• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිරගෙවල් ඇතුළේ මරාගත් ඉතිහාසයයි වර්තමානයයි මෙන්න…! විමර්ශනවලට බාධාවක් නොවන විදියට අපි වාර්තා කරනවා…! Sri Lanka Latest News

July 11, 2026
in Exclusive
Reading Time: 8 mins read
A A
කැරැල්ලක් මැඩපවත්වන්න වෙඩි තැබූ බවක් පේන්නේ නෑ! මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11ක් වෙඩි තබා මරා දැමීම අපරාධයක්! වහාම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න! අධිකරණය CIDයට නියෝග කරයි!
Share on WhatsAppShare on Facebook

29 දෙනෙකුට මරණය ගෙන දුන් මීගමුව බන්ධනාගාරයේ ගැටුම – 2026 ජූලි 05 – 06

මෙරට ඉතිහාසයේ බන්ධනාගාරයක් තුළ සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙස සැලකෙන්නේ මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය 05 වැනිදා සහ 06 වැනිදා සිදුවූ මහා මිනිස් ඝාතනයයි. 29 දෙනකු අමු අමුවේ මරා දැමුණු එම ඛේදවාචකයට මුල සිරකරුවන් දෙපිරිසක් අතර වූ ගැටුමක් බවට ලඝුකරන්නට බලධාරීන් උත්සාහ ගත්තද එය ඊට එහා ගිය අපාරාධයක් බව දැන් එළියට එමින් ඇත. මෙහිදී බන්ධනාගාර නිලධාරීන් 08 දෙ‍නකු රැඳවූවන්ගේ ම්ලේච්ඡ පහරදීම්වලින් මරුමුවට පත්වූයේ මෙරට ඉතිහාසයේ බන්ධනාගාරයක් තුළදී නිලධාරීන් ඝාතනය වූ පළමු අවස්ථාව ලෙස සනිටුහන් වෙමිනි. Sri Lanka Latest News

ආදර්ශ බන්ධනාගාරයක් ලෙස පිටත සමාජය හමුවේ පෙනෙන්නට තිබුණු මීගමුව බන්ධනාගාරය තුළ පිටතින් වූ සුන්දරත්වය ඇතුළත නොවීම මේ තත්ත්වයට මුල්වූයේ යැයි සඳහන් කළහොත් වරදක් නැති තරම්ය. ඒ බව විමර්ශනවලින්ද දැන් අනාවරණ වෙමින් ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ අඳුරු පැතිකඩ එළියට එමිනි.

මීගමුව බන්ධනාගාරය තුළ මහා මිනිස් ඝාතනයකට පාර කැපෙන්නේ එහි සේවයේ නිරතව සිටි සහකාර අධිකාරිවරයාගේ සහ ප්‍රධාන ජේලර්වරයාගේ ස්ථාන මාරුවීම්ය. සහකාර අධිකාරිවරයා මාරුකර යැවෙන්නේ බූස්සටය. ඒ සේවා අවශ්‍යතාවක් මතය. එම ස්ථානමාරුවෙන් පසු වැඩි බරක් දරන්නට වන්නේ ප්‍රධාන ජේලර්වරයාටය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය‍මේ හිටපු සාමාජිකයකුගේ සහෝදරයෙකි. දැඩි පාලනයක් සහිතව ඔහු මීගමුව බන්ධනාගාරය තුළ මත්කුඩු ජාවාරමටත් දුරකතන භාවිතයටත් වෙනත් නීති විරෝධී වැඩවලටත් වැට බැන්දේය. මීගමුව බන්ධනාගාරය ආදර්ශ බන්ධනාගාරයක් ලෙස වැජඹෙන්නේ එබැවිනි. බන්ධනාගාරය තුළ ජාවාරම්වලට වැට බැඳීමට ඔහුට පහසුවක් වන්නේ රැඳවූවන් අතර සිටි තොරතුරුකරුවන් පිරිසකි. එම තොරතුරුකරුවන් අනාරක්ෂිත වන්නේ වාර්ෂික ස්ථාන මාරු යටතේ ඔහුත් ස්ථාන මාරු ලැබ මහර බන්ධනාගාරය ‍වෙත යාමත් සමගිනි. බන්ධනාගාරය තුළ විවිධ ජාවාරම්වලට සම්බන්ධව සිටි පිරිසක් විසින් පසුගිය 05 වැනිදා පහරදී මරාදමන්නේ ද සහකාර අධිකාරිවරයාගේ සහ ප්‍රධාන ජේලර්වරයාගේ තොරතුරුකරුවන් දෙදෙනෙකි. එම ප්‍රහාරය එල්ල වන්නේ ඔහු ස්ථාන මාරු ලැබ දින දෙක තුනක් ඇතුළතය.

බන්ධනාගාරය තුළ ජාවාරම්කරුවන් සහ ඔවුනට එරෙහි කණ්ඩායම් දෙකක ගැටුමක් ලෙස 05 වැනිදා හටගත් ගැටුමෙන් රැඳවූවන් ‍දෙ‍දෙනෙක් මියගොස් 35 දෙනෙක් පමණ තුවාල ලැබීය. එම ගැටුම දුරදිග යන්නට නොදී රාත්‍රී කාලය වනවිට පාලනය කරනු ලබන්නේ මිගමුව බන්ධනාගාරයේ නිලධාරීන් වීම විශේෂිතය. එදා රෑ මීගමුව බන්ධනාගාරය සාමකාමීය. ගැටුමක් සිදුවූ නැති ගානය. අගුල් නොදැමූ සිරකුටිවල කිටිකිටියේ සුපුරුදු ලෙස රැඳවූවන් ගුළිවී නිදා ගත්තේය. ඒ 600කට පහසුකම් තිබුණද 2,400ක් පමණ වූ අධික පිරිසකගෙන් සැමන් පැක් කරන ආකාරයට සිරකුටි පිරී තිබුණු බැවිනි.

එදා සාමකාමී රාත්‍රිය තුළ බන්ධනාගාරය තුළ සිදුවී තිබුණේ අබිරහක් සිදුවීමකි. පසුදින රැඳවූවන් කුපිත වන්නට බලපෑවේ එයයි. ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනවලින් ඉදිරියේදී හෙළිවනු ඇත. ඒ ගැන ‍කෙරෙන විමර්ශනවලට ඉඩ තබා මෙහි ඒ ගැන කිසිවක් සටහන් තබන්නේ නැත. ඒ බන්ධනාගාර නිලධාරීන් 08 දෙ‍නකු ඇතුළු 26 ‍දෙනෙක් අමුඅමුවේ බන්ධනාගාරය තුළ මරාදැමීමට මුල්වන්නේ එය වන බැවිනි.
පසුදින උදෑසනද බන්ධනාගාරය සාමකාමීය. වැඩ පාටිවල රැඳවූවන් ඔවුන්ට පැවරී ඇති කටයුතුවල නිරත වෙමින් සිට ඇත. උදෑසන ආහාරයද රැඳවූවන් වෙත සකස් කර ඔවුන්ට කන්නටද ඒ වනවිටත් දී තිබී ඇති බව සඳහන්ය. මේ ගැන තවදුරටත් විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකර ගනු ඇත. අධිකරණවලට එදින රැගෙන යාමට නියමිත රැඳවූවන්ද බන්ධනාගාර නිලධාරීන් ඒ වනවිටත් සූදානම් කරමින් සිට ඇති බවද කියැවෙයි.‍ කොළඹ සිට ‘බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ’ පිරිසක් මීගමුවට පැමිණෙන්නේත්, බන්ධනාගාරය තුළ නොසන්සුන් තත්ත්වයක් ඇතිවන්නේත්, මරණ සිදුවන්නේත් අනතුරුවය. ගැටුමට මුල්වූ කරුණු වෙඩි තැබීම්, පහරදීම් ගැන මෙහි සටහන් තබන්නේ නැත. එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහ මානව හිමිකම් කොමිසම විසින් නුදුරේම සිය විමර්ශන ඔස්‍සේ හෙළිකරනු ඇත. දැනට ඒ ගැන කිසිවක් සටහන් නොතබන්නේ විමර්ශනවලට එය බාධාවක් වන බැවින් සහ ඒ සියල්ල ආන්දෝලනයට තුඩු‍දෙන කරුණු බැවිනි.

