සමීප මිතුරාට ජනපති කී දේශපාලන රහස!
වයඹ මහඇමැතිවරුන්ගේ අපලය!
නාමල්ට බාල්දියක් පෙරළෙන්න ළගයි!
මහඡන්දයෙන් ජනාධිපතිවරණයට!
ලබන වසර මැතිවරණ වසරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රටට කීවේ ඉකුත් 13 වැනි දිනය. ඒ අනුව ලබන වසරේ ජාතික මැතිවරණ දෙකක්, එනම් ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් නියත වශයෙන්ම පැවැත්විය යුතු වුවත් පළමුව පවත්වන්නේ ජනාධිපතිවරණයද, එසේත් නැතිනම් මහ මැතිවරණයද යන්න පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් එහිදී සිඳු කළේ නැත. කෙසේ වෙතත් අපි මීට සති 2කට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් එජාප ප්‍රධානීන් ජනාධිපතිවරයා හමුවී පළමුව මහ මැතිවරණය පවත්වන ලෙසට දැනුම් දුන් බව වාර්තා කර සිටියෙමු. දැනට රට තුළ මතුව ඇති තත්ත්වය යටතේ ජනාධිපතිවරණයක් පවත්වා පරාජයට පත්වුවහොත් එජාපයට බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, මහ මැතිවරණයක් පැවැත්වුවහොත් එජාප නියෝජිතයන් කිහිප දෙනකුට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි වනු ඇති බවත්, ජනාධිපති ධුරය එජාපය සතුව පවතින නිසා පාර්ලිමේන්තුව ඇතුළේ යම් ගේමක් ගැසිය හැකි බවත් මෙම පිරිස ජනාධිපතිවරයාට එහිදී පෙන්වා දී තිබූ බවද අපි සඳහන් කර සිටියෙමු. ජනාධිපතිවරයා එජාප ප්‍රධානීන්ගේ මෙම තර්කය අසා සිටියා විනා නිශ්චිත පිළිතුරක් ලබා නුදුන් බවද අප වැඩිදුරටත් එහිදී සඳහන් කර සිටියෙමු.Sri Lanka Latest News
අතිවිශේෂ මිතුරෙක් එක්ක ජනපති විශේෂ කතාබහක!
කෙසේ වෙතත් COP 28 සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා ඩුබායි බලා පිටත්ව යෑමට ප්‍රථම අතිශය හිතවත්, කලක් දේශපාලනය කොට මේ වන විට දේශපාලනයෙන් ඈත් වී සින පෞද්ගලික මිතුරකු සමග මේ පිළිබඳ සාකච්ඡා කොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙම පෞද්ගලික හමුවේදී දැනට රටේ මතුව ඇති තත්ත්වය, ආර්ථික අර්බුදය, මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් එජාප ප්‍රධානීන්ගේ ස්ථාවරය, ජනාධිපතිවරණය, ආණ්ඩුවට සහ එජාපයට ඇති ජනතා ප්‍රතිචාරය ආදිය පිළිබඳ දීර්ඝව සාකච්ඡා වී ඇති බවත් දැනගන්නට ඇත. දෙදෙනා අතර පැවැති මෙම සාකච්ඡාවේදී එජාප ප්‍රධානීන් සහ ජනාධිපතිවරයා වටේ සිටින පිරිස් මුලින් මහ ඡන්දයකට යායුතු බවට ප්‍රකාශ කළද එහි ඇති අවදානම පිළිබඳ කතාබහට ලක්ව ඇති බවක් වාර්තා වේ.
දවසක්වත් පුටුවේ ඉන්න බෑ!
මහමැතිවරණයක් පවත්වා කිසිදු පක්ෂයකට බහුතර බලයක් මෙවර නොලැබෙනු ඇති බව එහිදී ප්‍රකාශ වී ඇති අතර එසේ වුවහොත් කවුරු ආණ්ඩු පිහිටෙව්වද තමන්ට දින කිහිපයක් හෝ ජනාධිපති ධුරයේ රැඳී සිටීමට බලයට පත්වන නව රජය ඉඩ නොදෙනු ඇති බව මෙහිදී ජනාධිපතිවරයා විසින් සඳහන් කොට ඇති බවක් ආරංචිය. එම නිසා මුලින් මහ මැතිවරණය පැවැත්වීම නුවණට හුරු ක්‍රියාවක් නොවන බව මෙහිදී ජනාධිපතිවරයාගේ මතය වී ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව කලින් මහ මැතිවරණය පැවැත්විය යුතු බවට එජාප ප්‍රධානීන් සහ ජනාධිපතිවරයා වටේ සිටින පිරිස් කියා සිටියද මේ වන විට එය නොකෙරෙන තැනට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
චන්ද්‍රිකා කරළියට එයි!
