කාලවර්ණ දේහයක් ඇති උසින් අඩි 5යි අඟල් 8ක් වූ මෙම තරුණ මිනිසා, සැබෑ ලෙසම දැඩි ශරීර ශක්තියකින් යුක්ත විය. තරබාරු නොවූ ඔහුගේ ගත දණ්ඩක් හෝ මුගුරක් මෙන් කෙළින්ය. බඩු පොදි කර ගැසීමටත්, අනේක වර්ගයේ කුලී රැකියා කිරීමටත් ඔහු රුසියෙකි. ඔහු ඒවා කරන්නේ වෙනත් කරන්නට යම් රැකියාවක් නොමැති හෙයින් විනා ආශාවට නොවේ. එහෙත් කිසිදු පශ්චාත්තාපයක් නැතිව ඔහු එම කටයුතු සිදුකරයි.
දවසකට ලැබෙන රුපියල් 10 හෝ 20ක් හෝ මුදලින් ඔහු පවුලේ කටයුතුද සොයා බලමින් ජීවිතය ගැටගසා ගනිමින් සිටියි. ඔහු මෙලෙස ගිනිකර්ශ මහමඟ ගතකරන ජීවිතය හදිස්සියේම වෙනස් වන්නේ ඔහුට වෙනත් රැකියාවක් ලැබෙන නිසාවෙනි. දැන් ඔහු මගී බසයක ටිකට් කඩන කොන්දොස්තරවරයෙකි. කුලීකරුවකු ලෙස සිට කලක් ජීවිතය ගතකළ ඔහු දැන් වසර ගණනාවක් පුරා බස් රථයේ ටිකට් කඩන රස්සාව කරයි.
පැය 24 පුරාවටම ගාලගෝට්ටියක් බඳු ඉන්දියාවේ අතිශයම කලබලකාරී නගරය වූ මැඞ්රාස් (අද චෙන්නායි) නගරයෙන් මෙම අපූරු වගතුග ඇසුණේ මෙයට දශක ගණනාවකට පෙරය. එදා බඩු පොදි කරගැසූ කාලවර්ණ මිනිසා අද ඉන්නේ කොතැනකද? එය අහස හා පොළොව මෙන් මහා පරතරයක් ඇති පුදුමාකාර කතාවකි. විටෙක අදහාගත නොහැකි පුරාවෘත්තයකි. එහෙත් එය සැබෑ ලෙසම අද සිදුවී ඇත. එදා කුණු දුහුවිලි පිරි මැඞ්රාස් වීදියේ වැටී සිටි මිනිසා අද සිටින්නේ සුපිරි සුවිසල් මන්දිරවලය. අද ඔහුගේ වත්කම්, මුදල් ගණන්වලින් කියා නිම කරන්නට බැරි තරම්ය. කාසි-පනම් කඳු පිටින් ඔහු මතට කඩාවැටෙයි. ධනය පමණක් නම් කමක් නැත. ඔහු පසුපස හඹා එන ජන ගංගාවද අතිශය පුදුමාකාරය. ලොවටම අපූරු වූ මෙම කාලවර්ණ කුලීකරුවා කවුද?
