ජවිපෙ මූලස්ථානයේ මහරෑ වනතුරු සාකච්ඡා!
හමුවීම් තහනම් කරමින් ජනපති හදිසි චක්‍රලේඛයක් ගැහුවේ ඇයි?
ජසබය එජාපය එකතු වෙයිද?
ජනපතිගෙන් චක්‍රලේඛයක්
ජනාධිපතිවරයාගේ නියමයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මැති ඇමැතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට විවිධ උපදෙස් සහිත චක්‍රලේඛ නිකුත් කිරීම සාමාන්‍ය සිරිතය. නමුත් පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මැති ඇමැතිවරුන් ඉලක්ක කොට චක්‍රලේඛයක් නිකුත් වූ අතර, සාමාන්‍යයෙන් එය මෑත කාලයේ දැකගන්නට නොලැබුණු ආකාරයේ චක්‍රලේඛයක් බව බොහෝ දෙනාගේ අදහස විය. මක්නිසාද යත්, එම චක්‍රලේඛයෙන් කියැවුණේ මැති ඇමැතිවරු, ආණ්ඩුකාරවරුන් මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානීන් විදේශ දූත පිරිස් හමුවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන්ය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මින් ඉදිරියට කිසිදු මැති ඇමැතිවරයෙකුට හෝ ආණ්ඩුකාරවරයකුට ඍජුවම විදේශ දූත පිරිස්, තානාපතිවරුන් ආදීන් හමුවීම වළක්වා තිබීමය. එසේ මැති ඇමැතිවරුන්ට, ආණ්ඩුකාරවරුන්ට විදෙස් දූත මණ්ඩල හමුවීමට අවශ්‍ය නම් ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන අංශය හරහා පූර්ව අවසරයක් ලබාගත යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන්ව තිබිණි. පිටු 11කින් සමන්විත මෙම චක්‍රලේඛය පුරාම සඳහන්ව තිබුණේ එවැනි විදෙස් දූත මණ්ඩල හමුවීමේදී මැති ඇමැතිවරුන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන්ය. මෙවැනි අවස්ථාවක ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙවැනි ආකාරයේ චක්‍රලේඛයක් හදිසියේම නිකුත් කළේ කුමන හේතුවක් නිසාද යන්න සම්බන්ධයෙන් පසුගිය සතිය වනවිට බොහෝ දෙනාට ප්‍රශ්නයක් මතුව තිබිණ.Sri Lanka Latest News
හරිනිගේ සිද්ධිය
මීට සති දෙකකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප, අගමැතිනි හරිනි අමරසූරිය සහ චීන තානාපති කී ෂෙන් හොන්ග් මහතා අතර සිදුවූ හමුවක් පිළිබඳ තොරතුරු වාර්තා කළෙමු. එහිදී අප කියා සිටියේ චීනය මගින් මෙරට සිසුන්ට නොමිලේ ලබාදුන් නිල ඇඳුම් කන්ටේනරයක් විවෘත කිරීමේ අවස්ථාවට චීන තානාපතිවරයා විසින් අගමැතිනියට ආරාධනා කොට තිබූ බවත්, ප්‍රොටොකෝල් ගැටලුවක් මුල්කොට ගෙන අගමැතිවරිය ඊට සහභාගි නොවීමට තීරණය කොට තිබූ බවත්ය. නමුත් චීන තානාපතිවරයාගේ දැඩි ඉල්ලීම මත අවසානයේදී අගමැතිවරිය නිල ඇඳුම් ලබාදීමේ නිල උත්සවයට සහභාගි වීමට පියවර ගත්තාය. නමුත් අගමැතිවරිය එම උත්සවයට සහභාගි වූයේ පැයක් ප්‍රමාද වීමෙන් අනතුරුවය. එය හිතාමතා කළ එකක්ද, අධික රාකාරී නිසා කළ එකක්ද යන්න පිළිබඳ තොරතුරු නැතත්, චීන තානාපතිවරයා නියමිත වේලාවට උත්සවයට පැමිණ අගමැතිවරියගේ ප්‍රමාදය හේතුවෙන් ඔහුද පිටව ගොස්, පැයකට පසු යළිත් උත්සවයට සහභාගි වූ ආකාරයක් දැකගන්නට තිබිණි.
කෙසේ වෙතත් මෙම උත්සවයේදී තවත් අර්බුදයක්ද පැනනැගී තිබිණි. ඒ, අගමැතිවරිය නිල ඇඳුම් ලබාදීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පුදකරමින් කරනු ලැබූ කතාවේදීය. මෙහිදී අගමැතිවරිය ‘මහජන චීන සමූහාණ්ඩුව‘ට ස්තුති කරනවා වෙනුවට නොදැනුවත්ව හෝ ස්තුති කර තිබුණේ ‘චීන ජනරජය’ යන වචනය යොදාගෙනය. සාමාන්‍යයෙන් ‘චීන ජනරජය‘ යනුවෙන් ව්‍යවහාර වන්නේ මේ වනවිට චීනය සමග ගැටුමකට මැදිව සිටින තායිවානයටය. ඒ අනුව දැනුවත්ව හෝ නොදැනුවත්ව අගමැතිවරිය ස්තුති කොට තිබුණේ චීනයේ එදිරිවාදී රාජ්‍යයක් වන තායිවානටය.