බන්ධනාගාරය තුළදී පහරකෑමට ලක්ව මියගිය නිලධාරීන් 08 දෙනාම ‘බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ’ සාමාජිකයන්ය.‍ බන්ධනාගාර පද්ධතිය තුළ මේ කණ්ඩායම හඳුන්වන්නේ ‘බන්ධ පොලිස්’ යැයි කියාය. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පැවැති සමයේදී බන්ධනාගාර තුළ සිදුවන ජාවාරම් මැඬලිීමට මෙම බළකාය ස්ථාපිත කිරීමට මූලික පියවර ගන්නේ 2021 පෙබරවාරියේදීය. හමුදාවේ හිටපු සාමාජිකයන්ගෙන් ද සැදුම්ලත් මෙම බළකාය නිල වශයෙන් මෙ‍හෙයුම් සඳහා යෙද‍වෙන්නේ යැයි සඳහන් වන්නේ 2022 ජනවාරි 26දා සිටය. වැලිකඩ‍, මැගසින්, බූස්ස ඇතුළු බන්ධනාගාර කිහිපයක් ආශ්‍රිතව මෙම කණ්ඩායම ස්ථාපිත කර ඇති අතර බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන ජාවාරම් මැඬලීමට ඔවුන් කරනු ලබන සේවය අතිමහත්ය. 06 වැනිදා උදෑසන වැලිකඩ සිට කණ්ඩායමක් මීගමුව බන්ධනාගාරයට ගොස් ඇත්තේ ඉහළ නිලධාරීයකු විසින් ලබාදුන් නියෝගයකට අනුවය. දැනගන්නට ඇති ආකාරයට එහිදී මුලින්ම බන්ධනාගාරය තුළට ඇතුළු වී ඇත්තේ එම කණ්ඩායමේ 10 දෙනෙකි. ඒ වනවිටත් මීගමුව බන්ධනාගාරයේ සේවයේ නිරත නිලධාරීන් පිරිසක්ද බන්ධනාගාරය තුළ රැඳීසිට ඇත.

කලහාකාරී වූ රැඳවූවන් සංවිධානාත්මකව පහරදී ඇත්තේ ඇතුළට පැමිණි බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ නිලධාරීන්ටය. බිම පෙරළාගෙන අතින් පයින් මෙන්ම පොලු මුගුරුවලින් පහරදී හිසට මල් පෝච්චි පවා අතහැර අනතුරුව අමානුෂික ලෙස වධ බන්ධන පවා කර ඇති බව සඳහන්ය. සිරුරේ අවයවවලට පවා හානිකර ඇති අතර සිරුරේ අභ්‍යන්තරයට පොලු මුගුරු පවා රිංගවමින් ම්ලේච්ඡ ලෙස ඔවුන්ව මරාදමා ඇති බව සඳහන්ය. මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් ඔවුන්ව බේරාගැනීමට දැඩි උත්සාහයක් ගත්තද අවසානයේදී රැඳවූවන්ගේ ප්‍රහාරයන්ට එම නිලධාරීන් ලක්ව තුවාල ලැබීය. පිටත සිටි නිලධාරියෙක් බන්ධනාගාරයේ ප්‍රධාන දොරේ කවුළුවකින් ටී 56 ගිනි අවියකින් වෙඩි තබන්නේ ඇතුළත සිරවී සිටි සිය සගයන් බේරා ගන්නටය. එහෙත් ඒ වනවිටත් නිලධාරීන් 07 දෙ‍නෙක් මියගොස් හමාරය. 08 ‍වැන්නා මියයන්නේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. ඇතුළට ගිය නිලධාරීන් අතරින් තවත් දෙදෙ‍නෙක්ද සිටින්නේ ප්‍රතිකාර ලබමිනි. ඔවුහුද බරපතළ ලෙස පහරකෑම්වලට ලක්ව සිටිති.

‍මෙම සිදුවීම අතර බන්ධනාගාරය තුළ සිදුකරන ජාවාරම් ගැන තොරතුරු සැපයූ තවත් රැඳවූවන් ‍දෙ‍දෙනෙකුට පහරදී මරා දමා තිබුණේය. ඒ හැරුණු කොට තවත් දෙදෙ‍නෙක් සිටින්නේ අමානුෂික ලෙස ප්‍රහාරයට ලක්වය. කෙසේ වෙතත් මෙම ගැටුම් අවසානයේදී කළ ගණනය කිරීම්වලින් කියැවුණේ රැඳවූවන් 21 දෙනෙක් මියගොස් ඇති බවය. 05 වැනිදා 02ක්, 06 වැනිදා 18ක් සහ 07 වැනිදා 01ක් වශයෙනි.

මේ අතරින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මියගිය රැඳවූවන් 17 දෙනා අතරින් රැඳවූවන් 14 දෙනෙක්ම මිය‍ගොස් ඇත්තේ ‍වෙඩි වැදීම්වලිනි. එක් රැඳවූ‍වෙක් සම්බන්ධයෙන් ලබාදී ඇත්තේ විවෘත තීන්දුවකි. ‍‍දෙදෙනක් මිය‍ගොස් ඇත්තේ පහරදීම්වලිනි. රැඳවූවන් 04 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර නොතිබුණි. ඒ අතර ඉන්දියානුවෙක්ද සිටියි.

මීගමුව බන්ධනාගාරය තුළ ඉඩකඩ ඇත්තේ රැඳවූවන් 600කට පමණි. එහෙත් ගැටුම සිදුවන විට එහි සිටි රැඳවූවන් ගණන 2,400කට වැඩිය. ඒ අතර සියයට 80ක් 90ක් පමණ සිටි‍යේ රිමාන්ඩ් සිරකරුවන්ය. ඒ අතරින්ද සියයට 90කට වැඩි පිරිසක් සිටි‍යේ මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන්ය. එය දේශබන්දුගේ ‘යුක්තියෙන්’ මෙන්ම වත්මන් ආණ්ඩුවේ ‘රටම එකට’ ‍මහෙයුම්වලින් පොලිසිය ඉවක්බවක් නොමැතිව මත්කුඩු ජාවාරම්කරුවන් වෙනුවට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීමේ ප්‍රතිඵලයක් යැයි සඳහන් කළහොත් වරදක් නැති තරම්ය.

බන්ධනාගාර පද්ධතියට දරාගැනීමට නොහැකි තරම් රැඳවූවන් පිරිසක් රඳවා තැබීම නිසාම ඒ තුළින් ඇතිවන ගැටලු බන්ධනාගාර පද්ධතිය තුළ නිරන්තර‍යෙන් ඇතිකරනුගේ ගැටුම්ය. රැඳවූවන්ගේ මානව හිමිකම් ‍මෙන්ම සමස්ත සමාජ ආරක්ෂාවට පවා ගෙන දෙන්නේ බරපතළ ප්‍රතිවිපාකන්ය. රැඳවූවන් මානසික ආතතිය සහ අසහනයන්ට ලක්වීම තුළින් ඔවුන් ප්‍රකෝපවීම භයානක ප්‍රතිඵල අත්කර දෙන්නෙකි.

මීගමුව බන්ධනාගාරය තුළ අධික ඝනත්වය බන්ධනාගාර පද්ධතියට දරාගැනීමට නොහැකි තත්ත්වයක් වුවත් එය නිලධාරීන් විසින් උපක්‍රමශීලීව පාලනය කර ගත්තේය. එහෙත් වැඩ වරදින්‍නේ සහකාර අධිකාරිවරයාගේ සහ ප්‍රධාන ජේලර්වරයාගේ ස්ථානමාරු සමග බන්ධනාගාර නිලධාරීන්ට ඇතුළේ දේවල් ගැන තොරතුරු දුන් රැඳවූවන්ට ජාවාරම්වලට සම්බන්ධ රැඳවූවන් විසින් පහරදීමෙනි. එය අවසානයේදී පුපුරා යන්නේ නිලධාරීන් 08 දෙනකු ඇතුළු 29 දෙනෙකුගේ ජීවිත අහිමිකරමිනි. මෙහිදී තුවාල ලැබූ නිලධාරීන් ගණනද බොහෝය.

එදා පොලීසිය සහ හමුදාව පැමිණ බන්ධනාගාරය පිටත ආරක්ෂාව සැපයූවත් බන්ධනාගාරය ඇතුළේ සිදුවන සිරකරුවන්ගේ අරගලය මැඬලීමට ඇතුළට පැමිණෙන ලෙසට ඒ අයගෙන් කිසිදු ඉල්ලීමක් කර නොතිබුණි. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා පවසන්නේ පොලිසියට මේ ගැන කියනකොට බොහෝ දේවල් සිදුව හමාර බවය. බන්ධනාගාර පද්ධතිය භාරව සිටින වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරයා වන නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මියගිය නිලධාරීන්ට අවසන් ගෞරවය දැක්වීමට පැමිණි අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ඔහුව වටකරගෙන සිටියදී එක් නිලධාරියෙක් පවසන්නේ නියපොත්තෙන් කඩන්නට තිබූ දෙයක් දුරදිග ගිය බවය. ඔහු එහිදී පවසන්නට වූයේ නිසි වෙලාවට නියෝග නොලැබුණු බවය. එසේ නම් එම නිලධාරීන්ට නිසි නියෝග ලබා නොදුන්නේ කවුරුන්දැයි තවමත් එළියට පැමිණ නැත. එය යම් දවසක එළියට එනු ඇත. එහිදී මීගමුව බන්ධනාගාරයේ ගැටුම හා බැඳුණු නිලධාරීන් 08 දෙනෙකුගේ මරණය මෙන්ම රැඳවූවන්ගේ මරණ ගැන බොහෝ තොරතුරු එළියට එනු ඇත. එවිට ‘වගකීම භාරගන්නාවා. සොරි’ යැයි කියා ගැළවෙන්නට කිසිවකුටත් ඉඩක් නොලැබෙනු ඇත.

