පොහොට්ටුවෙන් මෙහෙයුම දියත් කරයි!
පක්ෂ නායක රැස්වීම උපක්රමයක්ද?
රනිල් කෙළින්ම නාමල්ගේ ගෙදරට!
ඩයනාගේ සිද්ධියට දඩුවම් සූදානම්!
රාජපක්ෂවරුන්ට දඩුවම් දෙන්න යෝජනාවක්!
මේ දිනවල දේශපාලන ක්ෂේත්රයේ ප්‍රධානම මාතෘකාව බවට පත්ව ඇත්තේ රට බංකොලොත් වීමට ප්‍රධාන වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් විසින් ගනු ලැබූ තීන්දු තීරණ බලපා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවය. පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය විසින් මෙම නඩු තීන්දුවට අනුව රාජපක්ෂවරුන්ගෙන් වන්දි අයකරගත යුතු බවට වූ සටන් පාඨය ඉදිරියට ගෙන යෑම පිළිබඳ විශේෂ සාකච්ඡාවක නිරත වූහ. අදාළ නඩු තීන්දුව මගින් රාජපක්ෂවරුන්ට සහ එම කණ්ඩායමට එරෙහිව දඬුවමක් නියම කර නොතිබීම හේතුවෙන් සජබ නායකයන් පෙන්වා දුන්නේ මෙම නඩු තීන්දුව ඔවුන්ට දඬුවම් ලබාදෙන තැන දක්වා රැගෙන යෑමට දැවැන්ත ව්‍යාපාරයක් රට ඇතුළේ ආරම්භ කළ යුතු යැයි කියාය. ඒ අනුව ඔවුන්ගේ මුල්ම සැලසුම වූයේ අයවැය විවාදය මේ දිනවල පැවැත්වෙන බැවින් පාර්ලිමේන්තුවේදී එම සටන මුලින්ම ආරම්භ කිරීමටය. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අඟහරුවාදා දිනයේදී ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට සැලසුම් කළේය.Sri Lanka Latest News
යෝජනාව න්‍යාය පත්‍රයේ!
මෙම ප්‍රකාශය ස්ථාවර නියෝග 27/2 යටතේ සිදුකිරීමට නියමිතව තිබූ නිසා ඒ පිළිබඳ කල් තියා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු වීම සාමාන්‍ය සම්ප්රදායය. එම නිසා සජිත්ද කළේ සිය කතාව සම්බන්ධයෙන් සියලු තොරතුරු පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමය. එය ලිඛිතව ඊට පෙර දින, එනම් සඳුදා දින දහවල් 12 ට ප්‍රථම සිදුකිරීමටද සජිත් පියවර ගෙන තිබිණි.
කැටගොඩ පත්තු කරයි!
ඒ අනුව අඟහරුවාදා පෙරවරුවේම පාර්ලිමේන්තුවට පැමිණ සිටි පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වූ ජයන්ත කැටගොඩ මහතා එදිනට අදාළ න්‍යාය පත්‍රය පරීක්ෂා කර බැලීමේදී සජිත් විසින් කතාවක් සිදුකිරීමට සූදානමින් සිටින බව දැකගත හැකි විය. මෙය රාජපක්ෂවරුන් ඉලක්ක කර සිදුකිරීමට නියමිත බවද කැටගොඩට දැකගන්නට ලැබිණ. ඒ අනුව වහාම කැටගොඩ කළේ සජිත් එදින මහින්දට පාර්ලිමේන්තුවේදී පහර ගැසීමට සූදානමින් සිටින බවට නෙලුම් මාවතේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයට දැනුම් දීමට පියවර ගැනීමය. කැටගොඩගේ මේ දැනුම් දීමත් සමග පොහොට්ටු කාර්යාලයද එක්වරම ඇවිස්සී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව පොහොට්ටුවෙ ප්‍රධාන කාර්යාලය කැටගොඩගෙන් තොරතුරු විමසද්දී ඔහු කියා සිටියේ එදින පොහොට්ටුවේ මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක්ද පාර්ලිමේන්තුවේ නොමැති බව පෙනෙන්නට තිබෙන බවකි.
මෙහෙයුම දියත් වෙයි!
කෙසේ වෙතත් මෙම දැනුම්දීමත් සමග නෙලුම් මාවතෙන් වහාම අලුත් මෙහෙයුමක් ආරම්භ කෙරිණි. ඒ, පොහොට්ටුවේ සියලු පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඇමතුම් ලබාදෙමින් වහාම පාර්ලිමේන්තුවට යන ලෙස දැනුම් දී සිටීමය. එසේම සජිත් එදින මහින්දව හෝ රාජපක්ෂවරුන්ට පහර එල්ල කිරීමට කටයුතු කළහොත් ඊට විරෝධය පළකරන ලෙසද නෙලුම් මාවතෙන් එම පසුපෙළ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගැනිණි. ඒ අනුව සජිත් එදින මහින්දට පහර දීමට සූදානම් වුවහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට පොහොට්ටුව කල්තියා සූදානම්ව සිටියේය.
සජිත් දන්නෙ නෑ!
නමුත් මේ කිසිවක් සජිත් හෝ සමගි ජන බලවේගය දැන සිටියේ නැත. ඒ නිසා සජිත් සුපුරුදු පරිදි තමන් සූදානම් කරගෙන ආ කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. එදින සවස අයවැය දෙවැනි වර ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබූ බැවින් සජබයේ මන්ත්‍රී කණ්ඩායමද එදින වෙනදා මෙන්ම අසුන්ගෙන සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ස්ථාවර නියෝග 27/2 යටතේ සජිත් සිය ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ කොට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රට බංකොලොත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම ගත් තීන්දු තීරණ මුල්වූ බවට තීන්දු කොට ඇති හෙයින් ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.
වළිය පටන් ගනී!
නෙලුම් මාවතෙන් පොහොට්ටු මැතිඇමැතිවරුන්ට දුන් උපදෙස් ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ මේ අවස්ථාවේදීය. සජිත් සිය කතාව ආරම්භ කොට ඉදිරියට යද්දී වටින් ගොඩින් පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය එල්ලවෙමින් තිබුණද රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට සජිත් යෝජනා කරනවාත් සමගම පොහොට්ටු මන්ත්‍රීවරු ස්ථාවර නියෝග කඩකරමින් සභාගැබ හරහා විපක්ෂ නායකවරයාගේ මේසය ඉදිරියට පැමිණ කෑකෝ ගසන්නටත්, විරෝධය පළකරන්නටත් පටන්ගත්හ. එහිදී ඉදිරියේම සිටි පොහොට්ටු මන්ත්‍රීවරුන් වූයේ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත, තිස්ස කුට්ටිආරච්චි, ජගත් සමරවික්‍රම, ඩී. වීරසිංහ වැනි පිරිසකි. මෙහිදී දැකගන්නට ලැබුණු ප්‍රධානතම සිදුවීම වූයේ 2018 සිදුවූ දින 52 කුමන්ත්රණයේදී පාර්ලිමේන්තුවේ දැකගන්නට ලැබුණු අප්‍රසන්න සිදුවීම් කිහිපයකට දායකත්වය ලබාදුන් බවට චෝදනා එල්ල වූ වත්මන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරද මෙම පිරිස අතර සිටීමය. එදා ප්‍රසන්න මිරිස් කුඩු රැගෙන සභාගැබ මැදට පැමිණ ආණ්ඩු පක්ෂය පැත්තට ගැසූ බවට චෝදනා එල්ලවූ අතර, පසුව රූපරාමු පරීක්ෂා කිරීමේදී කෝප්පයක් සඟවාගෙන ප්‍රසන්න රණවීර සභාගැබ තුළ ඇවිදිමින් සිටින ආකාරය පැහැදිලිවම දැකගන්නට ලැබිණි.
