සජිත් කතාව කරලා නැගිටලා ගියේ විරෝධය පාන්නද?
ඡන්ද කතාවෙන් රනිල් අප්සට් ගිහින්!
සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අසාර්ථකයි!
මෝදි දීපු පණිවුඩය!
යන්න පසුබිම සකස් කරයි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු ඉන්දීය සංචාරය පසුගිය සති අන්තයේ සිදුකෙරුණේ ජනාධිපති ධුරය භාරගෙන හරියටම වසරක් සපිරෙන මොහොතේදීය. සාමාන්‍යයෙන් ලංකාවේ නව ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු පත්වුවහොත් ඒ සැණින් පළමු ආරාධනාව ඉන්දියාව පැත්තෙන් ලැබීම සිදුවුවද වසරක් ගතවන තුරු ඉන්දියාව ජනාධිපතිවරයාට ආරාධනා නොකිරීම විශේෂ සිදුවීමක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණ. කෙසේ වෙතත් ඉන්දියාවේ මේ ආරාධනාව ප්‍රමාද වන විට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එම ආරාධනාව ගෙන්වා ගැනීම සඳහා විවිධ උපාය උපක්‍රමද ක්‍රියාත්මක වී තිබිණි. හරියටම මීට මාස 07කට ප්‍රථමයෙන් උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපතිවරයා දෙමළ මන්ත්‍රීවරුන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූයේ එහි එක් පියවරක් ලෙසය. එමෙන්ම වරක ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම කියා සිටියේ නිදහස් දිනයට පළමු උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට තමන් කටයතු කරනවා යැයි කියාය. නමුත් එය ඒ අවස්ථාවේදී වචනයට පමණක් සීමා වූ අතර නිදහස් දිනට පළමු කිසිදු විසඳුමක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූයේ නැත.Sri Lanka Latest News
සර්ව පාක්ෂික සමුළුවකට පාර කැපෙයි!
එවැනි පසුබිමක් යටතේ ජූලි 21 වැනි දින ඉන්දීය අගමැතිවරයා හමුවීමට ජනාධිපතිවරයාට කාලවේලාව ලැබුණු වහා නැවත වතාවක් ජනාධිපතිවරයා කළේ ඊට අවශ්‍ය පසුතලය සකසා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමය. මහබැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ වරදට වසර 200ක සිර දඬුවමකට යටත් කොට තිබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ඇතුළු තවත් අයකුට ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ ඒ අනුව බව බොහෝ දෙනාගේ අදහසය. එමෙන්ම උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා යළිත් වතාවක් සර්වපාක්ෂික සමුළුවක් කැඳවීමටද ජනාධිපතිවරයා සැලසුම් සකස් කළේය. ජනාධිපතිවරයා සමග ආරම්භයේ සිටම ඉතා සමීපව කටයුතු කරන උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා මහ රෑ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් සොයන ආකාරය සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයා මෙ සියල්ල කළේ සිය දෙදින ඉන්දීය නිල සංචාරය සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීම සඳහාය.
කෑම මේසයේ සාකච්ඡා!
කෙසේවෙතත් මෙය දෙදින නිල සංචාරයක් ලෙස සැලකුණද ගුවන් ගමන් සඳහා පැය 7කට අධික කාලයක් වෙන් කළ විට ජනාධිපතිවරයා ඇත්ත වශයෙන්ම ඉන්දියාවේ සිටියේ පැය 24කටත් වඩා අඩු කාලයකි. ඒ අනුව 21 රාත්‍රියේ ඉන්දියාවට ගොඩබැසීමෙන් පසු ජනාධිපතිවරයා මුලින්ම හමුවූයේ ඉන්දීය විදේශ ඇමැති එස්. ජයශංකර් මහතාය. එම සාකච්ඡාව අතරතුරදී ජනාධිපතිවරයා සහ ජයශංකර් සිය රාත්‍රී භෝජනයද ගැනීමට පියවර ගෙන තිබිණි.
අදානිවත් හමුවෙලා!
පසු දින පෙරවරුවේ ජනාධිපතිවරයා සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබිණි. එහිදී දෙදෙනා එකට උදෑසන ආහාරය ගනිමින්ම සාකච්ඡාව සිදුකළ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග දිවා ආහාරය සමග සාකච්ඡාවක් සංවිධාන කොට තිබු අතර, ඊට පෙර ජනාධිපතිවරයා මෙරට ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයකු වන ගෞතම් අදානි සමග සාකච්ඡා කිරීමටද පියවර ගත්තේය. එම සාකච්ඡාවේදී අදානි සුළං බලයෙන් විදුලිය ජනනය කරන ව්‍යාපෘතිවලට සහ පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සඳහා වැඩි වශයෙන් ආයෝජන කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබිණි. ඒ බව අදානි සිය ට්විටර් ගිණුමේ නිල වශයෙන් පණිවුඩයක් කඩිනමින් රටට දැනුම් දීමටද පියවර ගත්තේය. ජනාධිපතිවරයා සහ මෝදි අතර සාකච්ඡා ආරම්භ වූයේ ඉන් අනතුරුවය.
චීන ප්‍රශ්නය එළියට!
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලදී ලොකුම ගැටලුව බවට පත්ව තිබුණේ චීන බලපෑම පිළිබඳ ප්‍රශ්නයය. එහිදී පසුගිය කාලයේ චීන මැදිහත් වීම මත ලංකාව තුළ සිදුවූ දෑ මෙන්ම ඉදිරියේදී ලංකාව තුළ සිදුවිය හැකි චීන ක්‍රියාකාරකම් පිළිබඳවද දීර්ඝව සාකච්ඡා විය. එමෙන්ම ඉන්දියාව දිගින් දිගටම මෙහිදී පෙන්වා දුන් කරුණක් වූයේ තවදුරටත් ඉන්දියාව හා ලංකාව භූ දේශපාලනික වශයෙන් සමීප විය යුතු බවකි. මේ වන විට දෙරට අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කොට එය අතහැර දමා තිබීම නිසා ඉන්දියාව පෙන්වා දුන්නේ අතීතයේදී තිබුණාක් මෙන් දෙරට යාකිරීම සඳහා පාලමක් ඉදිකළ යුතු බවකි. එවිට නිසි ආකාරයට දෙරට යා කෙරෙන බවත්, බස් මගින් හා දුම්රිය මගින් එවිට දෙරටේ ජනතාවට ඉතා පහසුවෙන් ගමන් කළ හැකි බවත් ඉන්දියාවේ දැඩි ස්ථාවරය වී තිබිණි. නමුත් ජනාධිපතිවරයා ඊට ඍජු පිළිතුරක් නොදී එය පාර්ලිමේන්තුව මගින් සම්මත විය යුතු කරුණක් බව ඉන්දියාවට දැනුම් දීමට පියවර ගෙන තිබිණි.
