ගමනෙ කිසිම තැනකදි මම කියන්නෙ නෑ දෙවියො නෑ කියලා. මම දෙවියො අදහන කෙනෙක්. කොහෙ හෝ කවුරු හෝ කෙනෙක් ඉන්න බවට විශ්වාස කරන කෙනෙක්. ඒත් මම උත්සාහ කරන්නෙ එහෙම ඉන්නවා කියලා ඔබට ඒත්තු ගන්වන්න නෙමේ. මට ඕනෙ මේ ඇදහීම්වල තියෙන රසවත් බව ඔබට කියන්න. ඒ වෙනුවෙන් විවිධ අය කරන කැපකිරීම්, වියදම් කිරීම්, පූජා හෝ පිදවිලි ගැන කියන්න. විවිධ තැන්වල ඇවිද ගිය මග ඔබත් සමග යන්න. ඔබ ඔබේ දෙවියන් ළඟට යන්න. මම මගේ දෙවියන් ළඟට යන්නම්. ඔබ ඔබේ ඇදහීම් එක්ක ජීවත් වෙන්න. මම මගේ ඇදහීම් එක්ක ඉන්නම්. ඔබ මාව කියවන්න. ඔබ කැමැති නම් මම මේ හැම ලිපියකම අග අමුණන දුරකතන අංකය හෝ ඊමේල් එක, එහෙමත් නැත්නම් ගූගල් මැප් සටහන දිගේ හොයාගෙන යන්න. මම ඔබට පාර කියනවා නෙමෙයි. ඔබ ඔබේ පාර හොයාගන්න.
මම මේ වෙලාවෙ මිරකල් ඩෝම් එකේ අපූරු දේවල් ගොඩක් දැක්කා. මම ඒකට කියන්නෙ නෙක්ස්ට් ලෙවල් වැඩක් කියලා. ඒ වෙනුවෙන් මේ අය වෙහෙස වෙලා තියෙනවා සාමාන්‍ය මනුස්සයෙක්ට විශ්වාස කරන්න බැරි තරම්. ශ්‍රී ලංකාවෙ තියෙන විවිධ තරාතිරමේ ආගමික විශ්වාස සහ ඇදහිලි දැකලා තියෙන මට දැනුණෙ ලංකාවේ වැඩිම තාක්ෂණයක් සහිත ඇදහිලි බිම මෙතැන කියලා.
ආන්ජලෝ මාව එක්ක ගිය බොහෝ තැන්වල ඒක මම දැක්කා. ලංකාවෙ ඉහළම තාක්ෂණය සහිත කැමරාකරණයක් මෙතැන සකස් වෙලා තියෙනවා. ඒ සඳහා භාවිත කරන ක්‍රමවේද හරිම සාර්ථකව භාවිත කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ මේ ශාලාව පුරා අපූරු ස්ථාන කීපයක්ම තියෙනවා. එකක් තමයි මෙතැන තියෙන ස්ටුඩියෝ එක. ඉහළම තාක්ෂණයක් සහිතව සකස් කරපු රූපවාහිනී වැඩසටහන් පටිගත කිරීම් ස්ථානයක් සහිතයි. මේ ස්ථානයේ ඉඳලා ජාත්‍යන්තරයට යන සුවිශේෂ වැඩසටහන් විශාල සංඛ්‍යාවක් පටිගත වෙනවා.
ඒ අතරෙ අපි දැක්කා විශාල ප්‍රමාණයේ පින්තූර කීපයක්. උස හීන්දෑරි කළු පාට මනුස්සයෙක් එක්ක, දේවගැති ජෙරොම් විවිධ ඉරියව්වලින් ඉන්නවා. මම ආන්ජලෝගෙන් ඔහු ගැන ඇහුවා.
‘ඒ තමයි දේවගැති ජෙරොම්ගෙ අධ්‍යාත්මික පියා…’
ඔහු මට ඒක පැහැදිලි කළේ එහෙම.
ඒ වෙලාවෙ මට තේරෙන්න ගත්තා මේ කිසිවක් ඕපපාතිකව සිදුවුණු දෙයක් නෙමේ කියලා. විශාල දුර ගමනක ප්‍රතිඵලයක් බව ඔහු මට තේරුම් කරලා දුන්නා. මේ අප්‍රිකානු ජාතික පුද්ගලයා දේවගැති ජෙරොම්ගෙ අධ්‍යාත්මික පියා.
ඒ වගේම අපි දැක්කා ඔහු වෙනුවෙන් සකස් වෙන සුවිශේෂ ඇඳුම් ආයිත්තම්. ඒ ගැන ඇහුවමයි පුදුම හිතුණෙ. ඒ සියල්ල සකස් කරන්නෙ දේවගැති ජෙරොම්ගෙ සංකල්පයන්ට අනුව. මේ සියල්ලේම විලාසිතා නිමැවුම්කරු ඔහු. ඔහු දක්ෂ මෝස්තර නිර්මාණ ශිල්පියෙක් බවත්, ජාත්‍යන්තර ප්‍රමිතියේ ඇඳුම් ආයිත්තම් සැකසීම් විශිෂ්ටයෙක් බවත් ඔවුන් කිව්වා. දේවගැති ජෙරොම් ගැන මේ ලෝකෙ ඉන්න බොහෝ දෙනෙක් නිවැරදිව නොදන්නා බවත් ඔහු මට ඒ වෙලාවෙ කිව්වා.
