පාස්කු ප්‍රහාරය. මේක දැන් හැමෝම අතර තියෙන ඉතාම ප්‍රසිද්ධ වචනයක්. නමුත් පාස්කු ප්‍රහාරය කියල කියන්නෙ එක අතකට ගත්තම වචනයක් විතරක්ද කියලා හිතෙන තැනට පත්වෙලා ඉවරයි.Sri Lanka Latest News
පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාලකයො කීපදෙනෙක් පරීක්ෂණ කටයුතු පටන් ගත්තා. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ හැරෙන තැපෑලෙන් බලය ලැබිච්ච ගෝඨාභය රාජපක්ෂ, ඊට පස්සෙ පාස්කු ප්‍රහාරය අතරතුරේදි ලංකාව පාලනය කරමින් හිටපු මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභයගෙන් පස්සෙ බලය ලැබිච්ච රනිල් වික්‍රමසිංහ, දැන් අනුර කුමාර දිසානායක. මේ හතරදෙනා කණ්ඩායම් හතරක්, දේශපාලන ක්‍රමවේද හතරක්, දේශපාලන කඳවුරු හතරක්. නියෝජනය කළේ පක්ෂ හතරක්. ඒ නිසා මේ හැමෝටම මේ වුවමනාව එක හා සමානව නම් තිබුණේ මේ කණ්ඩායමෙන් එක කණ්ඩායමක් වැරදි වුණත් අනිත් කණ්ඩායම් තුන අඩුම තරමේ මේ වැරදිකාරයාව අල්ල ගන්න ඕනෙ.
මේ සම්බන්ධව චෝදනාත් හැමෝටම තියෙනවනෙ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයට තියෙන චෝදනාව තමයි එතුමගෙ කාලේ තමයි මේක සිද්ධ වුණේ, එතුමා මේකට ඉඩ දීලා සිංගප්පූරු ගියා කියලා සමහරු කියනවා. අපි ඒකට එකඟ නෑ. අපි ඒක කියන්නෑ. සමහරු එහෙම කියනවා. ගෝඨාභය රාජපක්ෂට තියෙන චෝදනාව තමයි ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය මේකට සම්බන්ධයි, ඔහුගේ පාර්ශ්වය බලය ලබාගැනීමේ වුවමනාවෙන් මේ වැඩේ කළා කියලා සමහරු කියනවා.
රනිල් වික්‍රමසිංහට ඒ වෙලාවේ ඇඟ බේරගන්න බැරිවුණේ මොකද ඔහු තමයි ඒ වෙලාවේ ලංකාවෙ අගමැති. එතකොට ඔහුත් ඒ පාලන තන්ත්‍රයේ සාමාජිකයෙක්. අනුර කුමාර දිසානායකගෙ පාර්ශ්වයට චෝදනාව තියෙන්නෙ ඔවුන්ගේ හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්ෂකයකුගේ දරුවෝ තමයි මේ පුපුරවා ගැනීම්වලට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම මේ සම්බන්ධව චෝදනා තියෙන ගොඩක් දෙනෙක් අද වෙද්දි අනුර කුමාර දිසානායක මහත්තයගෙ ආණ්ඩුවේ යම් යම් තනතුරු දරනවා කියලා කියනවා. මේකත් අපේ මතය නෙමේ මම කියන්නෙ රටේ ඇතැම් අයගේ මතය. එතකොට මේ හතරදෙනාටම චෝදනා තියෙන අස්සෙ අපි දකිනවා ගම්මන්පිල මහත්තයා පොතක් ලියනවා මහමොළකාරයෙක් නෑ මහමොළකාරයා සහරාන්ම තමයි කියලා.