බලය බෙදීම!
ජනාධිපතිවරයා සහ මෝදි අතර හමුවේදී සාකච්ඡාවට ලක්වූ අනෙක් ප්‍රධාන කරුණ වූයේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයය. මෝදි විසින් මෙම මාතෘකාව සාකච්ඡා මේසයේදී මතුකිරීමට බලපෑ තවත් හේතුවක්ද තිබිණි. ඒ, ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණීමට පෙරාතුව උතුරෙන් විශේෂ ලිපි 4ක් මෝදි වෙත යොමු වී තිබීමය. එක් ලිපියක් උතුරේ දෙමළ පක්ෂ 6ක නායකයන් විසින් මෝදි වෙත යොමුකර තිබූ අතර, තවත් ලිපියක් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා විසින් යොමුකර තිබිණි. තවත් ලිපියක් උතුරේ වෘත්තිකයන්, ආගමික නායකයන්, සිවිල් සංවිධාන එක්ව මෝදි වෙත ඉදිරිපත් කර තිබුණු අතර, සිව්වැනි ලිපිය යොමුකර තිබුණේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා විසිනි. ගජේන්ද්‍රන්ගේ ලිපිය හැරුණු විට අනෙක් ලිපි 3 මගින්ම 13 වැනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයාට බලකරන ලෙසට මෝදිගෙන් ඉල්ලා තිබිණි. ගජේන්ද්‍රන් පමණක් 13 වැනි සංශෝධනයට එහා ගොස් ෆෙඩරල් විසඳුමක් උතුරට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස මෝදිගෙන් ඉල්ලීමක් කර තිබිණි.
පළාත් සභා ඡන්දය!
එම නිසා මෙම ලිපිවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස දෝ මෝදි ද සාකච්ඡා අතර මැද සිය කතාවේ දී ජනාධිපතිවරයාට දැනුම් දී සිටියේ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසය. කිසිසේත්ම නොසිතූ ආකාරයට මෝදි පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට කළ දැනුම් දීමත් සමග ජනාධිපතිවරයාද යම් අපහසුතාවකට ලක්වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ ඊට සිය කතාවේදී උත්තර නොදීමට ජනාධිපතිවරයා පරෙස්සම් සහගත වීම නිසාය.
කාර්යාලයෙන් ඇමතුම්!
ඒ කෙසේ වෙතත් කලින් සැලසුම් කර තිබූ ආකාරයට ජනාධිපතිවරයා ඉන්දියාවේ සිටියදීම ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් ජනාධිපතිවරයා විසින් සර්වපාක්ෂික සමුළුවක් බදාදා දින කැඳවා ඇති බවත්, ඊට සහභාගි වන ලෙස ජනාධිපතිවරයා විසින් ආරාධනා කරනු ලැබ ඇති බවත් දැනුම් දීමට පියවර ගනු ලැබීය. එහිදී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී පොලිස් බලතල ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවට දැනුම් දීමක් කෙරුණද සාකච්ඡාවේ න්‍යාය පත්‍රයක් පිළිබඳ කිසිදු දැනුම් දීමක් කර නොතිබීම විශේෂ සිදුවීමක් විය.
ජවිපෙ බෑ කියයි!
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලද මේ ආරාධනාවත් සමග සියලු දේශපාලන පක්ෂ අතර සංවාදයක් මතු වූයේ ඊට සහභාගි වනවාද නැද්ද කියාය. මන්ද යත් මීට මාස 7කට පෙරාතුවද මෙවැනිම සර්වපාක්ෂික සමුළුවක් කැඳවා උතුරු-නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් සාකච්ඡා කළද කිසිදු ප්‍රතිඵලයකින් තොරව එය අවසන් වීම නිසා බොහෝ දේශපාලන පක්ෂවල අදහස වී තිබුණේ මෙවර සාකච්ඡාද කිසිදු ප්‍රතිඵලයකින් තොරව අවසන් විය හැකි බවත්, ජනාධිපතිවරයා ඉන්දියාවට පෙනෙන්නට මෙවැනි සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට සූදානම් වන බවත්ය. ඒ අනුව පළමු අදියරේදීම නිවේදනයක් නිකුත් කරමින් ජවිපෙ ජනාධිපතිවරයා විසින් කැඳවූ සර්වපාක්ෂික සමුළුවට සිය පක්ෂය සහභාගි නොවන බව දැනුම් දී සිටියේය.
සජිත් පොදු තීන්දුවක!
එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතාගේ ස්ථාවරය වී තිබුණේද මෙය ජනාධිපතිවරයා විසින් කරුනු ලබන ඇස්බැන්දුමක් බැවින් ඊට සහභාගි වීම සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතු යැයි කියාය. නමුත් පක්ෂය ඇතුළේ පැවැති සාකච්ඡාවලදී තීන්දුවක් ගැනීමට හදිසි නොවූ සජිත්, විපක්ෂයේ පොදු සන්ධානයේ විධායක කමිටුව මුණගැසී මේ පිළිබඳ අවසන් තීන්දුවක් ගත යුතු බව පක්ෂයට දැනුම් දී සිටියේය. එමෙන්ම දමිළ ජනතාව විශාල වශයෙන් ප්‍රශ්නවලට මුහුණ දී සිටින නිසා එම නියෝජිතයන් සමගද සාකච්ඡා කොට තීන්දුවක් ගත යුතු බව සජිත්ගේ අදහස විය.
සජිත් සුමන්තිරන් සාකච්ඡාවක!
