බැසිල්ගේ පරම හතුරන් වන විමල් සහ උදයගේ ප්‍රකාශයන් දිහා බලද්දී පැහැදිලි වන එක් දෙයක් තිබේ. ඒ, අද බැසිල් ඉන්දියාවේත්, ඇමෙරිකාවේත් විශ්වාසවන්තම හිතෛෂියා බවට පත්ව ඇති බවය.
මීට කලින් මේ විදියට ඉන්දියාවේත්, ඇමෙරිකාවේත් විශ්වාසවන්ත හිතෛෂිවන්තයා බවට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව රනිල්ය. නමුත් 2015-2019 ආණ්ඩු කාලයේදී මහින්දගේ දේශපාලන ක්‍රියාකලාපය නිසා ඉන්දියාව සහ ඇමෙරිකාව ලංකාව සමග සිදුකිරීමට නියමිතව තිබූ ගනුදෙනු කිසිවක් කරකියා ගන්න ලැබුණේ නැත. එහිදී ඉන්දියාවටත්, ඇමෙරිකාවටත් රනිල්ගේ අසමත්භාවය පැහැදිලිව දැකගන්නට ලැබිණි. රනිල් වැඩකට නැති පුහු චරිතයක් බව ඔවුන්ට වැටහිණි. ඒ අනුව ඉන්දියාවත් ඇමෙරිකාවත් 2019 වන විට රනිල්ගේ චැප්ටර් එක අවසන් කිරීමට පියවර ගත්තේය.
මේ විදියට රනිල්ව හැලූ ඉන්දියාව සහ ඇමෙරිකාව ඒ වෙනුවට තෝරාගත්තේ වෙන කවුරුවත් නොව බැසිල්වය. ඒ අනුව බැසිල් ඉතා දක්ෂ ලෙස ඉන්දියාවත්, ඇමෙරිකාවත් බැලන්ස් කරගෙන ගේම ගහන්න පටන්ගත්තේය. ඒ අතරවාරයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කළමනාකරණය කරන වැඩේට බැසිල් අතගැහුවේය.
මීට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලංකාව ඇතුළේ සිටින ආර්ථික වැඩ්ඩා ලෙස හඳුනාගෙන තිබුණේ රනිල්ය. හැබැයි අද වෙද්දී බැසිල් රනිල්ගේ ඒ තැනත් තමන් සතු කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන්නට පටන්ගෙන තිබේ.
මේ විදියට තමන්ගේ තැන බැසිල් විසින් ගැනීම ගැන රනිල් ඉන්නේද ලොකු තරහකින් සහ වෛරයකින්ය.
බැසිල් පහුගිය දිනෙක ඉන්දියාවට ගිහින් අස්සන් කළේ අලුතෙන් හදපු ගිවිසුම් නොවේ. ඒ ගිවිසුම් ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී රනිල් සහ යූ.ඇන්.පී.ය ඉන්දියාව සමග අස්සන් කිරීමට තීන්දු කළ ගිවිසුම්ය. හැබැයි යූ.ඇන්.පී.ය ඇතුළේත්, ආණ්ඩුව ඇතුළේත්, රට ඇතුළේත් ඒ වෙනුවෙන් හරිහමන් මතයක් හදාගන්න රනිල්ට නොහැකි විය. ඒ නිසා රනිල් ඉන්දියාවත් එක්ක ගහන්න හිටපු මේ ගිවිසුම්වලට පක්ෂය ඇතුළෙනුත්, ආණ්ඩුව ඇතුළෙනුත්, රට ඇතුළෙනුත් විශාල විරෝධයක් එල්ල විය.
හැබැයි අද බැසිල් ඉන්දියාවත් සමග මේ ගිවිසුම් අස්සන් කොට ඇමෙරිකාවට විතරක් නොව ලෝකයටම පෙන්වූ එක කාරණාවක් තිබේ. ඒ, බැසිල් හෙවත් ඊඍ කියන්නේ ඍඋල න්‍ඍටත් වඩා ලෝකයත් එක්ක කරට කර හිඳිමින් ගනුදෙනු කරන්නට පුළුවන් දක්ෂ මිනිහෙක් කියන එකය.
පහුගිය කාලයේ යුගදනවි ගිවිසුම ඇමෙරිකාවත් එක්ක අස්සන් කරන වැඩේදිත් බැසිල් අතිදක්ෂ ලෙස ඒක කළමනාකරණය කළේය. බැසිල් එහෙම කළේ ඇමෙරිකාව මේ හරහා ලංකාව එක්ක ලොකු ආයෝජනයක් කරන්න සැලසුම් කළ නිසාය. පහුගිය කාලය පුරාම ඇමෙරිකාව රාජපක්ෂවරුන් සමග එතරම් ඇයි හොඳයියක් නොතිබූ නිසා ඇමෙරිකාව රාජපක්ෂවරුන් සමග ගනුදෙනු කිරීම ආරම්භ කිරීම පසුපස ලොකු කතාවක් තිබේ. ආණ්ඩුව ඇතුළෙන් පවා ලොකු විරෝධයක් ආවත් බැසිල් ඒ සියල්ල කළමනාකරණය කරගනිමින් ඇමෙරිකාව එක්ක යුගදනවි ගිවිසුම අස්සන් කළේය.
