ශ්‍රී ලංකාවේ ජනරජ දිනය සෑම වසරකම මැයි මාසයේ 22 වැනි දිනට යෙදී ඇති බවත් බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබු ඩොමිනියන් තත්ත්වයෙන් මිදී ශ්‍රී ලංකාව පූර්ණ ස්වාධීන හා සෛරී ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් 1972 මැයි 22 වැනි දින ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ අද වැනි දින බවත් මේ දවස ගෞරවයෙන් මතක් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
1815 දී උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට යටත් කර එතැන් පටන් මෙරට පරමාධිකාරි බලය බ්‍රිතාන්‍ය රාජ්‍ය වෙත පැවරුණු බවත් ඒ අනුව එතැන් සිට රට පාලනය කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත් කරනු ලබන ආණ්ඩුකාරවරයා බවත් 1948 පෙබරවාරි 4 වැනිදා ලැබූ නිදහස ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් වූ බවත් තවදුරටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත් කරන ලද රාජ්‍ය නායකයා බවත් මෙරට ඇතැම් කරුණු සම්බන්ධ අවසන් බලය එංගලන්තයේ ඇතැම් කාර්යාවලට හිමිවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් ආණ්ඩුකාරවරයා අත්සන් කරන තුරු පාර්ලිමේන්තුවේ ඒකමතිකව අත්සන් කළ පනතක් පවා නීතිගත නොවූ අතර මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවේ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා වූයේ ද මේ ආණ්ඩුකාරවරයා බවත් ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය පවා එංගලන්තයට හිමිවු මේ තත්ත්වයෙන් ශ්‍රී ලංකාව මුළුමනින්ම නිදහස් ස්වාධීන රජයක් බවට පත් වූයේ 1972 මැයි 22 වැනිදා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එවකට සිරිමාවෝ බණ්ඩානායක අගමැතිනිය ප්‍රමුඛ රජය මඟින් සම්මත කර ගත් ජනරජ ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස හිමිවූ බවත් ශ්‍රී ලංකාව ජනරජයක් බව ප්‍රකාශයට පත් කර වසර 54ක් සපිරෙන මේ මොහොතේ අප රට පිළිබඳ ගෞරවයෙන් ආඩම්බරයෙන් රටේ සෛරීත්වය භෞමික අඛණ්ඩතාව දේශපාලන නිදහස හා ඒකීය භාවය සුරක්ෂා කිරීමට කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