ඒ අනුව සජිත් මුලින්ම කළේ දෙමළ සන්ධානයේ නියෝජිත සුමන්තිරන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය. එහිදීද කියැවුණේ ජනාධිපතිවරයා මේ කරන්නේ ‘ෂෝ’ එකක් බවය. මෙම ප්‍රශ්නය විපක්ෂය පිට දමා අත සෝදාගැනීමේ වැඩක් බවත්ය. එහෙත් එම සමුළුව වර්ජනය නොකළ යුතු බව සුමන්තිරන්ගේත් මතය වී තිබිණි. එම නිසා සමුළුවට සහභාගි වුවද දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දැක්විය යුතු බව සුමන්තිරන්ගේ අදහස විය. ඒ අනුව අවසානයේදී මෙම සාකච්ඡාවේදී තීන්දු වූයේ සමුළුවට සහභාගි වීමටත්, බලය බෙදීම මෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට බලපෑම් කිරීමටත්ය.
විපක්ෂයෙන් කරුණු 3ක්!
ඉන් අනතුරුව සජිත් විපක්ෂයේ පොදු සන්ධානයේ විධායක කමිටුව හමුවීමටද පියවර ගත්තේය. එහිදී පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව සජිත් ඇතුළු පිරිස තීන්දු කළේ ප්‍රධාන කරුණු 3ක් යටතේ සමුළුවට සහභාගි වී අදහස් දැක්වීමටය. ඉන් පළමු කාරණය වූයේ මෙම ප්‍රශ්නයේදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අවංකව සහ විශ්වසනීයත්වයෙන් යුතුව කටයුතු කළ යුතු යැයි කියාය. දෙවැනි කාරණය වූයේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විපක්ෂයේ විසඳුම් විමසා සිටීමට පෙරාතුව ආණ්ඩුව ඊට ලබාදීමට සූදානම් වන විසඳුම් යෝජනා ඉදිරිපත් කළ යුතු යැයි කියාය. තුන්වැනි කරුණ වූයේ මෙම සමුළුවේදී පළාත් සභා මැතිවරණය ඇතුළු කල් දමා ඇති සියලු මැතිවරණ පැවැත්විය යුතු බවට ආණ්ඩුවට දැනුම් දී සිටිය යුතු බවය.
මීඩියා ගේම් එකක්!
මෙම කරුණු 3ට අමතරව තවත් වැදගත් කරුණක්ද සජබය ඇතුළේ සාකච්ඡාවට බඳුන් විය. ඒ, ආණ්ඩුව විසින් මේ පිළිබඳ විවිධ නිවේදන නිකුත් කොට මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳවය. එහිදී එක් මන්ත්‍රීවරයකු සජිත්ට පෙන්වා දුන්නේ ආණ්ඩුව මෙහිදී ‘මීඩියා ගේම් එකක්’ ගැසිය හැකි බවත්, ඊටද සූදානම්ව සජබය මෙම සමුළුවට සහභාගි විය යුතු බවත්ය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ ජනාධිපති මාධ්‍ය ඒකකය ඒ පිළිබඳ විකෘති තොරතුරු ඇතුළත් නිවේදන පළ කළ හැකි බැවින්, සාකච්ඡා අවසන් වූ සැණින් වහාම ඒ පිළිබඳ රට දැනුවත් කරමින් සජබය මගින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටය.
ජිල්මාට් දාන්න ආවොත් බලාගමු!
එමෙන්ම තවත් විශේෂ තීන්දුවක්ද මෙහිදී ගැනිණි. ඒ, යම් හෙයකින් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී දේශපාලන උප්පරවැට්ටි හෝ ජිල්මාට් දැමීමට සූදානම් වන බව වැටහී ගියහොත් ඒ මොහොතේම සාකච්ඡාවෙන් නැගිට ඒමටය.
මේ ආකාරයට පක්ෂය ඇතුළේ සහ පොදු සන්ධානය ඇතුළේ තීන්දු තීරණ ගැනීමෙන් පසු සජිත් සර්වපාක්ෂික සමුළුව සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය පළමු වතාවට රටට හෙළිදරව් කිරීමටද පියවර ගත්තේය. ඒ, පසුගිය අඟහරුවාදා බිබිලේ ජාතික පාසලකට ‘සක්වල’ යටතේ 73 වැනි බස් රථය ලබාදීමේ උත්සවයේදීය. එහිදී සජිත් දැඩිව කියා සිටියේ රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් මෙම සර්වපාක්ෂික සමුළුවට සහභාගි වීමට සජබය තීන්දු කළ නමුත්, යම් හෙයකින් ජනාධිපතිවරයා මෙහිදී සුපුරුදු පරිදි දේශපාලන ජිල්මාට් දැමීමට සූදානම් වන්නේ නම් වහාම සාකච්ඡා මේසයෙන් නැගිට ඒමට කටයුතු කරන බවත්ය
බැසිලුත් තද තීන්දුවක!
සජබය සහ පොදු විපක්ෂයට අමතරව පොහොට්ටුවද පසුගිය සතියේදී බත්තරමුල්ලේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේදී ජනාධිපතිවරයා විසින් කැඳවනු ලැබ ඇති සර්වපාක්ෂික සමුළුව සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්ද යන්න සාකච්ඡා කිරීම සඳහා විශේෂ හමුවක් පැවැත්වීය. බැසිල් රාජපක්ෂ මහතා විසින් කැඳවනු ලැබ තිබූ මෙම සාකච්ඡාවට පක්ෂයේ ඉහළ පෙළ ප්‍රධානීහු රැසක් සහභාගි වී සිටියහ. එහිදී සියලු දෙනාගේම අදහස වී තිබුණේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තින්දු කිරීමට ජනාධිපතිවරයාට ජනවරමක් නැතැයි කියාය. ජනාධිපතිවරයා ගෙවමින් සිටින්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ලක්ෂ 69ක ජනවරමේ ඉතිරි කාලය බව පෙන්වා දුන් පොහොට්ටු ප්‍රධානීන් ගෝඨාභයගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමක් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවද පෙන්වා දුන්හ. එමෙන්ම ඔවුන්ගේ ස්ථාවරය වී තිබුණේ මීට පෙර ජනවරමින් පත්වූ ජනාධිපතිවරු හත්දෙනකු විසින් නොකළ කටයුත්තක් ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතු නැතැයි කියාය. යම් හෙයකින් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඊට පෙර මහා සංඝරත්නය ඇතුළු විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කොට ඒ පිළිබඳ අවසන් තීන්දුවක් ගත යුතු බවද එහිදී කියැවිණි. ඒ අනුව මේ කරුණු සියල්ල සිය අවස්ථාවේදී නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ වගකීම පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතාට පැවරීමටද පොහොට්ටු ප්‍රධානීහු තීන්දු කළහ.