ගනුදෙනු කළේ තුන්දෙනයි
සාමාන්‍යයෙන් පසුගිය කාලසීමාවේදී විදෙස් දූත මණ්ඩල තානාපතිවරුන් සමග ඍජුව කටයුතු කරනු දැකගන්නට ලැබුණේ ජනාධිපතිවරයාත්, අගමැතිවරියත්, විදේශ ඇමැති විජිත හේරත් යන අයය. පසුගිය මාස තුන පුරාම රටටම දැකගන්නට ලැබුණේ මේ තිදෙනා පමණක් විදෙස් තානාපතිවරුන් ඇතුළු දූත මණ්ඩල හමුවන ආකාරයය. ඒ හැරුණු විට ආණ්ඩුවේ වෙනත් මැති ඇමැතිවරුන් ගොස් විදේශ තානාපතිවරුන් මුණගැසුණාද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා වූයේ නැත. එම නිසා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම හදිසි චක්‍රලේඛය කවුරු ඉලක්ක කර ඉදිරිපත් කරනු ලැබූ එකක්ද යන්න පිළිබඳව මේ වනවිට තානාපති ක්ෂේත්‍රයේ විශාල වශයෙන් කතාබහට ලක්වන කරුණක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
මහින්දගේ කාලෙත් වුණා
කෙසේ වෙතත් මෙම සිදුවීමට සම්බන්ධයක් නොමැති වුවද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීද මෙවැනිම ආකාරයේ තහනමක් මැති ඇමැතිවරුන්ට පැනවිණි. එය සිදුවූයේ මහින්දගේ ජනාධිපති ධුර සමයේ දෙවැනි වාරයේ අවසාන භාගයේදීය. ඒ වනවිට ශ්‍රීලනිපයේ මහලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්දගේ ආණ්ඩුවේ සිටියේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරමින්ය. ඒ, මෛත්‍රීට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම හේතුකොට ගෙන ආණ්ඩුව ඇතුළේ මහින්ද සහ මෛත්‍රී අතර සීතල යුද්ධයක් ගොඩනැගෙමින් තිබුණු කාලවකවානුවක් විය. ඒ කාලයේදී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කළේ මිෂෙල් ජේ. සිසන්ය. ඇය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාලව මුණගැසීමට දෙවතාවක් පැමිණ ඔහු සමග දීර්ඝ සාකච්ඡා පැවැත්වීමට එකල කටයුතු කොට තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මෛත්‍රීපාලව ඇමෙරිකාවෙන් හොඳම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නම්කරමින් සම්මානයක්ද දෙනු ලැබීය. එය මෛත්‍රීගේ දේශපාලන ගමනට විශාල ශක්තියක් ගෙන දුන් එකක් විය. එවක අප වෙත තිබූ තොරතුරු අනුව මෛත්‍රිපාල සම්බන්ධයෙන් යම් සැකයක් මහින්දට පැනනැගී තිබුණේද මෙම සිදුවීමෙන් අනතුරුවය. ඒ, බටහිර රටවල් විසින් මෛත්‍රීව මෙහෙයවීමට පටන්ගෙන ඇද්ද යන්න කියාය.
කෙසේ වෙතත් මෛත්‍රී මහින්දත් සමග එකට ආප්ප කා ඊට පසු දින ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තීරණය කිරීමෙන් පසු මහින්දව මුණගැසීමට ඔහුගේ සමීපතම හිතවතුන් කිහිප දෙනකු අරලියගහ මන්දිරයට ගොස් තිබිණි. එහිදී මෛත්‍රී සම්බන්ධයෙන් කළ විමසීමේදී මහින්ද කියා සිටියේ, ‘මෙතන සම්පූර්ණයෙන්ම ගැහුවේ ඇමෙරිකන් ගේම් එකක්’ යැයි කියාය. ඊට පසුවද මහින්ද නිතරම පාහේ මෛත්‍රී සම්බන්ධයෙන් විමසීමේදී එම පිළිතුරම ලබාදීමට කටයුතු කොට තිබිණි. නමුත් අද සිදුවුණාක් මෙන් එකල මැති ඇමැතිවරුන්ට තානාපතිවරුන් හමුවිය නොහැකි බවට තහංචි පැනවීමක් මහින්ද සිදු කළේ නැත. නමුත්, එම සිදුවීමෙන් පසු ආණ්ඩුවේ විවිධ අංශ මගින් මැති ඇමැතිවරුන් යන එන තැන්, ඔවුන් හමුවන විදෙස් දූතයන් පිළිබඳ ඉතා රහසිගතව සොයා බැලීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව, වර්තමානයේදී මෙවැනි තහංචියක් ඇමැතිවරුන්ට පනවා ඇත්තේ කුමන කරුණක් මතදැයි කියා පැහැදිලි නැතත් යම් සිදුවීමක් සිදුව ඇති බව නම් මේ සිදුවීම හරහා හොඳටම පැහැදිලිය.
පැලවත්තේ දීර්ඝ සාකච්ඡා
මීට අමතරව පසුගිය දින කීපය පුරාම පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ ඉතා දීර්ඝ දේශපාලන සාකච්ඡා පැවැත්වී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මේ වනවිට ආණ්ඩුව ඇතුළේ මතුව ඇති දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැත්වී ඇති මෙම ඇතැම් හමු මධ්‍යම රාත්‍රිය දක්වාම ඇදීගොස් ඇති බවද දැනගන්නට ඇත. මෙහිදී යම් යම් සිදුවීම්වලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සහ යම් යම් දේශපාලන සිදුවීම් හැසිරවිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගෙන ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පසුගිය සතියේ ජානාධිපති කාර්යාලයෙන් නිකුත් වූ විශේෂ චක්‍රලේඛය සහ මෙම දේශපාලන සාකච්ඡා අතර සම්බන්ධතාවක් ඇද්ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු නැතත්, මේ හරහා මොනයම් හෝ සිදුවීම් පෙළක් ආණ්ඩුව ඇතුළේ සිදුවෙමින් පවතින බවක් නම් පැහැදිලිවම දැකගන්නට පුළුවන. එමෙන්ම පවතින තත්ත්වය යටතේ මෙවැනි චක්‍රලේඛ ප්‍රායෝගිකද නැද්ද යන්න පිළිබඳවද බොහෝ දෙනා තුළ ගැටලුවක් මතුව ඇති බවක්ද දැකගන්නට පුළුවන.
නීතිපති කැඳවයි
මෙම සිදුවීමට අමතරව පසුගිය සතියේ තවත් එක්තරා විශේෂ සිදුවීමක්ද ආණ්ඩුව ඇතුළේ සිදුවිය. ඒ, ජනාධිපතිවරයා සහ නීතිපති පාරින්ද රණසිංහ මහතා අතර පැවැති හමුවය. මෙම හමුවට මුල්වූයේ වෙන කිසිවක් නොව, බලයට පැමිණෙන විට මාලිමා ආණ්ඩුව ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දුවක් වූ හොරු ඇල්ලීමේ ක්‍රියා පටිපාටිය නිසි අයුරින් සිදුවන බවක් පෙනෙන්නට නොතිබීමය. මාලිමා ආණ්ඩුව බලයට පත්වීම සඳහා ඔවුන්ගේ වාසියට තිබූ ප්‍රධානම සටන් පාඨය වූයේ හොරු ඇල්ලීමය. ජනතාවගේ ලොකුම ඉල්ලීම වී තිබුණේද රට බංකොලොත් කර විනාශ කළ හොරුන් කුදලාගෙන විත් ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතු බවය. ඔවුන් විදෙස් රටවල සඟවා ඇති ධනය යළි මෙරටට රැගෙන ආ යුතු බවය. මාලිමාවේ ප්‍රධානීහුද ජනතාවගේ මෙම ඉල්ලීම සටන් පාඨයක් ලෙස යොදාගනිමින් 225 දෙනාම හොරු බවට චෝදනා කර තමන් බලයට පැමිණියහොත් හොරු අල්ලා හිරේ යවන බව කියා සිටියහ. උගන්ඩාවේ සහ සීෂෙල්ස්වල සඟවා ඇති ධනය යළි මෙරටට රැගෙන එන බව කියා සිටියහ. ෆයිල් මිටි ගණන් පෙන්වමින් එම ෆයිල්වල ඇත්තේ මේ රටේ ප්‍රබලයන්ගේ යැයි කියන දූෂණ වංචා බව කියා සිටියහ.
කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපතිවරයා බලයට පැමිණ දින 100ක් ඉක්මවා ගොස් තිබුණද ඇහැට පේන්න අල්ලපු හොරෙක් දැකගන්නට නැති බව විපක්ෂයේ චෝදනාවය. ත්‍රීවීල්වල බස්වල අනවශ්‍ය කෑලි ගලවනවා හැරෙන්නට මිනිසුන්ගේ ඇඟට දැනෙන, ඇහැට පෙනෙන දෙයක් සිදුවී නැති බව විපක්ෂයේ චෝදනාවය. දැන් දැන් ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාවද මේ සම්බන්ධයෙන් තැන් තැන්වල කතාකිරීම ආරම්භ කොට ඇති බවක්ද දැකගන්නට පුළුවන.
හොරු තාම යහතින්?
‘මව්රට’ පුවත්පත මෙන්ම ‘රාජ්‍ය රහස්’ තීරයද ආරම්භයේ සිටම වංචාවට දූෂණයට එරෙහිව සටන් කළේය. ඊට එරෙහිව පෑන මෙහෙයවූයේය. කුමන දේශපාලන මතිමතාන්තර දැරුවද අපගේ ස්ථාවරයද වූයේ මොන තත්ත්වයක් යටතේ හෝ හොරු ඇල්ලිය යුතු බවකි. යළි මේ රටේ දුප්පත් අහිංසක ජනතාවගේ ධනය සොරකම් කළ නොහැකි ලෙස ඔවුන්ට දඬුවම් ලබාදිය යුතු බවකි. එදා ජවිපෙ කී ‘උනුත් එකයි – මුනුත් එකයි’ යන කියමන සැබෑ කරමින් මහින්දගේ ආණ්ඩුව රනිල්ලාගේ හොරකම් වැසූහ. රනිල්ලාගේ ආණ්ඩුව මහින්දලාගේ සොරකම් වැසූහ. එම නිසා අපද මුල සිට සිටියේ ඇත්තටම හොරුන් ඇල්ලිය හැක්කේ මාලිමාවට සහ අනුරට පමණක්ය යන ස්ථාවරයේය. රටේ අතිබහුතරයක් වූ ජනතාවද සිටියේ එම ස්ථාවරයේමය. මාලිමා ආණ්ඩුවට 159ක් තරම් වූ අතිදැවැන්ත පාර්ලිමේන්තු බලයක් ලබාදීමට ජනතාව කටයුතු කොට තිබුණේ ඒ නිසාය.
නමුත් මේ වනවිට සිදුවෙමින් පවතින ඇතැම් සිදුවීම් දෙස බලන විට අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවද හොරු ඇල්ලීමට කටයුතු කරයිද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් ජනතාවට මතුව තිබේ. විශේෂයෙන්ම රනිල්ගේ පසුගිය අවුරුදු දෙකක ආණ්ඩු කාලයේදී අතටම හසුවූවැයි කියන බරපතළ සොරකම් සම්බන්ධයෙන් මාලිමා ආණ්ඩුව දක්වන ඇල්මැරුණු ප්‍රතිචාරය හේතුකොට ගෙන යම් යම් හිතවත්කම් උඩ එම පරීක්ෂණ එහෙට මෙහෙට ඇදෙනවාද යන්න පිළිබඳ සැකයක්ද බොහෝ දෙනා තුළ මතුව තිබේ. රනිල්ගේ ආණ්ඩු කාලයේ සිදුවූ බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් තත්ත්වය එසේ නම් ඊට පෙර පැවැති ගෝඨාගේ, මහින්දගේ, මෛත්‍රීගේ ආණ්ඩු සමයන්වල සිදුවූ බව කියන හොරකම් ඇල්ලීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක්ද ජනතාව තුළ මේ වනවිට මතුව ඇත.
අයින්වෙන්න කියයිද?
කෙසේ වෙතත් පසුගිය සඳුදා දිනයේ පැවැති ජනාධිපති හා නීතිපති අතර හමුවට ප්‍රථම යූටියුබ් නාලිකාවල නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව පැත්තට දැවැන්ත ප්‍රහාරයක් දියත් වූ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම විවිධ කරුණු හේතුකොට ගෙන නීතිපති දෙපාර්තමේන්තුව හොරු ඇල්ලීම සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකරන බවට එහිදී ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා අතර හමුව සඳහා වේලාව නියම වීමත් සමගම නීතිපති ක්ෂේත්‍රයේ ගිය විශාල ප්‍රචාරයකින් කියැවුණේ නීතිපතිවරයා ඉවත් කිරීමේ සූදානමක් ආණ්ඩුව ඇතුළේ ඇතැයි කියාය. වත්මන් නීතිපතිවරයා පත්කළේ රනිල්ගේ ආණ්ඩුව බවත්, රනිල් එසේ කළේ ඒ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටි අයේෂා ජිනසේන මහත්මියගේ නම සලකා නොබලමින් බවත් එවකදී ලොකු චෝදනාවක් එල්ල වී තිබිණි. පසුව අයේෂා ජිනසේන මහත්මිය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. එම නිසා සමාජ මාධ්‍යවල මෙන්ම නීති ක්ෂේත්‍රයේ ගිය කතාවලින් කියැවුණේ මෙම හමුවේදී නීතිපතිට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දීමට ජනාධිපතිවරයා සූදානමින් සිටිනවා යැයි කියාය.
නීතිපතිත් සාකච්ඡාවල
කෙසේ වෙතත් මෙම හමුවට සහභාගි වීමට ප්‍රථම නීතිපතිවරයාද නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡෘ වට කීපයක් පවත්වා ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී ජනාධිපතිවරයාගේ හමුවට මුහුණ දිය යුත්තේ කෙසේද, විමසිය හැකි ප්‍රශ්න මොනවාද, ඊට පිළිතුරු ලබාදෙන්නේ කෙසේද, යම් යම් විමර්ශන සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මොනවාද යන්න පිළිබඳ දීර්ඝව සාකච්ඡා වී ඇති බවද දැනගන්නට ඇත. මෙම සාකච්ඡාවේ තොරතුරුද සති අන්ත පුවත්පත් මගින් වාර්තා කොට තිබීම නිසා සඳුදා දිනයේ ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා අතර පැවැති හමුව දෙස බොහෝ දෙනා දැඩි අවධානයෙන් යුතුව බලා සිටි බවක් දැකගන්නට ලැබිණි.
ඒ අනුව සාකච්ඡාව අවසන් වීමත් සමග ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනයෙන් කියැවුණේ දැනට සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් සහ ආන්දෝලනයට තුඩුදී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනාධිපතිවරයා හා නීතිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී අවධානය යොමුවූ බවකි. අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳ පැවැති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු බවත්, මහජන අපේක්ෂා බිඳවැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළ බව එම නිවේදනයේ සඳහන් විය.
කතා කළේ මොනවාද?
