ජනාධිපතිවරණයට ගහන්න ගිය වංගුව කෙළින් කරපු හැටි!
බැසිල් මාර්තු මුල ඇවිත් ගහන්න යන අලුත්ම ගේම!
සජබෙට එන්න යන ඊළග රණවිරු දැවැන්තයා!
මෛත්‍රී අමෙරිකාවෙදි හතර වටේටම ගහලා!
හෙළිදරව්ව හරියටම හරි
රටේ ඉදිරි ගමන වෙනස් කරන තීරණාත්මක සාධකය වූ ජනාධිපතිවරණය කැඳවන තෙක් අපේ රටේ ජනතාව අතේ ඇඟිලි ගනිමින් සිටියදී මැතිවරණය කල්දමාගැනීම සඳහා තිරය පිටුපස විශාල දේශපාලන මෙහෙයුමක් දියත් වෙමින් පවතින බවක් පළමු වරට රටට අනාවරණ කළේ ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරයය. මේ සම්බන්ධයෙන් තැන් තැන්වල අතිශය රහසිගත ලෙස සතර කන් මන්ත්‍රණ, සය කන් මන්ත්‍රණ පැවැත්වෙද්දී ඒ පිළිබඳ යම්යම් ඉඟි පළකරමින් නම්ගම් රහිතව මෙම තීරය ඔස්සේ අප කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පට්ට පරණ මාතෘකාව යළිත් කරළියට රැගෙන එමින් යම් සිවිල් සංවිධානයක ප්‍රධානීන් පිරිසක් විසින් මෙම දේශපාලන මෙහෙයුම සිදුකිරීමට සැලසුම් කරමින් සිටින බවය. අප එසේ නම්ගම් හෙළි නොකරමින් සිදුකරනු ලැබූ දේශපාලන ඉඟිය යථාර්ථයක් බවට පත්කරමින් පළමු වරට මෙම කතාව එළියට දැම්මේ වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. මෛත්‍රීපාල මේ පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් පළකරමින් සඳහන් කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව යළිත් වතාවක් කරු ජයසූරිය මහතා විසින් යෝජනා කොට ඇති බවත්, තම පක්ෂය ඊට අත් දෙකම ඔසවා එකඟතාව පළකරන බවත්ය. ඒ අනුව අප නම්ගම් රහිතව අනාවරණ කළ ආකාරයටම සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යපාරයේ සභාපති කරු ජයසූරිය මහතා මෙම යෝජනාව නැවත වතාවක් කරළියට ගෙනැවිත් තිබිණි.Sri Lanka Latest News
පරණ පුරුදු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මාතෘකාව උඩින් තවරා මෙය ඉදිරිපත් කළද, එහි යටි අරමුණ වශයෙන් දැක්වුණේ ඒ හරහා මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල්දමා ගැනීම බව අප එහිදී උදාහරණ සහිතව පෙන්වා දුන් අතර විපක්ෂයේ නියෝජිතයෝද ඒ බව අවස්ථා ගණනාවකදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියහ. අප එම අනාවරණය කළේ වෙන කිසිවක් නිසා නොව, ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් අප හැමදාමත් ඍජුවම පෙනී සිටීම නිසාය. ආණ්ඩුව මුදල් නැති බව ප්‍රකාශ කරමින් සහ විවිධ දහන්ගැට ගසමින් ඉකුත් පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කටයුතු කරද්දී ඒ අවස්ථාවේදීද අප ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් නොබියව පෙනී සිටීමට කටයුතු කළෙමු. ඇතැම් පුවත්පත් සහ මාධ්‍ය ආණ්ඩුවේ එම ඡන්ද කල්දැමීමේ ක්‍රියාදාමයට ඍජුව සහ වක්‍රව, ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ සහාය දක්වද්දී අප ඍජුවම ඊට විරුද්ධව ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරගැනීම සඳහා මාධ්‍ය මෙහෙවරක නිරත වීමු. ඒ ආකාරයටම මෙවරද ජනාධිපති මැතිවරණය කල්දැමීම සඳහා විවිධ පුද්ගලයන් විවිධ බළල් අත් හරහා, විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් සිටියදී අප ඒවාද එකින් එක රටට අනාවරණ කළේ ජනතාවගේ ඡන්ද අයිතිය අනෙක් සියලු අයිතීන්ට වඩා වැදගත් වන නිසාය.
ලොක්කෙකුත් ගේමට බැහැලා
මීට අමතරව අපි පසුගිය සතියේ මීට සමගාමීව සිදුවුණු තවත් විශේෂ සිදුවීමක්ද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කළෙමු. ඒ, පාර්ලිමේන්තුවේ ප්‍රබලයකු හමුවීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයකු හට එම ප්‍රබලයා කර තිබූ ප්‍රකාශයකි. එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ ඉදිරියේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ආණ්ඩුව පැත්තෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව ඇති බවත්, ඒ සඳහා දෙමළ සන්ධානයේ සහාය ලබාදීමට කටයුතු කරන ලෙසත්ය. ඒ මොහොතේම මෙම දෙමළ සන්ධාන නියෝජිතයා සිය සහෝදර පක්ෂ නායකයන් මෙන්ම පක්ෂයේ ප්‍රධානීන්ව දැනුවත් කිරීමට කටයුතු කළ බවත්, ඊට ඔවුන්ගේද විරෝධය පළවූ බවත් අපි පසුගිය සතියේ වාර්තා කර සිටියෙමු.
කැමැති කරුයි- රාජිතයි මෛත්‍රීයි
මීට අමතරව කරු ජයසූරිය මහතා මේ පිළිබඳ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට කතාකොට විධායකය අහෝසි කිරීමේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට සැලසුම් කොට ඇති බවත්, ඊට සහභාගි වන ලෙස මද්දුමබණ්ඩාරට ආරාධනා කළ ආකාරයත් අපි වාර්තා කළෙමු. එම සමුළුවේදී සජබය ඇතුළු බොහෝ පාර්ශ්වයන් එම යෝජනාවට විරෝධය පළකරමින් විධායකය අහෝසි කිරීමට මෙය අවස්ථාව නොවන බව පවසද්දී, රාජිත සේනාරත්න පමණක් ඊට පක්ෂව අදහස් දැක්වූ ආකාරයත්, ජනතාවට මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ කෑම බීම මිස විධායකය අහෝසි කිරීම නොවන බවත්, විධායකය අහෝසි කරන්නේ නම් තම දෑතම ඊට ඔසවන බව පැවැසූ ආකාරයත් අපි එහිදී සඳහන් කළෙමු. ඒ අනුව විධායකය අහෝසි කිරීමේ යෝජනාවට ඒ වන විට පක්ෂව අදහස් දක්වා තිබුණේ කරුත්, රාජිතත්, මෛත්‍රීපාලත් පමණක්ය. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සජබය ඇතුළු ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වූ පොහොට්ටුවේ ප්‍රධානීනුත්, විපක්ෂය නියෝජනය කරන දෙමළ – මුස්ලිම් සුළු පක්ෂත් සිටියේ මේ අවස්ථාවේදී විධායකය අහෝසි කිරීම සුදුසු නැති බවට වූ ස්ථාවරයේත්, එය කරන්නේ නම් ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව කළ හැකි බවට වූ ස්ථාවරයේත්ය. ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් අප මෙම හෙළිදරව් කිරීම් සිදුකරද්දී විපක්ෂය නියෝජනය කරන මෙම පක්ෂද ඒ වෙනුවෙන් පෙනීසිටීම සම්බන්ධයෙන් මෙහිදී ඔවුන්ටද විශේෂ ස්තුතියක් පළකළ යුතුය.