සජිත් නැගිට යයි!
ඒ අනුව බදාදා සවස් වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සර්වපාක්ෂික සමුළුව ආරම්භ වූයේ මෙවැනි වාතාවරණයක් මැදය. ප්‍රධාන මේසයේ ජනාධිපතිවරයාත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් අසුන් ගෙන සිටියහ. පළමුව ජනාධිපතිවරයා විසින් සමුළුවේ අරමුණ පිළිබඳ කළ කෙටි දැනුවත් කිරීමකින් පසු මුලින්ම අදහස් පළකිරීම ආරම්භ කළේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. මෛත්‍රී අගක් මුලක් නැති කරුණු ගණනාවක් පැවසූ නිසාදෝ ඔහු කතා කළ කිසිවකට සභාවේ සිටි අයගේ අවධානය යොමු වූ බවක් දැකගන්නට නොලැබිණි.
යෝජනා තුන කියයි!
ඉන් අනතුරුව අදහස් දැක්වීම ආරම්භ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. කලින් සූදානම් වී පැමිණි ආකාරයටම මෙහිදී සජිත් කියා සිටියේ පළමුව ආණ්ඩුව විශ්වසනීයත්වයකින් යුතුව මෙම වැඩකටයුතු සිදු කළ යුතු බවත්, උතුරු නැගෙනහිර විසඳුම් යෝජනාවලිය ආණ්ඩුව පාර්ශ්වයෙන් මුලින්ම ඉදිරිපත් කළ යුතු බවත්ය. එමෙන්ම පළාත් සභා ශක්තිමක් කිරීමට පෙර කල්දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවද සජිත් කියා සිටියේය. එසේ සිය කතාව අවසන් කළ සජිත්, ඊට පෙර යොදාගත් වැඩ රාජකාරියක් හේතුවෙන් සර්වපාක්ෂික සමුළුවෙන් පිටව යෑමට කටයුතු කළේය. නමුත් බොහෝ දෙනා සිතුවේ සමුළුවට නොනිල වශයෙන් විරෝධය පළකොට සජිත් නැගිට ගියා යැයි කියාය.
කිරිඇල්ල පටන් ගනී!
සජිත් එසේ සභාවෙන් පිටව ගියද සජිත් මතු කළ පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට වූ යෝජනාව හේතුවෙන් සමුළුවේ ස්වභාවය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළී ගිය ආකාරයක් දැකගත හැකි විය. ඒ, සජිත්ගෙන් පසු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය කතාව ආරම්භ කිරීමත් සමගය.
මොනවයින් මොනවා වේවිද?
‘දැන් මේ රටේ කිසි තැනක ඡන්දයක් නෑ. පළාත් පාලන ආයතන ඡන්දය නෑ. පළාත් සභා ඡන්දය නෑ. මට මතකයි යහපාලන ආණ්ඩුව කාලේ සියලු පළාත් මහ ඇමැතිවරුන් ගෙන්වලා බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මමත් ඒ කමිටුවේ හිටියා. එතැනදීත් කතා වුණේ 13ට එහා ගිය බලය බෙදීමක් ගැනයි. ඒ නිසා මේක ගැන අලුතෙන් කතා කරන්න දෙයක් නෑ. ඔබතුමයි අපියි ජාතික ප්‍රශ්නය ගැන දරන විසඳුම් අතර ලොකු පරස්පරයක් නෑ. නමුත් මේ මොනවා කරන්නත් කලින් ඡන්දය තියලා ඉන්න. මේ යන විදියට රටේ ජනතාවට මේ සිස්ටම් එක ගැන කිසිම විශ්වාසයක් නෑ. මේ විදියට තවදුරටත් ඉස්සරහට ගියොත් මොනවායින් මොනවා වේවිද කියලා හිතාගන්න බෑ….’ යනුවෙන් කිරිඇල්ල කළ කතාවෙන් පසු නැගී සිටියේ ජනාධිපතිවරයා සමග දිගින් දිගටම තිරය පිටුපස සාකච්ඡාවල නිරතව සිටි විග්නේෂ්වරන්ය. විග්නේෂ්වරන් 13 ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් නමුත්, කවුරුත් පුදුමයට පත් කරවමින් විග්නේෂ්වරන්ද පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
විග්නේෂ්වරනුත් ඡන්දය ඉල්ලයි!
‘උතුරු පළාතේ වුණත් දැන් දෙවැනි තුන්වැනි පෙළ දේශපාලන නායකත්වයක් නෑ. අරාජික තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා මුලින්ම පළාත් සභා ඡන්දය තියන්න. ඊට පස්සේ අපිට පුළුවන් බලය බෙදීම ගැන කතා කරන්න. අනෙක පොලිස් බලතල ගැන වුණත් අපිට ඉන්දියාවේ පොන්ඩිචෙරි ප්‍රාන්තයෙන් හොඳ උදාහරණයක් ගන්න පුළුවන්. පොන්ඩිචෙරි ප්‍රාන්තයේ පොලිසියට සීමිත තුවක්කු ප්‍රමාණයක් මහ ආණ්ඩුව මගින් ලබාදීලා තියෙනවා. ඒ අයට තව අවශ්‍ය නම් මහ ආණ්ඩුවයි, පොලිසියයි එක්ක කතා කරලා ඒක කරගන්න පුළුවන්. හැබැයි ඒවා ගැන කතා කරන්න කලින් ඡන්දය තියලා ඉන්න ඕනෙ…’ යනුවෙන් විග්නේෂ්වරන් කියා සිටියේ තත්ත්වය තවත් උණුසුම් කරමින්ය.
පොහොට්ටුවේ මතය!
ඉන් අනතුරුව අදහස් දැක්වීමට පටන් ගත්තේ සාගර කාරියවසම්ය. සාගර කලින් සැලසුම් කළ පරිදිම කියා සිටියේ ජනාධිපතිවරයාට මෙම බලතල ක්‍රියාත්මක කිරීමට ජනවරමක් නැතැයි කියාය.
‘මීට පෙර හිටපු ජනාධිපතිවරුන් හත්දෙනකුම මේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න කටයුතු කළේ නෑ. ඒ, මේකෙ ප්‍රශ්නයක් තියෙන හින්දා. අනෙක් අතට ඔබතුමා දරමින් ඉන්නෙ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන් ජනවරම. එතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට සඳහනක් වුණේ නෑ. ඒ නිසා අපේ මතය තමයි මේක කරනවා නම් මහා සංඝරත්නය ඇතුළු සියලු පාර්ශ්වල උපදෙස් අරගෙන ජනවරමක් සහිතව මේක කරන්න කියලයි…’ යනුවෙන් සාගර කියද්දී සර්වපාක්ෂික සමුළුවේ සිටි සියලු දෙනාටම තහවුරු වූ කාරණයක් වූයේ ජනාධිපතිවරයා හා ආණ්ඩුව අතර පවා මේ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් නොමැති බවය.
මීට අමතරව උදය, විමල් ඇතුළු කණ්ඩායමද 13 ක්‍රියාත්මක කිරීම සහ පොලිස් බලතල ලබාදීම සම්බන්ධයෙන් සිය සුපුරුදු විරෝධය පළ කිරීමට පියවර ගත්හ.
ජනාධිපතිට කේන්ති යයි!
කෙසේ වෙතත් මෙහිදී උණුසුම්ම සිදුවීම දැකගන්නට ලැබුණේ පැය දෙකහමාරක් පුරා ඇදී ගිය සාකච්ඡාව අවසාන භාගයේදීය. ඒ, ජනාධිපතිවරයා කතා කරගෙන යද්දී ඊට දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා විරෝධය පළකිරීමත් සමගය. මෙහිදී ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම එකක් නොව දෙකක් යනුවෙන් ප්‍රකාශ කිරීමත්, ඒ දෙකෙන් එකක් තෝරාගත යුතු බවත්, දෙකම එකවර සිදුකළ නොහැකි බවත් කියා සිටීමත් සමග අදහස් දැක්වූ සුමන්තිරන් කියා සිටියේ එය දෙකක් නොව එක දිශාවකට ගමන් කරන එක් කාරණයක් යැයි කියාය. එම නිසා 13 ක්‍රියාත්මක කිරීම හා සමානවම පළාත් සභා මැතිවරණයද පැවැත්විය යුතු බව සුමන්තිරන්ගේ ස්ථාවරය විය.
සුමන්තිරන්ගේ කතාවට ජනපතිට කේන්ති යයි!
සුමන්තිරන්ගේ මේ අදහස් දැක්වීමත් සමග කිසිවකුත් නොසිතූ ආකාරයට ජනාධිපතිවරයාට කේන්ති ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
‘මට කරන්න පුළුවන් දේ මෙච්චරයි. ඔයගොල්ලන්ට කරන්න බැරි නම් මට කරන්න දෙයක් නෑ…’ යනුවෙන් කියමින් සාකච්ඡාවෙන් නැගිට ගියේ නිල වශයෙන් සාකච්ඡාව අවසන් නොකරමිනි. මේ බව පසුව සුමන්තිරන් මාධ්‍ය හමුවේ දෙවරක්ම සඳහන් කිරීමටද පියවර ගත්තේය. ඒ අනුව සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සියලු පාර්ශ්වයන් කියා සිටියේ මෙම සර්වපාක්ෂික සමුළුව සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් බවත්, උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොතිබූ බවත්, ජනාධිපතිවරයා හා පොහොට්ටුව අතර පවා මේ පිළිබඳ ඒකමතිකභාවයක් නොමැති බව තහවුරු වූ බවත්ය.
මට ඒකට වඩා මේක හොදයි!
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසු බොහෝ දෙනා සොයා බලන්නට වූයේ රැස්වීම අතරමගදී සජිත් සිය කතාව කොට නැගිට ගියේ ඇයිදැයි කියාය. ඒ පිළිබඳ විමසද්දී ඔවුන්ට දැනගන්නට ලැබුණේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ කාන්තා වෘත්තිකයන් 30ක් සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වීම සඳහා සජිත් පිටත්ව ගිය බවකි. ඇත්ත වශයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටවූ සජිත් කෙළින්ම පැමිණ තිබුණේ විපක්ෂ නායක කාර්යාලයයට. ඒ, මීට සති දෙකකට ඉහතදී යොදාගත් කාන්තා වෘත්තිකයන් 30ක් සමග පැවැති සාකච්ඡාවකට එක්වීම සඳහාය. සජිත් සාකච්ඡාවට පැමිණ අසුන් ගත්තේද ‘මම මේ ආවේ වැඩකට නැති සාකච්ඡාවකට සහභාගි වෙලයි. ඒක රටටවත් මිනිස්සුන්ටවත් වැඩකට නැති එකක් කියලා තේරුණු නිසා මම මැද්දෙදි නැගිටලා ආවා. මට ඒකට වඩා ඔබතුමීලගෙ ක්ෂේත්‍රයේ අය මුහුණ දීලා තියෙන ප්‍රශ්න ගැන කතාකරන එක වටිනවා…’ යැයි කියමිනි.
සජිත්ගෙන් පැමිණිල්ලක්!
පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ පොදු සන්ධානයේ නියෝජිතයන් හා මෙරට සිටින ප්‍රධාන පෙළේ තානාපතිවරුන් කණ්ඩායමක් අතර විශේෂ රැස්වීමක් කොළඹ ටාජ් හෝටලයේ පැවැත්විණි. රැස්වීම අතිසාර්ථක එකක් බව ආරම්භයේදීම දැකගන්නට ලැබුණේ ඊට ප්‍රධාන පෙළේ සියලුම තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සහභාගි වී සිටීම නිසාය. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා තානාපතිවරු අතර පැවැති සාකච්ඡාවේදී සම්පූර්ණයෙන්ම පාහේ අවධාරණය කෙරුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ගෙන යන ක්‍රියාකලාපය, එනම් මැතිවරණ කල් දමමින් සිදුකරන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළ පිළිබඳ දීර්ඝව තානාපතිවරුන්ට විස්තර කිරීමට සජිත් ඇතුළු පිරිස කටයුතු කළහ.
තානාපතිවරු සවන් දෙයි!
