• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

වටකරලා ගහද්දීත් හරිනි කට නොඅරී! දීපු ගණන්හිලව් ගැන ආයෝජන මණ්ඩලය කටඅරී! මිලින්දට-කංචනට කවපු ලණුවම රනිල් ඩඩ්ලිටත් කවයි! විශ්වාසභංගය කොටඋඩ! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

August 17, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 18 mins read
A A
Share on WhatsAppShare on Facebook

ගැටුම යළි කරළියට

පසුගිය බදාදා (08) අගමැති හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පොහොට්ටුවේ ඩී.වී. චානක විසින් අසා තිබූ රෝහිත රාජපක්ෂගේ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අසා තිබූ ප්‍රශ්නයට ලබාදුන් පිළිතුරෙන් ආණ්ඩුව ඇතුළේ වරින්වර උඩ යට යමින් පැවැති ජවිපෙ-මාලිමා අර්බුදය තවත් ආකාරයකින් එළියට පැන්න ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, පැය 24ක් යෑමට මත්තෙන් අගමැතිවරිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංඛ්‍යා දත්ත වැරැදි බව සඳහන් කරමින් ආණ්ඩුවේම කැබිනට් අමාත්‍යවරයකු වූ වසන්ත සමරසිංහ කළ කතාවත් සමගය. ඒ සමගම පසුගිය සතිය පුරාම සෑම දේශපාලන මාධ්‍ය හමුවකදීම ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ අගමැතිවරියගේ සහ වසන්තගේ එකිනෙකට පරස්පර කතා දෙකය. එහිදී බොහෝ දෙනා පෙන්වා දුන්නේ මෙය ප්‍රසිද්ධියේම හිතාමතා අගමැතිවරියට කළ අපහාසයක් ලෙසය. ආණ්ඩුව ඇතුළේ සාමූහික වගකීම බිඳීගිය අවස්ථාවක් ලෙසය. හරි නම් කළ යුතුව තිබුණේ අගමැතිවරිය වැරැදි නම් එය අමාත්‍යවරයකු ලවා ප්‍රසිද්ධියේම කියනවා වෙනුවට අගමැතිවරියම ඊට පසු දින ඒ සම්බන්ධයෙන් නිවැරැදි කිරීමක් කිරීම බව බොහෝ දෙනාගේ ස්ථාවරය වී තිබිණි. මෙය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය බිඳදැමීමක් බවත්, ඒ නිසා වහාම පාර්ලිමේන්තුවට අසත්‍ය කරුණු හෙළිකළ තැනැත්තා අදාළ තනතුරෙන් ඉවත් විය යුතු බවත් ඇතැමුන් පෙන්වා දී තිබිණ.Sri Lanka Latest News

ආණ්ඩුව ඇතුළේ පැවැති මෙම සංවාදය එතැනින් නැවතුණේ නැත. කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්සත් වසන්තගේම ස්ථාවරය ගනිමින් අගමැතිවරිය ඉදිරිපත් කළ දත්ත නිවැරැදි නොවන බව පෙන්වා දෙමින් කියා සිටියේ ඔළුවක් තියෙන ඕනෑම අයෙකුට මෙම සරල කාරණය තේරෙනවා යැයි කියාය. මේ ආකාරයට විවිධ මතිමතාන්තර, කතාබස්, විවාද මැද්දේ ඒ සම්බන්ධයෙන් වූ හොඳම දේශපාලන කතාව කීවේ වෙන කවුරුවත් නොව පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ නාමල් රාජපක්ෂය. නාමල් කියා සිටියේ දැන් චිචීගේ රොකට්ටුව පැලවත්තට කඩන් වැටිලා යැයි කියාය.
කෙසේ වෙතත් හරිනිගේ කතාවෙන් ආණ්ඩුව ඇතුළේ මතුවූ අර්බුදය අකාමකා දැමීම සඳහා ඉන් පසු විවිධ ආකාරයේ පුවත් නිෂ්පාදන වන ආකාරයක් දැකගන්නට ලැබිණි. එවැනි එක් පුවතක කියැවුණේ අගමැතිවරියට අදාළ තොරතුරු ලබාදුන්නේ ආයෝජන මණ්ඩලයෙන් බවත්, වැරැද්ද සිදුවී ඇත්තේ එතැනින් බවත්, එම නිසා එම වැරැදි තොරතුරු ලබාදුන් නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය. ඔවුන්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවද එසේ නිෂ්පාදනය වූ පුවත්වලින් වැඩිදුරටත් කියැවිණි.

අමුතු ෆොටෝ එක

කෙසේ වෙතත් ආණ්ඩුව ඇතුළේ පැවැති මෙම අර්බුදය කෙතරම් දරුණුවට සමාජය ඇතුළට ගියාද කියනවා නම් එය සමනය කරගැනීම සඳහා මාලිමා ආණ්ඩුව ඇතුළේ කවදාවත් සිදු නොවුණු දෙයක් සිදුකිරීමටද ආණ්ඩුවේ ප්‍රධානීන්ට සිදුවිය. ඒ, අගමැතිවරිය සිය ප්‍රකාශය සිදුකොට දින 5කට පසු, එනම් පසුගිය සඳුදා (11) පැවැති කැබිනට් රැස්වීම අවසන් වීමෙන් පසු ආණ්ඩුවේ ප්‍රධානීන් සියලු දෙනාම එකට සිනාමුසුව විහිළුතහලු කරගනිමින් සිටින ඡායාරූපයක් හදිසියේම එළියට පැමිණීමය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එළියට ආ මෙම ඡායාරූපයේ දැක්වුණේ ජනාධිපතිවරයාත්, අගමැතිවරියත්, බිමල්, ලාල්කාන්ත, විජිත, හර්ෂණ නානායක්කාර, අනුර කරුණාතිලක යන කැබිනට් ඇමැතිවරුන් සිනාසෙමින් එකට සිටින්නකි. ඔවුන් සිනාසුණේ ලාල්කාන්ත විසින් සිය ජංගම දුරකතනයේ තිබූ කිසිවක් ජනාධිපතිවරයාට පෙන්වමින් කියන කතාවකටය.

ෆොටෝවල ඉතිහාසය

මෙම ඡායාරූපය පළමුව මාලිමාවට හිතවත් සමාජ මාධ්‍යයට නිකුත් කෙරුණු අතර, පසුව එය බොහෝ සමාජ මාධ්‍ය ජාල හරහා වයිරල් වන ආකාරයක් දැකගන්නට ලැබිණි. එයින් ආණ්ඩුව පැත්තෙන් පෙන්වන්නට වූයේ එළියේ කතාවන කිසිදු අර්බුදයක් ඇතුළේ නොමැති බවය. නමුත් බදාදා අගමැතිවරියගේ ප්‍රකාශයෙන් පසු සඳුදා දින මෙම ඡායාරූපය එළියට ආ දින පහ ඇතුළතම මෙම මාතෘකාව සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ විශාල අර්බුදයක් සහ සාකච්ඡාවක් මතුව තිබූ බවක් එම ඡායාරූපය නිකුත් කිරීමෙන් හොඳටම පැහැදිලිය.

ඒ අනුව අප මෙවැනි ඡායාරූප පසුපස ඇති කතාවන්ද සොයාබැලීමට කටයුතු කළෙමු. මන්ද මෙවැනි ආකාරයේ විරළ ඡායාරූපයන් සාමාන්‍යයෙන් මාධ්‍යයට නිකුත් වන්නේ ආණ්ඩුව ඇතුළේ අර්බුදයන් පැවැති කාලයන්වලදීමය. නොඑසේ නම් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර අර්බුදයන් මතුවූ විට හෝ ජනාධිපතිවරයා හා කැබිනට් ඇමැතිවරුන් අතර අර්බුද මතුවූ විට ඔවුනොවුන් එකට සිටින ආකාරයේ මෙවැනි ඡායාරූප නිකුත් කොට එවැන්නක් නොමැති බව එළියට පෙන්වීම අතීතයේ සිටම සිදුවී තිබෙන්නකි. උදාහරණයක් ලෙස ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින සමයේදී කැබිනට්ටුවේ සිටි ප්‍රේමදාස සහ ගාමිණී දිසානායක අතර ලොකු මතගැටුමක් මතුව තිබිණි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය යම් යම් තොරතුරු වාර්තා කරද්දී එවැනි ගැටුමක් නොමැති බව පෙන්වීමට ජේ.ආර්. කළේ වික්ටෝරියා වේල්ල විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රේමදාස සහ ගාමිණී යන දෙදෙනාම රැගෙන ගොස් ඔවුන් තිදෙනා එකට සිනාසෙමින් සිටි ඡායාරූප මාධ්‍යයේ පළකිරීමය. ඒ හරහා එවැනි මතගැටුමක් ආණ්ඩුව ඇතුළේ නොමැති බව පෙන්වීමට ජේ.ආර්. අත්සාහ දරා තිබුණත් ඇත්ත වශයෙන්ම ආණ්ඩුව ඇතුළේ ප්‍රේමදාස-ගාමිණී ගැටුම මතුවෙමින් තිබිණ.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමෙන් පසු ආණ්ඩුව ඇතුළේ කිසියම් අර්බුදයක් හටගත්තද එවැන්නක් නොමැති බව රටට පෙන්වීම සඳහා ඒ කාලයේදී ප්‍රේමදාස සමග සියලු මැති ඇමැතිවරුන් එකට සිටින ඡායාරූප මාධ්‍යයේ පළවිය. ඒ හරහා රටට දුන් පණිවුඩය වූයේ ඔවුන් අතරේ කිසිදු ගැටුමක් නොමැති බවය.

