BYD මෝටර් රථ මෙරටට ආනයනය කරන ජෝන් කීල්ස් සමාගමට තමන් මුදල් ගෙවා ඇණවුම් කළ BYD මෝටර් රථය මෙතෙක් තමන් වෙත ලබා දීමට අදාළ ආයතනය කටයුතු කර නොමැති බවට චෝදනා කරමින්, එලෙස අසාධාරණයට ලක්වූ 700ක පමණ සමූහයක නියෝජිතයන් පිරිසක් පසුගිය 04 වැනිදා කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි BYD ප්‍රධාන ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ. එහිදී අදහස් දැක්වූ එම සමූහයේ සාමාජිකයකු වන තොරතුරු තාක්ෂණ ඉංජිනේරු එම්.ඒ.පී. චින්තක මහතා සඳහන් කළේ තමන් ඇතුළු 700ක පමණ පිරිසක් BYD මෝටර් රථ ඇණවුම් කළ බවත්, ඒ අනුව එම රථ මීට මාස 5කට පමණ පෙර වරාය වෙත පැමිණ ඇති නමුත් මෙතෙක් අදාළ වාහන 700 වරායෙන් නිදහස් කර තමන් අතට පත්කිරීමට ජෝන් කීල්ස් සමාගම කටයුතු කර නොමැති බැවින් එම වාහන මේ වනවිට වරායේ දිරාපත් වෙමින් ඇති බවයි.Sri Lanka Latest News
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවැසීය.
‘මම එම්.ඒ.පී චින්තක. වෘත්තියෙන් මම තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙක්. මෙතැන ඉන්නවා අපේ හත්සියයක් පමණ වන බී.වයි.ඩී. සමූහයේ නියෝජිතයන්. ඒ සියලු දෙනාම බී.වයි.ඩී. රථ ජෝන් කීල්ස් ආයතනයෙන් ඕඩර් කරලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ බී.වයි.ඩී. රථ වරායට ඇවිල්ලා දැන් මාස පහක් තිස්සේ දිරනවා. ජෝන් කීල්ස් ආයතනය මේ මොහොත වෙනකන් ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑ.
දැන් උසාවියේ නඩු වාර කීපයක් තිබ්බා. දැනට අවසර දීලා තියෙනවා, බැංකු ඇපකරයක් මත මෙම වාහන ලබාදෙන්න. නමුත් ජෝන් කීල්ස් ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ. කල් මරනවා.
දැන්, මාස හයක් වරායේ දිරන වාහනයක් තමයි අපිට ලැබෙන්නේ. ආයතනය අපිට අවස්ථා තුනක් දුන්නා මීට මාසයකට කලින්. එකක් තමයි, අපි දීපු මුදල් මාස හතරකට පස්සේ අපිට කියනවා, රීෆන්ඩ් කරනවා කියලා. ඊට පස්සේ කියනවා ඕනෙ නම් රැඳී ඉන්න පුළුවන් කියලා වේටින් ලිස්ට් එකේ, සහ බී.වයි.ඩී. සී ලයින් 5 කියන වාහනයට යන්න කියලා. එතකොට හිතන්න ඩොල්ෆින් එකක් තියෙන කෙනෙක් ටෙන් මිලියන් ඉන්වෙස්ට් කරලා, තව මිලියන හයක් වැඩිපුර දීලා සී ලයින් ෆයිව් එකකට යන්න හැකියාවක් තියෙනවද? එහෙම අවස්ථාවක් නෑ. එයාලා අවස්ථාවක් දෙනවා තව මිලියන හයක් දීලා එයාලගේ තියෙන වෙන වාහනයක් ගන්න කියලා. එහෙම හැකියාවක් නෑ. ඇත්තටම කිව්වොත් මේ වෙනකොට අපිට තියෙන්නේ එක ඔප්ෂන් එකයි. එයාලා දීපු ඒ අවසාන ඔප්ෂන් ඉවර වෙලා තියෙන්නේ.
තවදුරටත් වේටින් ලිස්ට් එකේ ඉන්න, කවදා හරි වාහනේ දෙයි. කල්පයක් ගිහිල්ලා හරි දෙයි. මාස හයකට ආසන්නයි.’
මාධ්‍යවේදියා
මොන වගේ පියවරක්ද ඔබතුමාලා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ගන්නේ?