එතකොට දැන් මහමොළකාරයෙක් නැත්නම් නිකං පොඩි මොළකාරයෙක් හරි මේක ඇතුළේ ඉන්නවාද කියන එක සාමාන්‍ය මිනිස්සු විදිහට අපිටත් තේරෙනවා. ප්‍රහාරයෙන් පස්සෙ හැරෙන තැපෑලෙන් කාත්තන්කුඩි ගියපු පත්තරකාරයෙක් වෙච්ච මට මේක ඇතුළෙ පෙනිච්ච සහ දැනිච්ච දේවල් ඔවුන් එක්ක කතාබහ කරද්දි ඇහිච්ච දේවල්, ඔවුන් අපිත් එක්ක කියපු දේවල් මේක ඇතුළෙ ලියන්න විදිහක් නෑ. නමුත් අපිට තේරෙනවා බොහෝ දෙනෙක්ගෙ වගකීම් පැහැර හැරීමේ ප්‍රතිඵලයක් විදිහට මේ ප්‍රහාරය සිද්ධ වුණා. නමුත් මේක හුදෙක් වගකීම් පැහැර හැරීම කියන කාරණාව ඇතුළේ ලඝු කරලා අමතක කරලා දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපි දන්නවා මේ ආණ්ඩුව බලයට එද්දි ගිවිසුම් අස්සන් කළා. අපි නාමිකව හෝ ලිඛිතව නැතත් මේ නිකං එකඟතාවලට ආවා අපි මේ පාස්කු ප්‍රහාරයේ අපරාධකාරයා හොයනවා කියලා.
ඔවුන් ඒ සම්බන්ධව යම් වැදගත් සාක්ෂි සහිතයි කියන අදහසින් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තා. ඒ කාලේ හිටපු බුද්ධි ලොක්කා. දැන් සලේ යම් යම් ප්‍රකාශ කළා කියලා අධිකරණයට කරුණු වාර්තා කරලා තිබුණා. ඒවා අපිට අධිකරණමය කාර්යභාරයක් හින්දා මේ වෙලාවෙ හෙළිකරන්න බෑ. නමුත් ඒවා ඉතා බරපතළ ප්‍රකාශ.
එතකොට ඔහු එවැනි ප්‍රකාශ කළා නම් අපි දන්නවා මේ වෙලාවෙ අප්‍රේල් 21ට කලින් නිවැරදිවම පුද්ගලයා නැතත් යම් යම් විදිහකට යම් අනුමානවලට උපමානවලට එන්න පුළුවන්කම තියෙනවා. දැන් සිද්ධ වුණේ පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා හොයන්න එන අයට අන්තිමට අර පාස්කු ප්‍රහාරය වෙලාවෙ බෝම්බ ගහලා පැනලා ගියපු ගෑනිව ඇත්තටම මැරිලද නැද්ද කියලා හොයාගන්න බැරුව ගියා. ඉන්නවද නැද්ද කියලා හොයාගන්න බැරුව ගියා. මේ වෙලාවෙ ඉතාම කනගාටුයි මේ පසුගිය පාස්කු ඉරිදා අපිට මතක් වුණේ කිසි දෙයක් නෙමෙයි මියගිය මිනිස්සු. ඒ මිනිස්සු හරි අහිංසකයි. කාගෙ හෝ වුවමනාවකට කාගෙ හරි කැමැත්තකට කාගෙ හරි රුචිකමකට ඔවුන් ජීවිතය පූජා කළා. පුංචි දරුවන්ගෙ ඉඳලා සමහර වෙලාවට පවුල් පිටින් මියගියා.
අපි සියොන් පල්ලියට යනකොට සියොන් පල්ලිය ඉස්සරහ පොඩි ළමයින්ගෙ සෙරෙප්පු තිහ හතළිහක් මහ මිනිස්සුන්ගෙ සෙරෙප්පු ටිකක් එක්ක එහෙම්මම තමන්ගෙ අයිතිකාරයො එනකම් බලාගෙන ඉන්නවා. අහල පහළ ගෙවල්වල ජනේල වීදුරු බිඳිලා ඒවයින් ඇතුළට ගියපු මිනීමස් කෑලි ඒ ගෙවල්වල තැන් තැන්වල අපි දැක්කා තියෙන හැටි. පල්ලිය හෝදලා තිබුණේ නෑ පල්ලියෙ ලේ. ඒ ලේ තිබුණේ ත්‍රස්තවාදීන්ගෙ නෙමෙයි. යුද්ධයක් අතරතුරේ ගලා ගිය ලේ නෙමෙයි. ඒ පුපුරා ගැනීමෙන් පස්සෙ මියගිය මෘත ශරීරවල ලේ. අපි දැක්කා මීගමුවෙ මළසිරුරු ගණින හැටි. එකිනෙක පිළිවෙළට තියලා. කොච්චිකඩේ මිනිස්සු හූල්ලන හැටි අපි දැක්කා.
පත්තරකාරයෙක් විදිහට මේ තැන් හොයාගෙන ගිහිල්ලා මේ තැන්වල ඇත්ත දැකලා මේ තැන්වල වේදනාවල් දැකලා මේ තැන්වල ප්‍රශ්න දැකලා අපි ඇඟ බේරගත්තේ නෑ. සමහර පත්තරකාරයෝ පාස්කු ප්‍රහාරයෙන් මාස ගානකට පස්සේ ඒ ගෙවල්වල ගිහිල්ලා ඒ මිනිස්සුන්ගෙ දුක කූරු ගගා අවුස්සලා වේදනාව මාකට් කරනකොට අපි කළේ ඒ මිනිස්සුන්ට ඇත්තටම වෙච්ච දේ හොයාගෙන ඒ මිනිස්සුන්ගෙ නගරවලට ගියපු එක.
සමහර මිනිස්සු මඩකළපුව පැත්තවත් බැලුවේ නෑ. අද මඩකළපුව ගැන කවි සින්දු ලියන මාධ්‍යවේදියෝ දහස් ගානක් ඉන්නවා. හැබැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරි පරීක්ෂණයක් සිද්ධ වෙනවද කියන සැකය අපිට දැනෙනවා. අපිට පේනවා. පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ මේ වගේ ඇඟ බේරගන්න පුළුවන් සරල පුංචි දෙයක් නෙමෙයි.
මේක පොකට් එකක් ගහලා කාගෙ හරි පර්ස් එකක් හොරකම් කරලා එහෙමත් නැත්නම් වත්තකට පැනලා කෙසෙල් කැනක් කැපුවා වගේ අමතක කරලා දාන්න පුළුවන් අපරාධයක් නෙමෙයි. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ මේ වෙනකම් අවුරුදු හතක් ගතවෙද්දිත් අපේ පාලකයෝ තට්ටුමාරු ක්‍රමයට දේශපාලනය වෙනස් කරමින් මාරු කරමින් බලය ගනිමින් බලය බෙදමින් බලය ඉල්ලා ගනිමින් කෑදර ලෙස බලය දෙසට කඩාපනිමින් බලය ලබාගන්නවා.
නමුත් ඔවුන්ට තාමත් මේ පාස්කු ප්‍රහාරයෙ හරි කතාව හොයාගන්න බෑ. ඇත්තටම කියනවා නම් මේ සමහර මිනිස්සුන්ව හිරේ දාන්නේ ඔහේ නිකන් නම නිසා ගම නිසා ඔවුන්ගේ ජාතිය නිසා ඔවුන් ඒ පැත්තේ ගියපු නිසා ආපු නිසා කියලා අපිට හිතෙනවා. ඒත් ඇත්ත අපරාධකාරයා හොයාගන්න එක මහා අමාරු දෙයක් නෙමෙයි. මහා මැජික් එකක් නෙමෙයි.
අපිට තේරෙන්නේ නැහැ ඇයි ඒත් මේගොල්ලෝ මේක මෙච්චර පැහැර හරින්නේ සහ මේක මෙච්චර කර අරින්නේ කියලා. අපි දැක්කා පහුගිය කාලේ කාදිනල්තුමාලා කතෝලික සභාව මේ වෙනුවෙන් වෙහෙසුණා මහන්සි වුණා. ඒත් දැන් ඒගොල්ලන්ගෙත් ලොකු කතාබහක් නෑ. දැන් අවශ්‍ය වෙන්නේ සංදර්ශන නෙමෙයි වැඩ. සුරේෂ් සලේ යම් ප්‍රකාශයක් කරලා තියෙනවා නම් ඒ ප්‍රකාශය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිද්ධ කරලා ඊට අදාළ වැරදිකරුවන් අත්අඩංගුවට අරගන්න. පිල්ලෙයාන් ප්‍රකාශයක් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න. අරගෙන අපිට පෙන්වන්න. අපිට මේක කරන්න බෑනේ. අපි පත්තරකාරයෝ විතරයි. අපිට පුළුවන් ඔයාලට දේවල් කියන්න. අපිට හොයන්න, අපිට කරන්න, අපිට අත්අඩංගුවට ගන්න බෑනේ.

ජීවන පහන් තිළිණ










