‘මෝදිගේ නෝනා මොනවා කළාම අපිට මොකද?’ රටක නායකයකුගෙන් අපට වැදගත් ඔහුගේ පෞද්ගලික විවාහ ජීවිතය දරුවන් හෝ බිරිඳ නොවේ. ඔහුගේ දර්ශනය, නායකත්වය, අවංකභාවය සහ රට වෙනුවෙන් ඇති කැපවීම පමණයි. ඔයාලට හිතේවි.️Sri Lanka Latest News
ඒත්, මේ දැනගත්තට පාඩුවක් නොවන දෙයක් නිසා මේ සටහන පළකරන්නේ.
මෝදිගේ නෝනා… මේ ජශෝදාබෙන් චමන්ලාල් මෝදි.
ඇය මෝදී සමග විවාහ වෙන්නේ 1968 වසරේ, ඒක වැඩිහිටියන් තීන්දු කරන ලද සාම්ප්‍රදායික විවාහයක්. ඒ වෙද්දී ජශෝදාබෙන්ට වයස 16ක් සහ මෝදිගේ වයස 18ක් වුණා. ඉතින්, ඒක එක්තරා විදිහක ළමා විවාහයක්. ඒත් ඒ කාලේ මේක සාමාන්‍යයිනේ. කොහොම වුණත්, ඔවුන් එකට ඉන්නේ මාස 03ක් වගේ ඉතාම කෙටි කාලයක් පමණයි. විවාහයෙන් පස්සේ මෝදි එයාගේ මාර්ගය තෝරගන්නවා. ඒ දේශපාලනය. ඒත් එක්කම ඔහු නිවසින් බැහැරව ගියා.
නමුත්, ඔහු තම බිරිඳට නැවත අධ්‍යාපනය ආරම්භ කරන්න උපදෙස් දුන්නා. ඇයට ස්වාධීනව ඉන්න අවශ්‍ය ශක්තිය ලබාගන්න උපකාරයක් වුණා. හුදෙකලා වුණු ජශෝදාබෙන් ආයෙම පියාගේ නිවසට ගියා. එතැන් සිට ඇය ඇගේ ජීවිතේ ස්වාධීනව නිර්මාණය කරගැනීම ඇරඹුවා.
නැවත අතහැරුණු අධ්‍යාපනය ආරම්භ කරලා 1978 ඇය පාසල් ප්‍රාථමික ගුරුවරියක ලෙස වැඩභාරගන්නවා. ඇය ලබන්නේ සාමාන්‍ය වැටුපක්. ඇය ගතකළේ සරල ජීවිතයක්.
මේ අතර මෝදි ඉතා සාර්ථක දේශපාලන ගමනක යෙදුණා. ඔහු ගුජරාටියේ මහඇමැති වෙලා පස්සේ ඉන්දියාවේ අගමැති බවට පත්වුණා. නමුත් ඔහුගේ බිරිඳ ජනප්‍රිය ලෝකෙන් මිදිලා කුඩා නිවසක සාමාන්‍ය ජීවිතයක් තමයි ගෙව්වේ.
1987 මෝදි සහ බිරිඳ හමුවන දවසක මෝදි ඇයට කියනවා. ‘දික්කසාද වෙලා නැවත විවාහයක් කරගන්න’ කියලා. නමුත් ඇය එදා කියා තිබුණේ ‘මට ආයේම විවාහ වෙන්න ඕනේ නෑ. ඔයා ඔයාගේ මාර්ගේ යන්න. මම මගේ මාර්ගේ යන්නම්’ ලෙසටයි. ඉතින් මේ දෙදෙනා දික්කසාද වුණෙත් නෑ.
මෝදි ප්‍රබල නායකයකු වීම සමග, ඉන්දීය නීතියට අනුව අග්‍රාමාත්‍යවරයාගේ සහ ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රභූ බළකාය වගකිව යුතු වුණා. ඒ නිසා ඇයට ආරක්ෂකයන් සැපයීමට රජය තීරණය කළා.
මෙය නම් ජශෝදාබෙන් සතුටින් භාරගත්තේ නෑ.
‘හැම වෙලාවෙම ආරක්ෂකයන් පස්දෙනෙක් මගේ වටේ වටවෙලා ඉන්නේ. මේක කරදරකාරී දෙයක්. ඔබට පේනවා ඇති, මට ගමන් බිමන් යන්න සිද්ධ වෙද්දී මේක ඇත්තටම අවුල් ජාලාවක් වෙනවා. මම පොදු ප්‍රවාහන සේවා භාවිත කරද්දී, ආරක්ෂකයන් වායුසමනය කළ කාර් එකකින් මගේ පස්සෙන් එනවා.’
අවසානයේ ඇය තමාට මෙලෙස ආරක්ෂාව ලබාදුන්නේ මන්දැයි සොයාබැලීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කළ අතර මේ සිදුවීම පිළිබඳ සිය කනස්සල්ල ද පළකර තිබුණා.