එම්.ඒ.පී චින්තක
‘අපි ජෝන් කීල්ස් ආයතනයට අද ආවේ පළමු වතාවට නෙමෙයි. මේ තුන්වැනි වතාව. මීට දෙපාරකට කලින්, සහ ඊට අමතරව අපි සමූහයේ අය සහ ඇඩ්මින්වරු ඇවිල්ලා හම්බවුණා මෙහේ නිලධාරීන්. නමුත් ඔවුන් කිසිම අවස්ථාවක අපට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග රැස්වීමක් දුන්නේ නෑ. සාමාන්‍ය සේවකයෝ එක්ක තමයි අපි කතා කරලා යන්නේ. අනිත් ඉතාම වැදගත් කාරණය තමයි, මේ ඉන්නේ සාමාන්‍ය පෙට්‍රල් වෙහිකල් එකට යන අය වගේ නෙවෙයි. මොකද මේ අයගෙන් 50%ක් විතර, මේ වෙනකොට ගෙදර සෝලර් ගහලා තියෙනවා මේ බී.වයි.ඩී. කාර් එක හින්දා. මිලියන දෙකක් විතර ඒ වෙනුවෙන් වැය කරලා තියෙනවා. ඊට අමතරව, තව වැය කරලා තියෙනවා, චාර්ජින් පොයින්ට් සඳහා. ලක්ෂ එකහමාරක් විතර. ඊට අමතරව සමහර අය ඉන්නවා දැන් මාස පහක් තිස්සේ තමන්ගේ තිබ්බ හොඳ වාහනේ විකුණලා, ඉලෙක්ටි්‍රක් වාහනයක් නිසා පාරේ බස්වල උදේ හවස වැඩට එන. මෙතැනට ඇවිල්ලා තියෙනවා කන්තලෙන්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, කුරුණෑගල, මහනුවර, රත්නපුර වගේ හැම දිස්ත්‍රික්කයකින්ම ආපු නියෝජිතයෝ මේ ඉන්නේ. ජෝන් කීල්ස් ආයතනය හැම තැනින්ම ඕඩර්ස් අරගත්ත අයගේ නියෝජිතයෝ මෙතැන ඉන්නේ. තාමත් ඕඩර්ස් ගන්නවා. මෑතක ඉඳන් තමයි ඕඩර්ස් නතර කළේ. ඊට කලින් ඕඩර්ස් ගත්තා. ඒ කියන්නේ මේ නඩු ප්‍රශ්නේ තියෙද්දිත් මෙයාලා ඕඩර්ස් ගත්තා. මේක ඔවුන් දැනුවත්ව කරපු වරදක්. නැත්නම් මිනිස්සු අමාරුවේ දාන්නේ නෑනේ.
දැන් ඔප්ෂන් නැතිවෙලා තියෙනවා. මාස පහක් ඉඳලා දැන් මොකක්ද කරන්නේ? අපේ වාහනේ වරායේ තියෙනවා. අපි වෙන වාහන හොයන්න ඕනේ. දෙවැනි කාරණය, ඒ මොහොතේ අපිත් එක්ක කතා කළේ, කිලෝවොට් 70 වාහනයක්. 100 වාහනයක් මිස, අපි ඔය නොදන්නා කිලෝවොට් 150 හෝ ඊට වැඩි ධාරිතාවක් තියෙන වාහනයක් අපි ඇණවුම් කළෙත් නෑ. එහෙම ප්‍රශ්නයක් තිබ්බත් අපි ඒක දන්නෙත් නෑ. ඒක අපිට අදාළත් නෑ. ජෝන් කීල්ස් ආයතනය අපිත් එක්ක එකඟ වෙච්ච ගානට, එකඟ වෙච්ච මුදලට අපේ වාහනේ පුළුවන් තරම් ඉක්මනට, ඉතා නුදුරේම තියෙන නඩු වාරයේදී අපට මේ වාහනේ ඕනේ. මොකද ඒකට අවස්ථාව ජෝන් කීල්ස් එකට තියෙනවා. අපට වෙන කිසිම ප්‍රශ්නයක් නෑ. ජෝන් කීල්ස් එකට තියෙන්නේ, අදාළ බැංකු ඇපකර ටික දීලා අපේ වාහන රිලීස් කරගන්න. අපේ ප්‍රශ්නේ ඉවරයි. කියපු මිලට. අපේ ප්‍රශ්නේ එතැනින් ඉවරයි.’
චානක ලියනගේ










