ලංකාවේ දේශපාලනයට අදාළව දේශපාලකයන්ගේ ගෙවල් ගැන කතාබහට ලක්වුණු අවස්ථා අපි දන්නවා. පහුගිය කාලයේ එවැනි සිදුවීම් ගොඩක් වාර්තා වුණා. ඉන් එකක් තමයි එස්.බී. දිසානායකගේ හඟුරන්කෙත නිවෙස. මේ එස්.බී. දිසානායකගේ හඟුරන්කෙත නිවෙස ගැන විවිධ කතන්දර අපි දැක්කා, සමාජ මාධ්‍ය ඒ කාලේ තිබුණේ නැති වුණත් විවිධ තැන්වල කතාවෙන ආකාරය. ඒකෙ මාළු ටැංකිය ගැන, ඒකට උඩින් හෙලිකොප්ටර් යවලා ඒ ගැන හොයලා ඒ සම්බන්ධව විවිධ චෝදනා එල්ල කරමින් එස්.බී. ගොඩක් අභියෝගයට ලක්වෙච්ච අවස්ථාවක් තමයි ඔහුගේ නිවෙස. ඔහුගේ නිවෙස මහල් ගණනකින් යුක්ත, වහලවල් ගොඩක් තියෙන නිකන් අමුතු ගෙදරක්. මේකේ අමුතු මාළු ටැංකියක් තියෙනවා කියලා සමහර තැන්වල කියවුණා. එවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් මේ සම්බන්ධව හොයන්න ගත්තා, පරීක්ෂණ කරන්න ගත්තා.Sri Lanka Latest News
ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ කතරගම හදපු නිවස. මේ සම්බන්ධවත් විවිධ කතාබහවල් ඇති වෙන්න පටන් ගත්තා. ඒ ගැන ඇත්තටම අපිට පැහැදිලිව යමක් කියන්න බැහැ. මොකද හේතුව මේ සමහර නිවාස සම්බන්ධව ඇතිවෙච්ච කතාබහවල් මිසක එහෙම දේවල් ඔප්පු කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් කතරගම ගෝඨාභය රාජපක්ෂට අයිතියි කියලා කියන නිවෙස සම්බන්ධව බොහෝ දේවල් කියැවුණා. මේ දේපළ සම්බන්ධයෙන් මේකේ යතුර තියෙන්නේ කවුරු ගාවද? ඒ වගේම මේකේ විදුලි බිල්පත් ගෙවන්නේ ජී. රාජපක්ෂ කියලා කෙනෙක් කියලාත් අපි දැක්කා පහුගිය දවස්වල කතා වෙනවා. මේක කාමර 12කින් යුක්ත සුපිරි ගොඩනැගිල්ලක්. කොහොම වුණත් 2025 ඔක්තෝබර් මාසේ 13 වැනිදා තිස්සමහාරාම අධිකරණයේ නියෝගයක් මත මේ නිවස ඉඩම් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නිල වශයෙන් භාරදුන් බව තමයි අපිට මතක.
ඒ වගේම මෙහෙම කතාබහවල්වලට ලක්වෙච්ච තව තැනක් තමයි රාජපක්ෂ පවුලට සම්බන්ධයි කියලා කියන මල්වානේ නිවස. මල්වානේ තියෙන අක්කර 16ක ඉඩමක ඉදිකරපු සුඛෝපභෝගී නිවසක් මේක. මේ නිවසට ගිහිල්ලා තියෙනවා ලියුම්කරු, පාරට පේනවා, පාරේ ඉඳන් එද්දී ටිකක් ඇතුළෙන් තමයි නිවස තියෙන්නේ. විශාල රඹුටන් වත්තක් මැද්දේ. නඩු විභාගයක් සිද්ධ වුණා මේ නිවස සම්බන්ධයෙන්. ඒත් ඒ නිවසට අයිතිකාරයෙක් නැති බව තමයි පස්සේ දැනගන්න හම්බවුණේ.
විමල් වීරවංශ මහත්මයට අයිති වෙලා තිබිච්ච හෝකන්දර නිවෙස ගැනත් මේ විදිහට කතාබහක් ඇති වුණා. හෝකන්දර නිවෙස සම්බන්ධව කතා කරද්දී හෝකන්දර නිවෙසට සල්ලි හොයපු විදිහ ගැන එහෙම ලොකුවට සාකච්ඡාවට ලක්වුණා. කොහොමද සල්ලි හෙව්වේ කියලා. අපරාධ පරීක්ෂණ අංශය මගිනුත් පරීක්ෂණ පැවැත්වුවා කියලා අපිට මතකයි.
දැන් ඒ අතරතුරේ මේ කතාබහක් ඇති වෙලා තියෙනවා ලාල්කාන්තගේ ගෙදර ගැන. ලාල්කාන්ත අමාත්‍යතුමන්ගේ නිවස ගැන කතාබහට ලක්වෙන්නේ එතුමන් නිර්ධන පන්තිය නියෝජනය කරමින් පාලනයට ආපු අහිංසක දේශපාලකයෙක් විදිහට තමයි හැමෝම දැනගෙන හිටියේ. ඇත්තටම මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණා ඒ අයට සාමාන්‍ය ජීවිත විලාසිතාවක් ඇති කියලා. නමුත් බැලූ බැල්මට පෙනුණු සාමාන්‍ය ජීවිත විලාසිතාවට එහා ගියපු සුඛෝපභෝගී ජීවිතයක් මේ අමාත්‍යවරුන්ට හිමි බව දැනගත්තම අපේ රටේ මිනිස්සු යම් යම් සමාජ මාධ්‍ය ඇතුළේ කලබල කරන්න පටන් අරගන්නවා. ඒ නිවෙස සම්බන්ධව කතා කරද්දීත් ඒ නිවෙස සම්බන්ධව කියැවෙන්නේ ඔහුට අයිති අඹ වත්තක් තිබුණා, ඒ අඹ වත්තෙන් ආපු මිල මුදල්වලින් මේ ගේ හැදුවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒක අපි දන්නේ නැහැ ඒකේ ඇත්ත නැත්ත. ඒවා සම්බන්ධව පරීක්ෂණ සිද්ධ වෙනවද නැද්ද කියන එකත් අපි දන්නේ නැහැ. අපි කාටවත් චෝදනා කරනවා නෙමෙයි. අපි මේ කියන්නේ ලංකාවේ නිවාස ගැන විවිධ කතාබහවල් ඇති වෙච්ච හැටි.
අපිට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්මයගේ නිවෙස ගිනිතැබීමක් සිද්ධ වුණා. ඒ නිවස රාජකීය විද්‍යාලයට පවරන ලද නිවසක් කියලත් අපි දැක්කා තැන් තැන්වල කියැවෙන ආකාරය. ඒ වගේම රටේ දේශපාලකයෝ විශාල ප්‍රමාණයකගේ නිවාස පහුගිය කාලේ ගිනි තිබ්බා. සනත් නිශාන්තගේ නිවස අපිට මතකයි ගිනි තැබූ ආකාරය. ඒ වගේම ප්‍රධාන පෙළේ දේශපාලකයෝ කීපදෙනෙක්ටම මේ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ තමයි ලංකාවේ දේශපාලනයේ ස්වභාවය. ඉතින් ඒ නිසා ලංකාවේ දේශපාලකයන්ගේ නිවාස ගැන කතාබහක් ඇති කරන බව අපි දන්නවා ගොඩක් වෙලාවට. ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙත් නිවාස මේ විදිහට ගිනිතැබූ බව කියැවුණා. ඒ වගේම හම්බන්තොට පිහිටි මහින්ද රාජපක්ෂ මහත්මයාලගේ පාරම්පරික මැදමුලන නිවෙසට සහ ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරයටත් හානි වෙච්ච බව අපි දැක්කා මේ කතාබහේදී කියවුණ හැටි.
ඒ වගේම අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයලගේ ලක්ෂ උයනේ තියෙනවා පුංචි නිවසක්. ඒ ගෙදරටත් අපි ගිහිල්ලා තියෙනවා. මේ ගෙදර තාමත් නිරුපද්‍රිතව ඒ ආකාරයෙන්ම තියෙනවා. සමහර දේශපාලකයන්ට විශාල නිවාස තියෙනවා, සමහර දේශපාලකයන්ට පුංචි ගෙවල් තියෙනවා. සමහරු උපක්‍රමශීලීව පොඩි ගෙවල් හදාගෙන පදිංචි වෙලා ඉන්නවා. කොහොම වුණත් මේ දේශපාලකයන්ගේ ගෙවල් ගැන නිතරම කතාබහවල් අපේ රටේ ඇතිවෙනවා.

ජීවන පහන් තිළිණ










