අප කොතෙකුත් අසා ඇත්තේ දරුවකු හෝ දැරියක මවු කුසකින් බිහිවන බවය. ඒ හැර දරුවන් දෙදෙනකු හෝ තිදෙනකු හමුවූ විට නිවුන් දරුවන් දෙදෙනකු උපත ලබලා, නිවුන් දරුවන් තිදෙනකු උපත ලබලා යැයි කියති. ඒ හැර නිවුන් දරුවන් සිව් දෙනකු, පස් දෙනකු, හය දෙනකු, හත් දෙනකු වශයෙන් බිහිවූ අවස්ථා ගැනද අපි අසා ඇත්තෙමු.
නමුත් අප මේ කියන්නට යන්නේ රජ සමයකදී, රජ කුමරියක විසින් සිය කුසින් උපත ලබාදෙන ලද දැවැන්ත නිවුන් දරු උපතක් ගැනය. මේ කියන කතා පුවත ඔබ කෙසේ විශ්වාස කරාවිද? මෙම කතා ප්‍රවෘත්තියට පාදක වූ පුවත බ්‍රහ්මදත්ත රජ සමය තරම් ඉතා ඈතට දිවයයි.Sri Lanka Latest News
චීන ජාතික දේශාටන භික්ෂුවක වන හියුං සාං හිමියන් විසින් කර ඇති දේශාටන වාර්තාවක සඳහන් වන මෙකී පුවත විශ්වාස කිරීමට තරම් නොහැකි පුදුමය උපදවන කතා පුවතකි. එම කතා පුවතට අනුව එක් කුමරියක සිය කුසින් පුතුන් දහසකට මෙලොව එළිය ලබාදුන් පුවත අතිශය පුදුමාකාරය. හියුං සාං හිමියන්ගේ දේශාටන සටහනේ සඳහන් වන ආකාරයට එම කතා පුවත මෙසේය.
ඉතාමත් ඈත අතීතයේ දිනෙක තාපසයකු අසල ඔයකට බැස දිය නාමින් සිටියේය. ඒ අසල වනය දෙසින් ඔය අසබඩට පැමිණි මුව දෙනක රූමත් බිලිඳු කුමරියක වදා යළි කැලය දෙසට ගියාය. මෙම දසුන දුටු දිය නාමින් සිටි තාපසතුමා ඉතාමත් රූමත් බිලිඳු කුමරිය තම අසපුවට රැගෙන ගියහ. එසේ රැගෙන ගිය බිලිඳු කුමරිය ආදරයෙන් රැක බලාගෙන පෝෂණය කළේය. කල්යෑමේදී මෙම කුමරිය නව යොවුන් වියට පත්ව සිටියාය . ඇගේ රූප ශෝභාව කොතෙක්ද යත් වරක් ඇය දෙස බලන කවරකු වුවද එම කුමරියට වශීකෘත වන්නේය.
එක්තරා දිනෙක මෙම තාපසතුමාට සිය අසපුවේ ගිනි දල්වා ගැනීමට අවැසි කළමනා නොවූයෙන්, එම ඉසව්වේ තරමක් දුරට වන්නට අසපුවක වාසය කළ තාපසයකුගෙන් ගින්දර ටිකක් ඉල්ලාගෙන එන ලෙස උපදෙස් දී කුමරිය එම අසපුවට පිටත්කර යැව්වාය.
මෙවැනි ලස්සන රූ සපුවක් සහිත කුමරියක එතෙක් නොදුටු අසපුවේ තාපසතුමා එම කුමරිය දෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නට විය. මඳ වේලාවක් කුමරිය දෙස බලාගත් වනම සිටි තාපසතුමා කිමද කුමරිය, ඔබ කොහි සිටද පැමිණියේ කුමක් සඳහාදැයි විමැසීය.
තමා ජීවත් වන අසපුව ගැනත්, පියකු ලෙස තමා රැකබලා ගන්නා තාපසතුමා ගැනත් කරුණු සැල කළ කුමරිය තමා පැමිණියේ ගින්දර ටිකක් ගෙන යාමට බව පැවැසුවාය. කුමරිය පාතබන වාරයක් පාසා ඒ ඒ තැන්වල පියුම් පිපෙන බව දුටු තාපසතුමා පුදුමයට පත්විය.
මේ දසුන දුටු තාපසතුමා කුමරියට අමුතු යෝජනාවක් කළේය.
‘හ්..ම්….. හොඳයි…. මං නුඹට ගින්දර දෙන්නම්, ඊට පෙර නුඹ මගේ අසපුව වටා ඇවිද ආ යුතුයි.’ තාපසතුමා කීවේය.