ප්‍රබල ප්‍රහාරයන් තුනක්
මේ ආකාරයට විධායකය අහෝසි කිරීම ඉදිරියට දමා ජනාධිපතිවරණය කල්දැමීමට ආණ්ඩුව පැත්තෙන් ආ යෝජනාවට පසුගිය සතියේ තවත් දැවැන්ත ප්‍රහාර තුනක් එල්ල විය. ඉන් පළමු ප්‍රහාරය එල්ල වූයේ මල්වතු පාර්ශ්වයේ මහානායක මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන්ගෙන්ය. උන්වහන්සේ හමුවීමට පැමිණි ‘සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ’ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ අසංග ගුණවංශ ඇතුළු කණ්ඩායමක් හමුවේ උන්වහන්සේ කළ ප්‍රකාශය මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ ආකාරයටය.
මල්වතු නාහිමිගේ විරෝධය
‘ඡන්දයක් ළංවත්ම ස්වකීය ඡන්ද ගොඩ වැඩිකරගැනීම සඳහා හැසිරෙන අන්තවාදී පාලකයින් මේ රටේ සිටින තාක් ‘සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාල’ වැනි කතාවලින් කිසිම පලක් නොවන බවත්, කොමිෂන් සභාවලින් වැඩක් වෙන්නට නම් රටේ පාලකයන් අවංක විය යුතු බවත් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ අවධාරණය කළහ.
සෑම ඡන්දයක් ඉදිරියේම කරළියට පැමිණි අකාරයට නැවත වරක් එළිබැස ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් එවැනි බොරු කතාවක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ අසංග ගුණවංශ ඇතුළු කණ්ඩායමක් පසුගිය සඳුදා (19) මල්වතු මහා විහාරයට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ මහා නාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
මහානායක හිමියන් පෙන්වා දුන්නේ තමන් වහන්සේ මහානායක පදවියට පත්වුයේ මීට විසි වසරකට පෙර, එනම් 2004 අවුරුද්දේ බවය. එතැන් සිට අද දක්වාම මේ රටේ දේශපාලකයින් හැසිරී ඇත්තේ කිසිවකුටත් ඇහුම්කන් නොදෙන ගස් ගල් විලාශයෙන් බව ඒ වකවානුව තුළ පළවූ පුවත්පත් වාර්තා ලිඛිත සාක්ෂි සපයන බව උන්වහන්සේ කීහ.
ඡන්දයක් ආසන්නයේ මෙවැනි කාර්යාලය පිහිටුවීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ ජාත්‍යන්තරය සතුටු කර ආධාර ටිකක් ලබාගන්න විය හැකි යැයි තමන් වහන්සේ විශ්වාස කරන බව කී මල්වතු මහා නායක හිමියෝ මෙවැනි වැඩකට නැති දේ ගෙනැවිත් දේශපාලකයන් ජනතාවට බොරු කියා රවට්ටන්නේ යැයි ද, ජනතාව හැමදාම රැවැටුණේ යැයි ද පැවසූහ.
එම නියෝජිතයින් අදහස් ඉදිරිපත් කළ අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් මල්වතු මහනාහිමියෝ මෙසේද පැවසූහ.
‘ඉදිරියට එන්නේ මැතිවරණ කාලයක්. ඔය සංහිඳයාව පිළිබඳ කොමිෂන් සභා පිහිටුවන්න කාලයක් තියේද කියන එක සැකයි. රටේ ජාතික සමගිය ඇති කරන්න පසුගිය කාලයේ නොයෙකුත් ජාති කළා. සමගියෙන් ඉන්න ජනතාව භේද කරන්නේ දේශපාලනඥයන්. ඔවුන් හැම වෙලාවෙම වැඩකරන්නේ ඡන්ද බලාගෙන. දෙමළ දේශපාලනඥයින් උතුරු නැගෙනහිර ජනතාව දකුණේ ජනතාව සමග විරසක කරලා ඡන්ද ගොඩ වැඩිකර ගන්න හදනවා. දකුණේ සිංහල දේශපාලනඥයන් දේශපාලනය කරන්නේ උතුරේ දෙමළ ජනතාව විරසක වෙන ආකාරයේ ප්‍රකාශ කරමින්. ජාතික සමගියක් ඇති කරන්න කියලා කතා කරලා කරන තරමක් කරන්නේ භේද ඇති කරන එකයි.
අන්තවාදී දේශපාලනඥයන් රටේ ඉන්න කල් මේ වගේ කාර්යාල පිහිටෙව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ කොමිෂන් සභාවලින් වැඩක් වෙන්න නම් පාලකයන් අවංක වෙන්න ඕනෙ.
අවුරුදු 20ක් තිස්සේ කියනවා
මම මහානායක පදවියට පත්වුණේ 2004 අවුරුද්දේ. එදා ඉඳන් ජාතික සමගිය, සංහිඳියාව ගැන කතාකරනවා. පරණ පත්තර බැලුවොත් පෙනෙයි කියලා තියෙන දේවල්. කවුරුවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. හරියට ගස් ගල්වලට කිව්වා වගේ.
විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න කියලා දැන් කතාකරනවා. මේක කියන්නේ කොයි කාලේ ඉඳලද? ජනපතිවරණයක් ළං වෙනකොටම මේ ගැන කතාකරනවා. ඊට පස්සේ සද්දයක් නැහැ. ඒ නිසා මේවා ගැන කතාකරලා වැඩක් නැහැ.
ඔය කියන දේවල් වැඩකට ඇති දේවල් නෙවෙයි. දේශපාලකයෝ බොරු කියලා ජනතාව රවට්ටනවා. අපි හැමදාම රැවැටුණා. පහුගිය කාලයේ නොයෙක් දේවලට කොමිෂන් සභා පත් කළා. ඒවායින් රටට මොනවද වෙලා තියෙන්නේ. රජයේ නිලධාරීනුත් හරියට වැඩක් කරන්නේ නැහැ. දේශපාලනඥයෝයි රජයේ නිලධාරිනුයි හරියට වැඩක් කරනවා නම් මේ රටේ මෙතරම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.
අපේ ජාතික හා ආගමික සමගිය ග්‍රාමීය ජනතාව අතර තියෙනවා. එදා සිංහල, දෙමළ, මුස්ලිම් එක පාසලේ එකට ඉගෙන ගත්තා. දේශපාලකයෝ මොකද කළේ එක එක ජාතීන්ට වෙන් වෙන්ව පාසල් ඇති කළා. මේකෙන් වුණේ ජාතීන් අතර පැවැති බැඳීම නැති වීමයි.
මේ රටේ ගොඩක් දේශපාලනඥයන්ට ඡන්ද ටික ගන්නේ කොහොමද කියන එක හැර රට දියුණු කරන එක ගැන හැඟීමක් නැහැ. මේ කොමිෂන් සභාව පිහිටුවන එකත් රැවටිල්ලක් කියන සැකය මට තියෙනවා.යාපනයේ හිටපු සිංහල ව්‍යාපාරිකයන්ට අද එහේ ව්‍යාපාර කරන්න බැහැ. උතුරේ පන්සලක් හදන්න ගියාම ඇතිවන ප්‍රශ්න අපි දන්නවා. මේ ගිනි අවුළුවන්නේ දේශපාලනඥයන් හා ඔවුන් පසුපස යන සුළු පිරිසක්. බහුතර සිංහල හා දෙමළ ජනතාව සාමයට කැමැතියි. මේ කාර්යාලය පිහිටුවීමට මේ වෙලාවේ ආණ්ඩුව උත්සාහ කරන්නේ ජත්‍යන්තරය සතුටු කරලා ආධාර ටිකක් ගන්න ද කියලා තමයි මට නම් හිතෙන්නේ.’ යනුවෙන් උන්වහන්සේ කියා සිටියහ.
දෙවැනි එක විජයදාසගෙන්
දෙවැනි සිදුවීම වූයේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනට පැමිණ ජනාධිපතිවරණය මුල්කරගෙන කළ ප්‍රකාශයකි. එහිදී මාධ්‍යවේදීන් විජයදාසගෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හරහා ජනාධිපතිවරණ කල්දමා ගැනීමේ උත්සාහය පිළිබඳ ප්‍රශ්න කරද්දී අධිකරණ අමාත්‍යවරයා වශයෙන් විජයදාස පැහැදිලිවම කියා සිටියේ මේ මොහොතේ එය කිසිසේත්ම කළ නොහැකි යැයි කියාය. ඒ සඳහා කාලවේලාව ප්‍රමාණවත් නොවන බව කියා සිටි විජයදාස ඊට සම්බන්ධ කටයුතු නවත්වන ලෙස තමන් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන් බවත් කියා සිටියේය. එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කරු ජයසූරිය මහතාගේ වැඩපිළිවෙළේ තමන් නොමැති බවද විජයදාස එහිදී පැහැදිලිවම රටට කියා සිටියේය. ඒ අනුව ආණ්ඩුව පැත්තෙන් යෝජනා වුවත් ආණ්ඩුවේම අධිකරණ ඇමැතිවරයා වූ විජයදාස එම මෙහෙයුමෙහි නොමැති බව ඔහුගේ මෙම ප්‍රකාශය හරහා පැහැදිලි විය.
ජනාධිපතිත් කට අරියි
මේ ආකාරයට විපක්ෂයෙන් සහ ආණ්ඩුව ඇතුළෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙද්දී ජනාධිපතිවරයාටද ඒ සම්බන්ධයනේ ප්‍රකාශයක් නොකර සිටිය නොහැකි තැනට බලපෑම ප්‍රබල වී තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දීර්ඝ කටයුත්තක් බවත්, ඒ සඳහා කෙටි මාර්ග නොමැති බවත්ය. ජනාධිපතිවරණය නියමිත පරිදි මේ වසරේ පවත්වන බව එහිදී කියා සිටි ජනාධිපතිවරයා ඒ සඳහා මේ වන විට මුදල් වෙන්කර ඇති බවද කියා සිටියේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ ආකාරයට වැල යන අතට මැස්ස ගසමින් ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් නොමැති බව ප්‍රකාශ කර සිටියත් අප කල්තිය කළ විශේෂ අනාවරණයන් හරහා ඒ සඳහා යම් මාර්ග සිතියමක් සකස් කොට තිබූ බවක් පැහැදිලිය. නමුත් අප කළ අනාවරණ හේතුවෙන් ඊට සමාජය ඇතුළෙන් එල්ල වූ ප්‍රබල විරෝධය හමුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව අකුලා ගැනීමට සිදුවූ ආකාරයක් පැහැදිලිව දැකගැනීමට හැකිය. ඒ අනුව ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහා අප කළ මාධ්‍ය මෙහෙවර සාර්ථක වීම සම්බන්ධයෙන් අපට ඇත්තේ නිහතමානී සතුටකි.
තොරතුර සෙනසුරාදාම ආවා
පසුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් කළ තවත් ප්‍රධාන මාතෘකාවක් වූයේ සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන සරත් ෆොන්සේකා මහතා සජබයට එරෙහිව අධිකරණය හමුවට ගොස් වාරණ නියෝගයක් ගැනීමය. ඒ, තමන් පක්ෂයේ දරන සභාපති ධුරයෙන් සහ තනතුරුවලින් ඉවත් නොකරන ලෙස ඉල්ලමින්ය. ෆොන්සේකාගේ ඉල්ලීමට ඉඩ ලබාදෙමින් අධිකරණය සජබයට දවස් 14ක වාරණ නියෝගයක් පනවමින් ඊට පිළිතුරු ලබාදෙන ලෙස නියෝග කෙරිණි.
මේ ආකාරයට ෆොන්සේකා පසුගිය සඳුදා පෙරවරුවේ අධිකරණයට ගොස් පක්ෂයට එරෙහිව වාරණ නියෝගයක් ලබාගත්තද ෆොන්සේකාගේ ඒ උත්සාහය පිළිබඳ පක්ෂ නායක සජිත්ට තොරතුරු ලැබී තිබුණේ සෙනසුරාදා රාත්‍රියේදීමය. එහිදී සජිත්ට ඉතා හිතවත් පුද්ගලයකු ඇමතුමක් ලබාදී සජිත්ට දැනුම් දී සිටියේ ෆොන්සේකා සජබයට එරෙහිව සඳුදා දිනයේදී අධිකරණයට යෑමට සූදානමින් සිටින බවත්, පක්ෂයට එරෙහිව වාරණ නියෝගයක් ගැනීමට සූදානම් වන බවත්ය. එහිදී ඊට අදාළ සාකච්ඡා රාජ්‍ය ඇමැති ඩයනා ගමගේගේ නිවෙසේ පවත්වා ඇති ආකාරයත්, ඊට ආණ්ඩුවේ ඉහළ තැන්වල පැවැති සබඳතාවත්, සැලසුම පටන්ගත් ස්ථානයත්, එම සැලසුම ක්‍රියාවට නැංවූ ස්ථානය සහ පුද්ගලයන් පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් මෙම හිතවතා සජිත්ට තොරතුරු වාර්තා කර සිටියේය. ඒ අනුව එම තොරතුරුවලට ඉතා සාවධානව ඇහුම්කන් දී සිටි සජිත් වහාම පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට කතාකොට ෆොන්සේකා කරන්න යන දේත්, ඊට සූදානම් විය යුතු ආකාරයත් දැනුම් දීමට පියවර ගත්තේය.