2001 චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේදී රනිල් අගමැති වශයෙන් පත්වූ පසු වරක් අගමැති රනිල් ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටියදී චන්ද්‍රිකා එජාප නියෝජ්‍ය නායකවරයා වූ කරු ජයසූරිය කැඳවා ඔහුට අගමැති ධුරය ලබාදී ආණ්ඩුව වැට්ටවීමට සැලසුම් කළාය. ඒ හරහා එජාපය ඇතුළේ බරපතළ අර්බුදයක් මතුව ඇති බව රටට පෙන්වීමට චන්ද්‍රිකා පියවර ගත්තාය. නමුත් රනිල් ලංකාවට පැමිණීමෙන් පසු කරු සමග එකට සිටින ඡායාරූප මාධ්‍යවල පළකොට සියලු දෙනා තමන් වටා පෙළගැසී සිටින ආකාරය රටට පෙන්වීමට කටයුතු කළේය.

ඉන් අනතුරුව 2015 යහපාලන ආණ්ඩු සමයේදී ජනාධිපති මෛත්‍රී හා අගමැති රනිල් අතර ද විවිධ මතගැටුම්, අර්බුද මතුවිය. එහිදී මාධ්‍ය මේවා වාර්තා කරද්දී වරින් වර රනිල් සහ මෛත්‍රී එකට සිටින ඡායාරූප මාධ්‍යයට නිකුත් කරමින් එවැනි අර්බුදයක් නැති බව පෙන්වීමට කටයුතු කර තිබිණි.

නමුත් මේ සියලු ඡායාරූපවල පසුපස කතාව නම් ඇත්ත වශයෙන්ම එවැනි මතගැටුම් ආණ්ඩුව ඇතුළේ පැවැති බව සහ ඒවා යටපත් කිරීමට මේ ආකාරයේ ඡායාරූප එළියට දැමූ බවය. හරිනිගේ ආන්දෝලනාත්මක පාර්ලිමේන්තු කතාවෙන් දින 5කට පසු මාලිමා ආණ්ඩුවේ ප්‍රබලයන් සියලු දෙනා සිනාසෙමින් එක තැන සිටින ඡායාරූපයක් හිටි හැටියේම එළියට ආ කතාව පිටුපස ඇත්තේද ඒ කතාවම මිස වෙන යමක් නොවන බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

අපි ලව්

මේ සියල්ල අතරවාරයේදී තවත් විශේෂ සිදුවීමක්ද සිදුවිය. ඒ, කවදාවත් තමාට නොගැළපෙන ආකාරයේ වචන පාවිච්චි නොකරන සභානායක බිමල් විසින් මාධ්‍ය හමුවේදී අතිශයෝක්තියෙන් යුතුව හරිනිගේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමය. එහිදී බිමල්ගෙන් හරිනිගේ ප්‍රශ්නය විමසද්දී ඔහු කියා සිටියේ අගමැතිවරිය සමග කිසිදු අර්බුදයක් නොමැති බවත්, අගමැතිවරිය සමග බොක්කෙන්ම කටයුතු කරන බවත්, අගමැතිවරියට ‘අපි ෆුල් ලව්‘ බවත්ය. නමුත් මෙහි ඇති හාස්‍යජනකම කරුණ වන්නේ මෙසේ අගමැතිවරියට ෆුල් ලව් කියන බිමල්ම මීට මාස 4කට පමණ ඉහතදී ස්වාධීන රූපවාහිනියට පැමිණ මාධ්‍යවේදී සිසිර යාපා සමග සංවාදයකට එක්වෙමින් ආණ්ඩුවේ එන්ජිම වෙනස් කරන බවට ප්‍රකාශයක් සිදු කිරීමය. මේ එන්ජිම වෙන කවුරුවත් නොව හරිනි අමරසූරිය බව ඉතා පැහැදිලිය. මීට අමතරව බිමල් එහිදී කියා සිටියේ තමන්ගේද ඇතුළුව ඇමැතිවරුන් කීප දෙනෙකුගේම වගකීම් වෙනස් කරමින් කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිතව ඇතැයි කියාය. මේ, බිමල් කී එම කතාව පසුගිය මැයි 25 වැනිදා අප වාර්තා කළ ආකාරයය.

ප්‍රශ්නය
අමාත්‍යාංශ යටතේ තිබූ ආයතන ගණනාවක සභාපතිවරු ඉල්ලා අස්වුණා. ඇයි ඒ?

අපේ මේ සභාපතිවරු සියලූ දෙනාම වගේ, 99%ක්ම වගේ පත්කළේ ඇමැතිවරු තුන්දෙනාගේ ආණ්ඩුව ඇතුළේ. අපිට තිබුණා ඒ වෙලාවේ රට අස්ථාවර නොවී පාලනය කරන්න. අපි 21ක විතර කණ්ඩායමක් එකතු වෙලා ඒවට විවිධ සභාපතිවරු නායකවරු පත්කළා. ඒ සමහර අය පත් වුණේම කෙටි කාලයකට. ඒ අයත් ඒක දන්නවා. සමහරු ස්වේච්ඡාවෙන්ම ඉවත් වෙලා ගියා. තවත් පිරිසක් ඡන්දේ ඉල්ලන්න ඒ තනතුරුවලින් ඉවත් වුණා.

රාජ්‍ය පාලනය කියන එක තේරුම් ගන්න වෙන්නේ ඒකට බැහැලම තමයි. ආයතනයක් පාලනය කරන්න දැනුම, විනය, කළමනාකරණය අවශ්‍යයි. අවස්ථාවෝචිත ප්‍රඥාව අවශ්‍යයි. තව ගොඩක් දේවල් අවශ්‍යයි. සමහර අයට හොඳ කොලිටීස් තිබුණට අර කොලිටීස් නැහැ. සමහර අය ඇත්තටම සුදුසු නැහැ. මම වුණත් අමාත්‍යාංශය භාරගනිද්දී කිව්වේ මමත් ඉන්නේ මාස හයයි, මට බැරිනම් මම ලියුම දීලා අයින් වෙනවා, මට මේක බදාගෙන ඉන්න අවශ්‍ය නෑ. අපිට තියෙනවා අවුරුදු 2000ක විතර වැඩ කරන්න. පළමු වතාවට තමයි පහළ පන්තියේ මිනිස්සුන්ගේ ආණ්ඩුවක් හැදුණේ. සුද්දෝ පාලනය කළත්, රජ්ජුරුවෝ පාලනය කළත් මේ රටේ දුප්පත් මිනිස්සු ගැන බැලූවේ නෑ. ඒ නිසා අවුරුදු 2000ක විතර ප්‍රශ්න තියෙනවා විසඳන්න. හැම කෙනාටම වගකීමක් තියෙනවා. අපිට පුළුවන් නම් කරනවා, බැරිනම් නිහතමානීව ඉවත් වෙලා යන්න. මේ මැෂින් එකේ දුවද්දී තමයි කාටත් තේරෙන්නේ මේ දේ අපිට කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒ නිසා අපි මේ පළමු මාස හයේ කළේ පුරුදු වෙන එක. අත්දැකීම් ගන්න එක. අපි නිලධාරීන්ව විශ්වාස කරන්නේ නෑ. ඒ අයගේ පොර ටෝක් අපි ගොඩක් අහලා තියෙනවා.

අපිට තේරෙනවා මේ අය කියන දේ කරන්න පුළුවන්ද බැරිද කියලා. අපිටත් තේරෙනවා මේ අය යමක් කිව්වට ඒ අයගේ ඔළුවේ තව දෙයක් තියෙනවා කියලා. සමහරු කම්මැළියි. සමහරු දේශපාලන හෙංචයියෝ. අපි මේ මාස හයේ කළේ දෙගොල්ලන්වම තේරුම් ගැනීම. එහෙම නැතුව වෙන කිසිම ක්‍රමයක් නෑ මේ දෙගොල්ලන්ව තේරුම් ගන්න. දැන් අපි ඡන්ද සියල්ල අවසන් කරලයි ඉන්නේ. දැන් තියෙන්නේ ඊළඟ අවුරුදු හතරහමාර ඩ්‍රයිව් කරන්න. ඒකට අපිට එන්ජිමට හොඳ කොටස් හොඳ මැෂින් අවශ්‍යයි.