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ තොරතුරුද පසුගිය සතිය වන විට එජාප ප්‍රධානීන්ගේ සහ ජනාධිපතිවරයා වටේ සිටින පිරිස්වල කනටද වැටිණි. ඒ සමගම ඔවුන්ද මේ වන විට මහත් කලබලයට පත්ව සිටින බවක් ආරංචිය. ඊට හේතුවී ඇත්තේ මුලින් ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ඒ හරහා විශාල දේශපාලන අවදානම් දෙකකට මුහුණ දීමට ඔවුන්ට සිදුවන නිසාය. ඉන් පළමුවැන්න වන්නේ යම් හෙයකින් මුලින් ජනාධිපතිවරණයක් පවත්වා එය පරාජයට පත්වුවහොත් එසැණින් ඔවුන්ගේ දේශපාලන ජීවිතය අවසන් වන බව මෙම පිරිසට වැටහී ගොස් තිබීමය. දෙවැනි අවදානම වී ඇත්තේ පළමුව ජනාධිපතිවරණයක් කැඳවා ඊට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවුණහොත් මෙම පිරිස දේශපාලන අනාථයන් බවට පත්වීමේ වැඩි ඉඩකඩක් තිබීමය. ඊට හේතුවී ඇත්තේ ජනාධිපතිවරයා ඊළඟ ජනාධිපතිවරණයට තරග නොවදිනු ඇති බවට මතයක් මේ වන විට ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා වෙමින් තිබීමය. වරක් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව තමන් කැට තියා ප්‍රකාශ කරන බවය.
රනිල් ආවෙ නැත්නම් මොකද කරන්නේ!
ඒ අනුව යම් හෙයකින් ජනාධිපතිවරයා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණහොත් කරන්නේ කුමක්ද?
මතුවෙමින් පවතින මේ අවදානම් තත්ත්වය පිළිබඳවද මේ වන විට ආණ්ඩුව ඇතුළේ අලුත් සාකච්ඡාවක් මතුව ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියය. මීට පෙර චන්ද්‍රිකා යළි සක්‍රීය දේශපාලනයට පැමිණීම සඳහා ශ්‍රීලනිප බලය ඇල්ලීමට සැලසුම් සකස් කළද එය සාර්ථක කරගැනීමට ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල ඉඩ දුන්නේ නැත. චන්ද්‍රිකාට හිතවත් සියලු දෙනා පසෙකට කොට තම බලය තහවුරු කරගැනීමට මෛත්‍රීපාල සමත් වීම නිසා චන්ද්‍රිකා ශ්‍රීලනිප බලය අල්ලන සටනින් පසුබා ඉවත් විය. නමුත් මෙ වන විට චන්ද්‍රිකාගේ ටොරින්ටන් මාවතේ පිහිටි නිවෙස නිතර නිතර දේශපාලන නියෝජිතයන් යන එන තැනක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. එමෙන්ම එහි නිතර නිතර දේශපාලන සාකච්ඡාද පැවැත්වෙන තැනක් බවට පත්ව ඇති බවත් ආරංචිය. විශේෂයෙන්ම ශ්‍රීලනිප ඇමැතිවරුන් වූ නිමල් සිරිපාල, මහින්ද අමරවීර පමණක් නොව ජනාධිපතිවරයාට හිතවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ලෙස සැලකෙන නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපාද නිතර නිතර චන්ද්‍රිකාගේ ගෙදර සාකච්ඡා මේසයේ අසුන්ගෙන සිටින මැති ඇමැතිවරුන් බව දැනගන්නට තිබේ. එමෙන්ම විපක්ෂයේ ස්වාධීනව අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද අවස්ථා ගණනාවකදීම මෙම සාකච්ඡාවලට එක්ව ඇති බවද දැනගන්නට ඇත.
වටේ ඉන්න අය අනාථ වෙයිද?
මෙම සාකච්ඡාවලද ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් කරන්නේ කුමක්ද යන්නය. එසේ වුවහොත් සියලු පක්ෂ එකතු කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හැකි පුද්ගලයා කවුද යන්න පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට ඇත. එහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ සාකච්ඡා මේසයේ අසුන්ගෙන සිටි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පිරිස් විසින්ම රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ බරපතළ සැකයක් මතුව ඇති බව ප්‍රකාශ කර සිටීමය.
අලුත් නමක් එයි!
ඒ අනුව මෙහිදී රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කළ හැකි අපේක්ෂකයකුගේ නමක් පිළිබඳ යෝජනාවක්ද ඉදිරිපත් වී ඇති බව දැනගන්නට තිබේ. මෙම දේශපාලන චරිතයද කාලයක් තිස්සේ ජනාධිපති සිහිනයේ සිටින කෙනෙක් බව දේශපාලන ක්ෂේත්රයේ ප්‍රකට කතාවකි. එමෙන්ම ඔහු මේ සියලු කණ්ඩායම් සමග කතාබහ කරන පුද්ගලයෙක් ලෙසද ප්රකටය. ඒ අනුව මෙම පුද්ගලයාද චන්ද්‍රිකාගේ නිවෙසේ පැවැති සාකච්ඡාවලට වරක් දෙවරක් සහභාගි වී ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටියද එම තොරතුර මෙතෙක් තහවුරු වී නොමැති බවද සඳහන් කළ යුතුය. කෙසේ වෙතත් මෙම නාමයෝජනාවට ආණ්ඩුවේ ඇමැතිවරුන් වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර එතරම් ප්‍රසාදයක් පළකොට ඇති බවක් මේ දක්වා ආරංචි වී නැත. එසේ වුවද ඔවුන්ද මේ වන විට සිටින්නේ චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණය ඉලක්ක කොට යම් දේශපාලන සන්ධානයක් බිහි විය යුතු බවට වූ ස්ථාවරයේ බව නම් පැහැදිලිය.
වයඹ අපලය!
