විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සම්බන්ධයෙන් මේ දිනවල විවිධ ආන්දෝලනාත්මක පුවත් පළවෙමින් තිබේ. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පත්කරනු ලැබූ සෙනෙවිරත්න මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කලක් කටයුතු කළ අතර, පසුගිය සමයේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධමය සිද්ධීන් රැසක් විමර්ශනය කිරීමටද නායකත්වය දී තිබේ. පහත පළවන්නේ රවී සෙනෙවිරත්න මහතා සමග මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිදුකළ සම්මුඛ සාකච්ඡාවකි. (Sri Lanka Latest News)
රවී සෙනෙවිරත්න කියන්නේ කවුද කියලා අපේ රටේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඔබ පොලිස් සේවයට එක්වීමේ සිට විශ්‍රාම යනතුරු පොලිස් ජීවිතය ගැන අපි මුලින්ම කතා කරමු?
මම පොලිසියට බැඳුණේ 1982 ජූලි මාසේ 26 වැනිදා. පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 30 දෙනෙක් බඳවා ගත්තා. මම ඒ කණ්ඩායමට ඇතුළත් වුණා. මූලික පුහුණුවෙන් පස්සේ මම ගාල්ල කොට්ඨාසයේ ආධුනික නිලධාරියෙක් විදියට ස්ථාන මාරුවීම් ලබලා සේවය කළා. ඒ අතරතුර විශේෂ කාර්ය බළකාය පිහිටුවලා ඒකට විදේශීය උපදේශකයන් ගෙනල්ලා පුහුණුවට නිලධාරීන් කණ්ඩායමක් තෝරාගත්තා. ඒ විදේශිකයන් යටතේ පුහුණුව ලැබූ පළමු කණ්ඩායම ලෙස අපි ඇතුළත් වුණා. උපපොලිස් පරීක්ෂකවරුන් 48කුත්, පොලිස් සැරයන්වරුන් 12කුත්. ඒක තමයි බි්‍රත්‍යයන් විසින් පුහුණු කරපු පළමු කණ්ඩායම. ඒ පුහුණුවෙන් පස්සේ අපිව මඩකළපුව දිසත්‍රික්කයට අනුයුක්ත කළා. ඒ අනුව මඩකළපුව දිස්ත්‍රික්කය පුරාම විවිධ කඳවුරුවල අපි සේවය කළා ඉන්දු- ලංකා ගිවිසුම වෙනකල්. ඊට පස්සේ මම 1997 වෙනකල් පොලිස් පරීක්ෂකවරයෙක් විදියට, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් විදියට, සහකාර පොලිස් අධිකාරිවරයෙක් විදියට විශේෂ කාර්ය බළකායේ සේවය කළා.
1997 විශේෂ කාර්ය බළකායෙන් අයින් වෙලා රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත වුණා. එහි සේවය කරන ගමන් 2004, 2005, 2006 වර්ෂවල තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් ලෙස කටයුතු කළා. ඉන් අනතුරුව මම පොලිස් අධිකාරි ධුරයටත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයටත් උසස් වුණා. 2006 නොවැම්බර් මාසේ ඉඳන් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස සේවය කළා 2010 වෙනකල්. 2010 වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස මඩකළපුවට ගියා. එතැන නියෝජ්‍ය පොලිස්පති තනතුරේ ස්ථිර වුණා. ඊට පස්සේ නියෝජ්‍ය පොලිස්පති ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේවය කළා. 2012 සැප්තැම්බර් 22 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය ආරම්භ කළා. 2015 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස් වීම ලැබුවා. මට ස්ථාන මාරුවීමක් තිබුණා ඌව දිසාවේ රත්නපුර සහ බදුල්ල වෙත. පසුව එම ස්ථාන මාරුවීම අවලංගු වෙලා නැවතත් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස 2019 දෙසැම්බර් 31 වැනිදා දක්වා සේවය කළා.
ඔබතුමා ශානි අබේසේකරව මුලින්ම දැනගන්නේ කොහොමද? ඔහුත් සමග බැඳුණු ඔබතුමාගේ මතකයන් මොනවද?
ශානි අබේසේකර විශේෂ කාර්ය බළකායට බැඳුණා 1986දී වගේ. ඒ කාලේ අපි සේවය කළේ මඩකළපුවේ. ගමනාගමනය හුඟක් දුෂ්කරයි ඒ කාලේ. හැම වෙලාවෙම මඩකළපුවේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් බහුල නිසා අපි කොළඹට එන්න වුණාම ප්‍රධාන මාර්ගය අපි පාවිච්චි කළේ නෑ. ගුවන් මගින් අපිව හිඟුරක්ගොඩට ගෙනල්ලා දානවා. එවැනි අවස්ථාවක කල්ලඩි ගුවන් හමුදා කඳවුරේදී තමයි මට ප්‍රථම වතාවට ශානි අබේසේකර මහත්මයාව මුණගැහුණේ. ඔහු ඒ කාලේ ආධුනික උපපොලිස් පරීක්ෂකවරයෙක්.
ඊට පසු දෙවැනි ඊළාම් යුද්ධය අවස්ථාවේ 1990 ජුනි මාසේ අපි අම්පාර දිස්ත්‍රික්කයේ කඳවුරු කිහිපයක් පිහිටෙව්වා. මම අයත් වුණේ සංගමන් කන්ද කියන ප්‍රදේශයේ තිබුණු කඳවුරට. මම ඒ කඳවුර භාරව කටයුතු කරද්දී ශානි අබේසේකර මහත්මයා උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස එම කඳවුරේ මගේ යටතේ සේවය කළා.