‘මෙතැන ඉන්න තානාපතිවරුන් නියෝජනය කරන රටවල් සියල්ලම නීතියේ ආධිපත්‍යය සුරකින රටවල්. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටවල්. නීතියේ පාලනය ක්‍රියාත්මක වන රටවල්. නමුත් වත්මන් ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංඝනය කරනවා. පළාත් පාලන මැතිවරණය කල්දාලා. ඡන්දය තියන්න කියලා අධිකරණ තීන්දුවක් දීපු විනිසුරුවරුන්ව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන්න උත්සාහ කරනවා. මැතිවරණය තියන්න සූදානම් වූ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන්න සූදානම් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී නොවන තීන්දු පාර්ලිමේන්තුව හරහා ගනිමින් ඉන්නවා. මුළු පාර්ලිමේන්තුවම විධායකයේ ග්‍රහණයට අරගෙනයි තියෙන්නේ. ආණ්ඩුව කියන කියන දේ පාර්ලිමේන්තුවේ සම්මත කරන පිරිසකුත් ඉන්නවා…’ යනුවෙන් විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස පෙන්වා දෙද්දී තානාපතිවරුන් ඉතා ඕනෑකමින් එය අසා සිටින ආකාරයක් දැකගත හැකි විය.
ඔයගොල්ලන්ට ඕනේ මොන ඡන්දයද!
මෙහිදී සජිත් ඇතුළු ඇතුළු පිරිසේ කතාව අසාගෙන සිටි එක් තානාපතිවරයෙක් විමසා සිටියේ, ‘ඔයගොල්ලන්ට ඕනේ මොන ඡන්දයද?’ යැයි කියාය. ඊට සජිත් දුන්නේ කවුරුත් බලාපොරොත්තු නොවුණු ආකාරයේ පිළිතුරකි.
‘අපි ලෑස්තියි ඕනෙම ඡන්දයකට. නමුත් රටේ ව්‍යවස්ථාවක් තියෙනවා. ඒකට අනුව තියන්න ඕනෙ ඡන්ද නියමිත වෙලාවට තියන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ…’ යන්න එහිදී සජිත් ලබාදුන් පිළිතුරය.
කෙසේ වෙතත් සාකච්ඡාව අවසානයේදී පැවැති සුහද හමුවේදී සජිත් ළඟට පැමිණි සියලු තානාපතිවරුන් පාහේ කියා සිටියේ මෙම හමුවේදී තමන් නොදැන සිටි බොහෝ කරුණු කාරණා දැනගත් බවකි. එමෙන්ම ලංකාවට දිගටම උදව් කිරීමට සූදානම් බවද ඔව්හු සජිත්ට කියා සිටියහ. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව සමගද සාකච්ඡා කරන බව ඔව්හු දැනුම් දී සිටියහ.
මහින්දටම ආපිට කැරකෙයි!
මීට සති කිහිපයකට ඉහතදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ නිල නිවෙසට යොමුකොට තිබූ වතුර බිල්පතක් ගෙවාදමන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් යොමුකිරීමට පියවර ගෙන තිබිණි. නමුත් ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී තිබුණේ ජනාධිපතිවරුන්ට ලබාදෙන වරප්‍රසාද අතරේ බිල්පත් ගෙවීම නොමැති බවත්, ඒ බව අධිකරණ තීන්දුවකින් පවා තහවුරු කොට ඇති බවත්ය.
දීපු නඩු තීන්දුව!
මේ සම්බන්ධයෙන් ගෝඨාට පිළිතුරු යැවීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය කළ සොයාබැලීමකදී මේ පිළිබඳ අනාවරණ කරගැනීමට ඔවුන්ට හැකි විය. මෙම නඩු තීන්දුව ලැබී තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලසීමාවේදීය. මහින්ද බලයට පැමිණීමත් සමග හිටපු ජනාධිපති චන්ද්‍රිකා සමග කිසියම් විරසකයකින් පසුවීම නිසා චන්ද්‍රිකාට ලබාදී තිබූ වරප්‍රසාද එකින් එක කපාදැමීමට පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනුකෙරුණු අතර, එහිදී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා තීන්දු කළේ හිටපු ජනාධිපතිවරයකුට නිල නිවාසයක්, නිල වාහන 3ක් සහ ආරක්ෂාව පමණක් හිමිවන බවකි. අනෙකුත් කිසිදු වරප්‍රසාදයක් හිටපු ජනාධිපතිවරුන්ට හිමි නොවන බව එහිදී කියැවිණි. එය එකල හැඳින්වූයේ චන්ද්‍රිකාට එරෙහිව ලබාදෙනු ලැබූ තීන්දුවක් ලෙසටය.
අපිට ගෙවන්න බෑ!
කෙසේ වෙතත් 2015 යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු යළිත් වතාවක් සුපුරුදු පරිදි හිටපු ජනාධිපතිවරුන්ට අධිකරණ තීන්දුව ඉක්මවා යමින් වරප්‍රසාද ලැබෙන්නට විය. ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවීම සිදුවිය. නමුත් ගෝඨාගේ ජල බිල්පත සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ගෙන ඇති තීන්දුවත් සමග දැන් මහින්දටද වතුර බිල්, ලයිට් බිල් ගෙවීමට සිදුව ඇති බවක් ආරංචිය. බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ එදා මහින්ද චන්ද්‍රිකට කළ දෙය ආපසු කැරකී මහින්දටම පැමිණ ඇතැයි කියාය.
එන්නේ යන්නේ කව්ද!
පසුගිය සතියේ අප මෙම තීරය ඔස්සේ විශේෂ හෙළිදරව්වක් කරමින් රාජගිරිය ලේක් ඩ්‍රයිව් ප්‍රදේශයේ නව දේශපාලන කාර්යාලයක් විවෘත වූ පුවතත්, කලක් පොහොට්ටුවේ ප්‍රබල සාමාජිකයකු වූ නිමල් ලන්සාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත වූ පුවතත්, ඉදිරියේදී බිහිවන අලුත් දේශපාලන සන්ධානයක පක්ෂ මූලස්ථානය ලෙස එම කාර්යාලය භාවිත කිරීමට සූදානමින් සිටින පුවතත් වාර්තා කළෙමු. අප කළ මෙම අනාවරණයෙන් පසු මේ වන විට බොහෝ දේශපාලන පාර්ශ්වල ඇස මෙම පක්ෂ කාර්යාලය පිළිබඳවත්, ඊට යන එන පුද්ගලයන් පිළිබඳවත් යොමුවී ඇති බවක් දැනගන්නට තිබේ. මෙම කාර්යාලය පිළිබඳ වැඩියෙන්ම ඇස ගසාගෙන සිටින්නේ වෙන කවුරුවත් නොව මීට කිලෝමීටර් කිහිපයක් ඈතින් පිහිටි පොහොට්ටු පක්ෂ කාර්යාලයේ සිටින නියෝජිතයන්ය. මෙම කාර්යාලයට යන එන පොහොට්ටු නියෝජිතයන් කවුද, ඔවුන් එහි කතාකරන්නේ මොනවාද, මෙම කාර්යාලයේ පූර්ණකාලීනව රැඳී සිටින පුද්ගලයන් කවුද යනාදී විවිධ තොරතුරු පොහොට්ටුවේ ප්‍රධානීන් විසින් විවිධ පාර්ශ්වයන් හරහා සොයමින් සිටින ආකාරයක්ද දැකගන්නට තිබේ.
