2000 වසරේ සිට 2015 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පැහැර ගැනීම් හා පහරදීම් ඇතුළු අපරාධ පිළිබඳ සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇතත්, ඒවාට යුක්තිය ඉටුවී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදුකොට ඊට වගකිවයුත්තන් අධිකරණයට ඉදිරිපත් නොකළ බවට ද දිගින් දිගටම චෝදනා එල්ල වී තිබේ.Sri Lanka Latest News
මාධ්‍යවේදීන්ට එරෙහි නොවිසඳුණු අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුවද පොරොන්දු ලබාදී ඇත.
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්තිය නිමාකිරීමේ ජාත්‍යන්තර දිනය යෙදෙන නොවැම්බර් 02 දිනයේ එවැනි අපරාධ පිළිබඳ විමර්ශන හා නඩු විභාග මෙතෙක් නතර වී ඇත්තේ කොතැනදැයි, බීබීසී සිංහල සොයා බැලීමක් කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ
2010 වසරේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් එම වකවානුවේ පැහැදිලි විමර්ශනයක් සිදුනොවූ බවට චෝදනා එල්ලවී තිබිණි. එහෙත් ඉකුත් යහපාලන රජය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් පවත්වා ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ අනුව ගිරිතලේ පිහිටා තිබූ යුද හමුදා බුද්ධි අංශ කඳවුරේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව නීතිපතිවරයා එම විත්තිකරුවන් එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නඩු පැවරීමට පියවර ගත්තේය. එම නඩුව මේ වනවිට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග වෙමින් පවතී.
මාධ්‍යවේදී කීත් නොයාර්
2008 වසරේ මැයි මස 22 වැනිදා රාත්‍රියේ මාධ්‍යවේදී කීත් නොයාර් සිය රාජකාරී අවසන් කර නිවසට පැමිණෙමින් සිටියදී ඔහුගේ නිවස පිහිටි දෙහිවල පොලිස් වසම තුළ සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් ඔහු පැහැර ගන්නා ලදී. ඉන් පසුව පහර දී වධ හිංසාවලට භාජනය කර පසුව ඔහු දොම්පේ ප්‍රදේශයේදී මුදාහැර තිබිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම වකවානුවේ විධිමත් පොලිස් පරීක්ෂණයක් නොවූ බවට චෝදනා එල්ල විය.
නමුත් යහපාලන රජය සමයේ එම සිද්ධිය පිළිබඳවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කොට එම පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යුදහමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු බුද්ධි අංශ සාමාජිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පසුව ඇප මත මුදාහැර තිබිණි.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඊට අදාළ ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත භාරදී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිතව ඇත.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය
2009 වසරේ ජනවාරි මස 08 වැනිදා සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කළ නීතිඥ ලසන්ත වික්‍රමතුංග සිය කාර්යාලයට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් ගල්කිස්ස පොලිස් වසමේ අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතනය කෙරිණි. එම සිද්ධියට අදාළව මුල් අවස්ථාවේදී ගල්කිස්ස පොලිසිය සහ ත්‍රස්ත මර්දන කාර්යාංශය විමර්ශන ක්‍රියාත්මක කළත් ඊට වගකිවයුතු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවීය.
යහපාලන රජය සමයේ මෙම සිද්ධියට අදාළව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර මෙම අපරාධයට වගකිවයුතු බවට සැක කෙරෙන යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇප මත මුදාහැරීමට නියෝග කෙරිණි.
මෙසේ ඇප මත මුදාහැර සිටි සැකකරුවන් වන යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයකු වන ප්‍රේමානන්ද උදලාගම, සිද්ධිය වූ අවස්ථාවේ ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල, ගල්කිස්ස ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රසන්න නානායක්කාර යන අය එම නඩු කටයුතුවලින් මුදාහරින ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් පෙබරවාරි මස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙමින් ලිපියක් යොමු කර තිබිණි.
පසුව නීතිපතිවරයාගේ එම ලිපිය සමාජ මාධ්‍ය හරහා හෙළිදරව් වීමෙන් පසුව එම තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්, ස්වේච්ඡා සංවිධාන ඇතුළු සමාජ ක්‍රියාකාරීන් මතුකළ දැඩි විරෝධය හේතුවෙන් එම ලිපිය ඉවත් කර ගැනිණි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ විමර්ශන කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසන් වී ඇති අතර එම විමර්ශන ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.
මාධ්‍යවේදී නාමල් දමයන්ත පෙරේරා
මාධ්‍යවේදී නාමල් දමයන්ත පෙරේරා 2008 වසරේ ජුනි මස 30 වැනිදා සිය මිතුරකු සමග වාහනයකින් ගමන් කරමින් සිටියදී සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් ඔහුට පහර දී බරපතළ තුවාල සිදුකර තිබිණි. නාරාහේන්පිට යුද හමුදා කඳවුර ඉදිරිපිට මෙම පහර දීම සිදුවිය.