සංගමන් කන්ද කඳවුරේ ශානි අබේසේකර ඔබත් සමග සේවය කරනවා. අනතුරුව 2012න් පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් ශානි අබේසේකර ඔබත් සමග වැඩකරනවා. ශානි අබේසේකර කොහොම නිලධාරියෙක්ද?
ඔහු මට ඉස්සෙල්ලාම හමුවුණේ 1986දී. එදා ඉඳන් ශානි එක වගේ චරිතයක්. වෙනස් වුණේ නෑ. පුද්ගලයෙක් වශයෙන් ගත්තම හරි අපූරු චරිතයක්. කියන්න තියෙන දේ ඕනෙම කෙනෙක්ගේ මූණටම කියනවා. විශේෂ කාර්ය බළකායේ ඉන්නකොට බොහොම දුෂ්කර රාජකාරියක් අපට කරන්න සිදුවුණේ. අපිට මූලික පහසුකම්වත් නොතිබුණු අවධියක තමයි ශානියි මමයි සංගමන් කඳවුරේ සේවය කළේ. විදුලි බලය නෑ, වතුර නෑ, නවාතැන් පහසුකම් එහෙම අඩුයි. ඒ තැන්වලදී ශානි බොහොම විනෝදයෙන් ඒ දුෂ්කරතාවන් විඳදරාගෙන හැමෝම එක්ක බොහොම ජනප්‍රිය චරිතයක් වෙලා හිටියා. හැන්දෑවට කට්ටිය අඬගහගෙන ඇවිල්ලා ශානි පාපන්දු ක්‍රීඩා කරනවා. ඒ වගේම මෙහෙයුම් රාජකාරිවලටත් බොහොම උනන්දුවෙන් ඔහු සහභාගි වුණා. ඒවා සාර්ථකව ඔහු ඉටුකළා. අපි හිටියේ බොහොම වනගත ප්‍රදේශයකට ආසන්න තැනක. දිනපතාම වගේ අපිට පහරදීම් සිදුවෙනවා. ඒ වගේම මෙහෙයුම්වලට යන්න සිදුවුණා. ශානි ඒ හැම දෙයක්ම උනන්දුවෙන් කළා. ඒ කාලේ ඔහු දක්ෂ විමර්ශකයෙක්ටත් වැඩිය හොඳ මෙහෙයුම් නිලධාරියෙක් බව තමයි අපට පෙනුණේ. මොකද ඔහු එළියට යන්න බය වුණේ නැහැ. පසුකාලීනව ශානි පොලිසියට ගියාම තමයි ශානිගේ ඒ දක්ෂතාවන් මතුවෙලා ආවේ.
ඔබතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති විදියට එද්දී ශානි අබේසේකර සහකාර පොලිස් අධිකාරිවරයෙක්. ඊට පස්සේ ඔබට ශානිව හමුවෙන්නේ විමර්ශකයෙක් විදියට. කොහොමද ශානි විමර්ශකයෙක් විදියට කටයුතු කළේ?
මම කියපු සමහර දේවල් කරන්න බෑ කියලා ඔහු ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඕක කළොත් ඉතින් මහඋළු ගෙදරට තමයි යන්න වෙන්නේ කියලා මටත් ඔහු කියලා තියෙනවා. සී.අයි.ඩී. එක ඇතුළේ ශානි අබේසේකර කියන චරිතයට කට්ටිය කියන්නේ බ්‍රේක් නැති, රිවස් ගියර් නැති, සිග්නල් නැති වාහනයක් කියලා. වාහනේ ස්ටාර්ට් කළොත් ඉදිරියට විතරයි යන්නේ. ඒක සී.අයි.ඩී. එකේ ඉන්න ශානිගේ සමකාලීන නිලධාරීන් කියන කතාවක්.
මේ කාලය තුළ ශානිත් එක්ක අමතක කරන්න බැරි සිදුවීමක් ඔබතුමාට තියෙනවද?
2013 වෙසක් පෝය දවසේ සිද්ධියක් මතකයි. එතකොට පොලිස්පති ලෙස හිටියේ එන්.කේ. ඉලංගකෝන් මහත්මයා. ඔහු මට කතාකරලා තිබුණා සංවේදී විමර්ශනයක් තියෙනවා, ඒකට පොලිස් නිලධාරීන් කීපදෙනකුත් සම්බන්ධයි. ඒ නිසා සී.අයි.ඩී. එකෙන් පරීක්ෂණය පවත්වන්න ඕනේ, විශ්වාසවන්ත නිලධාරියෙක් මේකට දාන්න කියලා. ඒ වෙලාවේ එක වරම මගේ මතකයට ආවේ ශානිව. මම පොලිස්පතිතුමාට කිව්වා එහෙනම් සර් මේ වැඩේ ශානි අබේසේකරට භාරදෙමු කියලා. එතුමා කිව්වා එහෙම නම් ශානිවත් එක්ක අද හවස පොලිස්පති නිල නිවසට එන්න කියලා. මම ශානිට කතාකරලා කාරණාව කෙටියෙන් පැහැදිලි කරලා කිව්වා. සිද්ධිය තමයි ෂියාම් ඝාතනය. ඒ වෙද්දී ඒ අපරාධය ගැන තොරතුරු ටිකක් හෙළිදරව් වෙලා තිබුණේ. මම ශානිට ඔය වැඩේ භාරදෙනකොටම ශානි කිව්වා ‘අනේ සර් පින් සිද්ධ වෙයි, මට ඕකට නම් අඩයක් වෙන්න බෑ’ කියලා. ඒ වෙලාවේ මම කිව්වා ‘ශානි මේක පොලිස්පතිතුමා කතාකරලා කිව්වේ. ඒ වෙලාවේ මම ඔයාගේ නම යෝජනා කළා. පොලිස්පතිතුමත් ඒකට කැමැති වුණා. දැන් මාත් එක්ක පොලිස්පතිතුමාව මුණගැහෙන්න යන්න එන්න. හැබැයි එතැනදී එහෙම ඔය කතාව කියන්න එපා’ කියලා මම ටිකක් සැරෙන් කිව්වා. මොකද මට හිතුණා ඒ කතාව ශානි පොලිස්පතිවරයා ඉදිරියේදිත් කියයි කියලා. ඒ පාර ශානි මොකුත් කිව්වේ නෑ. හැබැයි ඔහු කිව්වා ‘ඕක නම් ලෙඩක් සර්, මම දැන් පොලිසියේ ඉන්ක්වයරි කීපයක් කරලා තියෙනවා. ඒ හින්දා මේකත් මම කරන්න ගියොත් මට ප්‍රශ්නයක් වෙනවා’ කියලා.
කොහොම හරි ශානි අබේසේකරත් එක්ක පොලිස්පතිතුමා ළඟට ගියා. ඔහු ඒ විමර්ශනය අපිට භාරදුන්නා. ඒ විමර්ශනය භාර අරන් ශානි අබේසේකර ඉතාම හොඳින් ගොඩක් දුෂ්කරතා, බලපෑම්, තර්ජන මධ්‍යයේ ඒක කරලා එහි අපරාධකරුවන් සියලු දෙනාටම අධිකරණයෙන් දඬුවම් ලැබෙන තුරු අඛණ්ඩව කටයුතු කළා. ඒ අපරාධකරුවන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් නිලධාරීන් කීපදෙනෙක් හිටියා. දැන් මට හිතෙනවා එදා ශානි කිව්වා මේක අඩයක් වෙයි කියලා. එදා කිව්වා වගේම ඒක ශානිගේ ජීවිතයට ඉතා අහිතකර ලෙසින් බලපාපු විමර්ශනයක්. ඒ විමර්ශනයේ ප්‍රතිවිපාක ශානි කොච්චර දුරට දැරුවද කිව්වොත් අවසානයේ නිරපරාදේ චෝදනාවක් නැතුව ගොතන ලද සාක්ෂි මත ශානිට මාස 11ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න සිදුවුණා. ඒ වගේම ඒ මාස 11 ඉන්න අතරතුර ඔහුව විශ්‍රාම යැවීමටත් ඒගොල්ලෝ කටයුතු කළා. ඒ වගේ දරුණු පලිගැනීමකට ශානි මුහුණ දුන්නා ඒ සිද්ධිය නිසා. මට ඒ සිදුවීම කවදාවත් අමතක කරන්න බැහැ.
2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වුණා. ඊට කලින් 2015 ජනවාරි 08 වැනිදා ආණ්ඩුව මාරුවෙච්ච දවසේ ඉඳන් පාස්කු ප්‍රහාරය එල්ල වුණු අවස්ථාව දක්වාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සංවේදී විමර්ශන ගණනාවක් කළා. ඒ විමර්ශනවලට අදාළව දේශපාලනඥයන්ගෙන් කටඋත්තර ගත්තා. හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් පවා ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ විමර්ශනවලට මොකද වුණේ?
2015 ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ ඒගොල්ලෝ ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස යට ගිහින් තිබුණු, විමර්ශන නොකර තිබුණු යම් යම් අපරාධ පිළිබඳ පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළා. ඒවට සම්බන්ධ වෙච්ච සිවිල් සංවිධානත් තිබුණා. ඒ දිනවල අපරාධ පරීක්ෂණ
පාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරපු කණ්ඩායම ගැන මම ඉතාම ආඩම්බර වෙනවා. ඒගොල්ලෝ අපක්ෂපාතීව ඒ විමර්ශන කළා. ඒ වගේම එහෙම බලපෑම්වලට යට නොවී තමන්ගේ රාජකාරිය ඉටුකිරීමේ පරිසරයකුත් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ නිර්මාණය කරලා තිබුණා. ඒකට හුඟක්ම දායක වුණේ හිටපු පොලිස්පති ඉලංගකෝන් මහත්මයා. එතුමාගේ සහාය, ඍජු අධීක්ෂණය යටතේ හොඳ පරිසරයක් තිබුණා අපිට රාජකාරී කිරීම සඳහා. ඔබ සඳහන් කළ විදියට 2015 විශේෂ විමර්ශන කිහිපයක් අපට භාරදුන්නා. ලසන්ත ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම, පෝද්දල ජයන්ත, එක්නැළිගොඩ, නාවික හමුදාවේ බුද්ධි නිලධාරීන් පිරිසකගේ මැදිහත්වීමෙන් සිදුකළ 11 දෙනාගේ ඝාතනය වැනි සිදුවීම් ගණනාවක් අපට භාරදුන්නා. එතකොට ශානි අබේසේකර සහකාර පොලිස් අධිකාරිවරයෙක්. එක්නැළිගොඩ ඝාතනය ශානි අබේසේකර විමර්ශනය කළා. ඒ වගේම මම කලින් සඳහන් කළ විමර්ශනවලින් කිහිපයක්ම ශානි අබේසේකර යටතට වැටුණා.
2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ශානි අබේසේකර සහ ඔබේ අධීක්ෂණය යටතේ පාස්කු ප්‍රහාර විමර්ශනය පටන්ගන්නවා. ශානි අබේසේකරට 2019 නෙවැම්බර් මාසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යන්න වුණේ එම විමර්ශනය නිසා කියලා ඔබ විශ්වාස කරනවද?
ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්ථාන මාරු කරන්න හේතු වුණේ ඒ විමර්ශන සියල්ල නිසා කියලයි මම හිතන්නේ. මොකද ඒ වෙනකොට ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා. ඔහුගේ යටතේ තමයි මේ විමර්ශන සියල්ල අධීක්ෂණය වුණේ. පාස්කු ප්‍රහාරයත් ඇතුළුව. ශානි අබේසේකර නිවැරැදිව ඒ නිලධාරීන්ව මෙහෙයෙව්වා. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ 2019 අප්‍රේල් 21 වැනිදා. ශානි අබේසේකර ස්ථාන මාරු කළේ 2019 නොවැම්බර් 21 වැනිදා. මාස 7කට විතර පස්සේ. ඒ මාස 7 ඇතුළත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනා අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන රඳවා ගැනීම් නියෝග අරගෙන විමර්ශන කළා. මම හිතන විදියට ඒ වෙනකොට ශානි අබේසේකර විමර්ශන ගොනු සකස් කරමින් හිටියේ නීතිපති වෙත යවන්න. ඒ විමර්ශනය සාර්ථකව ඔහු සිදුකළා. මම හිතන්නේ පාස්කු ප්‍රහාරයට අමතරව ලසන්ත ඝාතනය, කීත් නොයාර්ට පහරදීම, පෝද්දල ජයන්ත පැහැරගෙන යෑම, එක්නැළිගොඩ අතුරුදන් කිරීම වගේ සිදුවීම්වල විමර්ශන සම්බන්ධයෙන් විවිධ තලවල පුද්ගලයන් ගෙනල්ලා ප්‍රශ්න කළා. සමහරු සැකකරුවන් වුණා. දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් ඒ අතර හිටියා. ඒ නිසා ශානි අබේසේකර කළ දේ නිවැරැදියි. ඒ නිසා ශානි අබේසේකරට විරුද්ධව ලොකු බලවේගයක් නිර්මාණය වුණා. ශානි අබේසේකර කියන්නේ රණවිරුවෝ දඩයම් කරන්නෙක් කියලා මතවාදයක් මාධ්‍යයෙන් පවා ඇතිකළා. නමුත් මම හොඳින්ම දන්න දෙයක් තමයි ශානි තීරණයක් ගන්නේ ඔහුට ඉදිරිපත් වෙන කරුණු මත කියන එක. එහෙම නැතුව කාවවත් ඉලක්ක කරගෙන ශානි අබේසේකර කවදාවත් විමර්ශන කළේ නෑ. ඒ නිසා ඔය විමර්ශන සියල්ලම හේතු වුණා ශානි අබේසේකර ස්ථාන මාරුකරලා යවන්න. ඒකට හේතුවකුත් තියෙනවා. පැහැදිලියිනේ ඒක. ඒ රජය බලයට පත්වෙලා කරපු පළමු රාජකාරිය තමයි ශානි අබේසේකරව ස්ථාන මාරු කරපු එක. රජය ක්‍රියා කරන්න ඕනේ එහෙමද?
ශානි අබේසේකර සී.අයි.ඩී. එකෙන් ඉවත් කරද්දී ඔබ සී.අයි.ඩී. එක භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. ශානිව තියාගන්න ඔබ මොනවත් කළේ නැද්ද?
මම ඒකට කෙටියෙන් උත්තරයක් දෙන්නම්. මට දැනගන්න ලැබුණු ගමන් මම පොලිස්පතිතුමාට කතා කළා. එතකොට පොලිස් කොමිසමක් තිබුණානේ. පොලිස් කොමිසමෙන් තමයි නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් කරන්න ඕනේ. පොලිස් කොමිසමට නිකන්ම කාවවත් ස්ථාන මාරු කරන්න බෑ. පොලිස් කොමිසමට කොහෙන් හරි ලිපියක් මගින් නිර්දේශයක් යවන්න ඕනේ මේ නිලධාරියාට මේ ස්ථාන මාරුවීම දෙන්න ඕනේ මෙන්න මේ හේතූන් මත කියලා. එතකොට ශානි අබේසේකර භාරව හිටපු නිලධාරියා මම. මගෙන් කිසිම නිර්දේශයක් පොලිස්පතිවරයාට ගියේ නෑ ශානි අබේසේකරව ස්ථාන මාරුකරන්න කියලා. නමුත් ස්ථාන මාරුවක් ඇවිල්ලා. වැඩබලන පොලිස්පතිවරයෙක් එතකොට හිටියා. මම ඇහුවා සර් ඇයි මේ ශානිව එකපාරම ට්‍රාන්සර් කරන්නේ කියලා. ඔහු හිනාවෙලා කිව්වා ‘රවී, ශානි යනවා තිලකරත්න එනවා’ කියලා. පොලිස්පතිතුමත් අසරණයි ඒ වෙලාවේ. මට තේරුණා කිසියම් බලපෑමක් ඇවිල්ලා තමයි ශානි අබේසේකර ගියේ කියලා. තිලකරත්න කියන නිලධාරියාව මම දන්නවා. ඔහු එතකොට ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරලා හිටපු නිලධාරියෙක්. මට එතැනින්ම පණිවුඩයක් ලැබෙනවා ශානි අබේසේකරව මෙතැන තියන්න රජය කැමැති නෑ කියලා. ඔවුන් දන්නා නිලධාරියෙක් එතැනට පත්කරන්න ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තිබුණා.
2020 මහ මැතිවරණයට දවස් 5කට කලින් ශානි අබේසේකරව අත්අඩංගුවට ගන්නවා. ඔහුව අත්අඩංගුවට ගත්තා කියලා ඔබ කොහොමද දැනගත්තේ? ඒ වෙලාවේ ඔබට මොනවද දැනුණේ?
ඒ වෙලාවේ මම පෞද්ගලික රැකියාවක නිරත වෙලා මගේ කාර්යාලයේ මම හිටියේ. මාධ්‍යවේදියෙක් තමයි මට දැනුම් දුන්නේ මේ සිදුවීම. මම ඒ වෙලාවේ ශානි අබේසේකරගේ ගෙදරට දුරකතනයෙන් කතා කළා. නමුත් දුරකතනයට කවුරුවත් පිළිතුරු දුන්නේ නැහැ. ඊට පස්සේ මම දන්න නිලධාරීන් කිහිප දෙනකුට කතා කළා. ඔවුන්ගෙනුත් තොරතුරක් ලැබුණේ නෑ. පස්සේ මම පොලිස්පතිතුමාට කතා කළා, නමුත් ඔහුත් ඒක දැනගෙන හිටියේ නෑ ඒ වෙලාවේ. ඊට පස්සේ මම පොලිස්පතිතුමාගේ පුද්ගලික සහකාර ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති සාගර කීර්තිපාල මහත්මයාට කතා කරලා කිව්වා ශානි අබේසේකරව අත්අඩංගුවට ගත්තා කියලා ආරංචියක් තියෙනවා. මේ ගැන මට හොයලා කියන්න කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් කීර්තිපාල මහත්මයා මට කතාකරලා කිව්වා ශානි අබේසේකරව අත්අඩංගුවට අරගෙන තියෙනවා, තව ටිකකින් ඔහුව සී.සී.ඩී. එකට ගේනවා කියලා. මට පැහැදිලිවම තේරුණා 2019 නොවැම්බර් 21 වැනිදා ආරම්භ වෙච්ච පලිගැනීමේ ක්‍රියාදාමයේ තවත් එක් පියවරක් තමයි මේ සිදුවුණේ කියලා. මොකද ඒ වෙනකොට ඔහු ස්ථාන මාරුකරලා තිබුණේ. ස්ථාන මාරු කරලා විතරක් නෙවෙයි, ඔහුගේ වැඩ තහනම් කරලා තිබුණේ. ඒ වැඩ තහනම් කිරීමේ හේතුව රන්ජන් රාමනායකත් එක්ක තිබුණු හඬපටය. අද වෙනතුරු ඒ ගැන කිසිදු විමර්ශනයක් කරලා නෑ. ඉතින් ඒකත් නීති විරෝධී ක්‍රියාවක්නේ.
මම හඳුනන නීතිඥයෙක් තමයි උපුල් කුමරප්පෙරුම මහත්මයා. මම එතුමාට කතාකරලා එතුමාගේ කාර්යාලයට ගිහින් තමයි අපි ඉතිරි වැඩ ටික සැලසුම් කළේ.
ශානි අබේසේකර අත්අඩංගුවට ගත්ත අවස්ථාවේ සිට ඔහුට ඇප ලැබෙනතුරු නීතිඥවරු මුණගැහෙන්න ගියේ සහ අධිකරණයට ගියේ ඔබ. ශානිගේ ප්‍රශ්නයේදී නීතිඥවරුන්ගේ මැදිහත් වීම කොහොමද?
අපි ඉස්සෙල්ලාම කතා කළේ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහත්මයාට. ඊට පස්සේ නීතිඥවරු ඉදිරිපත් වුණා. සමහර ප්‍රසිද්ධ නීතිඥවරු ගාවට අපි ගියාම ඒගොල්ලෝ ශානි වෙනුවෙන් ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළා. මම ඔවුන්ගේ නම් කියන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. උපුල් කුමරප්පෙරුම, ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර කියන මහත්වරු. වසන්ත බණ්ඩාර නවරත්න මහත්මයා තමයි ශානි වෙනුවෙන් මහෙස්ත්‍රාත්වරයාගේ කාමරයට ගිහිල්ලා කරුණු දැක්වීම කළේ. අපි ඔක්කොම මහපාරේ හිටියේ ඒ වෙලාවේ. ඔහුගේ කරුණු දැක්වීම කොච්චර වේගවත්ව කළාද කියනවා නම් අපිට ඒක මහපාරට ඇහුණා පැහැදිලිවම. ඒ වගේම ශාන්ත ජයවර්ධන මහත්මයා, විරාන් කොරයා මහත්මයා, චමින්ද අතුකෝරළ මහත්මයා, මංජුල බාලසූරිය මහත්මයා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා ඇතුළු සියලු දෙනාම කණ්ඩායමක් විදියට එකතු වෙලා ගාස්තුවක් අයකරන්නේ නැතුව ශානි වෙනුවෙන් පෙනීසිටියා. ඒ අයගේ කැපකිරීම මට වචනවලින් විස්තර කරන්න බෑ. ඒ වගේම ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහත්මයත් ශානි අබේසේකර වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියා.