සජිත් වටකර ගනී! සනත් ලියුම උදුරගනී!
ඒ අනුව මෙම පිරිස සජිත් ඉදිරිපිටට එද්දී කුමක් හෝ අනතුරක් සිදුවිය හැකි බව වටහාගත් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු පාර්ලිමේන්තු සේවකයන් වහා සජිත්ගේ ආරක්ෂාවට ඔහු ඉදිරිපස සිට ගනිද්දී සජබ මන්ත්‍රීවරුන් පැමිණ සජිත් වටා වළල්ලක් මෙන් සිටගත් ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම ඒ අවස්ථාවේ පසුපෙළට ගිය නලින් බණ්ඩාර මේ සිදුවන සියල්ල වීඩියෝගත කරමින් සජීවීව සිය ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශය කිරීමටද පියවර ගත්තේය.
කෙසේ වෙතත් ඉතිහාසයේ කිසිදු දිනෙක දැකගන්නට නොලැබුණු සිදුවීම් පෙළක් කාටත් දැකගන්නට ලැබුණේ ඉන් අනතුරුවය. හරියටම සජිත් ඉදිරිපිටට පැමිණ සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරු විරෝධය පළකරමින් කෑකෝගැසීම් සිදුකළද ඒ කිසිවක් නොතකා සජිත් සිය කතාව දිගටම කරගෙන යෑමට පියවර ගත්තේය. කතානායකවරයා අවස්ථා කිහිපයකදීම ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට සිය ආසන වෙත යන ලෙස දැනුම් දුන්නද ඔවුන් ඒ කිසිවක් ගණනකට ගත් ආකාරයක් දැකගන්නට තිබුණේද නැත. ඒ අනුව සනත් නිශාන්ත වහාම කළේ සජිත් කියවමින් සිටි ලිපිය ඇතුළත් ලිපි ගොනුව වහාම අතින් උදුරාගෙන සජිත්ගේ කතාව නතර කිරීමට පියවර ගැනීමය.
පස්සෙ කියන්නම්!
මේ සිදුවීම දෙස කතානායකවරයාද බලාගෙන සිටි නිසා සජිත් වහාම සිය පැමිණිල්ල කතානායකවරයාට ඉදිරිපත් කරමින් සිය ලිපිය ඇතුළු ලිපි ගොනුව පැහැරගත් සනත් නිශාන්තට එරෙහිව වහාම පියවර ගත යුතු බව දැනුම් දී සිටියේය. නමුත් ඒ වන විට තත්ත්වය උණුසුම් වී තිබීම නිසා කතානායකවරයා කියා සිටියේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කොට ඊට අදාළ තීන්දුව පසුව ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවකි.
මාන්නප්පෙරුමගේ දඬුවම!
නමුත් මෙහිදී සජිත් කතානායකවරයාගේ අවධානයට විශේෂ සිදුවීමක් යොමුකිරීමට පියවර ගත්තේය. ඒ, මීට සති කිහිපයකට ඉහතදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මූලාසනය ඉදිරිපටට පැමිණ දැක්වූ විරෝධතාවක් හේතුවෙන් කතානායකවරයා ඒ මොහොතේම මාන්නප්පෙරුම මහතාට මාසයක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට පියවර ගත් ආකාරයය. එම නිසා එම තීන්දුව අනුව යමින් ඉතියාසයේ පළමු වරට විපක්ෂනායකවරයාගේ ලිපිගොනුවක් පැහැරගෙන ගිය සනත් නිශාන්ත ඇතුළු පොහොට්ටු කණ්ඩායම හටද දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව සජිත් එහිදී කතානායකවරයාගේ අවධානයට යොමු කළේය. නමුත් දිගින් දිගටම කතානායකවරයා කියා සිටියේ සියල්ල පරීක්ෂා කර බලා තමන් තීන්දුව පසුව ප්‍රකාශයට පත්කරන බවකි.
තහනම සති දෙකයි!
ඒ අනුව එදින සවස අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැැවති අතර, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122කුත් අයවැයට විරුද්ධව ඡන්ද 77කුත් ලැබී තිබිණි. සජිත්ගේ ලිපිගොනුව පැහැරගත් බටව චෝදනා එල්ලවූ සනත් නිශාන්ත ඇතුළු පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමද එදින අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට පියවර ගෙන තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
කෙසේ වෙතත් අඟහරුවාදා දිනයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් පසු කතානායකවරයා විශේෂ නිවේදන දෙකක් සිදුකරනු ලැබීය. ඉන් පළමු නිවේදනය වූයේ සභාගැබ තුළ සිදුවන කටයුතු වීඩියෝ කිරීම තහනම් බව ප්‍රකාශ කිරීමය. දෙවැනි නිවේදනයෙන් කියැවුණේ පෙර දින විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට සති දෙකකට පාර්ලිමේන්තුව තහනම් කරන බවට ප්‍රකාශ වීමය. නමුත් අන් කිසිදු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් කතානායකවරයා විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු නොකිරීම විශේෂ සිදුවීමක් විය.
මෙන්න වෙච්ච දේ!
ඒ අනුව අඟහරුවාදා දිනයේදී සජිත් නැවත වතාවක් මෙම සිදුවීම පිළිබඳ පූර්ණ විස්තරයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. ඒ, ඊට පෙර දින සිදුවූ සිදුවීම් සියල්ල ඇතුළත් වීඩියෝපට පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. ඒ අනුව සජිත් කියා සිටියේ තමා අතේ තිබූ ලිපිය ඇතුළත් ලිපිගොනුව පළමුව සනත් නිශාන්ත විසින් උදුරාගත් බවත්, පසුව එය ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා වෙත ලබාදුන් බවත්ය. ඉන් පසුව එම ලිපිගොනුව ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා අතට ගිය බවත්, පසුව ලිපිගොනුව ලබාගත් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අගමැතිවරයාගේ සහ සභානායකවරයාගේ මේසය දක්වා එය රැගෙන ගිය බවත් සජිත් කියා සිටියේය. කෙසේ වෙතත් පසුව වේත්‍රධාරීවරයා විසින් අදාළ ලිපිගොනුව තමන් වෙත රැගෙන ඒමට පියවර ගත්තද වැදගත් ලිපි කිහිපයක්ම එහි නොමැති බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබුණු බැවින් තමන් එය අතින්වත් නොඇල්ලූ බවද සජිත් සිය කතාවේදී කතානායකවරයාට පෙන්වා දුන්නේය.
ෆොටෝ ටික මෙන්න!
එපමණක් නොව සජිත් මෙම සිදුවීමට අදාළ මන්ත්‍රීවරුන්ගේ ඡායාරූප සහ වීඩියෝ පටයක්ද ඒ මොහොතේම සභාගත කිරීමට පියවර ගත්තේය. එම ඡායාරූපවල සිටින ජගත් සමරවික්‍රම, ඩී. වීරසිංහ, ප්‍රසන්න රණවීර ඇතුළු කණ්ඩායමට එරෙහිවද ක්‍රියාමාර්ග ගත යුතු බව කියා සිටි සජිත්, ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පරිච්ඡේදයේ ‘ආ’ කොටසේ 1,2 සහ 4, 6 වගන්තිවලින් මන්ත්‍රීවරුන් හැසිරිය යුතු ආකාරය පැහැදිලි කර ඇති බවත්, 92 (1) ආ වගන්තිය යටතේ ‘කිසිදු මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු සභා ගර්භය හරහා ගමන් නොකළ යුත්තේය’ යනුවෙන් අවධාරණය කොට ඇති බවත් කතානායකවරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගත්තේය. මීට සති කිහිපයකට ඉහතදී අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා මූලාසනය ඉදිරිපිටට පැමිණ විරෝධය පළකිරීම හේතුවෙන් සති 4ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට පියවර ගෙන තිබියදී සනත් නිශාන්ත හට පමණක් සති 2ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට පියවර ගැනීම පිළිගත නොහැකි බවද සජිත් සිය කතාවේදී කතානායකවරයාට දැනුම් දීමටද පියවර ගත්තේය.