නමුත් අපට ඇති ආරංචි මාර්ගවලින් නම් කියැවෙන්නේ මීට වඩා බරපතළ කරුණු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇති බවකි. විශේෂයෙන්ම මහබැංකු බැඳුම්කර වංචාව, මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී විශේෂ විමසීමක් සිදුකොට ඇති බව දැනගන්නට ඇත. එහිදී නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම පරීක්ෂණ සිදුකරගෙන යෑමේදී මතුව ඇති බාධා සම්බන්ධයෙන්ද, එම පරීක්ෂණ නතර වී ඇති තැන් සම්බන්ධයෙන්ද, ඒ සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ. මෙම සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාද, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාද සහභාගි වී සිටීම නිසා යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් දීර්ඝව අදහස් හුවමාරු වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එහිදී ජනාධිපතිවරයා පවා නොදැන සිටි තොරතුරු රැසක් නීතිපතිවරයාගේ පැත්තෙන් දැනුම් දී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසු නීතිපතිවරයා ඉවත් කරන බවට වූ කටකතාවට නැවතීමේ තිත වැටුණු බවක් දැකගත හැකි විය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාව අතරතුරදී කිසිදු ඉඟියක් හෝ ජනාධිපතිවරයාගේ පැත්තෙන් පළ නොවූ බවක්ද ආරංචිය. ඒ අනුව නුදුරේදීම රට හෙල්ලෙන ආකාරයේ දැවැන්ත හෙළිදරව් කිරීම් රැසක් සමග නඩු කටයුතු කීපයක්ම යළි කරළියට ඒමට නියමිත බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
චීන ගමනට ඇහැ ගහගෙන
මේ සියල්ල අතරවාරයේ මේ වනවිට ජාත්‍යන්තරයේ විශාල අවධානයක් දිනාගැනීම ජනාධිපතිවරයා සමත්ව තිබේ. ඒ, මේ මස 14 වැනි දින සිදුකිරීමට නියමිත ජනාධිපතිවරයාගේ දෙවැනි නිල සංචාරය වන චීන සංචාරය මුල්කොට ගෙනය. මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප ජනාධිපතිවරයාගේ මෙම චීන සංචාරය පිළිබඳ විශේෂ තොරතුරු රැසක්ම වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එහිදී චීන සංචාරයට මග පාදමින් චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ විශේෂ පණිවුඩයක් රැගෙන ඉහළ පෙළේ දූතයකු ලංකාවට ආ ආකාරයත්, චීන සංචාරයේදී ජනාධිපතිවරයා විසින් ඉල්ලන ඕනෑම ඉල්ලීමක් ඉටුකිරීමට චීන ජනාධිපතිවරයා එකඟතාව පළකොට ඇති බවත්, එමෙන්ම දැනට අතරමග ඇනහිට ඇති අධිවේගී මාර්ග ඉදිකිරීමේ චීන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳවත් චීනය පැත්තෙන් දැනුම් දීමක් කර තිබූ බවද අපි වාර්තා කළෙමු. එමෙන්ම ඉන්දියාව ඇතුළු බටහිර රටවල් ජනාධිපතිවරයාගේ මෙම චීන සංචාරය පිළිබඳ ඉතා තියුණු ඇහැකින් බලා සිටින ආකාරයද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
කෙසේ වෙතත් ඇතැමුන් විශ්වාස කරන්නේ අප වාර්තා කළ කරුණුවලට වඩා විශාල ආධාර පැකේජයක් මෙවර චීන සංචාරයේදී චීනයෙන් ජනාධිපතිවරයාට හිමිවීමට ඉඩ ඇති බවකි. නමුත් ඒ සම්බන්ධයෙන් දැනට කිසිදු තොරතුරක් ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වී නැත.
නැව් කතාව ඉදිරියට
ඒ කොයිහැටි වෙතත් ජනාධිපතිවරයාගේ මෙම චීන සංචාරය වටා බැඳී ඇති අතිසංවේදී කාරණාවක්ද තිබේ. ඒ, ඉන්දීය සාගර කලාපයේ පිහිටි රටවලට යම් බලපෑමක් ඇතිකළ හැකි චීන පර්යේෂණ නෞකාවන් ඉන්දීය සාගරයට ඇතුළු වීම සම්බන්ධයෙන්ය. ඇතැමුන් විශ්වාස කරන කරුණක් වන්නේ පසුගිය ආණ්ඩුවල පැවැත්ම සහ බිඳවැටීම තීන්දු වූයේද මේ චීන පර්යේෂණ නෞකා මුල්කොට ගෙන යැයි කියාය. එමෙන්ම ගෝඨාගේ ආණ්ඩු සමයේදී චීන පර්යේෂණ නෞකා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වීම සම්බන්ධයෙන් යම් එකඟතාවක් ඇතිව තිබිණි. ඒ අනුව චීන පර්යේෂණ නෞකා කිහිපයක්ම ගෝඨාගේ ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මෙරට වරාය ආශ්‍රිතව නැංගුරම්ලා තිබිණි. ඒ එකඟතාවන් හැඳින්වෙන්නේ එස්.ඕ.පී. යන පොදු නාමයෙනි.
කෙසේ වෙතත් ගෝඨාගේ ආණ්ඩු කිරීම අවසන් වීමෙන් පසු රනිල්ගේ පාලන සමයේදීද මේ චීන පර්යේෂණ නෞකා මාතෘකාව කරළියට පැමිණියේය. එහිදී එක් චීන පර්යේෂණ නෞකාවක් ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම හේතුවෙන් එවකදී ඉන්දියාවේ දැඩි විරෝධය ඊට පළවූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව දෙවැනි චීන පර්යේෂණ නෞකාව ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ඉල්ලද්දී රනිල්ගේ ආණ්ඩුව දැඩි තීන්දුවක් ගනිමින් කියා සිටියේ චීන පර්යේෂණ නෞකාවන් ලංකාව මුහුදු සීමාවට ඇතුළු වීම වසරකින් කල් දැමීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තීන්දු කළා යැයි කියාය. ඒ අනුව, චීන පර්යේෂණ නෞකාවන්ට පැනවූ එම වසරක තහනම අවසන් වූයේ ඉකුත් දෙසැම්බර් 31 වැනි දිනය. කෙසේ වෙතත් රනිල් ගත් මේ තීන්දුවත් සමග චීනය සහ ලංකාව අතර එතෙක් පැවැති හොඳ හිත යම් පළුදු වීමකට බඳුන් වූ ආකාරයක් දැකගත හැකි විය. ලොව බලවත්ම රාජ්‍යයක් ලෙස සැලකෙන චීනය රනිල්ගේ ආණ්ඩුව ගත් එම තීන්දුව දුටුවේ තමන්ගේ අභිමානයට එල්ල කළ ප්‍රහාරයක් ලෙසටය. නැතහොත් තමන්ට කළ මදිපුංචිකමක් ලෙසටය.
