ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලංකාව අතර ඇතිකරගෙන තිබූ විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් පසුගිය සති ගණනාව පුරාම විශේෂ අනාවරණයන් රැසක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ සිදුකිරීමට අපි කටයුතු කළෙමු. එහිදී අප වාර්තා කර සිටියේ දැනට පවතින තත්ත්වයන් යටතේ මැතිවරණයකට යනවා තියා හිතන්නවත් බැරි තත්ත්වයකට ආර්ථිකය පත්වීමේ අවදානමක් රට ඇතුළේ මතුවෙමින් පවතින බවකි. අප එසේ වාර්තා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාර්ශ්වයෙන් සහ අනෙකුත් ආර්ථික විශ්ලේෂකයන්ගෙන් අප වෙත ලැබුණු තොරතුරු එතරම් යහපත් තත්ත්වයක නොතිබීම හේතුකොට ගෙනය. ඉකුත් ජනවාරි 22 වැනි දිනද ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පැමිණි අතර, ඔවුන් ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් එම සාකච්ඡා සම්බන්ධයෙන් කිසිදු වැඩිදුර තොරතුරක් කුමන පාර්ශ්වයකින් හෝ වාර්තා කොට නොතිබිණි. වාර්තා වූ එකම කාරණාව වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ලංකාවට පැමිණ සාකච්ඡා පැවැත්වූ බවත්, එම සාකච්ඡා සාර්ථක බවත්, ඔවුන් පෙරළා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බවත් පමණි.Sri Lanka Latest News
කෙසේ වෙතත් අප වෙත ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම සාකච්ඡාවලදී ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කිසිදු එකඟතාවකට පැමණීමට නොහැකි වී ඇති බවකි. ලංකාවට ලබාදී තිබූ ණය මුදලේ පස්වැනි වාරිකය නිදහස් කිරීමට අදාළ කාර්ය මණ්ඩල එකඟතාව ලැබීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් 15 වැනි දිනය. නමුත් මූල්‍ය අරමුදල එය අත්සන් කිරීම කල්දැමීමට පියවර ගත් බව මීට පෙර අප මෙම තීරයෙන් වාර්තා කළෙමු. එමෙන්ම සුළි කුණාටුව පැමිණීමෙන් පසු ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව රහිතව රුපියල් බිලියන 500ක මුදලක් මුදාහැරීමට තීරණය කිරීම හේතුකොට ගෙන ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල අතර වාදවිවාද සහ මතගැටුම් මතුවූ බවද අපි මෙම තීරයෙන් වාර්තා කළෙමු.
කෙසේ වෙතත් මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ලංකාවට පැමිණියේ පස්වැනි වාරිකය මුදාහැරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවලට පැමිණීම සඳහාය. ඒ අනුව බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ ඊට අදාළ දින වකවානු සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන කාර්ය මණ්ඩල ගිවිසුම්වලට පැමිණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව මගින් එය අනුමත කරනු ඇතැයි කියාය. නමුත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කිරීමට සූදානම් වන්නේ එම සාකච්ඡාවලදී ඒ කිසිදු එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයට නොහැකි වී ඇති බවය. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඩොලර් ආදායම සහ රුපියල් ආදායම සම්බන්ධයෙන් තදින් ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති අතර, මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමේ එකඟතාවන් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන්ද දැඩිව ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බවක් ආරංචිය. ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක කරුණු දෙක මෙය වීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ පිළිබඳ දැඩිව ප්‍රශ්න කළද ආණ්ඩුවෙන් ඊට ලබාදී ඇති පිළිතුරු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත්ව නොමැති බවද ආරංචිය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලංකාව අතර ඇතිකරගත් ගිවිසුම සම්බන්ධයෙන් මේ වනවිට විශාල අවදානමක් මතුව ඇති බවක් මේ හරහා දැකගන්නට තිබේ. ඒ අනුව කුමන අවස්ථාවකදී හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ණය තිරසරභාවය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ අවදානමක් මේ වනවිට මතුව තිබේ. යම් හෙයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි ප්‍රකාශයක් සිදුකළහොත් ලංකාව මුහුණ දෙන අර්බුදයේ ආරම්භය එය වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.
එමෙන්ම මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මියද ලංකාවේ සංචාරය කිරීමට තීරණය කොට තිබේ. එම සාකච්ඡාවලදී ඇතිකරගන්නා එකඟතාවන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මූල්‍ය අරමුදල සිය අවසන් නිගමනයට එළඹීමට නියමිත බවක් දැනගන්නට ඇත.