මම ඒ වෙලාවේ වෙච්ච එක සිද්ධියක් කියන්නම්. මහාධිකරණයෙන් ශානිගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප වෙනවා. ඒ වෙලාවේ මම උසාවියේ හිටියේ. වසන්ත නවරත්න බණ්ඩාර මහත්මයා කිව්වා බේල් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් කළා කියලා. පවුලේ අය ඉතා කම්පනයට පත්වෙලා හිටියේ. අපි කිව්වා අභියාචනාධිකරණයට යමු කියලා. ඊට පස්සේ අභියාචනාධිකරණයට අපි වෙන නීතිඥ මහත්මයෙක් යොමුකරන්න තීරණය කළා. ඒ සඳහා නීතිඥවරයෙක් ලෙස යොදාගන්නේ කවුද කියන එක ගැන අපි කතාකරද්දී ජනාධිපති නීතිඥ වැලිඅමුණ මහත්මයා මට යෝජනා කළා විරාන් කොරයා මහත්මයාව හමුවෙන්න කියලා. විරාන්ට මේ නඩුව භාරදෙන්න කියලා. ඒපාර ශානි අබේසේකරගේ බිරිඳයි, මමයි, ශානි අබේසේකරගේ ඥාති පුත්‍රයෙකුයි ගිහින් විරාන් කොරයා මහත්මයාට ඒ ලිපිගොනුව සහ නඩුව භාරදුන්නා. මම විරාන් කොරයා මහත්මයාගෙන් ඇහුවා ඔබතුමාගේ ගාස්තු කොච්චරද කියලා. එතුමා හිනාවෙලා මට පොඩ්ඩක් ඉන්න කියලා ගිහින් ලියුම් කවරයක් අරගෙන ඇවිත් මගේ අතට දුන්නා. දීලා කිව්වා මට මුදල් අවශ්‍ය නෑ, මම මේ නඩුව භාරගත්තේ වෙන අරමුණකින්. ඔයා කරුණාකරලා මේක ගිහිල්ලා ශානිගේ වයිෆ්ට දෙන්න කියලා. එතකොටත් ශානි අබේසේකර මහත්මයාගේ බිරිඳ දොර ළඟ ඉන්නවා. මම ඒ වෙලාවෙම ඒක එතුමියට දුන්නා. ඒක බොහොම සංවේදී අවස්ථාවක්. අපි හැමෝගෙම ඇස්වලට කඳුළු ඉනුවා. අපි මුණගැහෙන්න ගිය නීතිඥ මහත්මයා ගෙදර වියදමට අපට සල්ලි දෙනවා. ඉතින් ඒ වගේ පිරිසක් හිටියේ.
ඒ නඩුවේ ඉන්ස්ට්‍රක්ෂන් ඇටර්නි විදියට කටයුතු කළේ ගෞරී තංගරාජා මහත්මිය. මම ඇයට දුරකතනයෙන් කතා කළේ. කතාකරලා කිව්වා මෙහෙම දෙයක් තියෙනවා, මේක ඔබතුමිය ඉන්ස්ට්‍රක්ෂන් ඇටර්නි විදියට කටයුතු කරන්න කියලා. ඒ වෙලාවේ එතුමිය ඒක ඉතාම සතුටින් භාර අරගත්තා. ඇයත් කිසිම ගාස්තුවක් ගත්තේ නෑ. අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකරනකොට ඡායා පිටපත් ගාස්තුව සඳහා විශාල මුදලක් අපිට ගෙවන්න සිදුවෙනවා. ගෞරී තංගරාජා මහත්මිය ඒ ඡායා පිටපත් ගාස්තුවත් ඇයගේ මුදලින් තමයි ගෙව්වේ. එවැනි සුන්දර මිනිස්සු පිරිසක් තමයි ශානි අබේසේකරගේ නීතිඥවරු විදියට කටයුතු කළේ.
ශානි අබේසේකර අත්අඩංගුවට ගත්තට පස්සේ පොලිස් නිලධාරීන්ගේ සහ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ කාර්යභාරය මොන විදියටද සිදුවුණේ?
පොලිස් නිලධාරීන් නම් ඒ වෙලාවේ කතාකරන්නත් බයයි. ශානි උසාවි දාන වෙලාවේ පොලිස් නිලධාරියෙක්ට හිටියේ මම විතරයි. විශ්‍රාමික පොලිස් අධිකාරී සී.ඒ. ගුණවර්ධන මහත්මයත් හිටියා වගේ මට මතකයක් තියෙනවා. වෙන කවුරුවත් හිටියේ නෑ. පොලිස් නිලධාරීන් ඒ ගැන කතාකරන්නත් බය වුණා. නමුත් විශේෂ නම් කිහිපයක් තියෙනවා සඳහන් කරන්න ඕනේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටැචී සෙනෙවිරත්න, උපාලි සෙනෙවිරත්න, රොහාන් අබේවර්ධන, ගයා පැටිකිරිකෝරාල, ක්‍රිෂ් ඔබේසේකර, ඇන්ටන් ජෙගනාදන් වගේ නිලධාරීන් ගණනාවක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මට කතාකරලා, ශානි අබේසේකර වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වුණා. ඒ අයගේ උනන්දුව කොච්චරද කියනවා නම් පැටිකිරිකෝරාල මහත්තයට, ටැචී සෙනෙවිරත්න මහත්මයට ඇවිදින්නත් අමාරුයි එතකොට. ඒ දෙන්නව ශානි අබේසේකර හිටපු උඩු මහලට තව දෙන්නෙක් විසින් වත්තන් කරගෙන ගියේ.
යම් කෙනෙක් දේශපාලනය කරන එක වරදක් නෙවෙයි. නමුත් ඔබ සහ ශානි අබේසේකර ස්වාධීන නිලධාරීන් ලෙස ප්‍රසිද්ධ නිලධාරීන් දෙන්නෙක්.
ජනාධිපතිවරණ සමයේදී ශානි සහ ඔබ සම්බන්ධ වුණා මාලිමාවේ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සාමූහිකය නිර්මාණය කිරීමේදී. ඒක ඔබේ ස්වාධීනත්වයට බාධාවක් වුණා කියලා හිතන්නේ නැද්ද?
