ඔන්ලයින් ණය ලබාදෙන ආයතන එම ණය වාරික ගෙවීම පැහැර හැරි පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඔවුන් පීඩාවට පත්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වීමත් සමඟ පොලිසිය ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළා. Sri Lanka Latest News
විශේෂයෙන් පසුගියදා (11) විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ අනාවරණය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ වේගවත් වීමට හේතු වී තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ 300ක් තරම් ගිණි පොලියක් අයකරමින් මෙම ණය මාෆියාව ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි. ආර්ථික පීඩනය දඩමීමා කරගනිමින් මෙවැනි ජාවාරම් හිස ඔසවමින් ඇති බව ද අවධාරණය කළ අතර, විපක්‍ෂ නායකවරයා පෙන්වා දී තිබුණේ ණය වාරික පැහැර හරින පුද්ගලයින්ගේ තොරතුරු සමාජ මාධ්‍ය තුළ පළකරන බවට ජාවාරම්කරුවන් භිතියක් ඇතිකරමින් ජනතාව තලා පෙලා දමන තත්ත්වයක් නිර්මාණය වි ඇති බවයි.
එමෙන්ම එවැනි පුද්ගලයින්ගෙන් ණය ලබාගත් සියලු දෙනාගෙන් විපක්‍ෂ නායකවරයා ඉල්ලා සිටියේ එම ණයදීමේ ක්‍රියාවලිය නීතිවිරෝධී වන බැවින්, ඒවා ගෙවීමටද කටයුතු නොකරන ලෙසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලිවලට අනුව විමර්ශන සිදුකළ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඊට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර චීන ජාතික කාන්තාවන් තිදෙනෙකු ඇතුළු චීන ජාතිකයන් පස්දෙනෙකු සිටින බවයි අනාවරණ වන්නේ.
ඔන්ලයින් හරහා ණය ලබාදෙන Star VIP Loan නම් ආයතනය මගින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති ප්‍රචාරක දැන්වීම් රැසක් මේ දිනවල දැකගත හැකයි. එම ණය ගෙවීම පැහැර හැරියහොත් ඔවුන්ට සිය පෞද්ගලික තොරතුරු සමාජගත කරන බවට තර්ජනය කරන ආකාරයේ සිදුවීම්ද පසුගිය කාලයේ දැකගන්නට ලැබුණා.
විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ ණය ලබාගැනීමට අයදුම්කිරීමේදී බාගත කිරීම සඳහා ලබාදෙන යෙදවුම මගින් ණය ලබාගන්නා පුද්ගලයාගේ දුරකථනය තුළ තිබෙන පෞද්ගලික දත්ත එකී ආයතනය විසින් රහසිගතව ලබාගන්නා බවයි.
අනතුරුව ණය ලබාදීම පැහැර හැරියහොත් ණයකරුවන් පිළිබඳව අපහාසාත්මක තොරතුරු සමාජගත කරන බවටද තර්ජනය කිරීම ඔවුන්ගේ ක්‍රියාකලාපයයි. පසුව සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වී තිබුණේ දෙහිවල ප්‍රදේශයේ ස්ථානයක සිට එම ණය ලබාදෙන ආයතනය පවත්වාගෙන යන බවයි.
ඊයේ පස්වරුවේ අදාළ ස්ථානය වටලා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා. එමෙන්ම අදාළ ස්ථානයේ පවත්වාගෙන ගිය පරිගණක දත්ත ගබඩාවක ණයකරුවන්ගේ දත්ත ගබඩාකර ඇති ආකාරයද විමර්ශන නිලධාරීන් විසින් අනාවරණ කරගෙන තිබෙනවා. චීන ජාතිකයන් පිරිස ලාංකික භාෂා පරිවර්තකයෙකුද මේ සඳහා යොදාගෙන තිබෙනවා.
සජිත් මේ ගැන නම්ගම් තැන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය!
බංකොලොත් රටේ විවිධ විදේශීය කූඨ ව්‍යාපාරිකයන් විදේශයේ සිට සහ ලංකාවට පැමිණ මාර්ගගත ණය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ගිණි පොළියක් අය කර සිටින බවත් මෙහි දී ඇපය ලෙස පුද්ගලයන්ගේ ඡායාරූප, පවුලේ ඡායාරූප ලබා ගන්නා බවත් දවසක් හෝ දෙකක් ණය නොගෙවන්නේ නම් සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන තර්ජනය සහ අපහාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා දැනුවත් කළ අවස්ථාවේ නෛතික ගැටලුවක් පවතින නිසා මෙවැනි දේ සිදුවන බව පැවසූ බවත් ඒ අවස්ථාවේදී මහබැංකු අධිපතිවරයා පැය 2ක පමණ කාලයක් මෙම ණය උගුලට හිරවූ පුද්ගලයන් සමඟ සාකච්ඡා කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එබැවින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර මෙම ණය මෝරුන් සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් මොවුන් සියයට 300ක පොළියක් අය කර සිටින බවත් ණය ගෙවීම දවසක් හෝ පමා වුවහොත් දුරකතනයෙන් තර්ජනය කිරීම මෙන්ම පවුලේ ඡායාරූප අසභ්‍ය රූප සමඟ සංස්කරණය කර සමාජ මාධ්‍ය හරහා අපහාස කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අනාවරණය කළේය.
නව නීති ගෙන ඒමේදී මෙවැනි කූඨ ව්‍යාපාර සිදු කර ගෙන යාම වළක්වාලමින් කටයුතු කරන ලෙසත් මොවුන් මෙරටට පැමිණි වීසා කොන්දේසි සොයා බලා වැරදි ආකාරයට සිටි නම් රටින් පිටුවහල් කරන ලෙසත් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙවැනි කූඨ ව්‍යාපාරවලින් ණය ගත් පුද්ගලයන් එම ණය නොගෙවන ලෙසත් ඉල්ලා සිටින බවත් පැවසීය.