ප්‍රශ්නය දයාගේ පැමිණීම
කාලයක් තිස්සේ සරත් ෆොන්සේකා සජබය සමග යම් මතගැටුමක සිටියත් එය ප්‍රසිද්ධියේම කලඑළි බැස්සේ හිටපු හමුදාපති ජෙනරල් දයා රත්නායක මහතා සජබයට එක්වීමත් සමගය. ඊට පෙරද සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පක්ෂය නිල වශයෙන් ප්‍රකාශ කොට තිබියදීත් ෆොන්සේකා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියමින් පක්ෂ මතය ඉක්මවා කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ සඳහා අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ නිකුත් කළ ෆොන්සේකා යම් යම් තැන්වලදී පක්ෂ නායකත්වය විවේචනය කරමින් කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ බොහෝ අවස්ථාවලදී පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මෙන්ම ආසන සංවිධායකවරුන්ගෙන්ද, පාක්ෂිකයන්ගෙන්ද දිගින් දිගටම ෆොන්සේකා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට පැමිණිලි ඉදිරිපත් වුවද සජිත් ඒ සෑම අවස්ථාවකදීම ෆොන්සේකා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගවලට යෑමට උත්සාහ කළේ නැත. නමුත් දයා රත්නායකට එරෙහිව සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයන් හේතුවෙන් බොහෝ දෙනකු සජිත්ට පෙන්වා දුන්නේ ෆොන්සේකා මේ අවස්ථාවේදී සීමාව ඉක්මවා ගොස් ඇති බවය. එම නිසා ෆොන්සේකාව පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට වහාම කටයුතු කරන ලෙසට පක්ෂය ඇතුළෙන්ම සජිත්ට දැඩි බලපෑමක් එල්ල වන්නට විය. ඒ අනුව සජිත්ද තීන්දු කර තිබුණේ ෆොන්සේකාගේ ප්‍රශ්නය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කොට ඒ හරහා අවසන් තීන්දුවක් ගැනීමටය.
ෆොන්සේකාට සලකපු හැටි
පසුගිය කාලය පුරා සජිත් පක්ෂය ඇතුළෙන්ම ආ දැඩි විරෝධය හමුවේ ෆොන්සේකා ආරක්ෂා කරගනිමින් කටයුතු කළේ වරක් දෙවරක් නොවේ. සමගි ජන බලවේගය ආරම්භ කරද්දී බොහෝ දෙනා පක්ෂයේ සභාපති ධුරය සඳහා සුදුස්සා ලෙස තෝරාගෙන සිටියේ පක්ෂ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම ප්‍රබලයකු වන කබීර් හෂීම් මහතාය. එහිදී සුළුතරයක් දෙනා ෆොන්සේකාට දේශපාලනයේදී සාධාරණයක් ඉටු නොවූ බව කියමින් පක්ෂ සභාපති ධුරය සඳහා ෆොන්සේකාගේ නම යෝජනා කරද්දී බහුතරයකගේ කීමට පිටුපාමින් සජිත් ෆොන්සේකාට පක්ෂ සභාපති ධුරය ලබාදිය යුතු බවට දැඩි තීරණයක සිටියේය. එහිදී ෆොන්සේකා යනු භයානක චරිතයක් බවත්, පක්ෂයක් ඇතුළේ හැසිරිය යුතු ආකාරය ෆොන්සේකා නොදන්නා බවත් කියමින් පක්ෂය ඇතුළෙන් බොහෝ විරෝධතා එල්ල වුවද සජිත්ද එහිදී ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුට පක්ෂ සභාපති ධුරය ලබාදීමට කටයුතු කළේය.
ඉන් අනතුරුව පසුගිය මහ මැතිවරණ වේදිකාවේදී සහ ජනාධිපතිවරණ වේදිකාවේදී සජිත් බොහෝ දෙනකුගේ විරෝධය මැද ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන්ගේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේත්, හොරු අල්ලන මෙහෙයුම භාරදෙන්නේත් සරත් ෆොන්සේකාට යැයි කියාය. එහිදී හමුදාවේ බොහෝ පිරිසක් සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් රැසක් සජිත්ට කතා කරමින් ෆොන්සේකා යනු වෛර පිරිමහන චරිතයක් බවත්, එවැනි පුද්ගලයකුට ආරක්ෂක ඇමැතිකම වැනි භාරධූර වගකීමක් පැවරීමට කටයුතු නොකරන ලෙසත් කියමින් දැඩි විරෝධයක් පළකළද ඒ කිසිවක් ගණන් නොගත් සජිත් ෆොන්සේකාට උපරිම දේශපාලන සාධාරණයක් ඉෂ්ට කිරීමට තමන් කැපවන බව සඳහන් කර සිටියේය.
හිටපු හමුදාපති දයා රත්නායක සජබයට එක්කර ගැනීමෙන් පසුව ෆොන්සේකා සජිත්ටත්, සජබයටත් එරෙහිව දැඩිව අදහස් පළ කළේ මෙවැනි සාධාරණයක් පක්ෂය ඇතුළේ ෆොන්සේකාට ඉටුකර තිබියදීය. ඒ අනුව වෙනදා ආවට වඩා දැඩි විරෝධයක් ඒ අවස්ථාවේදී ෆොන්සේකාට එරෙහිව සජිත්ට පැමිණි අතර, ඒ සියලු දෙනාම සජිත්ගෙන් ඉල්ලා සිටියේ ෆොන්සේකාව පක්ෂයෙන් ඉවත් කරන ලෙසය.
ෆොන්සේකා සජිත්ගේ පස්සේ
මේ විරෝධය ෆොන්සේකාටද නොදැනුණා නොවේ. පක්ෂය ඇතුළෙන් මෙන්ම පාක්ෂිකයන්ගෙන්ද දිගින් දිගටම එල්ල වූ විරෝධය හමුවේ මෙම සිද්ධිය සමතයකට පත්කරගත යුතු බව එහිදී ෆොන්සේකාටද වැටහී තිබිණි. ඒ අනුව පළමුව ෆොන්සේකා කළේ පක්ෂ මහලේකම් රංජිත්ව මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය. ඉන් අනතුරුව හතර වතාවක්ම ෆොන්සේකා සජිත් මුණගැසී මෙම සිද්ධිය දුරදිග රැගෙන නොයන ලෙස ඉල්ලා සිටියේය. නමුත් සජිත් එහිදී පැහැදිලිවම ෆොන්සේකාට දැනුම් දී සිටියේ තමන්ට මේ වන විට කළ හැකි කිසිවක් නොමැති බවත්, ඉදිරියේදී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම සිදුවීම ඉදිරිපත් කර එතැනින් ලැබෙන තීන්දුවට අනුව කටයුතු කිරීමට තමන් පියවර ගන්නා බවත්ය. ෆොන්සේකා සජබයට එරෙහිව උසාවි ගොස් සිය තනතුර ආරක්ෂා කරගැනීමට තීන්දු කළේ සජිත් මෙම ස්ථාවරය දැනුම් දීමත් සමගය.
මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රහාරයක්
කෙසේ වෙතත් සෙනසුරාදා රාත්‍රියේදී සජිත්ට ලැබුණු මෙම තොරතුර ඉරිදා වන විට පක්ෂයේ මන්ත්‍රීවරුන්ටද දැනගන්නට ලැබිණි. ඒ අනුව සඳුදා දිනයේදී ෆොන්සේකාට එරෙහිව පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, හර්ෂණ රාජකරුණා සහ තුෂාර ඉඳුනිල් යන මන්ත්‍රීවරුන් දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ නිකුත් කරනු දැකගන්නට ලැබිණි. එහිදී මරික්කාර් කියා සිටියේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් සමග සාකච්ඡා කරමින් පක්ෂයට එරෙහිව කටයුතු කිරීම කුප්ප වැඩක් යැයි කියාය. ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් දෙබිඩි චරිත රඟ නොපාන ලෙසත්, එසේ නම් පක්ෂයේ සියලු තනතුරු පක්ෂයට ලබා දී ටටා බායි කියා ආණ්ඩුවට එක්වන ලෙසත් එහිදී මරික්කාර් ෆොන්සේකාගෙන් ඉල්ලා සිටියේය. ඊට අමතරව තුෂාර ඉඳුනිල් කියා සිටියේ ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල්වරයකු වුවත් මේ හැසිරීම හමුවේ මේ වන විට ඔහු සාමාන්‍ය සෝල්ජර් කෙනෙකුගේ තත්ත්වයට පත්ව ඇති බවකි.
රණවිරුවෝ එන්න පෝලිමේ
කෙසේ වෙතත් තමන්ට තනතුරු තාන්නමාන්න ලබාදුන් පක්ෂයට එරෙහිව අධිකරණය හමුවට ගොස් ෆොන්සේකා විසින් වාරණ නියෝග ලබාගැනීම මේ වන විට සජබයට කළු වළාවක රැඳි රිදී රේඛාවක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට ලැබේ. ඒ, ෆොන්සේකාගේ මේ තීන්දුවත් සමග ආරක්ෂක අංශවල හිටපු ප්‍රධානීන් රැසක්ම පසුගිය සතියේදී සජිත් සමග කතාකොට එකට වැඩ කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමය. ෆොන්සේකා සජබය තුළ සිටීම හේතුකොට ගෙන මෙතෙක් මේ පිරිස සජබය සමග දේශපාලනය කිරීමට අකැමැත්තෙන් සිටි බවද එහිදී ඔවුහු සජිත්ට දැනුම් දී සිටියහ. ඒ අනුව මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අප තවත් අතිවිශේෂ තොරතුරක් රටට දැනුම් දීමට සූදානම්ය. ඒ, ඉදිරියේදී රටම ආදරය කරන දැවැන්ත රණවිරුවකු සජබය සමග එක්වීමට මේ වන විට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවය. මේ රණවිරුවා ඉකුත් යුද සමයේදී යුද ජයග්‍රහණය වෙනුවෙන් යුද බිමේ සිටම සිය දායකත්වය ලබාදුන් අයෙකි. එමෙන්ම යුද්ධයෙන් පසුව හමුදාවේ ඉහළම තනතුරක් හෙබවූ අයෙකි. කීර්තිමත් ඉතිහාසයක් හිමි නිකැලැල් චරිතයකි. ඔහුත් සමග ඉතා විශාල රණවිරුවන් පිරිසක්ම එකවර සජබයට එක්වීමට මෙ වන විට එකඟතාව පළකොට ඇති බව පමණක් මේ මොහොතේ අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අනාවරණ කිරීමට සූදානම්ය.
ෆොන්සේකා කොතන නවතීද?
මෙම ගමන සනිටුහන් කරමින් පසුගිය සිකුරාදා දිනයේදී තවත් කීර්තිමත් රණවිරුවකු මෙන්ම මාණ්ඩලික ප්‍රධානියකු වශයෙන් කටයුතු කළ මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතාද සජිත් සමග එක්ව කටයුතු කිරීමට සජබය සමග එක්වූ ආකාරයක් දැකගත හැකිවිය.
ඒ අනුව, පක්ෂයට එරෙහිව උසාවි ගොස් වාරණ නියෝග ගත් ෆොන්සේකාගේ ඉදිරි සජබ දේශපාලන ගමන මින් අවසන් විය හැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
ඒ අනුව මින් ඉදිරියට ෆොන්සේකා කුමක් කරනු ඇද්ද? තවදුරටත් සජබය සමග දේශපාලනය කරනු ඇතිද? ෆොන්සේකා රනිල් සමග දිගටම ගනුදෙනු කරනු ඇද්ද? එසේත් නැත්නම් ජවිපෙ සමග එක්වනු ඇද්ද? කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ජවිපෙ සාමාජිකයකු වන වසන්ත සමරසිංහ කියා සිටියේ ෆොන්සේකා ජාතික ජනබලවේගයට එක්කර ගැනීමට පියවර නොගන්නා බවකි. එමෙන්ම අපට ඇති තොරතුරුවලින් දැනගන්නට ඇත්තේ එජාපයේ ප්‍රධානීන් බොහෝ දෙනකු මේ වන විට රනිල්ටද දැනුම් දී ඇත්තේ ෆොන්සේකා එජාපයට එක්කර නොගන්නා ලෙසය. මේ ආකාරයට ෆොන්සේකා එළියේ තබා සජබය ඇතුළේ ගැටුම් ඇති කිරීමේ තුරුම්පුවක් ලෙස ඔහුව ප්‍රයෝජනයට ගත යුතු බව එහිදී එම එජාප ප්‍රධානීන් රනිල්ට දැනුම් දී ඇති බව පැවැසේ. මීට අමතරව පසුගිය සතියේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් නාමල් කියා සිටියේ පොහොට්ටු ප්‍රතිපත්ති පිළිගැනීමට සූදානම් නම් ෆොන්සේකා පොහොට්ටුවට ගැනීමට සූදානම් යැයි කියාය. ඒ අනුව යම් හෙයකින් ෆොන්සේකා සජබයෙන් එළියට දැමුවහොත් කුමන තැනක නවතීදැයි දැන්ම කියන්නට බැරිය.
