ඔන්න මේ වතාවෙත් පොසොන් පොහොය නිමිති කොටගෙන අපි ශ්‍රී ලාංකිකයෝ හරිම පුදුම දන්සල් දීලා තිබුණා. ඒ දන්සල් අතර තිබුණා කවදාවත් ලංකාවේ සිදු නොවිච්ච දන්සල් කීපයකුත්. ඉතින් මේ දන්සල්වලට සහභාගි වෙච්ච, දන්සල් වැන්ද, දන්සල් කාපු හැමෝම හරිම සතුටින් ඇති කියලා අපි හිතනවා. ඒ නිසා දන්සල් ගැන මේ වතාවෙත් වෙනදා වගේම පුරුදු පරිදි ලිපියක් ලියන්න තීරණය කළා. දන්සල් ගැන කතා කරද්දී පළමුවෙන්ම ලියන්න හිතුණා දිවුලපිටියේ තිබුණු සෙල්ලම් බඩු දන්සල ගැන. මේක හරි ෂෝක් දන්සලක්. පුංචි පුතාලා දුවලා වෙනුවෙන් තමයි මේ දන්සල දුන්නේ. ආපු හැම දැරුවෙක්ටම පුංචිම හරි සෙල්ලම් බඩුවක් දෙන්න සංවිධායක මණ්ඩලය තීරණය කරලා තිබුණා. මූලිකත්වය අරගෙන තිබුණේ දිවුලපිටියේ ශාෂි ගිෆ්ට්ස් ආයතනය. මේගොල්ලෝ දරුවෝ එක්ක එන වැඩිහිටියන්ට, දරුවෙක් ඉන්න හැම කෙනකුටම මොකක් හරි සෙල්ලම් බඩුවක් දෙන්න දන්සලක් සූදානම් කළා. ලංකාවේ පළමු වතාවට තමයි අපි හිතන්නේ මේ විදියට සෙල්ලම් බඩු දන්සලක් දෙන්න ඇති කියලා. මොකද සෙල්ලම් බඩු දන්සලක් දෙන එක ලේසි පහසු දේකුත් නෙවෙයි. කොහොම වුණත් ඔන්න පළමු කතාව පටන් ගන්නවා සෙල්ලම් බඩු දන්සලෙන්. (Sri Lanka Latest News)
ලංකාවේ කොහොමත් අරුමපුදුම දන්සල් තියෙනවනේ. මතකනේ ගිය වෙසක් එකට පානදුරේ දුන්නු බලු පැටව් දන්සල. ඒ වගේම නුගේගොඩ, කුරුණෑගල දුන්නු පීසා දන්සල්. වෙසක් එකටත් අමුතු අමුතු දේවල් කරන රටේ පොසොන් පෝයටත් කරන්න අපේ රටේ අය තීරණය කරලා තිබුණා. ඒ අතරේ තිබුණා හරිම සුවිශේෂ දෙයක් තමයි රද්දොළුගම තිබුණු හෑන්ඩ්ෆ්රී දන්සල. රද්දොළුගම ආයතනයකින් තමයි මේක ලෑස්ති කරලා තිබුණේ. ඒ අය එන හැමෝටම හෑන්ඩ්ෆ්රී දුන්නා. ඒ වගේම ඔක්කම්පිටියේ තිබුණා මීකීරි දන්සලක්. මීකිරි දන්සල තිබුණේ 18 වැනි වරටයි. ‘කිරි දෙනුන් ගව අත්බවෙන් මිදී මිනිස් අත්බවයක් ලැබීමට මේ පින් හේතු වාසනා වේවා කියලා’ ලොකු බෝඩ් එකකුත් එතැන ගහලා තිබුණා කියලා තමයි ඒකට ගියපු අය කියන්නේ. හෝමාගම වෙළෙඳ ආයතන දෙකක් එකතු වෙලා සූදානම් කරලා තිබුණා අපූරු දන්සලක්. ඒක සුවඳ විලවුන් දන්සලක්. සුවඳ විලවුන් පුංචි ප්‍රමාණයේ බෝතල් එන හැමෝටම බෙදාදෙන්න මේ අය සූදානම් වෙලා තිබුණා. පානදුරේදී රූපලාවන්‍ය සේවා ලබාදෙන දන්සලක් තිබුණා. අමිලා සල්ගාදුගේ සැලුන් එක ගාව මේ වැඩේ ලෑස්ති කරලා තිබුණා. එතැනට එන හැමෝටම ක්ලීන්-අප් එකක් දාලා මූණ පිරිසිදු කරලා රූපලාවන්‍ය සත්කාරයක් ලබාදෙන්න මේ අය කටයුතු කළා.
ඒ වගේම නාවලට ආපු වාහන ටික නාවලා ගන්න එම්.ඕ.ටී.යූ,එල්. මෝටියුල් කියන ආයතනය වාහන පිරිසිදු කිරීමේ දන්සලක් ලෑස්ති කරලා තිබුණා. මේ දන්සලේදී එන වාහන හැම එකක්ම නොමිලේ පිරිසිදු කරන්න කටයුතු කළා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ගිය වෙසක් පෝයට තිබුණා පාපැදි අලුත්වැඩියා කිරීමේ දන්සලක්. මේ පොසොන් එකට නම් ඒ ගැන දැනගන්න ලැබුණේ නැහැ. නමුත් ලංකාවේ මේ විදියට අරුම පුදුම දන්සල් දෙන එක දැන් පුරුද්දකට ගිහිල්ලා. සපත්තු මැසීමේ දන්සලක් ජුනි මස 20 වැනිදා සූදානම් කරලා තිබුණා නොච්චියාගම රෝහල ඉදිරිපිටදී. සුනිල් ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිය තමයි මේ වැඩේ ලෑස්ති කරලා තිබුණේ. මේ දන්සලේදී එක් අයකුගේ එක් සපත්තු කුට්ටමක් පමණක් මහන්න මේ අය තීරණය කරලා තිබුණා. මොකද කට්ටිය වැඩි වුණාම සපත්තු මහන්න අපහසු හින්දා. කොහොම නමුත් මේ විදියට රට වටේම දන්සල් දෙනකොට බත් දන්සල පවා හරිම සාර්ථකව දෙන්න සමහර අය කටයුතු කරලා තිබුණා.
ඩඩ්ලි සිරිසේන මහත්තයත්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එකතු වෙලා හොඳ දන්සලක් දුන්නා. ඒ වගේම සිරිකොතෙත් සුපුරුදු පරිදි මේ අවුරුද්දෙත් දන්සල දෙන්න තීරණය කරලා තිබුණා. එක තැනක අපි දැක්කා දන්සලට ගිය අය කියනවා කට්ලට් එක්ක මස් මාළු සහිතව දන්සල දීලා කියලා. ඒකට ගිය අය කියනවා මඟුල් ගෙදරකට කෑම උයලා ඒ කෑමවලින් දන්සලක් දෙනවා කියලා. ඒ තරමටම සාර්ථක දන්සල් අපේ රටේ පවත්වනවා. ඇත්තටම ජනතාව පාරට බහින්නේ ඇවිදින්න යන්නේ මේ දන්සල්වල තියෙන අපූර්වත්වය හින්දා. අපි හැමෝම දන්සලකින් කන්න යන්නේ මුදල් නැති නිසා නෙවෙයි. දන්සලෙන් ලැබෙන්නේ අයිස්ක්‍රීම් එකක් වෙන්න පුළුවන්. අයිස් ක්‍රීම් එකක සාමාන්‍ය මිල රුපියල් 100ක්. රුපියල් 100ක අයිස්ක්‍රීම් එකක් කන්න විනාඩි 20ක් 30ක් පෝලිමක ඉන්න අපේ රටේ මිනිස්සු මැළි වෙන්නේ නැත්තේ දන්සලක් කියන්නේ යම් විනෝදාශ්වාදය සහිත කාරණාවක් හින්දා. ඒ වගේම දන් දීම, බුදුදහමට අනුව විශාල පින්කමක් නිසාත් අපේ උදවිය මේ දන්සල් දෙනවා කියලයි අපි හිතන්නේ. කොහොම නමුත් දන්සල් දුන්න අයටයි, දන්සල් වැන්ද අයටයි හැමෝටම ඇසළ පෝයට ඊළඟ කොටස පටන් අරගන්න කියලා යෝජනා කරන ගමන් අපි නවතිනවා. අපිත් එනවා ඇසළ පෝයට රට වටේ මේ විදියට දන්සල් හොයාගෙන. විශේෂ දන්සල් තියෙනවා නම් අපිට කතාකරලා කියන්න ඕනේ.
![Sri Lanka Latest News](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2022/06/Jeewana-pahan-3.jpg)
ජීවන පහන් තිළිණ