බන්ධනාගාර ආශ්‍රිතව මෑත ඉතිහාසයේ ඇතිවූ කැරලි කෝලාහල

  1. වැලිකඩ බන්ධනාගාරයේ දෙමළ රැඳවූවන් 53 කට මරණය ගෙන දුන් 83 කළු ජූලියේ බන්ධනාගාර ගැටුම
    1983 කළු ජූලිය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණු කළු පැල්ලමක් එක්කළ සිදුවීමකි. එදා මුළු රටම ගිනි ගනිමින් දැවෙද්දී වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ මහා මිනිස් සංහාරයක් සිදුවන්නේ බන්ධනාගාර ඉතිහාසයේ දැවැන්තම ඛේදවාචකවලින් එකක් බවට එය පත්කරමිනි. ඒ දෙමළ රැඳවූවන් 53 දෙනෙකු අමු අමුවේ ඝාතනය කරමිනි. ‍මෙම මහා මිනිස් සංහාරය සිදුවන්නේ ජූලි 25 සහ 27 යන දෙදින තුළදීය. එදා ඒ මහා මිනිස් සංහාරය සිදුවන්නේ සිංහල රැඳවූවන් පිරිසක් ජාත්‍යාලයෙන් මුසපත්ව චැපල් වාට්ටුවට කඩාවැදී පොලු මුගුරුවලින් සහ යකඩ පොලුවලින් පහරදී‍මෙනි. 25 වැනිදා එල්ල වූ ඒ පළමු ප්‍රහාරයෙන් මරුමුවට පත්වන දෙමළ රැඳවූවන් ගණන 35 ‍දෙනෙකි. දෙවැනි ප්‍රහාරය එල්ල වන්‍නේ 27දාය. එහිදී දෙමළ රැඳවූවන් 18 දෙ‍නකුට ජීවිත අහිමිවූ බව ඉතිහාසයේ සඳහන්ය.
    මෙහිදී ප්‍රහාරකයන්ගේ ප්‍රධාන ගොදුරු බවට පත්වන්නේ ටෙලෝ නායකයෙක් වූ සෙල්වරාජා යෝගචන්ද්‍රන් නොහොත් කුට්ටමනී, එම සංවිධානයේම ක්‍රියාකාරිකයෙක් වූ නඩරාජා තංගතුරෙයි, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිකයෙක් මෙන්ම ගාන්ධි මතධාරියෙක් වන ආචාර්ය ජයතිලක රාජා යන අයයි.
    බන්ධනාගාරය පැත්තෙන් මෙම ප්‍රහාරය වළක්වාලීමට කොතෙකුත් හැකියාවක් තිබුණද ඒ සඳහා වැඩි උනන්දුවක් ඔවුනට තබා ආරක්ෂාවට සිටි හමුදා සේනාංකවලට පවා තිබී නැත. ඒ ඉහළින් ඊට අවශ්‍ය නියෝග ඔවුන්ට ලැබී නොතිබුණු බැවිනි. ‍මෙම ප්‍රහාරය එල්ල කළා යැයි කියැවෙන්නේ දෙමළ සිරකරුවන්‍ගේ නාමලේඛනයක් ඇතැතිවය. ‍මේ පිටුපස සිටි‍යේ යැයි කියනු ලබන්නේ ජේ.ආර්.ගේ රජයේ එජාප වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් පිරිසකි. ඉහළ පෙළේ දේශපාලනඥයන්ගේ රැකවරණ ලැබූ එම වෘත්තීය සමිති කණ්ඩායමට එරෙහිව නීතිමය පියවරක් හෝ දඬුවමක් ලබාදුන් බවට තොරතුරක් අදටත් සොයාගන්නට නැත.
    මෙම මිනිස් සංහාරය සිදුවන විට ජේ.ආර්. ආණ්ඩු‍වේ බන්ධනාගාර විෂය භාරව සිටියේ අධිකරණ ඇමැති ධුරය දැරූ නිශ්ශංක පරාක්‍රම විජයරත්න මහතාය. ඔහුට මෙන්ම රජයටද එකල ජාත්‍යන්තර අප්‍රසාදය පළවුවත් රජයක් හැටියට එම සිදුවීම සැලකුවේ ‘රැඳවියන්‍ගේ කැරැල්ලක්’ ලෙස සුළුවෙනි. එය සැලසුම්සහගත ක්‍රියාවක් නොවන බව රජයේ ස්ථාවරත්වය විය. එකල ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක් වූ ලලිත් ඇතුලත්මුදලි මහතා පවා එම සිදුවීම සාධාරණීකරණය කරන්නට වූයේ ‘සිංහල ජනතාවගේ ක්‍රෝධය පාලනය කරගත ‍නොහැකිව සිදූවක්’ යැයි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරමිනි.
    මෙම සිදුවීම මුල්කරගෙන එදා ජේ.ආර්. ආණ්ඩුවේ කිසිදු ඇමැතිවරයෙක් ඉල්ලා අස්වීමක් හෝ සමාව ගැනීමක් සිදුවූයේ නැත. ඔවුන් හැම විටම එම සිදුවීම හුදෙක් සාමාන්‍ය සිදුවීමක් ලෙස දකින්නට විය. නමුත් 2004 වසරේදී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් එම සිදුවීම ඇතුළු සමස්ත කළු ජූලියේදී වූ සිදුවීම් සම්බන්ධයෙන් නිල වශයෙන් රජයක් ලෙස සමාව අයදින ලදී.
    ඊට පෙර 2001 වසරේදී ජනාධිපති සත්‍ය සෙවීමේ කොමිසමක් (ඡරුිසාැබඑස්ක ඔරමඑය ක්‍දපපසිසදබ) පත් කළ ද, වැලිකඩ බන්ධනාගාර ඝාතනය සම්බන්ධයෙන් කිසිදු සාපරාධී පුද්ගලයකු අධිකරණය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමට ඇගේ රජය සමත්වූයේ නැත.
  2. 1988 දෙසැම්බර් 13දා වැලිකඩ බන්ධනාගාර ගැටුම. ජවිපෙ සිරකරුවන් 221ක් පලායයි
    1983 ජූලි කලබලය අස්‍සේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ මහා මිනිස් සංහාරය ගැන ජේ.ආර්. ආණ්ඩුව මෙන්ම බන්ධනාගාරය විෂය භාර ඇමැතිවරයා මුනිවත රැක්කද 1988 දෙසැම්බර් 13 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය විසින් මැගසින් බන්ධනාගාරයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් නම් එසේ නොවීය. එය සැලකෙන්නේ සිරකරුවන්ගේ කැරැල්ලක් ලෙසිනි. වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර ආශ්‍රිතව ඇතිවූ එම කැරල්ල මෙරට ඉතිහාසයේ සිදුවූ දරුණුතම සිරකරු කැරලිවලින් එකක් ලෙස සැලකෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි රැඳවූවන් 221 දෙනෙක් එදා බන්ධනාගාරය බිඳ පලාගියේය. මේ කැරැල්ල වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවලට පමණක් සීමාවූයේ නැත. බෝගම්බර මෙන්ම පැලවත්ත සංක්‍රමණ කඳවුරු දක්වා ව්‍යාප්ත වී තිබුණි. පැලවත්ත කඳවුරෙන්ද රැඳවූවන් 131 දෙනෙක් පලා ගියහ. මෙහිදී පලායන වැඩි දෙනෙක් ජවි‍පෙ සාමාජිකයන්ය.
    මෙම කැරැල්ල සැලකෙන්‍නේ බන්ධනාගාර ඉතිහාසයේ ආරක්ෂාව බිඳවැටුණු මෙන්ම වැඩිම සිරකරුවන් පිරිසක් එකවර පලාගිය අවස්ථාව ලෙසිනි. බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව ගැන අලුතින් හිතන්නට පවා බලධාරීන් පියවර ගත්තේ අනතුරුවය. බන්ධනාගාරගතව සිටි සිය නායකයින් මුදාගැනීමට දියත් කළ එම කැරැල්ල සිදුවන විට බන්ධනාගාර නිලධාරීන් සිටින්නේ වර්ජනයකය. බන්ධනාගාර ඉතිහාස‍යේ පළමු වරට එම වර්ජනය දියත්කරනු ලබන්නේ ඉහළ වැටුප් සහ ආරක්ෂක පහසුකම් ඉල්ලාය. බන්ධනාගාර නිලධාරීන් රාජකාරිවලින් බැහැරව සිටි බැවින් එදා බන්ධනාගාරවල ආරක්ෂාවට යොදවා සිටියේ ත්‍රිවිධ හමුදාවන්ය. කැරැල්ල සිදුවන්නේ ඒ අතරතුරදීය. එහිදී බන්ධනාගාරයේ දේපොළවලට පවා දැඩි හානි සිදුකර තිබුණු බව බන්ධනාගාර තොරතුරුවල සඳහන්ය.
    1983 ජූලි 25 සහ 27දා වැලිකඩ බන්ධනාගාරය තුළ මහා මිනිස් සංහාරය සිදුවූ අවස්ථාවේදී ඉල්ලා අස්නොවූ ඇමැති‍ දේශමාන්‍ය ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතා සමග නියෝජ්‍ය අමාත්‍ය ෂෙල්ටන් රණරාජා මහතා එවර ඉල්ලා අස්වන්නේ සදාචාරාත්මක වගකීම භාරගනිමිනි. ඒ එම සිදුවීම වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇමැතිවරයා විදේශගතව සිටියත් තමා යටතේ ඇති ආයතනයක සිදුවූ බරපතළ ආරක්ෂක දෝෂයේ වගකීම භාරගනිමිනි. එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ඇමැති ධුරයට ජේ.ආර්. ජයවර්ධන අමාත්‍යවරයා විසින් පත්කරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු සහ නීතිඥයකු වූ ඊ.පී. පෝල් පෙරේරා මහතාය.
    ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ කිසිදු බලපෑමකින් තොරව, තමන්ගේ හෘද සාක්ෂියට එකඟව මෙවැනි බරපතළ වරදක වගකීම භාරගෙන ඇමැති ධුරයකින් ඉල්ලා අස්වූ ඉතාම දුර්ලභ සහ ආදර්ශමත් සිදුවීමක් ලෙස මෙය ඉතිහාසයට එක්ව හමාරය. එම ඉල්ලා අස්වීම සිදුවන්නේ 1988 වසරේ නොවැම්බර් මාසයේදී වන අතර, ඒ වනවිට රටේ ඊළඟ ජනාධිපතිවරයා තෝරාගැනීමට නාමයෝජනා පවා කැඳවා තිබීම විශේෂත්වයකි.
    එවක අග්‍රාමාත්‍යවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස, විපක්ෂ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඔසී අබේගුණසේකර යන මහත්ම මහත්මීන් ජනාධිපති ධුරයට තරග කළ අතර, 1988 දෙසැම්බර් 19 වැනිදා පැවැති මැතිවරණයෙන් දෙවැනි විධායක ජනාධිපති ධුරයට තෝරා පත්කර ගන්නේ රණසිංහ ප්‍රේමදාස මහතාය. 1989 ජනවාරි 02 වැනිදා ඔහු ජනාධිපති ධුරයේ දිවුරුම්දී වැඩ ආරම්භ කර 1993 මැයි 01 වැනිදා අභාවප්‍රාප්ත වන තුරුම බන්ධනාගාර ආශ්‍රිතව දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සහ කැරලි කෝලාහල සිදුවීම් කිසිවක් වාර්තා වන්නේ නැත.
  3. සිරකරුවන් 03කට මරණය ගෙන දුන් කළුතර බන්ධනාගාර ගැටුම – 1997 ‍දෙසැම්බර් 12
    කළුතර බන්ධනාගාරයේද විටින් විට ගැටුම් සහ නොසන්සුන්තා ඇතිවූවත් 1997 වසරේ දෙසැම්බර් 12 වැනිදා සිදුවූ ලේ වැගිරීම ජාත්‍යන්තරයේ පවා කතාබහකට ලක්වූවකි.
    බන්ධනාගාරයේ සිටි සිංහල රැඳවියන් පිරිසක් විසින් එල්.ටී.ටී.ඊ. සැකකාර රැඳවූවන් පිරිසක් රඳවා සිටි මැදිරි වෙත කඩාවැදී ප්‍රහාරයක් එල්ල කළ එම සිදුවීමෙන් දෙමළ රැඳවියන් 03 දෙනකු මියගොස් 17 ‍දෙනෙක් බරපතළ තුවාල ලැබීය.
    සිරමැදිරි කඩාගෙන ගොස් 200කට අධික රැඳවූවන් පිරිසක් පොලු මුගුරුවලින් සහ ගල්වලින් පහරදී මෙම අපරාධය සිදුකරන ලදී. ‍මෙම ගැටුම මැඬලීමට එකල නිසි පියවර නොගත් බවට බන්ධනාගාරයට චෝදනා පවා එල්ල විය.