ධම්මික ජනපති-රනිල් අගමැති
විවිධ වංගු ගසමින් පළාත් පාලන මැතිවරණ්‍ය කල්දමා ගත්තා සේ ජනාධිපතිවරණයද කල්දමා ගැනීමට ආණ්ඩුව වවිධ උත්සාහයන් දැරුවද මේ වන විට ඒ සියල්ල ගඟට කැපූ ඉණි බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට ඇත්තේ ජනාධිපතිවරණය නොපවත්වා සිටීමේ නොහැකි තත්ත්වයට ආණ්ඩුව මේ වනවිට පත්ව සිටීම නිසාය. ඒ අනුව විශේෂයෙන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා විශයෙන් සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට තහවුරු කොට තිබුණද ආණ්ඩුවේ අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ වන විට පවතින්නේ විශාල අවිනිශ්චිත බවකි. මේ නිසාම ආණ්ඩුව පැත්තෙන් විවිධ ගේම්, කුමන්ත්‍රණ, කටකතා සීමාව ඉක්මවා කරළියට පිවිසෙන ආකාරයක් පසුගිය කාලය පුරා දැකගන්නට ලැබිණ. මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් රටට අනාවරණ කිරීමට සූදානම් වන්නේ ජනාධිපති අපේක්ෂකත්වය මුල්කරගෙන ආණ්ඩුව ඇතුළේ ගැසූ එවැනි ගේම් කිහිපයක තොරතුරුය.
මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් ජනාධිතිවරණ සටනට ඉදිරිපත් වීමට ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සහ පොහොට්ටුව පැත්තෙන් ධම්මික පෙරේරා මහතාගේ නම යෝජනා වී තිබුණද මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව තහවුරු කෙරෙන සිදුවීමක් පසුගිය සතියේ සිදුවිය. ඒ අනුව පසුගිය සතියේ ධම්මික පෙරේරා මහතා හට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පැමිණි පණිවුඩයකින් කියවී තිබුණේ ඉදිරි මැතිවරණය මුල්කරගෙන දෙපාර්ශ්වය අතර යම් එකඟතාවක් ඇතිකරගත යුතු බවටය. එහිදී ධම්මික හට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමටත්, අගමැති අපේක්ෂකයා වශයෙන් රනිල් ඉදිරිපත් වීමටත් යෝජනා වී ඇති බව පැවැසේ. මේ සම්බන්ධයෙන් තුන්වැනි පාර්ශ්වයක් හරහා ධම්මික හා රනිල් අතර අදහස් හුවමාරුවක් සිදුව ඇති බවත්, තවදුරටත් ඉදිරියට සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වය එකඟවී ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. විශේෂයෙන් අගමැතිවරයා වශයෙන් රනිල්ට බලතල ලබාදීම පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු වී ඇති බවක්ද දැනගන්නට ඇත. මේ දිනවල ධම්මික විදෙස්ගතව සිටින බැවින් එම පණිවුඩවලට ප්‍රතිචාර දක්වා ඇතිදැයි දැනගන්නට නැත.
සජිත් අගමැති රනිල් ජනපති
මේ ආකාරයට ජනාධිපතිකම, අගමැතිකම බෙදාගැනීම මුල්කරගෙන ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ධම්මිකට පණිවුඩ යවද්දී පසුගිය සතියේ සජබයේ ජ්‍යෙෂ්ඨයකුට තවත් විශේෂ පණිවුඩයක් ආණ්ඩුව පැත්තෙන් ලබාදීමේ පුවතක්ද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් රටට හෙළිකිරීමට අප සූදානම්ය. එම පණිවුඩයෙන් කියැවුණේ පළමුව මහ මැතිවරණයකට ගොස් සජබ නායක සජිත් අගමැතිවරයා වශයෙන් පත්ව ආණ්ඩු පිහිටුවීමෙන් පසු ව්‍යවස්ථාව සංශෝධනය කොට විධායක බලතල සජිත්ට ලබාදිය හැකි බවත්, අනතුරුව එම ආණ්ඩුව යටතේ ජනාධිපතිවරණය පවත්වා ජනාධිපති ධුරය රනිල්ට ලබාදිය යුතු බවත්ය. එවිට දෙපාර්ශ්වයම එකතුව රට කළ හැකි බවද ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම සජබ ජ්‍යෙෂ්ඨයාට දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.
මෙම යෝජනාව ආණ්ඩුව පැත්තෙන් රැගෙන ආවේ කවුද, යෝජනාව ලබාදුන් සජබ ජ්‍යෙෂ්ඨයා කවුද, ඒ පිළිබඳ කතා කළේ කොතැනකදීද යනාදී වශයෙන් සියලු තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරය සතුව ඇතත් මේ අවස්ථාවේ අප ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් නැත. අප හට ඇති තොරතුරුවලින් මෙය ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වූ ගුලියක් බව පමණක් සඳහන් කිරීමට සූදානම්ය. නමුත් රට බංකොලොත් කළ රාජපක්ෂවරුන් සමග අවුරුදු එකහමාරක් තිස්සේ ආණ්ඩු කරන ජනාධිපතිවරයා සමග කිසිසේත්ම කිසිදු ගනුදෙනුවකට නොයන බවට අවස්ථා කිහිපයකදීම සජිත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති පසුබිමක මෙම යෝජනාව ඉදිරියට යනු ඇතිද යන්න පිළිබඳ ඇත්තේ විශාල සැකයකි.
ඇතුළෙන්ම විරෝධය
කෙසේ වෙතත් මෙම යෝජනාව දැනගත් වහා තවත් සජබ ජ්‍යෙෂ්ඨයකු එහි ඇතුළේ ඇති භයානක පැත්ත පෙන්වා දීමට කටයුතු කොට ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම ජ්‍යෙෂ්ඨයා පෙන්වා දී ඇත්තේ රනිල්-සජිත් එකතු වුවහොත් අනිවාර්යයෙන්ම පොහොට්ටුවද එම සන්ධානයට එකතු වන නිසා සජිත්ටද දූෂණ චෝදනා එල්ල වී ඇති පිරිස් සමග එකතු වී ඇති බවට විශාල අපවාදයක් සමාජයෙන් එල්ල විය හැකි බවය. දැනටමත් සමාජය ඇතුළේ ආණ්ඩුවට දැඩි විරෝධයක් පැවතීම හේතුවෙන් ජනාධිපතිවරයා හා පොහොට්ටුව සමග එකතු වුවහොත් එම විරෝධය සජිත්ටද එල්ල වීම වැළැක්විය නොහැකි බව පෙන්වා දී ඇති මෙම සජබ ජ්‍යෙෂ්ඨයා එසේ වුවහොත් ජවිපෙ වටා විශාල ජනතාවක් එකතු වීම වැළෑක්විය නොහැකි බවද පෙන්වා දී ඇත. කෙතරම් ජනප්‍රියත්වයක් තිබුණද ආණ්ඩුව සමග හෝ පොහොට්ටුව සමග මේ මොහොතේ එක්ව කටයුතු කරන සියලු දෙනාටම ඉදිරියේදී ජනතාව ප්‍රතික්ෂේප කරනු ඇති බව මෙහිදී පෙන්වා දී ඇති සජබ ජ්‍යෙෂ්ඨයා, ඊට හොඳම උදාහරණය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බවද පෙන්වා දී තිබේ. ෆොන්සේකා යනු සජබයේ සිටියදී විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි දේශපාලනඥයකු වුවත් ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කොට පසුව සජබයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම හරහා මේ වන විට ෆොන්සේකා සජබ පාක්ෂිකයන්ගේ වෛරයට ලක්ව ඇති බව හෙතෙම එහිදී පෙන්වා දී තිබේ. එම නිසා කෙතරම් ලොකුකම් තිබුණද මෙවැනි යෝජනා ගෙන එන මන්ත්‍රීවරුන් හට ඉදිරියේදී ගෙදර යෑමට සිදුවනු ඇති බවද මෙම ජ්‍යෙෂ්ඨයා සඳහන් කොට ඇත. ඒ අනුව මෙම කොන්ත්‍රාත්තුවේ ඉදිරි අනාගතය ගැන ඉදිරියේදී තවත් කරුණු ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කිරීමට අප සූදානම්ය.