තවත් උණුසුම වාදයක්!
කෙසේ වෙතත් සඳුදා, අඟහරුවාදා දෙදින තුළ සනත් නිශාන්ත හා විපක්ෂ නායක සජිත් අතර මතුවූ උණුසුම් තත්ත්වය පිළිබඳ රටේම අවධානය යොමුවී පැය 24ක් ගතවීමටත් මත්තෙන් සිදුවූ තවත් උණුසුම් සංවාදයක් හේතුවෙන් යළිත් වතාවක් රටම සජිත් පිළිබඳ මහත් ඉහළින් කතා කරන ආකාරයකුත් දැකගන්නට ලැබිණි. ඊට මුල් වූයේ ජනාධිපතිවරයා සහ සජිත් අතර ඉතා උණුසුම් සංවාදයක් බදාදා දිනයේදී සිදුවීමය. එදින ජනාධිපති වැය ශීර්ෂය විවාදයට ගැනීම හේතුවෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානමින් සිටින බවටත්, එහිදී විපක්ෂයට චෝදනා කරමින් කතාවක් කිරීමට සැලසුම් කොට ඇති බවටත් ආණ්ඩුව පැත්තෙන් කල් තියාම සජිත් වෙත පණිවුඩයක් ලැබී තිබිණි. ඒ අනුව සජිත්ද සිටියේ ජනාධිපතිවරයාගේ කතාව අසා ඒ මොහොතේම ඊට පිළිතුරු ලබාදීමේ සූදානම් ශරීරයෙන්ය.
සජිත් හිටියේ සූදානම් ශරීරෙන්!
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙම කතාව සිදුකිරීමට සූදානමින් සිටියේ ඉකුත් පාර්ලිමේන්තු සභාවාරයේය. එහිදීද ජනාධිපතිවරයා සැලසුම් කොට තිබුණේ සභාවට පැමිණ සජිත් ඇතුළු විපක්ෂයට බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමටය. එදිනද මෙම තොරතුරු කල්තියා සජිත් අතට ලැබීම නිසා ඊට පිළිතුරු දීමට සූදානමින් සිටියද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ක්‍රිකට් මුල්කරගෙන පාර්ලිමේන්තුවේදී විශාල බාල්දියක් පෙරළීම මුල්කරගෙන ජනාධිපතිවරයා සිය කතාව සිදුනොකොට පාර්ලිමේන්තුවේ සිය නිල කාමරයට වී සිටීමට කටයුතු කොට තිබිණි. අප එම සිදුවීම එම සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමටද පියවර ගත්තෙමු.
රනිල්ගේ චෝදනාව!
කෙසේ වෙතත් බදාදා දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා කියන්නට යන්නේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි තොරතුරක් සජිත්ට ලැබී තිබුණේ නැත. ඒ නිසා සජිත් කළේ ජනාධිපතිවරයා සිය කතාව සිදුකරගෙන යද්දී කිසිදු බාධාවක් නොකොට ඒ සියල්ල සාවධානව අසා සිටීමය. පිළිතුරු ලබාදිය යුතු කරුණු ඒ මොහොතේම සටහන් කරගැනීමය. මෙහිදී ජනාධිපතිවරයා සිය කතාව පටන්ගත්තේම පාර්ලිමේන්තුවේ උදේ පැය තුළ ඇතැමුන් රඟපාන්නට කටුතු කරන බවට චෝදනාවක් එල්ල කරමින්ය. ජනතාව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට එවා ඇත්තේ රඟපාන්නට නොව නීති සම්පාදනය කරන්නට බව කියා සිටි ජනාධිපතිවරයා පාරට ගොස් රඟපාන්නට හැකි බවද කියා සිටියේය.
නඩු අංකය වැරදිලා!
ඉන් අනතුරුව සිය කතාවේදී ජනාධිපතිවරයා රාජපක්ෂවරුන්ට එරෙහිව ලබාදී තිබූ බවට සජිත් විසින් සඳහන් කර තිබූ නඩු අංකය ඇතුළත් නඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. නමුත් එම අංකයට අනුව ජනාධිපතිවරයා ඉදිරිපත් කළේ මුලතිව් ප්‍රදේශයේ වෙනත් පුද්ගලයකුට අයත් නඩුවකි. නඩු අංකය පැවසීමේදී යම් අතපසුවීමක් සජිත්ට සිදුව ඇති බව පොහොට්ටුව පැත්තෙන් ජනාධිපතිවරයාට කළ දැනුම්දීමක් හේතුවෙන් ජනාධිපතිවරයා අඟහරුවාදා දිනයේදී කළේ සජිත් කී නඩු අංකය සහිත නඩු ගොනුව තමන් වෙත ගෙන්වා ගැනීමය. ඒ අනුව එම නඩුව පාර්ලිමේන්තුවේදී කියවා සජිත් අපහසුතාවට පත්කිරීම රනිල්ගේ සැලසුම වී තිබිණි. ඒ අකාරයට රනිල් අදාළ නඩුව සිය කතාවේදී කියවාගෙන යද්දී පොහොට්ටු මැති ඇමැතිවරුන් උපහාසයට මෙන් සිනාසෙමින් අත්පුඩි ගසන ආකාරයක් දැකගන්නට ලැබිණි.
ෆොටෝ එකේ ප්රශ්නය!
ඉන් අනතුරුව ජනාධිපතිවරයා පසුගිය සතියක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පාර්ලිමේන්තුවට ඡායාරූපයක් ඉදිරිපත් කරද්දී විපක්ෂ නායකවරයා, ‘ඔය පින්තූරයේ මැද ඉන්නේ කවුද?’ කියා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසූ ප්‍රශ්නයටද ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සහ රැකව යන මහත්වරුන් සමග පින්තූරයේ මැද සිටියේ තමන් බවත්, එහි සැඟවීමට කිසිවක් නොමැති බවත්ය.
සජිත් බාධා නොකරයි!
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ කතාව සිදුකරගෙන යද්දී කිසිදු බාධාවක් නොකොට සජිත් ඉතා ඉවසීමෙන් යුතුව එය අසා සිටි ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම ජනාධිපතිවරයා තමන්ට පහර දෙද්දී පොහොට්ටු මන්ත්‍රීවරුන් ‘චූන්’ වී සිසාසෙන ආකාරයද සජිත් සිනාමුසු මුහුණින් යුතුව බලා සිටියේය. ඒ අනුව ජනාධිපතිවරයා කතාව අවසන් කරනාවත් සමගම නැගී සිටි සජිත් කිසිවකුත් නොසිතූ පරිද්දෙන් ජනාධිපතිවරයාගේ මුහුණටම උත්තර දීමට පියවර ගත්තේය. එහිදී ඉතා සංයමයෙන් යුතුව රාජ්‍යතාන්ත්‍රික ආකාරයට සජිත් ජනාධිපතිවරයාගේ චෝදනාවලට පිළිතුරු ලබාදීම විශේෂ සිදුවීමක් විය.
එකින් එකට උත්තර!
