ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ උත්තරීතරම විගණන ආයතනය වන විගණකාධිපති දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක් තිස්සේ, විගණකාධිපතිවරයකු නිසි කලට පත් නොකොට, නිසි නායකත්වයක් නොමැතිව කාලයක් පුරා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, පහත නම් සඳහන් සිවිල් සමාජ සංවිධාන, සහ සමාජ ක්‍රියාකාරීහු, ස්වකීය බරපතළ කනස්සල්ල පළකරති. මෙම ප්‍රමාදය උද්ගතව ඇත්තේ මහජන භාරය, මූල්‍ය වගවීම හා දැඩි අධීක්ෂණය හුදු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් පමණක් නොව, මෙම පත්කිරීම රටේ හදිසි අවශ්‍යතාවක් වන හෙයිනි. Sri Lanka Latest News
විගණකාධිපති ධුරය, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පදනම් සාධකයකි. ශ්‍රී ලංකාවේ උත්තරීතර විගණන ආයතනය ලෙස, එම ධුරය මහජන මුදල් භාවිතය, කළමනාකරණය සහ කාර්යසාධනය ස්වාධීනව විගණනය කිරීමෙන් මහජන සම්පත් සුරක්ෂිත කිරීමේ වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. ශක්තිමත් හා ස්වාධීන විගණකාධිපතිවරයකු පාර්ලිමේන්තුවට සහ මහජනතාවට, රජයේ වියදම් විමර්ශනය කිරීමට, අක්‍රමිකතා හඳුනා ගැනීමට, අරමුදල් අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීමට සහ මහජන සම්පත්හි භාරකාරත්වය දරන අයවලුන් වගවීමට යටත් කිරීමේ හැකියාව ලබාදෙයි. ස්ථිරව පත්කරන ලද විගණකාධිපතිවරයකු නොමැතිව සමස්ත මහජන විගණන පද්ධතියේ කාර්යක්ෂමතාව, අධිකාරය සහ ස්වාධීනත්වය දුර්වල වන අතර, අකාර්යක්ෂමතාව, අයථා කළමනාකරණය සහ දූෂණය සඳහා ඉඩකඩ නිර්මාණය කරයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව අඛණ්ඩව මුහුණ දෙමින් සිටින බහුවිධකාරී අර්බුදසහගත සන්දර්භය තුළ, ආයතනික වශයෙන් පවතින මෙම රික්තකය, අවදානම්සහගතය. රට, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්ව පවතින මොහොතක, එයට මුහුණ දීම සඳහා හදිසි සහන ප්‍රයත්න, මානුෂීය ආධාර සහ සැලකිය යුතු ලෙසින් මහජනතාවගෙන් හා බාහිර පාර්ශ්වවලින් අරමුදල් උත්පාදනය මේ වන විටත් සක්‍රියව ඇත. ආපදා ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රතිසාධනයේදී, අනිවාර්යයෙන්ම කඩිනම් ප්‍රසම්පාදනය, හදිසි වියදම් සහ බහුවිධ රාජ්‍ය ආයතන අතර සංකීර්ණ අරමුදල් සංසරණය වීම සිදුවේ. එවැනි තත්ත්ව තුළ, සම්පත් විනිවිදභාවයෙන් යුතුව වෙන්කිරීම, කාර්යක්ෂමව භාවිත කිරීම සහ ප්‍රමාදයකින් හෝ වෙනත් දිශානතියකට යානොදී, බලපෑමට ලක්වූ ප්‍රජාව වෙත ළඟාවීම සහතික කිරීම සඳහා ශක්තිමත් අධීක්ෂණ යාන්ත්‍රණ අත්‍යවශ්‍ය වේ. ස්ථිර ලෙස පත්කරන ලද විගණකාධිපතිවරයකු නොමැති වීම, මහජන වගවීම වඩාත්ම තීරණාත්මක වන මොහොතක, ආපදා සම්බන්ධ අරමුදල්වල නිසි මූල්‍ය කළමනාකරණය, බෙදාහැරීම සහ අධීක්ෂණය පිළිබඳ පැවතිය යුතු විශ්වාසය අඩපණ කරයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විගණකාධිපති ධුරය, විධායක අතපෙවීම්වලින් ස්වාධීන අධිකාරියක් ලෙස පිළිගන්නේ නිශ්චිතවම මහජන මුදල් පිළිබඳ විශ්වාසනීය අධීක්ෂණයක් සහතික කිරීම සඳහාය. කෙසේ වෙතත්, 2025 අප්‍රේල් මාසයේදී හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම ගැනීමෙන් පසු, මෙම ධුරයට පත්කරන ලද අයවලුන් කෙටිකාලීන වැඩබලන පත්වීම් මත දීර්ඝ කාලයක් රැඳී සිටින ආකාරය නිරීක්ෂණය වේ. නිසි කලට ස්ථිර පත්වීමක් වෙනුවට අඛණ්ඩව, තාවකාලික සේවා දීර්ඝ කිරීම් යටතේ මෙම ධුරය පවත්වා ගෙන යාම තුළ, ජාතික විගණන කාර්යාලයේ ආයතනික ස්වාධීනත්වය බිඳවැටීමේ අවදානමක් ඇති කරන අතර, නොබියව හා අපක්ෂපාතීව අධීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ හැකියාව දුර්වල කරයි. වැඩබලන පත්වීම්, ඒවායේ ස්වභාවය අනුව, අස්ථාවරත්වයක් ඇති කරන අතර, ඵලදායී විගණන කාර්යයන් සඳහා අත්‍යාවශ්‍ය වන විෂය අවබෝධය සහ ස්වාධීනත්වය අඩපණ කළ හැකිය.
