විල්පත්තු වනෝද්‍යානයේ හුණුවිලගල පිවිසුමේ ඉඳලා කි.මී. 15ක් විතර ඈත තැනකදී බල්ලෙක් වනාන්තරය මැද්දෙන් ගමන් කරන ඡායාරූප කීපයක් සහ වීඩියෝ කීපයක් එළියට එනවා. ඒ වීඩියෝ කීපය ඇතුළේ තියෙනවා ඒ බල්ලව හැංගිලා ඉන්න කොටියෙක් විසින් දඩයම් කරගන්නා ආකාරය. ඒ දඩයම් කරගත්තට පස්සේ බල්ලා එක පැත්තකටත් කොටියා තව පැත්තකටත් දුවනවා. ඒ බල්ලව දඩයම් කරගන්නා අවස්ථාවේදී කුමන හෝ හේතුවක් නිසා දෙපැත්තේ ජීප් රථ දෙකක ඉන්න පිරිසක් පැහැදිලිවම මේ සිදුවීම ඡායාරූපගත කරගන්නවා. ඒ වගේම අපිට තේරෙනවා කවුරු හරි කෙනෙක් මේ සුනඛයාව හෝ කොටියාව එළවනවා වගේ දෙයක්. මේ සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් විවිධ මතිමතාන්තර ඉදිරිපත් කරමින් ඉන්නවා. Sri Lanka Latest News
මුලින්ම මේ වීඩියෝව එළියට එනකොට බොහෝ උගතුන් බුද්ධිමතුන් මේ ගැන කිව්වේ මේ සුනඛයාව ජීප් එකක දාගෙන ඇවිල්ලා, ඒ ජීප් එකේදී එළියට දාලා, බල්ලව කොටියට බිලිදුන්න බවක්. මේ කාරණාව බොහෝ දෙනෙක් ඔප්පු කරමින් තිබුණා. බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කළා. එහෙම වුණාය කියලා කිව්වා. එතකොට මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන් විවිධාකාරයට කතා කරමින් කියනවා සාමාන්‍යයෙන් බල්ලෝ මෙහෙම එනවා, මේ බල්ලත් එහෙම ආවා වෙන්න පුළුවන්, විවිධ අවස්ථාවල මුව පැටව් දඩයම් කරන්නත් බල්ලෝ එනවා අපි දැකලා තියෙනවා කියලා. ඒ වගේම ඔවුන් කියනවා වනෝද්‍යානය අවට හේන් කොටන අයගේ සුනඛයෝ ඒගොල්ලෝ මේ විදියට වනාන්තරයට එනවා කියලා. අපිට තියෙන ප්‍රශ්නය තමයි කි.මී. 15ක් ඈතට කොහොමද මේ සතා ආවේ කියලා. මොකද වනජීවී එක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායම් විසින් මේ වනාන්තරය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරනවා. ඔවුන් ආරක්ෂා කරනවා සහ මේ සම්බන්ධයෙන් ඔවුන් වගකියනවා. වනාන්තරය තුළට කුමන හෝ කෙනෙක් පිවිසෙනවා නම් ඒ පිවිසීම ඔවුන් විසින් නිරීක්ෂණය කළ යුතුයි. බල්ලෙක්ව ජීප් එකක දාගෙන එනවා නම් ඒ ජීප් එකේ දාගෙන ආපු එක වනෝද්‍යාන පිවිසුමේදී කොහොමද අහු නොවුණේ?
