ලෝකයේ සෑම සියලු නිර්මාණයකට හෝ වේවා පුද්ගලයකුට හෝ වේවා නියමිත වූත්, නිශ්චිත වූත් කාලයක් ඇත. උපතත්, වර්ධනයත්, පරිපූර්ණත්වයක් හා ගෞරවාන්විත අත්හැරයාමක් යනු මනුෂ්‍ය ජීවිතය ලබන්නා වූ වටිනාම දායාදයකි. වෘත්තීය ජීවිතයේදී හෝ බලයේ සිටින විටදී වුවද නිවැරදිම මොහොතේදී ගෞරවයෙන් හා තෘප්තිමත්ව සමුගැනීමට හැකිවීම හුදෙක් සැබෑ නායකත්වයෙහි මෙන්ම පුද්ගල චරිතයන්හි පවත්නා උත්තරීතර වූ ලක්ෂණයක් බැව් අර්ථකථනය කළ හැකිය. මන්දයත් ආගමානුකූල දර්ශනයන්හිද හරය වනුයේ එවැනිම වූ අරුතකි. මෙම අත්‍යාවශ්‍ය වූ දර්ශනය හුදෙක් රාජකාරියෙන් සමුගැනීමක්ම නොවේ. හුදෙක් එය තමන්ගේ කාර්යභාරය සම්පූර්ණ කළ බවට ලැබෙන උසස් පිළිගැනීමකි. එය සමාජය වෙනුවෙන් නව ඉඩකඩක් ලබාදීමට හේතුවනවා මෙන්ම අන්තර්ඥානය තම සමාජයට දායාද කිරීමකි. එහි ඇත්තේ හුදෙක් ගෞරවයක් පමණි. ඒ අනුව ‘ධනපාල උඩවත්ත’ මහතා ගායන ක්ෂේත්‍රයේ විශ්‍රාම ගැනීම මෙම ‘හරි වෙලාව ආපුවම අතහැරලා යන්න ඕනෙ’ යන දර්ශනයට කදිම වූ සමකාලීන උදාහරණයක් සපයන්නකි. පසුගිය දිනෙක ඔහු සිය විශ්‍රාම යෑම සහෝදර කලා ශිල්පීන් ඉදිරියේ ප්‍රකාශයට පත්කරමින් ලබන දෙසැම්බරයෙන් පසු තමන් ප්‍රසංග වේදිකාවේ දැකගන්නට නොලැබෙන බව කියා සිටියේය. එනයින් මෙම ලිපිය හරහා ගෞරවාන්විත වූ නික්ම යාමක වැදගත්කම පිළිබඳ පසක් කරනු ලබනු ඇත.Sri Lanka Latest News
ඕනෑම ක්ෂේත්‍රයක එනම් දේශපාලන, කලාව, ආර්ථික, අධ්‍යාපනික හෝ කිනම් ක්ෂේත්‍රයක වීද තම වෘත්තීය තුළ ගෙවන කාලය හුදෙක් උපතේ සිට මියයන තෙක්ම සිදුකළ නොහැක්කකි. මන්දයත් දිනෙන් දින නවීකරණය වන ලෝක සමාජයක පැරණි සංකල්ප නවීනත්වයට පත්වීම නිසකවම සිදුවිය යුත්තක් බැවිනි. එය හුදෙක් දේශපාලනයේදී ජනාධිපති, අගමැති ධුරයන්හිදීත්, රංගනයේදී නළු නිළියන් මෙන්ම පත්තර කලාවේදීද අනාගතයට ඉඩක් දීමට හුදෙක් ඔවුනොවුන් කටයුතු කළ යුතුය.
අප රටේ දේශපාලන ක්ෂේත්‍රය වුවද හුදෙක් ධුරයට බොහෝ සෙයින් ලොබකම් කරන්නා වූ එක් පැතිකඩකි. ගෞරවයෙන් බැබළීමට හැකි වුවත් අවසානයේ නොඇසිය යුතු, නොලැබිය යුතු සියලු නින්දා අපහාස විඳ ධුරයෙන් ඉවත් වන තෙක්ම බලයට කෑදර බොහෝ දේශපාලනඥයන් මෙරට සිට ඇති බව හුදෙක් ඔබ අප දන්නා කරුණකි.
වසර 33ක කුරිරු යුද්ධයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් හමාරකොට සිය ධුරයෙන් ගෞරවනීය ලෙස ඉවත් වීමට අවස්ථාව ඔහුට හිමිව තිබුණද තවදුරටත් බලයේ රැඳී සිටීමට තිබූ ආශාව හේතුවෙන් සිය කීර්තිනාමයට ඔහු කැළලක් එක්කර ගත්තේය. එනයින් තහවුරු වනුයේ කල් ඉකුත් වූ පසුත් බලයේ රැඳී සිටීමට උත්සාහ කිරීම හෝ ජනතා අප්‍රසාදය පැහැදිලිවම පෙනෙන අවස්ථාවලදී ඉවත් නොවී සිටීම දේශපාලන චරිතයකට අවසානයේ අගෞරවය ගෙනදෙන බවය.
දේශපාලන ක්ෂේත්‍රය තුළ වුවද රටක් පාලනය විය යුත්තේ ලෝකය ගමන් ගන්නා අනාගත, නවීන ක්‍රමවේදයකට අදාළවය. තාරුණ්‍ය තුළින් ගොඩනඟා ගතයුතු ලෝකය වයස්ගත දේශපාලනයට නොතේරේ නම් ඔවුන්ව පාලනයෙන් ඉවත් කිරීමට හෝ බලහත්කාරයෙන් ඉවත් කරවීමට ජනතාවට සිදුවේ. ගෝඨාභය රාජපක්ෂයන්ට සිදුවූයේද එයමය. අරගලයක ස්වරූපයෙන් ලංකාවේ කැලඹීමක් ඇති වූයේද එවැනි කල් ඉකුත් වූ පසුත් පාලනයට ලොබකම් කියූ දේශපාලකයන් නිසාය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ අවස්ථා ගණනාවක් සහ ජනාධිපති ධුරයේත් කටයුතු කළ චරිතයකි. අවසානයෙහි තම නිවසත්, පුස්තකාලයත් පීඩිත වූ ජනතාව අතින්ම පුලුස්සාගෙන යාමට ඔහුට සිදුවිය. එමෙන්ම රනිල් වික්‍රමසිංහ තවදුරටත් උත්සාහ දරන්නේ කෙසේ හෝ නැවත වතාවක් බලයට එන්නටය. බලයේ රහ බලන්නටය. අවුරුදු 30ක් එජාපයේ නායකකම් කොට පක්ෂය බින්දුවටම බැස්සවීමෙන් පසුද පුටුව දමා යන්නට රනිල්ට හිතක් නැත.
තම දේශපාලනයෙහි ඇති වත් පොහොසත්කම් හමුවේ පවුලේ උදවිය හටද එම බලය ලබාදී අගෞරවය ලැබූ දේශපාලන චරිත සඳහා ධනපාල උඩවත්ත කලාකරුවාගේ අදහස ඉතා වැදගත් වනු ඇත.
රංගන ශිල්පියකු හෝ ශිල්පිනියකද සිය ක්ෂේත්‍රයෙන් ගෞරවනීය ලෙස ඉවත් වීමට තීරණය කළ යුතුමය. මන්දයත් ඒ මත ඔවුන්ගේ රංගන හැකියාවන් ප්‍රේක්ෂක මතකය තුළ රැඳෙන නිසාය. නොයෙක් කලාකරුවන් තමන්ගේ ප්‍රධාන රංගන කාලසීමාව ඉක්මවා ගොස් චරිතයන්ට නොගැළපෙන වයස් සීමාව තුළදී ප්‍රධාන චරිත හෝ තරුණ චරිතයන් රඟපෑමට උත්සුක වීම බොහෝ අවස්ථාවන්හිදී ප්‍රේක්ෂක විවේචනයන්ට ලක්වීමට හේතුවන්නකි. එහිදී හුදෙක් නිසි කලට ගෞරවාන්විතව තිරයෙන් ඈත් නොවී සිටීම ඔවුනගේ සදාකාලික වූ කීර්තියට බලපෑමක් ඇතිකරනු නියත බවත් රංගන ශිල්පීන් හා ශිල්පිනියන් පසක් කරගත යුතුය. මන්දයත් තාරුණ්‍යයට ගැළපෙන ලෙස ඔවුනගේ රුචි අරුචිකම් හුදෙක්, තරුණ රංගන ශිල්පීන් හට ඇදී යන බැවිනි. ජෝ අබේවික්‍රම කලාකරුවාණන් ප්‍රේක්ෂක හදවත්හි අදටත් ගෞරවනීය ලෙස රැඳී පවතින්නේ ඔහුගේ සමුදීම නවකයන් හට ඉඩක් සලසමින් රංගන දිවියෙන් ඈත් වූ බැවිනි.