රැජිනි කාන්ත් යන නාමය මහා මේඝයක් මෙන් හමන්නේ එවිටය. මහා භාරතයේ දොරකඩින් එළිබසින රැජිනි කාන්ත් නමැති මෙම සුවිශේෂී මිනිසා ලොව බොහෝ දෙනකු හඳුනන්නේ සිනමා රංගන ශිල්පියකු නොහොත් නළුවකු වශයෙනි. ඉන්දියානු සිනමාවේ මහා කෙළි සහ හරඹ සිදුකළ සහ සිදුකරමින් සිටින ඔහු ගැන ශ්‍රී ලංකාවේදීද නොදන්නා කෙනකු නැති තරම්ය. මේ කාලයේදී දිගහැරෙන ඔහුගේ නවතම වගතුග අපට වැදගත් වන්නේද ඒ හෙයිනි. රැජිනි කාන්ත් යනු ඉන්දියානු සිනමාවේ සිටින විශිෂ්ටතම සහ ජනප්‍රියතම රංගන ශිල්පියකු වන අතර, ඔහු දකුණු ඉන්දියානු දමිළ සිනමාවේ සිටින අංක එකේ රංගන ශිල්පියාද වෙයි. රැජිනි කාන්ත් ඉන්දියානු සිනමාවට පිවිසෙන්නේ 1975 වසරේදී වන අතර, දැනට මේ තාක් දක්වා වසර 50ක් ඔහු නොකඩවා සිනමාවෙහි රැඳී සිටියි. එනම් ඔහු ප්‍රථම චිත්‍රපටය රඟපා ඇත්තේ 20 වැනි වියේදී වන අතර, මෙම 2020 දෙසැම්බර් 12 වැනිදාට ඔහු 70 වැනි වියට පාතැබීය. මේ ලිපිය ලියා තබන්නේ ඔහුගේ එම සිනමා දිවිය ගැන කියන්නට නොව. එහෙත් ඔහු දස්කම් පෙන්වන වෙනත් ක්‍ෂේත්‍රයක් ගැන යමක් කතා කරන්නටය.
රැජිනි කාන්ත් සහ දේශපාලනය එම කතාන්දරයයි. රැජිනි කාන්ත් නමැති මිනිසා තමාගේ ප්‍රධාන වෘත්තිය වන සිනමාවට මුල් ස්ථානය දී කටයුතු කළත්, ඔහු දීර්ඝ කාලයක් පුරා ඉන්දියානු දේශපාලනයට සම්බන්ධ ක්‍රියාකාරිකයකු ලෙසද කටයුතු කර ඇත. එම වතගොත දිව යන්නේ 1996 වැනි දීර්ඝ කාලයක් වෙත වන අතර, එනම් දැනට වසර 25කට ආසන්න කාලයක් පුරා එම ඉතිහාසය කතාව දිග හැරෙයි. රැජිනි කාන්ත් වසර 20ක් පුරා බොහෝ ජනප්‍රිය නළුවකු වී සිටියදී, 1996 වසරේදි ඉන්දියාවේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රබල දේශපාලන පක්‍ෂයක් වන ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයට සහාය දක්වන්නට කටයුතු කළේය. මෙම පක්‍ෂය දකුණු ඉන්දියාව තුළ තිබුණු ප්‍රධානතම පක්‍ෂය වන අතර, දැනටද බොහෝ ප්‍රබල ලෙස ඉදිරියෙන් සිටින පක්‍ෂයකි. රැජිනි කාන්ත් එකල මැතිවරණයේදී තම රසිකයන්ට පවා ප්‍රකාශ කර සිටියේ ෘඵණ පක්‍ෂයට ඡන්දය ලබා දෙන ලෙසය. ඉන්පසු ඔහු 2004 වසරේදී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේ, ඉන්දියානු භාරතීය ජනතා පක්‍ෂයට තමන්ගේ ඡන්දය ලබාදෙන බවත්, එහෙත් තමන් දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නොමැති බවත්ය.