මෙම ගැටලුව තවත් උග්‍ර වන්නේ රාජ්‍ය මූල්‍ය වර්ෂයක අවසානයේ සිටීම හේතුවෙනි. මෙය මහජන ආයතනවලට ගිණුම් අවසන් කිරීමට සහ ඔවුන්ගේ වාර්ෂික විගණන වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන තීරණාත්මක කාලපරිච්ඡේදයකි. විගණකාධිපතිවරයා මෙම ක්‍රියාවලියට මාර්ගෝපදේශනය සැපයීම, සමාලෝචනය කිරීම සහ වලංගු කිරීම, සමස්ත රාජ්‍ය අංශය හරහා අනුකූලතාව, විශ්වසනීයත්වය සහ වගවීම සහතික කිරීමේ මූලික කාර්යභාරයක් ඉටුකරයි. ස්ථිරව පත්කරන ලද විගණකාධිපතිවරයකු නොමැති විට, සමස්ත විගණන චක්‍රය ඛණ්ඩනය වීමේ සහ දුර්වල වීමේ අවදානමක් ඇති අතර, එය අධීක්ෂණයට බාධා පමුණුවයි. එමගින් මහජනතාව උදෙසා වන මූල්‍ය වගවීමේ අඛණ්ඩතාව අඩපණ කරයි. වගවීමේ දාමයේ මෙම අදියර බිඳවැටීම, මූල්‍ය විනය, විනිවිදභාවය සහ මහජන විශ්වාසය වඩාත්ම අවශ්‍ය වන මොහොතක, මහජන ආයතන සහ මහජන වියදම් අධීක්ෂණය කිරීමේදී බරපතළ අවදානම් ඇති කරයි.
පෙර විගණකාධිපතිවරයා විශ්‍රාම ගැනීමෙන් පසුව සිදුවූ සිදුවීම් අනුපිළිවෙළ දෙස අවධානය යොමු කළහොත්, පුළුල් දේශපාලන අක්‍රමිකතාවක් සහ ආණ්ඩුකරණයේ අසාර්ථකත්වයක් පෙන්වා දෙයි. මෙම ධුරයට පැහැදිලි ව්‍යවස්ථාපිත වැදගත්කමක් තිබියදීත්, පත්කිරීම් ක්‍රියාවලියේ පවතින දිග්ගැස්සුණු බව හා අපැහැදිලිතාව මත, දේශපාලන අභිලාෂය සහ වගවීම සම්බන්ධව පැවතිය යුතු කැපවීම පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරයි. මෙම තත්ත්වය ව්‍යවස්ථාදායක සභාව මත අමතර වගකීමක් පවරයි. මන්ද, ව්‍යවස්ථාදායක සභාව යනු, දේශපාලනීකරණයට එරෙහිව ක්‍රියා කිරීමට සහ ප්‍රධාන ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනවල තනතුරු විනිවිදභාවයෙන් හා කුසලතා මත පදනම් වූ ක්‍රියාවලි ඔස්සේ පත්කිරීම උදෙසා පිහිටු වූ අධිකාරියයි.