කෙසේ වෙතත් චීන පර්යේෂණ නෞකාවන්ට වසරක තහනමක් පැනවුවද රනිල්ගේ ආණ්ඩුව විසින් පසුකාලීනව පර්යේෂණ නෞකාවන් සම්බන්ධයෙන් දෙරට අතර තිබූ එකඟතාවට යම් යම් සංශෝධන ඉදිරිපත් කිරීමක් සිදුකළේය. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයා ලෙස පත්වූ අනුර කුමාර දිසානායකද රනිල්ගේ මෙම සංශෝධන සම්බන්ධයෙන් සොයා බැලීමටත්, ඊට එක්කළ යුතු තවත් සංශෝධන මොනවාද යන්න පිළිබඳ වාර්තා කිරීමටත් විශේෂ කමිටුවක් පත් කළේය. ඒ අනුව අනුර, මෙවර චීනයට යෑමට සූදානමින් සිටින්නේ චීන පර්යේෂණ නෞකාවන් සම්බන්ධයෙන් සකස් කළ මෙම අලුත් සංශෝධන සහිත යෝජනාවලියද අතේ තබාගෙනය. එම යෝජනාවල සඳහන්ව ඇතැයි කියැවෙන්නේ ලංකාවට පමණක් නොව, ජාත්‍යන්තරයේ අනෙකුත් රටවලටද හානියක් නොවන ආකාරයට මෙම චීන පර්යේෂණ නෞකාවන්ට ඉන්දීය සාගරයට ඇතුළු වීම සම්බන්ධ වූ යෝජනාවන්ය. ඊට චීනය පැත්තෙන් එකඟතාව පළවුවහොත් චීන පර්යේෂණ නෞකාවන් ඉදිරියේදී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන්නේ එකී යෝජනාවලට අනුකූලවය. නමුත් එම යෝජනා මාලාවේ ඇතුළත් කොන්දේසි මොනවාද යන්න මෙතෙක් අනාවරණ වී නැත. කෙසේ වෙතත් චීනය ඔවුන්ගේ පර්යේෂණ නෞකා තවදුරටත් ලංකා මුහුදු සීමාවට එවිය යුතු බවට වන ස්ථාවරයේ සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරයාගේ චීන සංචාරය අතිශය තීරණාත්මක එකක් බව අමුතුවෙන් කිවයුතු නැත.
ඉන්දියාව වැඩ පටන් ගනී
මෙම පසුබිම යටතේ පසුගිය අඟහරුවාදා දිනයේදී මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරන සන්තෝෂ් ජා මහතා හදිසියේම මෙරට සියලු පුවත්පත් කර්තෘවරුන් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට කැඳවීමට පියවර ගත්තේය. එහිදී ඉන්දීය මහකොමසාරිස්වරයාගේ සම්පූර්ණ අදහස් දැක්වීම යොමුවී තිබුණේ ජනාධිපතිවරයාගේ ඉකුත් ඉන්දීය සංචාරය තුළදී ඇති කරගත් එකඟතා පිළිබඳ පැහැදිලි කිරීමටය. එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා දෙරට අතර අස්සන් තැබීමට නියමිත එක්ටා ගිවිසුම, සාම්පූර් බලාගාරය, මන්නාරම සුළං විදුලි බලාගාරය, ඉදිකිරීමට යෝජිත විදුලි උපපොළ සම්බන්ධයෙනුත්, ආධාර සහ ප්‍රදාන පිළිබඳවත් දීර්ඝ විස්තරයක් කර්තෘවරුන් හමුවේ තැබීය. එමෙන්ම සාකච්ඡාවේදී ඉන්දීය අගමැති මෝදි මහතා මෙම සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ බවත්, එහිදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ආකාරයේ තීන්දුවක් නොගන්නා බවත්, ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ලංකාවේ මුහුදු සහ ගොඩබිම් සීමාව යොදාගැනීමට නොදෙන බවත් අවධාරණය කළ බවද කියා සිටියේය.
මීරා මාර ප්‍රශ්නයක් අහයි
ඉන් අනතුරුව ආරම්භ වූ ප්‍රශ්න ඇසීමේ වාරයේදී ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වූ මීරා ශ්‍රීනිවාසන් ඉන්දියාවේ ආරක්ෂාවට ගැටලුවක් වන ආකාරයට කටයුතු නොකරන බවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පොරොන්දු වුවද, පසුව ලංකාවට පැමිණි වහා චීන නියෝජිත පිරිසක් හමුවීමෙන් පසු ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් වූ නිවේදනයකින් චීන පර්යේෂණ නෞකාවන්ට ලංකාවට ඇතුළු වීම සඳහා අවසර ලබාදී ඇති බව නිවේදනය කරමින් පුවතක් පළකොට තිබූ බව දැනුම් දී සිටියාය. නමුත් එහිදී වහාම එම කතාව නිවැරැදි කළ ඉන්දීය මහකොමසාරිස්වරයාත්, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයත් කියා සිටියේ ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනයේ එවැනි සඳහනක් නොතිබුණු බවකි. නමුත් මීරා ශ්‍රීනිවාසන් දිගින් දිගටම තම ස්ථාවරයේ සිටිමින් කියා සිටියේ එකී මාධ්‍ය නිවේදනයේ ඒ බව සඳහන්ව තිබූ බවකි. නමුත් ඉන්දීය මහකොමසාරිස්වරයා එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එවැන්නක් සිදුවීමට ඉඩකඩක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බවත්ය.
කෙසේ වෙතත් එම සාකච්ඡා අවසන් වීමෙන් පසු කර්තෘවරු කිහිප දෙනෙක් ඉන්දීය මහකොමසාරිස්වරයා සමග සුහද සාකච්ඡාවක යෙදී සිටියහ. එහිදී ආගිය තොරතුරු විමසමින් සිටින අතරවාරයේ එක් කර්තෘවරයෙක් යළිත් ඉන්දීය මහකොමසාරිස්වරයාගෙන් චීන පර්යේෂණ නෞකා පිළිබඳ විමසමින් කියා සිටියේ යම් හෙයකින් එවැනි නෞකාවක් පැමිණියහොත් කුමක් කරන්නේදැයි කියාය. එවිට ඉන්දීය මහකොමසාරිස්වරයා දුන්නේ අපූරු පිළිතුරකි.
‘එහෙම වෙන්න බෑ. එහෙම වුණොත් ඒක අපිට පිළිගන්නත් බෑ….’ යන්න ඉන්දීය මහකොමසාරිස්වරයා දුන් පිළිතුර විය.
ඒ අනුව, ඉන්දීය මහකොමසාරිස්වරයා සමග පැවැති මෙම සාකච්ඡාවෙන්ද පැහැදිලි වන්නේ චීන පර්යේෂණ නෞකා සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයකින් පසුවන බවකි. පසුගිය දෙසැම්බර් 31 වැනිදා වනවිට චීන පර්යේෂණ නෞකාවන්ට පනවා තිබූ තහනම ඉවත් වී ඇති බැවින් ඉන්දියාව ඔවුන්ගේ අවධානය ඊට විශාල වශයෙන් යොමුකර ඇති බවක්ද මේ සිදුවීම හරහා හොඳහැටි පැහැදිලිය.
සජිත්-රනිල් හමුව
පසුගිය කාලය පුරා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් සිදුව තිබුණේ නැත. රනිල් ජනාධිපති ලෙස පාර්ලිමේන්තුවට පැමිණ අදහස් දක්වද්දී රනිල් සහ සජිත් අතර මුහුණට මුහුණ හමුවීම් සිදුවුවත් ඒ හමුවීම් කෙළවර වූයේ දෙදෙනා අතර උණුසුම් විවාදයකිනි. ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සහ ඉන් පසුවත් සජිත් සහ රනිල් එකට සිටින ආකාරයක් කිසිවකුටත් දැකගන්නට ලැබුණේ නැත. පක්ෂ දෙක එකතු කළ යුතු බවට යම් යම් පිරිස් යෝජනා කළත්, තැන් තැන්වල හුදෙකලා සාකච්ඡා පැවැත්වුණත් නායක මට්ටමේ සාකච්ඡාවක් සම්බන්ධයෙන් එහිදී කිසිදු තැනක සඳහනක් හෝ වූයේ නැත.
මෙවන් පසුබිමක් තිබියදී පසුගිය සතියේ රනිල් සහ සජිත් අතර මුහුණට මුහුණ හමුවීමක් සිදුවිය. ඒ, වැල්ලවත්තේ පන්සලක පැවැති උත්සවයකදීය. මෙහිදී පන්සලේ නායක හාමුදුරුවන් විසින් අසුන් පනවා තිබුණේ රනිල්, වජිර සහ සජිත් යන තිදෙනා පිළිවෙළින් එක පේළියේ අසුන් ගන්නා ආකාරයටය. එම නිසා උත්සවය අතරමැදදී රනිල් සහ සජිත් අතර කලකට පසු පළමු වතාවට ඉතා සුහද ආකාරයේ සාකච්ඡාවක් සිදුවූ බවක් වටපිටාවේ සිටි සියල්ලන්ටම දැකගන්නට ලැබිණි. මෙහිදී දෙදෙනා අතර සාකච්ඡාවට ලක්වූයේ පසුගිය සති කිහිපයේදී මාලිමා ආණ්ඩුව ඇතුළේ පැනනැගී තිබූ ආචාර්ය උපාධි ප්‍රශ්න සම්බන්ධයෙන්ය. එයද සිදුවූයේ ඉංග්‍රීසි භාෂාවෙන්ය.
මෙහිදී සාකච්ඡාවට මුලපුරමින් රනිල් මුලින්ම සජිත්ට පවසා සිටියේ හිටපු කතානායක අශෝක රංවලගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුව තිබුණා යැයි කියාය. රංවලට ආචාර්ය උපාධියක් නොමැති නම්, ඒ සම්බන්ධයෙන් ඔහු අසත්‍ය ප්‍රකාශ කොට ඇතිනම් කතානායකවරයා වශයෙන් පාර්ලිමේන්තුවේ සේවකයකුගෙන් හෝ ප්‍රශ්නයක් විමසන්නේ කෙලෙසදැයි රනිල් එහිදී විමසද්දී සජිත් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ එහි බරපතළ ප්‍රශ්නයක් මතුව තිබූ බවකි. ඉන් අනතුරුව නැවතත් රනිල් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් අචාර්ය යනුවෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් කර තිබීම මුල්කරගෙන අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමත්, ඒ හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට පැමිණ එහි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමත් වැරැදි පූර්වාදර්ශයක් බව පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දක්වමින් සජිත්ද කියා සිටියේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය ලෙස සටහන්ව තිබී ඇත්තේ බිමල් රත්නායක මහතාගේ සභානායක කාර්යාලයෙන් නිකුත් කර තිබූ ලිපියකට අනුව යැයි කියාය. එවිට රනිල් නැවතත් කියා සිටියේ එසේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් නොව, සභානායක කාර්යාලයෙන් යැයි කියාය.
දෙපැත්ත එකතුවෙයි?
මෙම සාකච්ඡාවෙන් පසු ඉදිරි මැතිවරණ ඉලක්ක කර සජබය සහ එජාපය එක්විය යුතු බවට විශාල මතයක් දෙපැත්තේම නියෝජිතයන්ගෙන් ඉදිරිපත් වූ ආකාරයක් දැකගත හැකි විය. මේ සම්බන්ධයෙන් සජබ මන්ත්‍රී කණ්ඩායම තුළ මෙන්ම සජබ කළමනාකරණ කමිටුවේදීද දීර්ඝ වශයෙන් අදහස් ප්‍රකාශ වී තිබිණි. එහිදී බොහෝ දෙනකු ප්‍රකාශ කොට තිබුණේ පක්ෂ දෙක අතර යම්කිසි එකඟතාවක් ඇතිකර ගැනීමට හැකි නම් දැනට මතුව ඇති තත්ත්වය යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා රාශියක් ජයග්‍රහණය කිරීමට හැකියාව ඇති බවකි. කෙසේ වෙතත් මෙහිදී විශාල හඬක් නැගුණේ සජබය කවුරු සමග එකතු වුවද, එහි අනන්‍යතාවට හානියක් නොවන අයුරින් කටයුතු කළ යුතු යැයි කියාය. විශේෂයෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පක්ෂයක් ලෙස ගොඩනැගීමට නම් සජබය සහ දුරකතනය ලෙස සියලු පාර්ශ්ව එක්කර ගෙන තරග වැදිය යුතු බවද මෙහිදී බොහොමයක් මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබිණි.
කෙසේ වෙතත් ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් සජබය සහ දුරකතනය ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් රනිල්ගේ පාර්ශ්වය විසින් ආරම්භ කොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි ඉකුත් සතියේ අනාවරණ කළෙමු. එහිදී අප පෙන්වා දුන්නේ රනිල් සහ මාලිමා ආණ්ඩුවේ ඇතැමුන්ගේ ආශීර්වාදය සහිතව සජබය බිම් මට්ටමෙන් පක්ෂයක් ලෙස තහවුරු වීමට ඇති ඉඩකඩ අවුරා ලීමේ අරමුණෙන් මෙම කුමන්ත්‍රණය දියත් කර ඇතැයි කියාය. සජබය ජනතාව සහ ජනමතය සම්බන්ධයෙන් විශ්වාස කළද රනිල් යනු එසේ ජනතාව සහ ජනමතය පිළිබඳ විශ්වාසය තැබූ අයකු නොවේ. රනිල් සෑම විටම උත්සාහ කරන්නේ දේශපාලන ගේමක් ගසා පක්ෂ ඇතුළේ අර්බුද ඇතිකොට පක්ෂ සම්බන්ධයෙන් තම පවුලේ පුවත්පත් සමූහය හරහා අසත්‍ය පුවත් පළකොට දේශපාලන බලය අල්ලන්නටය. ඒ බව පසුගිය සතියේදීද හොඳහැටි දැකගන්නට ලැබුණේ සජබය ඉලක්ක කොට රනිල්ගේ මස්සිනා වන රුවන් විජයවර්ධනලාගේ පවුලට අයත් ‘දේශය’ පුවත්පතේ විශාල බොරු පුවතක් පළකිරීමට කටයුතු කර තිබීම හරහාය. එම පුවතින් කියැවුණේ සජබයේ සභාපති තනතුර මෙන්ම ලේකම් තනතුරද අනතුරේ ඇති බවත්, පක්ෂය ඇතුළේ අර්බුද හේතුකොට ගෙන එම තනතුරු දෙකද වෙනස් වීමේ පසුබිමක් මේ වනවිට මතුව ඇති බවත්ය.
මේ පුවත පළවීමත් සමග සජබයද නිකන් සිටියේ නැත. ඒ අනුව සජබය වහාම කළේ අදාළ පුවත සම්පූර්ණ අසත්‍යයක් බව පවසමින් පක්ෂයේ ලිපි ශීර්ෂය යටතේම ‘දේශය’ පුවත්පත වෙත නිවැරැදි කිරීමක් යොමු කිරීමය. වහාම එම අසත්‍ය පුවත නිවැරැදි කරන ලෙසත්, එසේ නොවුණහොත් නීති මගින් පුවත්පතට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාළ පුවත්පතට යොමුකළ නිවේදනයේ සඳහන්ව තිබිණි.
මීට අමතරව පසුගිය සතියේ පැවැති සජබ විශේෂ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් තවත් තීන්දුවක් ගැනීමටද පියවර ගෙන තිබිණි. ඒ, මින් ඉදිරියට යම් පුවත්පතක් හෝ විද්‍යුත් මාධ්‍ය නාලිකාවක් හෝ සමාජ මාධ්‍යයක් හෝ සජබයට එරෙහිව අසත්‍ය පුවත් පළකරන්නේ නම් වහාම එම මාධ්‍ය ආයතනයට නිවැරැදි කිරීමක් යොමු කිරීමටය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිඥ කමිටුවක් පත්කිරීමටද සජබය පසුගිය සතියේ පියවර ගෙන තිබිණි.