ඒ අනුව සජිත් පළමුව රාජපක්ෂවරුන් සම්බන්ධ නඩු තීන්දුව සඳහන් කිරීමේදී නිහතමානීව තමන් අතින් වූ වැරැද්ද පිළිගැනීමට පියවර ගත්තේය. නඩු අංකය සඳහන් කිරීමේදී අවසන් ඉලක්කම වැරැදි බව කී සජිත් එම නඩු අංකය නිවැරැදිව සඳහන් කිරීමට පියවර ගත්තේ ඒ හරහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා ‘මෝඩ චූන්’ එකක් දුන් බවට සියුම් උපහාසයක්ද එක් කරමිනි. එමෙන්ම සජිත් සිය කතාව ආරම්භ කළේම ජනාධිපතිවරයා කළ කතාවට තමන් දෙන පිළිතුර අවසන් වන තෙක් අසා සිටින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කරමිනි.
රිදෙන්නම දෙයි!
ඒ අනුව සජිත් ජනාධිපතිවරයා කළ චෝදනා එකින් එක ගනිමින් තම පිළිතුරු කතාව සිදුකළේ කිසිවකුටත් ‘හ්ම්’ කියන්නට ඉඩක් නොතබමිනි. වරෙක නිවුණු ස්වරයකිනුත්, තවත් වරෙක තියුණු ස්වරයකිනුත් සජිත් සිය පිළිතුරු කතාව කරද්දී ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කළත්, ‘ජනාධිපතිතුමනි, මම ඔබතුමාට බාධා කළේ නෑ. ඒ නිසා මගේ කතාවට ඔබතුමාත් බාධා කරන්න එපා. පස්සේ උත්තර දෙන්න…’ යනුවෙන් කියමින් ජනාධිපතිවරයා නිහඬ කර තැබීමට සජිත් කටයුතු කළේය. එමෙන්ම අවස්ථා දෙකකදී ජනාධිපතිවරයා සිය පුටුවෙන් නැගිට යෑමට උත්සාහ කළද ඒ අවස්ථා දෙකේදීම ජනාධිපතිවරයා නවත්වාගෙන සිය කතාව සිදුකරගෙන යෑමටද සජිත් පියවර ගෙන තිබිණි.
ෆොටෝ එක මේක!
එහිදී ජනාධිපතිවරයා කී ඡායාරූපය ගැන පැහැදිලි කිරීමටද සජිත් පියවර ගත්තේය. සජිත් කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යවරයා ඡායාරූපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කතා කරද්දී තමන් එම ඡායාරූපයේ මැද සිටින්නේ කවුද කියා විමසූ බව සත්‍ය නමුත් එම ඡායාරූපය ජනාධිපතිවරයා සහ විනිසුරුවරුන් සිටින එකක් නොව වෙනත් ඡායාරූපයක් කියාය. කවුරුන් හෝ ජනාධිපතිවරයාට වැරැදි ඡායාරූපයක් පෙන්වමින් ලණුවක් දී ඇති බව කියා සිටි සජිත්, තමන් කී ඡායාරූපය මැද සිටියේ ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා බවත්, තමන් එම ඡායාරූපය පෙන්වීමට කටයුතු කරන බවත් කියමින් සජිත් ඒ මොහොතේම සිය ජංගම දුරතනයෙන් අදාළ ඡායාරූපය ගෙන විශාල කොට ජනාධිපතිවරයාට පෙන්වීමට පියවර ගත්තේය. එමෙන්ම ජනාධිපතිවරයාගේ දැනගැනීම පිණිස තමන් එම ඡායාරූපය සභාගත කිරීමටද කටයුතු කරන බවද සජිත් කියා සිටියේය.
ක්‍රිකට් ලියුම් දෙන්න!
අනතුරුව සජිත් අවසානයේදී පිළිතුරු දුන්නේ ජනාධිපතිවරයා ක්‍රිකට් සම්බන්ධයෙන් කතා කළ කොටසටය. එහිදී සජිත් කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ෂම්මි සිල්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපි තුනක් යොමුකොට ඇති බවය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ට එම ලිපි ලැබෙන්නට සැලැස්වුවහොත් ඒ ගැන සොයා බලා කටයුතු කළ හැකි යැයි කියාය. එහිදී වහාම පාර්ලිමේන්තු මහලේකම්වරිය දෙසට හැරුණු සජිත් තමන් සභාගත කළ එම ලිපි තුන ජනාධිපතිවරයාට ලැබෙන්නට සලස්වන ලෙසත්, අදාළ ලිපි සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පවුලට අයත් විජය පුවත්පත් සමූහයේ පුවත්පත්වල පළවූ බවත් කියා සිටියේය. (විජය පුවත්පත් සමාගම යනු ජනාධිපතිවරයාගේ මස්සිනා වන රුවන් විජයවර්ධන පවුලට අයත් ආයතනයකි.) කෙසේ වෙතත් මෙම පිළිතුර ලබාදීමත් සමග තවදුරටත් පාර්ලිමේන්තුවේ රැඳී නොසිටි ජනාධිපතිවරයා සිය ආසනයෙන් නැගිට සභා ගැබෙන් පිටව යන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී සජිත්, ‘අනේ ජනාධිපතිතුමා යන්න එපා. මගේ කතාව ඉවර කළේ නෑ, මේ ටිකත් අහලම යන්න..’ යනුවෙන් ඉල්ලීමක් කළද එය නොතකා වහාම සභා ගැබෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
හතරවටෙන්ම පැසසුම්!
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සජිත් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයෙන් පසු සජිත් ඊට පිළිතුරු දුන් ආකාරය, විලාසය සහ රාජ්‍යතාන්ත්‍රිකභාවය ඒ මොහොත වන විට සභාවේ සිටි සියලු දෙනාගේ සිත් ඇදගන්නා සුලු එකක් බවට පත්ව තිබිණි. ජනාධිපතිවරයාගේ චෝදනාවලට සජිත් උත්තර දෙන ආකාරය ඒ මොහොතේ සභාවෙන් පිටත සිටි වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ට පවා රූපවාහිනියෙන් දැකගන්නට ලැබිණි. ඒ නිසා ඔවුන්ද කළේ වහ වහා සභාවට පැමිණ ජනාධිපතිවරයාට සජිත් පිළිතුරු දෙන ආකාරය දෙස ඇස් පිල්ලම් නොගසා බලා සිටීමය. එහිදී බොහෝ දෙනා කියා සිටි පොදු කාරණයක් වූයේ ‘සජිත්, ජනාධිපතිට නියමෙට ෆේස් කළා’ යැයි කියාය. සජිත්ගේ එම ප්‍රතිචාරය සභාවේ සිටි පිරිසට කොච්චර හිතට වැදුණාද කියනවා නම් කතාව අවසන් වූ වහා සියලු දෙනාම පැමිණ සජිත්ව වටකරගෙන ‘ගුඩ් ස්පීච්’ යැයි කියමින් සුබ පැතූ ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී පළමුවෙන්ම සුබ පැතුම් එක් කළේ හර්ෂ ද සිල්වාය. එහිදී හර්ෂ කියා සිටියේ ‘මේක මම දැක්ක ඔබතුමාගේ හොඳම කතාවක්’ යැයි කියාය. හර්ෂට අමතරව දෙමළ සන්ධානය නියෝජනය කරන එම්.ඒ. සුමන්තිරන්, දෙමළ කොංග්‍රසය නියෝජනය කරන ගජන් පොන්නම්බලම් සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද සජිත් ළඟට පැමිණ සුබ පැතුම් එක් කිරීමට කටයුතු කළහ. එමෙන්ම එදින සජීවීව සහ පුවත් විකාශයන්වලදී සජිත්ගේ කතාව දුටු බොහෝ දෙනා දුරකතනය ඔස්සේ සජිත්ට කතා කරමින් සුබ පැතීම නිසා එදින රාත්‍රිය වන තෙක්ම සජිත්ගේ දුරකතනයට කිසිදු ඉස්පාසුවක් ලැබී තිබුණේ නැත.
හදිසි රැස්වීමක්!
බදාදා දිනයේදී මේ ආකාරයට පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා යටපත් කරමින් සජිත් ඉස්මතු වීමත් සමග බොහෝ දෙනා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට පෙන්වා දී තිබුණේ කෙසේ හෝ සජිත්ට පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රහාරයක් එල්ල කළ යුතු යැයි කියාය. ඒ අනුව බ්‍රහස්පතින්දා දිනයේදීද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියේ ඒ අදහස සිතේ තබාගෙන විය යුතුය.
කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා දිනයේදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පෙරවරු 11ට හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබීමය. මෙම හදිසි පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරන බවට දැනුම් දී තිබුණේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සකස් කළ යුතු අලුත් නීතිරීති පිළිබඳ සාකච්ඡා කිරීමත්, මෙරට විනිසුරුවරුන් ජාත්‍යන්තර ආයතනවල සේවය සඳහා පිටත්ව යද්දී ඔවුන්ට ලබාදී ඇති දීමනා සම්බන්ධයෙන් වූ අණපනත් සකස් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමත්ය. ඒ අනුව බ්‍රහස්පතින්දා පෙරවරුවේ සභා ගැබේ සිටි විපක්ෂ නායකවරයා මෙම හදිසි පක්ෂ නායක රැස්වීම සඳහා සහභාගි වීමට පෙ.ව. 11ට පමණ සභා ගැබෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ජනාධිපතිවරයා සභාගැබට ඇතුළු වූයේ සජිත් මේ ආකාරයට සභාගැබෙන් පිටව ගොස් හරියටම විනාඩි කිහිපයක් ගතවූවාට පසුවය. එසේ සජිත් ගිය පසු සභාගැබට පැමිණි ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව මගින් පොලිස්පතිවරයාගේ සේවා දිගුව අනුමත නොකිරීම හා අධිකරණ විනිසුරුවරුන්ගේ පත්කිරීම් අනුමත නොකිරීම ඉලක්ක කොට ගෙන දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පටන් ගත්තේය.
සජිත්ට කෝල් එකක්!
සජිත් සභාවේ නොමැති අවස්ථාවේදී මේ ආකාරයට ජනාධිපතිවරයා විපක්ෂයටත්, ව්‍යවස්ථාදායක සභාවටත් පහර එල්ල කිරීමට පටන්ගැනීමත් සමග සභාවේ සිටි චන්දිම වීරක්කොඩි මහතා වහාම සජිත්ට දුරකතන ඇමතුමක් දී මේ බව දැනුම් දීමට පියවර ගත්තේය. ඒ අනුව සජිත් වහාම පක්ෂ නායක රැස්වීමේ සෙසු නියෝජිතයන්ට මේ බව දැනුම් දෙමින් ජනාධිපතිවරයා සභාවට පැමිණ විපක්ෂයටත්, ව්‍යවස්ථාදායක සභාවටත් චෝදනා එල්ල කරන බව දැනුම් දී පක්ෂ නායක රැස්වීමෙන් පිටව යාමට කටයුතු කළේය. සජිත් සමග සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද ඒ සමග පක්ෂ නායක රැස්වීම නවත්වා සභාගැබට ඒවට පියවර ගත්හ. එසේ පැමිණි සජිත් වහාම ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ තමන් පක්ෂ නායක රැස්වීමේ සිටියදී සභාව තුළ ජනාධිපතිවරයා යම් යම් කරුණු කිහිපයක් ප්‍රකාශ කොට ඇති බව වාර්තා වූ බවත්, දැන් එම ප්රශ්නය ඉදිරිපත් කරන ලෙසත්ය.
වාදය ඉංග්‍රීසියෙන්!
බදාදා දිනයේදී සිංහල බසින් කතාකොට සජිත්ගේ පිළිතුරු දීම හමුවේ සිදුවූ අපහසුතාව නිසාදෝ ජනාධිපතිවරයා එදින කතාව ආරම්භ කළේ ඉංග්‍රීසි බසිනි. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ සුළු පක්ෂ නියෝජනය පිළිබඳ ගැටලුව නිසා සාමාජිකයකුගේ පුරප්පාඩුවක් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ හේතුවෙන් පොලිස්පතිවරයා හෝ අධිකරණ විනිසුරුවරුන් පත්කිරීමට නොහැකිව බරපතළ තත්ත්වයක් මතු ඇති බව පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයාගේ චෝදනාවට ඒ මොහොතේම ඉංග්‍රීසි භාෂාවෙන්ම පිළිතුරු සපයමින් සජිත් කියා සිටියේ සුළු පක්ෂ නියෝජිතයා සම්බන්ධයෙන් නම් දෙකක් ඉදිරිපත්ව ඇති බවත්, ඉන් එකක් තෝරාගැනීම කතානායකවරයා සම්බන්ධ කාරණාවක් බවත්ය. එම නිසා එම ප්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ කතානායකවරයා බවද සජිත් ඉංග්‍රීසි භාෂාවෙන්ම කියා සිටියේය. එමෙන්ම එම වාදය බොහෝ වේලාවක් ඇදී ගිය ආකාරයක්ද දැකගත හැකි විය.
මහින්දත් මැදිහත් වෙයි!
මෙහිදී දැකගත හැකිවූ විශේෂම සිදුවීම වූයේ සජිත් ජනාධිපතිවරයාට ඉංග්‍රීසි බසින්ම පිළිතුරු දෙද්දී පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු කෑකෝ ගසමින් සජිත්ට බාධා කිරීමට පටන් ගැනීමය. එහිදී සජිත් ජනාධිපතිවරයාට කියා සිටියේ වහාම ඔබතුමාගේ ගෝලයන් නිශ්ශබ්ද කිරීමට කටයුතු කරන ලෙසත්, මෙය මැදමුලන සම්ප්රදාය හෝ මැදමුලන සංස්කෘතිය නොවන බවත්ය. මෙහිදී මැදමුලන සම්බන්ධයෙන් සජිත් කියනවාත් සමග ඒ වෙලාවේ සභාවේ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම වාදයට සම්බන්ධ වූ ආකාරයක් දැකගත හැකි විය. මහින්ද එහිදී සජිත්ට පිළිතුරු දීමට උත්සාහ දැරීමත් සමග සජිත් කියා සිටියේ, ‘නෑ නෑ.. ඔබතුමා කලබල වෙන්නෙ නැතුව ඉන්නකෝ. මැද්දට පනින්න එපා. අපි මේක විසඳගන්නම්….’ යැයි කියාය.
ඒ අනුව පළමු දවසේ සිංහලෙන් සජිත් සමග වාදයට ගොස් පසුබෑ ජනාධිපතිවරයා දෙවැනි දවසේ සජිත් සමග ඉංග්‍රීසියෙන්ද වාදයට ගොස් පසුබෑ බව එහි සිටි බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ කාරණයක් විය.
කතාව ඉවර කර පිටවෙයි!
ඉන් අනතුරුව සිකුරාදා දිනයේදීද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම් වන බව කල්තියාම විපක්ෂයට වාර්තා වී තිබිණ. ඒ අනුව සජිත් එදින සවස අවිස්සාවේල්ල කඳුගොඩ පාසලට සුහුරු පන්ති කාමරයක් ලබා දීම යොදාගෙන තිබුණද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ කතා කරන බව වාර්තා වීමත් සමග සජිත් එම උත්සවය අවලංගු කොට ජනාධිපතිවරයාගේ කතාවට පිළිතුරු දීමට සූදානමින් සිටියේය. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයා අරගලය සමයේ සිදුවූ සිදුවීම් කිහිපයක් පිළිබඳව අදහස් දක්වා කතාව අවසන් කොට එසැණින් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග සභාවෙන් පිටව යාමය. සජිත් එහිදී පිළිතුරු කතාව ඇසීමට සභාවේ සිටින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළද ඒ කිසිවක් නොඅසා ජනාධිපතිවරයා සභාගැබෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. ඉන් අනතුරුව සජිත් සිය කතාව ආරම්භ කළද ඊට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව ඉතා උණුසුම් වූ ආකාරයක්ද දැකගත හැකිවිය.