2015 වසරේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේය. ඒ අනුව සැකපිට යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ මේජර් ප්‍රභාත් බුලත්වත්ත ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. පසුව අධිකරණය විසින් ඔවුන් ඇප මත මුදාහරින ලදී.
මේ අතර, අධිකරණය හමුවේ පැවැති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී නාමල් පෙරේරා විසින් සැකකරුවන් දෙදෙනකු හඳුනා ගන්නා ගන්නා ලදී.
මෙම විමර්ශනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තවදුරටත් පැවැත්වෙයි.
මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්
2009 වසරේදී ‘රිවිර’ පුවත්පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කළ උපාලි තෙන්නකෝන් උදෑසන සිය රාජකාරි කටයුතු සඳහා සිය බිරිඳ සමග වාහනයෙන් කොළඹ දෙසට එමින් සිටියදී පහරදීමකට ලක්විය. එම සිද්ධියට අදාළව ද ඉකුත් යහපාලන රජය සමයේ විමර්ශනයක් ආරම්භ විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුදහමුදා බුද්ධි අංශයේ කටයුතු කළ ප්‍රේමානන්ද උදලාගම ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පසුව 2016 වසරේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී උපාලි තෙන්නකෝන් සහ ඔහුගේ බිරිඳ විසින් සැකකරුවන් කිහිපදෙනකු හඳුනා ගත් අතර ඉන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරනු ලැබ තිබේ.
2000 වසරේ සිට 2015 දක්වා ප්‍රධාන සිදුවීම්
මේ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් 2000 වසරේ සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට සිදුවූ ප්‍රධාන සිදුවීම් 30ක් හඳුනාගෙන ලේඛනගත කොට තිබේ.
● මයිල්වාගනම් නිමලරාජන් – ඝාතනය (2000.10.19)
● රුෂාන්ගන් කෝඩිස්වරන් – පහරදීම (2002.08.08)
● අයියාතුරෙයි ජී. නඩේෂන් – ඝාතනය (2004.05.01)
● නන්දසාමි අයියර් – ඝාතනය (2004.08.16)
● ධර්මරත්නම් සිවරාම් – ඝාතනය (2005.04.28)
● රේලන්ගී සෙල්වරාජා – ඝාතනය (2005.08.12)
● සුඩර් ඔලි පුවත් ආයතනය – බෝම්බ ප්‍රහාරය (2005.08.29)
● සුබ්‍රමනියම් සුගීර්දරාජන් – ඝාතනය (2006.01.24)
● සම්පත් ලක්මාල් ද සිල්වා – ඝාතන (2006.07.01)
● සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් – අතුරුදන් කිරීම (2007.02.15)
● සුභාෂ් චන්ද්‍රබෝස් – ඝාතනය (2007.04.16)
● සෙල්වරාසා රජිව්වර්මන් – ඝාතනය (2007.04.29)
● සහදේවන් නිලක්‍ෂන් – ඝාතනය (2007.08.01)
● ටී.එම්.ජී. චන්ද්‍රසේකර – පහරදීම (2007.12.27)
●ලාල් හේමන්ත මාවලගේ – පහරදීම (2008.01.25)
● කීත් නොයාර් – පැහැරගෙන යාම හා පහරදීම (2008.05.22)
● පරණිරූපසිංහම් දේවකුමාර් – ඝාතනය (2008.05.28)
● නාමල් පෙරේරා – පහරදීම (2008.06.30)
● රදිකා දේවකුමාර් – පහරදීම (2008.09.08)
● සිරස මැදිරි සංකීර්ණය විනාශ කිරීම (2009.01.06)
●ලසන්ත වික්‍රමතුංග – ඝාතන (2009.01.08)
● උපාලි තෙන්නකෝන් – පහරදීම (2009.01.23)
● එන්. විද්‍යාදරන් – පැහැරගෙන යාම හා පහරදීම (2009.02.26)
● පෝද්දල ජයන්ත – පැහැරගෙන යාම හා පහරදීම (2009.06.01)
● ප්‍රගීත් එක්නැළිගොඩ – අතුරුදන් කිරීම (2010.01.24)
● සියත ආයතනය – පහරදීම (2010.07.30)
●ලංකා ඊ නිවුස් ආයතනය – ගිනි තැබීම (2011.02.01)
● ඥානසුන්දරම් කුගනාදන් – පහරදීම (2011.07.29)
● උදයන් පුවත්පත් ආයතනය – ගිනි තැබීම/ප්‍රහාර (2006.05.02/ 2013.04.13)
● මන්දනා ඉස්මයිල් – තර්ජනය කිරීම (2013.08.23)
(බීබීසී සිංහල)










