කොරෝනා වෛරස් වසංගතය සම්බන්ධයෙන් ලෝකයේ පැවැති බිය පහවී ගියේ, කොවිඩ් එන්නත් හරහා වසංගතය යම් ආකාරයක පාලනයකට නතු වූ හෙයිනි. එහෙත්, වසර කිහිපයකට පසු කොවිඩ් එන්නත්වලින් ඇතිවන අතුරු ආබාධ සම්බන්ධයෙන් මේ වනවිට බියක් මතුවී තිබේ. මෙම බිය නිර්මාණය වූයේ, සිය කොවිඩ් එන්නත මගින් ‘රුධිරය කැටිගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ (ඔඔී) ඇතිවිය හැකි’ බවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කළ සමාගම, බි්‍රතාන්‍ය මහාධිකරණය ඉදිරියේ පිළිගැනීමත් සමගය. (Sri Lanka Latest News)
ඉන් පසුව, බිලියන තුනකට අධික මාත්‍රා ගණනක් ලබාදීමෙන් පසුව වාණිජමය හේතු මත යාවත්කාලීන කරන ලද නව එන්නතක් හඳුන්වා දීමේ අරමුණින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි එම සමාගම නිවේදනය කළේය. එම සමාගම මෙම තීරණය ගනු ලැබුවේ, රුධිරය කැටිගැසීම් ඇතුළු අතුරු ආබාධ ඇති වූ බවට සමාගමට එරෙහිව නඩු කිහිපයක් පැවරීමෙන් අනතුරුවය.
ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දුන්නා ද?
බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිපදවන ලදී. එම එන්නත ඉන්දියාවේ මහාපරිමාණ එන්නත් නිෂ්පාදන ආයතනයක් වන සීරම් ආයතනය විසින් කොවිෂීල්ඩ් නමින් නිපදවන ලදී.
කොවිඩ්වලට එරෙහි එන්නතක් අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලංකාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 250,000ක් පරිත්‍යාග කළේය. ඒ, අසල්වැසියාට ප්‍රමුඛත්වය සංකල්පය අනුවය. ඒ අනුව, ශ්‍රී ලංකාව, මාලදිවයින් සහ බංග්ලාදේශය යන අසල්වැසි රටවලට කොවිෂීල්ඩ් එන්නත් නොමිලේ පරිත්‍යාග කෙරිණි.
ශ්‍රී ලංකාවට මුලින්ම ලැබුණු එන්නත් මාත්‍රා තොගය වූ එය, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සහ රෝහල් සේවකයන්ට ලබාදීමට තීරණය කළේය. ඒ අනුව, බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6ක සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබාදෙමින් එන්නත්කරණ වැඩසටහන 2021 වසරේ ජනවාරි 29 වැනි දින ආරම්භ විය.
පසුව, එම වසරේ මාර්තු මාසය වන විට කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට ගෙන්වා තිබිණි. ඉන්පසු, තවත් මාත්‍රා මිලියන ගණනක් මෙරට ජනතාව වෙනුවෙන් මිලදී ගැනිණි.
ශ්‍රී ලාංකිකයන්ට අතුරු ආබාධ ඇති වූයේ නැති ද?
කොවිෂීල්ඩ් එන්නත ලබාගැනීමෙන් පසු ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකුට මුල් කාලයේදීම අතුරු ආබාධ ඇතිවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවැසීය. ඔහු ප්‍රකාශ කළේ, එන්නත නිකුත් කිරීමට පෙර අදාළ සමාගම පුද්ගලයන් 40,000කට ලබාදී පරීක්ෂා කර තිබූ බවත්, ලක්ෂයකට දශම ගණනක් වැනි අඩු මට්ටමේ අතුරු ආබාධ සම්බන්ධයෙන් වාර්තා වී තිබූ බවත්ය.
‘මේ එන්නත දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත. ඒ වෙලාවේ එන්නත නිසා ඇති විය හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධවලට වඩා එන්නත නිසා කොවිඩ් මරණ අවම කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවෙලා තිබුණා. ඒ අවස්ථාවේ හැටියට ගතයුතු හොඳම පියවර විදිහට තමයි, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒක නිර්දේශ කළේ,’ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පැහැදිලි කළේය. ඔහු ප්‍රකාශ කළේ, අතුරු ආබාධ පිළිබඳ බිය හදිසියේ මතුව ඇත්තේ, සමාගමට එරෙහිව නඩු පැවරීම හේතුවෙන් බවය. ශ්‍රී ලංකාවේ ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර, කොවිෂීල්ඩ් එන්නත ලබාගත් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් කිහිප දෙනකු පැවැසුවේ, තමන්ට යම් යම් අතුරු ආබාධවලට මුහුණ දීමට සිදුවූ බවය. ඒ අතරින්, හෘදයාබාධ සහ රුධිරය කැටිගැසීම් ආදී රෝග ලක්ෂණ මතුවූ බව ඔවුහු පැවැසූහ. කෙසේ වෙතත්, එම සංකූලතා පසුකාලීනව මඟහැරී ගිය බවද ඔවුහු පැවසූහ.
