ඉන්දුනීසියාවේ සිට අල්ලාගෙන ආ පාතාල අපරාධකරුවන් අතර සිටි බැකෝ සමන් විසින් හෙළි කළ තොරතුරු මත විමර්ශන පවත්වා බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මිද්දෙණියේ ස්ථාන දෙකකින් සොයාගත් සුදු පැහැති කැට සහ කුඩු විශේෂය පරීක්ෂා කළ රජයේ රස පරීක්ෂකවරයා එහි මෙතැන්පිටමින් නොහොත් අයිස් සහ ටැල්ක් නමැති පාෂාණය ඇතැයි තහවුරු කර තිබේ.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් වූ වාර්තාව පසුගිය 15 වැනිදා දාතමින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රජයේ රස පරීක්ෂකවරයාගේ අත්සනින් යොමුකර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි, නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා ද මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරේදා (20) සඳහන් කළේ මිද්දෙණියෙන් සොයාගත් ද්‍රව්‍ය අයිස් බවට රජයේ රස පරීක්ෂක විසින් තහවුරු කරමින් වාර්තාව නිකුත් කර ඇති බවයි.
අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවට මෙවර ශ්‍රී ලංකා පොදු පෙරමුණෙන් තරග කළ සම්පත් මනම්පේරි නමැති අයට අයත් බව කියන මිද්දෙණිය, තලාව, කාරියමඩිත්තේ ඉඩමක සහ එම ප්‍රදේශයේම තවත් ස්ථානයකින් සුදු පැහැති කැට සහ කුඩු විශේෂයක් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයා ගන්නේ පසුගිය 06 වැනිදාය. ඒ බැකෝ සමන් විසින් හෙළි කළ තොරතුරු මත ඉරානයෙන් මෙරටට රැගෙන ආ සැකකටයුතු කන්ටේනර් දෙකක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදීය. ඉකුත් වසරේ අග මෙරටට ආ එම කන්ටේනර් දෙකේ මත්ද්‍රව්‍ය ඇතැයි ජාත්‍යන්තර බුද්ධි අංශ මඟින් මෙරටට දැනුම්දීමක් ද කර තිබී ඇත. ඒ අනුව එම කන්ටේනර් දෙක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත්, රේගුවත් දැඩි පරීක්ෂාවකට ලක්කර මුදාහැර ඇත්තේ එහි මත්ද්‍රව්‍ය නොමැති බව තහවුරු කිරීමෙන් අනතුරුව බව සඳහන්ය. එම කන්ටේනර් දෙකේ ඇතැයි රේගුව පවා තහවුරු කර තිබුණේ ටැල්ක් නමැති පාෂාණ විශේෂය බවයි. මේ පාෂාණය මත්ද්‍රව්‍ය නිෂ්පාදනය මෙන්ම මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත නොකරන බව රේගුව තහවුරු කර තිබිණි. රේගු පරීක්ෂාවෙන් අනතුරුව මේ කන්ටේනර් දෙක පසුගිය ජනවාරි 27 වැනිදා නිදහස් කරගැනීමෙන් පසු රැගෙන ගොස් ඇත්තේ මිද්දෙණියටය. එම කන්ටේනර් දෙක සහ එහි ඇති භාණ්ඩ සුරැකිව තබා ගැනීමේ වගකීම පැවරී ඇත්තේ දේශපාලන බලවතෙක් වූ සම්පත් මනම්පේරිට බව ද බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හෙළිකර ගත්තේය. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වීමත් සමඟ උන්හිටිතැන්වලින් අතුරුදන් වන්නේ කන්ටේනර් දෙකේ තිබූ සුදු පැහැති ටැල්ක් පාෂාණය බව සඳහන් ද්‍රව්‍ය ඔහුට අයත් මිද්දෙණියේ පිහිටි ඉඩමක වළ දමාය. එයින් කොටසක් ඒ කිට්ටුව තවත් ස්ථානයක හලා තිබී පසුව සොයා ගත්තේය. විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරු මත බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කන්ටේනර් දෙක මෙන්ම එහි වූ සුදු පැහැති කැට සහ කුඩු වළ දැමූ මිද්දෙණියේ ඉඩම ද සොයා ගත්තේය. එම ස්ථානය හාරා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මුලින්ම එහි ගෙන්වන්නේ අන්තරායකර ඹෟෂධ පාලන ජාතික මණ්ඩලයේ රසායනාගාර පරීක්ෂකවරුන්ය. ඔවුන් එම ස්ථානයෙන් සාම්පල් 20ක් ලබාගෙන පවසන්නේ එයින් 05ක මෙතැන්පිටමින් නොහොත් අයිස් ඇතැයි පෙන්නුම් කරන බවයි. වැඩිදුරටත් එම සාම්පල් විද්‍යාගාර පරීක්ෂාවක් සඳහා යොමු කළ යුතු බව කියැවිණි. ඒ අනුව එම සාම්පල් විද්‍යාගාර පරීක්ෂාවක් සිදු කර අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය විසින් සිය වාර්තාව නිකුත් කරන්නේ සාම්පල් 20න් 17කම මෙතැන්පිටමින් නොහොත් අයිස් ඇති බවයි.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද පසුව එහි පැමිණ ස්ථාන දෙකෙන්ම සාම්පල් ගෙන විද්‍යාගාර පරීක්ෂාවක් සිදු කර ඇත. පසුගිය 15 වැනිදා දාතමින්, වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකර ඇත්තේ එම වාර්තාවයි. ඊට අනුව මේ ස්ථාන දෙකේ මෙතැන්පිටමින් මෙන්ම ටැල්ක් පාෂාණය ද තිබෙන බව සඳහන්ය.
මේ සැකකටයුතු කන්ටේනර් දෙක ඉරානයෙන් මෙරටට එවා තිබුණේ ද ඒ තුළ ටැල්ක් පාෂාණය ඇතැයි සඳහන් කරමිනි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මෙන්ම රේගුව ද මේ කන්ටේනර් දෙක පරීක්ෂා කර මුදා හරින්නේ එහි ටැල්ක් පාෂාණය ඇති බවත්, වෙනත් කිසිවක් නොමැති බව තහවුරු කිරීමකින් බව සඳහන්ය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම රේගුව ද ඔවුහු සතු මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණවලින් සාම්පල් පරීක්ෂාවක් සිදු කළ බව සඳහන් කරති. එහිදී ඒ තුළ මත්ද්‍රව්‍ය කිසිවක් ඇතැයි තහවුරු නොවීම සහ එම කන්ටේනර් දෙක නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ පරීක්ෂණයක් මේ වන ආරම්භ කර ඇත. ඒ අතර මිද්දෙණියේ ස්ථාන දෙකකදී හමු වූ මේ සුදු පැහැති කුඩු සහ කැට සම්බන්ධයෙන් විමර්ශන භාරදී ඇත්තේ ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටයි. රස පරීක්ෂක වාර්තාවට අනුව අයිස් සහ ටැල්ක් හැරුණුකොට මේ තුළ වෙනත් කිසිදු ද්‍රව්‍යක් අඩංගු බව සඳහන්ව නැත. මෙතැන්පිටමින් නොහොත් අයිස් යනු අවසන් නිෂ්පාදනයකි. රසායනික සංයෝජනයක් මඟින් මෙතැන්පිටමින් නොහොත් අයිස් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරති.
කඳානෙන් ද මෙවැනිම සුදු පැහැති කුඩු සහ කැට පොලීසිය සොයා ගත්තේය. එම කැට සහ කුඩුවල සාම්පල් ද රජයේ රස පරීක්ෂක වෙත යොමුකර ඇත. එහි වාර්තා මෙතෙක් නොලැබුණු බව පොලීසිය සඳහන් කරයි.
ඉරානයේ සිට රැගෙන ආ කන්ටේනර් දෙකේ සුදු පැහැති කුඩු සහ කැට තිබී ඇත්තේ විශාල උරවලය. උර 20 බැඟින් කන්ටේනර් දෙකේ උර 40ක් තිබී ඇති බව සඳහන්ය.
එම උරවලින් 06ක් ට්‍රක් රථයක පටවා නුවරඑළියට රැගෙන ගිය බවත්, පසුව එම සුදු ද්‍රව්‍ය නුවරඑළියේ සිට කඳානේ නිවෙසකට පසුගිය අගෝස්තු මාසයේදී රැගෙන ආ බවත් අනාවරණය වී ඇත. කඳානේ නිවෙස අගෝස්තු මාසයේදී මට්ටක්කුලියේ පදිංචි පුද්ගලයෙක් විසින් කුලියට ගෙන සිය බිරිය හා දරුවා සමඟ පදිංචිව සිට සැප්තැම්බර් 05 වැනිදා නිවෙස් හිමියාට යතුර භාරදී අතුරුදන්ව ඇත්තේ සුදු පැහැති කැට ගෙමිදුලේ මල් පාත්ති තුළ දමාය. ඒ අතර සුදු පැහැති කුඩු අසල වෙල්යායක දමා තිබී ඇත. මේ ස්ථානය ගැන තොරතුරු අනාවරණය කරගන්නේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසිනි. ඒ, ඉන්දුනීසියාවෙන් අල්ලාගෙන පැමිණි සැකකරුවෙක් වන පානදුරේ නිලංග නමැත්තාගේ ගෝලයකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් හමුවේදීය. එම සැකකරුගෙන් හෙළිවූ තොරතුරු මත කෙරුණු දීර්ඝ විමර්ශනයකදී තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් හම්බන්තොට නිවෙසක් පරීක්ෂා කර අයිස් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා බව සඳහන් රසායනික ද්‍රව්‍යක් පුරවන ලද බූලි 06ක් සහ භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබිණි. එම ස්ථානයේ මිද්දෙණියෙන් හමු වූ සුදු පැහැති කුඩු සහ කැට හමු වී නොතිබිණි. එහෙත් අයිස් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ එහි තිබී සොයාගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පවසා තිබුණේ එම නිවෙසේ අයිස් නිෂ්පාදනය කළ බවයි. එම අයිස් අලෙවි කළ බව ද පවසා ඇත. ඒ සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කරයි.
ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ










