මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ඝාතන පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එවකදී තංගල්ල බන්ධනාගාරයේ සිදුවූ සිදුවීමක්ද සිහිපත් කරමින් රාජපක්ෂවරුන්ට චෝදනාවක් එල්ල කළේය. ඒ, මහින්ද රාජපක්ෂ දකුණේ පාතාල නායකයකු වූ ජූලම්පිටියේ අමරේ සමග සබඳතා පැවැත්වූ බව කියමිනි. නමුත් එහි ඇත්ත කතාව මීට හාත්පසින්ම වෙනස්ය. පහත පළවන්නේ ඛේදවාචකයකින් අවසන් වීමට ගිය තංගල්ල බන්ධනාගාරයේ සිද්ධිය සාමකාමීව විසඳා ගැනීමට මහින්ද රාජපක්ෂ ක්‍රියා කළ ඇත්ත කතාවයි.
ඉතිහාසය මතක අය ඒක නොදන්න කතාවක් නෙවෙයි. අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට වසර විසි ගණනකට පෙර විපක්ෂ නායකවරයාව සිටියදී තංගල්ල බන්ධනාගාරයේ ඇති වූ සිරකරුවන්ගේ කැරැල්ලක බිහිසුණු තත්ත්වයක් සමනය කිරීම සඳහා දුන් දායකත්වය සහ ඉදිරිපත් වීම පිළිබඳ උපහාසාත්මක සහ විවේචනාත්මක අදහස් පළකරනු දකින්නට ලැබුණා. නමුත් එදා ඒ මැදිහත්වීම තුළින් සිදුවූ යහපත කිසිසේත් අවතක්සේරු කළ හැකි එකක් නෙවෙයි. එදා සිරකරුවන් තංගල්ල බන්ධනාගාරයේ පාලනය තමන් අතට ගෙන පැය විසි හතරකටත් වැඩි කාලයක් ගොස් තිබුණා.
බන්ධනාගාර නිලධාරීන්ට සහ ආරක්ෂක අංශවලට ඒ වනවිටත් එයට ඇතුළු වී ඒ බිහිසුණු අසීරු තත්ත්වය පාලනය කරගැනීමේ හැකියාවක් තිබුණේ නෑ. සිරකරුවන් හාරසීයක් පමණ එක්වී බන්ධනාගාර නිලධාරීන් දහදෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන තිබුණා. සමහර විට එය දුරදිග ගියා නම් මීගමුවේ සිදුවූ මහා විනාශය වැනි දෙයක් වන්නට තිබුණා.
ඒ වනවිට බන්ධනාගාර අමාත්‍යංශය භාරව සිටියේ ජෝන් අමරතුංග අමාත්‍යවරයා. ඔහුගේ දේශපාලනය අප කිසිසේත් අනුමත කරන හෝ අගය කරන එකක් නෙවෙයි. විශේෂයෙන්ම මිලේනියම් සිටි ආරක්ෂක නිවාසය සම්බන්ධ කටයුත්තේදී ඔහුගේ ක්‍රියා කලාපය හරිම අප්‍රසන්නයි, නින්දිතයි යන අදහස හැමදා අපේ සිත් තුළ තිබෙනවා. නමුත් මේ සිද්ධියේදී ඔහු ඊට වඩා දූරදර්ශීව කටයුතු කළා.
ඒ අරගලයේ නායකත්වය දී තිබුණේ තංගල්ල බන්ධනාගාරයේ සිටි, තංගල්ල ප්‍රදේශයේම පුද්ගලයෙක්. ඔහු ජුලම්පිටියේ අමරේ නමැති මැරවර නායකයෙක්.
මහින්ද රාජපක්ෂ මහතාගේ දීර්ඝකාලීන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලනයේදී විවිධ පුද්ගලයන් ඔහුට මුණගැහෙනවා. එමෙන්ම ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා උසාවිවල නීතිඥයකු ලෙස කටයුතු කර තිබුණා. පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ ඔහු කෙරෙහි විශ්වාසයක් ගෞරවයක් තිබුණා.
