‘නෙමෙසියෝ රූබන් ඔසෙගුරා සෙර්වාන්ටෙස්’ නොහොත් ‘එල් මෙන්චෝ’ මෙම අපූරු නාමය වෙයි. මොහුගේ නාමය දිගු වැඩි නිසා මෙන්ම ඔහුට කෙටි අන්වර්ථ නාමයක්ද භාවිත වෙයි. මෙම නාමයට යටින් ඇත්තේ තවත් අපූරු කියමනකි. මොහු පණ පිටින් අල්ලා දෙනු ලබන හෝ ඔහු මරා හිස ගෙනැවිත් දෙන හෝ එසේත් නැත්නම් ඔහු අල්ලා ගැනීමට සත්‍ය ඔත්තුවක් සපයන්නකුට හෝ ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක (ඩොලර් ලක්ෂ 150ක) සුවිශාල මුදල් ත්‍යාගයක් පිරිනමනු ඇත. මෙම මුදල මෙක්සිකානු පෙසෝවලින් පෙසෝ මිලියන 300කි. මෙම නිල නිවේදනය නිකුත් කරනු ලබන්නේ ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව විසිනි. දැන් එසේනම් මෙම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෙතරම් ප්‍රමාණයක්ද? එය මෙරට මුදලින් රුපියල් කෝටි 220ක් පමණ වෙයි. එනම් මෙය අතිවිශාල මුදල් සම්භාරයකි.
මෙම අපූරු කතාව අපට ඇසෙන්නේ කෙතැනකින්ද? පසුගිය සමීප කාලයක සිට මෙම පුවත අපට අසන්නටත්, දකින්නටත් ලැබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටය. මෙම මිනිසා ග්‍රහණයට ගෙන දෙන්නකුට රුපියල් කෝටි 220ක විශාල තෑගි මුදලක් ලබාදෙන්නට තරම් මොහුගේ සුවිිශේෂත්වය කුමක්ද? කෙසේ හෝ ඉදිරියට අප මෙම මිනිසාගේ කෙටි නාමයෙන් හඳුන්වා සිටිමු. ‘එල් මෙන්චෝ’ යනු දැනට ලෝකයේ සිටින අංක එකේ භයානකම සහ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම් අපරාධකරුවාය. තවත් ආකාරයකින් කිවහොත් මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධාන රජෙකු හෝ අධිපතියකු ලෙස සැලකිය හැකිය. දැනට ලෝකයේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය ඇත්තේ උතුරු ඇමෙරිකානු රාජ්‍යයක් වන මෙක්සිකෝවේ ලෙස සැලකෙයි. එනම් එරට හරහා ලෝකයේ රටවල් රාශියක් වෙත මෙම ජාලය ක්‍රියාත්මක වෙයි. මෙහිදී ඇමෙරිකාව ප්‍රධාන වශයෙන් කාලයක් පුරා චෝදනා කරන්නේ ඇමෙරිකාවට බහුතරයක් මත්ද්‍රව්‍ය තොග පැමිණෙන්නේ මෙක්සිකෝවෙන් බවටය. මේ හෙයින් මෙම තත්ත්වය වහා මැඬලීමට කටයුතු කළ යුතුයැයි ඇමෙරිකානු බලධාරීන් නිරන්තරයෙන්ම ප්‍රකාශ කළේය. මෙහිදී ඇමෙරිකානු වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ස්ථාවරයක සිටිමින් කටයුතු කරනු ලබයි. ඉහත මෙක්සිකානු ජාතික ‘එල් මෙන්චෝ’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් රජා මේ වනවිට ලෝකය පුරා ව්‍යාප්ත කළ මත්ද්‍රව්‍ය ජාලය හඳුන්වා ඇත්තේ ‘ජලිස්කෝ නිව් ජෙනරේෂන් කාර්ටල්’ ලෙසිනි.
අද ඔබට ලියා තබන මෙම කතාන්දරයේ ත්‍රාසජනක සහ ආන්දෝලනාත්මක පිටු පෙරළෙන්නේ මෙතැන් සිටය. ඉහත එල් මෙන්චෝ නමැති ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය ජාවාරම් අපරාධ රජාට දැන් සිදුව ඇත්තේ කුමක්ද? එය සැබැවින්ම චිත්‍රපට කතාවක් පවා අභිබවා යන මහා ගිනි ජාලාවක කතාන්දරයකි. මෙයට දින දෙක තුනකට ඉහතදී මෙක්සිකෝවේදී සිදුවූ මෙම යුද්ධය විටෙක ත්‍රස්තවාදී යුද්ධයකට වඩා බියකරු විය. එනම් මෙම එල් මෙන්චෝ නම් මහා ගෝලීය අපරාධකරුවා අල්ලා ගන්නට හෝ විනාශ කර දමන්නට හෝ මහා මෙහෙයුමක් මෙක්සිකෝව තුළදී ක්‍රියාත්මක විය. මෙය මූලික වශයෙන් සැලසුම් කිරීමට සහ මෙහෙයවීමට පූර්ණ සැලසුමක් සකස් කරනු ලැබුවේ ඇමෙරිකාව විසිනි. එනම් එල් මෙන්චෝ සහ ඔහුගේ අපරාධ සංවිධානය ගැන මාස ගණනාවක් පුරා තොරතුරු නිරීක්ෂණය කිරීමෙන් පසු එම ඔත්තු ඉතා රහසිගතව මෙක්සිකානු රාජ්‍ය ආරක්ෂක අංශ වෙත ලබාදෙන ලදී. එල් මෙන්චෝ තමන්ගේ මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ සංවිධානය මෙහෙයවනු ලැබුවේ තමන්ම ඉතා සජීවීව සහභාගි වෙමින් මෙක්සිකෝව තුළ සිටිමින්ය. මොහුගේ සංවිධානය කෙතරම් බලගතුද යත් එහි සන්නද්ධ සාමාජිකයන් දහස් ගණනක් සිටිති. මොවුහු ඉතා නවීන අවි ආයුධවලින් සන්නද්ධ වී සිටින අතර, ඕනෑම මොහොතක මෙක්සිකානු හමුදාව සමග සටන් වැදීමට පවා බලගතුව සිටිති. පසුගිය සමයේ එවැනි ගැටුම්ද ගණනාවක් සිදුව ඇත.
පසුගිය ඉරිදා මෙක්සිකෝවේ කඳු සහිත නගරයේදී මෙම මහා මෙහෙයුම සිදුවිය. ත්‍රස්තවාදී ගැටුමක ස්වරූපය ගත් මෙම ගැටුම පියවරෙන් පියවර සාර්ථක කරගැනීමට ඇමෙරිකාව සහ මෙක්සිකෝව සැලසුම් කර තිබිණි. එම පියවර කුමක්දැයි සොයා බලමු.
■ මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ සිටි සිට කි.මී. 678ක දුරින් පිහිටි ටපල්පා නමැති කඳුකර නගරයේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී. මෙම ප්‍රදේශය එල් මෙන්චෝ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බලප්‍රදේශය විය. මුලින් ඇමෙරිකාවේ සී.අයි.ඒ. ඔත්තු සේවය විසින් ලබාදුන් උපදෙස් සහ රහසිගත ඔත්තු මත මෙක්සිකානු ගුවන් හමුදා නායකයන් මගින් අපරාධකරු ප්‍රධාන සන්නද්ධ සාමාජිකයන් ගමන් කරන රථ පෙරහැරක් නිරීක්ෂණය කරන ලදී. ඒ හා සමගාමීව මෙක්සිකානු යුද හමුදාවේ විශේෂ කාර්ය බළකායේ කමාන්ඩෝ සෙබළුන් විසින් බිම් මට්ටමේ ප්‍රහාරයක් සංවිධාන කර තිබිණි. එල් මෙන්චෝගේ රථ පෙරහැරෙහි ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කළ හැකි රොකට් ලෝන්චර් ප්‍රහාරක රථද විය. දරුණු හමුදා ප්‍රහාරයක් එල්ල වන බව දැනගත් අපරාධකරුවන් හමුදාවන්ට තමන් දෙසට ඒමට නොහැකි වනසේ දිගු විශාල බස් රථ රැසක් දමා පාරවල් අවහිර කර තිබිණි. එහෙත් මෙම බාධක සියල්ල මැඬගනිමින් හමුදා සෙබළුන් ප්‍රහාරය ඉතා සාර්ථකව සිදු කළේය. අපරාධකරුවන්ද දිගට හරහට ප්‍රහාර එල්ල කළත් එය අසාර්ථක විය. අවසානයේදී මෙම සටනින් එල් මෙන්චෝ සහ ඔහුගේ අපරාධ සාමාජිකයන් 6 දෙනකු ඝාතනයට ලක්වූ අතර හමුදා සෙබළුන් තිදෙනකුද තුවාල ලැබීය.
එල් මෙන්චෝ යනු හිටපු පොලිස් නිලධාරියකු සහ 60 හැවිරිදි මෙක්සිකානු ජාතිකයකු වන අතර, ඔහුගේ පුත්‍රයා වන 36 හැවිරිදි රූබන් ඔසෙගුරා ගොන්සාලෙස් නොහොත් එල් මෙන්චිටෝ නමැත්තා මෙම අපරාධ සංවිධානයේ දෙවැනියා වෙයි. ඔහු මින් පෙර 2018දී අත්අඩංගුවට පත්ව දැනට ඇමෙරිකාවේ බන්ධනාගාරයක ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටියි. ඇමෙරිකාවේ ධවන මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශිකා කැරොලින් ලැවිට් ප්‍රකාශ කර සිටියේ මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමට හැකිවූයේ ඇමෙරිකාවේ රාජ්‍ය තන්ත්‍රයේ මැදිහත්වීම නිසා බවයි. මෙක්සිකෝවේ වත්මන් ජනාධිපතිනිය ක්ලෝඩියා ෂෙයින්බර්ම්ද එම මතය තහවුරු කර තිබිණි.
■ මෙලෙස මුළුමහත් ලෝකයටම මහා දරුණු පිළිලයක් වූ එල් මෙන්චෝ නමැති මෙම අපරාධකරුවා ඝාතනය කර දැමීම ප්‍රශංසාවට ලක්වන කරුණකි. එසේම මෙවැනි මෙහෙයුම් ලෝකයේ අනෙකුත් රටවල්ද ආදර්ශයට ගත යුතුය. සැබැවින්ම එය ශ්‍රී ලංකාව වැනි රටකට පවා මහත් ආදර්ශයකි. එසේ වන්නේ අද වර්තමානයෙහි ශ්‍රී ලංකාව පවා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ගිලගත් රටක් වීම හේතුවෙනි. මෙරට තුළ දිනෙන් දින එම විනාශය උග්‍ර වන ආකාරය දක්නට හැකිය. වත්මන් මෙරට රජයට පවා එම උවදුර මෙල්ල කරගැනීමට නොහැකිව අකර්මණ්‍ය තත්ත්වයකට පත්ව ඇති ආකාරය පෙනෙන්නට ඇත. එමෙන්ම වෙනත් විවිධ අපරාධද දිනෙන් දින උග්‍ර වෙයි. මේ විදියට ගියොත් අපටත් සිදුවන්නේ ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානයේ ආධාර උපකාර පැතීමටද යන්න පැනයක් වනු ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ










