නෝනාවරුනි මහත්වරුනි, අපි දෙවියන් හොයාගෙන කතරගම ගියා. කතරගම කියන්නේ හරිම සුන්දර තැනක්. පූජා නගරයක්. මිනිස්සු දහස් ගණනක් යන එන තැනක්. මිනිස්සු දහස් ගණනකගේ ආදරයට, ගෞරවයට පත්වෙච්ච තැනක්. සියවස් ගණනක් තිස්සේ අපේ රටේ මිනිස්සු වන්දනාමාන කරන, කතරගම දේව විශ්වාසය ඉතාම ඉහළින් අපේ රටේ මිනිස්සු සලකනවා. මේ දේව විශ්වාසයට අභියෝග කරන්න කාටවත් බෑ. දෙවියන් ඉන්නේ කොහෙද කියලා, කොතැනද කියලා හොයාගන්න බැරි වුණාට, දේවාලය ඇතුළේ මල් පහන්, පූජා වට්ටි පූජා කරලා, දෙවියන් උදෙසා කන්නලව් කරලා, දෙවියන්ගෙන් බොහෝ දේ ඉල්ලන එක අපේ රටේ මිනිස්සුන්ගේ පුරුද්දක්.Sri Lanka Latest News
කතරගම දේවාලය සම්ප්‍රදාය රකිමින් අවුරුදු ගානක් තිස්සේ මේ විදිහට ආරක්ෂා වෙලා තියෙන්නේත් මේ දේව විශ්වාසය නිසාම තමයි. කතරගම දේවාලය වටේ බිහිවෙලා තියෙනවා අද වෙද්දී විශාල ව්‍යාපාරික පරිසරයක්. හරියටම බැලුවොත් එහෙම ලංකාවේ ලොකුම ව්‍යාපාරික පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ කතරගම දේවාලය වටේ. අපේ රටට අයිති වෙලා තියෙන වෙනත් පූජා ස්ථාන ගත්තම, ශ්‍රීපාදස්ථානය වටෙත් යම් ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ඔවුන්ට සාධාරණ තර්කයක් තියෙනවා. ඔවුන් ඉන්නේ කඳු මුදුනක. ඒ බඩු ටික අරගෙන යන්න අමාරුයි. ඒ නිසා ඔවුන්ගේ මිල වැඩිවීම සම්බන්ධයෙන් ඔවුන්ට සාධාරණ තර්කයක් තියෙනවා. අනුරාධපුර පූජා නගරය වටෙත් විශාල ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් සාපේක්ෂව ගත්තම කතරගමට ඊට වඩා වැඩියි. මහනුවර ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙනවා. නමුත් මහනුවර ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙන්නේ සංචාරක කර්මාන්තයට මුල් තැනක් දෙන, වඩා වැඩියෙන් සංචාරක කර්මාන්තය සඳහා උනන්දුව දක්වන ව්‍යාපාරික පරිසරයක්. නමුත් කතරගම තියෙන්නේ මේ සියල්ලට වඩා වෙනස් කතරගම බැතිමතුන් සඳහාම වෙන් වෙච්ච ව්‍යාපාර තමයි තියෙන්නේ. ඉතින් මේ ව්‍යාපාර ඇතුළේ යාල වනෝද්‍යානයට එන සුද්දෝ ඉලක්ක කරගෙන හදාගත්ත යම් යම් ව්‍යාපාර ටිකකුත් තියෙනවා. මේ සියල්ලම කතරගම නගරයේ අපි දකිනවා. ඉතින් අපි කතරගම ගියාට පස්සේ අපිට කතරගමදී විඳින්න සිද්ධ වෙච්ච සමහර අත්දැකීම් අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ. ඔබටත් මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමින්.
කතරගම ප්‍රධාන ආපන ශාලා සියල්ලේම අපි හඳුනාගත්ත ලක්ෂණයක් තමයි ආහාරවල ප්‍රමාණාත්මක ගුණාත්මක බව පිළිබඳ ප්‍රශ්න සහිතයි. එහෙම නැති සමහර තැන් තියෙනවා. හැම තැනම ගැන නෙමෙයි අපි කියන්නේ. ගොඩක් තැන්වල එහෙම තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපි දැක්කා එක ආපන ශාලාවක ඔවුන් දුන්නු කෑමවලට වඩා නොදුන්නු කෑමවලටත් එක්ක බිල හදලා වැඩිපුර සල්ලි ගන්න අවස්ථා. ස්ථිරව මිල සඳහන් කරලා තිබුණට, උදාහරණයක් විදිහට ගත්තොත් ඉට්ලි පහක් අපි කෑවොත්, ඔවුන් ඉට්ලි අටකට බිල හදනවා. එතකොට ඔවුන් එක බිලයි අපිට දෙන්නේ. රුපියල් 1225යි කිව්වහම අපි 1225 ගෙවලා එනවා. නමුත් ඇත්ත බිල 980යි. ඉතින් මේ වගේ දේවල් කතරගමදී ඕනෙ තරම් වෙනවා.
ඒ වගේම මේකේ ප්‍රධානම දේ වුණේ ඇත්තටම කතරගම නගරයට අපි ගියපු වෙලාවේ කතරගම නතර වුණු හෝටලය සහ එහිදී සිදුවෙච්ච සිදුවීම්. කතරගම සංචාරකයන් පවා යන එන හෝටලයකට අපි නවතින්න ගියා. මේ හෝටලයේ අපි රාත්‍රී කාලයේ නැවතුණා. අපිට නොතේරුණු අමුතුම දෙයක් සිද්ධ වුණා. ඒ තමයි කතරගම අපි පාවිච්චි කරපු නාන කාමරයේ ජලය හරහා විදුලිය ගමන් කරමින් තිබුණා. පාවිච්චි කරපු අයට පළවෙනි වතාවේ, දෙවැනි වතාවේ, යම් අඩු මට්ටමකින් ඇඟට කරන්ට් එක වැදුණා. ඉතින් කරන්ට් එක වැදුණාම අපිට තීරණය කරන්න සිද්ධ වුණා මේ හෝටලයෙන් පිට වෙලා යන්න. මේ විදිහට නියාමනයක් නැති, ප්‍රමිතියක් නැති හෝටල් විශාල ප්‍රමාණයක් කතරගම ප්‍රදේශයේ ඉදිවෙලා තියෙනවා. ඇත්තටම මේ වගේ හෝටල් ඉදිවෙනවා නම් ඔවුන්ට නියාමනයක් අවශ්‍යයි. සංචාරකයන් නතර කරගන්නවා නම්, අඩුම ශ්‍රී ලාංකිකයන් නතර කරගන්නවා නම්, ඉතින් නතර කරගන්න, ඔවුන්ට වහලයක්, බිත්ති හතරක්, බාත්රූම් එකක්, වාහන නවත්තන්න පුළුවන් පරිසරයක් විතරක් තිබ්බට මදි කියන එක ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ විදිහට නවත්තන තැන්වලට නියාමනයක් අවශ්‍යයි. නමුත් ඒ විදියේ නියාමනයක් නම් අපිට දකින්න ලැබෙන්නේ නැහැ.
පූජා වට්ටි කඩවල විශාල වංචාවක් සිදුවෙන බව අපිට පේන්න තියෙනවා. ඔවුන්ගේ පලතුරු කිසිසේත්ම ප්‍රමිතියකට නැහැ, ඉදිලා නැහැ. සාර්ථක නැහැ. පොඩි පොඩි පලතුරු කෑලි ටිකක් කපලා පූජා වට්ටියකට දාලා ඉතාම ඉහළ මිලකට පූජා වට්ටි අලෙවි කරනවා. පූජා වට්ටි කඩවල තියෙන්නේ ප්‍රමිතිගත පලතුරු නෙමෙයි. මේ පලතුරු දෙවියන්ට දුන්නට, දරුවෙක්ටවත් දෙන්න පුළුවන් මට්ටමක නෑ කියලා තමයි අපිට හිතෙන්නේ.