ඒ අනුව ඉදිරි මාස කිහිපයේදී මමත් ඇතුළුව වගකීම් මාරුකරන්න බලාපොරොත්තු වෙනවා. සමහර විට අලූත් අය පත්කරනවා. ඒවා අපි ඉතා සුහදව සාකච්ඡා කරලා කරනවා. සමහර අය ගොඩක් ඉන්නවා ස්වේච්ඡාවෙන් ඇතුළට ඇවිල්ලා වැඩකරන්න කැමැති අය. අපි ජනවරමට වග කියන්න ඕනේ. ජනතාවට වග කියන්න ඕනේ. හැබැයි බොරු කියනකොට, අපිව රවට්ටන්න හදනකොට අපේ ඉවසීමේ සීමාව පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා….’
(2025 මැයි 25)

මේ ආකාරයට මාලිමා ආණ්ඩුව ඇතුළේ ජවිපෙ සහ මාලිමාව ආතරත්, එසේත් නැත්නම් ජවිපෙ සහ අගමැති හරිනි අතරත් කිසියම් මතගැටුමක් මතුවෙමින් පවතින බව අප මේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කළේ අද ඊයේ නොවේ. අද වනවිට සියලු මාධ්‍ය ආණ්ඩුව ඇතුළේ ගැටුමක් ඇති බව වාර්තා කළද අප මේ ගැටුම පිළිබඳ වාර්තා කිරීම ආරම්භ කළේ ජනාධිපතිවරණය අවසන් වී සති කීපයක් ඉක්මවන තැනය. එසේත් නැත්නම් මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක ආණ්ඩුවක් පිහිටුවා දින කීපයක් ඉක්මගිය තැනය. පහත පළවන්නේ ආණ්ඩුව සහ අගමැතිවරිය අතර මෝදුවෙමින් පවතින ගැටුම පිළිබඳ අප මාස 6කට පෙරාතුව, එනම් ඉකුත් පෙබරවාරි මාසයේ කළ අනාවරණයකි.

‘මාලිමාවට වෙන දේ…
ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පසු මාලිමා ආණ්ඩුව යනුවෙන් සියලූ දෙනාම වත්මන් ආණ්ඩුව හැඳින්වුවද මහ මැතිවරණයෙන් සති දෙකක් ඉක්ම යද්දී ‘රාජ්‍ය රහස්‘ තීරය ඔස්සේ අප අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ ජවිපෙ සහ මාලිමාව යනු එකක් නොව, දෙකක් බවට ක්‍රමක්‍රමයෙන් පත්වෙමින් තිබෙන බවකි. ‘මාලිමා ආණ්ඩුව.. මාලිමා ආණ්ඩුව..‘ යනුවෙන් හැමෝම පුරුද්දට කීවද ආණ්ඩුව ඇතුළේ මාලිමාව යටපත් කොට ජවිපෙ බලය හිස ඔසවමින් පවතින බවත්, සම්පූර්ණ මාලිමා ආණ්ඩුව හසුරුවන්නේ ජවිපෙ විසින් බවත් අපි එහිදී අනාවරණ කර සිටියෙමු.
‘ඡන්දෙදී මාලිමාවේ සමහර ජනප්‍රිය කට්ටිය ජේවීපී එකෙන් ගම්වලදී හිතාමතාම සැලසුම්සහගතව පැරැද්දුවා, මාලිමාවට ජවිපෙන් කෙනෙහිළිකම් කරනවා, මාලිමාවේ සමහරු ජේවීපී එකෙන් ගණන් ගන්නේ නෑ..‘ යනාදී වශයෙන් නොයෙක් කටකතා දේශපාලන සංවාදවලදී මාතෘකාවන් බවට පත්වුවත් ඒවාට වැඩි ඉඩකඩක් මාධ්‍ය හමුවේ එකල හිමිවූයේ නැත. එවැනි මාතෘකා ජනතාව අතරට ගියේද නැත. ඊට හේතුව වී තිබුණේ ඒ වනවිට රැල්ල ජවිපෙට ගසමින් තිබූ බැවින් ඇතැම් මාධ්‍යද ඒ රැල්ලට බියේ රැල්ලත් සමග ගසාගෙන ගිය නිසාය. ජනතාවද ඒ රැල්ලෙන් ගිනිකන වැටී සිටි නිසා එවැනි පුවත් දුටුවද ඒ ගැන කිසිදු තැකීමක් කළේ නැත. නමුත් මහ මැතිවරණය අවස්ථාවේදීම අප මාධ්‍ය වගකීම නිසි අයුරින් ඉටුකරමින් මෙවැනි බෙදීමක්, මෙවැනි මතගැටුමක් මාලිමා ආණ්ඩුව ඇතුළේ මතුවෙමින් පවතින බව වාර්තා කර සිටියෙමු. නමුත් මහ මැතිවරණය අවස්ථාවේදී අප කී එම කරුණ දැන් දැන් කරළියට එමින් පවතින බවක් පෙනෙන්නට ඇත්තේ ආණ්ඩුව කෙරෙහි ජනතාව මේ වනවිට කිසියම් අප්‍රසාදයකින් පසුවීම හේතුකොට ගෙනය. ඒ නිසා දැන් දැන් ජනතාව එම අර්බුදය දකින්නට පටන්ගෙන තිබේ. ජනතාව එම අර්බුදය පිළිබඳ කතාකරන්නට පටන්ගෙන තිබේ. ඒ අතින් අපට ඇත්තේ අප අනාවරණ කළ කරුණු සනාථ වීම පිළිබඳ නිහතමානී ආඩම්බරයකි.

ආණ්ඩුව ඇතුළේ ඇති ජවිපෙ*-මාලිමා අර්බුදය ඉස්මතු වූ ප්‍රධාන අවස්ථාවක් ලෙස අප මීට ඉහතදී පෙන්වා දුන්නේ රූපවාහිනියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතාගේ ඉල්ලා අස්වීමය. සෙනේෂ් බණ්ඩාරව ජාතික රූපවාහිනියේ සභාපතිවරයා වශයෙන් පත් කළේ අනුර -හරිනි-විජිත කැබිනට් මණ්ඩලයේ ජනමාධ්‍ය අමාත්‍යවරයාද වශයෙන් කටයුතු කළ විජිත හේරත් විසිනි. එම පත්වීම දෙන අවස්ථාවේදී කවුරුන් මොනවා කීවද තමන් සතු නිර්මාණශීලී හැකියාව උපයෝගී කොටගෙන සෙනේෂ් විසින් කබල් රූපවාහිනියේ මකුළු දැල් කඩාදමා ක්ලීන් කිරීමට යම් උත්සාහයක් ගත් බවක් දැකගන්නට ලැබිණි. දක්ෂ තරුණ නිර්මාණකරුවකු වීමත්, මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් තිබීමත් සෙනේෂ්ට ඊට විශාල වාසියක් වී තිබිණි. නමුත් මහ මැතිවරණය පැවැත්වීමෙන් පසු ජනමාධ්‍ය අමාත්‍ය ධුරය බාර වූයේ වෛද්‍ය නලින්ද ජයතිස්සටය. නලින්ද පත්වී දින කිහිපයක් ගතවීමත් සමග සෙනේෂ් හදිසියේම සිය ඉල්ලා අස්වීම බාරදී රූපවාහිනියෙන් එළියට බැස්ස ආකාරයක් දැකගත හැකි විය. ඒ අවස්ථාවේදී බොහෝ දෙනා ඇමැතිවරයා සමග ඇතිකරගත් මතගැටුමක් හේතුවෙන් සෙනේෂ් ඉල්ලා අස්වූ බව සඳහන් කළත්, දින කිහිපයකට පසු සිය ෆෙස්බුක් පිටුවේ සටහනක් තබමින් සෙනේෂ් කියා සිටියේ තමන් රූපවාහිනියේ සභාපති ධුරය බාරගත්තේ මාස තුනක කාලයකට පමණක් බවත්, එම කාලය අවසන් වී තිබීම නිසා වෙනත් ජාතික වගකීමක් බාරගැනීමේ අරමුණින් තමන් එසේ රූපවාහිනී සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවත්ය. නමුත් අද වනතුරු සෙනේෂ්ට ආණ්ඩුවෙන් එවැනි ජාතික වගකීමක් පවරා ඇති බවක් දැනගන්නට නැත. ඒ අනුව පෙනී යන්නේ යම් මතගැටුමක් හේතුවෙන් සෙනේෂ් ජාතික රූපවාහිනියෙන් ඉවත් වූ බවකි.