වයඹ ආණ්ඩුකාරවරයා වශයෙන් කටුතු කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම පොහොට්ටුවේ ප්‍රධානියා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා වෙත කුරුණෑගල හා පුත්තලම නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් පැමිණිලි රැසක් ඉදිරිපත් වී තිබිණි. එහිදී ඔවුන් බැසිල්ට පෙන්වා දී තිබුණේ මේ වනවිට ලක්ෂ්මන් යාපා ජනාධිපතිවරයාට අතිශය හිතවත් පොහොට්ටු මන්ත්‍රීවරයකු ලෙස සැලකෙන නිමල් ලන්සා මහතා සමග සමීපව කටයුතු කරන බවත්, නිමල් ලන්සා යනු පොහොට්ටු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට එක්කිරීමේ මෙහෙයුමේ සිටින අයකු බවත්, මේ වනවිට ලක්ෂ්මන් යාපාද ලන්සා විසින් ගොඩනැගීමට උත්සාහ කරන නව සන්ධානයට එක්වන බවට තොරතුරු ලැබී ඇති බවත්ය. මීට අමතරව ලක්ෂ්මන් යාපා සම්බන්ධයෙන් තවත් පැමිණිලි කිහිපයක්ම බැසිල්ට ඉදිරිපත් කිරීමටද වයඹ පළාතේ සිටින පොහොට්ටු මන්ත්‍රීවරුන් පියවර ගෙන තිබිණි.
බැසිල් ලක්ෂ්මන්ගේ පුතාට කතාකරයි!
සාමාන්‍යයෙන් ලක්ෂ්මන් යාපා සැලකෙන්නේ අතිශය බැසිල් හිතවාදී චරිතයක් ලෙසටය. බැසිල් ආර්ථික කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ බැසිල්ගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ලක්ෂ්මන් යාපාය. මහ මැතිවරණයෙන් ලක්ෂ්මන් පරාජයට පත්වුවද මුදල් අමාත්‍යවරයාගේ උපදේශකයකු ලෙස ලක්ෂ්මන් යාපා තමන් සමීපයේ තබාගැනීමට එවකදී බැසිල් කටයුතු කොට තිබිණි. එමෙන්ම ආණ්ඩුකාරවරු පත්කිරීමේදී වයඹට ලක්ෂ්මන් යාපාගේ නම යෝජනා කිරීමට කටයුතු කළේද බැසිල්ය. ඒ අනුව ලක්ෂ්මන් යාපා සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිලි එද්දී පසුගිය දිනෙක බැසිල් ලක්ෂ්මන් යාපාගේ පුතා වූ පසඳ යාපා අබේවර්ධන සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. පසඳ යාපාද මේ වන විට රාජකාරි කරන්නේ ආණ්ඩුවේ සතොස ආයතනයේ සභාපතිවරයා ලෙසටය.
පැමිණිලි ගොඩක් තියෙනවා!
‘තාත්තට විරුද්ධව වයඹ අපේ මන්ත්‍රීවරුන්ගෙන් මට ගොඩක් පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ අය මට මේවා ලිඛිතව දෙන්න හැදුවා. මම කිව්වා මේ ප්රශ්නය මම සෙට්ල් කරන්නම් කියලා. වයඹ ආණ්ඩුකාර ධුරය ගැන කතාකරද්දී මමයි තාත්තව ඒකට නිර්දේශ කළේ. එහෙම එකේ දැන් තාත්තා නිමල් ලන්සා එක්ක ළඟින් ගනුදෙනු කරනවා කියලා හැමෝම කියනවා. මට තව කම්ප්ලේන් ගොඩක් ඇවිත් තියෙනවා. ඔයා තාත්තත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නෙ ඉක්මනටම විසඳගන්න’ යනුවෙන් බැසිල් මෙම සාකච්ඡාවේදී ලක්ෂ්මන්ගේ පුතාට දැනුම් දීමට පියවර ගත්තේය.
ලන්සාට හේත්තු වෙලාද?
මේ අතර පොහොට්ටුව කඩන වැඩේ නිරතව සිටින ලන්සා සමග දැඩි හිතවත්කමකින් කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇති ලක්ෂ්මන් යාපා වයඹ පමණක් නොව දකුණේද ලොකු දේශපාලන වැඩකොටසකට අත ගසා ඇති බවක් දැනගන්නට තිබේ. ඒ, මාතර පැවැත්වෙන අලුත් දේශපාලන සන්ධානයේ උත්සවයකදට සහභාගි වීමට සැලසුම් කර තිබීම හරහාය. ඊට රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියද එක්වීමට නියමිත බව ආරංචිය. සාමාන්‍යයෙන් ගීතා සැලකෙන්නේද බැසිල් විරෝධී දේශපාලන චරිතයක් ලෙසටය. ඇය පසුගිය කාලයේදී අවස්ථා ගණනාවකදීම බැසිල්ව විවේචනය කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව වයඹදී ලන්සා සමග එකට කටයුතු කරන ලක්ෂ්මන් යාපා මාතරදී ගීතා සමග එක්ව අලුත් සන්ධානයේ වැඩවලට සම්බන්ධ වීම පිළිබඳ මේ වන විට පොහොට්ටුව ඇතුළේ විශාල කතාබහක් මතුවෙමින් පවතින බව දැනගන්නට ඇත.
ලන්සා පුත්තලමට!