අපි තවදුරටත් රාජ්‍ය සේවයේ තනතුරු දරන අය නෙවෙයි. අපි දැන් සාමාන්‍ය පුරවැසියෝ. සාමාන්‍ය පුරවැසියට තියෙන අයිතිය අපිටත් තියෙනවා. අපි ඒ අයිතිය ක්‍රියාත්මක කිරීම වරදක්ද? දැනට වසර දෙකකට විතර කලින් ඉඳලම මාලිමාවේ නායකයන් මාත් එක්ක කතාකරලා තියෙනවා. අවශ්‍ය නීති උපදෙස් එහෙම ලබාගෙන තියෙනවා. ඒගොල්ලෝ තමයි මගෙන් මේ ඉල්ලීම කළේ. මම ඒක එකපාරටම භාරගත්තේ නෑ. ඔවුන් එක්ක සාකච්ඡා කළා. අපේ අදහස් හුවමාරු කරගත්තා. ඒ අයගේ සැලසුම් ගැන කතා කළා.
අද අපේ රට වැටිලා තියෙන තත්ත්වය බලන්න. ආර්ථික, සමාජීය වශයෙන් අපි ගොඩක් පහළට වැටිලා තියෙන්නේ. ඒකට හේතුව මොකක්ද? අපි විශාල වශයෙන් ණය අරගෙන ආයෝජන කළා. නමුත් ඒ අයෝජනවලින් ප්‍රතිලාභ ලබන්න අපි අපොහොසත් වෙලා තියෙනවා. ඒ නිසා රටේ ණය බර කර වටටම ඇවිත්. ඒකට මූලික හේතුව මොකක්ද? රාජ්‍ය සේවයේ තියෙන දූෂණය සහ වංචාව තමයි හේතුව. නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල කාර්යභාරය ඉටු වෙනවද? රජයක් හැටියට ඒ විමර්ශන ඉටු කරන්න හිටපු රජයන් කටයුතු කළාද? හරියට ඔවුන් කටයුතු කළා නම් මේ අපරාධ, වංචා කරපු අය අද දඬුවම් විඳින්න ඕනේ. නමුත් කවුරුවත් දඬුවම් විඳින්නේ නෑනේ. ඉතින් එවැනි වාතාවරණයක් උඩ අපි කල්පනා කළා මේ ක්‍රියාදාමය වෙනස් කරන්න පුළුවන් මොන ව්‍යාපාරයටද? කොයි නායකයටද කියන එක. එතැනදී අපිට ජාතික ජන බලවේගය ගැන විශ්වාසයක් තියෙනවා. ඒකේ නායකයා ගැන විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපි ඒ තීරණයට එකඟ වෙලා අපි පොලිස් බළකායක් නෙවෙයි හැදුවේ. අපි කිසිම නීති විරෝධී කටයුත්තකට සහභාගි වෙන කණ්ඩායමක් නෙවෙයි. අපි නීත්‍යනුකූල කණ්ඩායමක්. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන කණ්ඩායමක් ලෙස අපි මේ කටයුත්තේදී මාලිමාවට සහාය දෙන්න තීරණය කළා.
ඉදිරි මහ මැතිවරණයෙන් පස්සේ ඔබ සහ ශානි අබේසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට පත්වෙයි කියලා බොහෝ දෙනෙක් කියනවා. මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ?
අපි මෙතැනදී සිදුකරන්නේ පුරවැසියන් විදියට අපේ යුතුකම. එහෙම නැතුව අපි පෞද්ගලික ඉල්ලීම්, න්‍යායපත්‍ර කිසිවක් ඉල්ලලා නෑ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබතුමාලා විමර්ශන කළා. ඒ විමර්ශනවලට අනුව සැකකරුවන් අත්අඩංගුවට අරගෙන මේ වෙද්දී නඩු පවරලා තියෙනවා. හැබැයි ආණ්ඩු මාරු වුණාට පස්සේ ඔබව සහ ශානි අබේසේකරව කොටු කරන්න කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ‘බී’ වාර්තාවක් ඉදිරිපත් කළා. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් දැම්මා. ඒකත් එක්කම ආපු චෝදනාවක් තමයි පාස්කු ප්‍රහාරය එල්ල වුණේ ඔබ සහ ශානි ඒක වළක්වන්න කටයුතු නොකළ හින්දා කියලා. මෑත කාලයේ පාලිත සිරිවර්ධන වගේ අයත් චෝදනා කරන්න ගත්තා ඔබට සහ ශානිට එරෙහිව. 2019 අප්‍රේල් 09 වැනිදා නිලන්ත ජයවර්ධන එවපු ලියුමට ඔබ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩ හැරියා කියලා ඔවුන් චෝදනා කළා. මේ චෝදනාවලට දෙන්න තියෙන පිළිතුර මොකක්ද?
කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ ‘බී’ වාර්තාවක් දාලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. මමත්, ශානි අබේසේකරත් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා. ඒ නිසා ඒ ගැන සඳහන් කරන්නේ නෑ.
අප්‍රේල් 08 වැනිදා මම ප්‍රංශයේ ලියොන් නගරයේ ජාත්‍යන්තර පොලිස් සංවිධානයේ රැස්වීමකට ගියා. මම නැවත ආවේ අප්‍රේල් 13 වැනිදා රාත්‍රියේ. 14 සහ 15 සිංහල අවුරුද්ද. මම ආයෙත් කාර්යාලයට ආවේ අප්‍රේල් 16 වැනිදා. පාස්කු විමර්ශනය පිළිබඳ මලල්ගොඩ කොමිසම, පාර්ලිමේන්තු තේරීම් කාරකසභාව, පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඔය ගැන කරුණු විමර්ශන කළා. ඒ හැම එකකින්ම තීරණ දීලා තියෙනවනේ. ඒ එකකින් අපිට චෝදනා එල්ල වෙලා නැහැනේ. ඒ නිසා මම ඒ ගැන ඔයිට වඩා පැහැදිලි කරන්න යන්නේ නෑ.