කර්තෘත්වයද එවැන්නකි. කර්තෘවරයකු තමන්ගේ කාර්යභාරය අවසන් වූ බැව් තීරණය කිරීමේ දී එය ඔවුනගේ සමස්ත කෘති එකතුවටම අරුතක් ගෙන්වනු ලබන්නකි. එමෙන්ම නිවැරදි වූ නිහඬ බව ඔවුනගේ නිර්මාණයන්හි පවත්නා ගුණාත්මකභාවයද රකිනු ඇත. මාර්ටින් වික්‍රමසිංහ ගත්කතුවරයා යනුද එවැනිම වූ චරිතයකි. නිර්මාණශීලී කලාකරුවන් හෝ කතුවරුන් නිසි කලට විශ්‍රාම නොයාම යනු හුදෙක් ගුණාත්මක නිර්මාණ බිහිවීම අවම කරන්නක් වනු ඇත. පුවත්පත් කර්මාන්තය තුළ බොහෝ සෙයින් මෙම ස්වරූපය දැකගත හැකිය. වර්තමානය වන විට පුවත්පත් බොහෝ සෙයින් පහතට වැටී ඇත. පැරණි කර්තෘවරුන්ගේ ස්වරූපය වර්තමානයට නොගැළපීම මීට මූලික හේතුවයි. නව තාක්ෂණයට, අලුත් ලෝකයට හුරු නොවීම තවත් හේතුවකි. ඒ නිසා අනාථ කර්තෘවරයන් එක තැන පල්වන ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ පල්වීම එළියට එන්නේ ඔවුන් කර්තෘත්වය දරන පත්තරවලිනි.
නවකයන් හට ඉඩ ලබා නොදීම පුවත්පත් කර්මාන්තය දිනෙන් දින බිඳවැටීමට ඉඩකඩ සලසනු ඇත. මන්දයත් නූතන තාක්ෂණය මෙන්ම ලෝක ගමන් මග පිළිබඳ යාවත්කාලීන වූ දැනුමක් ඔවුනට නොමැති බැවිනි. තවද තරුණ නවකයන් හට ඉඩහසර ලබා නොදෙමින් ඔවුනගේ පුටුව රැකගනිමින් නව අදහස් උද්දීපනය නොකරවීමට ඔවුනගේ ප්‍රයන්තය හුදෙක් පුවත්පත් කර්මාන්තය පහත හෙළීමට තවදුරටත් හේතු වන්නකි. නූතනය වනවිට තාරුණ්‍ය පුවත්පත් කියවීම අවම කොට ඇත්තේ ද මේ හේතුවෙනි. සෑම දිනකම එකම ආකාරයෙන් පුවත්පතක් කියවීමට හුදෙක් තාරුණ්‍ය රුචි නොකරයි. දිනෙන් දින එකම තැන පල්වෙවී ඇති කාලසීමාවක තාරුණ්‍ය වෙනුවෙන්, නවකයන් වෙනුවෙන් දොරගුළු විවර කරලීම විනා බහිරවයන් මෙන් මියයන තෙක් පුටු බදාගෙන රැඳී සිටීම සිදු නොවිය යුත්තක් බව ඔවුනොවුන් පසක් කරගත යුතුය.
ඒ අනුව ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ධනපාල උඩවත්ත මහතාගේ විශ්‍රාම යාම ඉහත සඳහන් කළ සියලු ක්ෂේත්‍රයන්හි නිවැරදි වෙලාවට අත්හැරයාමේ උතුම් දර්ශනයට කදිම උදාහරණයක් සපයයි. එය ශ්‍රී ලංකාවේ ජනාධිපතිකම්, අගමැතිකම්, නළුකම්, නිළිකම් සහ කර්තෘකම් ඇතුළු සියලු ක්ෂේත්‍රයන්ට අදාළ වන හරි වේලාව ආ සැණින් ගෞරවාන්විතව අත්හැර යායුතු බවත්,එය ජීවිත දර්ශනයේ ප්‍රායෝගිකත්වය හා සමකාලීන පිළිතුර බවත් ඔහු සඳහන් කරයි. එනයින් ඔහු ගත් තීරණය මගින් නිසි කලට ඉවත් නොවී අගෞරවයට පත්වීමට ඇති අවදානම වළක්වා ගනිමින් සිය කලා දිවියෙහි ගෞරවය ස්ථිරවම තහවුරු කිරීමට ධනපාල උඩවත්ත කලාකරුවාණන්ට හැකියාව ලැබීමත් ගෞරවයකි.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක
ජන සන්නිවේදන අධ්‍යයනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය










