රත්මලාන ගුවන්තොටුපළ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් නවතා, එහි රියැදුරු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව කියන ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව සේවය කරන නිලධාරීන් දෙදෙනෙක්.
රත්මලාන ගුවන්තොටුපොළ මාර්ගයේදී ඉකුත් 15 වැනිදා මෙම කොල්ලකෑම සිදුව ඇතැයි පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
කෙසේ වෙතත්, අදාළ කොල්ලකෑමට ලක්වූ මුදල් ‘සීට්ටු මුදල්’ බවට පවසමින් ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසියට ඇති වූ සැකයක් මත වැඩිදුර විමර්ශන සිදු කර තිබෙනවා.
එහිදී එම ප්‍රකාශය අසත්‍ය බවට අනාවරණය වීම හේතුවෙන්, සිද්ධියට සම්බන්ධ පැමිණිලිකාර පුද්ගලයා සහ තවත් කාන්තාවක ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.










