වත්මන් තරුණ පරම්පරාවට සෙල්ෆි කියන්නේ උන්මාදයක්. ඔවුන්ට සෙල්ෆි ඡායාරූප ගන්න ගියාම උන්හිටි තැන් පවා අමතක වෙනවා. සෙල්ෆි නිසා අද වනවිට කොයිතරම් නම් ජීවිත අනතුරට පත්වෙලා තියෙනවද? සමහර විට මේ සෙල්ෆියම තමන්ගේ ජීවිතයේ ඉරණම පවා තීරණය කරන තැනට පත්වෙලා ඉවරයි.Sri Lanka Latest News
සෙල්ෆි කියන උන්මාදය තරුණ පරම්පරාව ඩැහැගත්තේ 2022 වර්ෂයේ සිටයි. ඉස්සර මිනිස්සු ඡායාරූප ගත්තේ කැමරාවෙන්. නමුත් අද වනවිට ස්මාර්ට් දුරකතනයක් තියෙන ඕනෙම කෙනෙක්ට මේ සෙල්ෆි ඡායාරූප කියන දේ අමුත්තක් නෙවෙයි. ඒ තරමටම එය තරුණ වැඩිහිටි හැම දෙනා අතරම විලාසිතාවක් බවට පත්වෙලා.
අප රටේ පමණක් මේ සෙල්ෆි නිසා ජීවිත අහිමිවීම් කොපමණ ප්‍රමාණයක් නම් සිදුවෙලා ඇද්ද? සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යෑම නිසා සිදුවෙන්නට ගිය මහා අනතුරක් ගැන කියැවෙන මේ කතාව අපට වාර්තා වුණේ පසුගිය 19 වැනිදායි. එදා කොළඹ සරසවියේ සිසු සිසුවියන් පිරිසක් ලෝකාන්තය නැරඹීමට ගියේ පරිසරයේ සුන්දරත්වය අත්විඳ නැවත පැමිණීමේ අපේක්ෂාවෙන්. එහෙත් සිදුවුණේ අනපේක්ෂිත දෙයක්. කිසිවෙක් බලාපොරොත්තු නොවූ අනතුරකට ඔවුන් අතරින් එක් සිසුවියකට මුහුණ දෙන්නට සිදුවුණා. 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් තමයි සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් මෙම අනතුරට මුහුණ දුන්නේ. අඩි 50ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට මේ සිසුවිය පෙරළී තිබුණා. එසේ වුවත් ඇය නිරුපද්‍රිතව බේරාගැනීමට එම පිරිස පැමිණි වෑන් රථයේ රියැදුරා ක්ෂණිකව ක්‍රියාත්මක වී තිබුණා. එවැනි එඩිතර තරුණයකුට අපේ ගෞරවය පුදකළ යුතුයි. මොකද අද මෙවැනි අනතුරකදී ජීවිතයක් බේරගන්න ඉදිරිපත් වන පිරිස හරිම අඩුයි. තමන්ගේ ජීවිතය ගැනවත් ඔහු හිතුවේ නැහැ. ලෝකාන්තයේ අඩි 50ක් පමණ ගැඹුරු හෙළට ඇදවැටුණු ඒ තරුණියගේ දිවි බේරාදෙන්නට ඔහු යුහුසුලුව ඉදිරිපත් වුණා.
පය ලිස්සා ගිහින් ප්‍රපාතයට වැටුණු ඇය එහි පිහිටි ගසක අත්තක එල්ලී පැයකට අධික කාලයක් සිට දිවි ගලවාගෙන ඇති අතර, අනතුර දුටු මේ රියැදුරු මහතා උපක්‍රමශීලීව කටයුතු කොට බෑවුමෙහි පිහිටා තිබූ ගල් තලාවක් මත අදාළ තරුණියව රඳවා ගැනීමට සමත්ව තිබුණා. පසුව පට්ටිපොළ පොලිසිය, යුද හමුදා නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් ඇතුළු පිරිස් එක්ව පැය කිහිපයක දැඩි පරිශ්‍රමයකින් පසු සිසුවිය නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිව තිබුණා. මේ රියැදුරු මහතා තමන් සිදුකළ ක්‍රියාව විස්තර කරන විට අපට දැනුණේ ඔහු සිදුකර ඇත්තේ කොයි තරම් වටිනා කැපකිරීමක්ද යන්නයි.
‘ගෑනු ළමයි හතර දෙනයි පිරිමි ළමයි පස්දෙනයි ඔක්කොම 9 දෙනෙක් හිටියා. මගේ ෆෝන් නම්බර් එකත් ඒ අය අරන් තමයි ගියේ. 9.45ට විතර මට කෝල් දෙකක් ඇවිත් තිබුණා. මම ආපහු ඒ අංකයට ගත්තාම කතා කළ කෙනෙක් මට කිව්වා අපේ ආව එක්කෙනෙක් ෆොටෝ එකක් ගහන්න යද්දි පහළට වැටුණා කියලා. මම ටක්ගාලා වයිල්ඩ් ලයිෆ් එකට කිව්වා. සංචාරක පොලිසියත් එතැනට ආවා. කඹයක්වත් තිබුණේ නැහැ. වටේ තිබුණා දිග නයිලොන් කඹයක්. රෙස්කියු ටීම් එක එන්න වෙලා යන නිසා අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ වැටුණු ළමයා 9.45 ඉඳන් 10.50 විතර වෙනකල් නන්පේරියල් පැත්තට ඔළුව පහත් වෙලා මාන ගහක් අල්ලගෙන තමයි හිටියේ. ඒ ළමයා වැටුණොත් අඩි 850කට එහා ලොකු ප්‍රපාතයක් ඒක. ඒ ළමයා පැයයි විනාඩි 40ක් විතර අල්ලන් හිටියා. අපි එතැනට ළඟා වෙනකොට ටිකක් වෙලා ගියා. එයා දමිළ ළමයෙක්. එයා කියනවා එයාගේ ශක්තිය හීනවෙලා යනවා අත අල්ලන් ඉන්නේ අමාරුවෙන් කියලා. ඊට පස්සේ මටත් කට්ටියටත් කරගන්න දෙයක් නැහැ. වයිල්ඩ් ලයිෆ් එකයි සංචාරක පොලිසියයි තමයි එතැන හිටියේ. මම එයාලට කිව්වා කඹය ගැටගහගෙන මම පහළට බහින්නම් කියලා. එයාලා කඹේ උඩින් අල්ලා ගත්තා. මම කොහොම හරි පහළට බැහැලා කඹේ අල්ලගෙන ඒ ළමයා ගාවටම පල්ලෙහාට ගියා. හෙමිහිට ඒ ළමයව චුට්ටක් උස්සලා අරගෙන මම ඉණේ බැඳන් හිටපු ලණුවෙ ගැටගහලා චුට්ට චුට්ට උඩට අරන් ආවා. සාමාන්‍යයෙන් ප්‍රපාතය ලිස්සනසුලුයි. තණකොලත් තිබුණා. පැයයි විනාඩි 25ක් විතර ඒ ළමයත් එක්ක ටික ටික කතා කළා. එයා බයවෙලා හිටියේ. එයාව සන්සුන් කරලා මම තියාගෙන හිටියා. ඊට පස්සේ කමාන්ඩෝ එකේ දෙන්නෙක් පහළට ඇවිල්ලා කඹ දාලා ළමයව අරගත්තා. පට්ටිපොළ පොලිසිය එස්.ටී.එෆ්. එක ඒ අයත් ගොඩාක් සහයෝගය දුන්නා. මම හැමෝගෙන්ම ඉල්ලන්නේ ඔයාලා නුවරඑළියට පිට වාහනවල ආවාට කමක් නැහැ. ඒත් පළපුරුදු අය ඉන්න මෙහේ තියෙන වාහනයක් හයර් කරලා ගිහින් ඒ අයට ලෝකාන්තය පෙන්නලා ආරක්ෂිතව එන්න කියලයි….’ යනුවෙන් රියැදුරු මහතා ලෝකාන්තය නරඹන්නට යන සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා.
අද වෙනකොට දකින්නට ලැබෙන විදියට ලෝකේ පුරාම පුද්ගලයන් තමන්ගේ ජීවිතය ගැනවත් තකන්නේ නැතුව අන්‍යයන්ගේ ජීවිතද අවදානමට ලක්කරමින් සෙල්ෆි ඡායාරූප ගැනීම එක්තරා මානසික රෝගී තත්ත්වයක් බවට පත්කරගෙන තියෙනවා. බොහෝ දෙනකු සෙල්ෆි ගැනීමට යාමේදී උන්හිටි තැන් අමතක කරන්නට කටයුතු කිරීම තමන්ගේ ජීවිතයම අනතුරට පත්කර ගැනීමකි. දුම්රිය මාර්ග අසල, පිහිනුම් තටාක අසල මෙන්ම උස් ගොඩනැගිලි මත සිට සෙල්ෆි ගැනීමට ගොස් අප රටේ තරුණ තරුණියන් කීදෙනකු නම් මේ වන විටත් ජීවිතයෙන් සමුගෙන ගිහින් ඇතිද? ඔවුන්ට ඒ වෙලාවට හිතෙන්නේ නැහැ තමන් කවුද, ඉන්නේ කොහේද කියන එක. නමුත් අවසානයේ සිදුවන්නේ දුම්රියක ගැටී හෝ තටාකයකට, ප්‍රපාතයකට ඇදවැටී අකාලයේ මියයෑමට හෝ බරපතළ තුවාල ලැබීමටයි. කොහොම වුණත් වර්තමානයේ සිදුවන මාර්ග අනතුරු බොහොමයක් අපරීක්ෂාකාරී ලෙස සෙල්ෆි ගැනීමට යාම නිසා සිදුවන බවද අපට අසන්නට ලැබෙයි.
තමන්ගේ රූපයට පමණට වඩා ආදරය කිරීම, ඇලුම් කිරීම් මේ ඡායාරූප ගැනීම සඳහා පුද්ගලයෙක්ව යොමු කරනවා. හරියටම කිව්වොත් දිනකට සෙල්ෆි ඡායාරූප තුන හතරකට වඩා ගන්නවා නම් එය යම් මානසික ව්‍යාධියක ලක්ෂණයක් විය හැකි බවයි මනෝ විශ්ලේෂකයන් පවා පෙන්වා දෙන්නේ. මෙවැනි අනතුරුදායක තත්ත්වයක් තිබියදී අවදානම් සහිත තැන්වල සිට සෙල්ෆි ඡායාරූප ගැනීමෙන් වැළකීමට සියලු දෙනා සිහිතබා ගන්නවා නම් එය මෙවැනි කනගාටුදායක පුවත් තව දුරටත් අසන්නට නොලැබීම පිණිස හේතු වනු ඇත.

නිලන්ති රේණුකා