පවුලක් නැති නායකයෙක්
සාම්ප්‍රදායිකව හිතන ඉන්දීය ජනතාව මෝදිට පවුලක් දරුවන් නොමැති වීම ගැන විවිධ මත දරනවා. ඉන් මත දෙකක් ප්‍රධානයි.
- ඉන්දියානු සමාජයට පවුල වැදගත් වුණාට දේශභක්තිය ඊට ඉතා ඉහළින් ඇති මාතෘකාවක්. ඉතින් බොහෝ සාම්ප්‍රදායික පුද්ගලයන් මෝදිව දකින්නේ තමාට කියා පවුලක් හෝ දරුවන් නැති, එබැවින් දූෂණයෙන් හෝ නෑදෑ හිතවත්කම්වලින් තොරව මුළු රටම තමාගේ පවුල ලෙස සලකන නායකයකු (දේශභක්තික තපස්වරයකු) ලෙසයි. ‘ඔහුට හොරකම් කරන්න පවුලක් නැත’ යන මතය සාම්ප්‍රදායික ජනතාව අතර ඉතා ප්‍රබලව මුල්බැස ගෙන තිබෙනවා.
- අනෙක් අතින්, සාම්ප්‍රදායික හින්දු ධර්මයේ එන ‘ගෘහස්ථ’ නැතිනම් පවුල් ජීවිතය ගතකිරීම, බිරිඳගේ වගකීම් පැහැර හැරීමක් ලෙස දකිමින් ඇතැම් සාම්ප්‍රදායික හෝ විපක්ෂ මතධාරීන් ඔහුව විවේචනය කරන අවස්ථා තිබෙනවා.
සමහරු මෝදී බ්‍රහ්මචාරී කියනවා. කොටසක් සමලිංගික කියනවා. ඉතින් මේවායින් මොන එක වුණත් මෝදි බිරිඳගෙන් වෙන්වෙලා ඉන්න හේතුව නම් නිශ්චිත නෑ. ඒ මොක වුණත් මෝදිගේ දේශපාලන ගමනට මේ විවාහක අවිවාහක බව හෝ ලිංගික දිශානතිය කිසිසේත්ම සැලකියයුතු බලපෑමක් නොවූ බව නම් පැහැදිලියි.
ඉන්දීය ඉතිහාසයෙන්
ඉන්දීය දේශපාලනයෙත් බොහෝ පවුල් ගස් දක්නට ලැබෙනවා. නමුත් මෝදි ඥාති සංග්‍රහය හෝ පවුල් පසුබිමෙන් ආ නායකයෙක් නොවේ. ඒ අංශයෙන් මෝදිට චෝදනා නැතත්, දූෂිත අදානි සමූහයට මෝදිගේ නැඹුරුව නම් බොහෝවිට විවේචනයට ලක්වෙනවා.
මෝදි අහකට දැම්මත්, ඉන්දීය හිටපු ජනපති ඒ.පී.ජේ. අබ්දුල් කලාම් මහතා අවිවාහක පුද්ගලයෙක් වුණා. එසේම ඔහු මුස්ලිම් ජාතිකයෙක්. නමුත් ඔහු අදටත් සැලකෙන්නේ ඉන්දියාව බිහිකළ විශිෂ්ටතම සහ ජනතාවගේ ගෞරවය උපරිමයෙන්ම ලැබූ ජනාධිපතිවරයා ලෙසයි.
ඔහුගේ සමයේ ඉන්දීය අග්‍රාමාත්‍ය වූ ආටල් බිහාරි වජ්පායි මහතා නිල වශයෙන් විවාහවී සිටියේ නැහැ. වජ්පායි මහතා ඔහුගේ විශ්වවිද්‍යාල මිතුරියක වූ රාජ්කුමාරි කෞල් සහ ඇගේ පවුලේ අය සමග එකට ජීවත් වූ අතර ඇගේ දියණිය තමාගේම දියණියක ලෙස හදාවඩා ගත්තා.
නායකයකු විවාහ වියයුතුද?
නායකයකුට බිරිඳක් සිටීම කියන දේ සංස්කෘතිකමය වශයෙන් දේශාපාලනික වාසිය ගැනීමේදී නායකයකුට වැදගත් වෙන්න පුළුවන්. විශේෂයෙන් ආසියාතික රටක. මොකද, බිරිඳ සහ දරුවන් සමග ‘පවුලේ සාරධර්ම’ සමාජයට පෙන්වමින්, පොදු ජනතාවට වඩාත් සමීප වීමේ අවස්ථාවක් ඉන් ලැබෙනවා. ඒ හැර නම් බොහෝ පවුල් පාලකයන් නිසා ඒ බරත් ජනතාව මත වැටුණු අවස්ථා තමයි බහුලව ලෝක මට්ටමෙන් අපිට දකින්න ලැබිලා තියෙන්නේ.