මේ ආකාරයට රැජිනි කාන්ත් කලින් කලට විවිධ දේශපාලනික ක්‍රියාකාරකම්වල නිරත වූයේය. එහෙත් යම් මැතිවරණයකට තරග කිරීමට හෝ දේශපාලන පක්‍ෂයක් බිහිකිරීමට හෝ ඔහුගේ අදහසක් නොවීය. කෙසේ වුවද මෙසේ කාලය කෙමෙන් ගතවී යද්දී 2017 දෙසැම්බර් 31 වැනිදා රැජිනි කාන්ත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ, 2018 ජනවාරි මාසයේ සිට තමන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බැව්ය. එසේම එතැනින් නොනැවති 2021 වසරේදී පැවැත්වීමට නියමිත තමිල්නාඩු ව්‍යවස්ථා සභා මැතිවරණය සඳහා තමන් තරග කරන බැව්ය. මේ සඳහා තමන්ගේ ප්‍රධානත්වයෙන් සහ නායකත්වයෙන් යුත් පක්‍ෂයක් පිහිටුවා ගන්නා බවත්, තමිල්නාඩුවේ ඇති ආසන බලප්‍රදේශ 234 සඳහාම තම නව පක්‍ෂයෙන් තරගකරුවන් ඉදිරිපත් කරන බවත් පැවැසීය. එසේම තමන් ඇතුළු පක්‍ෂයේ අනෙක් සාමාජිකයන් දැඩි කැපකිරීමකින් කටයුතු කර තමිල්නාඩු ආසන බහුතරයක් දිනාගන්නා බවත්, ඉන්පසුව තමිල්නාඩු ජනතාවගේ සුබසිද්ධිය සඳහා විශාල මෙහෙවරක් සිදුකරන බවත්, රැජිනි කාන්ත් ප්‍රකාශ කර සිටියේය. යම් හෙයකින් වසර 3ක් තුළ මෙම ජනතා මෙහෙවර නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වුවහොත් තම පක්‍ෂය ඉල්ලා අස්වන බවත් ඔහු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.

ඔහු එදා 2018 ජනවාරි මාසයේදී මෙසේ ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි අතර, තමිල්නාඩු ජනතාව ඉදිරියේ දිවුරුම්සහගතව මෙසේ පවසා සිටියේය.
‘තමිල්නාඩුවේ ජනතාවට යහපත් පාලනයක් අවශ්‍ය අවස්ථාවේදීයි මම මෙසේ දේශපාලනයට ඇතුළු වන්නේ. මට මුදල් හෝ ජනප්‍රියතාවය තවත් හම්බකරන්න අවශ්‍ය නැහැ. එය මට උපරිම මට්ටමින් ලැබී තිබෙනවා. දැනට තමිල්නාඩුවේ දේශපාලන ඉතාමත්ම අයහපත්, කනගාටුදායක තත්ත්වයකයි තිබෙන්නේ. මේ නිසා ලෝකයේ ජනතාව අපට සිනාසෙනවා. යහපත් පාලනයක් අත්‍යාවශ්‍ය වේලාවකදීයි මම මෙසේ දේශපාලනයට එන්නේ. මම කිසිවිටෙකවත් බියගුල්ලකු නොවෙයි. ඒ නිසා මම ඉදිරියට එන්නට ඕනෑ. තමිල්නාඩුව කියන්නේ මිලියන 72ක ජනතාවක් සිටින විශාල ප්‍රදේශයක්. මේ ජනතාවට සුබසිද්ධිය සලසන නව දේශපාලනයක් හඳුන්වා දෙන්න ඕනෑ. තමිල්නාඩුවේ සිටින ජනතාවගේ යහපත් අනාගතය වෙනුවෙන් මම මගේ ජීවිතය පවා පුද කරන්නට ලැහැස්තියි. මම තමිල්නාඩුවේ දේශපාලනය කරන්න ලැහැස්ති වන්නේ කිසිදු ජාති, ආගම්, කුල, ගෝත්‍ර භේදයකින් තොරවයි.’
