ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති එරික් මේයර් සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ඉදිරිපිට සාක්ෂි දෙමින් පවසා සිටියේ ලංකාවේ වරායවල්, යටිතල පහසුකම් චීන බලපෑම්වලින් ආරක්ෂා කරගන්න කොළඹ ආණ්ඩුව සමග වැඩ කරගන්න බවය. ඔහු එම ප්‍රකාශය කළේ විදේශ සබඳතා කමිටු සභාපති ලංකාවේ චීන බලපෑම ගැන දැඩි ප්‍රකාශයක් කරද්දීය. ඔහු හම්බන්තොට වරාය චීනයට බදුදීම දැඩි සේ විවේචනය කර තිබිණි. ඒ වගේම නව ඇමෙරිකානු තානාපතිවරයා ලංකාව සහ අයි.එම්.එෆ්. අතර අස්සන් කොට ඇති ගිවිසුමේ වැදගත්කමද අවධාරණය කොට තිබිණි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අයි.එම්.එෆ්. වැඩසටහනේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය.Sri Lanka Latest News
ඇමෙරිකානු නව තානාපතිට හම්බන්තොට වරාය සහ අයි.එම්.එෆ්. ගිවිසුම සම්බන්ධයෙන් කරුණු දෙකකට මුහුණ දීමට සිදුවේ. පළමුවැන්න නම් හම්බන්තොට සිනොපැක් තෙල් පිරිපහදුවය. පසුගියදා ලංකාවට අතරමැදි සංචාරයකට පැමිණි චීන විදේශ ඇමැති හමුවූ අවස්ථාවේ හම්බන්තොට සිනොපැක් තෙල් පිරිපහදුව 2026 පළමු මාස කිහිපයේ සම්පූර්ණ කරන්න සාකච්ඡා කළ බව විදේශ ඇමැති විජිත හේරත් පවසා තිබිණි. ඒ වගේම අයි.එම්.එෆ්. ගිවිසුම 2026 අග අවසන් වීමට නියමිත අතර අලුත් ගිවිසුමක් අස්සන් නොකළ යුතු බවට ආණ්ඩුව තුළින්ම මතයක් ඇතිවී තිබේ. ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් අයි.එම්.එෆ්. ගිවිසුම සාර්ථක කරගන්න විශාල වැඩ කොටසක් කළාය. ඇය සිය නිල කාලය අවසන් කරන මාස කීපයේ ආණ්ඩුවත් අයි.එම්.එෆ්. එකත් අතර එකඟතාවල ප්‍රශ්න මතුවී ඇත. ආණ්ඩුව හිතන්නේ අයි.එම්.එෆ්. ගිවිසුම නියමිත කාලයේදී අවසන් කොට යළි අයි.එම්.එෆ්. ගිවිසුමකට නොයා ස්වාධීනව ආර්ථිකය මෙහෙයවිය යුතු බවය. විශේෂයෙන් 2027 ඡන්ද වර්ෂයට අයි.එම්.එෆ්. ගිවිසුම සමග යෑම අසීරු යැයි ආණ්ඩුව හිතන බවක් පේන්න තිබේ. එරික් මේයර් ලංකාවට පැමිණෙන්නේ මෙවැනි වාතාවරණයක් තුළය. එලෙසම තවමත් ආණ්ඩුව ඇමෙරිකාව සමග එකඟ වූ මැරීන් ගිවිසුම අස්සන් කොට නොමැත. එරික් මේයර් ලංකාවට එන්නේ ඇමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය හෙළාදකිමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂය සහ ආණ්ඩුවේ සභානායක ප්‍රකාශ නිකුත් කොට තිබියදීය.
එරික් මේයර් ජූලි චන්ග් මෙන් බයිඩන්ගේ තේරීමක් නොව ට්‍රම්ප්ගේ තේරීමකි. එරික් මේයර් එන්නේ ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නටය. මේ නිසා ආණ්ඩුවට එරික් මේයර් සමග ගනුදෙනු කිරීම ජූලි චන්ග් සමග ගනුදෙනු කිරීම තරම් ලෙහෙසි නොවනු ඇත.