මේ සියල්ල අතරවාරයේ ලන්සාද අලුත් දේශපාලන පිම්මකට සූදානමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, තමන්ට හුරුපුරුදු ගම්පහ අතහැර පුත්තලම දිස්ත්‍රික්කය තෝරා ගැනීමට ලන්සා තීන්දු කර තිබීම හරහාය. ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ලන්සා පුත්තලමෙන් තරග කිරීමට තීන්දු කර ඇති බවක් දැනගන්නට තිබේ. මෙසේ ලන්සා ගම්පහ අතහැර පුත්තලමට යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේද වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා සමග ඇති සමීප දේශපාලන හිතවත්කමය. ඒ අනුව ලන්සාගේ සැලසුම් වී ඇත්තේ ලක්ෂ්මන් යාපාගේ පුත්තලමේ දේශපාලන සබඳතා පාවිච්චි කොට මහමැතිවරණය දිනා පුත්තලමෙන් යළි පාර්ලිමේන්තු පැමිණීමටය.
සනත් නිශාන්ත මොනවා කරයිද?
කෙසේ වෙතත් පුත්තලමෙන් ලන්සාට දේශපාලන වාසියක් ගැනීමට පොහොට්ටුවේ පුත්තලම් ප්‍රබලයා වන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඉඩ තබනු ඇතිද යන්න සම්බන්ධයෙන් ඇත්තේ විශාල සැකයකි. දැනටමත් ලන්සා හා සනත් නිශාන්ත අතර විශාල දේශපාලන ප්‍රශ්නයක් ගොඩනැගී ඇති බව ප්‍රසිද්ධ රහසකි. පසුගිය කාලයේදී දෙදෙනා දුරකතනයෙන් බැණගත් ආකාරය දැක්වෙන සංවාද මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය විය. ඒ අනුව ඉදිරියේදී ලන්සා, සනත් නිශාන්ත ගැටුම පුත්තලමෙන් යළි කරළියට එනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.
අනෙක් අතට වයඹ ආණ්ඩුකාර ධුරය යනු බොහෝ දෙනාට අපල ගෙන දුන් එකක් බව අතීතය දෙස බලන විට පැහැදිලිව දැකගන්නට ඇති කරුණකි. ගෝඨාගේ කාලයේ වයඹ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාය. එකල වසන්තට එරෙහිව වයඹ දේශපාලන ප්‍රබලයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු එළිපිට සටනක් දියත් කොට තිබිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ වසන්තට වයඹ ආණ්ඩුකාර ධුරය අහිමි වීමය. දැන් වයඹ ආණ්ඩුකාර ධුරය දරන ලක්ෂ්මන් යාපාටද එරෙහිව වයඹින් ලොකු විරෝධයක් එල්ලවී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව ලක්ෂ්මන් යාපාටත් කරන්නාගොඩට වෙච්ච දේ සිදුවේවිදැයි කියන්නට තවම කල් වැඩිය.
සජිත්ව වටකරයි!
මීට සති දෙකකට ඉහතදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරයාගේ මුහුණටම ලබාදුන් පිළිතුරු කතාවත් සමග හටගත් ගැටුම මේ වන විට බොහෝ දුරදිග ගොස් ඇති ආකාරයක් පාර්ලිමේන්තුවේ සිදුවන විවිධ සිදුවීම්වලින් දැකගන්නට තිබේ. සජිත් මෙසේ ජනාධිපතිවරයාට දැඩි ප්‍රතිචාරයක් දැක්වීමෙන් පසු බොහෝ දෙනා කියා සිටියේ විපක්ෂ නායකවරයකු වශයෙන් සජිත් පාර්ලිමේන්තුවේදී විශාල පිම්මක් පැන්නා යැයි කියාය. ඉන් අනතුරුව සජිත් ක්‍රිකට් ආයතනය තුළ සිදුව ඇතැයි කියන වංචා දූෂණ හෙළිකරමින් ආණ්ඩුව ඇතුළේ තවත් විශාල අර්බුදයක් ඇතිකිරීමට සමත් විය. ඒ මතුවූ අර්බුදය තාවකාලිකව හෝ නිමා වූයේ කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගැනීමත් සමගය. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රාජපක්ෂවරුන් රටේ ආර්ථිකය බංකොලොත් කිරීමට කටයුතු කළ බවට ලබාදුන් නියෝගයෙන් පසුව එම පිරිසට එරෙහිව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමට කටයුතු කිරීම හරහාද සජිත් ජනාධිපතිවරයා සමග පමණක් නොව පොහොට්ටු ආණ්ඩුවත් සමගද විශාල ගැටුමක් ඇතිකර ගැනීමට සමත් විය. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ පසුගිය සතියේදී විපක්ෂ නායක සජිත් ඉලක්ක කොට ආණ්ඩුව පැත්තෙන් විශාල මඩ ප්‍රචාරයක් දියත් වීමය.
පළමු තුරුම්පුව!
මෙහි ආරම්භය සනිටුහන් වූයේ පසුගිය සතියේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සජිත්ට එරෙහිව ලිපියකට අස්සන් කිරීමට කටයුතු කිරීමත් සමගය. මේ පිළිබඳ තොරතුරු පසුගිය සතිය ආරම්භයේදීම ආණ්ඩුව පැත්තෙන් සජිත්ටද ලැබිණි. එමෙන්ම එම ලිපියේ පිටපතක්ද සජිත් වෙත ලබාදීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් කටයුතු කර තිබිණි. මෙම ලිපියේ පිටපතක් සජිත්ට ලබාදෙන ගමන් මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා සජිත්ට කියා සිටියේ මේ ආකාරයේ ලිපියක් අතට ලැබුණද මන්ත්‍රීවරු රැසක් ඊට අස්සන් තැබීම ප්‍රතික්ෂේප කොට ඇති බවත්, එම ලිපියෙහි කිසිදු වලංගුභාවයක් නොමැති බවත්ය. ඒ අනුව සජිත් අතට පත්ව තිබූ ලිපියේ සඳහන්ව ඇතැයි කියැවෙන්නේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කරමින් කටයුතු කරන බවටත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් කතා කරන බවටත්ය. ඒ හරහා විපක්ෂ නායකවරයා මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කර ඇති හෙයින් ඔහුට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද එම ලිපියේ සඳහන්ව ඇතැයි කියැවිණි.
ලියුම ආපු තැන!
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ලියුමේ තිබූ යම් යම් කරුණුවලට වඩා ලියුම පසුපස තිබූ විශාල කතාවක් සොයාගැනීමට සජිත් ඇතුළු විපක්ෂයට හැකියාව ලැබීමය. මෙම ලිපිය සකස් කළේ කුමන කාර්යාලයේද, වරප්‍රසාද ප්‍රශ්න මතුකොට ලිපිය සකස් කළ නිලධාරිනිය කවුද, මන්ත්‍රීවරුන් සමග කතා කළ එම කාර්යාලයේ නිලධාරියා කවුද ආදී වශයෙන් විශේෂ රහස් රැසක් හෙළිකර ගැනීමට මෙහිදී සජිත් ඇතුළු පිරිසට හැකියාව ලැබිණි. මීට අමතරව ස්වාධීනව සිටිය යුතු තවත් නිලධාරියෙක් විසින් සියලු තොරතුරු එක්රැස් කොටගෙන විපක්ෂ නායකවරයාට එරෙහි ලිපිය කෙටුම්පත් කර ඇති බවද එහිදී අනාවරණ විය. මෙම නිලධාරියා විශාල දේශපාලන සබඳතා සහිත අයකු බව මෙහිදී දැනගන්නට ලැබීමත් සමග සජිත් එම නිලධාරියා පිළිබඳ තොරතුරු සොයා බැලීමටද පියවර ගත්තේය. ඒ අනුව අදාළ නිලධාරියා සම්බන්ධයෙන් තොරතුරු රැසක් මොහොතක් යෑමට මත්තෙන් සොයාගැනීමට සජිත්ට හැකියාව ලැබී තිබිණි.
කෙසේ වෙතත් මෙම ලියුම දුටු සැණින්ම බොහෝ දෙනකු කියා සිටියේ එම ලියුම කිසිදු පදනමක් නැති එකක් කියාය. එහි ඇති කරුණු කිසිවක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක්ද නැතැයි කියාය. මේ බව දන්වා ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් රැසක්ම අදාළ ලිපියට අස්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, එවැනි ලිපියකට අස්සන් තැබුවහොත් ජනතාව අතර තමන් විහිළුවට ලක්විය හැකි බවත් සඳහන් කර ඇති බවක්ද දැනගන්නට ඇත. කෙසේ වෙතත් සජිත් ඇතුළු විපක්ෂයට තොරතුරු ලැබී තිබුණේ සජිත්ගේ ආණ්ඩු විවේචනය නතර කිරීම සඳහා මේ ආකාරයට ආණ්ඩුව විවිධ උපාය උපක්‍රම තෝරමින් සිටින බවය.
දෙවන තුරුම්පුව!
ඒ අනුව මෙම ලිපිය හරහා සජිත්ගේ කට වැසීමට ගත් ක්‍රියාමාර්ගය වැරැදී ගිය තැන ආණ්ඩුව ඊළඟට සැලසුම් කළේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය දිනයේදී සජිත් ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමටය. ඒ, සජිත් නිවාස හා සංස්කෘතික කටයුතු භාර අමාත්‍යවරයාව සිටියදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කළ බවට වූ චෝදනාව එල්ල කරමිනි. එය සම්පූර්ණයෙන්ම භාරදී තිබුණේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාටය. කෙසේ වෙතත් පෙර පරිදිම ආණ්ඩුවේ මෙම උපාය පිළිබඳ තොරතුරුද කල් තියාම සජිත් ඇතුළු විපක්ෂයේ කණ්ඩායමට ලැබී තිබිණි. ඒ අනුව ආණ්ඩුවේ මෙම ප්‍රහාරයට කල්තියාම සූදානම් වීමට සජිත් පියවර ගත්තේ ඊට අදාළ සියලු ලිපි ලේඛන එකතු කරගනිමින්ය. එම ලිපි ගොනු අතරට මධ්‍යම සංස්කෘතික අරමුදලේ කිසිදු මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව නොමැති බවට තහවුරු කර තිබූ විගණන වාර්තාව, අල්ලස් කොමිසමේ වාර්තාව, ජිනදාස වාර්තාව ඇතුළු සියල්ල එදින වැය ශීර්ෂ විවාදය හමුවට ගෙන ඒමට සජිත් පියවර ගත්තේය. ඒ අනුව මහින්දානන්ද ඇතුළු ආණ්ඩුවේ කණ්ඩායම් මේ සම්බන්ධයෙන් සජිත්ට චෝදනා එල්ල කරද්දී ඊට අදාළ සියලු ලිපි සභාගත කරමින් තම නිරවiභාවය ඔප්පු කිරීමට සජිත් පියවර ගෙන තිබිණි. මීට අමතරව ජිනදාස වාර්තාව මගින් තමන් නිදොස් කොට ඇති බව කියා සිටි සජිත්, මේ හේතුව මත මෙම වාර්තාව කෝප් කමිටුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බවද කියා සිටියේය. නමුත් එහිදී අමාත්‍ය විදුර වික්‍රමනායක කියා සිටියේ එම කමිටු වාර්තාවට කෝප් කමිටුවට ඉදිරිපත් කර ඇති බවකි. ඒ කෙසේ වෙතත් සජිත් එම කමිටු වාර්තාවේ තිබූ තොරතුරුද සභාගත කිරීමට පියවර ගත්තේ ආණ්ඩු පක්ෂයේ කෑකෝගැසීම් මධ්‍යයේය.