ගෝඨාගේ සපෝට් එකත්!
කෙසේ වෙතත් අප වෙත ලැබී ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ මෙම නව පක්ෂ කාර්යාලයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සුගීශ්වර බණ්ඩාරත්, කලක් රාජපක්ෂවරුන්ට අතිශය සමීපව කටයුතු කළ හිටපු ජවිපෙ ප්‍රධානියකු වූ සිරිපාල අමරසිංහත් පූර්ණකාලීනව රැඳී සිටින බවකි. මෙම කාර්යාලය විවෘත කරන දිනයේදී සුගීශ්වරත්, සිරිපාල අමරසිංහත් ආරාධිත අමුත්තන් අතර ඉදිරියෙන්ම රැඳී සිටිනු දැකගත හැකි විය. දැනගන්නට ඇති ආකාරයට මෙම ස්ථානයේ සිට ක්‍රියාත්මක වන නව දේශපාලන සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරමින් සිටින්නේ වෙන කවුරුවත් නොව, නිමල් ලන්සාය.
පෙහොට්ටුවෙන් 35ක් එනවා!
ඒ අනුව ලන්සාගේ කාර්යාලයෙන් සිදුකරන්නේ පොහොට්ටුවට සම්බන්ධ වී සිටින ගමේ නියෝජිතයන්ට කතාකොට මෙම අලුත් සන්ධානයට එක්වන ලෙස දැනුම් දී සිටීමය. ලබන සැප්තැම්බර් මාසය වන විට පොහොට්ටුවේ ප්‍රබලයන් 35 දෙනකු පමණ මෙම නව සන්ධානය වෙත එක්වීමට සූදානමින් සිටින බවත්, එම නිසා දැන් තියාම මෙම නව දේශපාලන සන්ධානය සමග එක්වී ඉදිරි පළාත් පාලන මැතිවරණයට හෝ පළාත් සභා මැතිවරණයට මුහුණ දීමට සූදානම් වන ලෙසත් මෙම කාර්යාලයෙන් යන දුරකතන ඇමතුම්වලින් දැනුම් දී ඇති බවක් දැනගන්නට ඇත. එමෙන්ම මෙම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 35 දෙනා නිල වශයෙන් පක්ෂයට එකතු වීමෙන් පසු දැවැන්ත වියදමක් දරා දැවැන්ත පක්ෂ සම්මේලනයක් පැවැත්වීමටද ලන්සා ඇතුළු කණ්ඩායම සැලසුම් කර ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
සුසිල් නෑ!
කෙසේ වෙතත් අප මෙම තොරතුර පසුගිය සතියේ වාර්තා කිරීමෙන් පසු සමාජ මාධ්‍යවල පළවූ විවිධ පුවත්වලින් කියැවුණේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද ලන්සා විසින් ගොඩනගන මේ අලුත් දේශපාලන සන්ධානයේ සාමාජිකත්වය ගැනීමට සූදානමින් සිටිනවා යැයි කියාය. ඒ සම්බන්ධයෙන් කිහිප දෙනකුම සුසිල්ට කතාකොට තොරතුරු විමසද්දී කලබලයට පත්වූ සුසිල් කියා සිටියේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, තමන් මෙතෙක් එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත්ය. තමන් දේශපාලන තීන්දු තීරණ ගන්නේ ඒ ඒ පවතින දේශපාලන තත්ත්වයට උචිත ආකාරයෙන් බවද එහිදී සුසිල් සිය හිතවතුන්ට වැඩිදුරටත් සඳහන් කොට තිබිණි.
පොහොට්ටුවෙන් සජිත්ට ඇමතුමක්!
පසුගිය සතියේ පොහොට්ටුවේ ප්‍රබලයකුගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විශේෂ දුරකතන ඇමතුමක් ලැබී තිබිණි. ඇමතුම ලැබීමෙන් අනතුරුව තමන් කවුරුන්දැයි විපක්ෂ නායකවරයාට හඳුන්වා දීමක් කළ මෙම ප්‍රබල මන්ත්‍රීවරයා මේ වන විට තමන් ඇතුළු කණ්ඩායමකට මුහුණ දීමට සිදුව ඇති විශාල දුක්ගැනවිල්ලක් පිළිබඳ විපක්ෂ නායකවරයාට තොරතුරු දැනුම් දීමට පියවර ගත්තේය. එහිදී මෙම ප්‍රබල මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් සමග 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සිටින බවත්, ඒ සියලු දෙනාම පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කලකිරීමෙන් පසුවන බවත්ය.
අපිත් එක්ක 15ක් ඉන්නවා!
‘විපක්ෂ නායකතුමා, මගෙත් එක්ක පහළොස් දෙනෙක් ඉන්නවා. ඒ ඔක්කොම ඉන්නෙ විශාල කලකිරීමකින්. මේ තියෙන දේශපාලන තත්ත්වයත් එක්ක අපි කිසිසේත්ම සූදානම් නෑ අපෙන් කැඩිලා ගිය අය හදන එක එක සන්ධානවලට එකතු වෙන්න. ඔබතුමාගේ පක්ෂයේ අපිට ඉඩක් තියෙනවද කියලා දැනගන්නයි මේ කතා කළේ…’ යනුවෙන් මෙම පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරයා අසද්දී සජිත් කියා සිටියේ තමන්ගේ මූලිකත්වයෙන් ඉදිරියේදී දැවැන්ත සන්ධානයක් බිහිවන බවත්, ඊට එක්ව මෙම පහළොස් දෙනාගේ කණ්ඩායමටද දේශපාලන කටයුතු සිදුකළ හැකි බවත්ය.