ඒ වගේම බොහෝ වෙලාවට වාහනත් එක්ක ගයිඩ් කෙනෙක් ගමන් කරනවා. මේ ගයිඩ්ට මේක අහු නොවෙන්න බෑ කිසිසේත්ම. ඒ නිසා මේක සැලසුම්සහගතව කරපු දෙයක් වෙන්න ඕනේ. වනෝද්‍යානයට දාගෙන ආවා නම්. බල්ලෙක් කි.මී. 15ක් ඈත වනාන්තරය ඇතුළේ තමන් කිසි දිනක දැකලා නැති බව කෝසල සුබසිංහ වගේ ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පීන් අපිත් එක්ක කියනවා. එහෙම නම් මේක සාමාන්‍යයෙන් සිදුවිය හැකි දෙයක් නොවන බව බොහොම පැහැදිලියි. අපි හැමෝටම අවබෝධ වෙන කාරණාව තමයි වනෝද්‍යානයට බලහත්කාරයෙන් බල්ලෙක් ගෙනාව කියන කාරණාව යම් විදියකට පිළිගන්න වෙනවා කියන එක. එහෙම නම් මේ සිදුවීම හිතාමතා කරපු දෙයක් නෙවෙයි කියලා කියන්න බොහෝ දෙනෙක් ඔප්පු කරන්න හැදුවට ඒක අපිට පැහැදිලිව තේරෙනවා ඒක එහෙම වෙන්න බෑ, මේ වනෝද්‍යානයට මේ බල්ලව කවුරු හරි කෙනෙක් ගෙනල්ලා දාන්න ඇති කියලා. එහෙම ගෙනල්ලා දැම්මා නම් කවුද ගෙනල්ලා දැම්මේ, කවුද මේකට වගකියන්නේ කියන කාරණා හොයලා බලන්න ඕනේ. මොකද වනෝද්‍යානයට බල්ලෙක් ගෙනල්ලා දාපු එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. වනෝද්‍යානයට වාහනේ ඇතුළේ දාගෙන බල්ලෙක්ව ගේනකොට ඒක ගැන අපිට කතාකරන්න වෙන්නේ අවිහිංසාවාදය, සතුන්ට හිරිහැර කිරීම වගේ දේවල් සම්බන්ධයෙන්. මේක හොයලා බලනකොට නම ගම නොකියපු නිලධාරී මහත්තයෙක් කිව්වේ මේ විදියට පළපුරුදු වාහනවලින් පළපුරුදු ට්‍රැකර්ලත් එක්ක මේ විදියට සත්තුන්ව අරන් එනවා සහ එහෙම දාලා කොටින්ව එළියේ ඉන්න ටුවරිස්ට්ලට පෙන්නනවා කියලා. එහෙම නම් මේක රහසක් නෙවෙයි. එහෙම දේවල් මීට කලින් වෙලා තියෙන බව පැහැදිලියි. මෙහෙම දේවල් වෙනකොට වනෝද්‍යානයට අදාළ නිලධාරීන් කට සහ අනිත් ඒවා පියාගෙන හිඳීමම ප්‍රශ්නයක්. මේ බල්ලා මැරුණද නැද්ද කියන එක හොයනවට වඩා හොයන්න ඕනේ මේ වගේ දේවල් මීට කලින් වුණේ කොහොමද, ඉදිරියට වෙන්නේ කොහොමද, මේවා වෙන අවස්ථාවලදී නිලධාරීන් විසින් ඒවාට විරුද්ධව හෝ ඒවාට පක්ෂපාතීව කරපු කියපු දේවල් මොනවද කියන එක. මෙවැනි දේවල් වනෝද්‍යාන ඇතුළේ සිදුවෙනවා නම් හැම වෙලාවකම ඊට එරෙහිව පියවර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුයි. එහෙම නොවෙනවා නම් වනෝද්‍යානය ඇතුළේ ඉන්න සත්තුත් මේ විදියටම එළියට අරගෙන යන එකෙත් මහලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා අපිට හිතෙනවා.
ඔය බලු කේස් එකෙන් පස්සේ ඊළඟට පත්තු වෙලා තියෙන්නේ අලි කේස් එක. මේ ගැන එක්තරා ප්‍රධාන නාලිකාවකින් කරපු හෙළිදරව්වක් එක්ක තමයි කතන්දරේ එළියට එන්නේ. අලි කුලප්පු කරලා, ඒ අලි පන්නනකොට ඒක වීඩියෝ කරලා යූටියුබ් එකට දාලා වීව්ස් ගන්නවා කියලා කතාවක් තමයි මේකෙන් කියන්නේ. මේක සරලව ගත්තට ඉතා භයානක සිද්ධියක්. මොකද ඒකට හේතුව, මේක අලි කරදරයක්. මේ වැඩේ වෙනවා කියලා කියන්නේ බුත්තල – කතරගම පාරේ. යාල වනෝද්‍යානය මැදින් වැටිලා තියෙන මේ මාර්ගයේ ස්ථිරවම අලි පදිංචි වෙලා ඉඳගෙන මිනිස්සුන්ගෙන් හිඟාකන තැනක්. මේ වැඩේම සමහර පාරවල්වල වෙමින් යනවා. උඩවලව හරහා යන මාර්ගයේදී උඩවලව අලි වැට එහාපැත්තේ අලි විශාල ප්‍රමාණයක් අපිට එක දවසක දැකගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි දන්නවා හබරණ වනාන්තරෙත් මේ තත්ත්වයම තියෙනවා. ඊට මෙහා මින්නේරිය පැත්තට වෙනකොට තවත් අලි කීප දෙනෙක් පාරේ ඉන්නවා අපිට පේනවා. මේක මිනිස්සුම කරපු වැරැද්දක්. හැබැයි මේ මිනිස්සු කරපු වැරැද්දෙන් දැන් ප්‍රතිඵල භුක්ති විඳිමින් ඉන්නවා ආගන්තුකයෝ. මේක ආගන්තුකයෙක්ට ප්‍රශ්නයක් වෙලා, ඒ වාහනේට ගහනකන්, වාහනේ වීදුරු බිඳිනකන්, ඒ වාහනේට ලොකු කරදරයක් වෙනකන් බලාගෙන ඉන්නවා. මේක කරනවා කියලා කියන්නේ අලි පාරට ගෙන්නගන්න අතු ටිකක් කඩලා දානවා පාරට.