පවුල්වාදයෙන් තොර මුල්පුටු
ඉන්දියාවේ ගාන්ධි නේරු පවුල තමා වැඩිම කලක් මුල් පුටුවල බලය තහවුරු කරගෙන සිටියේ.
ඒ නිසාම පසුකාලීනව බලයට පැමිණි භාරතීය ජනතා පක්ෂය සහ අගමැති නරේන්ද්‍ර මෝදි සිය ප්‍රධානතම දේශපාලන අවියක් ලෙස භාවිත කරන්නේ මෙම ‘පවුල් පාලනයට එරෙහි වීමයි’.
තාර්කිකව ගත්තත් මෙහි වරදක් කියන්නත් බැරි ඉන්දියාව ශීඝ්‍රම දියුණුව ලැබූ සියලු කාලවල කොංග්‍රසයෙන් හෝ බී.ජේ.පී.ය යටතේ එහි පාලනය දැරූ අය බොහෝවිට පහළම දුප්පත් පවුල්වලින් ආ පවුල්වාදයෙන් බැහැරව පැමිණි නායකයන් වීම නිසයි.
උදාහරණ :
පවුල් උරුමයෙන් තොර ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කර්
ප්‍රථම අධිකරණ ඇමැති සහ ව්‍යවස්ථා නිර්මාණකරු. සමාජයේ පහත්ම කුලයක් ලෙස සැලකූ ‘මහාර්’ කුලයේ ඉපිද, දැඩි කොන්කිරීම් මැද බිම් මට්ටමෙන්ම නැගී ආ ශ්‍රේෂ්ඨ විද්වතෙකි.
ලාල් බහදූර් ශාස්ත්‍රි
2 වැනි අග්‍රාමාත්‍යවරයා. ඉතා දුප්පත්, සාමාන්‍ය කායස්ත කුලයේ පවුලක ඉපිද, තමන්ගේම සරලකම සහ අවංකභාවය නිසාම බිම් මට්ටමේ සිට ඉහළටම පැමිණි නායකයෙක්.
පී. වී. නරසිම්හා රාඕ
9 වැනි අග්‍රාමාත්‍යවරයා. ආන්ද්‍ර ප්‍රදේශ්හි සාමාන්‍ය ගොවි (බ්‍රාහ්මණ) පවුලක ඉපිද, කිසිදු දේශපාලන හිතවත්කමකින් තොරව, තමන්ගේ බුද්ධිමත්කම සහ දක්ෂතාව මතම අගමැති වූ අයෙකි.
අටල් බිහාරි වජ්පායි
10 වැනි අග්‍රාමාත්‍යවරයා. සාමාන්‍ය බ්‍රාහ්මණ පවුලක, පාසල් ගුරුවරයකුගේ පුතෙකු ලෙස උපත ලබා, ආර්.එස්.එස්. සංවිධානය හරහා තමන්ගේම අසිරිමත් කථිකත්වය මත ජාතික නායකයෙක් බවට පත්විය.
ආචාර්ය ඒ.පී.ජේ. අබ්දුල් කලාම්
11 වැනි ජනාධිපතිවරයා. තමිල්නාඩුවේ ඉතා දුප්පත් මුස්ලිම් ධීවර පවුලක ඉපිද, පුවත්පත් විකුණමින් ඉගෙනගෙන, පසුව රටේ ඉහළම විද්‍යාඥයා සහ ‘ජනතාවගේ ජනාධිපතිවරයා’ බවට පත්වූ නායකයෙක්.
නරේන්ද්‍ර මෝදි
14 වැනි අග්‍රාමාත්‍යවරයා. පසුගාමී කුලයක, දුම්රිය ස්ථානයක තේ විකුණූ ඉතා දුප්පත් පවුලක ඉපිද, ආර්.එස්.එස්. ක්‍රියාකාරිකයකු ලෙස වසර ගණනාවක් බිම් මට්ටමේ වැඩ කරමින් පැමිණි නායකයෙකි.
ජවහර්ලාල් නේරු
ප්‍රථම අග්‍රාමාත්‍යවරයා. ඉතා ධනවත්, ඉහළ කුලයක (කාශ්මීර පණ්ඩිත) දේශපාලන පවුලකින් පැමිණියද, නිදහස් සටනේ කැපීපෙනෙන නායකයකු ලෙස ජනතා ආකර්ෂණය දිනාගත්තේය.
ඉන්දිරා ගාන්ධි
3 වැනි අග්‍රාමාත්‍යවරිය. ජවහර්ලාල් නේරුගේ දියණියයි. පවුල් පසුබිමෙන් පැමිණියද, පසුව ඇගේ දැඩි තීරණ ගැනීමේ හැකියාව නිසා ලෝකයම පිළිගත් ‘යකඩ ගැහැනියක්’ ලෙස හැදින්වූවාය.
ස්වර්ණරේඛා සෙව්වන්දි










