නෝනාවරුනි, මහත්වරුනි, අවසරයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කකුලෙන් ඇදීම සහ ඉතිහාසය එසේ වෙනස් කිරීමට එරෙහිව මේ කතාව ආරම්භ කිරීමට අවසරයි.
අපි දන්නවා ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අලුතින් එනවාය කියන එක ගැන අලුත් ආරංචියක් අපිට ආවා. ඉතින් හරි සතුටුයි. රටකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. අධ්‍යාපනයට ප්‍රතිසංස්කරණ ඉදිරිපත් නොකරන ආණ්ඩුවකින් වැඩක් නැහැ. පහුගිය කාලේ සමහර ආණ්ඩු තිබ්බා, ඒගොල්ලො අධ්‍යාපනය ගැන හිතුවෙම නැහැ. ඒගොල්ලො දැනගෙනවත් හිටියෙ නැහැ, අධ්‍යාපනය කියලා කියන්නෙ මේ රටේ අතිශය වැදගත් කාරණයක් කියලා. හුඟාක් අය හිතාගෙන හිටියා අධ්‍යාපනය කියන්නෙ සත පහකටවත් වැඩක් නැති දෙයක් කියලා. අධ්‍යාපනයෙන් ඉදිරියට නොගිය අයට අධ්‍යාපනය ගැන අදහසක් නැහැ. අපි දන්නවා හරිනි, අනුර ඇතුළු මේ කණ්ඩායමේ ඉන්න බොහෝ දේශපාලකයෝ තමන්ගෙ ජයග්‍රහණ අධ්‍යාපනය හරහා ලබාගත්තු කට්ටිය. අධ්‍යාපනය වෙනුවෙන් පෙනීහිටපු කට්ටිය. අපි දන්නවා අධ්‍යාපන ධවල පත්‍රිකාව වෙලාවෙ, මේගොල්ලො ‘රනිල් රනිල් ගොනා ගොනා’ කියලා පාරට බැහැලා පෙළපාළි ගියා. මේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන, මේ වෙලාවෙ ආණ්ඩුවෙ ඉන්න බොහෝ දෙනෙක් ඒ ධවල පත්‍රිකා සටනෙදි ශිෂ්‍යයින්ගෙ පැත්ත අරගෙන කටයුතු කරපු අය. ඒත් දැන් මේ වෙලාවෙ රනිල් නැහැ. ආණ්ඩුව තියෙන්නෙ මාලිමාවෙ කට්ටියගෙ, නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායමක ආණ්ඩුවක් තියෙන්නෙ. මේ තත්ත්වයත් එක්ක අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන බලාගෙන ඉන්නවා.
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කාරණයක් වෙන්නෙ, 10, 11 ශ්‍රේණිවල විෂයයන් පහක් පමණක් ශිෂ්‍යයන්ට අනිවාර්ය කිරීම සහ අනිත් විෂයයන් තෝරාගැනීම සඳහා ශිෂ්‍යයන්ට අවස්ථාව දීම. Sri Lanka Latest News
මෙතනදි ‘මදර් ලැන්ග්වේජ්’ කියලා තමයි මේ සඳහනේ තියෙන්නෙ. ඒ කියන්නෙ මවු භාෂාව. සිංහල නම් මවු භාෂාව සිංහලත්, දෙමළ නම් දෙමළ භාෂාව දෙමළත්, වෙනත් මවු භාෂාවක් තියෙනවා නම් ඒ භාෂාවත් අපි දන්නවා මේ විදිහට ගියාම අධ්‍යයනය කරන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කරලා තියෙනවා හැම ශිෂ්‍යයෙකුටම. ගණිතය, විද්‍යාව සහ ආගම කියන විෂයයන් තමයි මේ විදියට අනිවාර්ය කරලා තියෙන්නෙ.