මේ සම්බන්ධයෙන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, පහත නම් සඳහන් සිවිල් සමාජ සංවිධාන, සහ සමාජ ක්‍රියාකාරීහු, විගණකාධිපතිවරයා වැනි ව්‍යවස්ථාපිතව ස්වාධීන කාර්යාලවලට පත්වීම් පාලනය කරන පැහැදිලි, ප්‍රසිද්ධියේ ප්‍රකාශිත මාර්ගෝපදේශ සහ නිර්ණායකවල හදිසි අවශ්‍යතාව අවධාරණය කරති. වෘත්තීය නිපුණතාව, ජ්‍යෙෂ්ඨත්වය, අඛණ්ඩතාව සහ ප්‍රදර්ශනය කරන ලද ස්වාධීනත්වය මත පදනම් වූ විනිවිදභාවයෙන් යුත් නිර්ණායක, පත්වීම් ක්‍රියාවලියේ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමට සහ අධීක්ෂණ ආයතන පිළිබඳ මහජන විශ්වාසය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වේ. පැහැදිලි ප්‍රමිති ව්‍යවස්ථාදායක සභාවට සිය අධිකාරිය ඵලදායීව ඉටු කිරීමට, අනවශ්‍ය බලපෑම්වලට ප්‍රතිරෝධය දැක්වීමට සහ මහජන අවශ්‍යතාවට සේවය කරන පත්වීම් සහතික කිරීමට ඇති හැකියාව ශක්තිමත් කරයි.
විගණකාධිපතිවරයකු පත්කිරීමට පවතින දිග්ගැස්සුණු අශක්නුතාව, ක්‍රියා පටිපාටික අතපසුවීමක් නොවේ. එය දීර්ඝකාලීන ප්‍රතිවිපාක උද්ගත වන ආණ්ඩුකරණයේ පවතින බලවත් දුර්වලතාවකි. ශ්‍රී ලංකාව ආර්ථික අස්ථාවරත්වය, මූල්‍ය සීමා සහ තීව්‍ර වූ ආපදා අවදානමට ලක්ව ඇති මොහොතක, දුර්වල වූ හෝ බිඳවැටුණු, විගණන අධීක්ෂණයක් පැවතීම දරාගත නොහැකි හානියකි. ශක්තිමත් මහජන මූල්‍ය කළමනාකරණය, ඵලදායී දූෂණ විරෝධී ආරක්ෂණ සහ වගවීමෙන් බැඳුණු ආපදා ප්‍රතිදානය යන සියල්ලම සම්පූර්ණයෙන්ම බලයලත් සහ ස්වාධීන උත්තරීතර විගණන ආයතනයක් මත රඳා පවතී.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, පහත නම් සඳහන් සිවිල් සමාජ සංවිධාන, සහ සමාජ ක්‍රියාකාරීහු, විනිවිදභාවයෙන් සහ ව්‍යවස්ථානුකූලව නිවැරදි ක්‍රියාවලියක් හරහා සුදුසුකම් ලත්, ස්වාධීන විගණකාධිපතිවරයෙකු පත් කිරීම සහතික කිරීම සඳහා තවදුරටත් ප්‍රමාදයකින් තොරව ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අදාළ සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. විශේෂයෙන්ම රටකට මෙවන් ආයතනික බිඳවැටීම දරාගත නොහැකි මොහොතක, මෙම තීරණාත්මක ආයතනයේ පූර්ණ ක්‍රියාකාරීත්වය ප්‍රතිස්ථාපනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වගවීම තහවුරු කිරීමට, මහජන සම්පත් ආරක්ෂා කිරීමට සහ රාජ්‍ය ආයතන පිළිබඳ මහජන විශ්වාසය නැවත ගොඩනැගීමට අත්‍යවශ්‍ය වේ.
අත්සන්කාර පාර්ශ්ව:
Ambitious Institution for Moral Generation
Anuradhapura District Citizen Committee
Association of War Affected Women (AWAW)
Centre for Human Rights and Development
Centre for Policy Alternatives
Centre for Society and Religion
Child Vision Sri Lanka – Puttalam
Eastern Social Development Foundation (ASDF)
Institute of Social Development
Mannar Women’s Development Federation
Muslim Women Development Trust
National Peace Council
People’s Action for Free and Fair Elections
Rural Development Foundation
Transparency International Sri Lanka
Woman Lanka Network
Women and Media Collective
Women’s Action Network
Ambika Satkunanathan
Peter Rezel
Ruki Fernando
Sandun Thudugala
Sheila Richards
Sudaraka Arthanayake
Dr. Vinya Ariyaratne
(Sri Lanka Brief)