ජාත්‍යන්තර ප්‍රමිතියේ ඔපෙරා වේදිකාවක් සහිත මේ ශාලාව පවා සම්පූර්ණයෙන්ම ඔහුගේ සිතුවිල්ලක් බව ඔහු පැහැදිලි කළා. ඒ වේදිකාව අවශ්‍ය විදියට සකස් කරගන්නටත්, විශාල ප්‍රමාණයකට එක වෙලාවක රැඳී හිඳින්නත් හැකි තැනක් විත්තිය මම අඳුනගත්තා.
දේවගැති ජෙරොම් අදහනවද නැද්ද කියන එක තීරණය කරන්න මම ඔබට කියන්නෙ නෑ. ඒත් ඔහු හුදු ඉන්ද්‍රජාලිකයෙක් නොවෙන වග මම ඔබට කියනවා. ඔහු දක්ෂ ව්‍යවසායකයෙක් බව මතු යම් දිනෙක ඔබ පිළිගනීවී. ඒ බව පසක් කෙරෙන බොහෝ දේ මිරකල් ඩෝම් එකේ සිදුවේවි. දැනටමත් ඔහු ආයතන ගණනක ප්‍රධානියා වග ඔවුන් මා හා කීවා. සියල්ලම දෙවියන් වහන්සේ උදෙසා බව ඔවුන් කොපමණ කීවත් මම ඒ කතාව අස්සෙ ගොළුබෙල්ලෙක් වගේ රිංගලා ඉන්න ලෑස්ති නෑ. හෙමින් සැරේ ඔළුව එළියට දාලා, හයියෙන් සද්ද කරපු ගමන් ආයෙත් පරණ කටුව අස්සට රිංගන සාමාන්‍ය ගොළුබෙල්ලෙක් මම දකින්නෙ පරාජිතයෙක් විදියට.
‘ජෙරොම් අත්අඩංගුවට ගන්න….’
මේ ගැන මීට වසරකට දෙකකට පෙර අපි කතා කළා. ඔහු එනකල් පොලීසිය රැකගෙන හිටියා. සමාජ මාධ්‍යවල, ජන මාධ්‍යවල බොහෝ දේ අපි දැක්කා.
අපි ඔහුගෙ නම තියෙන බිල්ලෙක්ව මවාගත්තා. ගෝනිබිල්ලො රංචු පිටින් ඇති කියලා මිරකල් ඩෝම් එක පැත්තෙ පය ගහන්න බය වුණා. ඒක ත්‍රස්තවාදී කල්ලියක් වගේ අපේ බෙලි හිරකරන්න එන බව සමහරු හීනෙන් දැක්කා. මිථ්‍යාව, විද්‍යාව සහ අවිද්‍යාවෙ හෙවණැලි එකිනෙක පැටලුණා. බයිබලේ වචන එක්ක, නූතන විද්‍යාවයි තාක්ෂණයයි මුසුවෙලා. දෙවියන් වහන්සේ ඩිජිටල් තිරයකට ඇවිත්. දේවගැති ජෙරොම් දිළිසෙන මයික් එකකින් සුබ නිමිති කියලා දෙනවා. ඔහුගෙ හඬ ලෝකෙටම ඇහෙනවා. ඒක කරන්නෙ දෙවියො නෙමෙයි. මිරකල් තාක්ෂණය. ඒ පාර දිගේ සුද්දො එනවා. උන් දෙවියො හොයනවා. අපි ඩොලර් එකතු කරනවා. සිංහල,දෙමළ, මුස්ලිම්, බර්ගර්, බොදු, කිතුනු, හින්දු, ඉස්ලාම් හැමෝම පහුගිය කාලෙ තෙල් නැවකට ගෙවන්න ඩොලර් හෙව්වා. ඒ හොයපු ඩොලර් අපිට ලැබෙනවා දෙවියන් වහන්සේගේ නාමයෙන්. ලෝකෙ හුඟක් රටවල ආගමික සංචාරක කර්මාන්තය තියෙනවා. ඒක මම ඇස් දෙකෙන් දැක්කෙ මිරකල් ඩෝම් එකේ.
රැය තිරිහන් වෙලා. මිරකල් ඩෝම් එකට ඉහළින් හඳ පායලා. අපි එළියට බැස්සා. දාස් ගණන් මිනිස් පොදි රාත්‍රියට සූදානම්. ඈත කහපාට ලයිට් එළියට මගේ ලෝකෙ මට අත වනනවා. මම ඇදහිල්ලක් නැති මිනිහෙක් වෙලා මේ ගේට්ටුවෙන් පිටවෙන්න ඕනෙ.
ආන්ජලෝගෙ ටූ ඩෝ කාර් එක මට පාර කියනවා. සෙල්ලං නයෙක් වගේ එක පෙළට යන මෝටර් රථ පෙළ පුරුදු පාරෙන් එළියට එනවා. ආරක්ෂකයො කඩියො වගේ පාර පෙන්නනවා.
‘රෑට මොනවා හරි කමු…’
ආන්ජලෝගෙන් ඇමතුමක්.
ඒක අමතක නොවන දවසක්. දේවගැති ජෙරොම්ට ස්තුතියි. පාස්ටර් ආමන්තට ස්තුතියි. මාව එක්ක ආවට ආන්ජලෝටත් ස්තුතියි. මිරකල් ඩෝම් එක මිරකල් එකක්ම තමයි…

ජීවන පහන් තිළිණ