අපිට තියෙන ප්‍රශ්නෙ ඊළඟට තමයි පටන් අරගන්නෙ. ඊට පස්සෙ තියෙනවා විෂයයන් අතරින් දෙකක් තෝරාගැනීමේ අවස්ථාව ශිෂ්‍යයන්ට. මෙහිදී විෂයයන් අතර තියෙනවා ‘සෙකන්ඩ් නැෂනල් ලැන්ග්වේජ්’ කියන එක තෝරගන්න පුළුවන් අවශ්‍ය නම්. ඒ කියන්නෙ, සිංහල ශිෂ්‍යයෙක්ට දෙමළ භාෂාවත්, දෙමළ භාෂාව ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්ට සිංහල භාෂාවත් තෝරාගන්න පුළුවන්. ඒ වගේම ‘ඉන්ෆොමේෂන් ඇන්ඩ් කොමියුනිකේෂන් ටෙක්නොලොජි’, ඒ කියන්නෙ අයි.සී.ඩී. කියලා අපි හැමෝම දන්න විෂය, තොරතුරු තාක්ෂණ අධ්‍යයනය කියන විෂය තියෙනවා. ඉතිහාසයත් තියෙනවා. ඒ වගේම අපි දැන් පුරවැසි අධ්‍යයනය කියලා විෂයක් ඉගෙන ගන්නවා. ඒ විෂය තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය කියන විෂය තියෙනවා. තාක්ෂණය කියලා වෙනම විෂයයක් තියෙනවා. ඒ විෂය යටතේ තාක්ෂණික විෂයන් පහක් වෙන් කරලා තියෙනවා. එතැනදි කෘෂිකර්මය, ඒ වගේම මෝස්තර නිරූපණය, ආහාර වගේ විෂයයන් මේ ඇතුළෙ තියෙනවා. ඒවා ඉංග්‍රීසියෙන් තමයි නම් කරලා තියෙන්නෙ. මේවායේ නිවැරදි තේරුම අපිට හරියට පැහැදිලි නැහැ. නමුත් අපි දන්නවා උසස් පෙළ විෂය ධාරාවෙ තියෙන විෂයයන් හා සමාන ජෛව තාක්ෂණය සම්බන්ධ විෂයයක් එහෙම මේකෙ ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම ‘ජියොග්‍රෆි’ කියන විෂය තෝරාගැනීමේ විෂයක් විදියට ඇවිල්ලා තියෙනවා, දැන් සාමාන්‍ය පෙළට.
ඒ වගේම ‘ආර්ට්’ නැත්නම් කලා විෂයයන් ටික ඔක්කොම එක බකට් එකක දාලා තෝරගන්නවා නම් තෝරගන්න කියලා දීලා තියෙනවා. එතැන තියෙනවා බටහිර සංගීතය, පෙරදිග සංගීතය, කර්ණාටක සංගීතය, නැටුම්, ඉන්දියානු නර්තනය, ඒ වගේම චිත්‍ර, නාට්‍ය සහ මේ විෂයයන් ටික. ඒ වගේම තවත් එක විෂයක් තියෙනවා, ‘එන්ටප්‍රනර්ෂිප් ඇන්ඩ් ෆයිනෑන්ෂල් ලිටරසි’ කියලා. මං හිතන්නෙ මේ තියෙන්නෙ ව්‍යවසායකත්වය කියන විෂය. මේ විෂය නිර්දේශිත කොටසක් විදිහට අපි දකිනවා.
අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නෙ නැහැ මේක අපිට තියෙන ප්‍රශ්නයක්ද කියලා. සිංහල සාහිත්‍ය සහ ඉංග්‍රීසි සාහිත්‍ය කියන විෂයයන් දෙක අපි දන්නවා මේ කාලේ ලංකාවේ ශිෂ්‍යයෝ ඉගෙන ගත්තා. ගොඩක් කට්ටියට අමතක වෙච්ච එකක් තමයි ඒක. ඒවා තිබුණෙ මේ කලා විෂයයන්, නැත්නම් සෞන්දර්ය විෂයයන් යටතේ. සෞන්දර්ය විෂයයන් වෙනුවට සමහර ශිෂ්‍යයන්ට සිංහල සාහිත්‍ය තෝරගන්න පුළුවන්කම තිබුණා. සමහර ශිෂ්‍යයන්ට ඉංග්‍රීසි සාහිත්‍ය තෝරගන්න තිබුණා. නමුත් මේ විෂය නිර්දේශය ඇතුළෙ කොහෙවත් සිංහල සාහිත්‍යවත්, ඉංග්‍රීසි සාහිත්‍යවත් තෝරාගැනීමේ විෂයක් විදිහටවත් දරුවන්ට ලැබෙන්නෙ නැති බව තමයි පැහැදිලිව පේන්න තියෙන්නෙ.
අපි දන්නෙ නැහැ මේ අපිට ලැබුණු ස්ලයිඩ් එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද කියලා. මේ ස්ලයිඩ් එකට වඩා වෙනස් ස්ලයිඩ් එකක් ඔවුන් ගාව තියෙනවද කියලා අපි දන්නෙත් නැහැ. අපි හැම වෙලාවකම ඉතිහාසය ගැනයි, සෞන්දර්ය විෂයයන් ගැනයි කතා කළාට, සිංහල සාහිත්‍ය ගැනයි, ඉංග්‍රීසි සාහිත්‍ය ගැනයි කවුරුත් කතාකරලා නැහැ. නමුත් අපිට පේන්න තියෙනවා මේ විෂයයන් දෙකත් මේ අනුව ඉවත් වෙලා ගිහිල්ලා.
දැන් විවිධ ප්‍රශ්න අපි දකිනවා කතාබහ කෙරෙනවා. ගුරු මවුපියවරු මේ කණ්ඩායම් එකතු වෙලා මේ ගැන සාකච්ඡා කරනවා. ආණ්ඩුවට පක්ෂපාතී උදවිය කියනවා ඉතිහාසය එහෙම අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම දැන් අලුත් කතාබහක් ඇවිල්ලා තියෙනවා, ඉතිහාසය පුංචි පන්තිවල ඉඳලා අනිවාර්ය කරලා නවය වසර වෙනකන්. ඊළඟට උසස් පෙළ විෂය නිර්දේශය යටතේ බයෝ, නැත්නම් ජීව විද්‍යාව, එහෙම නැත්නම් ගණිතය, වෙනත් විෂයයන් ඉගෙන ගන්න ශිෂ්‍යයන්ටත් ඉතිහාසය ඉගෙන ගැනීම අනිවාර්ය කරනවා කියලා. මේකෙ අපිට හරි අපැහැදිලිකමක් තියෙනවා. ජීව විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යයෙකුට ඉතිහාසය ඉගෙන ගන්න කාලයක් නැහැ. ඇත්තටම ඔවුන්ට ඉතිහාසය ඉගෙන ගෙන වැඩකුත් නැහැ. ඔවුන්ට ඉතිහාසය ඉගෙන ගන්න ඕනෙ වෙලාවෙ ඉතිහාසය ඉගෙන ගන්න දීලා, ඉතිහාසය ඉගෙන ගන්න ඕනෙ නැති වෙලාවෙ නිදහසේ ඉන්න දුන්නා නම් හොඳයි. මොකද ඔවුන් 10, 11 ශ්‍රේණිවලදි ඉතිහාසය ඉගෙන ගත්තාම ඒගොල්ලොන්ට ඉතිහාසය ඉගෙන ගන්න කාලයක් තියෙනවා. නමුත් ඒගොල්ලොන්ට 10, 11 ශ්‍රේණිවලදි ඉතිහාසය උගන්වන එක නවත්තලා ආයේ 12, 13ට ආවට පස්සෙ ඒ අය වෛද්‍යවරයෙක් වෙන්න ලෑස්ති වෙනකොට, ඒ අය විද්‍යාඥයෙක් වෙන්න ලෑස්ති වෙනකොට, ඉතිහාසඥයෙක් වෙන්න ලෑස්ති වෙනවා කියලා හිතාගෙන ඒවා උගන්වන්න ගියාම ඒක මහා විහිළුවක් සහ විකාරයක් බවට පත්වෙනවා.