අපි දකිනවානේ මේ අලි ඉන්න තැන අතු තියෙනවා. මේක ත්‍රිරෝද රථ රියැදුරෝ, බස් රථ රියැදුරෝ වගේ අය කරන දෙයක් කියලා කියනවා. මෙතැනදී මාධ්‍ය කණ්ඩායමට එක්තරා පුද්ගලයෙක් හමුවෙනවා. මේ වෙනකොට ඔහුගේ යූටියුබ් වීඩියෝවලට මිලියන ගණනක වීව්ස් තියෙනවා කියලා කියනවා. අලි වාහනවලට පහර දෙන ආකාරය තමයි ඔවුන් බලන්න උත්සාහ කරන්නේ. මොකද අලියා සහ සාමාන්‍ය මිනිස්සු අතර ගනුදෙනුව සුහදව සිද්ධ වුණා නම් ඒක ලොකුවට වයිරල් වෙලා යන්නේ නෑ. ඒ නිසා අලි කලබල කරලා මිනිස්සුන්ට ගස්සලා වාහන පොඩි කරවලා ලොකු ප්‍රශ්නයක් ඇතිකරවලා ඒකෙන් ප්‍රයෝජන ගන්න හදන බවක් තමයි අපිට බැලූ බැල්මට මේ කාරණාවෙන් පේන්නේ. ඒ නිසා මේ වනජීවී එක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වනාන්තරයට අධිගෘහිත වෙච්ච නිලධාරියෝ තනතුරු තාන්න මාන්න දරන කට්ටිය මීට වඩා කොන්ද කෙළින් තියාගෙන වැඩ නොකළොත් බල්ලෝ කොටි කාලා, අලි මිනිස්සුන්ට ගහලා, මිනිස්සු අලි මරලා, බල්ලෝ කොටි මරලා, බල්ලොයි කොටියි මාරුවෙලා, කැලේ කොටි නැතිවෙලා, කොටි ගමට ඇවිල්ලා, බල්ලො කැලේට ගිහිල්ලා, අලි මිනිස්සුන්ව මරලා, මිනිස්සු අලින්ව මරලා මහා ජංජාලයක් වෙනවා. ඒ ජංජාලය වෙනකන් කටයි අනිත් ඒවයි පියාගෙන හිටියොත් නම් නෝනාවරුනි, මහත්වරුනි මේ රටට සුද්දො එන්නෙත් නෑ, ගම්වල මිනිස්සුන්ට ජීවත් වෙන්න ලැබෙන්නෙත් නෑ. මේක සෙල්ලමක් නෙවෙයි. මොකද ඒකට හේතුව බල්ලො කන්න කොටියා පුරුදු වෙන එක තරම් නරක දෙයක් නෑ. අපි දන්නවා ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ව්‍යාඝ්‍රයෝ ගමට එන්නේ බල්ලෝ මරන්න. බල්ලෝ මරන්න ඇවිත් බල්ලෙක් මරාගන්න බැරිව ගියාම මිනිහෙක් මරාගෙන යනවා. මොකද ගම ආශ්‍රිතව කොටි ක්‍රියාකාරකම් ඉතා අඩුයි අපිට දකින්න ලැබෙනවා. දැන් ඒකට පුරුදු කරගන්නයි මේ යන්නේ. කැලේ ඉන්න අලි ටික ඔක්කොම පාරට ගෙනල්ලා දාගෙන ඒවා වීඩියෝ කරන්න පටන්ගත්තම වීඩියෝ කරලා වීව්ස් ලැබෙයි. හැබැයි මිනිහෙක්ට යාල, බුත්තල පැත්තේ යන්න එන්න බැරිවෙන තත්ත්වයක් උද්ගත වෙනවා. මේක සෙල්ලමක් නෙවෙයි. ඒ නිසා මේ සෙල්ලම නතර කරන්න බලධාරීන් වහාම පියවර ගත යුතුයි.

ජීවන පහන් තිළිණ










