‘අත්තම්මා අපිව දාලා යන්නම ගිහින්……’
ඇය නමින් ලීලාවතී ඇසිලින් ධර්මරත්න. ඇය දිවි ගමනේ අවුරුදු 99ක් නිමාකර නික්ම ගිහින්. අප ‘මව්රට’ පුවත්පතට ඈ අවස්ථා ගණනාවකදී ලිපි සැපයුවා. ජගත් කාන්තා දිනයට, වෙසක් අතිරේකයට සෑම වසරකම ඈ නොවරදවාම ලිපියක් ලියන්නට අමතක කළේ නෑ. ලස්සනට, රහට, පාඨකයන්ගේ හදවතට දැනෙන්න ලිවීමේ මනා හැකියාවක් ඇයට තිබුණා. ඒ ලිපි හරහා පාඨක හිතවතුන් දැනුමෙන්, රසයෙන් පෝෂණය කළාට ඔබට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්… අත්තම්මේ…
1927 අවුරුද්දේ හොරණ මිල්ලෑව ප්‍රදේශයේ උපත ලද ලීලාවතී මාතාව, මිල්ලෑව බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, අනතුරුව ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස කටයුතු කළා. නීතිඥවරියක වීමට ඈ තුළ තිබූ ආශාව නිසාම නීතිඥ විභාගයට මුහුණදී එම වසරේ නීතිඥ විභාගයෙන් දිවයිනේ පළමුවැනියා විදියට සමත්වෙන්නටත් ඇයට හැකි වුණා. 1962 නොතාරිස්වරුන්ගේ සම්මේලනයට සහභාගිවුණු අවස්ථාවේ තමයි ඇගේ අනාගත සහකරු මුණගැසෙන්නේ. ඒ අනුව 1963 වසරේදී ඇය විවාහ දිවියට ඇතුළත් වෙනවා. විවාහ වී වසර 7ක් ගෙවෙද්දී, 1970 වසරේ හදිසියේම ඇගේ ස්වාමිපුරුෂයා මියයනවා. ඒ වනවිට එම දෙපළ දූවරුන් සිවුදෙනකුගේ මවුපියන් බවට පත්ව සිටියා. සැමියාගේ වියෝව දරාගැනීමට නොහැකිව නාවලපිටියේ පදිංචියට පැමිණි ඇසිලින් මාතාව, ස්වදේශීය අමාත්‍යාංශයේ නොතාරිස්වරියක ලෙස කටයුතු කිරීම ආරම්භ කළා. ඇය කිසි විටෙකවත් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්නට ඉඩ දුන්නේ නැහැ. නැවතත් විවාහයක් කරගැනීමට ඈ අකැමැති වූයේද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇති උනන්දුවත්, දරුවන් සිවුදෙනා කෙරෙහි ඇති අසීමිත ආදරයත් නිසාමය.
මහත් ධෛර්යයෙන් දරුවන්ට අධ්‍යාපනය ලබාදුන් ඇගේ ඒ වෙහෙස මල්ඵල ගැන්වූයේ දූවරු හතර දෙනාම උපාධිධාරීන් බවට පත්වීමත් සමගයි.
ඒ අතරින් වැඩිමහල් දියණිය ධම්මිකා ජයලත් බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය ලෙසත්, දෙවැනි දියණිය සමුද්‍රා ජයලත් ඔස්ටේ්රලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක් ලෙසත්, තෙවැනි දියණිය ඉන්දුනීලා නාවලපිටියේ ශාන්ත ඇන්ඩෲ විදුහලේ ගුරුවරියක් ලෙසත්, සිවුවැනි දියණිය මනෝහාරි ජයලත් මහෙස්ත්‍රාත්වරියක් ලෙසත් කටයුතු කරනවා.
වයස අවුරුදු 94දී පවා වැඩිදුර අධ්‍යාපනය ලැබීම අත් නොහැරි ඇසිලින් මාතාව අභිධර්මය හදාරා උපාධිය ලබාගත්තේ ඉගෙනීමට වයස බාධාවක් නොවන බව ලොවටම පෙන්වා දෙමින්. එසේම වයස අවුරුදු 97දී ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නත් ඇය සමත් වෙනවා. ‘උනන්දුව තියෙනවා නම්, ඉගෙනගන්න වයස බලපාන්නේ නෑ… වයස කියන්නේ ඉලක්කමක් විතරයි…’ ලෝකයාට ආදර්ශයක් දෙමින් ඇය කිව්වේ එහෙමයි.
බොහෝ පවුල්වල දරුවන් මවුපියන්ට බරක් වෙද්දි ඇසිලින් මාතාවගේ දරුවන් තමන්ගේ අම්මාගේ කැපකිරීමට වටිනාකමක් දුන්නා. දරුවන්ගෙන් මවුපියන්ට ලැබෙන ලොකුම සතුට, ඔවුන් සමාජයට වැඩදායී පුරවැසි බවට පත්වීමයි. ඇසිලින් මාතාව ඒ සතුට උපරිමයෙන් වින්දා.
ශතවර්ෂාසන්න කාලයක් රටට දැයට සේවය කර දිවි ගමන නිමා කළ ලීලාවතී ඇසිලින් ධර්මරත්න මාතාවගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ The Restpect Homes හි පෙබරවාරි 20 වැනි දින තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු 21 වැනි සෙනසුරාදා ප.ව. 3.30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
අත්තම්මේ ඔබ අපිව දාලා ගියාට ඔබ ලියූ වචන, ඔබ සමාජයට දුන් ආදර්ශය, ඔබේ සුන්දර සිනාව බොහෝ හදවත් තුළ තවමත් ජීවත් වෙනවා. අප ‘මව්රට’ කාර්ය මණ්ඩලය පමණක් නොවෙයි, ඔබව හඳුනාගත් සෑම හදවතක්ම ඔබට ආදරෙයි… ඔබට සුබ ගමන්…

නිලන්ති රේණුකා