බැසිල් මාර්තු මුල එනවා
ආණ්ඩුව පැත්තෙන් මේ ආකාරයට හතර වටේටම විවිධ පණිවුඩ යවද්දී පොහොට්ටුව සූදානම් වන්නේ කුමක් කිරීමටද? ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කුමන යෝජනා ඉදිරිපත් වුවද ආණ්ඩුව පැත්තේ මේ වන විට තීරණාත්මක සාධකය බවට පත්ව ඇත්තේ පොහොට්ටුවය. පොහොට්ටුවේ මහමොළකරු වන බැසිල් රාජපක්ෂ මහතාද මෙය නොදන්නවා නොවේ. මේ නිසාම මේ දිනවල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර විවේක සුවයෙන් ගතකරන බැසිල් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන තිරය පිටුපස විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පසුගිය දෙසැම්බර් මාසයේ ඇමෙරිකාව බලා ගිය බැසිල් සූදානමින් සිටියේ ජනවාරි මාසයේ නැවත ලංකාවට පැමිණ සක්‍රීය දේශපාලනයට එකතු වීමටය. නමුත් පෙබරවාරියද අවසන් වීමට තව දින කිහිපයක් ඉතිරිව තිබුණද බැසිල් ලංකාවට එන බවක් දැකගන්නට තිබුණේ නැත. නමුත් අපට ඇති අලුත්ම තොරතුරුවලින් කියැවෙන්නේ බැසිල් මාර්තු මුල් ලංකාවට පැමිණ නැවත සක්‍රීය ලෙස දේශපාලන කටයුතු ආරම්භ කිරීමට තීරණය කොට ඇති බවය.
කෙසේ වෙතත් පසුගිය කාලයේදී බැසිල් ඇමෙරිකාවේ සිටියා කියා නිකම් සිටියේ නැත. නිතරම මහින්දට-නාමල්ට සහ සාගරට කතාකරමින් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමත්, අවශ්‍ය දේශපාලන උපදෙස් ලබාදීමත් බැසිල්ගේ දින චර්යාවේ නියත අංගයක් බවට පත්ව තිබිණ. එමෙන්ම ඇමෙරිකාවේ සිටියද මත විමසුම් සිදුකරමින්, දේශපාලන ගණන් හදමින්, ගේම් පිට ගේම් ගසමින් බැසිල්ද ජනාධිපතිවරණයට පොහොට්ටුව සූදානම් කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණ. බැසිල්ගේ ගණන් හැදීමට අනුව ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී ඇත්තේ ආණ්ඩුව ඇතුළේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇති අවුල තවදුරටත් වර්ධනය වීමට ඉඩදිය යුතු යැයි කියාය. මැයි මාසය වන විට මෙම උණුසුම තීව්‍ර වනු ඇති බවත්, එවිට පොහාට්ටුව දේශපාලනය කිරීම ආරම්භ කළ යුතු බවත් බැසිල්ගේ අදහස වී ඇත.
මහින්දට තවම ගමේ 25%ක්
අනෙක් අතට බැසිල් මේ වන විට සිදුකර ඇති මත විමසුම් කිහිපයක ප්‍රතිඵල ඔහු අතට ලැබී ඇති බවක්ද ආරංචිය. එම ප්‍රතිඵලවලින් කියැවී ඇත්තේ තවමත් 20%ක – 25%ක ඡන්ද ප්‍රතිශතයක් ගම් මට්ටමින් පොහොට්ටුව සතුව ස්ථිරව පවතින බවකි. එම ඡන්ද පදනම මහින්ද සාධකය මත පදනම්ව පවතින බවත්, එය තවදුරටත් වර්ධනය කොටගෙන ඉදිරියට යෑමට නම් ඉදිරි මැතිවරණවලදී මහින්දගේ නායකත්වයෙන් පොහොට්ටු ලකුණින් තරගවැදිය යුතු බවත් එම ප්‍රතිඵලවලින් වාර්තා කොට ඇති බවක් දැනගන්නට ඇත. යම් හෙයකින් රනිල් යටතේ වෙනත් සන්ධාන හෝ වෙනත් ලකුණුවලින් තරග කළහොත් මෙම ඡන්ද පදනම තවදුරටත් සීසීකඩ විසිරී යනු ඇති බවද එම ප්‍රතිඵලවලින් ඉඟිකොට ඇති බව පැවැසේ. එමෙන්ම රනිල්-සජිත්-පොහොට්ටුව එකතු වුවහොත් සැලකිය යුතු ආණ්ඩු විරෝධී ඡන්දයක් ජවිපෙට එකතු වනු ඇති බව බැසිල් විසින් සිදුකොට ඇති මත විමසුම්වලින්ද අනාවරණ කොට ඇති බවක් ආරංචිය. ඒ අනුව ඉදිරියේදී පොහොට්ටුව තනිවම මැතිවරණවලට ඉදිරිපත් නොවුණහොත් පොහොට්ටුවේ පමණක් නොව රාජපක්ෂවරුන්ගේ දේශපාලනයද අවසන් වු ඇති බව බැසිල්ගේ ගණන් හැදීම වී ඇතැයි දැනගන්නට ඇත.
පොහොට්ටුවෙන් 7ක් සජිත්ට
වතුකරය සහ කොළඹ දෙමළ ජනතාව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන නියෝජිතයන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන් යන අය සමග සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ගිවිසුම්ගත වීමෙන් පසු මේ වන විට බොහෝ පාර්ශ්ව සජබය සමග එක්වීම සඳහා තිරය පිටුපස සාකච්ඡා ආරම්භ කොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ. සජබ ජ්‍යෙෂ්ඨයන් සමග මෙම සාකච්ඡාවලට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්, ප්‍රකට ක්‍රීඩකයන්, නමගිය ජනප්‍රිය කලාකරුවන්, රටේම ගෞරවාදරයට පත්වූ රණවිරුවන් එක්ව සිටි ආකාරයක් දැකගැනීමට ලැබිණි. මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කිරීමට සූදානම් වන්නේ පසුගිය සතියේ ඉතා සාර්ථකව අවසන් වූ තවත් සමගි සන්ධාන දේශපාලන සාකච්ඡාවක් පිළිබඳවය.
මෙම සාකච්ඡාවලට එක්ව සිටියේ පොහොට්ටුවෙන් තරග කොට පළමු වතාවට පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් 7 දෙනෙකි. මේ හත්දෙනාම විවිධ වෘත්තීන්වල නිපුණතා දක්වන ජනප්‍රිය අය වුවත් පසුගිය කාලය පුරාම ඔවුන් සිටියේ පොහොට්ටුවේ දේශපාලනය පිළිබඳ හොඳ හැටි කලකිරීය. ඒ අනුව පසුගිය කාලය පුරාම මේ හත්දෙනා සජිත් සමග ඉතා සමීපව කතාබහ කරමින් සජබය සමග එක්වීමට සාකච්ඡා ආරම්භ කර තිබිණි. එම සාකච්ඡාද සාර්ථකව අවසන් කොට සජිත් සමග එක්ව දේශපාලනය කිරීම ඔවුන් ස්ථිර කළේ පසුගිය සතියේය. මෙහිදී ඔවුන් එක් කොන්දේසියක් සජිත්ට ඉදිරිපත් කොට තිබිණි. ඒ, සජිත්ගේ ප්‍රධානත්වයෙන් ගොඩනගන සන්ධානයට නොව කෙළින්ම සමගි ජන බලවේගයට එක්ව ඔවුන්ට දේශපාලනය සිදුකළ යුතු යැයි කියාය. ඊට සජිත්ගේ එකඟතාව පළවීමෙන් පසු සජබය සමග ඉදිරි දේශපාලනය සිදුකරන බව තහවුරු කිරීමට එම පිරිස පසුගිය සතියේ කටයුතු කළහ. ඒ අනුව, සජබය සමග එකතු වන කාලසීමාව සම්බන්ධයෙන්ද සජිත් හා එම පිරිස අතර යම් එකඟතාවක් ඇතිවී ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මෛත්‍රීපාල හැමෝටම බැනලා
පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇමෙරිකානු සංචාරය පිළිබඳ තොරතුරු රටට අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් හට අවස්ථා කිහිපයකදීම කළ පෙරැත්ත කිරීම්වලින් පසු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡාවක් සංවිධාන කරගැනීමට මෛත්‍රීට හැකිවූ බවකි. එම සාකච්ඡාව මෛත්‍රීට ලැබුණේද රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවීමේ අවශ්‍යතාව කුමක්ද යන්න පිළිබඳ ඇමෙරිකාවෙන් කරනු ලැබූ විමසීමකින් පසුවය. එහිදී මෛත්‍රීපාල දැනුම් දී සිටියේ අලුතෙන් බිහිකිරීමට නියමිත සන්ධානයක් පිළිබඳ තමන්ට ඇමෙරිකානු බලධාරීන් හා සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය යැයි කියාය. මෛත්‍රීගේ මේ පෙරැත්ත කිරීමෙන් පසුව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සාකච්ඡාවක් මෛත්‍රීට ලබාදුන්නද ඊට ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර තිබුණේ දෙවැනි පෙළ රාජ්‍ය නිලධාරිනියකි. ඒ, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් මහත්මියය. එමෙන්ම තවත් හමුවක් මෛත්‍රීපාලට වෙන්කර තිබුණද අවසාන මොහොතේ කිසිදු හේතුවක් නොදක්වාම එය අවලංගු කිරීමටද ඇමෙරිකානු බලධාරීන් කටයුතු කර තිබිණි. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට මෛත්‍රීපාලගේ දේශපාලන ජනප්‍රියත්වය සම්බන්ධයෙන් ලද අතිශය රහසිගත වාර්තාවක් මුල්කරගෙන එම හමුව ඇමෙරිකානු බලධාරීන් අවසාන මොහොතේ අවලංගු කළා යැයි කියාය.
සන්ධානය කොට උඩ!
කෙසේ වෙතත් ඇත්තටම මෛත්‍රී ඇමෙරිකාවට ගොස් එරට දෙවැනි පෙළ නිලධාරීන් සමග සාකච්ඡා කළේ කුමක්ද? මෛත්‍රී කලින් නම් කියා තිබුණේ ජනාධිපතිවරයාට සහාය පළකරන සන්ධානයක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරනවා යැයි කියාය. නමුත් ඇත්තටම මෛත්‍රී ඇමෙරිකානු දෙවැනි පෙළ බලධාරීන් හමුවී දැනුම් දී තිබුණේ ජනාධිපතිවරයා සමග ගොඩනගන සන්ධානයක් පිළිබඳ නොව, ශ්‍රීලනිපය මුල්කොට ගෙන පිහිටුවන සන්ධානයක තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීමට සූදානම් වනවා යැයි කියාය. එමෙන්ම ජනාධිපතිවරයාගේ අඩුපාඩු පෙන්වමින් සහ ජනාධිපතිවරයාගේ නුදුසුසුකම් පමණක් නොව, ආණ්ඩුවේ වැරැදි පවා මෙහිදී මෛත්‍රී ඇමෙරිකානු බලධාරීන්ට දැනුම් දී සිටීමට පියවර ගෙන තිබිණි. එපමණක් නොව ජවිපෙ සම්බන්ධයෙන් බරපතළ විවේචනයක්ද එහිදී මෛත්‍රී ඇමෙරිකානු බලධාරීන්ට සිදුකොට තිබිණි.
මේ ආකාරයට මෛත්‍රී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ශ්‍රීලනිප සන්ධානයකින් තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටින තොරතුර තහවුරු වන සිදුවීමක්ද පසුගිය සතියේදී සිදුවිය. ඒ, ශ්‍රීලනිපයේ හිටපු ප්‍රබලයකු වන කුමාර වෙල්ගම මාධ්‍යයට කර තිබූ ප්‍රකාශයක් හරහාය. එහිදී වෙල්ගම කියා තිබුණේ චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන සන්ධානයක් බිහිවීමට නියමිතව තිබුණත්, මෛත්‍රීපාලගේ ක්‍රියාකලාපය නිසා එය බිඳවැටී ඇති බවකි. එම සන්ධානයෙන් තමන්ට ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තරග කළ යුතු බවට මෛත්‍රීපාල සඳහන් කර සිටීම නිසා එම සන්ධානය ලත් තැනම ලොප් වී ඇති බවද වෙල්ගම එහිදී සඳහන් කර තිබිණි.