‘හොඳයි…… තාපසතුමා’යි කී දැරිය ඔහුගේ අසපුව වටා රවුමක් ගොස් නැවත අසපුව ඉදිරි පස හිටගත්තාය.
තාපසතුමාට ඇදහිය නොහැකි තරමේ පුදුමයකි. ඔහුට ඕනෑ වුණේ කුමරිය පා තබන විට පියුම් පිපෙන බැවින්, ඇයව සිය අසපුව වටා රවුමක් ඇවිද්දවා ගෙන්වා ගැනීමටය.
කුමරිය සිය අසපුව වටා රවුමක් ගොස් පැමිණි පසු තාපසතුමා ඇයට ගින්දර ලබාදුන්නේය.
පය තබන තබන තැන පියුම් පිපෙන කුමරියක සිය රාජධානිය තුළ වෙසෙන බවට ආරංචියක් ඒ වනවිට මහවාසලටද සැලවී තිබිණි. ඒ වනවිට එම පෙදෙසේ අණසක පතුරුවා සිටියේ බ්‍රහ්මදත්ත රජුය.
තමන්ට ලැබුණු මග සලකුණු සොයාගෙන බ්‍රහ්මදත්ත රජ, මෙකී කුමරිය ජීවත්වූ අසපුවට පැමිණියේය. කුමරිය පාතබන තබන තැන පියුම් පිපෙනු දුටු රජුද පුදුමයට පත්විය. මැය ඉතාම පින් ඇති කුමරියක බව වටහාගත් බ්‍රහ්මදත්ත රජු තාපසතුමා භාරයේ සිටි කුමරියගේ භාරකාරත්වය එවෙලේම තමා අතට ගෙන කුමරියද කැඳවාගෙන සිය නුවර රජවාසලට පැමිණියහ.
මෙම කුමරිය රජ මාලිගාවට රැගෙන ගිය රජු ඇය පාතබන තැන්වල පියුම් පිපෙන බැවින්, එතැන් පටන් ඇයට ‘පද්මාවතී කුමරිය’ යන නාමය තැබුවේය. එයින් නොනැවතුණු බ්‍රහ්මදත්ත රජු වහාම රජවාසලට අනාවැකිකරුවෝ කැඳවූහ. ඔවුනට ‘පද්මාවතී කුමරියව’ පෙන්වා රජු ඇය ගැන, ඇගේ අනාගතය ගැන තොරතුරු විමසූහ.
රජ අණ ලැබූ අනාවැකිකරුවෝ වහ වහා ඇගේ දේහ ලක්ෂණ නිරීක්ෂණය කළහ.
‘මෙම දැරිය ඉතාම පින්වත් කුමරියක්….. රජතුමනි පෙර ආත්මයේ පින් බලය වැඩිකම නිසා, ඇය තබන තබන පාද පිළිගැනීමට පියුම් පිපෙනවා’ කී අනාවැකිකරුවෝ, ‘රජතුමනි, එපමණක් නොව අප සැමටම පුදුමයදනවන සිදුවීමක් මෙම දැරිය තරුණ වියට පත්වුණාම සිදුවෙනවා රජතුමනි…..’යි අනාවැකිකරුවෝ එක හඬින් කීහ.
‘ඒ කිමෙක්ද? අනාවැකිකරුවනි… එයත් වහා කියව’ බ්‍රහ්මදත්ත රජුටද එම අනාවැකිය දැනගන්නා තෙක් ඉස්පාසුවක් නොවීය.
‘රජතුමෙනි අප මෙතෙක් ප්‍රකාශ කර ඇති අනාවැකි කිසිවක් වැරදිලා නැහැ. එහෙම නම් අද අප ප්‍රකාශ කරන අනාවැකියත් එසේම ඉෂ්ට සිද්ධ වේවි’ යැයි කියූ අනාවැකිකරුවෝ, ‘මහරජතුමනි මෙම කුමරිය යොවුන් වියට පත්වූ පසු, එකවර දරුවන් දහසක් ප්‍රසූත කරනවා’ යැයි එක හඬින් පැවැසූහ.
මෙම අනාවැකිය ශ්‍රවණය වෙත්ම බ්‍රහ්මදත්ත රජුගේ දෙබැම ඉහළ ගියේය. ඒ සමගම දෙතොලතර සතුටු සිනාවක්ද වැතිරිණි.
රජු එතැන් පටන් සිය දියණික ලෙස පෝෂණය කරමින් සිටි ‘පද්මාවතී කුමරියට’ තව තවත් රජ සම්පත් ලබාදෙමින්, ඇය වඩා ආදරයෙන් රැකබලා ගත්තේය.
රජවාසල අනාවැකිකරුවන්ගේ අනාවැකිය සපථ කරමින්, කලක් ගතවත්ම පද්මාවතී කුමරිය සිය කුසින් පෙති දහසකින් යුත් පියුමක් ප්‍රසූත කළාය. රජ මාලිගයේ සෙසු ස්ත්‍රීහු මවිතයට පත්කරමින්, මෙම පියුමේ එක පෙත්තක පුංචි කුමරුවකු බැගින් කුමරුවෝ දහසක් වාඩිවී සිටියහ.
‘මෙය මහා අසුබ ලක්ෂණයක්, බ්‍රහ්මදත්ත රජතුමාගේ රාජ්‍ය පාලනයටත් අසුබ කාලයක්……’ යැයි කතිකා කරගත් මාලිගාවේ සෙසු ස්ත්‍රීහු, කාටත් හොර රහසේම එකී පියුම පෙට්ටියක දමා හොඳින් වසා ගංගා නම් නදියට දමා පාකර යැවූහ.
එසේ ගංගා නම් නදියට දමා පාකර යවන ලද පියුම සහිත පෙට්ටිය, එම නදිය අසබඩ සිටි දිනෙක උදේනි රජුගේ ඇස ගැටුණේය.
‘කුමක්ද අර පෙට්ටියක් නදියෙ පාවෙවී එන්නෙ……?’ උදේනි රජු කියත්ම, අසල සිටි රාජ පුරුෂයෝ වහ වහා ක්‍රියාත්මක වී එම පෙට්ටිය නදියෙන් ගොඩට ගෙන රජු වෙත ගෙන ආහ.
‘හ්ම්…… ඔය පෙට්ටිය අරින්න බලන්න…. ’ රජු රාජපුරුෂයන්ට නියෝග කළේය.
පෙට්ටිය විවෘත කරත්ම ඒ තුළ තිබූ පියුමක් මත කුමාරවරු දහසක් දෙනා වාඩිවී සිටිනු දැක උදේනි රජු බොහෝ සේ සතුටට පත්ව, එම කුමාරවරු සිය රජ මාලිගාවට ගෙනගොස් පෝෂණය කොට හදාවඩා ගත්හ.
තරුණ වියට පත් වනවිට ආරෝහ පරිණාහ දේහයෙන් යුක්ත වූ මෙම කුමරුවෝ දහසම රජුගේ හමුදාවට එක්වූහ. ඒ වනවිටත් රට රටවල් යටත් කර ගනිමින් සිටි උදේනි රජුට, මෙම කුමාරවරු දහස සිය හමුදාවට එක්වීමෙන්, රජුගේ හමුදාව තුළ තව දුරටත් විශ්වාස වන්ත කුමාරවරු දහසකගේ ශක්තිය එක්වීමෙන් රජු තව තවත් උද්දාමයට පත්විය.
තම හමුදා ශක්තිය, ඉහත කී කුමාරවරුන් සමග ශක්තිමත් කරගත් උදේනි රජු තව තවත් සටන් මෙහෙයවා රට රටවල් යටත් කරගත්හ. එසේ රට රටවල් අල්ලාගෙන උදේනි රජුගේ බලපරාක්‍රමය තහවුරු කර ගනිමින් සිටි මෙම යෝධ බලැති කුමාරවරු පිරිසගේ ඊළඟ ඉලක්කය වී තිබුණේ බ්‍රහ්මදත්ත රජුගේ විශාලාමහනුවර සටන් කොට අල්ලා ගැනීමය. බ්‍රහ්මදත්ත රජු නොසිතූ මොහොතක උදේනි රජුගේ හමුදා මෙහෙයවමින්, දිනක් මෙම යෝධ කුමාරවරු දහස විශාලා මහනුවර සටන් කොට අල්ලා ගැනීම සඳහා නගරය වටා රැස්වී කඳවුරු බැඳගත්හ.
රජ මාලිගාවේ ඉහළ මාලයේ හුන් පද්මාවතී දේවිය, බ්‍රහ්මදත්ත රජුගේ රාජ්‍ය ආක්‍රමණය කිරීමට පැමිණ සිටින යෝධ කුමාරවරු දහස තම පුතුන් බව හඳුනා ගත්තාය. ඇය වහාම නුවර වටා බැඳ තිබූ පවුර උඩට නැග ‘ඔය සටන නවත්වන්න කුමරුවනේ…. දරුවනේ මා නුඹලාගේ මව’ යැයි හඬගා කීවාය. කුමාරවරු දහස එපුවත පිළිනොගත්හ.