2019දී ගෝඨා බලයට එද්දී ආණ්ඩුවට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණේ ඉන්දියාවත්, ඇමෙරිකාවත් තරහ කරගෙන සිටීමය. ඒ නිසා මුලින්ම ඒ රටවල් දෙක බැලන්ස් කරගත යුතු බව බැසිල් වටහාගෙන සිටියේය. මොකද 2015 බලගතු රජයක් ලෙස තිබ්බ රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත්කොට මහින්දව ගෙදර යවන්න විපක්ෂය එක්ක එකතු වෙලා ගේම ගැහුවේ ඉන්දියාවත්, ඇමෙරිකාවත්ය. පරාජයෙන් පසු මහින්ද ඒක ප්‍රසිද්ධියේම කියමින් කියා සිටියේ මගේ පරාජය පසුපස ඉන්දියාව සිටියා යැයි කියාය.
ඒ නිසා රෑ වැටුණු වළේ දවල් වැටිය නොහැකි බැවින් බැසිල් මුලින්ම කළේ විපක්ෂය එක්ක ඇමෙරිකාවටත්, ඉන්දියාවටත් ගනුදෙනු කරන්න බැරි විදියට ඒ රටවල් දෙකම බැලන්ස් කරගැනීමය. බැසිල් මේ පාර ඒ ගහපු ගේමත් එක්ක රනිල්ලාට හැරෙන්නවත් බැරිය.
රනිල් හිතුවේ මේ පාර බැසිල්ලා අයි.එම්.එෆ්. යන වැඩේ අනාගනී කියලාය. නමුත් බැසිල් හීන් නූලෙන් ඒ ගේමත් ගැහුවේ රනිල්ලාට කිසිම දෙයක් හිතාගන්නවත් බැරි වෙන විදියටය. බැසිල් ඒකට අත තිබ්බේ පසුගිය නත්තල් නිවාඩුවට ඇමෙරිකාවට ගිය ගමනේදීය. ඒ ගමනේදී බැසිල් වොෂින්ටනයට ගිහින් අයි.එම්.එෆ්. නිලධාරීන් මුණගැසී ඒ වැඩෙත් දක්ෂ ලෙස කළමනාකරණය කරගන්නට සමත් විය.
රනිල් සර්වපාක්ෂික සමුළුවේදී අයි.එම්.එෆ්. එකේ කෙටුම්පත ඉල්ලා බැසිල්ට බාල්දියක් පෙරළන්න උත්සාහ කළේ ඒ නිසාය.
මේ විදියට අද රනිල් ආණ්ඩුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවූ කෙටුම්පත ඉල්ලා සිටියත්, රනිල්ගේ කාලයේදී රනිල් කටයුතු කළේ මීට හාත්පසින්ම වෙනස් ආකාරයකටය. එතැනදී රනිල් අයි.එම්.එෆ්. එකට යන එක අඩුම තරමින් රට තියා කැබිනට් මණ්ඩලයවත් දැනගෙන සිටියේ නැත. ගෝඨාභය කළා වගේ රනිල් ජාතිය අමතා එය කියන්න ගියේවත් නැත.
ඒකෙන් එක දෙයක් පැහැදිලිය. ඒ, රනිල්ලා මෙන් නොව, බැසිලුත් ගෝඨාභයත් විනිවිදභාවයෙන් යුතුව අයි.එම්.එෆ්. එකත් එක්ක ගනුදෙනු කරන්න කටයුතු කරනවා කියන එකය. රනිල්ට කාලා ඉන්න බැරි ඒකය.
අනෙක් අතට බැසිල් ඒ විදියට ඉන්දියාවත්, ඇමෙරිකාවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් බැලන්ස් කරගනීවි යැයි කියා විමල්ලා, උදයලාවත් හීනෙන්වත් හිතුවේ නැත.
ඒ අතින් බලන විට අද ආණ්ඩුව ඇතුළේ එක ප්‍රතිපත්තියක් නොව, ප්‍රතිපත්ති කිහිපයක්ම හැසිරෙමින් තිබෙන ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව ආණ්ඩුවේ වරෙක ඩී.එස්.ගේ ප්‍රතිපත්තියද දැකගන්නට පුළුවන. තවත් වරෙක බණ්ඩාරනායක ප්‍රතිපත්තිය දැකගන්නට පුළුවන. තවත් වරෙක ජේ.ආර්.ගේ ප්‍රතිපත්තියද දැකගන්නට පුළුවන. එකිනෙකට වෙනස් රස ඇති ඒ සියලු ප්‍රතිපත්ති එකවර කළමනාකරණය කරන්නේ වෙන කවුරුවත් නොව බැසිල්ය.
මුලින් කීවා වාගේ බැසිල් මේ කරන්නේ වෙන මොකක්වත් නොව, ඉන්දියාවත්, ඇමෙරිකාවත් විපක්ෂයට හැරෙන්න තියෙන ඉඩකඩ අහුරා ආණ්ඩුව ආරක්ෂා කරගැනීමය.
විමලසිරි ජයලත්