ඉන් අනතුරුව පොහොට්ටුවේ මන්ත්‍රීවරයා සජිත්ගෙන් විමසා සිටියේ යම් තීරණාත්මක අවස්ථාවකදී ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට තීන්දු කරන්නේ නම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමග එකට අසුන්ගැනීමට ඉඩ සලසාදිය හැකිදැයි කියාය. විපක්ෂ නායකවරයා ඊටද ඉතා ප්‍රායෝගික පිළිතුරක් ලබාදීමට පියවර ගත්තේය.
වෙනම වාඩි වෙන්න!
‘නෑ, ඔබතුමාලට ඕනෙ වෙලාවක විපක්ෂයේ ඇවිල්ලා වාඩිවෙන්න පුළුවන්. දැනටමත් පොහොට්ටුව නියෝජනය කරපු 13 දෙනෙක්ගේ කණ්ඩායමක් වෙනම ස්වාධීන කණ්ඩායමක් විදියට විපක්ෂයේ අසුන්ගෙන ඉන්නවා. එහෙම ඉඳගෙන අපිත් එක්ක එකට විපක්ෂයේ දේශපාලන වැඩකටයුතු කරනවා. ඒ නිසා ඔබතුමාලත් වෙනම ස්වාධීන කණ්ඩායමක් විදියට විපක්ෂයේ අසුන්ගන්න. ඊට පස්සේ අපිට එකතු වෙලා දේශපාලන වැඩකටයුතු කරන්න පුළුවන්. කොහොම වුණත් මම ඔබතුමාලා එක්ක ඉදිරියේදී සම්බන්ධීකරණ කටයුතු කරන්න මගේ විශේෂ නියෝජිතයෙක් පත්කරන්නම්. එතකොට ඕනෙ ප්‍රශ්නයක් එයත් එක්ක කතාකරලා විසඳගන්න පුළුවන්…’ යනුවෙන් සජිත් එහිදී එම පොහොට්ටු ප්‍රබලයාට දැනුම් දී සිටියේය. ඒ අනුව පළමු අවස්ථාවේදී ඩලස් අලහප්පෙරුම, චරිත හේරත්, ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා ඇතුළු 13 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පොහොට්ටුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත්තා සේ ඉදිරියේදී තවත් ප්‍රබල පොහොට්ටු මන්ත්‍රීවරුන් 15 දෙනකු විපක්ෂයේ අසුන්ගැනීමට නියමිතව සිටින බව පොහොට්ටු ප්‍රබලයාගෙන් සජිත්ට ලැබුණු මෙම දුරකතන ඇමතුමෙන් පැහැදිලිය. එය ඒ ආකාරයට සිදුවුවහොත් ඉදිරියේදී ආණ්ඩුවේ බහුතරය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් පැනනැගීමට නියමිත බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
පොහොට්ටුව රට වටේ!
මේ ආකාරයට පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරයකු සජිත් සමග දුරකතන සාකච්ඡාවකඑ එක් වෙමින් පොහොට්ටුවේ පිල් මාරුවක් ගැන තොරතුරු සඳහන් කරද්දී පොහොට්ටුවද මේ දිනවල යළි අළු ගසාදමමින් නැගී සිටින ආකාරයක් ගම්වල දැකගැනීමට පුළුවන. අරගලයෙන් අනතුරුව සිදුවූ දැඩි පසුබෑම් හමුවේ මාස කිහිපයක කාලයක් කිසිදු ප්‍රසිද්ධ වැඩකටයුත්තකට යොමු නොවුණු පොහොට්ටුව, මේ වන විට නැවත වතාවක් ගම් මට්ටමින් සිය දේශපාලන කටයුතු ආරම්භ කරමින්, ආසන බලමණ්ඩල රැස්වීම් පැවැත්වීමට තීරණය කොට තිබේ. මේ දිනවල එහි පොහොට්ටුවේ ප්‍රබලයන්ට අමතරව විශාල භූමිකාවක් රඟදක්වමින් සිටින්නේ රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා ලෙස සැලකෙන නාමල් රාජපක්ෂ මහතාය. පසුගිය සතියේ මහියංගනය, කුරුණෑගල ඇතුළු පළාත් කිහිපයක පැවැති ආසන බලමණ්ඩලවලට කිසිවකු නොසිතූ පරිදි පොහොට්ටු සාමාජිකයන් විශාල පිරිසක් සහභාගි වී සිටි නිසා අරගලයෙන් අනතුරුව විසිරී නිහඬව සිටි පොහොට්ටුවේ ප්‍රබල සාමාජිකයන් නැවත වතාවක් පොහොට්ටුව වටා එක්රොක් වී සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. මෙය පොහොට්ටු ප්‍රබලයන්ටද විශාල මානසික ශක්තියක් වී ඇති ආකාරයක් දැකගන්නට ලැබිණි.
මහින්ද එළිබසී!
මාස කිහිපයක් තිස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතුරුදන්ව සිටි පුවත අවස්ථා දෙකකදී අප ‘රාජ්‍ය රහස්’ තීරයේ පසුගිය කාලයේ ලියා තැබුවෙමු. එහිදී අප කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා මාස තුනක පමණ කාලයක් තිස්සේ කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකට හෝ පවුලේ උත්සවයකට හෝ සහභාගි නොවී විවේක සුවයෙන් විජේරාම නිවෙසේ සිටි බවකි. කෙසේ වෙතත් මෙම අතුරුදන් වීම පසුගිය සතියේ නිමා වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ පරණ පුරුදු ආකාරයටම මහින්ද ප්‍රසිද්ධ උත්සවයකට සහභාගි වීමට කටයුතු කිරීම හරහාය. පසුගිය සතියේ චීන විමුක්ති හමුදාවේ සංවත්සරය සැමරීම සඳහා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ විශේෂ උත්සවයක් සංවිධාන කොට තිබූ අතර, එහි ආරාධිත අමුත්තකු ලෙස මහින්ද සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙය කලකට පසු ප්‍රසිද්ධියේ මහින්දව දැකගන්නට ලැබුණු පළමු අවස්ථාව වුවද, ඊට පෙර සතියේද මහින්ද ෂැංග්‍රිලා හෝටලයේ ඉතා අප්‍රසිද්ධියේ විශේෂ හමුවකට එක්ව සිටියේය. එදින මහින්ද ආණ්ඩු කරන සමයේදී මහින්දත් සමග ළඟින්ම හිඳගෙන දේශපාලන කටයුතු සිදුකළ අතිශය සමීප නිලධාරීන් 20කට පමණ භෝජන සංග්‍රහයක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.