    එවක සිටි ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ‍මේ පිළිබඳ සොයාබැලීමට කොමිසමක් පවා පත්කරනු ලැබීය. එවක මහාධිකරණ විනිසුරුවරයෙක් වූ රාජා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කොමිසම 1998 පෙබරවාරි 14දා සාක්ෂි විභාගය ආරම්භ කරනු ලැබීය. 1998 අප්‍රේල් 23දා දක්වා මාස දෙකකට අධික කාලයක් රැඳවූවන්, බන්ධනාගාර නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් 61 දෙ‍නකුගෙන් කොමිසම සාක්ෂි විමසන ලදී.
    බන්ධනාගාර පරිපාලනයේ සහ ආරක්ෂාවේ පැවති බරපතළ අඩුපාඩු රැසක් පෙන්වා දෙමින් කොමිසම විසින් සිය වාර්තාව භාරදුන්නද අදටත් ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් දැනගන්නට නැත. මෙම සිදුවීම එදා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි දෝෂ දර්ශනයටද ලක්විය.
  4. 2000 ඔක්තෝබර් 25 බිඳුණුවැව රැඳවුම් කඳවුරේ 27 දෙනෙක් ඝාතනය කර 14කට බරපතළ තුවාල සිදුකිරීම
    බිඳණුවැව පිහිටි රැඳවුම් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පහරදී එහි සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 27 දෙනෙක් ඝාතනය කර 14 දෙනකුට තුවාල කිරීමද ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකා නාමයට එක් වූ තවත් එක් කළු පැල්ලමකි. චන්ද්‍රිකා ආණ්ඩුව පැවැති 2000 වසරේ ඔක්තෝබර් 25 වැනිදා මෙම පහරදීම සිදුකරනු ලබන්නේ ගම්වැසියන් පිරිසක් විසිනි.
    ආරක්ෂක අංශ මගින් සැකපිට අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ.යේ සාමාජිකයන් ‍මෙන්ම හමුදාවට භාරවූ තරුණයන් පුනරුත්ථාපනය කිරීම සඳහා පවත්වාගෙන ගිය සංක්‍රාන්ති කඳවුරක් ‍ලෙස බිඳුණුවැව කඳවුර පවත්වාගෙන ගොස් තිබිණි. වැඩි හරියක් එහි රඳවා සිටි‍‍යේ අවුරුදු 20ට අඩු තරුණයන් සහ බාලවයස්කරුවන්ය. දීර්ඝ කාලයක් තිස්සේ නඩු පැවරීමකින් තොරව රඳවා තබාගැනීමට එරෙහිවත්, තමන්ගේ ඥාතීන්ගෙන් ලැබෙන ලිපි ලේඛන කඳවුරු පාලනාධිකාරිය විසින් හිතාමතාම රඳවා තබාගැනීමට එරෙහිවත් විරෝධතාවක් සහ උපවාසයක් රැඳවූවන් විසින් ආරම්භකරනු ලබන්නේ දින කිහිපයක් තිස්සේය.
    තත්ත්වය උණුසුම් මුහුණුවරක් ගන්නේ 2000 ඔක්තෝබර් 24දාය. මෙදින රැඳවූවන් සහ කඳවුරේ ආරක්ෂක නිලධාරීන් අතර බහින්බස් වීමක් ඇතිවන්නේ ආහාර සහ පහසුකම් මුල්කරගෙනය. ඒ අතර කටකතාවක් පැතිර යන්නේ රැඳවියන් විසින් එහි සිටි ආරක්ෂක නිලධාරීන් පවා ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබාගෙන ඇති බවටය. පැවැති නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට පසුදින පොලිසිය කැඳවීමට පියවර ගත්තේය. බණ්ඩාරවෙල සහ අවට ප්‍රදේශවාසීන් අතර කඳවුරේ සිටින එල්.ටී.ටී.ඊ. රැඳවූවන් කැරලි ගසා කඳවුරෙන් පැන යාමට සූදානම් වන බවට වූ කටකතාවක් පැතිර යන්නේ ඒත් සමගිනි.
    මෙම වකවානුවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරේදී හමුදාවට එරෙහිව දරුණු ප්‍රහාර එල්ල කර තිබූ බැවින් රට තුළ නිර්මාණය වී තිබුණේ විශාල ජාතිවාදී සහ වාර්ගික උණුසුමකි. බිඳුණුවැව පුනරුත්ථාපන කඳවුර එම ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිංහල සංවිධාන ඊට පෙර සිටම පෝස්ටර් ව්‍යාපාර සහ උද්ඝෝෂණ දියත් කර තිබුණි. මේ සියල්ල සමග කඳවුර තුළ හටගත් උණුසුම් තත්ත්වය හමුවේ ගම්වැසියන් කලබල වන්නේ කටකතාවලට තටුද ලැබෙමිනි. අවසානයේදී සිදුවන්නේ පොලිසිය බලා සිටියදී ගම්වැසියන් අතින් නිරායුධ රැඳවූවන් පිරිසක් ඝාතනය වීමය. තියුණු ආයුධ, පොලු මුගුරු සහ පෙට්‍රල් රැගත් සිය ගණනක මැර පිරිසක් කඳවුරට දෙසට කඩාවැදී එහි සිටි රැඳවූවන් කපා කොටා පහරදී ගිනිතබා මරාදැමුවේ අමු අමුවේය.
    මෙහිදී පොලිසියට චෝදනා එල්ලවන්නට වූයේ රැඳවුවන් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ බවටය. පලායෑමට උත්සාහ කළ රැඳවියන්ට වෙඩි තැබූ බවටත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිසියට මෙහිදී චෝදනා එල්ල කළේය.
    මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගත්තේය. කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුවේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු පස් දෙනකුට මරණ දඬුවමද නියම විය. ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණට යොමුකළ අභියාචනයෙන් නිදොස් කොට නිදහස් විය. ඒ, ඔවුන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව ප්‍රකාශ කරමිනි. ඒ අනුව මරණ දඬුවම නියමවූ සියලු දෙනා 2005 වසරේදී නිදහස ලැබීය. ඒ අනුව එම සිදුවීමට අදාළව කිසිදු පුද්ගල‍යෙකුට නීතිය හමුවේ දඬුවම් ලැබුණේ නැත.
    එවක පැවති චන්ද්‍රිකා ආණ්ඩුවේ බන්ධනාගාර විෂය භාරව සිටි අමාත්‍යවරයා වූයේ ජී.එල්. පීරිස් මහතාය. ඔහු එවකට අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයාය. මෙම සිදුවීමත් සමග කැබිනට් සංශෝධනයක්ද සිදුවිය. එහිදී ජී.එල්. පීරිස් මහතා සතුව පැවති අමාත්‍ය ධුරය හිමිවන්නේ බැටී වීරකෝන් මහතාටය. බන්ධනාගාර විෂය භාර ඇමැතිවරයා එසේ කැබිනට් සං‍ශෝධනයෙන් වෙනසක් සිදුවූවත් ආරක්ෂක අමාත්‍යවරිය වූ ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් නම් කිසිවක් සිදු නොවීය. කැබිනට් සංශෝධනයක් සිදුවූවා මිස කිසිදු අමාත්‍යවරයකු සදාචාරාත්මක වගකීමක් භාරගෙන සිය ධුරවලින් නම් ඉල්ලා අස්වූයේ නැත.
  5. ජූලම්පිටිය අමරේ නායකත්වය දුන් තංගල්ල බන්ධනාගාර කැරැල්ල – 2002 ජුනි 30
    බන්ධනාගාර ඉතිහාසයේ සිදුවූ තවත් දරුණු කැරැල්ලක් ඇතිවන්නේ තංගල්ල බන්ධනාගාරය තුළය. ඒ 2002 වසරේ ජුනි 30 ‍වැනිදාය. සිරකරුවන් විසින් බන්ධනාගාරයේ පාලනය සියතට ‍ගෙන කළ ඒ කැරැල්ල ආන්දෝලනයට තුඩුදුන්නකි.
    බන්ධනාගාරයේ අවි ගබඩාවද බිඳ ගිනි අවිවලින් සන්නද්ධ වූ සිරකරුවන්ට නායකත්වය දෙනු ලැබුවේ ජූලම්පිටියේ අමරේ නමැති පාතාලයේ ප්‍රබලයෙකි. දේශපාලන අතින් රාජපක්ෂ පවුලට හිතවතතෙක් වූ ජූලම්පිටියේ අමරේ මේ වනවිට සිටින්නේ මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවෙක් ලෙසිනි.
    බන්ධනාගාරය තුළ රඳවා සිටි විවිධ අපරාධවලට සැකපිට සිටි යුද හමුදා සේවයෙන් පලාගිය සෙබළුන් පිරිසක් විසින් මෙම කැරැල්ල සැලසුම්සහගතව ආරම්භ කළ බව විමර්ශනවලින් අනාවරණ විය. අවි ගබඩාව බිඳ ගිනි අවිවලින් සන්නද්ධ වූ රැඳවූවන් 400ක් පමණ දෙනා බන්ධනාගාර නිලධාරීන් පවා ප්‍රාණ ඇපයට ගත්තේය. ඒ අතර නිලධාරීන් 10 දෙ‍නෙක් සිටියේය.
    පැරණි ලන්දේසි බළකොටුවක් වූ තංගල්ල බන්ධනාගාරයේ මුරටැඹ මතට නැඟුණු සන්නද්ධ රැඳවියෝ, පිටත සිටි ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාරද එල්ල කළහ. එහිදී දෙපාර්ශ්වය අතර වූ වෙඩි හුවමාරුවලින් 07 දෙනෙක් පමණ තුවාල ලැබීය. රැඳවූවන් මෙසේ බන්ධනාගාරය තුළ කැරලි ගැසුවේ තම නඩුවලට අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමිනි. බන්ධනාගාරය තුළ පවතින දුෂ්කර ජීවන තත්ත්වයන් ගැන කියමින් පහසුකම් වහාම නංවාලන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
    ජුනි 30දා ඇරඹි කැරැල්ල සාමකාමීව විසඳෙන්නේ ජූලි 01 වැනිදාය. ඒ, දේශපාලන මැදිහත්වීමකින් අනතුරුවය. එවක රටේ නායිකාව ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිටියද බලය පැවැතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේය. ආණ්ඩුව පැවැතියේ රනිල් අතේය. රනිල්ගේ ආණ්ඩුවේ බන්ධනාගාරය භාරව තිබුණේ අභ්‍යන්තර කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා යටතේය. එදා ඔහු කැරැල්ලට නැවතීමේ තිත තැබීමට එන්නේ එවක විපක්ෂ නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතා සමගිනි. ‘අමරේ, මම මහින්ද මහත්තයා’ යැයි තාප්පෙන් එපිට සිට පවසමින් එදා කැරැලිකරුවන් අත වූ ආයුධ බිම තබා සාකච්ඡාවකට ඔවුන්ව ගෙන්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාය. එසේ නොවන්නට තංගල්ල බන්ධනාගාරය තුළ එදා ඇතිවූ කැරැල්ල මැඬලීමට සිදුවන්නේ මෙරට ඉතිහාසයේ ලේ වැගිරීම් සහ මිනිස් ජීවිත විශාල ගණනක් අහිමිකරමිනි.