‘මුල සිටම අතුරු ආබාධ තිබුණා’
මේ අතර, කොවිෂීල්ඩ් පමණක් නොව සියලු කොවිඩ් එන්නත්වල අතුරු ආබාධ මුල් කාලයේ සිටම පැවතුණු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා සෞඛ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය සමත් ධර්මරත්න පවසයි. ඔහු ප්‍රකාශ කළේ, කොවිඩ් එන්නත්වල අතුරු ආබාධ හේතුවෙන් පුද්ගලයන් 7 දෙනකු මියගොස් ඇතැයි ඇස්තමේන්තු කරන බවය.
කෙසේ වෙතත්, ඔවුන් ඍජුව එන්නත නිසා මියගිය බව කිව නොහැකි අතර, හෘදයාබාධ ආදී රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමෙන් මියගිය බව තහවුරු වී ඇති බවය.
‘මම නම් කියන්නේ මේ සියලු එන්නත් නතර කළ යුතුයි. මේ එන්නත්වල අතුරු ආබාධ තිබුණු බව මුල ඉඳලාම තේරුණා. ඒත් ඒ වෙලාවේ තිබුණ අවශ්‍යතාව තමයි, කොරෝනා වෛරසය පාලනය කරන එක. ඒ නිසා මේ ගැන රජයට දොස් කියලා වැඩකුත් නෑ. අනිත් එක රජය මේක පාවිච්චි කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය මත. සාමාන්‍යයෙන් ලෝකයටම බලපාන වසංගතයක් මර්දනය කරන්න මේ වගේ තීරණ ගන්න සිද්ධ වෙනවා.’
‘මේ එන්නත ලබා දෙනකොට ඒකෙ උපදෙස් පත්‍රිකාවේ දක්වලා තිබුණා භදඑ එසපැ එැිඑැා කියලා. මොකද, ඒ අවස්ථාවේ හැටියට එන්නත අත්හදා බලන්න ලොකු කාලයක් ගතකරන්න හැකියාවක් තිබුණෙ නෑ. මම දන්න විදිහට සියලු එන්නත්වලින් ශ්‍රී ලංකාවේ මරණ 7ක් විතර සිද්ධ වෙලා තියෙනවා,’ මහාචාර්ය සමත් ධර්මරත්න පැවසීය.
‘කලබල විය යුතු නැහැ’
කොවිෂීල්ඩ් එන්නත ලබාගත් ශ්‍රී ලාංකිකයන් බියට හෝ කලබලයට පත්විය යුතු නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවැසුවේ, එවැනි අතුරු ආබාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ බරපතළ තත්ත්වයක් මතුවී නොමැති බවය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවැසීය.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය
ඇස්ට්‍රාසෙනෙකා සහ කොවිෂීල්ඩ් එන්නත් සම්බන්ධයෙන් බි්‍රතාන්‍යයේ සහ ඉන්දියාවේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කුමන පියවරක් අනුගමනය කරන්නේද යන්න පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගෙන් අප විමසීමක් කළෙමු. එහිදී ඔහු ප්‍රකාශ කළේ, මෙතෙක් එම එන්නත ලබාගත් පුද්ගලයන්ගෙන් අතුරු ආබාධ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නොමැති බවය.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් යම් විමර්ශනයක් කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට කොවිෂීල්ඩ් දුන් ඉන්දියාවේ තත්ත්වය
කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ සීරම් ආයතනයට සහ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළ රජයේ බලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට ඉන්දීය මවුපියන් පිරිසක් සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ, සිය දරුවන් එන්නත නිසා ඇති වූ අතුරු ආබාධ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බවට චෝදනා කරමිනි.
කේරළ, මුම්බායි, කොයිම්බතූර්, හයිදරාබාද්, බෙංගලුරු සහ කපූර්තාලා යන ප්‍රදේශවල පදිංචි මවුපියන් පිරිසක් මෙලෙස නඩු මාර්ගයට පිවිසීමට තීරණය කර තිබේ.
සීරම් ආයතනයේ ප්‍රකාශකයකු ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබුණේ, ‘අපි දැනට පවතින තත්ත්වය සම්පූර්ණයෙන්ම තේරුම් අරගෙන තිබෙනවා. මේ චෝදනා සම්බන්ධයෙන් විනිවිදභාවය සහ ආරක්ෂාව සඳහා අපගේ කැපවීම අවධාරණය කරන්න කැමැතියි. මේ එන්නතට අදාළව දුර්ලභ හා ඉතා දුර්ලභ අතුරු ආබාධ සියල්ල අපි මුල සිටම ඒ කියන්නෙ 2021 වසරේ සිටම හෙළිදරව් කර තිබෙනවා’ යනුවෙනි.
බී.බී.සී. සිංහල වෙබ් අඩවියෙනි