ශේෂයෙන්ම 88-89 භීෂණ යුගයේ රජයෙන් සහ රජයට සහාය දැක්වූ නිල නොවන පැරා මිලටරි කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගන්නා ලද සහ පැහැරගන්නා ලද තරුණයන්ගේ ජීවිත බේරාදීමට ඔහු කළ මෙහෙය නිසා, ඔහුට ගරුකරන ආදරය කරන විශාල පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සිටියා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ පවුල්වල කවර හෝ ඥාතියකුට එවැනි ඉරණමකට කරදරයකට මුහුණ දීමට සිදුවී තිබුණු බව සියල්ලන්ම දන්නා දෙයක්. එම යුගයේ දෙපැත්තකින් එල්ල වන මරණ තර්ජන නිසා එම භීෂණයට එරෙහිව නැගී සිටීමට දේශපාලනඥයන් පසුබට වූ යුගයක මහින්ද රාජපක්ෂ පෙරට විත් කළ මෙහෙය එකල මිනිසුන්ගේ හදවත් තුළ ඉහළින්ම රැඳී තිබුණා. ඒ නිසා මේ හම්බන්තොට බන්ධනාගාරයේ සිදුවූ කැරැල්ල මැඬපැවැත්වීමට අදාළ අමාත්‍ය ජෝන් අමරතුංග, මහින්ද රාජපක්ෂ මහතාගේ ද සහාය ඉල්ලා සිටියා.
තමන්ට විසඳා ගැනීමට අපහසු විනාශකාරී තත්ත්වයක් විසඳා ගැනීම සඳහා විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂගේ සහාය ඉල්ලීමට ඔහු නිහතමානී වීම, අපට කිසිසේත් නොගැළපුණු අදහස් ඇති පුද්ගලයෙකු වුවත් එදා ජෝන් අමරතුංගගේ ක්‍රියාව අගය කළ යුතුයි. එමෙන්ම සාම්ප්‍රදායික විපක්‍ෂයක් සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ රජය අපහසුතාවට පත්වන අවස්ථාවලදී ඒ තුළින් වාසියක් ලබාගැනීමයි. නමුත් මහින්ද රාජපක්ෂ එදා එසේ කළේ නැහැ. ඔහු ජෝන් අමරතුංග ඇමැතිවරයා සමග බන්ධනාගාරයට ගියා. පැත්තක යන ලෙඩක් නිකම් ඇඟේ දාගන්නේ නැතුව ඔහුට නිහඬව සිටීමට ඕනෑ තරම් ඉඩ තිබුණා. ඔහුට වගකීමක් තිබුණේ නෑ. ඒ ඔහු පාලන බලයේ සිටි කාලයක් නෙවෙයි. විපක්ෂයේ සිටි කාලය.
ඔහු දේශපාලන පක්ෂ භේදයකින් තොරව ඒ කටයුත්තට සහාය දී කැරලි නායකයාට කතා කළා. ඒක ඒ කාලයේ ප්‍රසිද්ධ කතාවක්.
‘අමරේ මේ මම මහින්ද රාජපක්ෂ කතා කරන්නේ. ඔය වැඩේ නවත්තපන්…. උඹලටත් ප්‍රශ්නයක් නොවෙන විදියට කතා කරලා මේක බේරගන්න පුළුවන් එකක්… ඒ නිසා නිලධාරීන්ට යටත් වෙලා කතා කරපන්… මම කියන වචනේ විශ්වාස කරපන්..’ යනුවෙන් පැවැසූ පසු කැරලි නායකයන් එයට අවනත වී කැරල්ල අතහැර දැමුවා.
විශාල හානියක් සිදුවන්නට ගිය ඒ අවස්ථාව කළමනාකරණය කරගැනීම සඳහා එදා ඔහු දුන් සහාය එකල සියලු දෙනාගේ ඇගයීමට ලක්වුණා. විශාල ජීවිත විනාශයකින් කෙළවර වන්නට තිබූ අවස්ථාවක් එලෙස විසඳීමට සහාය වීම වරදක්ද…?
ප්‍රශ්නයක් ඇතිවන අවස්ථාවලදී එතැනට නොගොස් සැඟවෙන සමහරුන්, ප්‍රශ්නය සමනය වූ විට ඉදිරියට ඇවිත් වීරයන් මෙන් කතා පවත්වනවා. ඒවා නිකම්ම නිකන් පුස් කතා. එහෙමත් නැත්නම් පොර ටෝක්ස්.
නායකත්වයක අගය දැනෙන්නේ අර්බුදකාරී අවස්ථාවකදී මිසක් සාමකාමී පරිසරයකදී නෙවෙයි. අදටත් අන්තර්ජාලයට ගොස් විමසා බැලූ විට එහි ඒ සිදුවීම පිළිබඳ සඳහන් වෙනවා දැකගත හැකියි.
එහි ඇති එක් ඡයාරූපයක ඇත්තේ එවන් සටහනක්.
ගල්පිළිම සහ බොල්පිළිම වෙන්කර හඳුනා ගැනීමට පුළුවන් මිනිසුන් මෙන්ම, නොහැකි මිනිසුන්ද සිටින නිසා මේ අදහස්වලට එල්ල කරන විවේචන මම ගණන් ගන්නේ නෑ.
ලාල් ද අල්විස්