ඔබ අවුරුදු 40කට වැඩි කාලයක් පොලිසියේ සේවය කරලා විශ්‍රාම ගත්තා. එච්චර කාලයක් පොලිසියේ සේවය කරපු ඔබව රිය අනතුරක් සම්බන්ධයෙන් කියලා අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කළා. පොලිසියේ සේවයට බැඳුණු එක ගැන කනගාටුවක් තියෙනවද?
මම කවදාවත් පොලිසියේ සේවය කිරීමේ අපරාධයක් කියලා හිතන්නේ නෑ. මොකද මම පොලිසියට බැඳෙනවට මුලින්ම විරුද්ධ වුණේ මගේ මවුපියන්. ඒ දෙන්නම ගුරුවරු. ඒ අය බැලුවේ මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා වෙනත් ක්ෂේත්‍රයකට යොමුවෙයි කියලා. නමුත් මගේ කැමැත්තෙන් තමයි මම පොලිසියට බැඳුණේ. මම ගත්ත ඒ තීරණය ගැන මම අදත් සතුටු වෙනවා. මට හැකි පමණින් යම් සේවයක් රට වෙනුවෙන් මම සිදුකළා. ඒ නිසා කවදාවත් මගේ හිතේ කලකිරීමක් හෝ පසුතැවීමක් නෑ. නමුත් පළිගැනීම් වගේ දේවල් ගැනත් මම උපේක්ෂාසහගතවයි බලන්නේ. මට අගතියක් වෙච්ච හැම වෙලාවකම මම විසඳුමක් බලාපොරොත්තු වෙන්නේ අධිකරණයෙන්. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අධිකරණය ගැන.
ඔබතුමාලා මාලිමාවේ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සාමූහිකයේ වැඩසටහන පැවැත්තුවට පස්සේ හිටපු පොලිස්පතිවරයෙක් ප්‍රමුඛ කණ්ඩායමක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා ඔබතුමාලට චෝදනා කළා. ඒ සම්බන්ධයෙන් ඔබ මොකද හිතන්නේ?
මම ඒක දැක්කා. මට ඒ වෙලාවේ අපේ ජනවහරේ තියෙන කතාවක් මතක් වුණා. ඒ තමයි ‘බල්ලෝ බුරති – තවලම යති’ කියන එක.
ඒ මාධ්‍ය සාකච්ඡාවේදී ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නිලධාරියෙක් වුණු පාලිත සිරිවර්ධන මහත්මයා බරපතළ චෝදනාවක් කළා ඔබතුමාට. ඒ චෝදනාවට ඔබ උත්තර දෙන්න ඕනේ නැද්ද?
මම ඒකට උත්තර දෙන්න යන්නේ නෑ. මහේන්ද්‍ර පෙරේරා මහත්තයා චිත්‍රපටයක් කළා ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ කියලා. මට ඒක සිහිපත් වුණා.
ශානි අබේසේකර ලොකු පළිගැනීමකට ලක්වුණා. ඔහුගේ ඩී.අයි.ජී. ප්‍රමෝෂන් එක පවා නතර කරලා තියෙන්නේ. ශානි සම්බන්ධයෙන් අවසානයේ කරන්න තියෙන ඉල්ලීම මොකක්ද ඔබතුමාට?
ශානි සම්බන්ධයෙන් කරන පළිගැනීම් තවම නතර වෙලා නෑ. 2000 ජනවාරි 07 වැනිදා වෙනකොට ශානිගේ වැඩ තහනම් කළා. ඒ වෙද්දී ශානි අබේසේකර තමයි පොලිස් සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨතම පොලිස් අධිකාරිවරයා. ඔහුගේ ඊළඟ උසස් වීමට ඔහු සුදුසුකම් ලබලා හිටියේ. නමුත් ඔහු වැඩ තහනම් කිරීමෙන් උසස් වීම ලැබීම මඟහැරුණා. ඔහුව අත්අඩංගුවට පත්වීමෙන් පස්සේ ඒ කටයුතු තවත් ප්‍රමාද වුණා. දැන් ඔහු ඒ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වෙලා ඉන්නේ. ඔහුට චෝදනාවක් නෑ. හැබැයි ශානි තමන්ට වෙච්ච අසාධාරණය ගැන අධිකරණයේ නඩු ගණනාවක් පවරලා තියෙනවා. ඊට පස්සේ ශානි අබේසේකර තමන්ට කිසිම චෝදනාවක් නැති නිසා ඔහුට හිමි උසස්වීම දෙන්න කියලා ඉල්ලීමක් කරපුවාම, කියන්න කනගාටුයි විවිධ පාර්ශ්වවලින් ශානි අබේසේකරටත්, මේකෙන් පිටස්තරව ඉන්න මටත් බලකිරීම් එල්ල වුණා, ඔය නඩු ටික අයින් කරගන්න, එතකොට උසස්වීම ලැබෙයි කියලා. නමුත් ශානි අබේසේකර කොහෙත්ම කැමැති නෑ ඒ නඩු අයින් කරගන්න. මෑතකදී පොලිස් කොමිසමෙන් ලිපියක් ලැබිලා තියෙනවා ඔහුට ඔහුගේ උසස්වීම දීමට නොහැකියි කියලා. ඒකට හේතු ගණනාවක් දක්වලා තිබුණා. ඒකෙන් පේන්නේ ඔහුගෙන් පළිගැනීම තවමත් නතර වෙලා නෑ කියලයි.
MediaLK යූටියුබ් නාලිකාවෙනි