06. බෝගම්බර බන්ධනාගාරයේ – 2010 මාර්තු 10
බෝගම්බර බන්ධනාගාරය තුළද විටින් විට රැඳවූවන් සහ නිලධාරීන් අතර ගැටුම් ඇතිවී ඇත. වඩාත් අවධානයට ලක්වූ සිදුවීම වාර්තා වන්නේ 2010 මාර්තු 10දාය. මෙය බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ඇති වූ ඍජු ගැටුමකි.
බන්ධනාගාරය තුළට රහසිගතව රැගෙන විත් තිබූ මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකතන සෙවීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශය සහ නිලධාරීන් කළ විශේෂ සෝදිසියට විරෝධය දක්වමින් රැඳවූවන් ගැටුමක් ඇතිකර ගත්තේය‍. නිලධාරීන් විසින් සිරකරුවන් සතු ජංගම දුරකතන කිහිපයක් සහ මත්ද්‍රව්‍ය පාර්සල් අත්අඩංගුවට ගැනීමත් සමග, ප්‍රධාන අපරාධ කල්ලිවලට සම්බන්ධ රැඳවියන් පිරිසක් අනෙක් සිරකරුවන් ද පොලඹවා ගනිමින් ඇතිකරගත් ගැටුම වර්ධනය වන්නේ බන්ධනාගාරය තුළ තිබූ දේපළවලට හානිකරමිනි. 200කට අධික රැඳවූවන් පිරිසක් බෝගම්බර බන්ධනාගාරයේ මහල් තුනකින් යුත් ඓතිහාසික ගොඩනැගිල්ලේ වහල මතට නැගී කලහ කළහ. ඔවුන් වහලයේ උළු කැට ගලවමින් සහ බන්ධනාගාර තාප්පවල කොටස් කඩාගනිමින් බන්ධනාගාර නිලධාරීන්ට සහ පිටත සිටි පොලිස් නිලධාරීන්ට පහරදුන්නේය. බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන් 10කට වැඩි පිරිසක් මෙහිදී තුවාල ලැබීය.
බන්ධනාගාරයේ ඇතැම් වාට්ටුවල තිබූ මෙට්ට සහ ලිපිගොනු එකතු කර ඒවාට ගිනි තබමින් ඔවුහු බන්ධනාගාරය පුරා නොසන්සුන්කාරී වාතාවරණයක් මැවූහ. තත්ත්වය පාලනය කිරීමට සිදුවන්නේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකරමිනි. මෙහිදී රැඳවූවන්ද විශාල පිරිසක් තුවාල ලැබීය.

  1. සිරකරුවන් 02කට මරණය ගෙන දුන් අනුරාධපුර ගැටුම – 2011 ජනවාරි 24
    බන්ධනාගාරය තුළ තමන්ට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් විසින් 2011 වසරේ ජනවාරි අරඹනු ලබන උපවාසය ‌අවසන් වන්නේ වෙඩි ප්‍රහාරයකට ලක්ව රැ`ඳවූවන් දෙදෙනෙක් වෙඩි පහරකින් මියගොස් තවත් 24 දෙනෙක් තුවාල ලබමිනි.
    උපවාසය ආරම්භ වන්නේ 50කට අධික රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයේ වහල මත නැගී ආහාර වර්ජනය කරමිනි. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් වූයේ තමන්ව බැලීමට පැමිණෙන මවුවරුන්, භාර්යාවන් ඇතුළු පවුලේ අයට බන්ධනාගාර නිලධාරීන් විසින් අසභ්‍ය සහ රළු වචනවලින් බැණවැදීම නතර කරන ලෙසය. නිවෙස්වලින් රැඳවියන් වෙනුවෙන් රැගෙන එන කෑම පාර්සල් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ මුවාවෙන් අතගා, ආහාරයට ගත නොහැකි තත්ත්වයට පත්කිරීම නතර කිරීම, නැරඹුම් කාලය දීර්ඝ කිරීමද ඔවුන්ගේ ඉල්ලීම් අතර විය. එවක අනුරාධපුර බන්ධනාගාර ප්‍රධානියා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීම, රිමාන්ඩ් සිරකරුවන් සඳහා ඇප ලබාගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම ආදී ඉල්ලීම්ද ඊට අමතරව ඔවුන් ඉදිරිපත් කරනු ලැබීය.
    දින කිහිපයක් තිස්සේ පැවැති මෙම උපවාසය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් සහ රැඳවියන් අතර පැවැති සාකච්ඡා අසාර්ථක විය. බලධාරීන් රැඳවියන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙනවා වෙනුවට විරෝධතාව වහාම නවත්වන ලෙස බලපෑම් කළේය. එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට සහ රැඳවුවන් පලායාමට උත්සාහ කරන බව පවසමින් බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවුවන් වෙත ඍජුවම වෙඩි තැබුවේය. ඒ, ජනවාරි 24 වැනිදාය. එහිදී ඇතිවන ගැටුම්වලින් බන්ධනාගාර නිලධාරීන් 08 දෙනකුටද තුවාල සිදුවිය.
    ආසියානු මානව හිමිකම් කොමිසම ඇතුළු සංවිධාන විසින් මෙම වෙඩිතැබීම සහ රැඳවියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස එවක රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියත් එවැනි විමර්ශනයක් සිදුවූ බවක් දැන ගන්නට නැත.
  2. මැගසින් බන්ධනාගාරයේ කැරැල්ල – 2012 ජනවාරි 24
    මැගසින් බන්ධනාගාරයේදී රටම හෙල්ලූ ගැටුමක් සිදුවන්නේ 2012 වසරේ ජනවාරි 24 වැනිදාය. බන්ධනාගාරයේ ලේඛන, මුළුතැන්ගෙය, පුස්තකාලය ආදිය ගිනිතබා රැඳවූවන් නොසන්සුන්ව හැසිරීම නිසා එය පාලනය කිරීමට ආරක්ෂක අංශ නිලධාරීන්ට සිදුවූයේ කලහාකාරී රැඳවූවන්ගේ දණහිසෙන් පහළට වෙඩි තබන්නය. එහිදී තුවාල වූ රැඳවූවන් ගණන 31කි. ජීවිත හානියක් ගැන වාර්තා වූයේ නැත. කලහාකාරීන් බන්ධනාගාරයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානය කඩා එහි වූ මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධ පෙති වර්ගයක් පානය කර තිබුණේ අහුරු පිටිනි. ඒ නිසාම රැඳවූවන් මත්වී හැසිරී තිබුණේ පිස්සන් මෙන්ය.
    බන්ධනාගාරය තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ජංගම දුරකතන භාවිතය මැඬපැවැත්වීමට බලධාරීන් ගත් ක්‍රියාමාර්ගවලට විරෝධය දක්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් විසින් මෙම තත්ත්වය නිර්මාණය කළ බව එකල පැවති විමර්ශනවලින් අනාවරණ වී තිබිණි. බන්ධනාගාරයේ වහලය මතට පවා නැගුණු රැඳවූවන් විරෝධතාවල නිරත විය. තත්ත්වය පාලනය කිරීමට මුලින්ම කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර තිබුණි. වෙඩි තබන්නේ බැරිම තැනය.
    මේ ගැන විමර්ශන පවත්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ගැටුමට සම්බන්ධ රැඳවූවන් හඳුනාගත් අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ බවක් දැනගන්නට නැත. බන්ධනාගාර දේපළවලට වූ හානිය තක්සේරු කර තිබුණේ රුපියල් මිලියන 7.5ක් ලෙසිනි.
  3. 27 දෙනකු ඝාතනය වූ වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ල – 2012 නොවැම්බර් 09
    බන්ධනාගාර ඉතිහාසයේ දරුණුතම හා වඩාත්ම ආන්දෝලනයට තුඩුදුන් සිදුවීමක් වන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළ 2012 වසරේ නොවැම්බර් 27 වැනිදා සිදුවූ නොසන්සුන් තත්ත්වයයි. එය රැඳවියන් පිරිසක් විසින් ආරක්ෂක අංශවලට එරෙහිව දියත් කළ කැරැල්ලක් යැයි සඳහන් කළහොත් වරදක් නැති තරම්ය. මෙම කැරැල්ලේදී රැඳවූවන් 27 දෙනෙක් ඝාතනය විය. තුවාල ලැබූ ගණන 40කට වැඩිය. ඒ අතර එවක පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීයාව සිටි නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී. රණවන මහතා ඇතුළු විශේෂ කාර්ය බළකායේ පමණක් නිලධාරීන් 13ක් සිටියේය. 04 දෙනෙක් යුද හමුදාවේය. මේ අය තුවාල ලබන්නේ රැඳවූවන් විසින් කළ වෙඩිතැබීම්වලිනි.
    රැඳවූවන්ගෙන් වැඩි දෙ‍නෙක් මියගොස් තිබුණේ ආරක්ෂක අංශ විසින් කළ වෙඩිතැබීම්වලිනි. නිරායුධ රැඳවූවන් නම් කතාකර පෝලිම් කරවා බිම දණගස්සවා වෙඩිතැබූ බවට චෝදනාද එල්ලවිය. ඒ නිසාම මෙම සිදුවීම ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් එල්ල කළ මෙරට බන්ධනාගාරයක් තුළ සිදුවූ ම්ලේච්ඡතම සිදුවීම්වලින් එකකි.
    බන්ධනාගාරය තුළ සිටින රැඳවූවන් ජංගම දුරකතන භාවිත කරමින් ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයන්ට ඇමතුම් ‍දෙමින් සිදුකරන බියගැන්වීම් සහ කප්පම් ගැනීම් මෙන්ම මත්කුඩු ජාවාරම පාලනය කිරීමට එවක පැවැති රාජපක්ෂ රජය විසින් බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලිසිය යොදා බන්ධනාගාරය තුළ සෝදිසි මෙහෙයුම් කරනු ලැබීය. මැගසින් බන්ධනාගාරය තුළද ඊට පෙර නොසන්සුන් තත්ත්වයක් ඇතිවන්නේ එම සෝදිසිකිරීම්වලට එරෙහිවය. එහි තියුණු අවස්ථාවක් ලෙස වැලිකඩ නොසන්සුන් තත්ත්වය හැඳින්විය හැකිය. බන්ධනාගාර වාට්ටු පරීක්ෂා කිරීමට ගිය විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසකට පහරදීමත් සමග ඇතිවූ එම නොසන්සුන් තත්ත්වය හමුවේ රැඳවූවෝ බන්ධනාගාරයේ අවි ගබඩාව බිඳ ගිනිඅවිද ගත්හ. ටී 56 අවිවලින් සන්නද්ධ වූ රැඳවූවන් කඳුළු ගෑස් ප්‍රහාර මගින් පාලනය කිරීමට ඉඩක් නොවීය. සිදුවන්නේ ආරක්ෂක අංශ සහ රැඳවූවන් අතර ‍වෙඩි හුවමාරුය. අවසානයේදී රැඳවූවන් 27 දෙ‍නෙක් මියයන්නේ රට තුළ ඒ ගැන ලොකු සංවාදයක්ද ඇතිකරවමිනි.
    මේ ගැන දේශපාලන වේදිකාවේ පවා බරපතළ කතාබහක් ඇතිවන්නට විය. රාජපක්ෂ ආණ්ඩුව සමයේදී මේ සිදුවීම යටපත්ව තිබුණත් 2015 යහපාලන ආණ්ඩුව බලයට ඒමත් සමග නැවත ඒ ගැන සමාජයේ යම් කතිකාවක් ඇතිවන්නට ගත්තේය. ඒ අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා‍ගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක්ද පත්කරනු ලැබීය. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක සහ විශ්‍රාමික පරිපාලන නිලධාරී එස්.කේ. ලියනගේ මහත්වරු එහි සෙසු සාමාජිකයන්ය. සිය වාර්තාව මගින් ඔවුන් පෙන්වා දෙන්නේ කැරැල්ල පාලනය කිරීමෙන් පසුව, ආරක්ෂක අංශ භාරයේ සිටි රැඳවියන් තෝරාගෙන සැලසුම්සහගතව ඝාතනය කර ඇති බවය.
    ඒ වනවිට මේ ගැන විමර්ශන පවත්වන්නට යෙදුණේ බොරැල්ල පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය මගිනි. යහපාලන ආණ්ඩුව එම විමර්ශන අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කළේය. සිද්ධිය ඇසින් දුටු රැඳවියන්, බන්ධනාගාර ආරක්ෂකයන් සහ වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසකගෙන් සාක්ෂි එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තු නිලධාරීන් සටහන් කරගන්නා ලදී. ඝාතනයට ලක්වූ රැඳවියන්ගේ සිරුරු අසලින් හමුවූ ගිනිඅවි, ආරක්ෂක අංශ විසින් පසුව ගෙනැවිත් තබන ලද ව්‍යාජ සාක්ෂි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විද්‍යාත්මක විමර්ශනවලදී ඔප්පු කරනු ලැබීය. ඒ ඡායාරූප සාක්ෂිද සමගිනි. අවසානයේදී මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙ‍නෙක් අත්අඩංගුවට ගත්තේය. ඒ ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ එවක බන්ධනාගාර අධිකාරිවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි එමිල් රංජන් ළමාහේවා යන දෙදෙනාය. නියෝමාල් රංගජීව 2018 මාර්තු 28 වැනිදාත් එමින් රංජන් ඊට පසුදිනත් අත්අඩංගුවට ගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍‍මේන්තුව විසිනි. බන්ධනාගාරයේ තවත් සැකකරුවන් දෙදෙ‍නෙක් සිටියද ඔවුන් ඒ යන විට රටින් පලාගොස් සිටි බැවින් අත්අඩංගුවට ගැනීමක් සිදුවූයේ නැත.
    කමිටු වාර්තාව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තා පදනම් කරගෙන නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මේ සම්බන්ධයෙන් නඩු පවරනු ලැබුවේ චෝදනා 33ක් යටතේය. 2022 වස‍රේ ජනවාරි 12 වැනිදා නඩු තීන්දුව ලබාදෙන්‍නේ නියෝමාල් රංගජීව නිදහස් කරමින් එමිල් රංජන් ළමාහේවාට මරණ දඬුවම පනවමිනි. එම නඩු තීන්දුවට එ‍රෙහිව ‍එමිල් රංජන් ළමාහේවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. එහි තීන්දුව 2024 අගෝස්තු 08 ප්‍රකාශයට පත්කරන්නේ ඔහුවද නිදහස් කරමිනි.
  4. සිරකරුවන් 02කට මරු කැඳවූ අනුරාධපුර බන්ධනාගාරයේ ගැටුම – 2020 මාර්තු 21
    අනුරාධපුර බන්ධනාගාර ඉතිහාසයේ තවත් දරුණු සිදුවීමක් වාර්තා වන්නේ 2020 මාර්තු 21දාය. ඊට මුල්වන්නේ බන්ධනාගාර පද්ධතිය තුළ කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් ඇතිවූ බියයි. ඒ වනවිට රට තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යමින් තිබූ බැවින් බන්ධනාගාරයේ අධික තදබදය නිසා තමන්ට ද වෛරසය වැළඳෙනු ඇතැයි රැඳවූවන් තුළ දැඩි බියක් හටගෙන තිබුණි. ඒ නිසා තමන්ව වහාම ඇප මත මුදාහරින ලෙස හෝ වෙනත් ආරක්ෂිත ස්ථානයකට මාරුකරන ලෙස ඉල්ලා රැඳවූවන් පිරිසක් බන්ධනාගාර පාලනාධිකාරියට බලපෑම් කරන්නට වූහ. ඊට නිසි ප්‍රතිචාර නොවූ තැන රැඳවූවන් නොසන්සුන් වෙමින් කලහාකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාරයේ වූ දේපළවලට ගිනිතබා හානිකරන්නට ගත්තේය.
    බන්ධනාගාරයේ ඖෂධ ගබඩාවට සහ ලේඛන කාමරයට ගිනි තබා පලායාමට උත්සාහ කළහ. විශාල පිරිසක් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටු සහ තාප්ප බිඳදමමින් පලායන්නට උත්සාහ ගත්තේය. තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය බන්ධනාගාරය වෙත කැඳවනු ලැබීය. තත්ත්වය පාලනය කිරීමට ඔවුන්ට සිදුවන්නේ වෙඩිතැබීමටය. මෙම වෙඩිතැබීම්වලින් රැඳවියන් දෙදෙනෙකු මියගිය අතර, තවත් රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 06 දෙනකු දරුණු ලෙස තුවාල ලැබූහ.
    මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් පැවැත්වුවද අදටත් එම විමර්ශනයේදී සිදුවූ දෙයක් වාර්තා වන්නේ නැත. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ රැඳවියන් පලායාම වැළැක්වීමට සිදුකළ ‘අවම බලය සහ නීත්‍යනුකූල රාජකාරිමය පියවරක්’ ලෙස බව කියමින් රජය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් වෙඩිතැබීම සාධාරණීකරණය කිරීමය.
    ගෝඪාභය ආණ්ඩු‍ව පැවැති එකල බන්ධනාගාර විෂය අධිකරණ අමාත්‍යාංශය යටතේ පැවැති අතර අධිකරණ අමාත්‍යවරයා ලෙස අලි සබි්‍ර මහතා කටයුතු කළේය. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා වූයේ ලොහාන් රත්වත්තේ මහතාය.
  5. සිරකරුවන් 11කට මරණය ගෙනදුන් මහර බන්ධනාගාරයේ ගැටුම – 2020 නොවැම්බර් මස 29 සහ 30
    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මහර බන්ධනාගාරය තුළද නොසන්සුන් තත්ත්වයන් දිගින් දිගටම ඇතිවිය. එහි උච්චතම අවස්ථාව උදාවන්නේ 2020 වසරේ නොවැම්බර් 29 සහ 30 දෙදින තුළය.
    තමන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන ලෙසත්, කොවිඩ් ආසාදිත රැඳවූවන් සාමාන්‍ය රැඳවූවන්ගෙන් වෙන්කරන ලෙසත් සහ තමන්ට ඇප ලබාදෙන ලෙසත් රැඳවියන් කළ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොලැබීම මුල්කරගෙන රැඳවූවන් නොසන්සුන් වන්නේ බන්ධනාගාරයේ දේපළවලට හානිකරමිනි.
    බන්ධනාගාර වෛද්‍ය කාමරය බිඳ එහි තිබූ මානසික රෝග සඳහා දෙන ඖෂධ වර්ග අධික ලෙස පානය කර දේපළවලට ගිනි තබමින් ප්‍රචණ්ඩව හැසි‍රෙන විට පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගන්නේ ‍වෙඩි තබාය. එහිදී රැඳවූවන් 11 දෙනෙක් මිය‍ගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලැබීය. මේ සිදුවීම වනවිට අපරාධ පරීක්ෂණ ‍දෙපාර්ත‍මේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා රඳවා සිටියේ මහර බන්ධනාගාරයේය. එදා ඔහුගේ ජීවිතයට පවා අවදානමක් ඇතිව තිබුණු බව කියැවිනි.
    බන්ධනාගාරයේ අවි ගබඩාව අත්පත්කර ගැනීමටද එදා රැඳවූවන් උත්සාහයක් දැරුවද එය ව්‍යාර්ථ කිරීමට බන්ධනාගාර නිලධාරීන් සමත්වීම හේතුවෙන් සිදුවීමට ගිය මහා විනාශයක් වැළකී ගිය බව බන්ධනාගාර පාර්ශ්වයෙන් එදා කීවේය. රැඳවූවන් 11 දෙනාගේ මරණය ගැන එකල පැවති ගෝඨාභය රජය ප්‍රකාශ කළේ බන්ධනාගාරය තුළ ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශවලට බලය භාවිත කිරීමට සිදුවූ බවය. ඒත් එක්කම ආණ්ඩුව එම සිද්ධියේ සම්පූර්ණ වගකීම භාරගත්තේය. මෙහිදී බන්ධනාගාරයට රුපියල් කෝටි 06කට අධික දේපළ හානියක් සිදුව තිබූ අතර, ඒ සම්බන්ධයෙන් රැඳවූවන් 120කට නඩු පැවරීමක්ද සිදුකරනු ලැබීය.
    ‍ගෝඨාභය‍ගේ ආණ්ඩුව මෙම මරණ යටපත් කිරීමට දැඩි උත්සාහයක් ගත්තද පසුකාලීනව සිදුකළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී තීන්දු කෙරුණේ මෙම රැඳවියන් 11 දෙනාගේ මරණ වෙඩිතැබීම් හේතුවෙන් සිදුවූ සාපරාධී ක්‍රියාවක් බවය. අධිකරණය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් කර ඇති අවස්ථාවකදී පවා නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටියේ බන්ධනාගාරය වෙනුවෙනි. ඒ බන්ධනාගාර ආඥා පනතේ 77 වගන්තිය ප්‍රකාරව මෙම වෙඩි තැබීම නිලධාරීන්ගේ ‘ස්වයං ආරක්ෂාව සඳහා’ කළ එකක් බව පවසමිනි. ඒ අනුව නඩුව වසාදැමීමට නීතිපතිවරයා පියවර ගැනීමත් සමග අභියාචනාධිකරණයේ එය මේ වනවිට අභියෝගයට ලක්කර ඇත්තේ මියගිය රැඳවූවකුගේ බිරිඳක් විසිනි.
    රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

Next Post

‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…! Sri Lanka Latest News

MORE NEWS

‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…!  Sri Lanka Latest News
Exclusive

‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…! Sri Lanka Latest News

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News
Exclusive

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News
Exclusive

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News

ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News
Exclusive

ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News

අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Exclusive

‘අමරපුර’ උපසම්පදාවේදී ජනාධිපති කතා නොකළේ ඇයි? Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

18 වැනිදා විනිසුරු මහ සමුළුව තීරණාත්මකයි! Sri Lanka Latest News

Load More
‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…!  Sri Lanka Latest News
Exclusive

‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…! Sri Lanka Latest News

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ඝාතන පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එවකදී තංගල්ල බන්ධනාගාරයේ සිදුවූ සිදුවීමක්ද සිහිපත්...

Read more
කැරැල්ලක් මැඩපවත්වන්න වෙඩි තැබූ බවක් පේන්නේ නෑ! මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11ක් වෙඩි තබා මරා දැමීම අපරාධයක්! වහාම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න! අධිකරණය CIDයට නියෝග කරයි!

හිරගෙවල් ඇතුළේ මරාගත් ඉතිහාසයයි වර්තමානයයි මෙන්න…! විමර්ශනවලට බාධාවක් නොවන විදියට අපි වාර්තා කරනවා…! Sri Lanka Latest News

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.