තුන්වැනි තුරුම්පුව!
ඒ අනුව දෙවැනි උපායද කනපිට පෙරළීමෙන් පසු ආණ්ඩුව සජිත්ට එරෙහිව තුන්වැනි තුරුම්පුවද පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමට පියවර ගත්තේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අභ්‍යන්තර විගණන වාර්තාවක් මගින් සමාගමේ සේවකයන් සජිත්ගේ බිරියගේ ආයතනයක සේවයට යොදවා ඇති බව සඳහන් කරමින්ය. එම චෝදනාව සජිත්ට එරෙහිව ඉදිරිපත් කිරීමද භාරදී තිබුණේ මහින්දානන්දටය. මෙම චෝදනාව ඉදිරිපත් කළ සැණින් සජිත් එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ පොහොට්ටුවේ කිසිදු සුදුසුකමක් නොමැති වෘත්තීය සමිති සාමාජිකයකු යොදාගෙන මෙවැනි අසත්‍ය වාර්තාවක් සකසා ඇති බවත්, එය සම්පූර්ණයෙන්ම තමන්ට මඩ ගැසීම සඳහා ආණ්ඩුව විසින් සිදුකරන ලද එකක් බවත්ය. එය ප්‍රතික්ෂේප කරමින් නොනැවතුණු සජිත් ඊට පසු දිනයේදීම එම අභ්‍යන්තර විගණන වාර්තාව සකස් කළා යැයි කී පුද්ගලයාගේ මුළු ඉතිහාසයම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පියවර ගත්තේය.
කව්ද මේ ධම්මික?
එම හෙළිදරව්වට අනුව මෙම වාර්තාව සකස් කොට තිබුණේ එන්.වී.ටී. ධම්මික නමැත්තෙකි. මෙම එන්.වී.ටී. ධම්මික නැමැති පුද්ගලයා 2020 පෙබරවාරි මස 03 වැනිදා සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සංගමයේ නිලධාරී මණ්ඩලයේ කාරකසභිකයකු බවත්, 2020 පෙබරවාරි 18 වැනිදා පොදුපෙරමුණ වෘත්තිය සමිතිය විසින් තවත් ලිපියක් ඔස්සේ මෙම පුද්ගලයා වැඩබලන අභ්‍යන්තර විගණන තනතුරට පත් කරන ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උප සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
ඒ අනුව අභ්‍යන්තර විගණක වාර්තාවක් කියා පොහොට්ටුවේ වෘත්තීය සමිති සාමාජිකයන් යොදා ගෙන ව්‍යාජ වාර්තාවක් සකස් කර ඇති බව කී සජිත්, එම විගණන වාර්තාව ලියා ඇත්තේ එන්. වී. ටී. ධම්මික යන පුද්ගලයා බවත්, මෙවැනි තනතුරක් දැරිමට අදාළ විෂය ගැන මූලික උපාධියක් සහ වසර 12ක පළපුරුද්දක් තිබිය යුතු වුවත් ඔහුට මෙවැනි විගණන තනතුරක් දැරීමට හෝ සුදුසුකමක් නොමැති බවත් කියා සිටියේය.
එසේම මෙම පුද්ගලයා ඪඍී එකක් හරහා සේවය හැර ගිය අයකු වුවත් නැවත පත්කර ඇති බවත්, ඊට අමතරව උසස් වීමක් පවා ලබාදී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනාවරණය කළේය.
රජය පත්වූ මුල් කාලයේ, සංස්කෘතික අරමුදල තුළින් බිලියන 11ක මුදල් වංචාවක් සිදුව ඇති බව පැවසූ බවත්, ඒ පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කළ බවත්, ඒ කමිටුවේ සිටි හරිගුප්තා රෝහණධීර යනු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයකු සහ 2010 මැතිවරණයට තරග කළ සන්ධානයේ අපේක්ෂකයකු බවත්, මොවුන් සිදු කළ විමර්ශන වාර්තාවට කිසිදු සාමාජිකයකු අත්සන් නොකළත් එම වාර්තාව භාවිත කර 2020 මහමැතිවරණයේ දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කළ බවත් සජිත් කීය.
මේ වාර්තාව අල්ලස් කොමිසමට යොමු කළ පසු අල්ලස් කොමිසම කියා ඇත්තේ අල්ලස් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති බවත්, ඊට පසු කෝප් කමිටුව අදාළ අමාත්‍යාංශ නිලධාරීන් ගෙන්වා උපදෙස් දී නව කමිටුවක් පත් කළ බවත්, එම කමිටුවේ වාර්තාව මේ වන විටත් එළි දක්වා නොමැති බවත්, එයට හේතුව වී ඇත්තේ එල්ල කර ඇති චෝදනාවලට සජිත් ප්‍රේමදාස ඇතුළු කිසිදු පුද්ගලයකු වරදකරුවන් නොවන බවට ඔප්පු වී ඇති නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මාධ්‍යයෙනුත් ප්‍රහාර!
මේ ආකාරයට විපක්ෂනායකවරයා ඉලක්ක කරගනිමින් පාර්ලිමේන්තුව ඇතුළේ දැඩි ප්‍රහාරයක් එල්ල කරන අතරවාරයේ මාධ්‍යද උපයෝගී කරගෙන විපක්ෂ නායකවරයාට පහර ගැසීමේ තවත් වැඩපිළිවෙළක්ද පසුගිය සතියේ දැකගන්නට ලැබිණි. ඒ, සජිත් සහ සජබය ඉලක්ක කොට ගෙන තවත් එකම ආකාරයේ පුවතක් සති අන්ත පුවත්පත් දෙකක පළවීමය. එම පුවතින් කියවුණේ පාර්ලිමේන්තුවේ සජිත් අදහස් දැක්වීම සම්බන්ධයෙන් පක්ෂය ඇතුළෙන්ම දැඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බවත්, පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙය සිදුව ඇති බවත්ය.
පත්තර කියපු කතාව!
පහත දැක්වෙන්නේ සති අන්ත ‘අරුණ’ පුවත්පත පුවත්පත එම පුවත වාර්තා කොට තිබූ ආකාරයය.
‘විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අදහස් නොවිමසා පාර්ලිමේන්තුවේදී තම හිතුමතයට අදහස් පළ කිරීම ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන්ගේ දැඩි විරෝධය දක්වා තිබේ.
එම පක්ෂ මන්ත්‍රිවරුන් මෙසේ විරෝධය දක්වා ඇත්තේ පක්ෂ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ කණ්ඩායම් රැස්වීමේදීය.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
‘විපක්ෂ නායකවරයාට ආණ්ඩුවෙන් ලොකු ගෝරියක් දානවා. අපිට ඉන්න නායකයා එයානේ. වෙන කෙනෙක් නැහැ‘ යනුවෙන් පක්ෂ මහලේකම්වරයා රැස්වීම ආරම්භ කරමින් කරන ලද ප්‍රකාශයත් සමග විරෝධය පළවන්නට පටන් ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් සඳහන් කර ඇත්තේ විපක්ෂ නායකවරයා ඕන දේටත් එපා දේටත් කතා කිරීම නිසා මෙවැනි තත්ත්වයක් මතුවී ඇති බවයි. මෙහිදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තවදුරටත් පෙන්වා දී තිබුණේ විපක්ෂ නායකවරයා ආණ්ඩුවේ නායකයන් සමග හැප්පීම හොඳ වුවත් සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර වැනි මන්ත්‍රීවරුන් සමග හැප්පීමට යාම තම තත්ත්වයට හොඳ නැති බවකි.
තවත් මන්ත්‍රිවරුන් පිරිසක් පවසා ඇත්තේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ කතා කරන අවස්ථාවේ මයික් කැමරා සහ ස්ක්‍රීන් ඉල්ලා ප්‍රසිද්ධිය සෙවීමද සිදු නොවිය යුත්තක් බවය.’
තවත් පත්තරයක්!
එමෙන්ම ‘දේශය’ පුවත්පත එම පුවත වාර්තා කර තිබුණේ මෙසේය.
‘පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවක් පවත්වා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයක් නොමැතිවය. එහි මුලසුන දරා ඇත්තේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරයි. මේ සඳහා සහභාගී වී ඇත්තේද දහඅට දෙනකුගෙන් පමණ යුතු සුළු පිරිසකි.
‘මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය පිළිබඳව නම් සෑහීමකට පත්වෙන්න බැහැ.’
ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මෙවන් කතාවක් කියා ඇත්තේ මහ ලේකම්වරයාය. ඉන්පසු පක්ෂ නායකයා නොමැති සභාවේ මන්ත්‍රී කණ්ඩායම සිය කලකිරීම් එළිපිට කියන්නට පටන්ගෙන ඇතැයි කියැවේ.
‘කරන්න දෙයක් නෑ ලේකම්තුමා. හැමදාම ගෲප් මීටින් තිබ්බත් කතා කරන්නෙ එකම ටික. ඒකත් ලොක්කා විතරයි. අපි අහගෙන ඉඳල ඉඳලා නැගිටල යනවා.’
මාධ්‍ය වාර්තා ද සඳහන් කරන පරිදි එම විරෝධය ගොනු වී ඇත්තේ තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ මූලිකත්වයෙනි.
‘ගෲප් එකේ විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුව පටන්ගත්ත වෙලාවේ ඉඳලා කතා කරන්නේ නායකතුමා විතරයි. දැන් මේක අනෙක් අයට විහිළුවක් වෙලා.’
මේ ආදී ප්‍රශ්න මතුවන විට ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ද සඳහන් කර ඇත්තේ නායකතුමා මේ පිළිබඳව දැනුවත් කළ බවකි. එහෙත් ඉන් ප්‍රතිඵලයක් නොවූ බව ඔවුන් සඳහන් කොට තිබේ. වාර්තා වන පරිදි මෙම සංවාදය තරමක් දීර්ඝව පවත්වා තිබේ.
පාර්ලිමේන්තුවේ කාලය නාස්ති වීම, අනවශ්‍ය මන්ත්‍රීවරුන් සමග විපක්ෂ නායකවරයා පැටලීම, තරුණ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් නොලැබීම ආදී ගැටලු රැසක් මෙහිදී කරළියට පැමිණ තිබේ. කෙසේ වෙතත් කිහිප දෙනකු විපක්ෂ නායකවරයා ආරක්ෂා කිරීමටද උත්සාහ දරා ඇති බව කියැවේ.
දේශපාලන කරළියේ සඳහන් වන පරිදි සියල්ල අසා සිටි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා හට තත්ත්වය බරපතළ වන බව පෙනීගොස් තිබේ.
‘හරි හරි මේ සියල්ල ගැනම මම නායකතුමාව දැනුවත් කරන්නම්.’
ඒ අනුව මෙවර සජබ කණ්ඩායම් රැස්වීම අවසන් වී ඇත්තේ අලුත් අර්බුද රැසකට පාර කපමිනි.’
ඒකත් බොරුවක්!
කෙසේ වෙතත් මෙවැනි සාකච්ඡාවක් පැවැති නමුත් එළියේ ඒ කියන ආකාරයේ කිසිවක් සිදුව තිබුණේ නැත. සජිත්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණද එදින සජිත්ට අත්‍යාවශ්‍ය රාජකාරියක් යෙදී තිබීම හේතුවෙන් රංජිත්ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වී තිබිණි. මන්ත්‍රීවරු 20ක් පමණ මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර, එහිදී වැඩිපුරම කතාබහට ලක්ව ඇත්තේ අයවැය විවාදය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන්ය. කෙසේ වෙතත් අවසානයේදී සුපුරුදු පරිදි රාජිත සේනාරත්න පමණක් කතාකරමින් කියා ඇත්තේ සජිත් ජාතික ප්රශ්නවලදී පමණක් පාර්ලිමේන්තුවේ කතා කළ යුතු බවත්, සති දෙකකට පමණ වරක් කතා කළාම ප්‍රමාණවත් බවත්ය. එම කතාව පදනම් කරගෙන යට කී පුවත්පත් මෙම අසත්‍ය පුවත එකම ආකාරයකින් පළකිරීමට පියවර ගෙන තිබිණි.
මෙන්න යවපු ලියුම!
ඒ අනුව සඳුදා දිනයේම සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කළේ මෙම පුවත්පත් දෙකේම කර්තෘවරුන් වෙත නිවැරැදි කිරීමේ ලිපියක් යොමුකිරීමය. එහි සඳහන්ව තිබුණේ මෙවැන්නකි.
2023.12.04
කර්තෘතුමා,
හිතවත් කර්තෘතුමනි,
සජිත්ගේ පාර්ලිමේන්තු හැසිරීමට ස.ජ.බ.යෙන්ම අප්‍රසාදය
උක්ත මැයින් එස්. අස්ලාම් මහතා විසින් වාර්තා කොට 2023.12.03 වැනි ඉරිදා ඔබගේ පුවත්පතේ මුල් පිටුවේ පළවූ වාර්තාව හා බැඳේ.
එම ප්‍රවෘත්තියේ සඳහන් වූ ආකාරයට මාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව තුළ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් නොපැවැත්වුණු බව අවධාරණයෙන් ප්‍රකාශ කරමි.
එම ප්‍රවෘත්තිය සාවද්‍ය මෙන්ම දේශපාලනික අවශ්‍යතාවක් මත නිර්මාණය කොට පළකරන ලද්දක් බව පැහැදිලි වේ.
එම පුවත් වාර්තාවට ලබාදුන් ඉඩකඩ සහ ප්‍රමුඛතාවයම ලබාදෙමින, මෙම වැරැදිසහගත ප්‍රවෘත්තිය නිවැරැදි කර නැවත පළකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
රංජිත් මද්දුමබණ්ඩාර,
මහලේකම්
සමගි ජන බලවේගය.
නාමල්ට බකට් එකක්!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වැනි උපන්දිනය පසුගිය 17 වැනිදා යෙදී තිබුණු අතර, එදින ජනාධිපතිවරයා හා රාජපක්ෂ පවුලේ දූදරුවන් එක්ව මහින්ද වෙනුවෙන් කේක් ගෙඩියක් කපා හැපි බර්ත් ඩේ කී බවක් ‘රාජ්‍ය රහස්’ තීරයේ අපි වාර්තා කර සිටියෙමු. ජනාධිපතිවරයා හා කේක් කැපීම අලුත් කතාවක් නොවුවද, එම කතාවෙන් පසු කිසිවකුත් නොදන්නා තවත් අලුත් කතාවක් රටට හෙළිදරව් වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ, මෙම උපන්දින සාදය සංවිධාන කොට තිබූ නිවෙස සම්බන්ධයෙන්ය. මාධ්‍ය වාර්තා කොට තිබුණේ මෙම පාටිය පැවැත්වුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වාසය කරන ආණ්ඩුවේ නිල නිවෙසේ බවය. මලලසේකර මාවතේ එම නිල නිවෙස පිහිටා ඇති බවත්, දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍ය ධුරය දරන සමයේ එම නිල නිවෙසේ වාසය කොට ඇති බවත් එම මාධ්‍ය වාර්තාවලින් අනාවරණ කොට තිබිණි. පසුව දිනේෂ් අගමැති ධුරය භාරගැනීමෙන් පසු එම නිල නිවෙසින් නික්ම ගොස් ඇති අතර, පසුව එය නාමල් විසින් වාසය කිරීම සඳහා භාවිත කොට ඇති බවද කියවිණි.
මන්ත්‍රීට පුලුවන්ද!
නමුත් ප්රශ්නය ඇත්තේ ආණ්ඩුවේ අමාත්‍යවරයකු විසින් පමණක් භාවිත කළ හැකි ආණ්ඩුවේ නිල නිවෙසක්, ආණ්ඩුවේම මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන නාමල් භාවිත කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්ය. ඒ අනුව ඉදිරියේදී මෙම මාතෘකාව දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් වීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.