පද්මාවතී දේවියගේ හදවත දරු ස්නේහයෙන් පිරී ගියාය. ඇය වහ වහා සිය පියවුරුවලින් කුමාරවරු දහසගේ මුව තුළට මවුකිරි බිඳු වැටෙන්නට සැලැස්වූවාය.
‘ඇත්තනෙ මේ අපේ මවනෙ , අපිව දැකලා අම්මට කිරි එරිලා, අපි මේ සටන නවත්වමු…… අපි අපේ අම්මා ළඟට යමු’යි කතිකා කරගත් කුමාරවරු දහස වහ වහා තම අතරැඳි දුනු ඊතල ආදී යුද ආයුධ ඉවතට වීසිකොට පද්මාවතී දේවිය වෙත පැමිණියහ.
මෙම සිද්ධියෙන් පසු උදේනි රජුගේ සහ බ්‍රහ්මදත්ත රජුගේත් දෙරට වැසියෝ සමගි වී එතැන් පටන් සතුටින් ජීවත් වූහ.
මෙකී සිද්ධිය සිදුවී බොහෝ කලකට පසුව බුදු රජාණන් වහන්සේ ඉහත කී කුමාරවරු ආයුධ වීසි කළ ස්ථානයට වැඩම කොට, ඉහත දැක් වූ කතා පුවත හෙළිකොට ධර්ම දේශනාවක් කළහ.
පියුමක් මත උපන් මෙම කුමාරවරු දහස අනාගතයේදී තුන් ලොවක් සනහා වදාරන්නට බුදුවන බෝසත්වරු යැයිද, තමන් වහන්සේද එම කුමාරවරු දහස අතර සිටි එක් කුමාරයකු බවද බුදුන් වහන්සේ මෙහිදී අතීත සිදුවීම ගෙනහැර පාමින් දේශනා කළහ.
චීන ජාතික හියුං සාං හිමියන්ගේ දේශාටන වාර්තාවේ සඳහන් වන ආකාරයට, එදා පද්මාවතී දේවියගේ දහසක් පුත් කුමාරවරු සිය දුනු ඊතල ආදී ආයුධ ඉවත දැමූ ස්ථානයේ ස්ථූපයක් ගොඩ නගා ඇතැයිද, ඒ අසල ස්ථානයක ගෞතම බුදු රජාණන් වහන්සේ සක්මන් කළ බවට සලකුණු පැවැති බවද කියැවේ.
මෙයට වසර එකසිය හතළිහකට පෙර එනම් 1884 වසරේදී ඉන්දීය පුරා විද්‍යාඥ ආචාර්ය ඩබ්. හෝයි මහතා සිදුකර ඇති පර්යේෂණවලට අනුව ඉන්දියාවේ වර්තමාන සාරන් දිස්ත්‍රික්කයේ පිහිටි චුප්රා නමැති නගරයට නැගෙනහිරින් පිහිටි තෙල් පා නමින් හඳුන්වනු ලබන උස් භූමිය එදා පද්මාවතී දේවියගේ පුතුන් දහස දුනු ඊතල ආදී යුද ආයුධ වීසිකළ ස්ථානය බවටද, මෙම ස්ථානයේ පසුව ස්ථූපයක් ගොඩනංවා තිබූ බවද සොයාගෙන තිබේ.
එදා දහසක් පුතුන් දුනු ඊතල ආදී යුද ආයුධ වීසිකරන ලද ස්ථානයෙහි ගොඩනන්වන ලද ස්ථූපය වර්තමානයේ බෙයාර් නමින් හඳුන්වන, එදා බ්‍රහ්මදත්ත රජුගේ පාලනය යටතේ පැවැති විශාලාමහනුවරට සැතපුම් දෙකහමාරක් පමණ වයඹ දෙසට වන්නට පිහිටි බබ්රා නමැති ග්‍රාමයේ ඇති තුඹසක හැඩයකින් යුත් උස් භූමිය යැයිද, එම උස් භූමිය බබ්රා නමැති ග්‍රාමයේ ගිනිකොන දෙසට වන්නට පිහිටා ඇති බවද, ඊට කලකට පසු ඒ පිළිබඳ පුරාවිද්‍යා පර්යේෂණයක නියැළුණු පුරාවිද්‍යාඥ ආචාර්ය වින්සන්ට් ඒ. ස්මිත් මහතා අනාවරණ කර තිබේ.

නන්දන ඩී. කෙහෙල්ගමුව