මහින්දගේ කේක් කැපිල්ල!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වැනි උපන්දිනය යෙදී තිබුණේ පසුගිය 18 වැනිදාටය. මෙවර හිටපු ජනාධිපතිවරයාට උපන් දිනය සැමරීමට සිදුව තිබුණේ රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජපක්ෂවරුන් ඇතුළු කිහිප දෙනකුට එරෙහිව ලබාදී තිබූ නඩු තීන්දුවක් සමග වීම විශේෂය. මහින්දගේ උපන් දිනය දවසේ ජනාධිපතිවරයා සිටියේ මාලදිවයින් ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට සහභාගි වී යළි ලංකාවට පැමිණෙමිනි. ඒ අනුව මහින්දගේ උපන්දිනය වෙනුවෙන් සිය නිවසේ කෙටි සාදයක් සූදානම් කළ නාමල් ඊට සහභාගි වන ලෙස ජනාධිපතිවරයාටද ආරාධනා කොට තිබිණි. එම ආරාධනාවට අනුව ලංකාවට පැමිණි වහා ජනාධිපතිවරයා කළේ වජිර අබේවර්ධන සමග කෙළින්ම මලලසේකර මාවතේ පිහිටි නාමල්ගේ නිවෙසට පැමිණීමය. නාමල් මේ වන විට ජීවත් වන්නේ මලලසේකර මාවතේ පිහිටි මෙම ආණ්ඩුවේ නිල නිවෙසේ වන අතර, මහින්ද වාසය කරන්නේ ඊට තරමක් එපිටින් පිහිටි විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසේය.
ගෝඨාටත් ආරාධනා!
පසුගිය කාලසීමාවේදී රාජපක්ෂ පවුලේ පැවැති උත්සවවලදී සියලු රාජපක්ෂවරු එක තැනකට එක්වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. විශේෂයෙන්ම විජේරාම මාවතේ මහින්දගේ නිවෙසේ පැවැති යම් යම් උත්සවවලට ආරාධනා කළද සියලු දෙනාම එක් වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. කොටින්ම කියනවා නම් හිටපු ජනාධිපති ගෝඨාභයට මහින්දගේ නිවෙසේ පැවැති උත්සවවලට ආරාධනා නොලැබුණු තරම්ය. ඒ අනුව නාමල් තීරණය කළේ මහින්දගේ මෙවර උපන්දින සාදය මලලසේකර මාවතේ පිහිටි සිය නිල නිවෙසේ පැවැත්වීමටය. ඊට පැමිණෙන ලෙසට මහින්දටත්, ශිරන්තිටත්, රෝහිත රාජපක්ෂටත් ආරාධනා කළ නාමල්, ගෝඨාටද ඊට සහභාගි වන ලෙස දැනුම් දී සිටියේය. නමුත් ගෝඨාට නාමල් ආරාධනා කර තිබූ බවක් එම නිවෙසට පැමිණෙන තෙක්ම මහින්ද හෝ ශිරන්ති හෝ රෝහිත දැන සිටියේ නැත.
ප්‍රතිචාර ගලයි!
ඒ අනුව ජනාධිපතිවරයා පැමිණි වහා සියලු දෙනා එක්ව මහින්දට උපන් දින කේක් ගෙඩිය කපන ලෙස ආරාධනා කළහ. එම ආරාධනාවට අනුව මහින්ද උපන් දින කේක් ගෙඩිය කපද්දී ජනාධිපතිවරයාත් ගෝඨාත් ශිරන්ති ඇතුළු සියලු දෙනාම ‘හැපි බර්ත් ඩේ ටු යූ’ කියමින් මහින්දට උපන්දින සුබ පැතුම් එක් කිරීමට කටයුතු කළහ. එම වීඩියෝව එහි සිටි කිසිවකු විසින් සමාජ මාධ්‍ය ජාලවලට එක්කර තිබුණු නිසා පසුගිය සතියේ ඊට විශාල වශයෙන් ප්‍රතිචාර ලැබී තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
නාමල් ඩබල් ඇක්ටින්?
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ නාමල් විසින් මේ දිනවල ජනාධිපතිවරයාත්, ජනාධිපතිවරයාගේ අයවැයත් දැඩිව විවේචනය කරමින් සිටියදී මහින්දගේ උපන්දින සාදයට සහභාගි වන ලෙසට ජනාධිපතිවරයාටද ආරාධනා කර සිටීමය. මහින්ද මෙවර අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළද, නාමල් එම අවස්ථාවට සහභාගි නොවී සිටීමද විශේෂ සිදුවීමක් විය.
ව්‍යවස්ථාදායක සභාවේ ප්රශ්නය!
මේ වන විට ව්‍යවස්ථාදායක සභාව හා ජනාධිපතිවරයා අතර මතගැටුමක් මතුව ඇති ආකාරයක් ප්‍රසිද්ධියේ දැකගන්නට තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා අතර ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සංවාදයක්ද සිදුවන ආකාරයද සියලු දෙනාටම දැකගන්නට ලැබිණි. ඊට මුල් වී තිබුණේ ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා ලෙස නැවත වතාවක් සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නම එවනු ලැබූ අවස්ථාවේදී ව්‍යවස්ථාදායක සභාව විසින් එය ප්‍රතික්ෂේප කිරීමය. පළමු වතාවේදී ජනාධිපතිවරයා වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබාදෙමින් ව්‍යවස්ථාදායක සභාවට එම නම එවූ අවස්ථාවේදී සභාව එය සම්මත කිරීමට පියවර ගෙන තිබිණි. අනතුරුව දෙවැනි වතාවටත් සති දෙකක සේවා දිගුවක් ලබාදෙමින් සී.ඩී.ගේ නමම ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට එවීමට පියවර ගත්තේය. එහිදී ව්‍යවස්ථාදායක සභාව එම නම සම්මත කළද, ජනාධිපතිවරයාට දැනුම් දී සිටියේ නැවත වතාවක් එම නම නොඑවන්නේ නම් හොඳයි යැයි කියාය. නමුත් තුන්වැනි වතාවේදීද ජනාධිපතිවරයා සී.ඩී.ගේ නම ව්‍යස්ථාදායක සභාවට එවීමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීමට එම සභාව පියවර ගෙන තිබිණි. ජනාධිපතිවරයා එය නොතකා පොලිස්පතිවරයා ලෙස සී.ඩී.ව පත්කිරීමටද පියවර ගෙන තිබිණි.
පස්දෙනාගේ තොරතුරු ඉල්ලයි!
