බාලවයස්කාර දරුවකු අත්අඩංගුවට ගත්විට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 6ක කාලසීමාව තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලු පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේය.Sri Lanka Latest News
2022 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද බාල වයස්කාර පාසල් සිසුවකුට පහරදී ඔහුගේ දෑස්වලට නයි මිරිස් යුෂ වත්කර හිංසා සිදුකිරීම මගින් හතරලියද්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක මේ බව සඳහන් විය.
බාලවයස්කාර දරුවෙකුට වධහිංසා කිරීමේ සිද්ධිය
හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවකු වූ කමල්ඩීන් ඉල්හාම් අහමඩ් සහ ඔහුගේ භාරකාරිය වන හමින් සිත්ති නිහාරා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුව මෙම පෙත්සම්කාර දරුවා පදිංචිව සිටින නිවස ආසන්නයේ පිහිටි නිවසක සිදුවූ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් පෙත්සම්කාර දරුවා 2022 වසරේ අගෝස්තු මස 07 වැනි දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
ඉන් අනතුරුව මෙම දරුවා පොලිස් ස්ථානයට රැගෙන ගොස් වධ හිංසනවලට ලක්කරමින් ප්‍රශ්න කර ඇතැයි අනාවරණය වූ බව තීන්දුවේ සඳහන් වේ. ප්‍රශ්න කිරීම් සිදුවන අතරවාරයේ දරුවාගේ පාදවලට පොලුවලින් පහරදී වධ හිංසාවට ලක්කර ඇති අතර, ලේන්සුවකට නයි මිරිස් කරල් කීපයක් මිරිකා එහි යුෂ දරුවාගේ දෑස්වලට වත්කරමින් වධ හිංසා පමුණුවා ඇති බවත් නඩු තීන්දුවේදී ප්‍රකාශ විය.
ඉන් අනතුරුව අදාළ දරුවා ඇප මත මුදාහැරීමෙන් පසුව ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් බවත්, එහිදී වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද අධිකරණ වෛද්‍ය වාර්තා මගින් පොලිස් අත්අඩංගුවේදී දරුවා වධහිංසාවලට භාජනය වී ඇති බව තහවුරු වී ඇති බවත් විනිසුරුවරු සිය තීන්දුවේ ප්‍රකාශ කළහ.
ඉන්පසුව මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී අදාළ දරුවා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් තීන්දුවෙන් පෙන්වාදී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වූයේ කුමක් ද?
මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
ඒ අනුව, අදාළ බාල වයස්කාර දරුවාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් එම දරුවාට රුපියල් ලක්ෂ 03ක වන්දියක් සහ ඔහුගේ භාරකාරියට රුපියල් 75,000ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවන ලෙස හතරලියද්ද පොලිසියේ එවකට වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරන ලදී.
ඊට අමතරව, යම් බාලවයස්කාර දරුවකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06ක කාලසීමාව තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලු පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කරන ලදී.
අපරාධ නඩු සංග්‍රහය යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී සාධාරණ පැමිණිල්ලක්, විශ්වාස කළ හැකි සාක්ෂි සහ සාධාරණ සැකයක් තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරු මඬුල්ල එහෙත් මෙම පෙත්සම්කාර දරුවා අත්අඩංගුවට ගැනීමේදී වගඋත්තරකාර පොලිස් නිලධාරියා එම නීතිමය මූලධර්ම උල්ලංඝනය කරමින් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර තිබෙන බවටත් චෝදනා කර තිබේ.
මේ තුළින් එම නිලධාරියා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර තිබෙන බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අවසානයේදී තීන්දු කළහ.
බීබීසී සිංහල










