ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් – හමාඩ් අල් – සබා මහතා අතර නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී පැවැති හමුවේදී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පවසා ඇති ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකයන් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත කර දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබ ඇත.
එමෙන්ම කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදු කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසංගතය පහව ගොස් ලෝකය විවෘත වීමත් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දී තිබේ.
දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව සඳහන් කළ බවයි වාර්තාවේ.
ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව ද රාජ්‍ය නායකයන් අතර කථාබහට ලක්ව ඇති අතර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව ඇත.