කෙසේ වෙතත් ඉන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින පොලිස් නිලධාරීන් පස්දෙනාගේ තොරතුරු තමන්ට දැනුම් දෙන ලෙස ඉල්ලා ලිපියක් යැවීමට පියවර ගෙන තිබිණි. මෙය වාර්තා වීමත් සමග ජනාධිපතිවරයා ඊට දැඩි ප්‍රතිචාර දක්වමින් ලිඛිතව කතානායකවරයා වෙත යොමුකර තිබූ ලිපියක දැක්වුණේ එය ව්‍යස්ථාදායක සභාවේ සීමාව ඉක්මවා යෑමක් යැයි කියාය. තමන් විසින් වෙනත් නමක් පොලිස්පති ධුරය සඳහා නම්කර නොමැති අවස්ථාවක මෙසේ ව්‍යස්ථාදායක සභාව කටයුතු කිරීම බලය ඉක්මවා යෑමක් ලෙසද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබිණි. නමුත් ඊට ව්‍යස්ථාදායක සභාවේ ප්‍රතිචාරය වූයේ ජනාධිපතිවරයා විසින් අලුත් නමක් හෝ නම් කිහිපයක් පොලිස්පති ධුරය සඳහා ඉදිරිපත් කළහොත් තීරණයක් ගැනීම පහසු වීම සඳහා මෙසේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින පොලිස් නිලධාරීන් පස්දෙනාගේ තොරතුරු මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ යැයි කියාය. මේ ආකාරයට පසුගිය කාලය පුරාම ජනාධිපතිවරයා සහ ව්‍යස්ථාදායක සභාව අතර මෝදුවෙමින් පැවැති මතගැටුම මේ වන විට එය පුපුරා ගොස් ඇත්තේ පොලිස්පතිවරයා සහ අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එවා ඇති නම් සඳහා ව්‍යස්ථාදායක සභාව අනුමැතිය නොදීමත් සමගය.
තවත් රැස්වීමක්!
පසුගිය සතියේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වුණේ ජනාධිපතිවරයා එවා තිබූ නම් කිහිපයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහාය. සාමාන්‍යයෙන් පවතින නීතිරීතිවලට අනුව ව්‍යස්ථාදායක සභාව තුළ යම් නමක් සම්මත වීමට හෝ ප්‍රතික්ෂේප වීමට නම් එහි සාමාජිකයන්ගෙන් පස් දෙනකු එය අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකළ යුතුය. ඒ, ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයන් නවදෙනකු සිටීම නිසාය. ඒ අනුව යම් යෝජනාවකට 4-4 වශයෙන් සමාන ඡන්ද සංඛ්‍යාවක් ලැබුණහොත් තීරක ඡන්දය භාවිත කිරීමේ අයිතිය කතානායකවරයා සතුය. ඒ අනුව අවසන් වතාවට එවූ පොලිස්පතිවරයාගේ නාම යෝජනාව බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණි. මීට අමතරව දැනට අභියාචනාධිකරණයේ සිටින සභාපති විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමටත්, අභියාචනාධිකරණයේ සිටින වෙනත් විනිසුරුවරයකු අභියාචනාධිකරණයේ සභාපති ලෙස පත්කිරීමටත් අදාළ නාමයෝජනා ජනාධිපතිවරයා විසින් ව්‍යස්ථාදායක සභාවට එවා තිබිණි. එම නම් සම්බන්ධයෙන්ද පසුගිය සතියේ පැවැති ව්‍යස්ථාදායක සභාවේ යම් බෙදීමක් සිදුවිය.
රහස් ඡන්දයක්!
මෙහිදී යම් අර්බුදකාරී වාතාවරණයක් පැනනැගුණේ ඊට පෙර දින සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළකර තිබූ ලිපියකින් ව්‍යස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයන් තිදෙනා හට බරපතළ ප්‍රහාරයක් එල්ල කොට තිබීම හේතුකොට ගෙනය. එම නිසා ව්‍යස්ථාදායක සභාවට ඒමට පෙර මෙම සිවිල් නියෝජිතයන් තිදෙනා මේ සම්බන්ධයෙන් රැස්ව සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබූ බවක් ආරංචිය. කෙසේ වෙතත් ව්‍යස්ථාදායක සභාවේදී ජනාධිපතිවරයාගේ මෙම නාමයෝජනාවලට බෙදීමක් ඉල්ලා සිටීම හේතුවෙන් සිවිල් නියෝජිතයන් තිදෙනා කියා සිටියේ එසේ නම් ඊට රහස් ඡන්දයක් පැවැත්වීම අවශ්‍යයි කියාය. විපක්ෂය වෙනුවෙන් ඊට සහභාගි වී සිටි සජිත් ප්‍රේමදාස මහතාත්, කබීර් හෂීම් මහතාත් ඊට සහාය දෙමින් අදහස් පළකිරීම නිසා අවසානයේදී තීන්දු වූයේ රහස් ඡන්දයක් පැවැත්වීමටය. කෙසේ වෙතත් සජබය ඉදිරිපත් කොට ඇති නඩු කිහිපයක්ම අභියාචනාධිකරණය හමුවේ පැවැත්වෙන හෙයින් තමන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව විපක්ෂ නායකවරයාත්, කබීරුත් සඳහන් කර සිටියහ. ඒ අනුව අවසානයේදී රහස් ඡන්ද විමසීමේ ප්‍රතිඵලය වී තිබුණේ 3-3කි.
බෙදීම 3-3යි!
ඒ අනුව අප පෙර කී ආකාරයට යෝජනාවක් සම්මත වීමට නම් එය 5-4ක් වශයෙන් විය යුතු වුවත්, මේ අවස්ථාවේදී 3-3ක් ලෙස ඡන්ද ප්‍රතිඵලය ලැබීම නිසා එය සැලකෙන්නේ සම්මත වී හෝ ප්‍රතික්ෂේප වී හෝ නොමැති තත්ත්වයක් ලෙසටය. නොඑසේ නම් එහෙටත් නැති මෙහෙටත් නැති ප්‍රතිපලයක් ලෙසටය. මන්ද යෝජනාවක් සම්මත වීමට හෝ ප්‍රතික්ෂේප වීමට නම් අනිවාර්යයෙන්ම ඡන්ද 5ක් ලැබිය යුතු බවට සඳහන්ව තිබීම නිසාය.
මතුව ඇති මේ අලුත්ම තත්ත්වය යටතේ බොහෝ දෙනා කියා සිටින්නේ මෙම නාමයෝජනා සම්මත වීමට නම් ජනාධිපතිවරයා විසින් අලුත් නමක් ව්‍යස්ථාදායක සභාවට එවිය යුතු යැයි කියාය. එසේ නොමැති නම් මේ පවතින තත්ත්වය ඒ ආකාරයටම ඉදිරියට යා යුතු බව ඔවුන්ගේ අදහසය. මේ සම්බන්ධයෙන් අප ව්‍යවස්ථා විශාරදයන් කිහිප දෙනකුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන්ද ප්‍රකාශ කළේ මේ වන විට දෙපැත්තටම නැති තත්ත්වයක් උදාවී ඇතැයි කියාය.
පවර්ගේ පවර් එක!
පසුගිය සතියේ ජනාධිපතිවරයා හදිසියේම මාලදිවයින බලා පිටත්ව ගියේ එරට ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහාය. එහිදී ජනාධිපතිවරයාට විශේෂ අමුත්තකුද මුණගැසිණි. ඒ, වෙන කවුරුවත් නොව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂවරිය වන සමන්තා පවර්ය. පවර් හා ජනාධිපතිවරයා අතර අතීතයේ සිටම පැවැතුණේ ඉතා සමීප සම්බන්ධතාවකි. බොහෝ දෙනා කියා සිටියේ රට විශාල වශයෙන් ආර්ථික අර්බුදයක සිරවුණු අවස්ථාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබාගැනීම සඳහා තිරය පිටුපස සිටිමින් සමන්තා පවර් විශාල සහායක් ජනාධිපතිවරයාට ලබාදුන්නා යැයි කියාය. කෙසේ වෙතත් පසුගිය කාලසීමාවේදී ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් එල්ල වූ ප්රජාතන්ත්ර විරෝධී සහ මර්දනකාරී චෝදනා හේතුකොට ගෙන සමන්තාටත්, බටහිර රටවලටත් එල්ල වුණු ප්‍රබල බලපෑම්වලින් කියැවුණේ එවැනි ආණ්ඩුවකට උදව් කිරීමෙන් වැළකී සිටිය යුතු බවකි.
