හීං හීතල මන්දහාසය තැවරුණු වලාකුළු සළු වියන් බැඳපු ආදරණීය ඉසව්වක්. ඒ ඉසව්වේ කඳු මුදුනකින් හෙමින් සැරේ බිමට බහින සුරවමියක්. ඈ ඇඳලා ඉන්නේ වලාකුළු සළු. සුදු දිය සේලය එහෙට මෙහෙට ලෙළදෙවමින්, ඈ ලැසි ගමනින් එනවා. ඇගේ හිනා කිනිති මල් ඉඳහිට පිපෙනවා. ඒ හිනා කිනිති මල් අස්සේ හීං සිලිලාරක හඬ ඈතට ඇහෙනවා. ඈගේ කිචිබිචියට ආදරෙන්ද කොහෙද, කුරුලු රංචු ඈ වටා රංචුගැහෙනවා. කුරුලු කිරිලියෝ කියවනකොට හරියට දැනෙන්නේ ඇගේ සිලිලාරට ඔච්චම් කරනවා වගේ. ඈත ඉඳන් එන හුළං රැලි, ඈගේ සිනිඳු සුදුමුදු, සුමුදු සේලේ එහෙට මෙහෙට හොලවනවා. ඈ ලැජ්ජාවෙන් ඇගේ සේලේ ආයෙත් හදාගන්නවා. ආයෙත් හුළඟ ඇවිත් සේලේ එහෙට මෙහෙට කරනවා. මිනිස්සු දෙනෝ දහක් බලාගෙන ඉද්දි වෙන මේ වැඩේ ගැන ඈට වෙලාවකට තරහා යනවා. එතකොට ඈ වේගෙන් යන්න පටන් අරගන්නවා. ඇගේ සිනිඳු, සුදුමුදු සේලේ පාට වෙනස් වෙනවා. දුඹුරු පාට වෙච්ච සේලේ ඇඳගෙන තරහෙන් මුමුණමින් ඈ වේගෙන් යනවා. ඈ වටපිට තියෙන මල් පෙති ඔක්කොම කඩලා දානවා.Sri Lanka Latest News
ඒ වෙලාවට මිනිස්සු ඈට බයවෙනවා. ඇගේ නම දුන්හිඳ. ඈ ඉපදෙන්නේ බදුලු ඔයේ. බදුලු ඔයේ තමයි මේ සුරවමියට පණ දුන්නේ. දැන් බදුලු ඔයට මිනිස්සු කුණු දාලා. බදුලු ඔය දෑලේ අනවසර ඉදිකිරීම් පිරිලා. සමහරු ගෙවල් හදලා ඒවා පස්සේ හෝටල් බවට පරිවර්තනය කරගන්නවලු. සමහරුන්ට අවසරයක් කිසිසේත්ම නැහැලු. සමහරු මේ හෝටල්වල කැළිකසළ බැහැර කරන්නේ බදුලු ඔයටලු. සමහරුන්ගේ මල අපද්‍රව්‍ය නළ හරවලා තියෙන්නේ බදුලු ඔයටලු. දැන් ඈගේ අර සුදු මුදු සේලේ තැන් තැන්වල මල අපද්‍රව්‍ය, කැළිකසළ, සිලි කවර, සැමන් ටින්, අනම් මනම් පිරෙන දවස වැඩි ඈතක නෙමෙයි. එහෙම වුණොත් දුන්හිඳ සුරවමිය මියයාවි. ඈට මේ වැඩේ කරන්න බැරි වේවි. ඈට තියෙන ආදරය නැති වේවි. අද වෙද්දි මුළු ලෝකෙම ආදරය ඈට තියෙනවා. ලෝකේ ඈතම ඈත රටවල්වල ඉන්න මිනිස්සුත් ඈව බලන්න එනවා. ඈ, ඒ අයට ආදරය බෙදලා දෙනවා සම සමව. ඈගේ ළඟ සිසිලසයි. ඈගේ ළඟ මිහිරියි. ඇගේ හඬ අසා සිටින්න හිතෙනසුලුයි. ඈ අපිට සල්ලි හොයලා දෙන කෙනෙක්. අපි දුප්පත් රටක්. ලෝකේ බොහෝ රටවල්වල ඉන්න සල්ලිකාරයෝ අපේ රටට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඩොලර් වියදම් කළාමයි, අපි අපේ රටට තෙල් ටික අරගෙන එන්නේ. අපි ඒ තෙල්වලින් තමයි විදුලි බලය නිෂ්පාදනය කරගන්නේ. ඒ තෙල්වලින් තමයි අපි අපේ දරුවන්ව ඉස්කෝලෙට ගිහිල්ලා දාන්නේ. අපිට ඩොලර් නැත්නම් තවදුරටත් අල්ලාගෙන ඉන්න බැරි වෙනවා. පහුගිය කාලේ වුණේ ඒක.
