මෙන්න මෙහෙම සින්දුවක් තියෙනවා. සමහර වෙලාවට ඔයාලා අහලා ඇති.
‘කොළඹ නගරෙ රෑට පැරිස් නුවර වාගෙ දිලෙනවා
කැඩුණු ලොරි බස් කබලකට වෙලා කොල්ලෝ නටනවා
පෙනේ ආලෝකේ කහපාටට කෙළින් වීදියේ
මගේ බරබාගේ රෝදෙ ගිහින් වැටුණා කානුවේ
කොළඹ නගරෙ රෑට පැරිස් නුවර වාගේ දිලෙනවා’. (Sri Lanka Latest News)
කොළඹ නගරේ රෑට පැරිස් නුවර වගේ වුණාට දවාලට අපායක් වගේ. වැස්ස දවස්වලට කොළඹ තරම් අපිරිසුදු අප්‍රසන්න තැනක් නැහැ. මේක කොළඹ නගරයේ අවුරුදු දෙකක් තිස්සේ පිටකොටුවේ, කොටුවේ වීදි අස්සේ රහස් හොයන්න නාගරික ජනශ්‍රැතිය ගැන හොයන්න ඇවිදපු කෙනෙක් විදියට මේ පත්තරකාරයා හොඳටම දන්නවා. සමහර තැන් තියෙනවා ඒ වීදිවල තාර දාලත් නෑ, කොන්ක්‍රීට් දාලත් නෑ, කළුගල් අතුරලත් නෑ, වැලිත් නෑ, පසුත් නෑ. ඒවා තනිකරම මඩ පාරවල්. සමහර තැන් තමයි වෙසක් පෝය කාලෙට ජීවමාන අපාය පෙන්වනවා කිව්වම අපට මතක් වෙන්නේ. එහෙම කිව්ව කාලයක් තිබුණට අපේ දේශපාලකයෝ සමහර අය කිව්වා අපි කොළඹ නගරේ හදලා ඉවරයි. දැන් කොළඹ ලස්සනයි කියලා. සමහර අය ඇවිල්ලා තමන්ගේ දේශපාලන කැම්පේන් එකේ ඉහළින්ම තියාගෙන හිටියේ කොළඹ නගරය ලස්සන කරන එක. ජනාධිපතිවරු, ඇමැතිවරු බොහෝ දෙනෙක් මේ සෙල්ලම දැම්මා. එතකොට ඒගොල්ලෝ කිව්ව දෙයක් තමයි කොළඹ ප්‍රශ්න ඉවරයි, දැන් කොළඹ සුරංගනා ලෝකයක් වගේ, රෑට විතරක් නෙවෙයි දවල්ටත් කොළඹ පැරිස් නුවර වගේ කියලා. නෙළුම් කුලුන හැදුවට පස්සේ අපටත් හිතුණා කොළඹ ටිප් ටොප් එකට හදලා ඇති කියලා.
කොළඹ ජොගින් පාත් හදලා, කැට අල්ලලා, මල් පෝච්චි තියලා, තීන්ත ගාලා ජෑම් ගාපු පාන් කෑල්ලක් වගේ කොළඹ ලස්සන වුණා. ඔය ලස්සන එහෙන් මෙහෙන් අඩුවෙලා නන්නත්තාර වෙලා, විනාශ වෙලා, පිස්සු පීකුදු වෙලා යන්න පටන් අරගත්තේ මේ වතාවේ මහ වැස්සත් එක්ක. ඇත්ත කතාව මේ වතාවේ වැටිච්ච මහ වැස්ස හිතාගන්න බැරි විදියේ වැස්සක්. මාපකවල සඳහන් වෙච්ච අංකවලට අනුව ගත්තම මිලිමීටර් ප්‍රමාණ අනුව ගත්තම ඇහැලියගොඩට වැහැපු මිලිමීටර් 200 ඉක්මවූ වැස්ස වාර්තාගත ඉහළ යෑමක්. මොකද අපි දන්නවා ඇහැලියගොඩ මාපකයේ වැස්ස සඳහන් වෙලා තිබුණේ මිලිමීටර් 429ක විතර අගයක්. ඒක 400ට වැඩි අගයක් ගැනීම අපිට අපේ ජීවිත කාලෙ පුරාම අතිශය නුහුරු අත්දැකීමක් බවට පත්වුණා. ඒ නිසාම වැස්ස ලොකුයි, සැඩපහර වැඩියි, වතුරෙන් සිදුවෙච්ච හානිය වැඩියි. ඒක නිසා වැස්ස කරන හානියේ ප්‍රමාණාත්මකව විශාල බවක් තියෙන බව ඇත්ත. ඒත් සුරංගනා ලෝකයක් බවට පත්කරපු කොළඹට කොහොමද මේ වැලි කොට්ට උඩිනුත් වතුර එන්නේ? කැලණි ගඟේ දාපු වැලිකොට්ට උඩිනුත් කොළඹට වතුර ආවා. කොළඹ එක පැත්තක්ම යටවුණා. කොළොන්නාව වගේ ප්‍රදේශ සම්පූර්ණයෙන් යටවෙලා වීදිවල යන්න එන්න බැරි තරමටම නන්නත්තාර වෙලා මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙන තරමටම වතුර වැඩිවුණා.
පුවක්පිටියෙන් එහා පැත්තේ විශාල ජල කඳක් ගෙවල්වලට ගලාගෙන ආවා. සමහර ප්‍රදේශ ලියුම්කරු ලියන මොහොත වෙද්දිත් කැලණි ගඟ වටේ ප්‍රදේශ දිගින් දිගටම යටවෙමින් තියෙනවා. මේක අලුත් අත්දැකීමක් නෙවෙයි. අපි දන්නවා කපුගේගේ සින්දුවක් තියෙනවා ‘නාගලගම් වීදියේ වතුර ගැලූ සන්දියේ තෙමිච්ච කිකිළි වගේ නුඹ උන්නා කට සැර අම්මණ්ඩි’ කියලා. ඒ කියන්නේ නාගලගම් වීදිය තමයි ලංකාවේ තියෙන ප්‍රසිද්ධම ජල මාපකය පිහිටා තිබෙන තැන. ඒ කියන්නේ ගංවතුර අගය, ජල මට්ටම කොච්චරද කියන එක සටහන් වෙන තැන. සාමාන්‍යයෙන් ආමර්වීදිය වගේ ප්‍රදේශවලට වැහි පොදක් වැටුණත් ජලයෙන් යටවෙනවා. මහ වැහි අවශ්‍ය නෑ. ඒක ආමර්වීදියට නෙවෙයි පිටකොටුවට, බෞද්ධාලෝක මාවතට, බොරැල්ලටත් පොදු කාරණයක්. මහ වැහි වහින්න ඕනේ නෑ. පාර දෙපැත්තේ හදලා තියෙන පදික වේදිකා, කොන්ක්‍රීට් තාප්ප, කානු වගේ දේවල් නිසා වතුර එකතු වීමේ සම්භාවිතාව වැඩියි. හැබැයි මේ ඔක්කොම නිරාකරණය කරලා කොළඹ හැදුවට පස්සෙත් කොළඹ යටවෙයි කියලා අපි නම් හිතුවෙම නෑ. නමුත් මේ වතාවේ තමයි තේරුණේ මේ හැම දේශපාලකයම දාලා තියෙන්නේ සුපුරුදු පරිදි සෙප්පඩවිජ්ජාවක් කියලා. නිකන් කොළඹ හැදුවා, කොළඹ සුරංගනා ලෝකයක් කෙරුවා, ලස්සන කොළඹක් හැදුවා අරකයි මේකයි කියපු ‘යකඩ මිනිස්සු’ මලකඩ කාලා නිකන් බොරු ආටෝපෙකට අපි අහුවෙලා කියන එක දැන් පැහැදිලියි.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මැතිවරණයේදී ජයග්‍රහණය කරලා ජනාධිපතිවරයා බවට පත්වුණත් ඔහුව පසුව මහජනතාව විසින් එළවා දැමීමෙන් අනතුරුව අපි හිතුවා මේ ඔක්කොම ප්‍රශ්න නිරාකරණය වෙයි කියලා. මොකද එයා විතරයි බොරු කියලා තියෙන්නේ, එයා තමයි නරක, එයාව අයින් කළාම මේ ඔක්කොම ඉවරයි කියලා. හැබැයි බලාගෙන ගියාම එයා විතරක් නෙවෙයි බොරු කියපු තව කට්ටිය ඉන්නවා. තව මිනිස්සුන්ව රවට්ටපු කට්ටිය ඉන්නවා. එක්කෝ ඒගොල්ලෝ අපිව රවට්ටනවා, නැත්නම් ඒගොලන්ව නිලධාරීන් විසින් රවට්ටලා, එහෙමත් නැත්නම් මේ දෙගොල්ලොම එකතු වෙලා ජනතාව රවට්ටලා. දැන් මේ කතාවේ හරය තමයි හුඟක් යටවෙච්ච තැන්වල ඉන්න මිනිස්සු කියන්නේ මේක අදක ඊයෙක වෙච්ච දෙයක් නෙවෙයි අවුරුදු 20ක් 30ක් තිස්සේ අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා කියන එක. අපි වෙනුවෙන් කවුරුවත් එන්නේ නෑ, අපිට කවුරුවත් උදව් කරන්නේ නෑ, යටවුණාට පස්සේ ඇවිත් කෑම ටිකක් බෙදලා දුන්නම, බෝට්ටුවෙන් ඇවිත් අපිව ගොඩට අරගෙන පැත්තකින් තියලා ගියාම ආයෙත් අපි මොකද කරන්නේ අව්ව පෑව්වට පස්සේ වැස්ස ඉවර වුණාට පස්සේ තියෙන බඩු ටික සුද්ද කරගෙන අව්වට වේළිච්ච දේවල් ගේ ඇතුළට අරගෙන, විනාශ වෙච්ච දේවල් ටික වීසි කරලා දාලා පරණ පුරුදු විදියටම ජීවිතේ පටන් අරගන්නවා. ආයෙත් මැයි මාසේ අග වෙද්දී වහිනවා. ආයෙත් ගංවතුර දානවා. ආයෙත් අපි තෙමෙනවා. අපේ දේවල් අපිට අහිමි වෙනවා. අපි ගෙවල් දොරවල් දාලා පැනලා යනවා. ඉන් පස්සේ ආයෙත් ටික දවසකින් අපි ගංවතුරට හුරුවෙලා ගංවතුර බැහැලා ගියාට පස්සේ ගෙවල්වලට ඇවිත් සාමාන්‍ය විදියට ජීවත් වෙනවා.
දේශපාලකයෝ කියන්නේ ‘නෑ දැන් එහෙම වෙන්නේ නෑ, ඉස්සර වුණාට දැන් එහෙම වෙන්නේ නෑ. මගේ කාලේ මම කොළඹ යටවෙන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ආයෙත් කොළඹ යටවෙන්නේ නෑ…’ වගේ සුරංගනා කතන්දර. හැබැයි ආයෙ එහෙම වෙන්නේ නෑ කියලා හිතාගෙන හිටියට, වැස්සට පස්සෙයි අපිට තේරෙන්නේ නෑ, ඒ කරලා තියෙන්නේ බොරුවක්, ආයෙමත් අපි අනාතයි කියලා. ඒක නිසා මේ විදියට දිගින් දිගටම අනාත වෙන්න අපිට බෑ. රටේ මිනිස්සුන්ට බෑ. මේ ලස්සන කොළඹයි, අරකයි මේකයි කියාගෙන හදපු සුරංගනා කතා බයිලා බව තේරුම් අරගෙන, නිවැරැදි වැඩපිළිවෙළක් අරබයා ගොනාට අන්දන වැඩපිළිවෙළක් නොවී මේ කොළඹට නිවැරැදි පිළිවෙළක් දෙන්න පුළුවන් මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවලා තනතුරු තාන්න මාන්න දීලා කොළඹවත් අඩුම තරමින් මහ ගංවතුර තත්ත්වයෙන් මුදාගන්න කටයුතු නොකළොත් ඉස්සරහට ලෝකය ඉදිරියේ අපිට කලිසමක් ඇඳගෙන ඉන්න බැරි තැනකට පත්වෙන්න පුළුවන්. මොකද මේ ප්‍රධාන නගරය, වාණිජ අග නගරය, පාර්ලිමේන්තුව තියෙන්නේ මේ ආශ්‍රිතව. මේ සියල්ලම තියෙද්දීත් අපට තවමත් අඩුම තරමින් ගංවතුර දාන එක විතරක් නෙවෙයි වතුර දැම්මට පස්සේ ඒ වතුර බැස්මක් හදාගන්න බැරිවෙලා තියෙනවා. කැලණි ගඟ උතුරලා එන වතුරට අමතරව මහ වැස්සෙන් එකතුවෙන වතුර ටිකවත් කොහෙටවත් බස්සන්න වැඩපිළිවෙළක් හදාගන්න බැරිවෙලා තියෙනවා. කොළඹ ලස්සන කළා, දැන් ගංවතුර නෑ කියලා කිව්වට අඩුම තරමින් මහ වැස්සට වතුර එකතු වෙන එකවත් නවත්තන්න අපි ක්‍රමයක් හදලා නෑ.
ඒ නිසා මේ බොරු කිරීම නවත්තලා ඇත්ත කරන්න පුළුවන්, ඇත්ත කියන්න පුළුවන් මිනිස්සුන්ව තනතුරුවලට පත් කරගත්තොත් අඩුම තරමින් තව අවුරුදු 2ක් 3ක් ඇතුළතවත් ගංවතුරට යට නොවී වැහි වතුරට යට නොවී යන්තම් ජීවිතේ ගැටගහ ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා

ජීවන පහන් තිළිණ