මේවා විකාරරූපී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බව තමයි අපිට බැලූ බැල්මට පේන්න තියෙන්නෙ. ඒ වගේම මේ තුළින් ඉවත් කරලා තියෙන සිංහල සාහිත්‍ය ගැනයි, ඉංග්‍රීසි සාහිත්‍ය ගැනයි කවුරුත් කතා කරන්නෙ නැහැ. ඒකත් මේ විෂය නිර්දේශයේ බරපතළ ප්‍රශ්නයක් විදිහට අපිට නම් පේන්න තියෙන්නෙ. කොහොම වුණත් දැන් අර වැඩේ වැරදුණාට පස්සෙ විවිධ දේවල් අපි කියලා, ඊට වඩා දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා හිතලා, නෑ මේක දැන් අපි වෙනදට වඩා හොඳ එකක් කරනවා කියලා විවිධ දේවල් යෝජනා කළාට වැඩක් නැහැ. මේ ගැන විධිමත්ව හිතන්න ඕනෙ. කල්පනා කරන්න ඕන.
පාසල් කාලය වැඩිකරන බව අපි දැක්කා දැන් මේ සතියෙ ප්‍රකාශයට පත්වුණා. අපි ගිය සතියෙ ප්‍රශ්න කළා ඒ ගැන. මේ විනාඩි 50 කාලච්ඡේදවලට කොහොමද ඔබ කාලය හදාගන්නෙ කියලා. ඒකට උත්තරයක් විදිහට ඔවුන් කියනවා පැය භාගයක් පාසල් කාලය වැඩි කරනවා කියලා. පැය භාගයක් පාසල් කාලය වැඩිකිරීම සහ මේ දීර්ඝ කිරීම් සියල්ල අපි විශ්වාස කරන්නෙ නැහැ රටකට අත්‍යාවශ්‍ය දේවල් කියලා. මොකද මේ පැය භාගයෙන් මේ රට හදන්න පුළුවන්ද කියන එකට ප්‍රශ්නයක් තියෙනවා.
සමහර දේවල් තියෙනවා වෙනස් කළා කියලා කියන්නෙ වෙනස් කරන. ඇත්තටම වෙනස් විය යුතු දේවල් තියෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විදිහට ගේන්න ඕනෙ දේවල්. විෂය නිර්දේශවල බරපතළ වෙනස්කම් අවශ්‍යයි. විෂයන් විදිහට අපි තවමත් උගන්වන්නෙ පැරණි විෂයන්. අපි දැක්කා අලුතින් ආපු අයි.සී.ටී. විෂය ධාරාව පවා මහා පැරණි දේවල් උගන්වන විෂයක් බවට ශිෂ්‍යයන් ප්‍රශ්න කරන තැන්. ජීව විද්‍යාව, ඒ වගේම ගණිතය කියන විෂයන්වල ලෝකයත් එක්ක අපි ඉදිරියට ගිහිල්ලා තියෙන්නෙ. ඒ වගේම ඒ.අයි. තාක්ෂණය පාසල් විෂය නිර්දේශයට එනවා කියලා අපි කලින් දැනගෙන හිටියා. අපිට අහන්න ලැබුණා. නමුත් දැන් ඒ ගැන හාවක් හූවක්වත් නැහැ. ඒ වගේම සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය වගේ විෂයන් නිර්දේශ ඇතුළෙ මීට වඩා බරපතළ වෙනස්කම් සිද්ධ විය යුතුයි. ඒවා ප්‍රායෝගික විෂයන්. නමුත් ඒවත් තියරි විෂයන් විදිහට තමයි අද උගන්වන්නෙ. ඒවාට ප්‍රායෝගික විෂයන් ඇතුළත් විය යුතුයි. මේ වගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් විය යුතු විෂයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සියල්ල අතහැරලා දාලා, අපි බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නවා නම් මේ ගමන යා හැකියි කියලා, ඇත්තටම මේ ගමන යන්න බැහැ.
පහුගිය ආණ්ඩු කීපයක්ම මේක කරන්න උත්සාහ කළා. ඒගොල්ලොන්ටත් මේක කරන්න බැරුව ගියා. ජෝසප් ස්ටාලින් ඇතුළු ගුරු සංගම්වල ඉන්න, විදුහල්පති සංගම්වල ඉන්න කට්ටිය අපි දැක්කා බොහොම ආවේගයෙන් කතා කරනවා. ඒ අතර ඔවුන් කියනවා ටියුෂන් මාෆියාව නවත්තන්නයි ඕනෙ කියලා. ඇත්තටම ටියුෂන් කියන්නෙ මාෆියාවක්ද? ටියුෂන් කියන්නෙ මාෆියා කල්ලියක් නම්, ඇත්තටම මාෆියා කල්ලිවලට ආණ්ඩුව බය වෙන්න ඕනෙ නැහැ. ආණ්ඩුවට තියෙන්නෙ මාෆියා කල්ලි අත්අඩංගුවට අරගෙන ඒ මාෆියා කල්ලිවලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට මේ ප්‍රශ්න ඉවරයි. මං කියන්නෙ ජෝසප් ස්ටාලින් කියන විදිහට. එහෙම මාෆියාවක් මේ රටේ ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මේ රටේ මාෆියාව විදිහට ඇත්තටම ක්‍රියාත්මක වුණේ ඒගොල්ලො. ඒගොල්ලොන්ට මේ රටේ බොහෝ දේවල් වෙනස් පාටවලින් පේන්න පටන් ගැනීම තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. සමහර දේවල් කොළ පාටට, සමහර දේවල් නිල් පාටට, සමහර දේවල් රතු පාටට පේන එක. ඇත්තටම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය රතු පාට එකක් නෙමෙයි. මේක පාට පාට එකක්. මේක කාලයක් කොළ පාටට තිබිලා, කාලයක් නිල් පාටට තිබිලා, දැන් රතු පාටට හැරිච්ච අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්. මේක භයානක ප්‍රතිසංස්කරණයක්. මේකේ අපි දකින හර දේවල්වලට වඩා අපි දකින්නෙ හරසුන් සහ කල්පනා නොකර හැදුවා කියලා හිතෙන දේවල් ටිකක්. අපි කියන්නෙ අපිට හිතෙන දේවල් ටික. අපි කියන්නෙ එක ස්ලයිඩ් එකක් බලලා කියන දේවල් ටික. අපි දන්නවා හරිනි සහ අනුර කියලා කියන්නෙ අධ්‍යාපනයෙන් ජීවිතය ජයගත්ත මිනිස්සු. ඒ නිසා ඒ අයට කලින් හිටපු අයට වඩා යම් දැනුමක් සහ යම් මානුෂීය සිතුවිලි ටිකක් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය තමයි අපි තවදුරටත් බලාපොරොත්තුවක් විදිහට පවත්වාගෙන යන්නෙ.
එහෙම නම් ස්තූතියි අසා සිටියාට, බලා සිටියාට. අපිට තියෙන්නෙ බලන් ඉන්න විතරයි. අපි ගාව තියෙන්නෙ පෑනක් විතරයි. අපි ලියනවා. ඔබ කියවනවා. අපි විශ්වාස කරනවා, රජය කරවන මහත්වරු නෝනාවරු අපි මේ කියන දේවල් අහලාවත් යම්කිසි දෙයක් තේරුම් ගනීවි කියලා. වරදක් කියැවුණා නම් සමා වෙන්න. ඒ නොදන්නාකමට සහ ආවේගයට.

ජීවන පහන් තිළිණ










