මෙවර අයවැය මගින් අතිකාල, නිවාඩු දීමනා සහ උසස්වීම් කප්පාදු කිරීම ඇතුළු ගැටලු විසඳන බවට සෞඛ්‍ය ඇමැතිවරයා ලබා දුන් පොරොන්දුව කඩකර ඇති බව සඳහන් කරමින් රජයේ රෝහල්වල හෙද නිලධාරින් නැවතත් වර්ජන ක්‍රියාමාර්ගයකට සූදානම් වේ.Sri Lanka Latest News
එහි පළමු පියවර ලෙස රට පුරා පිහිටි රෝහල්වලදී විරෝධතා පෙත්සමක් අත්සන් කිරීම ඊයේ (11 වැනිදා) ආරම්භ කෙරිණි.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පෙන්වා දුන්නේ කප්පාදු කළ උසස්වීම් පෙර ක්‍රමයට ලබාදෙන බවට සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබා දී ගැටලුව විසඳන බවට සෞඛ්‍ය ඇමැතිවරයා ලබා දුන් පොරොන්දුව කඩකර ඇති බවයි. එමනිසා දෙවැනි පියවර ලෙස රට පුරා රෝහල්වලදී හෙද වර්ජනයකට යාමට සිදුවන බවද ඔහු කීවේය.
කෙසේ වෙතත් මෙම ගැටලු හේතුවෙන් පෙබරවාරි 27 වැනිදා දිවයින පුරා පිහිටි රෝහල්වල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පවත්වන ලදී.
එම ගැටලුවලට විසඳුම් නොමැතිවීම හේතුවෙන් පසුගිය 6 වැනිදා පැය තුනක වර්ජනයක් හා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කෙරිණි. පසුව සෞඛ්‍ය ඇමැතිවරයා සමග කළ සාකච්ඡාවේදී ලබා දුන් පොරොන්දු හේතුවෙන් එම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන ලදි.