සංචාරක කර්මාන්තය ගැන උදම් අනමින්, සංචාරකයෝ ලංකාවට ආවා කියලා අත්පුඩි ගහන බලධාරීනි, ඒ මිනිස්සු ලංකාවට එන්නේ ලංකාව බලන්න. එහෙම නැතුව අපිට ආධාර කරලා යන්න නෙමෙයි. මේ ආදරය අරගෙන එන මිනිස්සුන්ට අපි ආදරය නොදුන්ණොත් ඒ මිනිස්සු අපිව දාලා යනවා. ඒ මිනිස්සු එන්නේ කැළිකසළ බලන්න නෙමෙයි. ඒ මිනිස්සු එන්නේ මළ අපද්‍රව්‍ය පද්ධතිවල අපූරුත්වත්වය නරඹන්න නෙමෙයි. ඒ නිසා අපි මීට වඩා කල්පනාකාරී වෙන්න ඕනේ. රටක් රටක් විදිහට තියෙන්න නම් ඒ රටේ මිනිස්සුන්ට වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා. මිනිස්සු චෝදනා කරන්නේ බලධාරීන්ට. නම් ගම් තියෙන බලධාරීන් විශාල ප්‍රමාණයක් හිටියට, ඒගොල්ලෝ තමන්ගේ වගකීම්, යුතුකම් නිසියාකාරව ඉටු නොකරන හින්දයි බදුලු ඔයට මේ විපත සිද්ධ වෙලා තියෙන්නේ කියලා මිනිස්සු කියනවා.
අපිටත් ඒක තේරෙනවා. මොකද ඒකට හේතුව මාධ්‍යවේදියෝ විදිහට අපිට කරන්න පුළුවන් මේ ගැන ලියන එක විතරයි. ඇත්තටම රටේ ප්‍රධාන නාලිකාවක් මගින් මේ ගැන විශේෂ පැහැදිලි කිරීමකුත් සිද්ධ කළා. සමහරු හිතයි මේ කරන්න හදන්නේ මේ බදුල්ලෙන් ආපු දේශපාලකයන්ට චෝදනා කරන්න, ඒ මිනිස්සු රිදවන්න කියලා. නෑ, අවුරුද්දක් ඇතුළත ආපු දේශපාලකයන්ට මේකට කරන්න දෙයක් නෑ කියලා අපිත් දන්නවා. මේක අවුරුද්දකින්, දෙකකින්, තුනකින් වෙච්ච දෙයක් නෙමෙයි. මේක අවුරුදු කීපයක් තිස්සේ එක දිගටම වෙච්ච සිද්ධියක්. අනිත් එක අපි මේ කතා කරන්නේ බදුල්ල ගැන වුණාට, මේක අපේ රටේ හැම තැනම තියෙන දෙයක්.
හෝටල් හදන අයට නිසි අවසරයක් අවශ්‍යයි. ඒවා නඩත්තු කරන විදිහක් අවශ්‍යයි. ඇත්තටම හෝටල්වලටත් කැළිකසළ බැහැර කරන්න නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ මිනිස්සුන්ට කුණු ටික දාන්න තැනක් නැත්නම්, ඒ මිනිස්සුන්ට මලාපවහන පද්ධති ටික මුදාහරින්න තැනක් නැත්නම්, ඒ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. ඇත්තටම මේවට වක්‍රාකාරව වගකිවයුතු විශාල පිරිසක් ඉන්නවා. අපි හෝටල්වලටම චෝදනා කරලා වැඩක් නැහැ. ඒගොල්ලෝ සංචාරක කර්මාන්තයට වක්‍රව උදව් වෙන මිනිස්සු. අවසර දුන්නා හෝ නොදුන්නා, දැන් හෝටල් හදලා ඉවරයි. මේවා කඩන්න බැහැ දැන්. මේවා හදන්නේ එක දවසින් නෙමෙයි, එක රැයින් නෙමෙයි. එක රැයකින් එළිවෙද්දී හෝටලයක් හදලා ඉවර කරලා නෙමෙයි. අපි හොඳටම දන්නවා හෝටලයක් හදන්න දීර්ඝ කාලයක් යනවා. ඒවට අවසර ගන්න ඕනේ, වීදි රේඛා සහතික ගන්න ඕනේ. මේ සම්බන්ධ පරිසරය සම්බන්ධව නිලධාරීන් ඉන්නවා. ජල අපවහන පද්ධති සම්බන්ධ නිලධාරීන් ඉන්නවා, වාරිමාර්ග සම්බන්ධ නිලධාරීන් ඉන්නවා. රජයේ වෙනත් නිලධාරීන් ඉන්නවා, වරිපනම් ගෙවීම සම්බන්ධව බලන්න කරන්න අය ඉන්නවා. මේවා බලන්නේ කොළඹ ඉන්න මධ්‍යම රජයෙන් නෙමෙයි. ප්‍රාදේශීය රජයන්, නගර සභා, ප්‍රාදේශීය සභා ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලන්ට තියෙන්නේ පොඩි වටපිටාවක්.
ඕනෙ තරම් ආරංචි වෙනවා ඇති, ඕනෙ තරම් ප්‍රවෘත්ති එනවා ඇති. ඒ නිසා මෙව්වා එදා හදාගන්න එක නවත්තන්නෙ නැතුව, දැන් පම්පෝරි ගහලා වැඩකුත් නැහැ. දැන් මේවට චෝදනා කරලා වැඩකුත් නැහැ. හැබැයි රටක් විදිහට මේ සෙල්ලම තවදුරටත් අපි ඉදිරියට අරගෙන ගියොත්, අපිට ඉතුරු වෙන්නේ අර පිට රටවල්වල විසි කරන කුණු ටික ලංකාවට ගෙනල්ලා, ඒ කුණු අපේ රටේ දාගෙන හොයාගන්න සල්ලි ටික තමයි. එහෙම කරන අයත් ලංකාවේ හිටපු නිසා, අන්න ඒ ව්‍යාපාරයට මුල් තැනක් දීලා සංචාරක කර්මාන්තය අනං මනං පැත්තකට දාලා, කුණු රට විදිහට, ලෝකේ කුණු එකතු කරන රට විදිහට, ලෝකේ කුණු ගොඩ විදිහට, අපිට සලකුණක් හදාගන්න පුළුවන්. නැත්නම් මීතොටමුල්ල වගේ ලොකු කුණු කන්දක් හදාගෙන, ඒ කුණු කන්දේ කුණු ටික එකතු කරලා ඒ ටිකෙන් ජීවත් වෙලා පොඩි ආතල් එකක් ගන්න පුළුවන්.
ඔය දිය ඇලි අනං මනංවලට හෙණගැහිලා යන්න කියලා අපි එහෙම හදාගත්තා නම් හරි. ලස්සනට පටන් අරගෙන කැතට ඉවර කරන්න වුණාට සමාවෙන්න. දුන්හිඳට වෙන්න යන්නෙත් මෙන්න මේක. ඒ කියන්නේ ලස්සනට පටන් අරගෙන බදුලු ඔය, ඉවර වෙන්න වෙන්නේ මේ විදිහේ අප්‍රසන්න තැනකින්. ඒ නිසා මේ සෙල්ලම ගැන අවධානය යොමු කරන්න බලධාරීන්ට දෑස් පහළ වේවා, ශක්තිය ලැබේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.

ජීවන පහන් තිළිණ