රමාල් අස්වුණේ ඇයි?

සෙනේෂ්ගේ සිදුවීම අප මෙහිදී යළිත් වතාවක් මතු කළේ පසුගිය සතියේ මාලිමා ආණ්ඩුව ඇතුළේ තවත් සභාපතිවරයකු සිය ඉල්ලා අස්වීම බාරදී තිබීම නිසාය. ඒ, වෙන කවුරුවත් නොව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රකට චරිතයක් වූ රමාල් සිරිවර්ධන මහතාය. රමාල් යනු සිවු වතාවක්ම ලංගම සභාපති ධුරය දරමින් එහි දිග පළල හොඳින් දැන සිටි පුද්ගලයෙකි. රමාල් පළමුවරට ලංගමයේ සභාපති ධුරය බාරගන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන සමයේදීය. බොහෝ දෙනා කියන කාරණයක් වන්නේ රමාල් ලංගම සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කාල පරාසයන්වලදී එය තිබූ තත්ත්වයෙන් ඉහළට ගැනීමට සෑම අවස්ථාවකදීම රමාල් කටයුතු කොට තිබුණා යැයි කියාය. ඒ ආකාරයට චන්ද්‍රිකාගේ පාලන සමයේ සිටම ශ්‍රීලනිපයට සම්බන්ධ දේශපාලනයක් කළ රමාල්, පසුගිය පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා දෙද්දී ගම්පහෙන් මාලිමාවට නාමයෝජනා ලබාදීමට පියවර ගත්තේය. ඒ, ගම්පහ දේශපාලන ප්‍රබලයා වූ විජිත හේරත් සමග රමාල්ට තිබූ සමීප සම්බන්ධය නිසාය.

අනුර, විජිත, හරිනි කැබිනට් මණ්ඩලයෙන් තනතුරු තෝරද්දී රමාල්ට නැවත වතාවක් ලංගම සභාපති ධුරය හිමිවූයේ විජිත සමග තිබූ එම සමීප සම්බන්ධය නිසාමය. නමුත් රමාල්ට සිදුවූයේ සෙනේෂ්ට සිදුවූවා හා සමාන දෙයකි. එනම් විජිතගේ ඇමැතිකම වෙනස් වී ප්‍රවාහන අමාත්‍ය ධුරය බිමල් රත්නායකට යද්දී රමාල්ට සිදුවූයේ හිටිහැටියේම සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ගෙදර යෑමටය. මේ සම්බන්ධයෙන් සොයා බලද්දී බොහෝ දෙනා කියන්නේ ඇමැති බිමල් සමග සිදුවූ සංවාදයක් මෙම ඉල්ලා අස්වීමට හේතුපාදක වූවා යැයි කියාය. සෙනේෂ්ට මුහුණ දීමට සිදුවූ සිදුවීමට වඩා වැඩි යමක් රමාල්ට සිදුව ඇති බවද ඒ ගිය කටකතාවලින් වැඩිදුරටත් කියැවිණි.

කෙසේ වෙතත් රමාල්ගේ මෙම සිද්ධියට මාධ්‍යවලින් විශාල ප්‍රචාරයක් ලැබෙද්දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද රමාල්ට කතාකිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ජනාධිපතිවරයා රමාල්ට පවසා ඇත්තේ කලබල නොවන ලෙසත්, ප්‍රශ්නයක් ඇත්නම් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකි බවත්ය. එමෙන්ම විජිත හේරත්ද රමාල්ට කතාකොට දැනුම් දී ඇත්තේ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරනවා යැයි කියාය. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් රමාල් විසින් මාධ්‍යයට ප්‍රකාශයක් කරනු ඇති බවට වූ සැකය හේතුකොට ගෙන ඒ ආකාරයට ජනාධිපතිවරයාත්, විජිතත් රමාල්ට කතාකොට ඇති බවකි.

මෙහිදී විශේෂම කාරණාව වන්නේ රමාල් සමග ඇතිවූවා යැයි කියන මතගැටුමට සම්බන්ධ වී ඇති චරිතය වන බිමල් රත්නායක ජවිපෙ ඇතුළේ ඉතා ප්‍රබල චරිතයක් වීමය. කුමන තත්ත්වයක් යටතේ වුවද බිමල්ට එරෙහිව තීන්දුවක් ගත නොහැක්කේ අතිබහුතරයක් විසින් ඊළඟ ජවිපෙ නායකයා ලෙස දැනටමත් බිමල් රත්නායකව හඳුනාගෙන තිබීම නිසාය.

මෙම සිදුවීම අවසන් වී තවත් දින කීපයක් ගතවීමට ප්‍රථම මාලිමා ආණ්ඩුව පත්කළ තුන්වැනි සභාපතිවරයාද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේය. එවර ඉල්ලා අස්වූයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ එන්.බී. මොන්ටි රණතුංග මහතාය. රණතුංගද නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත්කරනු ලැබුවේ අනුර, විජිත, හරිනි කැබිනට්ටුව රට පාලනය කරන සමයේය. නමුත් මහමැතිවරණයෙන් පසු නිවාස සංවර්ධන අධිකාරිය බාර වූයේ නිවාස අමාත්‍යවරයා වූ ආචාර්ය අනුර කරුණාතිලක හටය. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා දිනයේදී අමාත්‍යවරයා වෙත දීර්ඝ ලිපියක් යොමුකරමින් රණතුංග සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීමට පියවර ගෙන තිබිණි. මෙයද සැලකෙන්නේ අලූත් ආණ්ඩුව ඇතුළේ මතුවෙමින් පවතින තවත් එක් අර්බුදයක යම් පැතිකඩක් ලෙසය.

ජවිපෙ මාලිමා ගැටුම

අනෙක් අතට මෙම ප්‍රහාරයද ජවිපෙන් මාලිමාවට එල්ල වූ ප්‍රහාරයක් මිස වෙන කිසිවක් නොවන බව බොහෝ දෙනාගේ අදහසය.

ඒ අනුව මේ එළියට ඇවිත් ඇත්තේ ජවිපෙ-මාලිමා ගැටුමේ ප්‍රසිද්ධ කරුණු කිහිපයක් පමණි. තිරය පිටුපස අප්‍රසිද්ධ කරුණු මීට වඩා බොහෝ තිබේ. අප ඉකුත් මහ මැතිවරණයේ සිටම මේ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ‘රාජ්‍ය රහස්‘ තීරය ඔස්සේ අනාවරණ කළෙමු. එමෙන්ම මෙම මතගැටුම් හේතුවෙන් ජවිපෙ නොවන මාලිමා කණ්ඩායම් මේ වනවිට සිටින්නේ දේශපාලන වශයෙන් හද්ද අනාතභාවයට පත්වය. එම මාලිමා කණ්ඩායම් මේ වනවිට සිටින්නේ ජවිපෙ කිසිවකුගෙන්වත් හවුහරණක් නැති, කාටවත් කිසිවක් කියාගන්නට බැරි, ආණ්ඩුව ඇතුළේ පිළිගැනීමක් නැති දේශපාලන වශයෙන් ගන්ධම්බ තත්ත්වයට පත්වය. පසුගිය මැතිවරණ සමයේදී නම් මෙම මාලිමා කණ්ඩායම් තමන්ට ජවිපෙන් සිදුවන අසාධාරණයන් පිළිබඳ මාලිමාවේ ප්‍රධානියා වූ අගමැතිනි හරිනි අමරසූරිය හට දැනුම් දී සිටියහ. නමුත් හරිනිටද ආණ්ඩුව ඇතුළේ මේ වනවිට ලොකු ඉඩකඩක් හිමිව නොතිබීම හේතුවෙන් හරිනිද මේ වනවිට සිටින්නේ සම්පූර්ණයෙන්ම පාහේ දේශපාලන වශයෙන් නිහඬ ව්‍රතයක් රකිමිනි. ආණ්ඩුවට මේ වනවිට ඡන්දය දුන් පිරිස් වෙතින්ම එල්ල වන පීඩනය හමුවේ ජවිපෙ මැති ඇමැතිවරුන් එළියට බැස ආණ්ඩුව වෙනුවෙන් අදහස් පළ කළද අගමැතිවරිය වශයෙන් හරිනි ඒ ආකාරයට එළියේ ආණ්ඩුව වෙනුවෙන් පෙනීසිටින ආකාරයක් දැකගන්නට නැත. පාර්ලිමේන්තුව ඇතුළේ පමණක් හරිනි ප්‍රකාශ නිකුත් කරන ආකාරය පමණක් මේ වනවිට දැකගන්නට පුළුවන….’
(රාජ්‍ය රහස් 2025 පෙබරවාරි 02)