මෙම මහා ඉන්දියානු රංගන ශිල්පියාගේ එම දිවුරුම්සහගත ප්‍රකාශයත් සමඟ අද අප 2020 වසරේ අවසාන දින කිහිපය වෙත පා තබා ඇත. එනම් රැජිනි කාන්ත් එම ප්‍රකාශය සිදුකර දැනට වසර 3ක් ගතවී ඇත. එලෙස පැවැසූ රැජිනි කාන්ත් පසුගිය එම වසර තුන තුළදී ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූයේද? මෙම තත්ත්වය පිළිබඳව ඉන්දියානු දේශපාලන විචාරකයන් පවසා සිටින්නේ අපූරු කතාවකි. එනම් එම කාලය තුළදී මෙම සුවිශේෂී මිනිසා වඩාත්ම තම කාලය ගතකර ඇත්තේ චිත්‍රපට රංගනයට වන අතර, අනෙක් විවේකයක් ලැබුණු විටකදී පමණක් දේශපාලන කටයුතුවල නිරත වූ බැව් විචාරකයන් ප්‍රකාශ කර ඇත. මෙය ඔහුට එරෙහිව නැගෙන දෝෂාරෝපණයක් නොවුණු අතර, එම කාලය තුළදී ඉතාමත් දැවැන්ත සිනමා නිර්මාණ තුනකට ඔහු ප්‍රධාන රංගනයෙන් දායක වී ඇත. එහෙත් පසුගිය සතියේ මෙම සිනමාවේ වීරයා ප්‍රකාශ කර සිටියේ, තමන් ඉදිරියේදී සිනමා රංගනයේ කටයුතු යම් පමණකට පසෙකට තබා දේශපාලන ව්‍යාපාරය ක්‍රියාවේ නැංවීමට කටයුතු කරන බැව්ය. එසේම තමන්ගේ නව පක්‍ෂයේ එළිදැක්වීම ගැන නිල ප්‍රකාශය මෙම 2020 දෙසැම්බර් 31 වැනිදා සිදුකරන බැව්ය. ඉන්පසුව 2021 ජනවාරි මාසයේ සිට දේශපාලන ව්‍යාපාරයද ආරම්භ කරන බැව්ය.
කෙසේ හෝ දැන් මෙම සිනමා වීරයා තමන්ගේ දේශපාලන ගමන්මගේ හැරවුම් ලක්‍ෂ්‍යය සහ සංක්‍රාන්ති සමය වෙත පැමිණ ඇත. වසර 3ක් පුරා පීදෙමින් තිබුණු රැජිනි කාන්ත්ගේ නව දේශපාලන පක්‍ෂය 2021 ජනවාරි මස ආරම්භයේ සිට දේශපාලන පොර පිටියට පැමිණෙනු ඇතිය. තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයට හරියටම මාස 5ක් තිබියදී මෙම රැජිනි කාන්ත් පක්‍ෂය තම කටයුතු ආරම්භ කරනු ඇතිය. 2021 මැයි මාසයේදී පැවැත්වීමට නියමිත එම මැතිවරණයේදී තමන්ගේ නායකත්වය ඇති එම පක්‍ෂයෙන් ‘පුදුමයක් හා ප්‍රාතිහාර්යයක්’ ලබාගනු ඇතැයිද ඔහු ප්‍රකාශ කර ඇත. තමන් ඉදිරියේදී ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ ආධ්‍යාත්මික ලෞකික දේශපාලනයක් බවත්, එයට කිසිදු ආගමක් හෝ කුලයක් නොමැති බවත් රැජිනි කාන්ත් පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. එසේම අවංක, විනිවිද පෙනෙන, දූෂණයෙන් තොර දේශපාලනයක් ලබා දීමටද පොරොන්දු වන බැව් ඔහු මාධ්‍යය වෙත ප්‍රකාශ කර ඇත. ‘මම ජයග්‍රහණය කළහොත් එය ජනතාවගේ ජයග්‍රහණයයි, එසේම මම පරාජය වුවහොත් එය ජනතාවගේ පරාජය වනු ඇතැයි’ ද රැජිනි කාන්ත් මාධ්‍ය හමුවේදී පසුගියදා ප්‍රකාශ කර සිටියේය.

මහා සිනමා නළු රැජිනි කාන්ත්ගේ නව පක්‍ෂයේ නම ‘මක්කල් සේවයි කච්චි’ ලෙසින් සඳහන්ව ඇතත්, එය මෙතෙක් ඉන්දියානු මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වී නොමැත. පක්‍ෂයේ ලාංඡනය ලෙස සලකුණු දෙකක් නම් කෙරී ඇති අතර, එකක් ‘හස්ත මුද්‍රාව’ වන අතර, අනෙක ‘ඔටෝරික්ෂෝව’ නොහොත් ‘ත්‍රීවීල්’ රථය වෙයි. 2002 වසරේදී ප්‍රදර්ශනය කෙරුණු රැජිනි කාන්ත් ප්‍රධාන චරිතය රඟපෑ ‘බාබා’ චිත්‍රපටයේදී රැජිනිගේ හස්ත මුද්‍රාව ප්‍රකට වූ අතර, 1995 වසරේදී ප්‍රදර්ශනය කෙරෙැණු ‘බාෂා’ චිත්‍රපටයෙන් ‘ඔටෝරික්ෂෝව’ ප්‍රචලිත වූයේ ඔහු එහි වාහන රියැදුරකු ලෙස ප්‍රධාන චරිතය රඟදැක්වූ හෙයිනි. මෙම ලාංඡනය හරහා රැජිනි කාන්ත් බලාපොරොත්තු වන්නේ ඔහුගේ ලක්‍ෂ ගණනක් වූ සිනමා රසිකයන්ගේ ආකර්ෂණය තම පක්‍ෂය වෙත දිනා ගැනීමටය. කෙසේ හෝ මේ වන විට නව දේශපාලන පක්‍ෂයේ නම් සහ ලාංඡන මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වෙයි. ඉදිරියේදී මෙම නව පක්‍ෂය තමිල්නාඩුවේ තිබෙන පැරැණි ප්‍රබල දේශපාලන පක්‍ෂ රැසකට මහත් අභියෝගයක් වනු ඇතැයි මේ වන විට දේශපාලන විචාරකයන් අනාවැකි පළකර ඇත.
සිනමා රංගන ශිල්පීන් අති විශාල ප්‍රමාණයක් ක්‍රියාකාරී දේශපාලනයට පිවිස දේශපාලකයන් බවට පත්වුණු ලෝකයේ අංක එකේ රට වශයෙන් ඉන්දියාව වාර්තාවක් තබා ඇත. ඉන්දියාවේ ජනතාව අතර තිබෙන අධික ‘සිනමා උන්මාදය’ මෙයට ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයි විචාරකයෝ පවසති. තවද ඉන්දියාවේ වෙසෙන බිලියන 1.3ක සුවිශාල ජනතාවද මෙයට හේතුකාරකයක් වී ඇත. බහුතරයක් වන මෙම ඉන්දියානු ජනතාවට තිබෙන ‘සිනමා පිස්සුව’ හෙවත් ‘සිනමා සන්නිය’ හේතුවෙන් ප්‍රකට රංගන ශිල්පීන්ට තමන්ගේ දේශපාලන සිහින බොහෝ පහසුවෙන් ජයගැනීමට හැකිවී ඇත. අද රැජිනි කාන්ත් දේශපාලනයට පය තබන්නේද මෙම මාවත හරහාය. සමස්ත ඉන්දියාව තුළ සිනමා රටාවන් දෙකක් ඇත. එනම් ‘බොලිවුඞ් සිනමාව’ ලෙසින් හඳුන්වන උතුරු ඉන්දීය හින්දි සිනමාවද, කොලිවුඞ් සිනමාව’ ලෙසින් හඳුන්වන දකුණු ඉන්දීය දමිළ සිනමාවද මෙම මාධ්‍යයන් දෙක වෙයි. අද මෙම සිනමාවන් දෙක තුළින්ම දේශපාලනයට පිවිසි රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ප්‍රමාණය අතිවිශාලය. මෙහිදී එක්තරා විශේෂත්වයක් වන්නේ බොහෝ බලගතු දේශපාලන සිනමා තරු රැසක් බිහිවූයේ දකුණු ඉන්දියාවෙනි.
