පසුගිය සතියේ පොහොට්ටුවේ ප්‍රබලයකුගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විශේෂ දුරකතන ඇමතුමක් ලැබී තිබිණි. ඇමතුම ලැබීමෙන් අනතුරුව තමන් කවුරුන්දැයි විපක්ෂ නායකවරයාට හඳුන්වා දීමක් කළ මෙම ප්‍රබල මන්ත්‍රීවරයා මේ වන විට තමන් ඇතුළු කණ්ඩායමකට මුහුණ දීමට සිදුව ඇති විශාල දුක්ගැනවිල්ලක් පිළිබඳ විපක්ෂ නායකවරයාට තොරතුරු දැනුම් දීමට පියවර ගත්තේය. එහිදී මෙම ප්‍රබල මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් සමග 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සිටින බවත්, ඒ සියලු දෙනාම පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කලකිරීමෙන් පසුවන බවත්ය.Sri Lanka Latest News
අපිත් එක්ක 15ක් ඉන්නවා!
‘විපක්ෂ නායකතුමා, මගෙත් එක්ක පහළොස් දෙනෙක් ඉන්නවා. ඒ ඔක්කොම ඉන්නෙ විශාල කලකිරීමකින්. මේ තියෙන දේශපාලන තත්ත්වයත් එක්ක අපි කිසිසේත්ම සූදානම් නෑ අපෙන් කැඩිලා ගිය අය හදන එක එක සන්ධානවලට එකතු වෙන්න. ඔබතුමාගේ පක්ෂයේ අපිට ඉඩක් තියෙනවද කියලා දැනගන්නයි මේ කතා කළේ…’ යනුවෙන් මෙම පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරයා අසද්දී සජිත් කියා සිටියේ තමන්ගේ මූලිකත්වයෙන් ඉදිරියේදී දැවැන්ත සන්ධානයක් බිහිවන බවත්, ඊට එක්ව මෙම පහළොස් දෙනාගේ කණ්ඩායමටද දේශපාලන කටයුතු සිදුකළ හැකි බවත්ය.
ඉන් අනතුරුව පොහොට්ටුවේ මන්ත්‍රීවරයා සජිත්ගෙන් විමසා සිටියේ යම් තීරණාත්මක අවස්ථාවකදී ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට තීන්දු කරන්නේ නම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමග එකට අසුන්ගැනීමට ඉඩ සලසාදිය හැකිදැයි කියාය. විපක්ෂ නායකවරයා ඊටද ඉතා ප්‍රායෝගික පිළිතුරක් ලබාදීමට පියවර ගත්තේය.
වෙනම වාඩි වෙන්න!
‘නෑ, ඔබතුමාලට ඕනෙ වෙලාවක විපක්ෂයේ ඇවිල්ලා වාඩිවෙන්න පුළුවන්. දැනටමත් පොහොට්ටුව නියෝජනය කරපු 13 දෙනෙක්ගේ කණ්ඩායමක් වෙනම ස්වාධීන කණ්ඩායමක් විදියට විපක්ෂයේ අසුන්ගෙන ඉන්නවා. එහෙම ඉඳගෙන අපිත් එක්ක එකට විපක්ෂයේ දේශපාලන වැඩකටයුතු කරනවා. ඒ නිසා ඔබතුමාලත් වෙනම ස්වාධීන කණ්ඩායමක් විදියට විපක්ෂයේ අසුන්ගන්න. ඊට පස්සේ අපිට එකතු වෙලා දේශපාලන වැඩකටයුතු කරන්න පුළුවන්. කොහොම වුණත් මම ඔබතුමාලා එක්ක ඉදිරියේදී සම්බන්ධීකරණ කටයුතු කරන්න මගේ විශේෂ නියෝජිතයෙක් පත්කරන්නම්. එතකොට ඕනෙ ප්‍රශ්නයක් එයත් එක්ක කතාකරලා විසඳගන්න පුළුවන්…’ යනුවෙන් සජිත් එහිදී එම පොහොට්ටු ප්‍රබලයාට දැනුම් දී සිටියේය. ඒ අනුව පළමු අවස්ථාවේදී ඩලස් අලහප්පෙරුම, චරිත හේරත්, ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා ඇතුළු 13 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පොහොට්ටුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත්තා සේ ඉදිරියේදී තවත් ප්‍රබල පොහොට්ටු මන්ත්‍රීවරුන් 15 දෙනකු විපක්ෂයේ අසුන්ගැනීමට නියමිතව සිටින බව පොහොට්ටු ප්‍රබලයාගෙන් සජිත්ට ලැබුණු මෙම දුරකතන ඇමතුමෙන් පැහැදිලිය. එය ඒ ආකාරයට සිදුවුවහොත් ඉදිරියේදී ආණ්ඩුවේ බහුතරය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් පැනනැගීමට නියමිත බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.