හරිනි නෝ කතා

මේ ආකාරයට අගමැතිවරියගේ කතාවට වසන්ත, නලින්ද, බිමල්, කෙළින්ම උත්තර දෙද්දී සිද්ධියට මුල්වූ කතානායකවරිය වන හරිනිට වූයේ කුමක්ද? හරිනම් අගමැතිවරිය තමා කළ කතාව වැරැදි නම් එදිනම හෝ ඊට පසු දින එය පාර්ලිමේන්තුවේදී නිවැරැදි කළ යුතුව තිබිණි. නමුත් ආණ්ඩුවේම ඇමැතිවරුන් අගමැතිවරිය කී කතාව වැරැදි බව කියද්දී හරිනි ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකිරීම විශේෂ සිදුවීමක් විය. තමා කළ කතාව හරි බව හෝ වැරැදි බව හරිනි කියන්නෙ නැත්තේ ඇයි? ඇමැතිවරුන් විවිධ කතා කියමින්, ආණ්ඩුව පැත්තෙන් විවිධ ඡායාරූප පළ වුවද හරිනි අදටත් ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ ප්‍රකාශ නොකිරීම පිළිබඳ ඇත්තේ ඊටත් වඩා බරපතළ ගැටලුවකි.

ඒ වෙනුවට හරිනි පසුගිය සතියේ කළේ විශේෂ පුද්ගලයන් දෙදෙනකු හමුවීමය. ඒ අනුව, හරිනි මුලින්ම ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවිය. අරලියගහ මන්දිරයේ පැවැති එම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබුණේ ඉන්දියාව සහ ලංකාව අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සම්බන්ධයෙනි. ඉන් අනතුරුව හරිනි අගරදගුරු නිල නිවසට ගොස් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවීමටද කටයුතු කළාය. එහිදීද හරිනි අවධානය යොමුකර තිබුණේ අධ්‍යාපන ප්‍රත්සංස්කරණ සම්බන්ධයෙනි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ කිසිදු තැනක හරිනි තමන් කළ කතාව වැරැදි බව හෝ නිවැරැදි බවට ප්‍රකාශයක් සිදු නොකිරීමය.

ආයෝජන මණ්ඩලේ උත්තරේ

ඒ කෙසේ වෙතත් අවසානයේදී හරිනිගේ මේ කතාවද සුපුරුදු පරිදි නිලධාරීන්ගේ පිටින් යැවෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බවට ‘නිෂ්පාදනය‘ වූ පුවත් මුල්කරගෙනය. ඒ අනුව ඇතැම් සමාජ මාධ්‍ය ඍජුවම චෝදනා එල්ල කර තිබුණේ අගමැතිවරියට තොරතුරු ලබාදුන් බව කියන ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වූ රේණුකා එම්. වීරකෝන් මහත්මියටය. ඇගේ ඡායාරූපද ඇතැම් මාධ්‍ය පළකරමින් ඇයට බරපතළ චෝදනාවක් එල්ල කර තිබූ ආකාරයද එහිදී දැකගත හැකි විය. ඒ අනුව අප ඇගේ පාර්ශ්වයේ කතාව පිළිබඳවද සොයාබැලීමක නිරත වීමු. එහිදී ඇය ප්‍රකාශ කර තිබුණේ, ‘මෙතැන අපිට පොඩි වැරැද්දක් වෙලා තියෙනවා. ඒ තමයි කොමා දෙක තුනක් දාන්න බැරිවෙච්ච එක. අපේ පැත්තෙන් වෙලා තියෙන වැරැද්ද එච්චරයි. අගමැතිතුමිය අතිනුත් පොඩි අතපසුවීමක් වෙලා තියෙනවා. අපි මිලියන කියලා දාපු තැන්වලට එතුමිය කිව්වේ බිලියන කියලා. ඒ ඇරෙන්න අපේ වාර්තාවේ වැරැද්දක් නෑ. පරීක්ෂණ කොච්චර තිබ්බත් ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ….’ යැයි කියාය. ඒ අනුව නිලධාරීන් සම්බන්ධයෙන් පවත්වනවා යැයි කී පරීක්ෂණවල අනාගතය කොයි අතට පෙරළෙනු ඇද්දැයි දැන්ම තියා කිව නොහැක.

තවත් බෙදීමක්

ආණ්ඩුව ඇතුළේ පවතින මේ බෙදීම පසුගිය කාලයේදී ට්‍රම්ප් රජය විසින් ලංකාවට එරෙහිව පැනවූ තීරුබදු හරහාද පැහැදිලිවම දැකගන්නට ලැබිණි. මුලින් 44%ක් ලෙස පැනවූ තීරුබද්ද 20% දක්වා අඩුකර ගැනීමේදී තිරය පිටුපස අතිශය තීරණාත්මක භූමිකාවක් රඟදැක්වූයේ වෙන කවුරුවත් නොව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහය. වරක් අපනයනකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයා හමුවී තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටියේ එහි ගෞරවය මහින්ද සමරසිංහට හිමිවිය යුතු යැයි කියාය.

මහින්ද සමරසිංහ ඇමෙරිකාවේ තානාපතිවරයා ලෙස මුලින්ම පත්වීම ලැබුවේ ගෝඨාභයගේ කාලයේය. ගෝඨා බලයෙන් පහකිරීමෙන් පසු ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ පවා මහින්ද සමරසිංහ එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කළේ නැත. ඊට හේතු වූයේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී ඒවා කළමනාකරණය කරගැනීම සඳහා මහින්ද සමරසිංහ සතු දක්ෂතාවත්, ඔහු සතුව ඇති අතීත පළපුරුද්දත්ය. අනුර බලයට පත්වීමේදී දේශපාලන තනතුරු ලැබූ සියලු තානාපතිවරුන් ආපසු කැඳවන බවට ප්‍රකාශයක් සිදුකළද මහින්ද සමරසිංහට අත තැබීමට අනුර කටයුතු කළේ නැත. තනි තීන්දුවක් ගෙන අනුර කියා සිටියේ මහින්ද ඇමෙරිකාවේ තානාපතිවරයා වශයෙන් දිගටම කටයුතු කළ යුතු යැයි කියාය.

නලින්දලා පහර දෙයි

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ ආකාරයෙන් ප්‍රසිද්ධ ප්‍රශංසාවක් සිදුකර තිබියදී පවා මාධ්‍ය හමුවේ නලින්ද ජයතිස්සත්, වසන්ත සමරසිංහත් මහින්ද සමරසිංහ සම්බන්ධයෙන් දක්වා තිබුණේ ඉතා රළු ප්‍රතිචාරයකි. එහිදී නලින්ද ප්‍රසිද්ධියේම කියා සිටියේ මහින්ද සමරසිංහ කළ කාර්යභාරය සම්බන්ධයෙන් තමන් කතාකිරීමටවත් කැමැති නැතැයි කියාය. අප ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා මහින්ද සම්බන්ධයෙන් කළ ප්‍රකාශයත්, වසන්ත සහ නලින්ද, මහින්ද සම්බන්ධයෙන් කළ ප්‍රකාශත් අප වෙබ් අඩවිය ඔස්සේ පළකිරීමට පියවර ගත්තෙමු. කෙසේ වෙතත් අප කළ එම අනාවරණයෙන් පසු තීරුබදු 20% දක්වා අඩුකර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා නැවත වතාවක් ප්‍රසිද්ධියේම මහින්ද සමරසිංහට ස්තුතිය පළකිරීමට පියවර ගත්තේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඇමෙරිකාව සහ ලංකාව අතර, වේලාවේ විශාල පරතරයක් ඇති බැවින් දිවා රාත්‍රී නොබලා එම ජයග්‍රහණය අත්පත් කරගැනීම සඳහා මහින්ද සමරසිංහ තානාපතිවරයා විශාල කාර්යභාරයක් ඉටු කළා යැයි කියාය. ඒ හරහා ජනාධිපතිවරයා නොකියා කියා සිටියේ මෙම මෙහෙයුමේ ‘මෑන් ඔෆ් ද මැච්‘ මහින්ද සමරසිංහ යැයි කියාය. ඒ අනුව මෙම සිදුවීම හේතුවෙන්ද ආණ්ඩුව ඇතුළේ කිසියම් කාරණයක් සම්බන්ධයෙන් එක ස්ථාවරයක් නොමැති බවත්, ජනාධිපතිවරයා හා මැති ඇමැතිවරුන් අතර විවිධ ස්ථාවරයන් පවතින බවත් පැහැදිලිවම දැකගන්නට ලැබිණි. ඒ අනුව නාමල් කීවාක් මෙන්ම චිචීගේ රොකට්ටුව පමණක් නොව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබද්දද මේ වනවිට පැලවත්තට කඩාවැටී ඇති ආකාරයක් දැකගන්නට ඇත.

ඩඩ්ලිට ලණුවක්

පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කංචන විජේසේකර කරළියට ගෙනැවිත් අලුත්ම ගේමක් ගසන්නට සූදානම් වන බව අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ කංචනට එජාපයේ ඉහළ තනතුරක් ලබාදෙන බව සඳහන් කරමින් රනිල් ඒ හරහා රුවන්, සාගල, වජිර යන කණ්ඩායමෙන් එල්ල වන බලපෑම් මගහරවා ගැනීමට උත්සාහ ගන්නා බවත්, සජබයෙන් කණ්ඩායමක් කඩාගැනීමට කුරුමානම් අල්ලන බවත්ය. එමෙන්ම ඊට පෙර සතියේ අප මිලින්ද මොරගොඩට රනිල් විසින් කවා ඇති තවත් ලනුවක් පිළිබඳවද වාර්තා කළෙමු. එහිදී අප කියා සිටියේ රනිල් විසින් තමන්ට සුපුරුදු පොදු අපේක්ෂක ලනුව මිලින්දට කැවීමට කටයුතු කොට ඇතැයි කියාය.

මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රනිල් විසින් තවත් කෝටිපති ව්‍යාපාරිකයකුට පොදු අපේක්ෂක ලනුව කවා ඇති තොරතුරක් අනාවරණ කිරීමට සූදානම්ය. ඒ, වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනය. රනිල් ඩඩ්ලිට පොදු අපේක්ෂක ලනුව කවන මෙහෙයුම භාරදී ඇත්තේ වෙන කාටවත් නොව වජිර අබේවර්ධනට බවත් ආරංචිය. එහිදී රනිල් ඩඩ්ලිට පොදු අපේක්ෂක සූට් එක අන්දවමින් දැනුම් දී ඇත්තේ වජිර සමග පැමිණ තමන්ව ඉක්මනටම හමුවන්නැයි කියාය. ඒ අනුව පළමු සතියේ මිලින්දව ඇන්දවූ රනිල් දෙවැනි සතියේ කංචනවත්, තුන්වැනි සතියේ ඩඩ්ලිවත් ඇන්දවීමට කටයුතු කොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඩඩ්ලි රනිල්ගේ මේ ලනුව කා තමන්ගේ අතේ තියෙන මුදල් රනිල් වෙනුවෙන් පුච්චා ගනීවිදැයි කීමට තවම කල් වැඩිය. අප එසේ කියන්නේ 2019 ජනාධිපතිවරණයේදීද රනිල් මේ ආකාරයෙන්ම ලංකාවේ සිටින අංක එකේ කෝටිපති ව්‍යාපාරිකයකුට පොදු අපේක්ෂක ලනුව ගිල්ලවා ඔහුගෙන් මිලියන ගණන් එජාපය වෙනුවෙන් වියදම් කරවා ගැනීම නිසාය. මිලින්ද, කංචන, ඩඩ්ලි යන තිදෙනාම යහමින් මුදල් හදල් තියෙන තිදෙනකු වීම නිසා රනිල් මේ සූදානම් වන්නේ ඔවුන්ගෙන් මුදල් ගැනීමට බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
සිරිකොත පොලිසිය පනී

මේ බව හොඳටම පැහැදිලි වන්නේ පසුගිය සතියේ රනිල් සිරිකොතේ පැවැති රැස්වීමකදී සිදුකළ ප්‍රකාශයක් මුල්කර ගෙනය. එහිදී රනිල් කියා තිබුණේ ‘දැන් අපට සිරිකොත ගෙනියන්න සල්ලි නෑ. කට්ටිය එකතු වෙලා සල්ලි හොයන්න පටන් ගන්න.. මමත් මේකට දැන් බැහැලයි තියෙන්නේ…’ යැයි කියාය. ඒ අනුව බොහෝ දෙනා පෙන්වා දෙන්නේ රනිල් මේ ආකාරයට පොදු අපේක්ෂක සූට් එක කෝටිපතියන්ට බෙද බෙදා යන්නේ සුපුරුදු පරිදි ඔවුන්ගෙන් මුදල් කඩාගැනීමේ අරමුණෙන් යැයි කියාය.

මේ අතරවාරයේ පසුගිය සතියේ සිරිකොතට හදිසියේම පොලිස් කණ්ඩායමක් පැමිණ තිබිණි. ඒ, සිරිකොතේ ඉහළ තනතුරකට රනිල් පත්කළ වයඹ පළාතේ ප්‍රබලයකුගෙන් ප්‍රශ්න කිරීම සඳහාය. ඉකුත් ආණ්ඩු සමයේදී වයඹ පළාතේ ඉඩම් ලබාදෙන බව කියමින් මේ දේශපාලඥයා මුදල් ගෙන ඇති බවට චෝදනාවක් එල්ල වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනයකට ප්‍රකාශ ලබාගැනීම සඳහා මෙම පොලිස් කණ්ඩායම පැමිණ ඇති බවත් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. මීට අමතරව මේ වනවිට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටින බොහෝ පුද්ගලයන් ඉකුත් කාලවකවානුවේදී වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන්ද මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවක් දැනගන්නට තිබේ. ඒ නිසා මේ දිනවල සිරිකොත පැවැත්වෙන රැස්වීම්වලට මෙම හිටපු මැතිඇමැතිවරු මරුටි කාර්වල, පොඩි වෑන්වල, බස්වල එන ආකාරයක් දැකගන්නට තිබේ. ඊට අදාළ ඡායාරූපද ‘රාජ්‍ය රහස්’ තීරය සතුය.

මහින්දව හම්බවෙලා

කෙසේ වෙතත් රනිල් කෝටිපතියන් හමුවී පොදු අපේක්ෂක සූට් අන්දවමින් සිටින අතරවාරයේ පසුගිය සතියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තවත් අමුතුම තාලේ ගේමක් ගැසීමට කටයුතු කළේය. පොහොට්ටුවේ පිහිටෙන් පාර්ලිමේන්තුව ඇතුළේ පැවැති ඡන්ද විමසීමෙන් ජනාධිපතිවරයා වශයෙන් පත්වීම් ලැබුවද පසුව රනිල් පොහොට්ටුවත් විනාශ කොට රාජපක්ෂවරුන්ට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කිරීම නිසා පසුගිය කාලවකවානුව පුරාම රාජපක්ෂවරුන් හා රනිල් අතර එතරම් සමීප සබඳතාවක් පැවැතියේ නැත. නමුත් රනිල්ගෙන් පැමිණි ඉල්ලීමක් නිසා මහින්ද ඒ සඳහා වේලාව ලබාදීමෙන් අනතුරුව පැවැති එම සාකච්ඡාවේදී රනිල් මහින්දට කියා සිටියේ නාමල් සමග ලොකු සන්ධානයකට යෑමට එජාපය සූදානම් යැයි කියාය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන්ව හමුවන ලෙස නාමල්ට දැනුම් දෙන ලෙස කී රනිල් නාමල්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට තමන් කටයුතු කරන බවද මහින්දට දැනුම් දී සිටියේය. මහින්දද පෙරළා රනිල්ට කීවේ තමන් එම යෝජනාව නාමල්ට දැනුම් දෙන්නම් යැයි කියාය.

කංචන-ෂෙහාන් පොහොට්ටුවට

කෙසේ වෙතත් මේ වනවිට දේශපාලන වශයෙන් තෙම්පරාදු වී සිටින නාමල් නම් රනිල් ගහන්න යන ගැටය තේරුම් ගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මන්ද යත් රනිල් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරද්දී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු විශාල පිරිසක් එජාපය හැරදා රනිල් සමග එකතු විය. ඇතැමුන් පොහොට්ටුවෙන් ඉවත් වී රනිල් හැදූ සිලින්ඩරය සමග ගියේය. නමුත් මේ වනවිට රනිල් දේශපාලන වශයෙන් අවලංගු කාසියක් බවට පත්ව තිබීම නිසා රනිල් ළඟට ගිය පොහොට්ටුවේ අතිබහුතරයක් නැවත වතාවක් පොහොට්ටුව වටා ගොනුවෙමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ඇතැමුන් ප්‍රසිද්ධියේම නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටු කාර්යාලයට පැමිණ නාමල් සමග සාකච්ඡා කරන අතර, ඇතැම් පිරිස් විවිධ ස්ථානවල මේ සම්බන්ධයෙන් නාමල් සමග සාකච්ඡා පවත්වමින් සිටී. ඒ අනුව රනිල් සමග ළඟින්ම කටයුතු කළ කංචන විජේසේකර, ශෙහාන් සේමසිංහ, රෝහිත අබේගුණවර්ධන වැන්නවුන් මේ වනවිට නාමල් සමග යළිත් වතාවක් දේශපාලන ගනුදෙනු ආරම්භ කර ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී රෝහිත අබේගුණවර්ධන තමාගේ නිවසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට නාමල්ටද ආරාධනා කිරීමටද පියවර ගෙන තිබිණි. එමෙන්ම ශෙහාන්ද නාමල් සමග මේ වනවිට විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ කර ඇති බවක්ද ආරංචිය.

මේ ආකාරයට තමන් සමීපයේ සිටි පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් නැවත වතාවක් පොහොට්ටුවට එක්වීම තමන්ට විශාල අනතුරක් බව රනිල් නොදන්නවා නොවේ. ඒ අනුව රනිල් මීට සතියකට ඉහතදී ශෙහාන් සේමසිංහ ගෙන්වා දැනුම් දී තිබුණේ ශෙහාන්ට ගැළපෙන්නේ එජාප දේශපාලනය යැයි කියාය. යළිත් පොහොට්ටුවට එක් නොවන ලෙසත්, එජාපය සමග එක්ව දේශපාලනය කරන ලෙසත් රනිල් එහිදී ශෙහාන්ට දැනුම් දී තිබිණි. රනිල් ඊට පෙර කංචනද කැඳවා එම උපදේශයම ලබාදුන් ආකාරය පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි වාර්තා කළෙමු. කෙසේ වෙතත් ශෙහාන් නම් රනිල්ගේ මුහුණටම කියා ඇත්තේ එජාපය සමග දේශපාලනය කළ නොහැකි බවත්, මේ වනවිට ගම් මට්ටමින් නැවත වතාවක් පොහොට්ටු පාක්ෂිකයන් නාමල් සමග එකතු වෙමින් සිටින නිසා යළිත් පොහොට්ටුව සමග දේශපාලනය කිරීමට තමන් තීරණය කර ඇති බවත්ය.

එමෙන්ම කංචනද මේ වනවිට නුවණැති තීරණයක් ගෙන ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව කංචනද තීරණය කොට ඇත්තේ එජාපය සහ රනිල් සමග තවදුරටත් දේශපාලනය නොකිරීමටය. එමෙන්ම එජාපයේ කිසිදු තනතුරක් නොගැනීමටද කංචන තීරණය කොට තිබේ. ඒ අනුව නව පක්ෂයක් ගොඩනැගීමට හෝ දැනට ලියාපදිංචි කොට ඇති පක්ෂයක් මිලදී ගැනීමට හෝ කංචන තීරණය කොට ඇති බව ආරංචිය. කෙසේ වෙතත් කංචන යළි පොහොට්ටුවට සම්බන්ධ වී මාතරින් දේශපාලනයට පිවිසීමට එරෙහිව පොහොට්ටුවේම එක්තරා ප්‍රබලයකු සිය විරෝධය පළකරමින් සිටින බවක්ද ආරංචිය. පසුගිය කාලයේදී විවිධ පක්ෂවලට ගොස් යළිත් පොහොට්ටුවට පැමිණ තිබූ මෙම ප්‍රබලයා තමන්ට තැන නැතිවනු ඇති බවට බියට පත්ව මෙසේ කංචනට එරෙහිව විරෝධය පළකරමින් සිටින බවක් ආරංචිය.

නාමල්ගේ උත්තරේ

මේ ආකාරයට රනිල් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් තවදුරටත් තමන් සමග තබාගැනීමට ගේම් ගසන්නේ ඇයි? ඊට හේතුව වෙන මොකක්වත් නොව, පළාත් පාලන මැතිවරණයෙන් පසුව විපක්ෂයේ පක්ෂ අතර ගොඩනැගෙමින් පවතින එකමුතුව සහ විශේෂයෙන්ම සජිත්, නාමල් සහ දෙමළ සන්ධානය අතර ගොඩනැගෙමින් පවතින එකමුතුව කඩාබිඳ දැමීමය. මෙම එකමුතුව ගොඩනැගුණහොත් හෝ පොහොට්ටු ප්‍රබලයන් නැවත වතාවක් පොහොට්ටුවට එක්වුවහොත් එජාපයට සහ තමන්ට ඇපත් නැති වන බව රනිල් නොදන්නවා නොවේ. ඒ නිසා රනිල් උත්සාහ කරන්නේ කෙසේ හෝ එජාපය සහ නාමල් අතර සන්ධානයක් ගොඩනගාගෙන එජාපයේ සහ තමන්ගේ පැවැත්ම තවදුරටත් තබාගැනීමටය. එසේ නොවුණහොත් එජාපයේ ඉතිරි වන්නේ තමන් සහ දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති දෙතුන් දෙනකු පමණක් බව රනිල්ගේ ගණන් බැලීම වී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් පසු එක් මන්ත්‍රීවරයෙක් නාමල්ගෙන් රනිල්ගේ යෝජනාවට දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් විමසීමක් කොට තිබේ. එහිදී නාමල් කියා ඇත්තේ, ‘රනිල් අපේ පවුලටයි පක්ෂයටයි කරපු දේවල් අපිට අමතක නෑ. ඔය එක එක යෝජනාවලට මම අහුවෙන්නේ නෑ. හැබැයි රනිල් කතා කළොත් මම සාකච්ඡාවලට යනවා. එතුමා හිතාගෙන ඉන්නේ ලොකුම ගේම්කාරයට එතුමා කියලනේ. බලාගෙන ඉන්නකො අපි ගහන ගේම මොකක්ද කියලා…’ යැයි කියාය.

එජාපයත් විරුද්ධයි

කෙසේ වෙතත් පොහොට්ටුව හා එක්වීම පිළිබඳ වූ යෝජනාව රනිල් පසුගිය සතියේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. එහිදී රනිල්ට තරු විසිවෙන පිළිතුරක් ලබාදෙමින් ඉතිරි වී සිටින ජ්‍යෙෂ්ඨයන් දෙතුන් දෙනා පවා පෙන්වා දී ඇත්තේ පොහොට්ටුව සමග එක්වුවහොත් එජාපයට කිසිදු දේශපාලන අනාගතයක් නැතැයි කියාය. එජාපයේ සංස්කෘතිය වෙනස් එකක් බවත්, පොහොට්ටුවේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් එකක් බවත් අකිල, නවීන්, තලතා පෙන්වා දී ඇති බවක්ද ආරංචිය.

සජිත්ට ප්‍රහාරයක්

පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දකුණේ සංචාරයක නිරත විය. සජිත්ගේ ගමනේ ප්‍රධාන අරමුණ වී තිබුණේ හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්කවලින් තේරීපත් වූ සජබ පළාත් පාලන නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමත්, සෙවනගල උක් ගොවීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත්ය. ඒ අනුව සජිත් කොළඹ සිට හම්බන්තොට බලා යන අතරවාරයේදී යාල ආසන්නයේදී විදුලි වැට අසල අලියකු සිටින ආකාරයක් දැකගන්නට ලිබිණි. සජිත් යනු දේශපාලනයට අමතරව වනජීවීන්ට කැමැති, පරිසරයට කැමැති, වනජීවී ඡායාරූපකරණයට කැමැති පරිසරවේදියෙකි. බොහෝ විට දේශපාලනයෙන් විවේකයක් ලැබුණු වහා සජිත් යාල, විල්පත්තු කැලෑවලට ගොස් සතුන් නැරඹීම සහ ඡායාරූපකරණයේ යෙදෙන්නේ ඒ නිසාය.

මේ ආකාරයට සතුන්ට සහ වනයට ආදරය කරන දේශපාලන නායකයන් අද ලෝකයේම ඇත්තේ ඉතා අතළොස්සකි. සජිත් මෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද වනජීවීන්ට ආදරය කරන, වනජීවීන් ආරක්ෂා කරන දේශපාලන චරිත දෙකකි. වරක් ඉන්දීය කොටියන් වඳවී යන බවට පුවතක් වාර්තා වීම නිසා මෝදි කළේ පරිසරය සම්බන්ධයෙන් ප්‍රකට රූපවාහිනී නාලිකාවක් සමග ඉන්දියාවේ කැලයකට ගොස් කොටින් සමග රාත්‍රියක් ගතකරමින් විශේෂ වාර්තාමය වැඩසටහනක් සිදුකිරීමය. ඊට ජාත්‍යන්තරයේ විශාල ප්‍රතිචාරයක් ලැබී තිබිණි. එමෙන්ම ඉන්දීය නළුනිළියන් සමගද කොටින්ගේ වැදගත්කම අවධාරණය කරන වාර්තා වැඩසටහන් මෝදි සිදුකර තිබිණි. වඳවීමේ තර්ජනයට ලක්ව සිටි ඉන්දීය කොටියන් මෝදි විසින් ආරක්ෂා කරගත්තේ ඒ ආකාරයටය.

සජිත්ද සිය හම්බන්තොට සංචාරයේදී වැට අයිනේ සිටින අලියා දුටු සැණින් ඔහුගේ සිහියට නැගුණු කාරණාව වූයේ එදින ජාත්‍යන්තර අලි දිනය බවත්, මේ වනවිට ලංකාවේ අලි බරපතළ තර්ජනයකට මුහුණ දී සිටින බවත්ය. ඒ අනුව වහාම රථය නවත්වා අලියා පසුබිමේ සිටින ආකාරයට විශේෂ ප්‍රකාශයක් කළ සජිත්, අලි-මිනිස් ගැටුම නවත්වා මේ වනවිට තර්ජනයකට මුහුණදී සිටින අලින් ආරක්ෂා කරගැනීමේ වැදගත්කම පිළිබඳ විශේෂ පණිවුඩයක් ආණ්ඩුවටත්-රටටත් ලබාදීමට පියවර ගත්තේය.

යාලට බල්ලො කොහෙන්ද?

ඉන් අනතුරුව හම්බන්තොට ගමනින් පසු පැය දෙකක පමණ කාලයක විවේකයක් තිබුණු නිසා සජිත් කළේ යාල ඇතුළේ කෙටි සංචාරයක නිරත වීමය. එසේ යාලේ සංචාරය කළ සජිත්ට එක් වරම බල්ලන් දෙදෙනකු කැලයේ සිටින ආකාරයක් දැකගන්නට ලැබිණි. එවිටම සජිත්ගේ ඔළුවට ආවේ මීට පෙර විල්පත්තු කැලේදී සංචාරක මගපෙන්වන්නන් විසින් බල්ලන් කැලයට ගෙනැවිත් කොටින්ගේ ගොදුරු ලෙස දමා ඒවා ඡායාරූපකරණයට සහ වීඩියෝකරණයට ඉඩ ලබාදී විදේශිකයන්ගෙන් විශාල වශයෙන් මුදල් ගන්නා මාෆියාවක් පිළිබඳ වාර්තා වූ තොරතුරුය. ඒ අනුව යාල කැලේ සිටි බල්ලන් දෙදෙනා පිළිබඳ සොයා බලද්දී සජිත්ට ඉන් එපිටට වන්නට කොටින් දෙදෙනකුද, සංචාරකයන් නංවාගත් මගපෙන්වන්නන් සහිත ජීප් රථච නවතා තිබූ ආකාරය දැකගත හැකි විය. එහිදී මගපෙන්වන්නන් විසින් මෙසේ බල්ලන් කැලය තුළට ගෙනැවිත් කොටින්ගේ ගොදුරු බවට පත්වීමට ඉඩහැර එය විදේශිකයන්ට පෙන්වා මුදල් ගැරීමේ ජාවාරමක් සිදුකරන බවට වූ සැකය සජිත්ගේ සිතට නැගිණි. ඒ අනුව සජිත් වහාම කළේ සිය ජීප් රථය මාර්ගය හරස් කොට සිටින ලෙස නවත්වා බල්ලන් දෙදෙනාත්, කොටින් දෙදෙනාත්, සංචාරකයන් රැගත් ජීප් රථයත් යන තුනම සිය කැමරා කාචයට හසුකර ගැනීමට උත්සාහ ගැනීමය. නමුත් සජිත්ට එම ඡායාරූපය ග්‍රහණයට හසුකර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. සජිත් එම උත්සාහය ගත්තේ මෙම විශේෂ ඡායාරූපය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬක් නැගීමටය.

ප්‍රහාරය රනිල්ගේ පැත්තෙන්

කෙසේ වෙතත් සජිත් මේ දැරූ උත්සාහය වරදවා වටහාගත් කිසිවකු විසින් සජිත් යාලේ මාර්ගය හරස් කොට ජීප් රථය තබාගෙන සිටින ආකාරය වීඩියෝ කොට සමාජ මාධ්‍ය ජාලවලට යොමුකොට තිබිණි. විශේෂයෙන්ම රනිල්ට හිතවත් සමාජ මාධ්‍ය ජාලවල මෙම වීඩියෝවට විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණු අතර, සජිත් ඉලක්ක කොට විශාල ප්‍රහාරයක් දියත් කොට තිබිණු ආකාරයත් දැකගත හැකි විය. නමුත් එහි පසුපස පැවැති ඇත්ත කතාව මෙයය.

කෙසේ වෙතත් සජිත් එම ඡායාරූප ගෙන ඒ මොහොතේම යාල වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් කියා තිබුණේ කතරගම පාද යාත්‍රාවට උතුරේ සිට ජනතාව පැමිණෙද්දී බල්ලන්ද පැමිණ ඇති බවත්, එසේ පැමිණි බල්ලන් අතරමංව තවමත් යාලේ සිටින බවත්ය. නමුත් කතරගම පෙරහැර අවසන් වී මේ වනවිට මාසයකට ආසන්න කාලයක් ගතව තිබීම නිසා එම තර්කය පිළිගත නොහැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. ඒ අනුව, කළ යුත්තේ සජිත්ට ප්‍රහාර එල්ල කිරීම නොව සජිත් පෙන්වා දුන් මෙම කරුණ පිළිබඳ අවධානය යොමුකොට සංචාරක මගපෙන්වන්නන් විසින් නීති විරෝධී යමක් කරනවා නම් එය වහා නැවැත්වීමත්, වන ජීවීන් අනාගත පරපුර උදෙසා ආරක්ෂා කරගැනීමත්ය.

දිලිත් මාරුවෙයි

පසුගිය සතියේ විපක්ෂය විසින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව කතානායකවරයා වෙත විශ්වාසභංග යෝජනාවක් භාරදෙනු ලැබීය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂයේ අනෙකුත් පක්ෂ ඊට සහාය දක්වද්දී දිලිත් ජයවීර නම් ප්‍රකාශ කර සිටියේ තමන් ඊට සහාය දෙන්නේ නැතැයි කියාය. දිලිත් මේ ආකාරයට විපක්ෂය එකමුතුව සිදුකරන කටයුතුවලින් කර ඇරි පළමු අවස්ථාව මෙය පමණක් නොවේ. මීට පෙර පළාත් පාලන ආයතනවල බලය පිහිටුවද්දී බොහෝ ස්ථානවලදී මාලිමාවට සහාය දැක්වූ බවට දිලිත් ජයවීරට ප්‍රසිද්ධියේම චෝදනා එල්ල වී තිබිණි.

අරුණ ගැලවෙයි?

කෙසේ වෙතත් අරුණ ජයසේකරට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය පිළිබඳවද මේ වනවිට තාක්ෂණික ගැටලුවක් මතුව ඇති බව පැවසේ. ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැක්කේ අදාළ විෂයයන් භාර අමාත්‍යවරයකුට පමණක් බවත්, විෂයයන් භාරදී නැති නියෝජ්‍ය අමාත්‍යවරයකුට නොවන බවත්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණ පනතට අනුව ‘2 එම්’ කොටසේ මේ බව පැහැදිලිව දක්වා ඇති බව ඔවුන්ගේ ස්ථාවරයය. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයකුට විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැක්කේ ඔහුට හෝ ඇයට අදාළ අමාත්‍ය ධුරයේ විෂයයන් ගැසට් පත්‍රයක් මගින් වෙන්කොට ඇත්නම් පමණි. එසේ නොමැති නම් නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව ‘දෝෂාරෝපණය කිරීමේ චෝදනාවක්’ හෙවත් ‘වෝට් ඔෆ් සෙන්ෂර්’ යෝජනාවක් ගෙන ඒමේ හැකියාවක් ඇති බව එහි සඳහන්ව තිබේ.

ඒ අනුව අරුණ ජයසේකරට එරෙහිව විශ්වසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය පිළිබඳ දැනගැනීමට තවත් දින කීපයක් බලාසිටීමට සිදුවනු ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

බඩු මිල වැඩියි! ලයිට් බිල අඩු කරනු! පොරොන්දු ඉටු කරනු! වතු කම්කරු වැටුප් වැඩි කරනු! නුවරඑළියේත් මිනිස්සු පාරට බැහැලා විරෝධතා පටන් අරන්! PHOTOS I Sri Lanka Latest News

Next Post

කිව්වොත් කිව්වා… ආයෙ බොරු නෑ! පොරොන්දු රැක්ක ජනපති! Sri Lanka Latest News

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.