රුපියල් 5000 මුදල් නෝට්ටු වෙළෙඳපළට නිකුත් කර ඇති ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් වෙළෙඳපළ තුළ දකින්නට නොමැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස්. ශාන්ත මහතා පැවැසීය.Sri Lanka Latest News
දෙරණ නාලිකාවේ චතුර අල්විස් මහතා සමග පැවැති සාකච්ඡාවකදී නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ ජනතාව රුපියල් 5000 නෝට්ටු බැංකු පද්ධතියට ඇතුළත් නොකොට නිවෙස්වල තබාගැනීම මේ සඳහා හේතු වී ඇති බවය.
දැනට රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ සහ අඩු පොලී අනුපාතික හමුවේ රටේ ඇතැම් පිරිස් සිය මුදල් බැංකු පද්ධතියට අනුගත නොකොට නිවෙස් තුළ තබාගෙන සිටින බවත්, ඒ හරහා ආයෝජන සිදුවීමේ ඉඩකඩ ඇහිරී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම ජනතාව සතුව ඇති මෙම 5000 නෝට්ටු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෝ සොයාගැනීමට හැකියාවක් නොමැති බවද ඒ මහතා කියා සිටියේය.
මෙම තත්ත්වය අවම කරගැනීම සඳහා හොඳම විසඳුම වී ඇත්තේ හැකි ඉක්මනින් මූල්‍ය පද්ධතිය ඩිජිටල් කොට ජනතාවට එම මුදල් ආයෝජනය කිරීමේ අවස්ථාව සලසා දීම බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