තවත් මරු වැඩක් අපිට හම්බ වුණා. ඒ තමයි මේ කතරගම දේවාල භූමියේදී. දේවාල භූමියේ සාමාන්‍යයෙන් අපි දන්නවා, උදේ 10.00 පූජාවට ලොකු සෙනඟක් එනවා. ඉතින් මේ පූජාවට තමයි අපිටත් සහභාගි වෙන්න සිද්ධ වුණේ. මේ පූජාවට සහභාගි වෙලා, පූජා වට්ටිය අතේ තියාගෙන ඉන්නකොට එක්තරා තරුණයෙක් ඇවිල්ලා මට කිව්වා, අපි ඔහුගේ ඡායාරූප පවා ගත්තා. මෙතැන ඉස්සරහින් පෝලිමෙන් දාලා දෙනවා. මෙහෙම හිටගෙන ඉන්න බැහැනේ. ඔයාව ඉස්සරහට මම ගන්නම් කියලා. මම ඔහුගෙන් ඇහුවා කොහොමද ඉස්සරහට ගන්නේ කියලා? නෑ ඒක අවුලක් නැහැ, මම කතා කරලා තියෙන්නේ ඔක්කොම වැඩ ටික. ඔයා ඉස්සරහින් ගිහිල්ලා පූජා වට්ටිය තියාගෙන ඉන්න. මම ඇතුළට දාලා දෙන්නම් කියලා ඔහු කිව්වා. මම ඔහුගෙන් ඇහුවා ඉතින් ඒක කොහොමද වෙන්නේ කියලා? ඔහු මට කිව්වා මේ රුපියල් 1500ක් දෙන්න. වැඩේ කරලා දෙන්නම් කියලා. මම ඇහුවා ඉතින් 1500ක් ඇයි කියලා? ඊට පස්සේ ඔහු කිව්වා මේ 1500ක් මටයි, ඇතුළේ ඉන්න අයටයි දෙන්න ඕනේ, නැත්නම් බැහැ. ඒක අවුලක් නෑ. ඔයා ලෑස්ති වෙන්නකෝ මම ඔයාව ගන්නම් කියලා. එතකොට මේ විදියේ ව්‍යාපාර කවුද පටන් අරගෙන තියෙන්නේ? කොහොමද මේවා කෙරෙන්නේ කියලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. මොකද ඒකට හේතුව, කතරගම කියන්නේ පූජා නගරයක්. කතරගමට එන හැමෝම එන්නේ වන්දනාමාන කරන්න. දෙවියන් වඳින්න. ඉතින් දෙවියෝ වඳින්න එන මිනිස්සුන්ට මේ තරම් ව්‍යාපාරික වුවමනාවල් එක්ක, මේ තරම් සල්ලි නාස්ති කරලා, මිනිස්සුන්ගේ අතේ තියෙන තුට්ටු දෙක නාස්ති කරලා, කවුද මේක කරන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා. මොකද මේක නරක තත්ත්වයක්. මේ සම්බන්ධව වගකිවයුත්තෝ වහාම ක්‍රියාත්මක වෙන්න.
කතරගම දෙවියෝ මේ මිනිස්සුන්ට බලලා තියෙන්නේ. කතරගම දෙවියෝ තමයි මිනිස්සුන්ගේ පිහිටට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කතරගම දෙවියෝ පිහිට වෙන්න ආපු මිනිස්සු ඇයි මේ කතරගම දෙවියන්ගෙන් මේ තරම් ලාභයක් ඒගොල්ලන්ට තියෙද්දිත්, ඇයි ඒගොල්ලෝ මේ විදිහට තවදුරටත් වෙනත් අතුරු ලාභ ගන්නේ, අයුතු ලාභ ගන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා. සාමාන්‍ය මිල එකට දෙකක් නෙමෙයි. එකට හතරක්, පහක් වැඩියෙන් ඇයි කෑම බීම විකුණන්නේ? ඇයි දේවල් අලෙවි කරන්නේ කියලා අපි ඔබෙන් ප්‍රශ්න කරනවා. අහිංසක මිනිස්සු දහස් ගණනක් කතරගම ඇවිල්ලා, මේ විදිහට අසරණ වෙනකොට, ඒ දෙවියන්ට මේක පේන්නේ නැද්ද කියලත් අපිට වෙලාවකට හිතෙනවා.
අපි දන්නවා, ගොඩක් වෙලාවට මේ අහවල් නඩුව කතරගම දෙවියෝ දන්නේ නැතුව ඇති. ඒත්, කතරගම පූජා නගරය තනිකරම හොර මැරකම්, තක්කඩිකම්වලින් පිරිච්ච තැනක් බව අපිට දැනුණේ මේ වතාවෙත් ගියාට පස්සේ. කෑම කඩේ වංචාව, හෝටල්වල තියෙන ප්‍රශ්න, පූජා වට්ටි හොරකම්, වට්ටි පෙට්ටිවල තියෙන වෙනත් ප්‍රශ්න, පාරේ වාහන නවත්තලා ගියොත් ඒ වාහනවල කෑලි ගලවන ඒවා, පූජා වට්ටි පෝලිමේ පූජා වට්ටිය ඉස්සරහට දාලා දෙන්න කීයක් හරි ගන්න ඒවා. මේ හැමදේමත් එක්ක තමයි අද කතරගම තියෙන්නේ. ඒ නිසා දැන් අපිට තේරෙනවා කතරගමට ඉක්මනට දෙවියන්ගේ පිහිට අවශ්‍යයි කියලා.

ජීවන පහන් තිළිණ