ඉන්දියානු නිල වාර්තාවලට අනුව මේ වන විට පොදුවේ සමස්ත ඉන්දියානු සිනමාව තුළින් සිනමා ශිල්පීන් 134 දෙනකු දේශපාලනයට පිවිස ඇත. ඔවුන්ගෙන් බහුතරයක්ම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ය. මෙම පිරිසට ඉතාමත් ප්‍රකට, අතිශය ජනප්‍රියතම ශිල්පීන්ද අයත් වන අතර, එතරම් ප්‍රකටත්වයක් නැති ශිල්පීන්ද දක්නට හැකිය. උතුරු ඉන්දියානු බොලිවුඞ් සිනමාවේ අතිශය ප්‍රකටවූ රංගන ශිල්පීන් 11 දෙනකු ඉන්දියානු දේශපාලනයේ ජයකෙහෙළි නැංවීමට සමත් විය. ඔවුන් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
- ගෝවින්ද
- රාජේශ් කන්නා
- විනෝද් කන්නා
- හේමා මාලිනි
- සුනිල් දත්
- ජයප්‍රදා
- රාජ් බාබ්බාර්
- ජයා බච්චන්
- පරේශ් රවාල්
- ශබානා ආස්මි
- මිතුන් චක්‍රබෝර්ති
උතුර ඉන්දියානු රංගන ශිල්පීන්ට වඩා දේශපාලනයට යොමුවුණු දකුණු ඉන්දියානු රංගන ශිල්පීහු ඉතා ආන්දෝලනාත්මක දේශපාලන මෙහෙවරක නිරත වූහ. එසේම ඔවුන් වටා එක්රොක් වුණු ජනතාවද අතිශය ඉමහත් අතර, එම සිනමා ශිල්පී දේශපාලකයන් බොහෝ උච්ච දේශපාලන බලයක්ද පෙන්නුම් කළේය. මෙලෙස දකුණු ඉන්දියානු දේශපාලනය තුළ සිටින සිනමා ප්‍රබලයන් මෙසේය. - ශිවාජි ගනේෂන්
- එම්. ජී. රාමචන්ද්‍රන්
- ජෙයරාම් ජයලලිතා
- විජය කාන්ත්
- කරුණානිධි
- කමල් හසන්
- රාම් රාඕ
- කුෂ්බෝ
- පවන් කල්යාන්
- රැජිනි කාන්ත්
- රාමා රාඕ
- චිරාන්ජීවී
සිනමා මගෙහි පැමිණ දේශපාලනයට පිවිසි මෙම දමිළ දේශපාලකයන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකාවේ දමිළ එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්ත ව්‍යාපාරයට සහාය දැක්වූ අය වෙති. එම්. ජී. ආර්., ජයලලිතා, කරුණානිධි, විජයකාන්ත් වැනි පුද්ගලයන් රැසක් මෙලෙස ක්‍රියා කළ අතර, රැජිනි කාන්ත්ගේ නමද ඉඳහිට මෙම ලැයිස්තුවට එකතු වූයේය. එහෙත් කෙසේ හෝ රැජිනි කාන්ත් ප්‍රබල එල්. ටී. ටී. ඊ. හිතවාදියකු නොවීය. ඔහු 2017 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා රජය සමඟ එකතුව දමිළ ජනයාගේ සුබසාධනය සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කළත්, දකුණු ඉන්දියානු කොටි හිතවාදී දේශපාලකයන් එයට ඉඩ දුනනේ නැත. වයිකෝ, සීමන්, තොල් තිරුමාවලන් වැනි අන්තවාදී දමිළ දේශපාලකයන් එයට හරස් විය. අවසානයේදී රැජිනි කාන්ත් තම ශ්‍රී ලංකා ගමන අවලංගු කර දැමුවේය.
කෙසේ හෝ හෙට අනිද්දා ස්ථිර ලෙස සිදුවන රැජිනි කාන්ත් නම් සිනමා වීරයාගේ දේශපාලන ආගමනයට දකුණු ඉන්දියානු දේශපාලකයන් රැසක්ම ත්‍රාසයට පත්වී සිටිති. එසේම එදා මැඞ්රාස් වීථිවල මුට්ට කරගැසූ මිනිසා අද ඩොලර් මිලියන 50ක වත්කමක් ඇති සුපිරි ධන කුවේරයකුද වෙයි. ඔහු මෑත කාලයේදී චිත්‍රපටයක රඟපෑමට ඉන්දියානු රුපියල් කෝටි 60ක් අය කළේය. දෙන දෙයියෝ දිගට හරහට දෙනවා’ යැයි කියන්නේ එයටය.
ප්‍රියන්ත හෙට්ටිගේ