දීපු පණිවුඩය මෙන්න!
ඒ කෙසේ වෙතත් මෙවර මාලදිවයිනේදී ජනාධිපතිවරයා මුණගැසුණු සමන්තා පවර් ප්‍රබල පණිවුඩයක් ජනාධිපතිවරයාට ලබාදී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, ප්රජාතන්ත්ර විරෝධී කටයුතු සිදුකිරීමෙන් වැළකී ජනතා අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙසට වන පණිවුඩයය. සමන්තා එය ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ ආවාට ගියාට නොව ඇයට ඇමෙරිකානු රජයෙන් ලැබුණු පණිවුඩයකට අනුව බව බොහෝ දෙනාගේ විශ්වාසයය.
චීන නැවේ හොල්මන්!
මේ අතර, ලබන ජනවාරියේ ලංකාවට පැමිණීමට නියමිත යැයි කියන තවත් චීන නැවක් මුල් කරගෙන කලාපීය දේශපාලනය තවත් වරක් උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පසුගියදා යුවාන් වැන්ග් 6 නෞකාව ලංකාවට පැමිණි අවස්ථාවේදී අවසන් නිවේදනය නිකුත් කරමින් ඉන්දියාව දැනුම් දී තිබුණේ ඉදිරියේදී චීන නෞකා ලංකා මුහුදු තීරයට පැමිණීම සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගත යුතු යැයි කියාය. නැතහොත් මින් ඉදිරියට තවත් චීන නැව්වලට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර නොදිය යුතු යැයි කියාය. එමෙන්ම යම් හෙයකින් ජනවාරියේදී මෙම චීන නැව ලංකාවට පැමිණියහොත් එය ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා කෙරෙහි අතිශය තීරණාත්මක ලෙස බලපානු ඇතැයි කියාය. එහිදී ඇතැම් විශ්ලේෂකයන් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ එවැනි නැවක් ජනවාරියේ පැමිණියහොත් දෙරට අතර ගැටුමක් ඇතිවීම වැළැක්විය නොහැකි බවකි. ඒ අනුව අලුත් චීන නැව මුල්කරගෙනද මේ වන විට ආණ්ඩුවට මුහුණ දීමට සිදුව ඇත්තේ බරපතළ රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකටය.
තවත් වලියක්!
පසුගිය සඳුදා දිනයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් විපක්ෂ නායකවරයා අතේ තිබූ ලිපිගොනුවක් පැහැරගෙන යෑමට කටයුතු කිරීමත් සමග පාර්ලිමේන්තුව ඇතුළේ මතුවූ ගැටුමට සමාන ගැටුමක් පසුගිය සතියේ පාර්ලිමේන්තු සභාගැබෙන් පිටතදීද සිදුව තිබිණි. ඊට මුල්වී තිබුණේ කෑගල්ල නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරයකු වූ සුදත් මංජුලය. පසුගිය අඟහරුවාදා දිනයේදී සුදත් මංජුල සිය ගම් ප්‍රදේශයේ පාසල් දරුවකුගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම සභානායකවරයා වන සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ කාමරයට ගොස් තිබිණි. ඒ අනුව සුදත් සිය ගමේ දරුවාගේ ප්රශ්නය සුසිල්ට යොමු කරද්දී සුසිල් එය වැඩි ගණනකට නොගෙන තමා කරමින් සිටි රාජකාරියේම නිරතව සිට ඇති බව දැනගන්නට තිබේ. එහිදී දැඩි කෝපයට පත්ව ඇති සුදත් මංජුල වැරෙන් මේසයට පහරදී නැගිට සුසිල්ගේ මූණටම බැණවැදීමට පටන්ගෙන අති බව ආරංචිය. තමන් ඡන්දයෙන් පත්ව පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරයකු බවත්, එසේ වීම නිසා ගමේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතු බවත්, ඇමැතිවරුන් ඊට අවස්ථාව සලසා නොදෙන්නේ නම් ආණ්ඩුවේ සිටීමෙන්ද පලක් නැති බව කියමින් සුදත් මංජුල දැඩි කෝපයට පත්ව කෑගසද්දී සුසිල්ද තුෂ්නිම්භූතව කිසිවක් කරකියාගත නොහැකිව එදෙස බලා සිටි බවක් දැනගන්නට ඇත.
තීන්දුවක් ගන්නවා!
මෙසේ සුසිල්ගේ කාමරයේදී කෑකෝගැසීමෙන් අනතුරුව ඉන් පිටතටද පැමිණ පාර්ලිමේන්තු ලොබියේ සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මේ බව දැනුම් දීමට සුදත් මංජුල කටයුතු කොට තිබිණි. ඒ අවස්ථාව වන විට අගමැතිවරයාද එම ස්ථානයට පැමිණි බැවින් සිදුවීම සම්බන්ධයෙන් ඔහුවද දැනුවත් කිරීමට සුදත් ඇතුළු මන්ත්‍රීවරුන් කටයුතු කොට තිබිණි. මෙහිදී බොහෝ මන්ත්‍රීවරු අගමැතිවරයාට පෙන්වා දී තිබුණේ අධ්‍යාපන අමාත්‍යවරයා මේ ලෙස කටයුතු කරන්නේ නම් ඔහුගේ වැය ශීර්ෂයේ විවාදයට සහභාගි නොවීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තීන්දු කොට ඇතැයි කියාය.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසුව වහාම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සුදත් මංජුල මන්ත්‍රීවරයා කැඳවාගෙන ගොස් පාර්ලිමේන්තුවේ වෛiවරයා හමුවට පැමිණවීමට කටයුතු කොට තිබිණි. එහිදී වෛiවරයා විසින් වහාම සුදත් මංජුල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කොට තිබුණේ මෙම ගැටුම හේතුවෙන් ඔහුගෙ රුධිර පීඩනය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත්, වහාම සන්සුන්ව කටයුතු කරන ලෙසත්ය.
ඩයනාගේ වාර්තාව ඇවිත්!
පාර්ලිමේන්තුවේ සිදුවූ මෙම ගැටුම් දෙකට අමතරව පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුවූ තවත් ගැටුමක් පිළිබඳවද මේ වන විට අවසන් වාර්තාව සකස් වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සජබ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර අතර සිදුවූවා යැයි කියන ගැටුම සම්බන්ධයෙන්ය. මේ වන විට දැනගන්නට ඇති ආරංචිවලින් කියැවෙන්නේ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුව විසින් අදාළ මන්ත්‍රීවරුන් තිදෙනාටම දඬුවම් ලබාදිය යුතු බවට නිර්දේශ කර ඇති බවය. බොහෝ දුරට එම දඬුවමට අනුව අඩුවැඩි වශයෙන් මාස කිහිපයක පාර්ලිමේන්තු තහනමක් පැනවීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
මේ අතර ඩයනා මන්ත්‍රීවරිය විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පැනවූ තවත් නඩුවක තීන්දුවක් පසුගිය සිකුරාදා දිනයේදී ප්‍රකාශයට පත්කරනු ලැබීය. ඩයනා ගමගේ විසින් මෙම නඩුව පවරනු ලැබ තිබුණේ සජබ නායක සජිත්ට සහ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට එම තනතුරුවල රාජකාරි කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින්ය. නමුත් පසුගිය සිකුරාදා දිනයේදී එහි තීන්දුව ලබාදුන් දිසා විනිසුරුවරයා ඩයනාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණි.